මිනිස්සු තමන්ගෙ ඡන්දය පාවිච්චි කළේ දේශපාලන තර්කයන් මත පදනම්ව බවත් ඒ නිසා නිකම්ම වහල්ලු වගේ ඡන්දය පාවිච්චි කළා යැයි

පවසන්නේ නම් එය සාධාරණ නොවන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසනවා. ඔහු මේ පිළිබඳ අනාවරණය කර ඇත්තේ, ‘රාවය‘ පුවත්පත සමග සිදුකළ සංවාදයක දීය. සංවාද සටහන මෙසේය.

රාවය :
ජනාධිපතිවරණය නිමා වී නව ජනාධිපතිවරයෙකු පත්වී අවසන්. ඔබේ පක්ෂය මෙය දකින්නේ කොහොමද?

පුබුදු :
සමහර පිරිස් මේ තත්ත්වය විග්‍රහ කරන්නේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ, මෝඩයි, වහල්ලු, ගොබ්බයෝ කියලා. එහෙත් මේ කඳවුරු දෙකටම ඡන්දය ලබා දුන් පිරිස් වලට තර්කයක් තිබුණා. සජිත් ප්‍රේමදාස මහත්තයට දුන්න පිරිසේ තර්කය වුණේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම, ජාතීන් අතර සහ පීඩිතයන් අතර සමඟිය ආරක්ෂා කිරීම සඳහා සාපේක්ෂව සජිත් ප්‍රේමදාස මහත්තය හොඳයි කියන එක.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දය භාවිත කරපු පිරිසේ තර්කය වුණේ නැවත වතාවක් යුද්ධයක් ඇතිවෙයි, ලේ වැගිරීම් ඇතිවෙයි ඒ නිසා ජාතික ආරක්ෂාවට පොරොන්දු දෙන කෙනෙක් අවශ්‍යයි කියලා, ඒ වගේම මැද පන්තිය නියෝජනය කරපු තර්කයක් තමයි ලංකාව ආර්ථික සංවර්ධන මාර්ගයකට තල්ලු කරගැනීමට නම් දැඩි පාලකයෙක් උවමනායි කියල, ඒවගේම ජාතික ස්වාධිපත්‍ය පිළිබඳව අදහසකින්, ඒ කියන්නෙ විදේශ රටවල් සමඟ අත්සන් කරන ගිවිසුම් සහ කොන්දේසි මත යැපෙන රටක් වෙනුවට ස්වාධීන රටක් අවශ්‍යයි කියල ඡන්දය ප්‍රකාශ කළා.
ඒ නිසා මිනිස්සු තමන්ගෙ ඡන්දය පාවිච්චි කළේ දේශපාලන තර්කයන් මත පදනම් වෙලා. ඒ නිසා නිකම්ම වහල්ලු වගේ ඡන්දය පාවිච්චි කළා නොවේ.

නමුත් මේ ප්‍රශ්නවල මූලය ජනතාවට අතහැරිල තියෙන්නෙ. උදාහරණයක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදය නම් ප්‍රශ්නය, ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වෙන මූල හේතුව මොකක්ද? ඒක පුද්ගල හොඳ නරක, පුද්ගල පෞරුෂයේ වෙනස්කම් පිළිබඳ ප්‍රශ්නයක්ද එසේ නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දීල ධනවාදයට තවදුරටත් යන්න බැරිද කියන එක ජනතාව නිවැරදිව වටහාගෙන නෑ.

ජාතික ස්වාධිපත්‍ය පිළිබඳව අදහසත් මේආකාරයි, මේ ධනවාදී ආර්ථික ක්‍රමය තුළ තනි රටකට තමන්ගෙ දේශසීමා ඇතුළෙම රට ස්වංපෝෂිත ලෙස පවත්වාගෙන යා හැකිද? නැතිනම් ධනවාදය තියන මේ වෙලාවෙ බලගතු රාජ්‍යයන්ගේ පරාධීනත්වයක් තුළද ක්‍රියාත්මකවීමට සිදු වන්නේ. මෙහි මූල හේතුව මොකක්ද? මම හිතන්නෙ ජනතාවට එය මඟ හැරුණා.

අපි උත්සාහ කළා ප්‍රශ්නය ධනවාදය උත්තරය සමාජවාදය කියන එක සමාජයට කියන්න.

අපේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව අපි තෘප්තිමත්. මොකද 2015ට වඩා ජනතාව අපිට ඇහුම්කන් දුන්නා. තව පිරිසක් අපි කියන එක හරි නමුත් අපි ඔබලාට ඡන්දය දෙන්නෙ නෑ අපි ඡන්දෙන් පසු හම්බෙලා කතා කරමු කීවා.
Image result for lanka vote"

 

''සමාජ තුල තිබුණ බය අරගෙන බයට වෙන හේතු දාල වෙන භීතියක් මැව්වා.''

 

රාවය :
අපි මේ ඡන්දයේදී දුටුවා දකුණු ලංකාව සහ උතුරු නැගෙනහිර ලංකාව ලෙස කොටස් දෙකක්. ඔබ කොහොමද මෙය විග්‍රහ කරගන්නේ?

 

පුබුදු :
Text 17මේකට හේතුවුණේ සමාජය විසින් මුහුණදෙමින් සිටි සැබෑ ප්‍රශ්න යටපත් කරලා ලොකු භීෂණයක් මැවීම. අපි ඇත්තටම බයේ හිටියෙ මොනවටද කියල බැලුවොත්, ලංකාවෙ කෘෂිකාර්මික ප්‍රදේශවල ජනතාව වකුගඩු රෝගය නිසා වතුර බොන්න බයේ හිටියෙ. දිල්ලියෙ වායු වලාව මෙහෙට ඇවිල්ලා කොළඹ මිනිස්සු හුස්ම ගන්න බයේ හිටියෙ. අපි කෑම කන්නෙ බයේ. අපි බත් කියල කන්නෙ ආසනිකුයි කැඞ්මියනුයි. අපි එළවළු පලතුරු කියල කන්නෙ සම්පූර්ණයෙන් කෘමිනාශක. අපිට දරුවෙක් ඉස්කෝලෙ යවන්න පුළුවන් සමාජයක් නෑ, දරුව ගෙදර එනකන් බයේ ගැහි ගැහී හිටියෙ. අපි කොහොමත් මේ වගේ හේතූන් මත බයේ හිටියෙ. 

මේ දක්ෂිණාංශ අපේක්ෂකයො ඒ බය අරගෙන බයට වෙන හේතු දාල වෙන භීතියක් මැව්වා. උදාහරණයක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්තය කීවෙ කොටි එනවෝ අයි. එස්. අයි. එස් එනවෝ කියල. ඔහු සියලු ප්‍රශ්න වලට මුල දෙමළ ජනතාවයි, මුස්ලිම් ජනතාවයි කියල ජාතිවාදය ඇවිස්සුවා. ඊට පස්සෙ සිංහල ජනතාවගේ ඡන්දයෙන් සිංහල ජනාධිපති කෙනෙක් ඕනෙ කියල කතාවක් හැදුවා.

අනිත් පැත්තෙන් සජිත් ප්‍රේමදාස ගෝඨ එනවෝ ගෝඨ එනවෝ කියල බයක් ඇති කරන්න උත්සාහ කළා. ගෝඨා ආවොත් සුදු වෑන් එනවා, අතුරුදන් කරනවා, නිල නොවන ඝාතන කල්ලි එනවා ඕකෙන් බේරෙන්න නම් මට ඡන්දය දෙන්න කියල කීවා.

උතුරේ ජනතාව මෑත ඉතිහාසය තුළ සුදු වෑන් ඇතුළු ඒ භීෂණය අත්විඳපු පිරිසක්. ඒ නිසා ඔවුන් සජිත් මහත්තය මවපු බියට සංවේදී වුණා. මම හිතන්නෙ නෑ ඔවුන් ජාතිවාදී පදනමකින් ඡන්දය භාවිත කළා කියලා. මොකද සිවාජිලිංගම් ඉන්නෙ හතරවෙනි තැනට, දෙවැනි තැනට ඉන්නෙ ගෝඨාභය. මුස්ලිම් ජනතාව සම්බන්ධව ගත්තත් හිස්බුල්ලා පහළ හිටියෙ, ලැයිස්තුවේ උඩ හිටියෙ සිංහල අපේක්ෂකයන්.

 

රාවය :
නමුත් ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු කරන ලද කතාව හරහා පැහැදිලිවම පෙනෙනවා නේද ඔහු සිය ඡන්දය සඳහා ජාතිවාදය භාවිත කළ බවක්?

පුබුදු :
ඔව්, සිංහල ඡන්ද ලබා ගැනීම සඳහා ඔහු පැහැදිලිවම ජාතිවාදය භාවිත කළා. මෙච්චරකල් විධායක ජනාධිපතිවරයාව පත්කිරීමට දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්දය මත යැපෙන්නට සිද්ධ වුණා. එහෙම යැපෙන්න ඕනෙ නැති තනි සිංහල ඡන්දවලින් ජනාධිපතිවරයෙක් පත්වෙන්න ඕනෙ කියන මතය ඔවුන් සිංහල ජනතාව අතරට ගෙනිච්චා.

Election Resultමේක ප්‍රශ්නය විකෘති කිරීමක්. විධායක ජනාධිපති ධුරයේ ප්‍රශ්නය ඒ ජනාධිපතිවරයා දෙමළ සහ මුස්ලිම් ඡන්ද වලින් පාලනය කිරීමද? එසේත් නැතිනම් ලංකාවේ ජනාධිපතිවරයා ජනතාවට කිසිසේත්ම වග නොකියන අත්තනෝමතික සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙකු සේ සිටීමද? 2015දී මතුවුණේ මේ ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳව සංවාදය. ජනතාව හරහා මතු වූ ඒ සංවාදය එක්සත් ජාතික පක්ෂය තිරශ්චීන ලෙස පාවා දෙනු ලැබුවා.

2015 ආපු සටන් පාඨය තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, 2019 සටන් පාඨය තමයි සිංහල ජනතාවගෙන් විධායක ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම. මේක ඇත්තටම ඛේදවාචකයක්.

 

රාවය :
විකල්පයන් ලෙස ක්ෂණිකව පෙනී සිටි මහේෂ් සේනානායක, අජන්තා පෙරේරා වගේ අපේක්ෂකයන්ට මැතිවරණ කිහිපයකට සහ ජනාධිපතිවරණ දෙකකට මුහුණ දුන් පෙරටුගාමීන්ට වඩා ඡන්ද ප්‍රමාණයක් ලැබිල තියනවා. මේ හරහා මතුවෙන්නේ ජනතාව තවදුරටත් පෙරටුගාමීන් නොපිළිගන්නා බවක් නේද?

 

පුබුදු :
අපි විශ්වාසය කරනව වමේ ව්‍යාපාරය පිළිබඳව හෝ අපේ පක්ෂය පිළිබඳව හෝ සමාජයේ පවතින මතය මැතිවරණයකික් නිරූපණය නොවන බව. එයට හේතුව ජනතාව තමන් මුහුණ දෙන ප්‍රශ්න දේශපාලනය සමඟ සම්බන්ධ කරල තේරුම් අරගෙන නොතිබීම.

අපි පසුගිය කාලෙ විශාල මහජන ව්‍යාපාර නියෝජනය කළා, සංවිධානය කළා, නායකත්වය දුන්නා. ඉතින් කෙනෙකුට අහන්න පුළුවන් ඇයි එවැනි මහා මහජන ව්‍යාපාර සංවිධානය කරන අපට ඡන්දය නැත්තෙ කියලා. ජනතාව සටන් වලදි අපි සමඟ එකතු වෙන්නෙ, ජනතාවට විශ්වාසයක් තියනවා අපි සටන් පාවල දෙන්නෙ නෑ, සටනක් ජයග්‍රහණය කරා ගෙනියන්න අපට අත්දැකීම් තියනව. දැන් තියන මහජන ව්‍යාපාර විරෝධය දැක්වීමේ මහජන ව්‍යාපාර, දේශපාලන මහජන ව්‍යාපාර නෙවේ. අපි හිතනව අපට මේක ඇතුළෙ ෂෝට්කට් නෑ කියල.

අපට මේ ඡන්දය දීල තියෙන්නෙ අපේ සාමාජිකයො ටික. පසුගිය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රමාණයට වඩා මෙවර ඡන්ද ප්‍රමාණය එක්දාස් ගාණකින් පමණ වැඩිවෙලා. ඒ වගේම අපි මේකෙදි ආවෙ මහ මැතිවරණයේ වගේ නෙවේ කෙළින්ම සමාජවාදය ගැන කියලා.

අපි ඡන්ද ප්‍රමාණය ගැන කලබල වෙන්නෙ නෑ. මොකද අපිට තේරෙනව මැතිවරණයක ඡන්ද වැඩිකර ගන්න එක මැතිවරණ ක්‍රියාවලියක් ඇතුළෙම කරන්න බෑ කියලා. ඡන්ද සංඛ්‍යාව වැඩි කරන්න නම් අපිට බහුජන ව්‍යාපාර ඇතුළෙ කලින් කරපු හෝම් වර්ක් (ගෙදර වැඩ) ගොඩක් ඕනෙ.

 

රාවය :
Text 18ඔබ වක්‍රාකාරව කියන්නෙ ඔබේ පක්ෂය හෝම් වර්ක් කළේ නෑ කියන එකද?

පුබුදු :
කරපුව කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. අපි පක්ෂය 2012 පටන් ගත්ත, 2014 වසරේ අවසානය වෙනකම්ම අපි හිටියෙ අපේ වැඩපිළිවෙළ නිරවුල් කර ගැනීමේ අභ්‍යන්තර සංවාදවල. 2015 ජනාධිපතිවරණයට තරග කිරීමත් සමඟ තමයි අපි දේශපාලනයේ මහේෂ්‍ය කතාවට ආවෙ.

ඊට පස්සෙ ගෙවුණු අවුරුදු හතර තුළ අපේ වැඩ පිළිවෙළ විදිහට තියා ගත්තෙ දැනට තියන විරෝධය පෑමේ මහජන ව්‍යාපාරයට මැදිහත් වීම. ඒ සඳහා පාර හදාගන්න තමයි ඒ කාලය ගියේ. දැන් තමයි අපි දේශපාලනය කරන්න පටන් ගත්තෙ. ඒකෙ ප්‍රතිඵල එන්න කාලයක් යයි. අපි අවසන් කළේ පොළොව කොටපු කාලෙ, සීසාපු කාලෙ සහ වපුරපු කාලෙ. අපි දන්නවා අස්වැන්න නෙලන්න කාලයක් යනව කියලා.

සමහරු මේ ප්‍රතිඵලය ගැන බයවෙලා, සමහරු රට හැරල යන්න හදනව රට ගැන කලකිරිලා. හැබැයි අපි බය වෙලත් නෑ, කනගාටුවෙලත් නෑ, පුදුම වෙලත් නෑ, ජනතාව මේ තීරණය ගත්ත තර්කය අපට තේරෙනවා. ඒ වගේම ඒ තර්කයට අභියෝග කරන්න තර්කයක් ඒත්තු යන සුළු මට්ටමෙන් ඉදිරිපත් කරන්න බැරි වුණා කියන ස්වයං විවේචනයත් අපිට තියනවා.

මැතිවරණයකදි කරන්න පුළුවන් දර්ශකයක් හදාගන්න එක විතරයි. මේ මැතිවරණය ලංකාවෙ ජනතාවගෙ දේශපාලන මට්ටම ගැන අපට තේරුම් ගන්න හොඳ දර්ශකයක්. මේකෙන් අපි අපිව මනිනව නෙවේ, මේකෙන් අපි සමාජය මනිනවා. එතකොට අපිට තේරෙනව අපිට තියන අභියෝගය කොයිතරමේ ලොකු එකක්ද කියලා.

ඒවගේම මැතිවරණයක් කියන්නෙ ජනමතය නෙවෙයි. මැතිවරණයකදී මුදල් බලය, මාධ්‍ය බලය පාවිච්චි කරලා ජනතා මතයක් හදනවා. දැන් ලංකාවෙ මාධ්‍ය ප්‍රධානීන් තමයි කවුද ජනාධිපති, කවුද අගමැති, කවුද පාර්ලිමේන්තු යන්නෙ කියල විතරක් නෙවෙයි පක්ෂවල නායකයන් පවා තීරණය කරන්නෙ.

 

''තමන්ගේ බලය පිළිබඳව විශ්වාස කළ යුතුයි''

රාවය :
මැතිවරණයෙන් පසු ඔබේ පක්ෂයේ වැඩපිළිවෙළ හැඩගැසෙන්නෙ කොහොමද? ඒ වගේම ජනතාව මෙය තේරුම්ගත යුත්තේ කෙසේද?

පුබුදු :
Pubudu Jayagoda 1ඒකාධිපතියෙක් එයි අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි වෙයි කියල බයේ හිටපු මිනිස්සුන්ට අපිට කියන්න තියෙන්නෙ, ඔයාල බලාපොරොත්තුවෙන් හිටපු කෙනා පත් වුණත් අයිතීන් දිනාගන්න වෙන්නෙ සටන් කරලා, අරගල කරලා.
ප්‍රතිත්‍රස්ත පනත ගෙනාවෙ ප්‍රජාතන්ත්‍රවාදය ගේනව කීව කෙනා. ඒක නවත්ත ගත්තෙ ජනතාව සටන් කරල අරගල කරලා. ප්‍රජාතන්ත්‍රවාදය දෙයි කියල හිතපු කෙනෙක් පහුගිය කාලෙ වැඩකරන ජනතාව නැවැත්වීමේ අරමුණෙන් හදිසි නීතිය ගෙනෙද්දි ඒව නවත්තන්ඩ පුළුවන් වුණෙත් ජනතාව සටන් කරල අරගල කරලා.

ඒ නිසා ඉදිරියටත් මොන ඒකාධිපතිය ආවත් ඒ ඒකාධිපතිය දණ ගස්සන්න පුළුවන් ජනතාවගෙ බලයෙන්. ඒ නිසා පුටුවෙ වාඩි වුණු කෙනා ගැන අපි කලබල වෙන්නෙ නෑ. අපි කලබල වෙන්නෙ කොහොමද මේවට මුහුණ දෙන්න පුළුවන් ප්‍රතිශක්තියක් සමාජයට හරවන්නෙ කියන එක ගැනයි.

ඒවගේම පත්වූ ජනාධිපතිවරයාට පක්ෂව ඡන්දය දුන්න පිරිස හිතනව පෞද්ගලීකරණ ව්‍යාපෘති නවත්වන්න ඕනෙ, රාජ්‍ය ව්‍යවසායන් විකුණන එක නවත්වන්න ඕනෙ, අධිරාජ්‍යවාදී රටවල් සමඟ ගිවිසුම් අත්සන් කරල ඉඩම් විකිණීම නවත්වන්න ඕනෙ ආදී වශයෙන්. එහෙම හිතන පිරිසට කියන්න තියෙන්නෙ මෙයාලගෙන් ඒ මුකුත් වෙන්නෙ නෑ. ජනතාව සංවිධානය වෙලා තමයි ඒවත් වළක්වා ගන්න වෙන්නෙ.

පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත ගෙනල්ලා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අර්ථ සාධක අරමුදලට විදින්න ගියහම ඒක නවත්ත ගත්තෙ සංවිධානය වෙලා. ඒ කාලෙ සුදු වෑන් තිබුණා. නමුත් ඒවට වෙළෙඳ කලාපෙ කම්කරුවන් බය වුණේ නෑ, එයාල සටන් කළා. ධීවර කර්මාන්තයට සහනාධාර ඉවත් කරල මීගමු කළපුවේ ධීවර කර්මාන්තය තහනම් කරල ඒකෙ සී ප්ලේන් බස්සන්න හදද්දි හලාවත ඇන්තනී සහෝදරය මරද්දි ධීවරයො වෙඩි තියයි කියල නිකම් හිටියෙ නෑ, එයාල සටන් කරල ඒව නැවැත්තුවා.

2012 පෞද්ගලික විශ්වවිද්‍යාල පනත එද්දි තිබුණෙ සුදු වෑන් තියන ආණ්ඩුව, ඒ පනතට විරුද්ධව ශිෂ්‍යයො නුවර ඉඳලා කොළඹට එද්දි දෙන්නෙකුට වෙඩි තියල මැරුවත් සටන් කරල ඒ පනත පරාජය කළා. ඒව කළේ ජනතා බලයෙන්. ඒ නිසා ජනතාව කවුරුන් බලයට පත් වුවත් තමන්ගේ බලය පිළිබඳව විශ්වාස කළ යුතුයි.

(රාවය: සංවාදය –රසික ගුණවර්ධන)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්