“අපි ජේවීපී එකේ බලූ පැටව්ද? කුක්කොද? වරෙන් මෙහෙම සාකච්ඡා තියපන්, ප්‍රෙස් කන්ෆරන්ස් දීපන්, හිට ගනින් වාඩි වෙයන්,

අනුර කුමාරට ජයවේවා කියපන්, කියන කොට ඒවා කර කර ඉන්න එහෙයියන්ද අපි?“ යැයි  ප්‍රශ්න නගමින් කරුණු පැහැදිලි කර සිටියේ, මහචාර්ය කුමාර් ඩේවිඩ් රාවය පුවත් පත සමග පැවැති සාකච්ඡාවක දී ය.

රාවය :
තීරණාත්මක අවස්ථාවකදී පවා සෙසු වාමාංශික පක්ෂ හෝ වාමවාදීන් සමග පොදු එකඟතාවක් ඇති කරගන්නට අසමත් ජනතා විමුක්ති පෙරමුණ සමග ඔබ ප්‍රමුඛ පැරණි වාමාංශික නායකයන් පිරිසක් ජාතික ජන බලවේගය නමින් සන්ධානගත වන්නේ කවර පදනමකින්ද?


කුමාර් ඩේවිඩ්:

මමත් අපේ සමහර අයත් වම එකට එකතු කරන්න අවුරුදු තුනක් විශාල වැඩ කොටසක් කළා. සම්මන්ත්‍රණ තිබ්බා. ඩොකියුමන්ට් ලිව්වා. ග්‍රීස්වල ලෙෆ්ට් එලායන්ස් එක සාර්ථක වුණ මොඩල් එක අරගෙන මෙහෙත් වමේ බලයක් ගොඩනඟන්නයි අපි අදහස් කළේ. ඒ එක්කහු කිරීමට ලංකාවේ තිබෙන ලොකුම වාමාංශික පක්ෂය වන ජේවීපී එක අත්‍යවශ්‍යයයි.

2019දි ජේවීපී එක ජාතික ජන බලවේගය කියලා පළල් ඩිමොක්‍රටි එලායන්ස් එකක් කැඳෙව්වා. ජනාධිපතිවරණය වෙනකොට එහි සංවිධාන 29ක් හිටියා. ඒ නිසා අපිත් ඒකට සම්බන්ධ වුණා. නමුත් මම අදටත් කැමතියි වමේ සියලූ පාර්ශ්වයන් එකතු වෙනවා දකින්න.



රාවය :
වමේ සියලූ පාර්ශ්වයන්ට එකතු වෙන්න නොහැකි බාධාවන් මොනවාද?

කුමාර් ඩේවිඩ්:

වම ඇතුලේ තියන කට්ටිවාදය තමයි ලොකුම බාධාව. ලංකාවේ වාමාංශිකයන් විසිහය දෙනෙක් කාමරයකට යවලා, දොර වහලා, ඊට පස්සේ දොර ඇරියොත් පක්ෂ විසිහයක් එළියට එනවා කියලා කතාවටත් කියනවානේ. කාලයක් වමේ තිබුණා ට්‍රොස්ට්කිවාදය, ස්ටැලින්වාදය ඊට පස්සේ මාඕවාදය, ඔය විදිහට අයිඩියෝලොජිකලි ප්‍රධාන බෙදීම් තුනක්. සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය බෙදෙන්නේ ඒ පදනමින්.

ලංකාව තුළ මුලින්ම කට්ටිවාදය ආවේ සිරිමා බණ්ඩාරනායකත් එක්ක යනවද, වෙනම විප්ලවයට යනවද කියන විවාදය මත. ඒ නිසා තමයි බාහු, මම, හුඟක් අය එකතුවෙලා නව සමසමාජ පක්ෂය කියලා පක්ෂයක් ඇතුලේ පක්ෂයක් හැදුවේ. එක පැත්තකින් ඒක හොර වැඩක්. නමුත් එතනත් සිද්ධාන්තමය පදනමක් තිබුණා.

''ලංකාව තුළ මුලින්ම කට්ටිවාදය ආවේ සිරිමා බණ්ඩාරනායකත් එක්ක යනවද, වෙනම විප්ලවයට යනවද කියන විවාදය මත. ඒ නිසා තමයි බාහු, මම, හුඟක් අය එකතුවෙලා නව සමසමාජ පක්ෂය කියලා පක්ෂයක් ඇතුලේ පක්ෂයක් හැදුවේ. එක පැත්තකින් ඒක හොර වැඩක්. නමුත් එතනත් සිද්ධාන්තමය පදනමක් තිබුණා.''

ඔය උදාහරණ දෙක තුන හැර මම දකින්නේ අද තිබෙන කට්ටිවාදය, පොඩි පොඩි පක්ෂවලට කැඩෙන එක, නොවැදගත් ප්‍රශ්න මුල්කර ගනිමින් සිදුවෙන දෙයක් විදිහට. කවුද නායකයා? කවුද ප්‍රධාන ලේකම්? පක්ෂ විදිහට එක් වුණොත් ඒ ඒ පක්ෂවලින් කී දෙනෙක් දේශපාලන මණ්ඩලයට ගන්නවාද? කී දෙනෙක් මධ්‍යම කාරක සභාවට ගන්නවාද? වගේ සුළු සුළු, හුඟක්දුරට පෞද්ගලික ප්‍රශ්න සහ ඇතැම් කණ්ඩායම් මූල්‍ය පදනමින් වඩා ශක්තිමත්වීමත් තමයි.

 

රාවය :

සමාජවාදය, කොමියුනිස්ට්වාදය, සියල්ල අද වෙනකොට දේශපාලන ලෝකය තුළ අවලංගු මතවාද බවට පත්ව තිබෙන පසුබිමක ජවිපෙ වැනි පක්ෂයක් තවදුරටත් ඒ පදනමින් ක්‍රියාත්මකවීම, ජනතාව රැවටීමක්ද? තමන්ම රවටා ගැනීමක්ද?

කුමාර් ඩේවිඩ් :

1917 ලෙනින් බොල්ෂෙවික් විප්ලවය කළ දර්ශනය අද රුසියාවටවත් සුදුසුවන්නේ නෑ. නෝර්ත් පෝල් එකේ මිනිස්සු කෝට් අඳින නිසා අපි සහරා කාන්තාරයට ගිහිල්ලත් කෝට් අදිනවාද? ඒ ලෙනින්වාදය නෙවෙයි අද අපි පිළිගන්න ඕනේ. අද ලෝකයේ හුඟක් දුරට සෝෂල් ඩිමොක්‍රටික් පැත්තට තල්ලූවේගන යන ලෝකයක්.

''1917 ලෙනින් බොල්ෂෙවික් විප්ලවය කළ දර්ශනය අද රුසියාවටවත් සුදුසුවන්නේ නෑ. නෝර්ත් පෝල් එකේ මිනිස්සු කෝට් අඳින නිසා අපි සහරා කාන්තාරයට ගිහිල්ලත් කෝට් අදිනවාද? ඒ ලෙනින්වාදය නෙවෙයි අද අපි පිළිගන්න ඕනේ. අද ලෝකයේ හුඟක් දුරට සෝෂල් ඩිමොක්‍රටික් පැත්තට තල්ලූවේගන යන ලෝකයක්. ''

Bernie Sandesඇමරිකාව වගේ රටක බර්නි සැන්ඩස් වගේ මිනිහෙක්ට ප්‍රසිද්ධියේ ‘මම සෝෂල් ඩිමොක්‍රටි’ කියලා ලොකුවට එන්න පුළුවන් නම්, ඡන්ද ලක්ෂ ගණන් ගන්න පුළුවන් නම්... මීට අවුරුදු විස්සකට කලින් මිනිහා ඕක කිව්ව නම් මිනිස්සු ගහලා පන්නනවා.

ඒකෙන් පේන්නේ අද මනුස්සයාගේ කොන්සස්නස් එකහුඟක් වෙනස් වෙලා. සෝෂල් ඩිමොක්‍රටි කියන්නේ කැපිටලිස්ට් ඩිමොක්‍රටි නෙවෙයි. ලිබරල් ඩිමොක්‍රටි නෙවෙයි. ඉතිහාසය යන්නේ සරළ රේඛාවක් විදිහට නෙවෙයි. සිග් සැග් ආකාරයට.

ඩිමොක්‍රටි රාජ්‍ය නැතෙයි කිව්වොත් මිනිස්සු එක්කෙනෙක්වත් අපේ පැත්තට එන්නේ නෑ. ඩිමොක්‍රසි නැතෙයි කිව්වොත් බර්නි සැන්ඩර්ටත් ඔළුව උස්සන්න බෑ. සෝෂලිසම් කියන්නේ ඒකෙම පොලිටිකල් සිස්ටම් එක.

අද ජේවීපී එක කරන්නේ සෝෂල් ඩිමොක්‍රටික් පොලිටික්ස්නේ. ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂා කරලා තියනවා. එය තුළින් පාර්ලිමේන්තුවේ බලයට එන්න උත්සාහ කරනවා. ජනාධිපතිවරණය තරග කරනවා. ජවිපෙ වැඩසටහන මොකක්ද? අර මම කියපු ප්‍රෝගෑම් එකනේ. සමාජය ලෙෆ්ට් සෝෂල් ඩිමොක්‍රටි එකකට තල්ලූ කිරීම.

 

රාවය :

එහි ආර්ථික මොඩලය මොකක්ද?

කුමාර් ඩේවිඩ් :

අද තියන ෆිනෑන්ස් කැපිටලිසම් එකේ පාලනයට යටවෙච්ච ආර්ථික ක්‍රමය තුළම මීට වඩා මිනිස්සුන්ගේ උවමනාවන්ට තැනක් දෙන්න ක්‍රමයක්. උදාහරණයකට නිදහස් සෞඛ්‍ය ආරක්ෂණය. නිදහස් අධ්‍යාපනය. යටිතල පහසුකම් සංවර්ධනය.

අද ලෝකයේ ආදායම් ලැබීම්වලින් 79%ක් වගේ තියෙන්නේ 1% එකක් අතේ. ඇමරිකාවේ යුරෝපයේ පවා පවතින මේ ආදායම් විෂමතාව විශ්වාස කළ නොහැකි තරමේ එකක්. මින් පෙර කවමදාකවත් නොවුණු එකක්. ඕක ෆිනෑන්ස් කැපිටල් එකේ ලකුණක්. ඒ ආර්ථික ක්‍රමය වෙනස් කරන්න ඕනේ.

බදු ක්‍රමවලින් හෝ යම් යම් ඒකාධිකාරින් බිඳ දමා හෝ මොකක් හරි ක්‍රමයකින්. අද සමාජවාදය කියන්නේ අර ධනවතුන් සීයට එකේ බලය බිඳීම සහ ඒ ධනය 99% වන සෙසු ජනගහනයේ සංවර්ධනය සඳහා යෙදවීමයි. ඒක කරන්න පුළුවන් දෙයක්.

 

රාවය :

ජාතික ජන බලවේගයේ සිටින විද්වතුන් මාධ්‍ය හමු පවත්වමින් ජනතාවට ඉදිරිපත් කරන කරුණු ඒ ආකාරයෙන්ම ජවිපෙටත් ඉදිරිපත් කරනවාද? ජවිපෙ ඒවාට සවන් දෙනවාද?

කුමාර් ඩේවිඩ් :

නැත්නම් අපි ජේවීපී එකේ බලූ පැටව්ද? කුක්කොද? වරෙන් මෙහෙම සාකච්ඡා තියපන්, ප්‍රෙස් කන්ෆරන්ස් දීපන්, හිට ගනින් වාඩි වෙයන්, අනුර කුමාරට ජයවේවා කියපන්, කියන කොට ඒවා කර කර ඉන්න එහෙයියන්ද අපි? ඇත්ත තත්ත්වය නම් ජේවීපී එක හුඟක් දුරට අපි කියන දේට ඇහුම් කන් දෙනවා.

''ජාතික ප්‍රශ්නය ගත්තොත් ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු විජේවීරයි, එල්ටීටීඊ එක මරන්න ඕනේ කියලා හමුදාවට සපෝට් කරපු, උතුරු නැගෙනහිර එක්කහු කරපු එක වැරදියි කියලා නඩු දැම්ම වීරවංශ නායකයෝ වෙලා හිටිය ජේවීපී එක, අද අපේ ජාතික ජන බලවේගය වැඩසටහනෙන් බලය බෙදීම පිළිගන්න තැනකට ගෙනල්ලා තියනවා. ''

උදාහරණයකට ජාතික ප්‍රශ්නය ගත්තොත් ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු විජේවීරයි, එල්ටීටීඊ එක මරන්න ඕනේ කියලා හමුදාවට සපෝට් කරපු, උතුරු නැගෙනහිර එක්කහු කරපු එක වැරදියි කියලා නඩු දැම්ම වීරවංශයි නායකයෝ වෙලා හිටිය ජේවීපී එක, අද අපේ ජාතික ජන බලවේගය වැඩසටහනෙන් බලය බෙදීම පිළිගන්න තැනකට ගෙනල්ලා තියනවා.

ජාතික ප්‍රශ්නය තරම් ඉතිහාසය තුළ ජේවීපී එකත් එක්ක විවේචනාවත්මකව අපි හැප්පිලා හිටපු වෙනත් ප්‍රශ්නයක් නෑ. ඒක ඔතැනට ආපු එකම ලොකු දෙයක්.

 

රාවය :

එම්.සී.සී. එක සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයත් ජවිපෙ මතයමද දරන්නේ?

කුමාර් ඩේවිඩ් :

MCC එකට අනුර කුමාර තදින්ම විරුද්ධයි. නමුත් අපේ කෙනෙක් දෙන්නෙක් ඉන්නවා, ගම්මන්පිලත් 70%ක් හොඳයි කියන එකේ එම්සීසී එක ගැන තවදුරටත් හොයලා බැලිය යුතුයි කියන ස්ථාවරයේ. විශේෂයෙන්ම ඉඩම් සම්බන්ධයෙන් ගිවිසුමේ එන කාරණාවලට එකඟ වෙන්න බෑ කියන එක තමයි අනුර මූලික වශයෙන් කියන්නේ. ධනේශ්වර අධිරාජ්‍යවාදීන්ට ඉඩම් ඔප්පු දීලා ආයි දෙන්න ප්‍රෝඩාවක්ද මේ කියන එක උඩ එයාට සැකයක් තියනවා.

නමුත් මයිකල් ප්‍රනාන්දු කියන්නේ මේක හරිගස්ස ගන්න පුළුවන් වෙයි කියලයි. අපි දැන් මේ ආරක්ෂා කරන්නේ ගොවියාගේ අක්කර බාගේ. ඒකට සින්නක්කර ඔප්පු දෙන්න එපා කියලා අපි කියන බව දැනගත්තොත් අපේ බෙල්ල මිරිකන්නේ ගොවියා. ඇයි අපිට ඔප්පු දෙන්නේ නැත්තේ? අපේ දෙයක් නම් ඇයි අපිට විකුණන්න බැරි? කියලා අහනවා.

ගොවියත් බලාගෙන ඉන්නේ ඕක විකුණලා ටවුන් එකට ඇවිල්ලා පොඩි ඉඩම් කෑල්ලක් ගන්න. ඔය වගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ඉඩකඩ, උවමනාව තියනවා. ඒ ගැන විවෘත සංවාදයක් යනවා.

 

රාවය :

ජවිපෙ සිවිල් සමාජය පාවිච්චි කරන්නෙත් පක්ෂයේ බලය වර්ධනය කරගැනීමේ උපාය මාර්ගයක් විදිහට පමණයි කියන එක පසුගිය මහ මැතිවරණයේදී සිවිල් සමාජය නියෝජනය කරමින් ජවිපෙන් ඉදිරිපත් කළ හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ සහ නීතිඥ ක්‍රිස්මාල් වර්ණසූරිය පාර්ලිමේන්තුවට තේරීපත් වුවත් ඔවුන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි කිරීමෙන්ම පැහැදිලි වෙනවා. එවැනි ක්‍රියාකාරිත්වයක් ප්‍රකට කළ ජවිපෙ කෙරෙහි සිවිල් සමාජයට සහ ඔබට තැබිය හැකි විශ්වාසය කුමක්ද?

කුමාර් ඩේවිඩ් :

ඒ බලය දැන් වුණත් ජවිපෙට තියනවා. පක්ෂ ලේකම්නේ ඒ තීරණය ගන්නේ. ජාතික ජන බලවේගයේ ප්‍රධාන බලවේගය විදිහට 75%ක් ශක්තිය තියෙන්නේ ජේවීපී එක අතේ. ඒ නිසා ඔය වගේ දේවල් ගැන ජේවීපී එකයි, ජාතික ජන බලවේගයයි අතර විසඳන්න බැරි අර්බුදයක් ඇති වුණොත් ජේවීපී එක දිනනවා. මේ වගේ ප්‍රශ්නයක් ඇතිවුණොත් කටයුතු කරන්නේ ජාතික ජන බලවේගයේ කාරක සභාවේ තීරණය මතද, නැත්නම් ජේවීපී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය මතද කියන කාරණය ගැන ජේවීපී එකත් එක්ක මේ වෙනකම් අපි සාකච්ඡා කරලා නෑ.

 

රාවය :

හොරුන්, මැරයින්, අපරාධකාරයන්, නූගතුන් නොවන පිරිසක් පාර්ලිමේන්තු යැවීමේ සැබෑ අවශ්‍යතාවක් රටේ බහුතර ජනතාවට තියෙද්දිත්, ඒ සඳහා වන සුදුසුකම් අන් සියලූ පක්ෂවලට වඩා ජවිපෙට තියෙද්දිත් කිසිදු මැතිවරණයකින් 10% ඡන්ද ප්‍රතිශතයකටවත් ළඟා වෙන්නට ජවිපෙට නොහැකිවීම ගැන ඔබලා හෝ යම් පර්යේෂණාත්මක සොයා බැලීමක් කර තිබෙනවාද?

කුමාර් ඩේවිඩ් :

දහ දෙනෙක් එක්ක කතා කළොත් නව දෙනෙක් කියන්නේ පොහොට්ටුකාරයෝ, ශ්‍රී ලංකා, යූඑන්පී ඔක්කොම පට්ටපල් හොරු, ජේවීපී එක අවංකයි, ඒ නිසා ජේවීපී එකට තමයි ඡන්දය දෙන්න ඕනේ කියලා. නමුත් එහෙම කියන නව දෙනාගෙන් අට දෙනෙක් මැතිවරණයේදි ඡන්දය දෙන්නේ ඒ අයම කියන පට්ටපල් හොරුන්ටමයි.

''දහ දෙනෙක් එක්ක කතා කළොත් නව දෙනෙක් කියන්නේ පොහොට්ටුකාරයෝ, ශ්‍රී ලංකා, යූඑන්පී ඔක්කොම පට්ටපල් හොරු, ජේවීපී එක අවංකයි, ඒ නිසා ජේවීපී එකට තමයි ඡන්දය දෙන්න ඕනේ කියලා. නමුත් එහෙම කියන නව දෙනාගෙන් අට දෙනෙක් මැතිවරණයේදි ඡන්දය දෙන්නේ ඒ අයම කියන පට්ටපල් හොරුන්ටමයි. මොකක්ද හේතුවක් නිසා ලංකාවේ මිනිස්සුන්ට ගෝත්‍රවාදයෙන් කැඩෙන්න අමාරුවක් තියනවා වගේ. ''

ඔතන ලොකු විසන්ධිභාවයක් තියනවා. මම මේක ලෝකේ වෙනත් රටක දැකලා නෑ. ඇමරිකාවේ මිනිස්සු ට්‍රම්ප් හොඳයි කිව්වොත් ට්‍රම්ප්ට ඡන්දෙ දෙනවා. නරකයි කිව්වොත් කුඩු වෙන්න ගහනවා. මොකක්ද හේතුවක් නිසා ලංකාවේ මිනිස්සුන්ට ගෝත්‍රවාදයෙන් කැඩෙන්න අමාරුවක් තියනවා වගේ. කොච්චර බැන්නත් යූඑන්පී ගෝත්‍රවාදය සහ ශ්‍රී ලංකා ගෝත්‍රවාදයෙන් අයින් වෙන්න ශක්තියක් මිනිස්සුන්ට නැහැ. ඕකට මුල්වෙන මූලික හේතු ඇති. නමුත් මට ඒ ඇයි කියලා පැහැදිලි අදහසක් නෑ.



රාවය :
රාජ්‍ය බලය ලබාගැනීම සඳහා වැඩකරන ජවිපෙට ඒ සඳහා හොඳම විකල්ප මාර්ගය චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලෙ කළා වගේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකෙන් එකක් සමග සන්ධාන ගතවී ඒ තුළින් ඉදිරියට ඒම නේද? මේ අවස්ථාවේ ඊට ඇති බාධාවක් ඔබ දකිනවාද?


කුමාර් ඩේවිඩ් :

සිද්ධාන්තමය පදනමින් පමණක් ඔය තීන්දුව ගන්න බෑ. ඵෙතිහාසික වශයෙන් සමහරක් අවස්ථා තියනවා ඒ වගේ බුර්ෂුවා පාටි එකත් එක්ක, නැත්නම් ගෝත්‍රයක් එක්ක එලායන්ස් එකක් හදාගැනීම නිවැරදි සහ වාසිදායක වන. ඒ වගේම සමහර අවස්ථා තියනවා එහෙම කරන ඒක ඉතාම වැරදි සහ අවාසි සහගත වන. අපේ අත්දැකීම නම් ඔය උපක්‍රමය කලාතුරකින් තමයි හරියන්නේ.

සාමාන්‍යයෙන් ධනේශ්වර කුපාඩි ලොකු දේශපාලන පක්ෂයකට ජවිපෙ ගහන මුක්කුව නිසා ජවිපෙ විනාශ වෙනවා උන් ශක්තිමත් වෙනවා. මම දන්නා දුරට අද ගෝඨාභය, රනිල් හෝ සජිත් එක්ක ඔය වගේ උපායකට ගියොත් ඒක ලොකු වරදක් වෙනවා.



රාවය :
මිලිටරි ආණ්ඩුකරණයක් කෙරෙහි ජනතාවට අපේක්ෂාවක් තියනවා. ජනාධිපතිවරයාත් රට එදෙසට ගෙනයමින් සිටින බව පේනවා. ඒ ගැන ඔබේ නිරීක්ෂණ මොනවාද?


කුමාර් ඩේවිඩ් :

අද ලංකාවේ දේශපාලන භූමියේ තියන ලොකුම ප්‍රශ්න දෙකෙන් එකක් වෙන්නේ ඕක. අනික, මුස්ලිම් සහ දෙමළ ජාතික ප්‍රශ්නය. එක කකුලක් මිලිටරිය උඩත්, අනෙක් කකුල වියත් මග වගේ ප්‍රතිගාමීත්වයක් මතත් තියලා ගෝඨාභයව බොනපාට් කෙනෙක් කරගෙන අපි ක්‍රමානුකූලව මිලිටරි බොනපාට්වාදී රජයකට යනවා නම්, ඕකට මුහුණ දෙන එක ලේසි නෑ.

හේතු දෙකක්. එකක් මිලිටරිය උතුරේ ලබපු යුද ජයග්‍රහණය. ඒ නිසා සිංහල මිනිහා අද මිලිටරි සොල්දාදුවන් දකින්නේ රණවිරුවන් හැටියට. යුද්ධයක් දිනුවට පස්සේ හැම දාම, හැම තැනකම වගේ ඕක වෙනවා.

දෙවෙනි එක අද වෙනකොට මිනිස්සුන්ට දේශපාලන පක්ෂ එපා වෙලා තියෙන්නේ. කිසිම විශ්වාසයක් නෑ. පාර්ලිමේන්තුව කියන්නේ හොරුන්ගේ ගුහාවක් කියලානේ මිනිස්සු කියන්නේ. අඩුගානේ ගෝඨා මොකක් හරි කරලා දෙයි කියලා විශ්වාසයක් මිනිස්සු තුළ තියනවා.

තුන්වෙනිව කොවිඞ් එක ඇතුළුව හමුදාව මැදිහත් කරගෙන කළ පොඩි පොඩි සිද්ධීන් සාර්ථක වෙලා තියනවා. ඒ නිසා පාර්ලිමේන්තුව දිනන්නත්, ජනතාවගේ විශාල පිළිගැනීමක් තුළින් නැපෝලියන්ටත් වඩා අලූත් දුටුගැමුණු බොනපාට්වාදී පාලනයක් හැදෙන්නත් සීයට පනහට පනහේ චාන්ස් එකක් තියනවා.



රාවය :

එහෙම වුණොත් එහි ප්‍රථිඵල මොන වගේ වෙයිද?


කුමාර් ඩේවිඩ් :

එහෙම දෙයක් වුණොත් අපිට කෙළවෙනවා. මෙතන ඉන්නේ ලීක්වාන් යූ කෙනෙක්වත්, නැපෝලියන් කෙනෙකුවත් නෙවෙයි. ඊට වඩා සීමිත දුර්වලකම් තියන, රට එක්සත් කරන්න බැරි බොනපාට් කෙනෙක්. එතකොට ඉක්මනින් අර්බුදයට යනවා. එකක් ජාතික ප්‍රශ්නය. අනෙක ආර්ථික ප්‍රශ්නය. මේ ප්‍රශ්න උග්‍ර වුණොත් අවුරුද්දක් දෙකක් යනකොට බොනපාට්ට අද තියන ජනප්‍රියත්වය නැතිව යනවා.

'මෙතන ඉන්නේ ලීක්වාන් යූ කෙනෙක්වත්, නැපෝලියන් කෙනෙකුවත් නෙවෙයි. ඊට වඩා සීමිත දුර්වලකම් තියන, රට එක්සත් කරන්න බැරි බොනපාට් කෙනෙක්. එතකොට ඉක්මනින් අර්බුදයට යනවා. එකක් ජාතික ප්‍රශ්නය. අනෙක ආර්ථික ප්‍රශ්නය. මේ ප්‍රශ්න උග්‍ර වුණොත් අවුරුද්දක් දෙකක් යනකොට බොනපාට්ට අද තියන ජනප්‍රියත්වය නැතිව යනවා.''

අනෙක පාර්ලිමේන්තු බලය තියන පොහොට්ටුකාරයෝ ඔක්කොම ටික හොරු වුණත්, ඒකත් අවුරුදු 70ක් අභ්‍යාස කළ සම්ප්‍රදායික බලයක්. ඒකේ නායකයා මහින්ද. ප්‍රශ්න උග්‍ර වුණොත් ඒ පාර්ලිමේන්තුව විධායකට යටවෙන්නේ නෑ. කැබිනට් එක විධායකයේ කොටසක්නේ. ඒක ගෝඨාභයට හේත්තු වෙන්නේ නෑ. පාලනය සාර්ථක වුණොත් කිසිම ප්‍රශ්නයක් නෑ. අසාර්ථක වුණොත් මේ කඳවුරු දෙක අතර තමයි අනාගතේදි ප්‍රශ්නය මතුවෙන්නේ.

පොහොට්ටුව හැරුණු විට මේකට මුහුණ දෙන්න පුළුවන් විපක්ෂ කඳවුර වෙන්නේ අපි විතරයි. රනිල්ටත් බෑ. සජිත්ටත් බෑ. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු නියෝජනය වැඩි විය යුත්තේ ඒ නිසයි.

කොවිඞ් මර්දනය වගේ දේවල්වලට හමුදාව මැදිහත් කරගැනීම ගැන මගේ විරෝධයක් නෑ. නමුත් දේශපාලනමය කටයුතුවලට මැදිහත් කිරීමට සම්පූර්ණ විරුද්ධයි.

(සංවාද සටහන -ශ්‍රී ලාල් සෙනෙවිරත්න : July 19, 2020 දා 'රාවය' පුවත්පතේ පලවූවකි )

logo

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්