හරි... මං ඔයාට හවස තුනෙං පස්සෙ තැනයි වෙලාවයි කියල... තැන නං මං ඩිසයිඩ් කරල ඉවරයි... වෙලාව තමයි තවම නැත්තෙ... කෝකටත් මං මැසේජ් එකක් තියන්නං... දැං ඔයා මිෂන් එක ෆිනිස් කරන්න... බුදු සරණයි...!’’
ප්‍රතිෂ්ඨ වදනක් දෙකක් මුදා හැරීමට පෙර ම ඇය දුරකතනය විසංධි කළා ය.
‘මොන රෙද්දද්ද ඒ... මං මොනවත් කියන්නත් ඉස්සෙල්ල ෆෝන් එක ඕෆ් කරේ...? කෝල් එකක් ගන්නව ද...? එක්කො ඕන්නෑ... ඕනෙ උනාම ගන්නැතෑ... එක වෙලාවකට මේ ගෑනි මෙලෝ මිනිහෙකුට තේරුං ගන්න බැරි මහ පිස්සු හටනක්... නෑ... මං එහෙම හිතන එකත් හරි නෑ... ගෑනිගෙ හිතේ මොකක් හරි ලොකු කලකිරීමක් හරි... වේදනාවක් හරි තියෙනව. ගෑනිට ඒක කාට හරි කියන්නත් ඕනෙ. හැබැයි කියන්න තරං විශ්වාස කෙනෙකුත් නෑ. දැං මට හිතෙන්නෙ ගෑනිගෙ හිතේ ටිකක් හරි විශ්වාසයක් තියෙන්නෙ මං ගැන විතරයි. මං ඒ විශ්වාසෙ කැඩුවොත්... ඔවු... ඒ විශ්වාසෙ කඩන එක හරි නෑ. මගේ ඉලක්කෙ හරි ගියත් නැතත් ගෑනි මං ගැන තිබ්බ විශ්වාසෙ තව දුරටත් එහෙම්ම ම තියෙන්න ඕනෙ. බලමු... ඉස්සරහට එන විදියකට මූණ දෙමු...’
යතුර පැදිය නවතාගෙන සිටි ස්ථානයේ සිට ම බොහෝ දේ මනසින් විග්‍රහ කළ ප්‍රතිෂ්ඨ යළි නිවස බලා පැමිණියේ අනාගතයේ දී සිදුවන හෝ ඇය විසින් සිදු කරනු ලබන ඕනැම දෙයක් සඳහා මුහුණ දිය යුතුය යන අදහස පෙරදැරිව ය.
* * * * * *
දිවා ආහාරයෙන් ඉක්බිති අලස සුවයක් විඳීමේ අදහසින් සයනයේ වැතිරුණ ප්‍රතිෂ්ඨ ඔහු ද නොදැනුවත්ව නිදි ලොවට පිවිසිණ. ඔහු එම නිදි ලොවෙන් පියවි ලොවට රැගෙන ආවේ සවස තුනයි විස්සට පමණ නාද වූ දුරකතනයේ හඬයි.
ඔහු, අඩක් නින්දේ ද අඩක් පියවි ලෝකයේ ද අතරමං වූවකු සේ දුරකතනය අතට ගෙන බලන විට ඇමතුම ගලා එන්නේ සචේතනී වෙතින් බව පැහැදිලි කරගත්තේ ය; වහා නැගී සිට සයනයේ වාඩිගත් හෙතෙම ඇමතුම විවෘත කළේ ය.
‘‘ඔවු සචේති කියන්න...’’
‘‘මෙහ්... මං කියාපු ගමන යන්න පුළුවං...’’
සචේතනී පිළිවදන් සැපවූයේ ප්‍රහර්ෂණාත්මක ස්වරයෙනි. එහෙත් ප්‍රතිෂ්ඨට එය එතරම් නොදැනිණ.
‘‘ඉතිං...?’’
‘‘ඉතිං කියන්නෙ... ඔයා කිව්වෙ තැනයි වෙලාවයි කියන්න කියල...’’
ප්‍රතිෂ්ඨගේ විමසීම පිළිබඳ විමතියට පත් සචේතනී යළි අවධාරණය කළා ය.
‘‘කෝ ඉතිං ඔයා තවම තැනයි වෙලාවයි කිව්වෙ නැහැ නෙ...’’
එවර ප්‍රතිෂ්ඨ පිළිවදන් සැපවූයේ කිසියම් ප්‍රහසනාත්මක ස්වරයකිනි.
‘‘අනෙහ් මේ... විහිළු නෙවෙයි... මේ අහන්නකො...’’
ඇය පවසන දෑ පිළිබඳ ප්‍රතිෂ්ඨ එතරම් අවධානයක් යොමු නොකරන බව හැඟුණ සචේතනී තරමක නොරිස්සුම් ස්වරයකින් පැවසුවා ය.
‘‘හරි හරි... මං මේ අහගෙන ඉන්නෙ... ඔයා කියන්න.’’
‘‘මෙහ්... ඔතන කවුරු හරි ඉන්නව ද...?’’
එවර සචේතනී විමසුවේ වෙසෙස් යමක් පවසන්නට ඇති බවට ඉඟි කරමිනි.
‘‘නෑ... මං විතරයි ඉන්නෙ... ඔයා ඕනෙ දෙයක් කියන්න.’’
එවර ප්‍රතිෂ්ඨ ද පැවසුවේ කිසියම් බලාපොරොත්තුවක් සහිතව ය.
‘‘මේහ්... දවසක් ඉන්න බලාගෙන එන්න පුළුවන් ද කියන්නකො...’’
‘ම්ම්ම්... දවසක් ඉන්න බලාගෙන... ඒ මොකද්ද ඒ...?’
ප්‍රතිෂ්ඨගේ සිතුවිල්ලට බාධා කළ සචේතනී යළි ඔහු ඇමතුවා ය.
‘‘මොකද සද්ද නැතුව ඉන්නෙ... වයිෆ්ව දාල රැයක් ඉන්න අමාරු ද...?’’
සචේතනී එසේ විමසුවේ ප්‍රහර්ෂණය ද පිරි ස්මිතයකින් මුව සරසාගෙන බව ප්‍රතිෂ්ඨට හැඟිණ. ඒ ඇගේ වදන් ගලා එන ස්වරය ඔහු හොඳින් ම හඳුනන බැවිනි.
‘‘මොකද අනේ... මං තාම හා ද බෑ ද කිව්වෙත් නෑ... ඔයා එක එක දේවල් උපකල්පනය කරලත් ඉවරයි.’’
ඔහුගේ සිත රිදුණා යැයි අනුමාන කළ සචේතනී ක්ෂණිකව ම සිය හඩ ස්වරය වෙනස් කරමින් ප්‍රතිෂ්ඨ ඇමතුවා ය.
‘‘අනේ සොරි ප්‍රතිෂ්ඨ... අයැම් වෙරි සොරි...’’
‘‘හරි හරි... ඒකෙ අවුලක් නෑ... දවසක් ඉන්න බලාගෙන එන්නං... දැං ඔයා විස්තරේ කියන්නකො.’’
* * * * * *
එතැන් සිට මිනිත්තු දහයක් පමණ ගලා හැලෙන දිය ඇල්ලක් සේ සචේතනීගේ මුවෙන් ගලා ආ නොනවතින වදන් වැල ප්‍රතිෂ්ඨ ප්‍රහර්ෂයට පත් කළා පමණක් නොව විස්මයට ද පත් කළේ ය. ඒ, ඔහු කිසි සේත් ම සචේතනී වෙතින් එවන් යෝජනාවක් බලාපොරොත්තු නොවූ බැවිණි.
ඇගේ යෝජනාවට අනුව සඳුදා ඔහු ඇය සමග යා යුත්තේ ඔහුත් ඇයත් ඉතා වෙහෙස මහන්සි වී ‘‘සිංහල ව්‍යාකරණයේ වෙසෙස් ලක්ෂණ’’ කෘතිය සොයා දුන් මිතුරිය වන සඛිලාගේ නිවසට ය. ඔවුන් දෙදෙනාගේ ඇසුර ඇරඹෙන්නේ ද එම කෘතිය සහ යෙහෙළිය පාදක කරගනිමිනි. සඛිලාගෙන් ලබාගත් එම කෘතිය අස්ථානගත නොවුණේ නම් සචේතනී සහ ප්‍රතිෂ්ඨ යන දෙපළ පිළිබඳ කතාවක් ඔබට අසන්නට නොලැබෙනු ඇත.
සචේතනී සහ ප්‍රතිෂ්ඨ අතර හුවමාරු වූ දුරකතන ඇමතුම තුළ සචේතනී ප්‍රතිෂ්ඨ වෙතින් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න මතුපිටින් දක්නට ලැබුණ ද එහි යටි අරුත ගැඹුරු ස්වභාවයක් උසුලන බව ප්‍රතිෂ්ඨට පසක් විය. එනම් ඇය ඔහු සිතුවාටත් වඩා ඉතාම විවෘත අදහස් දරණ කාන්තාවක් බව ඔහු ප්‍රත්‍යක්ෂ කරගත්තේ ය.
ඇයට අනුව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මිතුරියක් වෙනුවෙන් හෝ මිතුරෙක් වෙනුවෙන් මිතුරියකට හෝ මිතුරකුට කළ නොහැකි උපකාරයක් නොමැත. මිතුරා හෝ මිතුරිය අනෙකාගෙන් ඉල්ලා සිටින කුමන හෝ උපකාරයක් (කළ හැකි), කුමන හෝ පදනමක් (ලජ්ජාව, සම්ප්‍රදාය, සදාචාරය, සංස්කෘතිය, සමාජ විරෝධය යනාදිය) මත ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් අතර සැබෑ මිත්‍රත්වයක් තිබිය නොහැකි ය. බොහෝ විට මිතුරකු හෝ මිතුරියක තම මිතුරාගෙන් හෝ මිතුරියගෙන් ඉල්ලා සිටින උපකාරය අන් කිසිවකුගෙන් හෝ ඉල්ලා සිටිය නොහැක්කක් විය හැකි ය. ඔහු හෝ ඇය අනෙකාගෙන් අදාළ උපකාරය ඉල්ලා සිටින්නේ ඒ විශ්වාසය මත ය. ඉදින් එකිනෙකා කෙරෙහි විශ්වාසය තබන්නට නොහැකි නම් එම මිතු දමෙන් ද ඵලක් නොමැත. තවදුරටත් පවසන්නේ නම් ඇයට අනුව මිත්‍රත්වය යනු ආසන්නතම ඥාති සබඳතාව ද අභිභවන මිනිස් බැඳීමකි. ඒ අනුව ඇයට මා දැන් එබන්දෙකි. මා ඇය ඉල්ලා සිටින, මට කළ හැකි ඕනෑම උපකාරයක් ඇය වෙනුවෙන් කරතැයි ඇය බලාපොරොත්තුව සිටින්නී ය. නමුදු අදාළ උපකාරය කුමක් ද යන්න ඇය තවමත් ප්‍රතිෂ්ඨ සමග ඍජුව සාකච්ඡා කර නොමැත. එළඹෙන සතිය ආරම්භක දිනයේ එනම් අනිද්දා ඔහුට ඇය හමුවන්නැයි ආරාධනා කරන්නේ එබඳු උපකාරයක් බලාපොරොත්තුවෙනි.
මේ මොහොත වන විට ප්‍රතිෂ්ඨ ගත කරන්නේ එක්තරා ආකාරයක සංක්‍රාන්තික කාල සීමාවකි. මන්ද ඔහු සචේතනී දුටු පළමු නිමේෂයේ ම ඇය කෙරෙහි ආසක්ත වූයේ ඇගේ රූ සොබාව හේතුවෙනි. එය වඩ වඩාත් පහසු කරමින් කුමන හෝ හේතුවක් මත ඇය ඔහු කෙරෙහි සමීප කෙරිණ. එතැන් සිට බොහෝ කාලයක් පුරා ප්‍රතිෂ්ඨගේ මුඛ්‍ය අරමුණ වූයේ ඇගේ ශෝභාවත් සිරුරේ පහසේ ගිලී සැනහීම ය. නමුදු ඔවුන් පසු කර ඇදී ගිය සිවු මසක පමණ කාලය ඇතුළත කුමන හෝ බලවේගයක් විසින් ප්‍රතිෂ්ඨගේ මුඛ්‍ය අරමුණ දුරස් කෙරෙමින් පවතී; එහෙත් ඇය කෙරෙන් ඉවත් නොවන ලෙස ද එම බලවේගය ප්‍රතිෂ්ඨ වෙත බල කෙරෙමින් පවතී. දෛවය, ඉරණම යනාදි කිසිවක් කෙරෙහි විශ්වාසය නොතබන ප්‍රතිෂ්ඨ ඔහු සහ සචේතනී අතර පවත්නා සබඳතාව මේ ආකාරයට පවත්වාගෙන යන්නට අවකාශ සලසන්නේ කුමන බලවේගයක් ද යන්න පිළිබඳ නිරන්තරව තමාගෙන් ම විමසයි.
* * * * * *
තත්ත්වය එසේ වුව ද සඳුදා පහන්වන තෙක් ම ඔහුට ඒ සඳහා නිශ්චිත පිළිතුරක් සොයාගැනීමට නොහැකි විය. එසේ වුව ද ඔහු දැන් සචේතනී වෙත පොරොන්දු වූ ආකාරයට උදෑසන පහ වන විට; එනම් තව හෝරාවකුත් අඩ හෝරාවක් ඉක්ම යාමට මත්තෙන් මාකුඹුරේ පිහිටි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත යා යුතු ය. එහි දී ඔහුගේ යතුරු පැදිය එහි ගාල් කර සචේතනීගේ යතුරු පැදියෙන් ඇය ඔහු රැගෙන යන, ඇගේ විශ්වාසවන්ත ම මිතුරිය ලෙස සැලකෙන සඛිලාගේ නිවසට යා යුතු ය. ඉනොබ්බට සිදු කළ යුත්තේ කුමක් ද යන්න හෝ සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ අංශු මාත්‍රයක අවබෝධයක් ප්‍රතිෂ්ඨ සතුව නොමැත; පවතින්නේ සචේතනී පිළිබඳ විශ්වාසය ම පමණි.
විවාහයෙන් ඉක්බිතව වුව ද බොහෝ කාන්තාවන් සමග (ගණිකාවන් යැයි ලේබල් නොඇලවුණ) ලිංගික සම්බන්ධතා පවත්වා තිබුණ ද, සචේතනී ඇසුරු කළ ආරම්භක අවදියේ ද එබඳු අදහසක් මෝරා වැඩෙමින් තිබුණ ද මේ වන විට පවතින වටපිටාව අනුව එවන් සිතුවිල්ලක් තමාගේ සිත තුළ පහළ වීම පවා ඔහුට කිසියම් මානසික ආතතිමය තත්ත්වයක් බවට පත්විය. සරලව ම පවසන්නේ නම් ඔහුගේ මනස සියලු ක්ලේශ නැසූවකු සේ ක්‍රියාකිරීම දක්වා පොළා පැන තිබිණ. එහෙත් නිරන්තරයෙන් ම සචේතනී දුටු පළමු නිමේෂය පවා මනසේ සිතුවම් වීම ද නවතාලිය නොහැකි විය. මන්ද ඔහුට නිරන්තරයෙන් ම සිහිපත් වන්නේ හෙතෙම තවමත් සචේතනී පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා නොමැති ය යන්න ය. එබැවින් ඇය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබාගන්නා තුරු ඇය සමග විසිය යුත්තේ ඉතා ප්‍රවේශම්කාරී අවධියකි. එම අවධිය ගත කරන තෙක් තමාගේ ජාගර සිතුවිලි පලවා හැරිය යුතු නොවේදැයි තමාගෙන් ම විමසා ගත්තේ ය; එමතු නොව එය ඒ ආකාරයෙන් ම සිදු කළ යුතු යැයි තරයේ අදිටන් කරගත්තේ ය.
‘ඔවු... මට සචේතනිත් එක්ක රඟපාන්න වෙන්නෙ මෙච්චර කාලයක් ඇසුරු කරපු කාන්තා චරිත එක්ක රඟපාපු චරිතය අභිභවන චරිතයක්. මං විශ්වාස කරනව ඒ චරිතෙ මට රඟපාන්න පුළුවන් වෙයි කියල. එහෙම රඟපෑවොත් මම දිනුම්.’
එබඳු සිතුවිලි සමුදායක වෙළී අලස සුවයෙන් සයනයේ දිගැදී සිටි ප්‍රතිෂ්ඨ යළි පියවි ලෝකය වෙත පතිත කළේ ඔහුගේ දුරකතනය වෙත ලද කෙටි පණිවිඩය යි.
ඉවර නෑ...(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2023/05/26
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්