''බදු ගැන වගකීම තිබෙන්නේ ව්‍යවස්ථාදායකටයි. විධායකයට බදු සම්බන්ධව තීරණ ගන්න අයිතියක් නැහැ.

ලෝකයේ සෑම රටකම එහෙමයි. එහිදී රාජපක්ෂ ආණ්ඩුව නීතිය ආක්‍රමණය කරමින් යනව කියලත් කියන්න පුළුවන්.'' යයි මහාචාර්ය රොහාන් සමරජීව පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ සති අන්ත 'රාවය' පුවත්පත සමග සිදුකළ සංවාදයකදීය.

පුවත්පතේ පලවී ඇති සම්පුර්ණ සංවාදය පහත පළවේ.

 

Ravaya: ලංකාවේ පවතින තාවකාලික බදු ප්‍රතිපත්ති සම්බන්ධව ඔබට ඇත්තෙ කෙබඳු අදහසක්ද?

රොහාන් සමරජීව :

මුලින්ම බදු ප්‍රභේද ගත්තාම සෘජු බදු සහ වක්‍ර බදු කියල ප්‍රභේද දෙකක් තියෙනවා. ලංකාවෙ බොහොමයක් හිතාන ඉන්නෙ අපි බදු ගෙවන්නෙ නැහැ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම අපි හැමෝම බදු ගෙවනවා. ඒවා ගෙවන විවිධ ක්‍රම තියෙනවා.

එහිදී ආණ්ඩුවේ ප්‍රධාන මූල්‍ය ප්‍රභවය වෙලා තියෙන්නේ රේගුවයි. රේගුව ලංකාවට එන බඩු වලට බදු අය කරනවා. ලංකාවෙන් යන ඒවයෙනුත් සමහර වෙලාවට බදු අය කරනවා. එන ඒවයෙන් අය කරන එක තමයි විශාල වශයෙන් කරන්නේ.

text 23 1උදාහරණයක් ගත්තොත්, අපි ආහාරයට ගන්න පරිප්පු, කිරිපිටි කියන බොහොමයක් දේවල් වල සෑහෙන ප්‍රමාණයක බදු තියෙනවා. ඒවා වක්‍ර බදු. ආර්ථික විද්‍යාත්මකව ඒ දෙස බැලූවාම වක්‍ර බදු බොහෝදුරට දුප්පත් ජනතාවටයි වදින්නේ. බොහෝ දුරට එය සිද්ධාන්තයක් ලෙස ගත් විට අපට වළක්වාගත නොහැකි (වියදම් නොකර බැරි වියදම්) ලෙස හඳුන්වාදිය හැකියි. ඒවා නම් ආහාර, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් වගේ දේවල්.

යහපාලන ආණ්ඩුව සෘජු බදු ඉහළ දැම්මෙ ක්‍රමය පවත්වාගෙන යන්න අපහසුයි කියලා. නමුත් රාජපක්ෂ ආණ්ඩුව පැමිණි විගස එය අවම කරනවා,

යහපාලන ආණ්ඩුව දුප්පත් ජනතාවට බලපාන උක්ත ප්‍රතිශතය වෙනස් කරන්න උත්සහයක් ගත්තා. මම හිතනවා එය ඉතා සාර්ථකයි කියලා. බදු අය නොකර බැහැ. බදු අය විය යුතුයි. ගැටලූව වන්නේ එය සෘජු බදු ලෙස අය වනවාද, වක්‍ර බදු ලෙස අය වනවාද යන්න පමණි.

යහපාලන ආණ්ඩුව සෘජු බදු වැඩි කළත් ඔවුන් ඒවා යෙදෙව්වෙ නැහැ නිසියාකාරව. අනවශ්‍ය විදියට රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කළා. මහපොළ වැඩි කළා. එවැනි මෝඩ තීරණ බොහොමයක් ගත්තා. ඒ අනුව ගත්තාම ඔවුන්ගෙත් යම්කිසි ධන හා ඍණ පැති ගණනාවක් තිබුණා. 

රාජපක්ෂ ආණ්ඩුවෙන් ගිය ආණ්ඩුව ආවරණය නොකළ සමහර තැන් ආවරණය කරන්න පෙළඹිලා තිබෙනවා. නමුත් මූලික වශයෙන් අප තේරුම් ගත යුත්ත තමයි ආණ්ඩුවට බදු වලින් එන මුදල් 2007 දී 2% ප්‍රතිශතය 11% දක්වා පහළ බැස්සා. යහපාලන ආණ්ඩුව එය 14% 15% දක්වා ගෙනාවා. ඉතින් නැවත වරක් එය ආපස්සට ගෙනයන එක හොඳ දෙයක් ලෙස මම දකින්නේ නැහැ.

 

Ravaya : ලංකාවේ බදු ප්‍රමිතීන් ජාත්‍යන්තර ප්‍රමිතීන් සමග සැසදීමේදී එය ඉතා පසුගාමී තත්ත්වයකද තිබෙන්නේ?

රොහාන් සමරජීව :
ජාත්‍යන්තරයේ එක් එක් තලවල ප්‍රමිතීන් තිබෙනවා. අපි කවුරුත් කැමති නැහැ බදු ගෙවන්න. නමුත් මෙය රටක් ලෙස පැවතෙන්නේ කෙසේද යන්න අප තේරුම් ගත යුතුයි. එහිදී අපට බදු ගෙවන්න සිදුවනවා. උදාහරණයක් ලෙස මම නෙදර්ලන්තයේ ඉන්න කාලයේ මගේ මූලික ආදායමෙන් 40%ක් බදු ගෙව්වා. නමුත් ලංකාවට ආවම 24%, 25% වගේ තමයි ගෙව්වේ. එහිදී පැහැදිලිව කිවයුතුවන්නේ සෘජු බදු අය කිරීම අවම නොකළ යුතුයි යන්න. බොහෝ දුරට ඔවුන්ට තිබෙන ප්‍රශ්නෙ බදු ගෙවන එක නෙවෙයි, බදුවලට මොකක්ද වෙන්නෙ කියන දේ පමණයි.

 

Ravaya:එහිදී ලංකාව තුළ ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය ඉතාමත් ප්‍රාථමික ද?

රොහාන් සමරජීව :
ලංකාවෙ තියෙන්නෙ වක්‍ර බදු 80%යි සෘජු බදු 20% යි. මේ ක්‍රමේ වැරදි ප්‍රතිශතයක් කීවොත් නිවැරදියි. හේතුව ලංකාව කියන්නෙ ඉහළ මැදි ආදායම් රටක් නිසයි. දියුණු රටවල ආණ්ඩු වක්‍ර බදු අයකිරීම් සීමිත කරලා සෘජු බදු ගෙවන්න සලස්වනවා.

 

Ravaya: රාජපක්ෂ ආණ්ඩුව බදු මිල පහළ දැමීමේ රටේ පැවැත්මට වඩා, තමන්ගේ පැවැත්ම ස්ථාවර කරගැනීමට ද?

රොහාන් සමරජීව :
අන්තර් මැතිවරණ සමයේ නොයෙක් නොයෙක් සංසිද්ධීන් සිදුවෙනවා. මම මේ දකින්නෙත් එවැනි සංසිද්ධියක් ලෙසයි. 2015දිත් මෙවැනි දේ වුණා. බලයට පත් වූ අතරමැදි කාලයේදි (දින 100) අප බොහෝ දේ බලාපොරොත්තු වුණා. නමුත් ඔවුන් ආර්ථීකය පැත්තෙන් නානාප්‍රකාර මෝඩ තීරණ ගත්තා. මේවට කියන්නෙ රඟපෑම් කියලා. බොහෝ දුරට වර්තමානයෙත් එවැනි දේ සිදුවිය හැකියි. මේවා ඇත්තටම කෙටිකාලීන දේශපාලන වාසි සඳහා භාවිත කරන්නක්.

 

Ravaya: ලංකා ආර්ථිකයේ වැඩි ක්‍රියාකාරීත්වය තිබෙන්නේ පුද්ගලික අංශයටයි. එහිදී පුද්ගලික ආයෝජකයන්ට බදු ප්‍රතිපත්තිමය නිශ්චිත භාවයක් අත්‍යවශ්‍ය කාරණයක් නේද?

රොහාන් සමරජීව :
අනිවාර්යයෙන්ම. ලංකාවේ පුද්ගලික ආයෝජකයො වැඩියි. සමහරු ලංකාවෙ විතරයි ව්‍යාපාර කරන්නේ. තව පිරිසක් ඉන්නවා ඔවුන්ට විකල්ප තියෙනවා. ලංකාවෙ වගේම විදේශ රටවලත් අයෝජන කරනවා. ඔවුන්ට තිබෙන මූලික ගැටලූව බදු ගෙවීම නෙවෙයි, බදු එහාට මෙහාට දෝලනය වීමයි. එහිදී ඔවුන්ට නිශ්චිතභාවය අත්‍යවශ්‍යයි. හේතුව ආයෝජකයෙක් කියන්නෙ අවුරුදු පහකට දහයකට සැලසුම් හදාගෙන ඉන්න පිරිසක්.

text 23 2උදාහරණයක් ලෙස මුල් කාලෙ පාඩු ලබාගෙන පසුව පොලිය ගෙවාගෙන මගෙ ආදායම් ප්‍රවාහය ඉදිරියෙදි පැමිණෙනවා. අවසානයේදී මම ලාභයක් ලබලා තියෙනවා. ඒ සියලූම දේවල් වලට ආර්ථික කොටස් එකතු කරනවා. කරලා ව්‍යාපාරික සැලැස්මක් හදවා.

නමුත් අපේ රටේ ඉන්නකොට ව්‍යාපාරික සැලැස්මක් හදාගෙන වැඩක් පටන් ගන්න බැහැ. හේතුව අවුරුදු පහකට සැරයක් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වන නිසා. බදු ප්‍රතිශතයේ අවිනිශ්චිතභාවයක් එතනම තියෙනවා.

මෙහි අතුරු ස්වරූපයක් ලෙස ආදායම් බදු දෙපාර්තමේන්තුවේ 'රමිස්' නමැති තොරතුරු තාක්ෂණ පද්ධතියක් නිර්මාණය වෙනවා. පසුගිය කාලෙ බදු ක්‍රමය වෙනස් කළානේ. පස්සෙ නැවත වරක් තව මිලියන ගණන් ගෙවලා එය නැවත වරක් නව බදු ක්‍රමය යටතේ පද්ධති මෘදුකාංග අලූතින් ලියන්න වුණා. කාලෙන් කාලෙට එය වෙනස් කරනව කියන්නෙ වියදමත් වැඩියි.

බදු අගයන් වෙනස්කම් නොකර ඉන්න තාක් රටක පැවැත්මට හොඳයි කියන තැන මම ඉන්නේ. විශාල වෙනස්කම් අනවශ්‍යයි. එවැනි වෙනස් හමුවෙ විදේශ ආයෝජන ලංකාවට ගෙන්වා ගන්නවා විනා ඒවා විදේශ රටවලටම ආයෝජනය වීමක් තමයි සිදුවන්නේ. 

මොනයම් හෝ හේතුවක් මත ලංකාවෙ මිනිස්සු මුදල් ඉතුරු කරන්නෙත් නැහැ. රජය ඉතුරු කරන්නෙත් නැහැ. එහිදී අපට ප්‍රාග්ධනයක් නැහැ. රජයට මුදල් තියෙන්නෙ රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නයි විශ්‍රාම වැටුප් ගෙවන්නයි විතරයි. ඒකටත් හරියට මුදල් නැහැ.

එහිදී ආයෝජන කටයුත්තකදී ඒවා එන්නෙ විදේශීය මාර්ගයෙන්. ඒවා විටෙක ණය වශයෙන් ගන්න පුළුවන්. නැතිනම් හවුල් ව්‍යාපාර ආයෝජනයක් ලෙස ගන්නත් පුළුවන්. මේවා කරන්න අමාරු වෙනවා මෙවැනි අවිධිමත් ආර්ථිකයක් සකස් වෙනකොට.

පක්ෂ දෙකේම මිනිස්සු හිතනවා පරම සත්‍යය තිබෙන්නේ අපි ගාවයි කියලා. පසුගිය ආණ්ඩු කළ සියල්ල වැරදියි ඒ නිසා මම අලූතෙන් පොත ලිවිය යුතුයි කියන තැනයි සියල්ල සිටින්නේ. එහිදී ඔවුන්ට තේරෙන්නෙ නැහැ පුද්ගලික ආයෝජකයො එකඟත්වයකට ගෙන ආවෙ නැතිනම් අවුරුදු පහෙන් පහට අවිනිශ්චිත භාවයක් රැඳෙනවා. මොකද දේශපාලකයො බදු ගෙවන අය නෙවේනෙ. බදු ගෙවන මිනිස්සුන්ටයි මෙවැනි වෙනස්කම් නිසා කරදරේ.

 

Ravaya : බදු ප්‍රතිශතය පහළ දමා ඇති බවට රජය ප්‍රකාශ කළත් වෙළෙඳපොළේදී එම වාසිය ජනතාවට අත්විඳින්නට හැකියාවක් ඇති බව පෙනෙන්නට නැහැ?

රොහාන් සමරජීව :
text 23 3ඉහළ මැදි ආදයම් රටක් හැටියට අපි වැඩි හරියක් වියදම් කරන්නෙ ආහාරවලට නෙවේ. අපි වියදම් කරන්නෙ වාහනවලට සහ රූපලාවණ්‍යය කටයුතු වලටයි. එහිදී අපේ ආනයන සඳහා වන වියදම වැඩි වෙනවා. ආර්ථිකයට තල්ලූවක් දෙන්න කියලා සල්ලි රිලීස් කළාම ආනයන ප්‍රමාණය වැඩි වෙනවා. එහිදී වෙළෙඳ ශේෂයට බලපෑම් ඇති වෙනවා. අපනයන අඩු වෙනවා.

2015 යහපාලන ආණ්ඩුව මිනිසුන්ගෙ අතට සෘජුවම මුදල් දුන්නා. නමුත් රාජපක්ෂ ආණ්ඩුව එසේ කරයි කියලා හිතන්න නැහැ. බදු මිල අඩු කළා කියල කීවා. නමුත් අපට වෙළෙඳපොළ සහනයක් තවම දැනෙන්නට නැහැ. 

වෙළෙඳපොළ හරහා බොහෝ දුරට වක්‍ර බදු ක්‍රමයක්නෙ රජය අය කරන්නේ. එහිදී මම ඉහත කීවා වගේ එය බලපාන්නෙ සාමාන්‍ය දුප්පත් ජනතාවටයි. 2015දී අපට සෘජු බදු වැඩි කළාට, වක්‍ර බදු බර ටිකක් ලිහිල් වූ වගක් පෙනෙන්නට තිබුණා.

උදාහරණයක් විදියට මම යහපාලන ආණ්ඩුවට කලින් වාහනයේ තෙල් ටැංකියට රුපියල් හත්දාහක පෙට්‍රල් පුරවනකොට යහපාලනය පැමිණීමත් සමග රුපියල් පන්දාහට බැස්සා. එකල වෙළෙඳපොළ ජනතාවට දැනෙන්න අඩුවීමක් තිබුණා. නමුත් වර්තමානයේ බදු මිල අඩු කිරීම තීරණය වන්නේ තරගකාරී වෙළෙඳපොළත් සමගයි. වෙළෙඳපොළ තරගයේ සිටින අය තමයි තීරණය කරන්නෙ අඩු කළ බදු මිල වෙළඳපොළ තුළ පෙන්වනවාද නැතිද කියා.

බදු සම්බන්ධව නොයෙකුත් ප්‍රකාශන නිකුත් කළාට රටේ නීතිය අනුව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බදු මිල අඩුවීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ නීතියක් ගෙනෙන්න අවශ්‍යයි. හේතුව බදු ගැන වගකීම තිබෙන්නේ ව්‍යවස්ථාදායකටයි. විධායකයට බදු සම්බන්ධව තීරණ ගන්න අයිතියක් නැහැ. ලෝකයේ සෑම රටකම එහෙමයි. එහිදී රාජපක්ෂ ආණ්ඩුව නීතිය ආක්‍රමණය කරමින් යනව කියලත් කියන්න පුළුවන්.

(රාවය- සටහන දිනී ජයසේකර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්