1200 x 80 DMirror

 
 

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට ජනප්‍රියම චරිතයකි. එනමුත් ඉකුත් 09 වැනිදා රටපුරා උද්ගත වූ ප්‍රචන්ඩකාරී තත්ත්වය

මැඬපැවැත්වීම හමුදාව ප්‍රමාද වූ බව විපතට පත් වූ මැති ඇමැතිවරු දිගින් දිගටම චෝදනා කරති. එම චෝදනාව වැඩියෙන්ම එල්ල වන්නේ හිටපු අගමැතිවරයා මුදා ගැනීමට ප්‍රමාද වූ බව කියමිනි. මේ චෝදනාව එල්ල වන අතරේ ඔහු ජුනි 01 සිට යුද හමුදාපති පුටුවට සමු දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර තිබේ. මේ ඒ ගැන ඔහු 'අරුණ' පුවත්පත සමග කළ සාකච්ඡාවකි.



ප්‍රශ්නය :
නොසිතූ මොහොතක ඔබට යුද හමුදාපතිකම අතාරින්න වුණා නේද?


ශවේන්ද්‍ර :
මම වසර දෙකහමාරක් යුද හමුදාපති ධුරය දැරුවා. ඉතිං මං දන්නවා කොයි වෙලාවක හරි යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගන්න වෙනවා කියලා. තනතුරු කාටවත් සදාකාලිකව ලැබෙන්නේ නෑනේ. මම මේ වසරේ විශ්‍රාම ගන්න හිටියේ. යුද හමුදාපති ධුරයට අමතරව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයෙත් මම වැඩ බැලුවා. මම විශ්‍රාම ලබන්න ඉන්නකොට තමයි ජනාධිපතිතුමා කීවේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා හමුදාපති යන තනතුරු දෙකම ප්‍රබල තනතුරු දෙකක්. දෙකේම තියෙන්නේ රාජකාරි දෙකක් නිසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ වැඩ කරගෙන යන්න කියලා. මොකද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පනත අනුව එම ධුරයට පත් කරන්න ඕනේ සේවයේ යෙදී සිටින හමුදාපති තුන් දෙනාගෙන් එක් අයෙක්.

2009 ට පෙර එම ධුරයට පත් කෙරුණේ හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගියාට පස්සේ. නමුත් දැන් ත්‍රිවිධ හමුදාවේ සක්‍රිය සේවයේ සිටින හමුදාපති තුන්දෙනාගෙන් එක් අයෙක් තමයි මේ ධුරයට පත් වෙන්නේ. දැන් සිටින හමුදාපති තුන්දෙනාගෙන් ජ්‍යෙෂ්ඨයා මා නිසා එම ධුරයට මා පත් වුණා.



ප්‍රශ්නය :
කොවිඩ් උද්ගත වූ මොහොතේ ඔබ ඔය තනතුරු දෙකම හොඳින් කරගෙන ගියා නම් ඇයි එකපාරටම මේ වගේ වෙලාවක තනතුරු දෙක දෙන්නෙකුට දෙන්න ජනපතිවරයා තීරණය කළේ?

ශවේන්ද්‍ර :
ඒක ඉතින් රජය තීරණය කරන්නේ. හදිසියක් කියලම නෙවෙයි. මේ තනතුරු වෙනස් කරන්න ජනාධිපතිතුමාට බලය තියෙනවා. ඒක ජනාධිපතිතුමා ගනු ලබන තීරණයක්. ඉතින් මට මේ පිළිබඳ දැනුම් දුන්නා. ඒ අනුව මම ක්‍රියාත්මක වුණා.


ප්‍රශ්නය :
මැයි 9 වැනිදා රටේ උද්ගත වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය නතර කරන්න හමුදාව මැදිහත් වුණේ නෑ කියලා චෝදනාවක් ආවා. ඒ නිසාද ඔබට හමුදාපතිකම නැති වුණේ?


ශවේන්ද්‍ර :
මා හමුදාපති ධුරයෙන් විශ්‍රාම ලැබීමත් ඒ සිද්ධියයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒකට ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා මේ තනතුරු මාරුව දැනට රටේ පවතින තත්ත්වයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා.



ප්‍රශ්නය :
එහෙනම් ඇයි ජනාධිපති විශ්‍රාමික ත්‍රිවිධ හමුදාපතිලාගෙන් සමන්විත කමිටුවක් පත් කළේ. මැයි 9 දා සිද්ධියේදී හමුදාව ක්‍රියාත්මක වීමේදී සිදු වූ අඩුපාඩු සොයා බලන්න. ඒ අතර හමුදාපති මාරු කරනවා. එතකොට මෙතන මොකක් හරි තියෙනවා කියලා ඕනෑම අයකුට සැකයක් ඇති වෙනවා නේද?



ශවේන්ද්‍ර :
ඒ කමිටුව පත් කළේ ත්‍රිවිධ හමුදාව පිළිබඳ සොයා බලන්න. මීට පෙර කොවිඩ් ආරම්භයේදීත් ත්‍රිවිධ හමුදාව ඒ සබැඳිව ඇති සූදානම සොයා බලන්න මේ වගේ කමිටුවක් පත් කළා.

 

'' 09 දා සිද්ධියේදී ත්‍රිවිධ හමුදාවෙන් යම් අඩුවක් වුණාද, ඉදිරි කාලයේදී මේ වගේ දෙයක් වළක්වා ගන්නේ කොහොමද කියලා සොයා බලන්න තමයි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. ඒ ගැන තවම මට අවබෝධයක් නැහැ. ජනාධිපතිතුමා මටත් ආරක්ෂක ලේකම්වරයාටත් කිව්වා මැයි 09 සිද්ධිය හෝ රටේ දැනට පවතින වාතාවරණය කිසිම බලපෑමක් මේ පත්වීම සම්බන්ධ නැහැ කියලා.

 

ප්‍රශ්නය :
එනමුත් මැයි 09 දා රාත්‍රියේ හමුදාව එවන්න ප්‍රමාද කළා කියලා ඔබට චෝදනාවක් එල්ල වෙනවා නේද?


ශවේන්ද්‍ර :
හමුදාවෙන් කිසිම ප්‍රමාදයක් වුණේ නෑ. 09 දා පළමුවැනි නිවස ගිනි තියනකන් ගෙවල් ගිනි තියන්න යනවා කියලා කිසිදු බුද්ධි තොරතුරක් තිබ්බෙත් නැහැ. නමුත් අපිට එක් එක් අවස්ථාවල අතන මෙතන ගිනි තියන්න යනවා කිව්වම ඒවා මැඬ පැවැත්වීමට භට පිරිස් යවලා තියෙනවා. මන්ත්‍රීවරුන් මට කතාකරලා කියපු තැන්වලටත් භටපිරිස් යැව්වා.


ප්‍රශ්නය :
මෙවැනි අර්බුදයක් රටපුරා උද්ගත වුණාම කාටද වගකීම තියෙන්නේ?


ශවේන්ද්‍ර :
ඒ ඒ පළාත් භාරව ඉන්න අයට තමයි වගකීම තියෙන්නේ. ඒ පළාත ගැන හොඳටම අත්දැකීම්, දැනුමක් තියෙන්නේ ඔවුන්ට. එහෙම නැතිව මට විතරක් නෙවෙයි. ඒ පළාත් භාර නිලධාරින් තොරතුරු අනුව කටයුතු කරලා තියෙනවා.



ප්‍රශ්නය :
මේ සිද්ධි දාමයේ ආරම්භය කොතනින්ද පටන් ගත්තේ?


ශවේන්ද්‍ර :
දකුණු පළාතෙන් පළමු ගිනි තැබීම පටන් ගත්තේ. ගාල්ලේ රමේෂ් පතිරණ ඇමැතිවරයාගේ නිවස ගිනි තියලා. එතැන් පටන් කියන කියන තැන්වලට භට පිරිස් යවලා අපි ක්‍රියාත්මක වුණා. පළාත් භාර නිලධාරින් ඒ පැතිවලට භට පිරිස් යවද්දී සමහර තැන්වලට ළඟා වෙද්දී ගිනි තියලා තිබුණා. සමහර තැන්වල ගිනිතියන්න නොදී ගල් ගහලා යන තැනට කලහකාරීත්ව සීමා කරලා තිබුණා. සමහර තැන්වල ගලක්වත් ගහන්න නොදී බේරගන්න හමුදා භට පිරිස්වලට හැකියාව ලැබුණා.



ප්‍රශ්නය :
නමුත් හමුදාව වගකීම නිසි පරිදි කළේ නෑ කියලා චෝදනා එල්ල වෙනවා?


ශවේන්ද්‍ර :
හමුදාව හමුදාවට රකින්න පුළුවන් උපරිමය මෙතැනදී කළා. කෙසේ වෙතත් හමුදාවෙන් යම් කිසි හෝ අඩුපාඩුවක් වුණාද බලන්න මම යුද හමුදාවේ දෙවැනියා හා තුන්වැනියා යටතේ වෙන වෙනම මණ්ඩල දෙකක් පත් කරලා තියෙනවා. ඒ මණ්ඩල දෙකේ පරීක්ෂණ අවසන් අදියර තියෙන්නේ. බොහෝ විට හෙට අනිද්දා වෙද්දී වාර්තාව ලැබෙනවා.


ප්‍රශ්නය :
යුද්ධයක් දිනීමට තරම් දක්ෂ බුද්ධි අංශයක් තිබියදී ඇයි මෙවැනි දෙයක් ගැන බුද්ධි වාර්තාවක් කලින් ආවේ නැත්තේ?


ශවේන්ද්‍ර :
ඕනෑම දේකට සූදානමක් තිබ්බා. බුද්ධි තොරතුරු සාමාන්‍යයෙන් හම්බවුණා. නමුත් මේ තරම් විනාශයක් ගැන වාර්තා වුණේ නැහැ. පෙට්‍රල් බෝම්බ ගහලා ගිනි තියන්න යනවා කියලා කොහේදිවත් වාර්තා වූයේ නැහැ. ඒ නොවුණත් තිබ්බ වාතාවරණයත් එක්ක හැකි ඉක්මනින් ක්‍රියාත්මක වෙලා දේපොළ රැක බලා ගැනීමට අපට හැකියාවක් තිබුණා.


ප්‍රශ්නය :
ඔබ විසින් පළාත්වලට පත්කර තිබූ සේනාංකාධිපතිවරුන්ම මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න පෙර සූදානමක් තිබ්බේ නැද්ද?


ශවේන්ද්‍ර :
පළාත්වල ඉන්න නිලධාරින්ට ඕනෑම දෙයක් වළක්වන්න හැකියාව තියෙනවා. සමහර ප්‍රදේශවල තැන් තුන හතරක සිදුවීම් වී තිබුණේ පැයක් වැනි කෙටි කාලයක් තුළ. සමහර ස්ථානවලදී කිසිදු දෙයක් වන්නට නොදී වගබලා ගත්තේ ඒ අයගේ ක්‍රියාත්මක වීම නිසයි.

 

මැල්සිරිපුර මන්ත්‍රීවරයකුගේ ගෙදරක් වට කරලා කියලා මට කිව්වම ඒ වෙලාවේම හමුදාව යැව්වා. කඳවුරේ ඉඳන් එතනට කිලෝ මීටර් 38 ක් තිබුණා. යද්දී ගේ ගිනිගන්නවලු. මුළු ගමේම අය එතැන ඉඳලා තියෙනවා. කවුරුවත් වතුර බාල්දියක්වත් අරගෙනවත් ගහලා නැහැ. ඒ වගේ වටපිටාවක් එදා තිබුණේ.

 

ප්‍රශ්නය :
කලහකාරීන්ට වෙඩි තියන්න ඉහළින් නියෝග දුන්නත් හමුදාව ඒ සඳහා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම හමුදාව කලින්ම පාරට බැස්සුවේ නැහැ කියලත් චෝදනා නැගෙනවා නේද?


ශවේන්ද්‍ර :
ඒ චෝදනා මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි 09 දා රාත්‍රියේ පැය තුනක්, හතරක් ඇතුළත සම්පූර්ණයෙන්ම රටේ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කළා. හමුදාව සෑම දිස්ත්‍රික්කයකටම යෙදවූවා. මැයි 09 දා උදේ තිබුණු තත්ත්වය එක්ක රෑ වෙද්දී වුණු දේ ගැන කවුරුත් කලින් දැනුවත්ව හිටියේ නැහැ. රටේ හැම තැනම එකම වෙලාවක මේ ආකාරයේ සිදුවීම් වෙයි කියලා කිසිම කෙනකුට අවබෝධයක් තිබ්බේ නැහැ. පැය කිහිපයක් ඇතුළත සිදුවීම් වුණත් අප ඒ සියල්ල නතර කළා. ගෙවල්වලට ගිනි තියන සිදුවීම් වාර්තා වෙද්දී හමුදාව ක්‍රියාත්මක වූ නිසයි පැය තුනක් ඇතුළත රටේ අනිත් තැන්වලට පැතිරෙන්න ඉඩ නොදුන්නේ.


ප්‍රශ්නය :
හදිසි නීතිය ක්‍රියාත්මක වුණු නිසා පොලිසිය මුල් අවස්ථාවේදීම තමන්ගේ වගකීම්වලින් මිදිලා හමුදාව කරනකම් බලා හිටියා වගේ තත්ත්වයක් නේද තිබුණේ?


ශවේන්ද්‍ර :
මේවා වන විට අපි හිටියේ කොළඹ. කොළඹ වෙච්ච දේ අපි හොඳින් දැක්කා. මේ පිළිබඳ පරීක්ෂණයේදී ඒ ඒ අය ක්‍රියාත්මක වුණු ආකාරය එළියට ඒවි.

jp7un3p sri lanka violence afp 650 625x300 10 May 22

මැයි 09 රාත්‍රී අරලියගහ මන්දිරයේ සිරවූ අගමැතිවරයා මුදාගැනීමට මෙහෙයුමක්..

 

ප්‍රශ්නය :
ලෝක හමුදා ඉතිහාසයේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ විශාලතම හමුදා මෙහෙයුමට 13 වසරකට ඉහතදී 58 වැනි සේනාංකාධිපති හා කමාන්ඩෝ බළ සේනාධිපති ලෙස නායකත්වය දුන්නේ ඔබයි. නමුත් අරලියගහ මන්දිරයේ මැයි 09 රාත්‍රී සිරවූ අගමැතිවරයා ඇතුළු පිරිස මුදා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දීමේදී ඔබෙන් ප්‍රමාදයක් වුණා නේද?



ශවේන්ද්‍ර :
නෑ… කිසිදු ප්‍රමාදයක් වුණේ නෑ. අපි මුලින්ම එතැන තිබුණු තත්ත්වය අවබෝධ කරගන්න ඕනේ. අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට හමුදා පොලිසිවලින් යොදවපු කණ්ඩයක් යොදවා තිබුණා. පොලිසියට මෙතැන ආරක්ෂාව කරගෙන යන්න බැරි තත්ත්වයක් එදා ඇති වුණා. තත්ත්වය පාලනය කරගන්න අපහසු බව දැනගත් වහාම යුද හමුදාවේ බළ සේනාවක් යෙදෙව්වා. නාවික හා ගුවන් හමුදාවේ භට කණ්ඩයන් පවා යෙදෙව්වා. නාවික හමුදාවට එක් ප්‍රවේශ මාර්ගයකුත්, ගුවන් හමුදාව එක් ප්‍රවේශයකුත්, අනෙක් ප්‍රවේශ තුනට යුද හමුදාවත් යෙදෙව්වා.

 

ගාලු පාර දිගේ සහ ප්‍රධාන දොරටු දෙකක්ම කඩාගෙන එන තත්ත්වයක් ඒ වන විට තිබුණා. පොලිසිය පාලනයේ තිබූ ඒ ගේට්ටු දෙකට හමුදාව දාලා අරගලකරුවන් ඇතුළට එන්න දෙන්නේ නැතිව අල්ලා ගත්තා. ඒ වන විටත් පෙට්‍රල් බෝම්බ විසි කරලා ට්‍රක් එකක් ගිනි ගත්තා. අරලියගහ මන්දිරය ඇතුළේ ලෑන්ඩ් රෝවර් ජීප් රථයක් ගිනි ගත්තා. භූමියේ තත්ත්වය බ්‍රිගේඩියර්වරයකු යටතේ පාලනය කරන ගමන් අපි මෙහෙයුම් මැදිරියේ ඉඳන් සියල්ල නිරීක්ෂණය කරමින් අවශ්‍ය උපදෙස් දෙමින් අගමැතිතුමා මුදා ගත්තා.

 

අපි වෘත්තීය හමුදාවක්. අපි බොහෝ කාලයක් යුද්ධ කරලා අත්දැකීම් ලබලා තිබෙනවා. එබැවින් කලබල වෙලා අපි තීරණ ගන්නේ නෑ. අගමැතිතුමා ආරක්ෂිතව මුදා ගත්තේ සැලසුමට අනුවයි. ඒකට නියමිත වේලාවක් තිබුණා. හමුදාව ගැන අවබෝධයක් නැති අයකුට එවැනි මෙහෙයුමක් එකවර තේරුම් ගන්න අමාරයි. සියල්ල වුණේ සැලසුමට මිසක් ප්‍රමාද වීම නිසා නොවේ.

 අපි අරලියගහ මන්දිරය ඩ්‍රෝනා යානාවලින් නිරීක්ෂණය කළා. ඒ මොහොතේ අපි දැක්කා ගාලු පාරෙන් එක දිගටම ප්‍රහාර එල්ල කරමින් ගේට්ටුව කඩන්න උත්සාහ කරනවා. අපි වහාම මේජර් ජෙනරාල්වරයකු යටතේ එතැනටත් අතිරේක කණ්ඩායමක් යැව්වා. එතැන් සිට එතැන සිටි කලහකාරී පිරිස් අරගල භූමිය දක්වා පලවා හරින්න හැකි වුණා. පාන්දර වෙද්දී තත්ත්වය පාලනය කළා.



ප්‍රශ්නය :
එතැනින් පස්සේ අගමැතිවරයා මුදාගත් මෙහෙයුම වුණේ කොහොමද?

ශවේන්ද්‍ර :
ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමටත් වඩා භයානක තත්ත්වයක් ඒ මොහොතේ තිබුණේ. අග්‍රාමාත්‍යවරයාත්, අරලියගහ මන්දිරයේ රැඳී සිටියේ. අගමැතිතුමා බේරාගත්තත් එතැන් සිට ආරක්ෂිත තැනකට රැගෙන යාමත් අභියෝගයක් වුණා. හැම තැනම මහ මග කලහකාරී පිරිස් රංචු ගැහෙමින් හිටියේ. හමුදාවේ ක්‍රමවේදයන් භාවිත කරලා අපි අගමැතිතුමාව මුදාගෙන ආරක්ෂිත තැනකට රැගෙන ගියා.



අගමැතිතුමා අරලියගහ මන්දිරයෙන් පිටතට ගැනීමට ඉතා සූක්ෂ්ම මෙහෙයුමක් ක්‍රියාත්මක වුණේ. කිසිදු ජීවිත හානියකින් තොරව නිරුපද්‍රිතව ආරක්ෂිත ස්ථානයකට අගමැතිතුමා ඇතුළු පවුලේ අය රැගෙන යාමට වූ අභියෝගය හමුදාව සාර්ථකව කළා. යුද හමුදාපති වශයෙන් මම රහසිගතව සැලසුමක් ක්‍රියාත්මක කරලා නිරුපද්‍රිතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළා. සම්පූර්ණයෙන්ම ඒ සැලසුම මම රහස්‍යභාවය රැකගෙන ක්‍රියාත්මක කළා. අග්‍රාමාත්‍යවරයා වැනි ප්‍රභූවරයෙක්ව හදිසි අවස්ථාවකදී මුදා ගැනීමේ ක්‍රමවේදයන් තිබුණත් අරලියගහ මන්දිරයේ තිබුණේ ඊටත් වඩා දරුණු තත්ත්වයක්. පාරවල් අවහිර කරලත් තිබුණේ. අපේ වසර ගණනක පල පුරුද්ද මත සැලසුම් කරලා මෙය ජයගත්තා. ඒක නිදිවර්ජිත මෙහෙයුමක් වුණා.



ප්‍රශ්නය :
ඇතැමුන් ඔබට චෝදනා කරනවා ඇත්තටම මේ මෙහෙයුමෙන් පස්සේ ජනපති, අගමැති ඔබට මොකද කීවේ?


ශවේන්ද්‍ර :
ජනාධිපතිතුමා හා අගමැතිතුමා මට ස්තූති කළා. ස්තුතිය ලැබුණා හෝ නොලැබුණා ඒක අපේ රාජකාරියක්.



ප්‍රශ්නය :
දැන් එළියේ ලොකු කතාබහක් යනවා. යුද හමුදාපති පුටුවෙන් විශ්‍රාම ලැබුවාට පස්සේ ඔබ දේශපාලනයට එනවා කියලා.


ශවේන්ද්‍ර :
දැනට හමුදාපතිකමින් නික්ම යද්දී මා ආරක්ෂක මාණ්ඩලික තනතුරට පත් කරලා තියෙනවා. හමුදා තුනේම රටේ සිටින නිල ඇඳුම් අඳින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා මමයි. මගේ ගැන තියෙන විශ්වාසවන්තභාවය නිසයි මාව මෙතැනට පත් කරන්නේ. මට කළ හැකි උපරිමය රටට කරනවා. මම හමුදාවට බැඳුණෙත් රටේ උපරිම යුද්ධයක් තිබ්බ කාලයකයි. අපේ කාලයේදී යුද්ධය අවසන් කරන්න හැකි වුණා. යුද්ධය අවසන් දින යුද භූමියේ ඉඳලා අවසන් කරපු සේනාංකාධිපතිවරයා මම. මගේ යුතුකම ඉපදුණු රටට හමුදාවට බැඳිලා ගත්ත දැනුම භාවිත කරලා යුද්ධය අවසන් කළා.

 

trtrt

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොව්ඩ් වසංගත සමයේ කොවිඩ් වසංගතය පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස කටයුතු කළේ ය.

 

ඒ වගේම කොවිඩ් වසංගතයේදී ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස මාව ජනපති පත් කළා. එතැනදී නොහැක්කක් නොමැත කියලා අපි පටන් ගත්තා. කොවිඩ්වලට අපි මුහුණ දෙනවා කියලා, එදා කොවිඩ් ගැන නොදන්න කාලයේදී වගකීම ගත්තා. රටේන් කොවිඩ් අවදානම තුරන් කරන්නට ලංකාව පත් කරන්න අපට හැකියාව ලැබුණා.

මෙතෙක් දුන්න සෑම අභියෝගයක්ම ජයග්‍රහණය කරලා තියෙනවා. දැනට මම හමුදා ජීවිතයක් ගත කරන්නේ. ජීවත්වෙලා ඉන්නකම් රටේ ජනතාව ආරක්ෂා කරන්න ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න මම සූදානම්. රටේ ජනතාවට ඕනෑම අනිවාර්යය සේවයක් කරනවා ඕනෑම අවස්ථාවකදී.


ප්‍රශ්නය :
ඒ කියන්නේ ඔබට භාරදෙන ඕනෑම අභියෝගයක් ඉදිරියේදීත් භාර ගන්නවා

ශවේන්ද්‍ර :
මම යුද්ධය කරලා ජයගෙන තියෙනවා. කොවිඩ් අභියෝගය ජයගෙන තියෙනවා. එතැනින් එහාට දුන්නු අභියෝගත් ජයගෙන තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට මාව තානාපතිවරයෙක් කරලා යැව්වේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රටට එන බලපෑම වළක්වන්න. මගේ ධුර කාලයේදී රටට කිසිදු සම්බාධකයක් ගේන්න බලපෑමක් එල්ල කරන්න නිව්යෝර්ක් නුවර මම ඉද්දී ඉඩක් තිබ්බේ නැහැ.

එම ධුර කාලයේදී එක්සත් ජාතින්ගේ හමුදාවලට අපි රෝහලක් දැම්මා. එයින් විශාල විදේශ විනිමයක් අපට එනවා. ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් එක්සත් ජාතීන්ගේ හමුදා මෙහෙයුම්වලට එකතු කළෙත් මම ඇමෙරිකාවේ සිටියදීයි.

 

මම රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් එදත් සේවය කළා. ඉදිරියටත් මගේ උපරිමයෙන් සේවයක් කරනවා. කවදා වුණත් මේ රටේ ජනතාව වෙනුවෙන් ඕනෑම වෙලාවක උපරිමයෙන්ම සේවයක් කරනවා. රටේ මිනිසුන්ට වැඩ කරන්න තනතුරු අවශ්‍ය නැහැ.

 

ප්‍රශ්නය :
එවකට යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා 2009 දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කළේ තටු කපලා කියලා කියැවුණා. ඔබගේත් තටු කපලා මේ තනතුරට පත් කළා කියන්නේ ඇත්තක්ද? මේකේ බලතල නැද්ද? ඇතැමුන් මේ තනතුර සුදු අලියෙක් ලෙසත් පෙන්වා දෙනවා?

ශවේන්ද්‍ර :
දැනට මාව ඒ තනතුරට පත් කරලා තියෙනවා. ඉදිරියේදී ජනාධිපතිතුමා තීරණය කරයි මේ තනතුර ගැන. මේක සුදු අලියෙක් තත්ත්වයක්ද, නැතිනම් ඒ සඳහා බලතල දීලා තියෙන තත්ත්වයක් වෙයිද කියලා දැනට කියන්න අමාරුයි. මේ තනතුර විතරක් හොබවද්දී මොන ආකාරයේ රාජකාරියක්ද මගෙන් ඉටුවිය යුත්තේ කියලා ජනාධිපතිතුමා තීරණය කරයි. හැකියාව, දක්ෂතාව තුළ කළ හැකි සේවාවක් රාජකාරිය තුළ ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.


ප්‍රශ්නය :
හැමදේටම හමුදාවට ඉස්සරහට එන්න වෙලා තියෙන වෙලාවක රටේ අරගලකරුවන්ට, සමාජය දෙන්න පණිවුඩයක් තිබේද?


ශවේන්ද්‍ර :
අද හුඟක් අය හැමදේටම හමුදාවෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. බයිනෙත්තුවෙන් හමුදා වෙන්වත් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවලුත් තිබුණා.

 

''මේක 89, 71 වාතාවරණයක් නෙවෙයි. 71, 89 දී තිබ්බ වාතාවරණය යම්කිසි පක්ෂයක් හෝ යම්කිසි කණ්ඩායමක් කරපු ක්‍රියාවලියක්. මේක පොදුවේ රටේ හැම මිනිහගේම අපහසුතාවන් ඉස්මතුවෙලා ආපු තත්ත්වයක්. එවැනි තත්ත්වයක් පාලනය කිරීම ඒ කාලේ සංවිධාන මැඬ පැවැත්තුවා වගේ පහසු දෙයක් නෙවෙයි.''

 

අප මතක තබාගන්න ඕනේ ගඟක් කවදාවත් ආපස්සට ගලන්නේ නෑ කියලා. ගඟක් වගේ ජීවත්වීමට අප උත්සාහ කළ යුතුයි. අතීතය පැත්තකින් තියලා ඉදිරිය ගැන සැමවිටම ධනාත්මකව කටයුතු කරන්න. එතකොට මේ සියල්ලට පිළිතුරු ලැබේවි.


(aruna.lk :  සටහන - තිස්ස රවින්ද්‍ර පෙරේරා)



සබැඳි පුවත් :

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58