# සමාජ ප්රජාතන්ත්රවාදී වාමාශිකයන් වේවා ලිබරල් ප්රජාතන්ත්රවාදීන් වේවා සර්වාධිකාරීන් වේවා මේ කවුරු බලයට ආවත් රාජ්‍යයක් විදියට අප විශාල අර්බුදයකට මුහුණ දී සිටිනවා. මේ ඛේදනීය තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?
දීප්ති:
ඔබ අහන ප්‍රශ්නයට 2018 මහා බැංකු වාර්තාව අරගෙන ප්‍රවේශයක් ගත්තොත්; රාජ්‍ය වියදම් ලැයිස්තුවට අනුව මේ රටේ ලක්ෂ පහළොවක් රාජ්‍ය සේවකයන් ඉන්නවා. නමුත් ඇත්තට ම ඉන්න ඕන ලක්ෂ අටයි. ලක්ෂ හතක අතිරික්තයක්. මේ ලක්ෂ පහළොවකටම පඩි ගෙවන්න රාජ්‍ය ආදායමෙන් රුපියල් බිලියන 626 වියදම් වෙනවා.
ඊට අමතරව 6,22508 ක් මේ රටේ විශ්‍රාමිකයන් ඉන්නවා. ඒ අයට වැටුප් ගෙවන්න රුපියල් බිලියන් 194ක් වැය වෙනවා. ප්‍රතිශතයක් වශයෙන් අරන් බැලුවොත් රාජ්‍ය ආදායමෙන් 43% ක්. එතකොට මුළු රටේ ම අනිත් සියලු දේවල් කරන්න ඉතිරි වෙන්නේ 57% යි.
මේකෙන් සමෘද්ධියට දෙන්න ඕන, සෞඛ්‍යයට දෙන්න ඕන, අධ්‍යාපනයට දෙන්න ඕන. යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ඕන, ආයෝජන කරන්න ඕන, තව බොහෝ දේවල් මේකෙන් කරන්න ඕන. ඒ හැමදේමත් එක්ක ගත්ත ණය ගෙවන්නත් ඕන.
දුම්රිය සේවයේ වැටුප් විෂමතා, වෛද්‍ය වෘත්තිකයන්ගේ වැටුප් විෂමතා වගේ ප්‍රශ්න විසඳන්න ගියොත් තවත් බිලියන 200ක් විතරක් වැය වෙනවා.
ගැටලුව වෙන්නේ මේ හැම දෙයක් ම අපට කරන්න වෙන්නේ රාජ්‍ය ආදායම වැඩි නොවුණ පසුබිමක ඉඳගෙනයි. මේකට විසඳුමක් විදියට මංගල සමරවීර ඇමතිවරයා බදු ක්‍රමය වෙනස් කරන්න ගියා. එහෙම කරන්න ගියාම මහින්ද මහත්තයා කෑ ගැහුව්වා; දුප්පත් ජනතාව මත බදු පනවන්න යනවා කියල.
එයාගේ කාලෙදි තමයි විශාල වශයෙන් රාජ්‍ය සේවයට බඳවා ගත්තේ. ඒ අදූරදර්ශී ක්‍රියාවේ ප්‍රතිඵලයක් විදියට තමයි අද මේ තත්ත්වයට රට මුහුණ දී තිබෙන්නේ. ඒක අද මහින්ද මහත්තයා අමතක කරනවා. එයා මුදල් ඇමති විදියට හිටියට අඩුම තරමේ මේ රටේ ආදායම් වියදම් විස්තරයවත් හරියට දැනගෙන ඉඳලා නෑ. ඒ නිසා මේවට ඇත්ත ස්ථීර වැඩ පිළිවෙලක් නැතුව මේ කවුරු පත් කළත් වෙනසක් වෙන්නේ නැහැ.
# රාජ්‍ය සේවය නවීකාරක නොවීමත් අකාර්යක්ෂමතාවත් මේ තත්ත්වය තවත් උග්‍ර කරනවා නේද?
දීප්ති:
පැහැදිලිවම, අපේ රාජ්‍යය මුහුණ දී සිටින නිදන්ගත රෝගය ඒක තමයි. රාජ්‍ය සේවකයො අතිශය අකාර්යක්ෂමයි. නිෂ්පාදනයක් වෙන්නේ නැහැ; ඒ හින්ද රාජ්‍යයට ආදායමක් එන්නේ නෑ; වියදමක් විතරයි. ලෝකයේ දියුණු රටවල රාජ්‍ය සේවකයෝ වර්ග දෙකක් ඉන්නවා. එක පිරිසක් තමයි ජනතාවට සේවය සපයන අය. අනෙක් පිරිස රාජ්‍යයට ආදයම් උපද්දවන අය. ඒ සඳහා ඒ අයව පුහුණු කරල තියෙන්නේ.
උදාහරණ විදියට සිංගප්පූරුව ගත්තොත් ඒ රටේ දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුව, රේගුව වැනි ආයතනවල සේවකයන්ට විශේෂ පුහුණුවක් ලබා දී තිබෙනවා. ඔවුන් තමයි රාජ්‍යයට ආදායම් එකතු කරන්නේ.
අපි ඉතිහාසයට ගියොත් සුද්දගෙ ආණ්ඩුව කාලේ දිස්ත්‍රික් ආදායම් නිලධාරීන් පත් කළේ ඒ සඳහා. පස්සේ කාලේ දිසාපති උපදිසාපති කියල කිව්වේ ඒ අයට. අදත් රාජ්‍ය සිවිල් නිලධාරියා කියන්නේ ඒ වගේ බදු එකතු කරන කෙනෙක්. ඔහුට එතනින් එහාට හිතන්න බැහැ. ඒවගේ කෙනෙක්ගෙන් රාජ්‍යයට මුදල් උපයන්නේ කොහොමද? අපට තිබෙන ගැටලුව ඒකයි.
අද ඩිජිටල් තාක්ෂණය ඇවිත් තියෙනවා. නමුත් මේ තාක්ෂණය උපයෝගී කරගෙන කාර්යක්ෂම සේවයක් සලසන්න මේ අයට බැහැ. ඉතින් කොහොමද රාජ්‍ය යන්ත්‍රය දුවන්නේ. තුවාලෙ තරම දන්නේ නැතුව තමයි මේ අය බෙහෙත් දාන්න යන්නේ.
‘එළිය’ ‘වියත් මඟ’ වැනි වැඩසටහන්වල මේ දේවල් ගැන කතා කරනවද? නැහැ; ගෝඨාභය මහත්තය කියන්නේ අලුතින් රැකියා දෙන්නේ නැහැ කියල විතරයි. ඒ හැර ඔහු කොයිම මොහොතකවත් “ලංකාවේ රාජ්‍ය සේවකයා අකාර්යක්ෂමයි; මම ඇවිත් රාජ්‍ය ව්‍යූහය වෙනස් කරනවා; ඒ අයට මේ මේ වැඩසටහන් අපි ගේනවා” කියනවද? නෑ.
අනික් අතට අද ඉන්න සිවිල් නිලධාරීන්ගෙන් 40% ක් කාන්තාවන් බවට පත්වෙමින් තිබෙනවා. මේ නිසා තවදුරටත් මේ තත්ත්වය අවුල් ජාලාවක් බවට පත් වී තිබෙනවා. ඒ ඔවුන් කාන්තාවන් නිසා නෙමෙයි. ඒ අයට විශේෂිත පුහුණුවක් ලබාදී නැති නිසා. ඇත්තම කිව්වොත් දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්නේ රත්තරන් සෙරෙප්පු දාන මනමාලියෝ. ඒ අයට මේවා තේරෙන්නේ නැහැ.
# මේ අධ්‍යාපන ක්‍රමය හරහා අප තවමත් නිර්මාණය කරන්නේ වර්තමාන ගෝලීය අවශ්‍යතාවන්ට මුහුණ දිය හැකි තාක්ෂණයෙන් පිරිපුන් පුරවැසියන් පිරිසක් නෙමෙයි. ඒකත් මේ ප්‍රශ්නය වර්ධනය වෙන්න හේතුවෙනවා නේද?
දීප්ති:
ඇත්ත; දැන් ඔය වගේ සජිත් මහත්තයත්, ගෝඨාභය මහත්තයත්, අනුර මහත්තයත් මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියල කියනවා. ඒක හොඳ අදහසක්. ශිෂ්‍යත්ව ක්‍රමය අයින් කරල පොදු අධ්‍යාපන රාමුවක් හදල මේ අය එකතුවෙලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සම්මත කර ගත්තොත් අනාගතයේ ඩිජිටල් තාක්ෂණයෙන් ඉදිරියෙන් ඉන්න මානව සම්පතක් හදන්න අපට පුළුවන්. හැබැයි ඒක කතාවේ තිබුණට වැඩක් නැහැ. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕන.
# අපි මේ මොහොතේ බලයට ගේන්න ඕන ලිබරල් ප්රජාතන්ත්රවාදී කඳවුරද? එහෙම නැත්තම් සර්වාධිකාරී කඳවුරද?
දීප්ති:
මෙතනදි ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න ගත්තොත් සජිත් ප්‍රේමදාස මහත්තයා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී ඉන්නවා. අනික් පැත්තෙන් ගෝඨාභය මහත්තයා සර්වාධිකාරය වෙනුවෙන් පෙනී ඉන්නවා. නමුත් මෙතන ගැටලුව වෙන්නේ මහජනයා රාජ්‍ය පාලනය පිළිබඳව ලොකු අසහනයකින් පසුවීමයි.
අද රාජ්‍ය ව්‍යූහය මේ විදියට කඩාගෙන වැටිල තියෙන්නේ මං මුලින් සඳහන් කළ හේතු නිසා මිසක් දේශපාලකයාගේ ගතිගුණ නිසා නෙමෙයි. අකාර්යක්ෂතාව එන්නේ රජයේ සේවකයන්ගෙන් සහ රාජ්‍ය යන්ත්‍රයෙන්. අපි දැක්කා පහුගිය කාලේ ගෝඨාභය මහත්තයා හමුදාව ගොඩක් තැන්වලට කැඳවල වැඩ ගත්තා. නමුත් ප්රජාතන්ත්රවාදය ඇතුළේ හමුදාව ඒ විදියට යොදා ගන්න බැහැ.
මිනිස්සු හිතනව වගේ ගෝඨාභය මහත්තයා ආවොත් හමුදාව දාල හරි කෝච්චි දුවවයි; වෘත්තීය සමිති ව්‍යාපාරය රාජ්‍ය සේවය ත්‍රස්ත කරල අඩාල කරල තමන්ගෙ ඉල්ලීම් දිනා ගන්න තග දැමීම නවත්වයි. හැබැයි එහෙම කළා කියල රටේ ආර්ථික සංවර්ධනයක් වෙන්නේ නෑ. ආදායම එකතු වෙන්නෙත් නෑ.
ඇත්තටම ඔහු එහෙම කරනව නම් “මම ආපු ගමන් බදු ව්‍යූහය වෙනස් කරනව; බදු ටික හරියට එකතු කරනව; දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව රැමීෂ් වැඩසටහන අනුව ක්‍රියාත්මක කරනවා. බුද්ධි අංශය හරි වෙන මොකක් හරි ආරක්ෂක අංශයක් හරි ස්ථාපිත කරල රේගු ආදායම එකතු කරනවා.
මොකද රේගුව කියන්නේ හොර ගුහාවක්. අනෙක් පැත්තෙන් පාඩු ලබන එයාර් ලංකා එක විකුණන්න ඕන. මොකද ඒක නඩත්තු කරන්න රුපියල් බිලියන 130 විතර වැය කරන්න වෙනවා ඒක පාඩුයි. ඒවා අපි ගෙවන්නේ ජනතාවගෙන් ලබා ගන්න බදු ආදායම්වලින්. අනික් පැත්තෙන් ඛනිජ තෙල් එක සෙනග පුරවල පුරවල ඒකත් පාඩුයි.
විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ වැටුප් විතරක් නෙමෙයි ඒ අයගෙ ආදායම් බදු ගෙවන්නත් ඕන මේ බදු මුදල්වලින්. එච්චරට වෘත්තීය සමිති මාෆියාව බලවත් වී තිබෙනවා. මෙන්න මේ රාජ්‍ය මුදල් නාස්තිය සහ අවභාවිතය නැත්නම් අක්‍රමවත් වියදම් නතර කරන්න ඕන. මේ අය ඒක ගැන තාම මුකුත් කියල නැහැ. ඒ නිසා අරයා යවල මෙයා ගෙනාව කියල මේ ඇත්ත ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ. හරියට ඔළුව කැක්කුමට කොට්ටය මාරු කරනව වගේ වැඩක් තමයි.
# මේ රටට ඇත්තට ම ආදායම ගෙනත් දෙන්නේ විදේශගත ශ්‍රමිකයන්. විශේෂයෙන් ම ගෘහ සේවිකාවන් මේ පහළ සමාජ ස්ථරය ගැන මේ අපේක්ෂකයින් අවධානය යොමු කර තිබෙනවද?
දීප්ති:
මේ රටට ආදායම උපයා දෙන පාර්ශ්ව තුනක් ඉන්නවා. ගෘහ සේවයේ නියුතු අම්මලා, තේ දලු කඩන අම්මලා, ඇඟලුම් සේවයේ නිරතව සිටින තරුණියන්. මෙතන මාර වැඩක් වෙන්නේ; ස්ත්‍රීන් දහදුක් විඳල අපට ඩොලර් ගෙනත් දෙනවා. පිරිමි ටික එකතු වෙලා ඒ ඩොලර් ටික ඔක්කෝම වියදම් කරනවා.
කොහොමද මේවා වියදම් කරන්නේ. මේ රටේ ස්ථීර ආදායම් මාර්ග තියෙන්නේ ලක්ෂ 15කට 20කට අඩු පිරිසකටයි. එක්කෝ රජයේ රැකියා නැත් නම් පෞද්ගලික රැකියා. මේ අයගෙන් ලක්ෂ 14-15 ක් ම ඉන්නේ රජයේ රැකියා කරන අය.
නමුත් ලක්ෂ හැටපහක් ම කිසිම ස්ථීර ආදායමක් නොලබන උදවිය. සමහරු ත්‍රීවිල් එළවනවා, තවත් අය අද බත් පැකට් විකුණනවා; නැත්තම් මුට්ට කරගහනවා, හෙට ගංජා විකුණනවා; අනිද්දා කුඩු විකුණනවා; ඉන් අනිද්දා මර්ඩර් එකක් දෙනවා,... ඔය වගේ මොකක් හරි අපරාධකාරී ක්‍රියාවකින් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මේ විදියේ ඡන්දයක් එනකොට අඩෝ කියල ගහමරා ගන්නේ; හූ කියන්නේ ඒ අය තමයි. අපි මේ අයව ලුම්පන් පන්තිය කියල හඳුන්වනවා.
මේ අය නන්නත්තාරයි; මේ ලක්ෂ 65ට අග්‍රහාර, විශ්‍රාම වැටුප්, ඕටී,බටා, බෝනස්, ඊ.ටී.එෆ් මේ මොකවත්ම නෑ. එහෙම බැලුවම සමාජ ආරක්ෂණ දැලක් තියෙන්නේ ලක්ෂ 14-15කට විතරයි. මේ ලක්ෂ පහළොවට තමයි අද මේ සියලු අපේක්ෂකයෝ අමතන්නේ; අරව දෙන්නම් මේවා දෙන්නම් කියන්නේ ඒ අයට. රාජ්‍ය අදායමෙන් වැටුප් ලබන්නෙ මේ පිරිස විතරයි. අනෙක් ලක්ෂ හැටපහම මඟ ඇරෙනවා. ඒ අය දිගින් දිගට ම දරිද්‍රතාවයේ ඉන්නවා. මේ අය පවුල් විදියට දළවශයෙන් ගත්තොත් ලක්ෂ තිහකට වැඩියි.
එහෙම බැලුවම පවුල් ලක්ෂ තිහක් විතර ඉන්නේ නිදන්ගත ආර්ථික අස්ථාවර භාවයක. ඔවුන්ගේ මානසිකත්වය හැම මොහොතක ම අවුල් වෙලා තියෙන්නේ. ඔවුන් නිශ්චිත මානසිකත්වයක නැහැ. මේ ප්‍රශ්න ටික ඔය කියන වියත් මඟට හරි, යුතුකම සංවාද කවයට හරි එළියට හරි පේන්නේ නැහැ.
දැන් පිළිවෙලට විධිමත්ව එනව කියන ගෝඨාභය මහත්තයගේ මේසෙට මේවා එන්නේ නැත්තේ ඇයි? එයා කියන ඔය වියත් මඟ අර මඟ මේ මඟ නියෝජනය කරන ආර්ථික විශේෂඥයෝ කෝ. ඒ අය මොනවද මේ ගැන කියන්නේ? මුකුත් නැහැ.
# එහෙම වෙන්නේ ඇයි?
දීප්ති:
ඒ අය ජනතාව කියන්නේ මං ඉස්සෙල්ල කියපු ලක්ෂ හැටපහ නෙවෙයි. අර ලක්ෂ පහළොවට තමයි ඒ අය ජනතාව කියල විශ්වාස කරන්නේ. අන්න ඒ නිසයි ඒ අයට ඔවුන් ව මඟ ඇරෙන්නේ. මෙන්න මේක ජනතාව හොඳින් සිහියට ගන්න ඕන.
ඒ ලක්ෂ පහළවේ ප්‍රශ්නයක් තමයි ප්රජාතන්ත්රවාදය කියන්නේ. මේ ලක්ෂ හැටපහේ ඇත්ත ප්‍රශ්නය දෛනික ආදායම; ඉන්න හිටින්න තැනක් නැති කම; තමන්ගේ පවුලෙ කෙනකුට හරිහමන් රස්සාවක් නැති එක. මේ බහුතරයේ ප්‍රශ්න ටික මේ වේදිකාවට ඇවිත් නැහැ. අද හැමෝම කතා කරන්නේ වරප්රසාධිත සුළුතරයේ ප්‍රශ්න ගැන පමණයි.
(ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ ලේකම් දීප්ති කුමාර ගුණරත්න- සිළුමිණ)