හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ නිවෙස කිසිසේත්ම හිටපු යුධ හමුදාපතිවරයෙකුගේ නිවෙසක් ගැන අප අනුමාන කළ චිත්‍රයට ගැලපුණේ නැත.

එය පිහිටා තිබුණේ තදබදයෙන් පිරි නාගරික කලාපයෙන් පිට, නිහඬ හා සැහැල්ලු‍ පෙදෙසකය. ඉතාම සැහැල්ලු‍වෙන් දිවිගෙවන සුන්දර විශ්‍රාමික මිනිසෙකුගේ නිවෙසක් අපට දකින්නට ලැබුණි. ඔහුගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් පවා අපට අපහසුවක් ඇතිකළේ නැත. නිවසේ ඉදිරි දොරටුවෙන් එළියට පැමිණි මහේෂ් සේනානායක මහතා අතට අත දී සැහැල්ලු‍ සිනහවෙන් අපව පිළිගත්තේය.

නිවෙසට ඇතුළුවෙද්දී පදක්කම්, හමුදා ඡායාරූප ආදී මිලිටරි හැඩයක් ගෙනෙන පෙනුමක් දකින්නට නොවීය. තිබුණේ නිදහස් දිවියක සැහැල්ලු‍වය. අප සමඟ ඉතාම සැහැල්ලු‍වෙන් ඔහු කතාකරන්නට පටන්ගත්තේය. අනවශ්‍ය නිලධාරීවාදයක් ඔහු තුළ නොවීය. මහේෂ් සේනානායක මහතා සාමාන්‍ය කතාබහේදී නම් විහිළු තහළුවට බර ඉතාම ආකර්ශණීය මනුෂ්‍යයෙකි.

ඒ වර්ණනා සියල්ල නොසිතූ ලෙස ඔහුගෙන් විඳින්නට ලැබුණු මිත්‍රශීලීත්වයට ගෞරවයක් වශයෙනි. කතාබහ අවසානයේ අප පිටත්වෙද්දීත් ඔහු අප සමඟ එළියට බැස ටික දුරක් ගමන් කළේය. ඔහු අප සමඟ අතීතය දිගහරින්නට පටන්ගත්තේය.

‘මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. ඒ නිසා ඔහු ලංකාවේ විවිධ තැන්වලට පත්වීම් ලැබුවා. තාත්තාගේ ගම දකුණේ. බලපිටිය කොස්ගොඩ. ඒත් මම එකේ ඉඳන් දහතුන වෙනතුරු ඉස්කෝලේ ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. නාරා‍හේන්පිට ඇන්ඩර්සන් ෆ්ලැට් වල තමයි මුල් කාලයෙ හිටියෙ. පස්සෙ තාත්තා කටුබැද්දේ ඉඩමක් අරගෙන ගෙයක් හැදුවා. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. නංගි කෙනෙක් ඉන්නවා. මල්ලි කෙනෙක් හිටියා. ඔහු පසුකාලයේ නැතිවුණා. අපේ අම්මාගේ නංගී කෙනෙකුත් හිටියේ අපේ ගෙදර. ඒ නිසා අපේ පවුලේ අටදෙනෙක් හිටියා. තාත්තා තැනින් තැනට යනවා. ඒ නිසා ඔහුව මුණගැහෙන ප්‍රමාණය අඩුයි.

මම ඉස්කෝලෙදී නම් කරන්න ඕනෑ හැමදේම වගේ කළා. ඒ අතරේ ඉගෙනගැනීමත් කළා. ඉස්කෝලෙදී විවිධ සංගම්වල සහ ක්‍රීඩාවල හිටියා. ඒ නිසා සංගම් පාළුවෙක් කියලා කියන්නත් පුළුවන්. පොලිස් සහ හමුදා කැඩෙට් කණ්ඩායම් දෙකේම හිටියා. මම පොලිස් කැඩෙට් කණ්ඩායමේ සාජන් විදියට 1980 සමස්ථ ලංකා ශූරතාවය ගත්තා.

ලොකුම විනෝදාංශය වශයෙන් තිබුණේ චිත්‍රපටි බැලීම. අපි ඉස්කෝලෙ කට් කරලා දහයහමාර චිත්‍රපටි බලනවා. බලන චිත්‍රපටිවල නම, අධ්‍යක්ෂක, නළුනිළියන් ආදී විස්තර සී.ආර්. පොතක ලියාගන්නවා. බොරු කරන්න බැරිවෙන්නට ටිකට් එකත් පොතේ අලවනවා. ඒ අය අතරින් වැඩිම චිත්‍රපටි බලපු කෙනා විදියට වාර්තාව තැබුවේ මම. ඒ විදියේ කැපවීම් සහගත සිනමා රසිකයෙක් මම. සිංහල, හින්දි චිත්‍රපටි වැඩිපුර බැලු‍වේ. බොරැල්ල ලිඩෝ, රිට්ස්, දෙමටගොඩ සමන්තා, මරදානේ ගාමිණී වගේ හෝල්වලට ගියේ. ඒ කාලේ අපි කතාවට කිව්වේ ගාමිණී හෝල් එකේ අපි නැතිව ෆිල්ම් එක දාන්නේ නැහැ කියලයි.‘

 

''ලොකුම විනෝදාංශය චිත්‍රපටි බැලීම''

නිදහසේ හැදුණු සිනමාවට බර තරුණයෙකු හමුදාවට බැඳුණේ කෙසේදැයි අපට කුතුහලයක් නැඟු‍ණි.

‘අපේ ඉස්කෝලේ හිටියා කර්නල් ජී.ඩබ්ලිව්. රාජපක්ෂ කියලා විදුහල්පතිවරයෙක්. මගේ ඉස්කෝලේ කාලසීමාව පුරාවට හිටපු විදුහල්පතිවරයා ඔහු. ඔහු අපේ දක්ෂතාවයන් හඳුනාගත් කෙනෙක්. මාපියන්ට ඕනෑ වුණේ අපව විශ්වවිද්‍යාලයට යවන්න.

ඒත් විදුහල්පතිතුමා තමයි මගේ දෙමාපියන්ට කීවේ මෙයාව හමුදාවට යවන්න කියලා. හමුදාවේ කෙටිකාලීන අධිකාරිය සහ දීර්ඝකාලීන අධිකාරිය කියලා ක්‍රමවේද දෙකක් තියෙනවා. මට පැහැදිළිවම තාත්තා කීවේ හමුදාවට යනවානම් ඔයා දීර්ඝකාලීන අධිකාරියට යා යුතුමයි කියලා. අවුරුදු පහෙන් එළියට බහින්න බලාගෙන හමුදාවට යන්න එපා කියලා කීවා. මගේ පාඨමාලාව අවුරුදු දෙකයි. මාත් එක්ක 19 දෙනෙක් තමයි අධිකාරිය ලැබුවේ. මම ඒ කණ්ඩායමේ පළවැනියා වෙලා සම්මාන අසිපත දිනාගත්තා.

අවුරුදු කිහිපයකට වතාවක් පමණක් එක්කෙනෙක්ට දෙන කැඬේට් මෙහෙයුම් නිලධාරී තත්වය මට ලැබුණා. මම අසූතුනේ ජුනි 23 වැනිදා තමයි අධිකාරිය ලැබුවේ. ඔය කාලේ ජානක පෙරේරා මහතා බලහත්කාරයෙන් වගේ කිව්වා තමුසේ යන්න ඕනෑ ඉංජිනේරු බලකායට බව. මම කාලයක් එතැන සාර්ථකව වැඩ කරමින් හිටියා. ඉන්පස්සේ ලංකාවේ යුධ හමුදාවේ විශේෂ බලකාය ආරම්භ කළා. ඊට පස්සේ මම විශේෂ බලකායට බැඳලා අසූටේ ඉඳන් මෙතෙක් සේවය කළා.‘

 

 ''අපි මීඩියාවලට යුද්ධ කරපු නළුවෝ නෙවෙයි''

විශේෂ බලකාය හෙවත් එස්.එෆ්. යනු ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ අසාමාන්‍යම සෙබළුන් සිටි බලකාය ලෙස හැඳින්විය හැකිය. එහෙත් ‘රණවිරු නීරෝ‘ නම් පුරාවෘත්තමය ස්නයිෆර් භටයා ඇතුළු කිහිපදෙනෙක් හැරුණුකොට එස්.එෆ්. සෙබළුන් ගැන කතා අප අසා නැත.

‘එස්.එෆ්. ගැන වැඩිපුර අහන්න නොලැබෙන්නේ ඒ අයගේ මෙහෙයුම් ඉතා රහසිගත නිසා. අපි දිගුදුර මෙහෙයුම් කරන්නේ. අපි මීඩියාවලට යුද්ධ කරපු නළුවෝ නෙවෙයි. 2002 දී ලංකාවේ ආණ්ඩුව හා එල්ටීටීඊය ගිවිසුමක් අත්සන් කළා. ඒකේ එක තැනක එල්ටීටීඊය දාලා තියෙන කොන්දේසියක් තමයි විශේෂ බලකායේ මෙහෙයුම් නවත්වන්න කියලා. ඒ කොන්දේසිය පාබල හමුදාවට අදාලව දැම්මේ නැහැ. එල්ටීටීඊය වැඩිපුරම බයවුණ කණ්ඩායම තමයි විශේෂ බලකාය. ලංකාවේ සුවිශේෂීම හැකියාවන් තිබුණු සෙබළු හිටියේ විශේෂ බලකායේ. අපේ හතරදෙනෙක් කිලෝමීටර් අනූවක් කැලේ මැද්දෙන් ගිහින් කෑම්ප් එකකට ගහලා එන බව එල්.ටී.ටී.ඊ.ය දන්නවා. අපි කළේ ඒ වගේ ජොබ් එකක්.

එල්.ටී.ටී.ඊ.ය දෙදරවන මිෂන් එකක් ඉවරවෙලා දවස් දහයේ නිවාඩුවට ගෙදර එනවා. ගෙදර කවුරුත් දන්නෙ නැහැ අපි කළේ මොකක්ද කියලා. අපි දැන් ඒවා ගැන පොත් ලියන්නෙත් නැහැ. පොත් ලීවොත් ඒවායේ කරුණු වැරදියට පාවිච්චි කරන්නත් පුළුවන්. සමහර නිලධාරීන් ලියපු පොත්වල තියෙන කරුණු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි කරපු ගොඩක් මෙහෙයුම් රාජ්‍ය රහස්. ඒවා ගැන කයිවාරු ගහන්න බැහැ. අපි කරපු දේවල් අනාගතයේදී රටේ ආරක්ෂාවට වැඩකරන කනිෂ්ඨ සෙබළුන්ට මිස රටට ලෝකයට කියන්න ඕනෑ නැහැ. ජනාධිපතිවරණ ව්‍යාපාරයකට ගියත් මම කරපු දේවල් ගැන කයිවාරු ගහලා නැහැ. ඒ වගේම අද දක්වාම විශේෂ බලකායට මානව හිමිකම් හෝ වෙනත් චෝදනාවක් නැහැ.‘

 

පාලම් කුමරගේ වැඩ මෙන්න :

Armyරම්බෝ වැනි චිත්‍රපටිවලදී විශේෂ සෙබළුන් ගැන අප අසා ඇත. එවැනි චිත්‍රපටිවල සෙබළුන්ගේ ඇතැම් හැකියාවන් සාමාන්‍ය මනුෂ්‍යන්ගේ හැකියා ඉක්මවයි. චිත්‍රපටිවලදී දකින දේවල් සැබෑවට සිදුවන්නේදැයි අපි ඇසුවෙමු.

‘අනිවාර්යයෙන්ම. අපට ඉහළම තාක්ෂණික පහසුකම් තිබුණේ නැහැ. අපි වැද්දාගේ බජට් එකෙන් සුද්දාගේ යුද්ධය කළා කියලයි මම නිතර කියන්නේ. ලෝකයේ අනෙක් රටවල්වල කවුරුත් නොකරපු දේවල් අපේ ඇතැම් සෙබළු කරලා තියෙනවා. අසාමාන්‍ය ශක්තියක්, හැකියාවක් හා ධෛර්යයක් තියෙනවා.

උදාහරණයකට කියන්නම් පාලම් කුමර කියලා කොල්ලෙක් ගැන. ඔහුගේ සැබෑ නාමය නොවන නිසා දැන් අනන්‍යතාවය අඳුනගන්න බැහැ. ඔහුත් එක්ක අපි දිගුදුර මෙහෙයුමකට ගියා. වෙඩි හුවමාරුවකදී අපේ කණ්ඩායම විසිරුණා. එල්ටීටීඊයෙන් අප පසුපස හඹා ආවා. පසුව අපි කණ්ඩායම එකතුවෙලා ආවත්, ඔහු තනිවුණා. ඒත් අපි දැනගෙන හිටියා ඔහු අහුවෙන්නේ නැතිව එන්න තරම් විශිෂ්ඨයෙක් බව.

සති එකහමාරකට විතර පස්සේ ඔහු ආවා. කිසිම සිතියමක්, මඟ සොයන උපකරණයක් නැතිව මහවනය මැද්දෙන්. ඔහුව ගත්ත ගමන් මම බැලු‍වේ ඔහුට වෛද්‍ය පහසුකම් දෙන්න. ඒත් පාලම් කුමරයාට ඕනෑ වුණේ ඒක නෙවෙයි. මිනිහා එල්.ටී.ටී.ඊ. කඳවුරු තුනක් දැකලා. කිසිම සිතියමක් හෝ මාලිමාවක් නැතිව වුණත් පියවර ගණන් කරලා ඒවා තියෙන තැන් හඳුනගෙන. එයා ආපු ගමන් මුලින්ම කළේ ඒ කඳවුරු තුනේ තැන් සලකුණු කරලා ඒවාට ගුවන් ප්‍රහාර එල්ලකරන්න කියලා කියපු එක. වෙන මිනිහෙක් නම් ආපු ගමන් කඩාවැටිලා නිවාඩු ඉල්ලනවා. ඔහු අසාමාන්‍ය කැපකිරීම් කරපු විශිෂ්ඨයෙක්. දැන් ඔහු සමාජයේ නිහඬව, සාමාන්‍ය ජීවිතයක් ගතකරනවා. කවුරුත් පාලම් කුමරයා ගැනත් ඔහුගේ වීරත්වය ගැනත් දන්නෙ නෑ. ඔහු කරපු ඇතැම් දේවල් මතක් කරන්නත් කැමති නැතිව ඇති. මොකද යුද්ධය මිහිරි අත්දැකීමක් නෙවෙයි. ඒ තමයි සැබෑ පුරාවෘත්ත. සැබෑ රණවිරුවෝ.

බ්‍රාවෝ 2 සීරෝ කියලා ලෝකයේ අතිශය ජනප්‍රිය පොතක් තියෙනවා. ඒකෙන් චිත්‍රපටියකුත් හැදුවා. ඒක බ්‍රිතාන්‍යයේ විශේෂ එස්.ඒ.එස්. සෙබළ කණ්ඩායමක් ඉරාකයේ කරපු මෙහෙයුමක් ගැන ලියපු පොතක්. ඒ පොත ලියපු සෙබළාව වතාවක් මට කොළඹදී වතාවක් මුණගැහුණා. ඔහුගේ අත්දැකීම්වලින් අපටත් දෙයක් ගන්නට. එහෙත් ඔහු කියපු දේවල්වලින් මට ගන්න දේවල් තිබුණේ නැහැ. මොකද ඔහුගේ ජීවිතයේ එකම වැදගත් සිදුවීම ඒක. ඒත් අපට හැමදාම ඔයවගේ අත්දැකීම් තොග ගණන් තියෙනවා.

 

Image result for sniper view"''යුද්ධ කරපු කෙනා නෙවෙයි, බලාගෙන හිටපු කෙනා වැඩකාරයා''

හමුදාව තුළ සෙබළු වර්ග දෙකක් ඉන්න බව අපි කතාවට කියනවා. එක් වර්ගයක් අමාරුවෙක් කිට්ටු වෙලා ග්‍රෙනේඞ් එක දාලා, වෙඩිතියලා පහරදීලා එන අය. තව කෙනෙක් දුරදක්නයෙන් මිෂන් එක බලාගෙන ඉන්නවා. නැවත කඳවුරට ආවාට පස්සේ මෙහෙයුම කරපු සෙබළාට කතාව කියාගන්න බැහැ. බලාගෙන හිටපු කෙනා තමයි ලස්සනට කතාව කියන්නේ. ඒ නිසා මිෂන් එකෙන් පස්සේ කඳවුරේ සෙබළු වටවෙන්නේ දෙවැනියා වටේට. පහුගිය කාලයෙ පොත් ලියපු ගොඩක් එය ඒ දෙවැනි වර්ගයේ. මොකද යුද්ධ කරපු කෙනා නෙවෙයි, බලාගෙන හිටපු කෙනා වැඩකාරයා. ඒ අය දැන් අහනවා අපි මොනවද කළේ කියලා. ඒක තමයි ලෝකයෙ ස්වභාවය.

සමස්ථයක් විදියට මම ගෞරවයෙන් සහ ආඩම්බරයෙන් කියන්න ඕනෑ අපේ සොල්දාදුවන් හරිම ශේෂ්ඨ බව. ගොඩක් අය දුප්පත්කමට තමයි හමුදාවට බැදෙන්න ඇත්තේ. මම නම් බැඳුණේ යුද්ධයක් නැති හමුදාවකට. ඒත් යුද්ධය පටන්ගත්තාම අපි යුද්ධය දාලා රටෙන් ගියේ නැහැ. ඒ වගේම යුද්ධය තියෙද්දී බැඳුණු සෙබළු ගොඩක් හිටියා. ගොඩක් සෙබළු හරිම ශ්‍රේෂ්ඨ මිනිස්සු.‘

 

Image result for kidnap white van"තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයක් පැහැරගැනීම හොඳ හිතක් ඇති සෙබළෙකුට දැනෙන්නේ කෙලෙසද?

යුධ සෙබළුන්ට අදාලව ලියුම්කරුගේ සිතේ හැමදාම තිබුණු පැනයකි. තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයක් පැහැරගැනීම හොඳ හිතක් ඇති සෙබළෙකුට දැනෙන්නේ කෙලෙසද. ඒ මරණ අමතක කොට ජීවත්විය හැකිද. යන්න ඒ පැනයයි. මහේෂ් සේනානායක මහතා ඒ පිළිතුර දෙන්නට සුදුස්සෙකි.

‘කාගේ හෝ ජීවිතයක් ගත්තාට පස්සේ කවදාවත් ඒක මතකයෙන් ඈත් වෙන්නෙ නැහැ. ත්‍රස්තවාදියෙක් වුණත්, අපි නැතිකරන මනුෂ්‍ය ජීවිතය අපේ හිත ඇතුලේ තියෙනවා. හීනෙන් බියවීම්, මනස වියවුල් වීම් සිද්ධවෙන්න පුළුවන්. මටත් එහෙම දේවල් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි හමුදාව ඇතුළේ ආගමික වැඩසටහන් නිතර කරන්නේ. භාවනා වැඩසටහන් ආදිය කරන්නේ. මානසික වශයෙන් සොල්දාදුවාව සූදානම් කරන්න ඕනෑ.

පොදුවේ ගත්තාම අපි ඒ කටයුත්තේදී සාර්ථකයි. කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් එසේ නොවෙන්නට පුළුවන්. සමහර කෙනෙක් ගෙදර ගියාම බිරිඳ එක්ක ගැටුම් ඇති කරගන්නවා විය හැකියි. අපි හැමෝම පීඩිත පන්තියේ. හැම මනුස්සයෙක්ම එදිනෙදා ජීවිතයේදී පීඩනයන්ට මුහුණදෙනවා. හමුදා සෙබළුන්ටත් ඒ පීඩනය තියෙනවා. ඒ නිසා කලාතුරකින් කෙනෙක් දෙන්නෙක් හිංසාකාරී වෙන්න පුළුවන්. එහෙත් ඉතාම විනය සම්පන්නව සමාජයට නායකත්වය දෙන හමුදා සෙබළුන් අපි දන්නවා.‘

 

''රණවිරුවායි මිනීමරුවායි අතරේ වෙනසක් තියෙනවා''

රණවිරුවා වැනි යෙදුම්වලින් අපේ රටේ හමුදා සෙබළුන්ව සහ නිලධාරීන්ව ඉහළ තත්වයකට ඔසවා ඇත. ඒ ගෞරවයම රණවිරුවෙකුගේ කර මත පැටවෙන බරක් බවටත් පත්වෙයි. මේ විශ්වාසය හා ගෞරවය රකින්නේ කෙලෙසද කියා හෘදයසාක්ෂියක් ඇති ඕනෑම කෙනෙකුට කල්පනා කරන්නට සිදුවෙයි. ඒ මාතෘකාවට අදාලව මහේෂ් සේනානායක මහතා දැක්වූ අදහස්වල අප දුටුවේ නිහතමානීකමය.

‘රණවිරුවා කියන ගෞරවය අපට දෙනකොට අපිත් දැනගන්න ඕනෑ ඒ ගෞරවය රැකගන්න. රණවිරුවා කාගේ හරි මෙහෙයවීමක් මත කොටුවට ඇවිල්ලා උපවාස කරමින් සියදිවි නසාගන්න යනවානම් ඒක ගෞරවයට ගැලපෙන්නේ නැහැ. රණවිරුවායි මිනීමරුවායි අතරේ වෙනසක් තියෙනවා. යුද්ධය වෙලාවේ ගොඩක් හමුදා නිලධාරීන් ඉතාම යහපත් විදියට කටයුතු කළා. එහෙත් එක්කෙනෙක් දෙන්නෙක් වැරදි දේවල් කළානම් ඒවා ගැන හොයලා දඬුවම් කළ යුතුමයි.

අපිත් හමුදාවේ හිටපු පළියට කරන හැම දෙයක්ම ඉදිරියට රණවිරුවා කියන වචනය දාගන්න එක වැරදියි. දැන් රණවිරුවා කියන එක එක් පැත්තකින් වෙළඳ භාණ්ඩයක්. තවත් පැත්තකින් දේශපාලන අවශ්‍යතා අනුව පාවිච්චි කරන භාණ්ඩයක්.‘

Image result for ආබාධිත රණවිරු"

 

''අපේ ළමයින්ට ඒ වගේ යාළුවෝ නැහැ''

ඔහුට පවුල හා මිතුරන් සමඟ ඇත්තේ සමීප සම්බන්ධයකි.

‘මම පවුල එක්ක ඉතාම සමීපයි. මම වයස අවුරුදු 19න් හමුදාවට ගියේ. ඒත් මම යාළුවන් සහ පවුල ආශ්‍රයේදී කප්පිත්තෙක්. මගේ ඉස්කෝලෙ යාළුවෝ පස්දෙනෙක් අදටත් එදා වගේම ඉන්නවා. අපේ හොඳම යාළුවෝ පස්දෙනෙක් හිටියා. මම මයියා. පඩික්කමා, වන්නියා, කරූ, වවුලා තමයි අනෙක් හතරදෙනා. මේ හතරදෙනාම ඉහළ රැකියා කරන අය.

මේ පස්දෙනා මයියා එක්ක හැමදාම ඉන්නවා. සමහර වෙලාවට මට බැණ බැණ මා එක්ක ඉන්නවා. උං මට ඡන්දය දෙන්නත් නැතිව ඇති. ඒත් මම කැම්පේන් එකේ ඉන්නකොට කෑම එකක් එවනවා. අපේ ළමයින්ට ඒ වගේ යාළුවෝ නැහැ. මගේ යාළුවෝ මා එක්කම හිටියා. ගොඩක් මිනිස්සු පවුල සහ මිතුරන් අත්හැරලා වරද්දාගන්නවා. ඒත් මම පවුල හා මිතුරන් එක්ක ඉතාමත්ම සමීපව ඉන්නවා.‘

 

කරුණාකර හමුදාවේ දේශපාලනය එපා !

අවසාන යුද්ධයේදී මහේෂ් සේනානායක මහතා අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

‘රටේ යුද්ධයක් තියෙද්දී යුධ හමුදාවේ අතිශය වැදගත් නිලතල කිහිපයක් තියෙනවා. පළවැනියා යුධ හමුදාපතිවරයා. ඊළඟට බුද්ධි අධ්‍යක්ෂ හා සැලසුම් අධ්‍යක්ෂ. ඊළඟට ක්‍රියාන්විත අධ්‍යක්ෂ. මීට අමතරව තවත් යම් නිලධාරියෙක් විශේෂ අත්දැකීම් සහ හැකියාවන් නිසා වැදගත් මැදිහත්වීම් කරන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් ජාති වශයෙන් යුධ සැලසුම් හදනකොට මුලින්ම බුද්ධි අධ්‍යක්ෂවරයා තොරතුරු ලබාගෙන ඒක බුද්ධිය බවට පත්කරනවා. ඒ බුද්ධිය අනුව සැලසුම් සකසන්න නායකත්වය දෙන්නේ සැලසුම් අධ්‍යක්ෂ. එය ක්‍රියාන්විතයේ යොදවන්නේ ක්‍රියාන්විත අධ්‍යක්ෂ.

මම අවසාන යුද්ධයේදී සැලසුම් අධ්‍යක්ෂ ලෙස සේවය කළා. බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර. ක්‍රියාන්විත අධ්‍යක්ෂ උදය පෙරේරා. අපි තුන්දෙනා එකම කණ්ඩායමේ ඉගෙනගත් අය. ඒක අහම්බයෙන් වුණ දෙයක්. එහෙත් අපි තුන්දෙනා හොඳ මිත්‍රයෝ. ඒ නිසාම ජෙනරාල් ෆොන්සේකා අපේ එක්කෙනෙක්ට කෝල් එකක් ගන්නකොට අපි තුන්දෙනාම එකම කාමරයේ ඉන්න අවස්ථා ගොඩක් තිබුණා. අපි තුන්දෙනා කණ්ඩායමක් විදියට හිටියා. දවල් රෑ අපි එකට කටයුතු කළා. ඒක යුද්ධයේදී හමුදාපතිතුමාට, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට සහ ජනාධිපතිතුමාට පහසු වුණා.

2010 දී සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට ආවා. සැලසුම් අධ්‍යක්ෂ නිසා ඔහු මට කෝල් නොකරපු දවසක් නැහැ. එහෙත් එදා ඔහු දේශපාලනයට ගියත් මම දේශපාලනයක් කළේ නැහැ. දේශපාලනය හමුදාවට ගෙනාවේත් නැහැ. එහෙත් ඒ කාලයේ හිටපු පාලනය බියවුණා අපි හමුදාවට දේශපාලනය ගෙනෙයි කියලා. ඒ හින්දා මම ඇතුළු පිරිසක් හමුදාවෙන් ඉවත් කළා. ඒ වගේ දේවල් නොවෙනවානම් හොඳයි. මම පසුකාලීනව හමුදාවෙන් ඉවත්වෙලා දේශපාලනයට ආවාට පස්සේ ගොඩක් අය මට සුභපතලා කෙටි පණිවුඩ එව්වා. මම හමුදාවේ අයට උත්තර දුන්නේ ස්තූතියි, කරුණාකර හමුදාවේ දේශපාලනය එපා කියලා.‘

 

'මම හෙටත් දේශපාලනයේ ඉන්නවා'

Image result for mahesh senanayake"

අවසානයේදී ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වුණේය. ඒ ගැන ඔහු කීවේ මෙලෙසය.

‘හෙට මම රහත් වුණත් ඒක මට බෝනස්. ජනාධිපති වුණත් ඒක බෝනස්. මම හමුදා සෙබළෙක් විදියට යන්න ඕනෑ ඉහළම තැනට ආවා. ඒ හමුදාපති ධූරය. මට ඊට පස්සේ මොනාවත් ඉල්ලන්නේ නැතිව ඉන්න තිබුණා. එහෙත් මම දේශපාලනයට ආවා. මම ආවේ බලය වෙනුවෙන් නෙවෙයි. කවුරුහරි ජනාධිපති වේවි. සිල්වා ජනාධිපති වුණත් එකයි, පෙරේරා ජනාධිපති වුණත් එකයි. එහෙත් බලයේ ඉන්න අයට ප්‍රතිපත්තිමය බලපෑමක් කරන්න මම සූදානම්. මම හෙටත් දේශපාලනයේ ඉන්නවා. වැඩ කරන්නේ කොහොමද කියලා නුදුරේදී තීරණය වේවි.

එහෙත් රටේ යහපත වෙනුවෙන් මම කැපවෙනවා. මම හිටපු හමුදාපතිවරයෙක්. මම මියගියොත් දහස් ගණන් සෙබළුන්ව එවාවි. ආචාර පෙළපාලි පවත්වාවි. එහෙත් මට ඕනෑ එහෙම දෙයක් නෙවෙයි. මම මැරෙන වෙලාවට හෝ අසනීප වෙන වෙලාවට මිනිස්සු මා කරපු දේවල් ගැන ගෞරවයෙන් මගේ මළගෙදරට එන්න ඕනෑ. මම ඒ වෙනුවෙන් වැඩ කරනවා.‘

(අනිද්දා: සංවාද සටහන -තරිඳු උඩුවරගෙදර)

 Apekshakaya

subscribeYT

නවතම පුවත්