1200 x 80 DMirror
 
 

ධර්මසේන පතිරාජගේ 'කඩුල්ල' ටෙලි නාට්‍යය හෝ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'ඉර මැදියම' සිනමාපටය නරඹනු ලැබුවෝ, පීටර් ඩි අල්මේදාගේ ප්‍රතිභා සම්පන්න රංගන ඉතිහාසය 'කූඹියෝ' ටෙලි නාට්‍යයේ ඩඩ්ලි මල්දෙණියගේ චරිතයට වඩා දිගු අතීතයකට විහිදෙන බව දනිති. 
 
ඇත්ත වශයෙන්ම එහි සැබෑ මූලයන් කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විදුහල් වේදිකාව දක්වාම දිවයයි. නමුත් රංගනවේදියකුගේ අනන්‍යතාවෙන් ඔබ්බට ගිය සටන් අත්දැකීම් බහුල වෘත්තීය සමිති ක්‍රියාධරයකු වශයෙන් සමාන්තර දිවියක් පීටර්ට ඇතැයි බොහෝදෙනා නොදනිති. 
 
ඒ අනන්‍යතාවයේ වැදගත් පංගුවක් නියෝජනය කරන්නේ ෆිලිප්ස් බාලේන්ද්‍ර තම්පෝ හෙවත් බාලා සහෝදරයාගේ නායකත්වයෙන් මෙහෙයවුණු ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU) සමග පීටර්ගේ සම්බන්ධතාවයේ ඉතිහාසයයි.
 
"ශ්‍රම බලකායට අලුතෙන් එක්වන තරුණ පිරිසට වෘත්තීය සමිති, කම්කරු අයිතිවාසිකම් ගැන දැනුමක් හා අවබෝධයක් නැහැ. ඒ නිසාම අවශ්‍යතාවකුත් නැහැ....ඔවුන් කරුණු දන්නවා - දැනුම නැහැ; පොදු අරමුණු නැහැ; සාමුහික නැහැ," පීටර් කියයි.
 
"දැනුවත් වැඩ කරන පන්තියක් ගොඩනැංවීම අත්‍යාවශ්‍ය ඒ නිසා"බව ඔහුගේ අදහසයි.
 
හැකියා පූර්ණ රංගනවේදියකුගේ ජනප්‍රිය සෙවණැල්ලට වැසුණු වමේ දේශපාලනයේ ක්‍රියාකාරී අත්දැකීම් පිළිබඳ ප්‍රත්‍යාවලෝකනයක වැදගත්කම සම්බන්ධයෙන් අප කළ යෝජනාව පීටර් මැනවින් වහාගත්තේය.
 
මේ සංවාදය එහි ප්‍රතිඵලයකි.
 
සංවාදය: ඉෂංඛා සිංහආරච්චි
 
 **************************** *********************************** *********************************** *********************************
 
 D Almedha
'කූඹියෝ' ටෙලි නාට්‍යයේ ඩඩ්ලි මල්දෙණිය ලෙස....
 
 
ඉෂංඛා :
සාමාන්‍යයෙන් පීටර් ඩි අල්මේදා එක්ක කරන කතාබහකට මාතෘකා වෙන්නේ කලා-සංස්කෘතික විෂයයන්. ඒ වුණාට ඔබේ ඉතිහාසයේ වැදගත් පංගුවක් සංවිධානාත්මක වෘත්තීය සමිති ව්‍යාපාරය මුල්කරගත් වාමාංශික දේශපාලනය නියෝජනය කරනවා. ඒ ඉතිහාසය පටන් ගත්තේ කොහොමද?
 
පීටර්:  
මම හිතන්නේ මූලික අඩිතාලම වැටෙන්නේ මගේ අම්මාගෙන් කියලා. මගේ අම්මා ඉතාමත් ශක්තිමත්, ප්‍රඥාවන්ත ගැහැනියක්. ඇය ජීවිතේ අභියෝගවලට බියවුණේ නැහැ. මම වෘත්තීය සමිති ක්‍ෂේත්‍රයට යොමු වීමේ පදනම, කුඩා කල සිටම මා තුළ ගොඩනැගීමට ඉවහල් වුනේ ඇගේ පුර්වාදර්ශයන් තමයි. වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය පමණක් නොවෙයි, මගේ ජීවිතේ සෑම ඉසව්වකම අත්පත් කරගැනීම්, ජයග්‍රහණයන්, පරාජයන් බාර ගැනීමේ හැකියාව, නායකත්වය හා සංවිධානය වගේ මේ හැම දෙයක්ම අම්මාගෙන් උගත් දේවල්.
 
මගේ අම්මා කසාද බඳිනකොට එයාට වයස අවුරුදු විස්සයි. තාත්තගේ වයස අවුරුදු හතළිහක්. මගේ පවුලේ සහෝදර සහෝදරියන් එකොළහයි. මම තමයි පවුලේ බාලයා. මගේ වයස අවුරුද්දක් පිරෙනකොට තාත්ත අපේ ජීවිතවලින් සමුගන්නවා. අපේ පවුලට තිබුණු එකම ආදායම් මාර්ගය තාත්තා රක්ෂණ නියෝජිතයෙක් විදිහට ලබාගත්ත වැටුප. ඒ වෙනකොට අපේ පවුලේ අපි එකොළහයි, අම්මයි, ආච්චියි තවත් ළඟම නෑදෑයෝ දෙන්නෙක් අපිත් එක්ක හිටියා. ඔක්කොම පහළොවක්. හිතන්න ඒ වගේ අභියෝගයකට අම්මා කොහොම මුහුණ දෙන්න ඇත්ද? ඒ කාලේ අපි හිටියේ කොටහේනේ පුංචි ගෙදරක. 
 
දවසක් අපේ ගෙදරට පහර දෙන්න පිරිසක් සුදානම් වෙලා හිටියා. අපි කට්ටියම ගේ ඇතුළේ හැංගිලා හිටියේ මොකද කරන්නේ කියලා හිතාගන්න බැරිව. නමුත් අපේ අම්මා අපිවත් දිරිමත් කරලා, ඉතාම නුවණක්කාර විදිහට ඊට ප්‍රති ප්‍රහාර දෙන්න කටයුතු කළා. එදා තමයි මම අම්මගෙන් වීරත්වය, සැළසුම්, සංවිධානය, නායකත්වය කියන ලක්ෂණ ඉගෙන ගත්තේ. මගේ අම්මා උගත් ගැහැනියක් නොවේ. නමුත් ඇය නියම නායිකාවක්.
 
අනෙක් සාධකය මගේ පාසැල, කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය. මම හැමදාම ඉස්කොලේ හොඳම තුන්දෙනා අතර හිටියා. විවාද කණ්ඩායමේ, ඉංග්‍රීසි හා සිංහල නාට්‍ය කණ්ඩායම්වල ප්‍රබල සාමාජිකයෙක්. පසුව මම ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් වුණා. මම හිතනවා ඉස්කෝලේ දී ලැබුණු ඒ පන්නරයත් මගේ වෘත්තීය සමිති හා ඒ හා බැඳුනු වාම දේශපාලනයටත් රුකුලක් වුණා කියලා.
 
 
 
ඉෂංඛා :
ශාන්ත බෙනඩික්ට් විදුහල ගැන ඔබ සඳහන් කළ නිසාම මතක්වන කාරණයක් තමයි, අපි දන්නා ආකාරයට ඝාතනයට ලක්කෙරුණු ප්‍රකට මාධ්‍යවේදීයකු වූ ලසන්ත වික්‍රමතුංගත් ඔබේ සමකාලීනයෙක් බව. ලසන්තගේ මරණය වගේම ඔබේ මිතුරෙක් වුණ රිචඩ් ද සොයිසාගේ මරණයත් ඔබට පෞද්ගලික කම්පනයක් ගෙනදුන් සිදුවීම් විය යුතුයි.
 
Lasantha Riched
ලසන්ත වික්‍රමතුංග - රිචඩ් ද සොයිසා
 
  
පීටර්: 
මරා දැමුණු ලසන්ත වික්‍රමතුංග ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සාමන්‍ය පෙළ පන්තියට එනකම් මගේ පන්තියේ මිතුරෙක් තමයි. ලසන්ත සාමාන්‍ය පෙළ පන්තියෙන් පස්සේ එංගලන්තේ යනවා ඉගෙනගන්න. එයාගේ තාත්තා නගර සභා මන්ත්‍රී කෙනෙක්. ලසන්ත මුලින් හිටියේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ පෞද්ගලික ලේකම් විදිහට. පස්සේ තමයි එයා UNP වුණේ. එහෙම වුනත් එයා UNP අයගේ දේවල් එහෙමත් විවේචනය කරලා ලීවා. ඇත්තටම එයා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක්.
 
අනෙක් අතට මගේ ජිවිතයට යම් බලපෑමක් කරපු චරිතය තමා රිචඩ් ද සොයිසා. එයා මගේ බිරිඳගේ ඥාතියෙක්. රිචඩ්ගේ සීයාත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී කෙනෙක්. රිචඩ්ට රොමෑන්ටික් සිහිනයක් තිබුණා ඉංග්‍රීසි නාට්‍ය සීමාවෙන් ඔබ්බට ගිහින් වාමාංශිකයෙක් ලෙස සිංහල ජනතාවත් එක්ක වැඩ කරන්න. ඒත් එයාට වැඩ කරන්න කාලයක් ලැබුණේ නැහැ. ප්‍රේමදාස ආණ්ඩුව එයාව මරලා දැම්මා. 
 
මනෝරානි අම්මා හඳුනා ගත්තා රිචඩ්ව පැහැරගත් අයව, ඒත් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව ප්‍රේමදාස ආණ්ඩුව එවකට නීතිපති සුනිල් ද සිල්වාට බලපෑම්කර අත්හිටවනු ලැබුවා. මේ සුනිල් ද සිල්වාත් රිචඩ්ගේ ඥාතියෝ. “මේ කවුද? මොකද කරන්නේ?” නාට්‍ය නිෂ්පාදක ලක්ෂ්මන් පෙරේරාත්, තවත් රිචඩ්ගේ නාට්‍ය කණ්ඩායමේ හිටිය කෙනෙකුත් මරා දැමුනා. මේ නාට්‍ය පිටපත ලිව්වේ රිචඩ්. කාසල් වීදියේ තිබුණු අපේ ගෙදර තමයි රිචඩ්ගේ අවමංගල්‍යය පැවැත්වුනේ.
 
 
ඉෂංඛා :
බාලා තම්පෝ සහෝදරයා සහ වෘත්තීය සමිති ව්‍යාපාරය සමග ඔබේ සම්බන්ධය වර්ධනය වුණේ කොහොමද?
 
පීටර්: 
මම ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ බාලා තම්පෝ සහෝදරයාගේ නායකත්වයෙන් මෙහෙයවුණු ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU) එක්ක සම්බන්ධ වෙනවා. ඒ වෙනකොටත් මගේ අයියා, ෆ්‍රැන්සිස් ඩි අල්මේදා, CMU එකේ ප්‍රබල සාමාජිකයෙක්. මට තම්පෝ සහෝදරයා මුලින්ම මුණ ගැහෙන්නේ 1973 දී. එතකොට මට වයස අවුරුදු 15ක් විතර ඇති. ඒක වුණේ අයියාත් එක්ක CMU එකට ගිය වෙලාවක. තම්පෝ සහෝදරයා හිටියේ එතකොට රැස්වීමක් අමතමින්. එහිදී ඔහු කිව්වා, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් විදිහට කොහොමද අපි තුළ ඇති ලැජ්ජාව හා බිය තීරණාත්මක ලෙස පරාජය කරන්නේ කියලා. ඒ කතාව මට ඉතාමත් කම්පනයක් සහිත උනන්දුවක් ඇති කළා. ඒ තමයි මම තම්පෝ සහෝදරයාගෙන් ඉගෙන ගත්ත මුල්ම පාඩම.
 
bal tampoe 626x380
බාලා තම්පෝ
 
 
CMU එකට මුලින්ම මම සම්බන්ධ වෙලා වසරක කාලයක් පුර්ණ කාලීනව වැඩ කරනවා. පසුව 1977 දී ඉන්දීය රාජ්‍ය බැංකුවේ රැකියාවට යනවා. ඒ අවුරුද්දෙම බැංකු සේවක සංගමයට බැඳෙනවා. පසුව ශාඛා සංගමේ සභාපති වෙනවා. 1981 දී එවිට මට අවුරුදු 23 ක්. මම ලංකා බැංකු සේවක සංගමයේ භාණ්ඩාගාරික ලෙස පත් වෙනවා. 
 
ජේ.ආර් ගේ ආණ්ඩු කාලේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කෙරෙහි තිබුනේ දැඩි මර්දනකාරී තත්ත්වයක්. එසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවුණු බැංකු සේවක සංගමයේ ක්‍රියාකාරිකයන්ව සේවයෙන් නෙරපා දමන්න එවකට මුදල් ඇමති රොනී ද මැල් නියෝග කර තිබියදී කොන්දේසි විරහිතව ඔවුන්ව යළි සේවයේ පිහිටුවන්න අපි සටන් කරලා ජයග්‍රහණය කළා. 
 
ඒ අවදියේ යෝක් විදියේ තිබුණු එක් කම්කරු විරෝධතාවයකදී අපේ බැංකු සේවක සංගමයේ ලංකා බැංකු ශාඛාවේ සභාපති නිමල් පෙරේරා සහෝදරයාට ආණ්ඩුවෙන් යොදවපු මැරයෙක් බයිසිකල් චේන් එකකින් පහර දුන්නා. එතකොටම එතැන හිටපු ජායාරූප ශිල්පියෙක් ජායාරූපයක් ගත්තා. ඒකෙන් අර මැරයාව හොඳින් හඳුනා ගන්න පුළුවන්. පස්සේ ඒ ෆොටෝ එකට ඒ ජායාරූපශිල්පියාට සම්මානයක් හම්බවුණා. ඒත් පහරදීපු මැරයාට දඬුවමක්වත්, ගුටිකාපු අපේ සහෝදරයාට යුක්තියවත් ඉටු වුණේ නැහැ. නිමල් පෙරේරා සහෝදරයට පහරදීම ගැන ආරංචි වෙලා එතැනට ආපු ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති අලෙවි මව්ලානා සහෝදරයාට මේ මැරයෝ පිහියකින් ඇන්නා.
 
 
 
ඉෂංඛා :
බාලා තම්පෝ සහෝදරයා සමග ඔබේ සම්බන්ධයත්, වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයත් විසින් වඩා ක්‍රියාකාරී වමේ දේශපාලනයකට සම්බන්ධ වෙන්න ඔබව පෙළඹුවේ නැතිද?
 
 
පීටර්:  
ක්‍රියාකාරී වෘත්තීය සමිති අත්දැකීමට කලින්ම මට ක්‍රියාකාරී වමේ දේශපාලන අත්දැකීම් තිබුණා. '77 මහා මැතිවරණයට තම්පෝ සහෝදරයා නායකත්වය දුන් විප්ලවකාරී මාක්ස්වාදී පක්ෂය (RMP) සහ CMU එක්ව අපේක්ෂකයෝ හතර දෙනෙක් ඉදිරිපත් කරනවා. විප්ලවකාරී මාක්ස්වාදී පක්‍ෂය තමයි හතර වෙනි ජාත්‍යන්තරයේ එක්සත් ලේකම් මණ්ඩලයේ ලංකාවේ නිල පක්ෂය වුනේ. පක්ෂ සභාපති කිර්ති සෙනෙවිරත්න, ලේකම් බාලා තම්පෝ, නියෝජ්‍ය ලේකම් උපාලි කුරේ. අපේ සටන් පාඨය වුනේ ධනපති පාලන තන්ත්‍රය බලයෙන් පහකර කම්කරුවන්ට හා නිර්ධනීන්ට තැන ලබාදීමේ නැවුම් පාලනයක් ඇති කිරීමයි. උපාලි කුරේ දෙහිවලින් සහ ටී. ඇන් පෙරේරා කැස්බෑවෙන් ජන්දෙට ඉදිරිපත් කෙරුනේ RMP එකෙන්. එච්.ඒ සෙනෙවිරත්න කැළණියටත්, වර්නන් විජේසිංහ උතුරු කොළඹටත් ඉදිරිපත් කෙරුනේ CMU එක විදිහට. 
 
අපේ ජන්ද ලකුණ වුනේ සීනුව. මම එතකොට උසස් පෙළ ශිෂ්‍යයෙක්. අයියාත් එක්ක මමත් උතුරු කොළඹ ජන්ද සටනේ හිටියා. මට මතකයි අපි මට්ටක්කුලිය පැත්තේ ලොකු වතුවල හැම ගෙදරකටම කැන්වසින් ගියා. ගොඩක් වෙලාවට මහන්සියට වර්නන් සහෝදරයා ගෙදරකින් පුටුවක් ඉල්ලගෙන ටික වෙලාවක් ඉඳගෙන ඉන්නවා. කොච්චිකඩේ අපි පවත්වපු රැස්වීමකට මිනිස්සු දාහකට වැඩිය සහභාගි වුණා. මේ රැස්වීම්වලට ඇවිත් බාලා සහෝදරයා දේශපාලන න්‍යාය, වෘත්තීය සමිති ගැන දීර්ඝ දේශන පවත්වනවා. ඒවා ඒ මිනිස්සුන්ට ඒ තරම් අදාළ නැහැ. රැස්වීම සංවිධානය කරද්දී අපි පුටු මේස ඉල්ලා ගන්නේ අහළ පහළ ගෙවල්වලින්. ඉතින් අවසානයේ දී රැස්වීමට ඉන්නේ ඒ පුටු අයිතිකාරයෝ විතරයි.
 
ජන්ද ප්‍රථිපල හරිම කනගාටුදායකයි. වෘත්තීය සමිති සාමාජිකයෝවත් ජන්දේ දීලා තිබුණේ නැහැ. දෙහිවල 802යි, කැස්බෑව 298යි, කැළණිය 162යි, උතුරු කොළඹ 193යි යනාදී විදියටයි ඡන්ද වැටිලා තිබුණේ. ඒ විදිහට ජන්දයට ඉදිරිපත්වීම ගැන මට හිතෙන්නේ අපි කරපු මෝඩ වැඩක් කියලා. ඒක ඇත්තටම පරාජිත දේශපාලන අත්දැකීමක්. ලංකාවේ වාමාංශික, කම්කරු මතවාදයන්ට මැතිවරණ දේශපාලනයේදී හොඳ පසුබිමක් නිර්මාණයවෙලා නැහැ.
 
ජන්දෙන් පස්සේ උපාලි කුරේ පක්‍ෂය කැඩුවා. වර්නන් විජේසිංහ, මේ වික්‍රමසිංහ, සිල්වෙස්ටර් ජයකොඩි, ෆ්‍රැන්සිස් ඩි අල්මේදා හැරුණු කොට පක්ෂයේ වැඩ කරන්න කවුරුත් හිටියේ නැහැ. නමුත් පක්‍ෂය හා සංගමය කළවම්වුණේ නැහැ. ස්වාධීනව පවත්වා ගෙන ගියා.
 
 
 
ඉෂංඛා :
බාලා තම්පෝ සහෝදරයා ජීවතුන් අතර සිටි කාලය තුළත් තදින් අවධාරණය කළ කාරණයක් තමයි, ශක්තිමත් ස්වාධීන වෘත්තීය සමිති මධ්‍යස්ථානයක අවශ්‍යතාව. නමුත් වෘත්තීය සමිති ව්‍යාපාරයේ ආරම්භය, වමේ පක්ෂ දේශපාලනයත් එක්ක තදින්ම සම්බන්ධයි. ඒ අනුව බැලුවම, ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳ අදහසේ අවසාන ප්‍රතිඵලය, දේශපාලන අරගලවලින් ඈත්වුණ ආර්ථිකවාදී සටන්පාඨවලට විතරක් කොටුවුණ වෘත්තීය සමිති ව්‍යාපාරයක් විය හැකි බවටත් අදහසක් තිබෙනවා නේද?
 
පීටර්: 
වෘත්තීය අරගලවලට පමණක් සිමා විය යුතු නැහැ. CMU වෘත්තීය සමිතියක් විදිහට වෘත්තීය අරගලවලට පමණක් නොවෙයි, මානව හිමිකම් ඇතුළු අනෙකුත් සමාජ දේශපාලන ප්‍රශ්නවලට සක්‍රීයව මැදිහත් වුණා. මාක්ස්වාදී මෙන්ම වෘත්තීය සමිති නායකයෙකු ලෙස තම්පෝ සහෝදරයාගේ දැවැන්ත නායකත්වය හමුවේ ඒ දිනවල CMU එක තිබුණේ ප්‍රබල තැනක. 
 
1971 අප්‍රියෙල් කැරැල්ල මර්දනය කරන්න සමගි පෙරමුණු ආණ්ඩුව පනවපු හදිසි නීතියට එරෙහිව එය ඉවත් කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිතියක් ලෙස ආණ්ඩුවට බලපෑම් කළේ CMU එක විතරයි. සමිති ශාඛා 157 නියෝජිතයන්ගේ එකඟත්වයෙන් හදිසි නීතිය ඉවත් කරන්න කියලා CMU මහා මණ්ඩලය තීරණය කළා. ඒ අනුව එවකට අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක වෙත ලිපියක් යොමු කළා.
 
'71 කැරලිකරුවන්ට දඩුවම් දෙන්න පිහිටවපු අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවට එරෙහිවත් CMU එක වෘත්තීය සමිතියක් විදිහට විරෝධය දැක්වුවා. ඇන් ඇම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, පීටර් කෙනමන් වගේ දැවැන්ත වාමාංශික හා වෘත්තීය සමිති නායකයෝ ඔක්කොම හිටියේ සිරිමා බණ්ඩාරනායකගේ සමගි පෙරමුණු ආණ්ඩුවේ. ඉතින් ඒ පක්‍ෂවලට අයත් ඔක්කොම වෘත්තීය සමිති හිටියේ ආණ්ඩුවත් එක්ක. ඒවා ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධවයි ක්‍රියා කළේ. හදිසි නීතියට එරෙහිවීමේ ලියවිල්ල නිසා තම්පෝ සහෝදරයාට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් ආණ්ඩුව විසින් නිකුත් කළා. 
 
Manmperi
'71 කැරැල්ලේදී හමුදාව විසින් නිරුවත්කර මරා දැමූ ප්‍රේමවතී මනම්පේරි ඝාතකයන්ට දඬුවම්දීම දක්වා සටනක් වෘත්තීය සමිතියක් ලෙස අරගෙන ගියා. 
  
 
'71 කැරැල්ලේදී හමුදාව විසින් නිරුවත්කර මරා දැමූ ප්‍රේමවතී මනම්පේරි ඝාතකයන්ට දඬුවම්දීම දක්වා සටනක් වෘත්තීය සමිතියක් ලෙස අරගෙන ගියා. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධනයේ එව්බරි සාමිවරයා පවා ලංකාවට ආවා ඒ ගැන විමර්ශනයට. තම්පෝ සහෝදරයාට අමතරව ප්‍රින්ස් ගුණසේකර ද ඒ වෙනුවෙන් කටයුතු කළා. මනම්පේරි ඝාතනය ජාත්‍යන්තර ප්‍රශ්නයක් වුණා. කම්කරු මැයි පෙළපාලිවලත් මනම්පේරිගේ විශාල පින්තූර අරගෙන ගියා. '71 කැරැල්ලේදී සිරගත කළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයට CMU ක්‍රියාකාරීව මැදිහත් වුණා.
 
ඊට අමතරව අසු ගණන්වලදී මානව හිමිකම් උල්ලංඝණය කරමින් සිසුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව CMU මැදිහත් වුණා. යාපනේ සරසවියේ අප්පතුරෛ විමලරාසා, ජයවර්ධනපුර සරසවියේ නිහාල් කිත්සිරි, මොරටු සරසවියේ චිරන්ත වීරවර්ධන, කැළණි සරසවියේ පුල්සරා ලියනගේ වැනි අය වෙනුවෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන්න තම්පෝ සහෝදරයා මැදිහත් වුණා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට එරෙහිව මෙන්ම ඒ යටතේ අත්අඩංගුවට ගත්තු සින්ගරායර් පියතුමාගේ අයිතීන් වෙනුවෙන් ඔහු පෙනී සිටියා.
 
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය කියන ප්‍රතිපත්තිය උඩ තමයි අපි මුල සිටම වැඩ කෙළේ. හදිසි අවස්ථා රෙගුලාසිවලට එරෙහි කටයුතු කරන්නත් බය වුණේ නැහැ. දින 26 පුරා පැවති හෙදි වර්ජනයට CMU උපරිම සහයෝගය දැක්වුවා පමණක් නොව ආණ්ඩුව විසින් හෙද සංගමය තහනම් කරලා මූලස්ථානය සීල් තැබීමෙන් පස්සේ හෙදි සටන සම්බන්ධීකරණය වුණේ CMU මුලස්ථානයෙනුයි.
 
'80 ජූලි වැඩ වර්ජනයට CMU එක්වුණේ නැහැ. තම්පෝ කිව්වේ අලුත් ආණ්ඩුවක් නිසා හදිස්සි වෙන්නේ නැතුව උපක්‍රමශීලීව යමු කියලා. ඒත් සමසමාජ, කොමියුනිස්ට් හා වාසුදේවලා වගේ අනෙක් වෘත්තීය සමිති එකතු වෙලා වර්ජනයට මුල පිරුවා. ප්‍රතිඵලය හරිම කණගාටුදායක එකක් වුණා. කෙතරම් මර්දනකාරී වටපිටාවක් හමුවේ වුවත් නොබියව දැඩි තීරණ ගත් ඉතිහාසයක් අනෙකුත් වාමාංශික පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිතිවලට වඩා ස්වාධින වෘත්තීය සමිතියක් විදිහට CMU එකට තිබුණා. 
 
මම කලින් සඳහන් කළා වගේ තම්පෝ සහෝදරයා ගොඩනැගු විප්ලවකාරී මාක්ස්වාදී පක්ෂයත් (RMP), අනෙක් පැත්තෙන් CMU වෘත්තීය සමිතියත් කියන මේ දෙකම එකට වැඩ කළා. පක්ෂයේත් සංගමයේත් එකම කණ්ඩායම හිටියට මේ දෙකම ක්‍රියාත්මක වුනේ ස්වාධීනව. තම්පෝ සහෝදරයා ලංකා සම සමාජ පක්ෂයේ ඉන්නකොටත් පක්ෂයෙන් ස්වාධීනව තමයි CMU කරගෙන ගිහින් තියෙන්නේ.
 
මගේ පෞද්ගලික අදහස නම් වැඩ කරන කම්කරු ජනයාට දේශපාලනයක් අවශ්‍යයි. හැබැයි ඒ කම්කරු පංතියේ පොදු අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් මිස පෞද්ගලික න්‍යාය පත්‍ර මුදුන් පමුණුවා ගැනීමට නොවිය යුතුයි. එසේ දේශපාලන ස්ථාවරයක් ගොඩනැගීමට හැකි නම් වෘත්තීය සමිතිවල කේවල් කිරීමේ හැකියාව වැඩි වන බවයි මගේ හැඟීම.
 
 
 
ඉෂංඛා :
වෘත්තීය සමිති ව්‍යාපාරයට ඔබ සම්බන්ධ වූ අවදියට සපේක්ෂව බැලුවම පසුගිය දශක දෙක ඇතුළත සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයම බරපතල පසුබෑමකට ලක්වී තිබෙනවා. ඔබ දකින විදිහට ඊට බලපෑ හේතු මොනවාද?
 
පීටර්: 
ඒ පසුබෑමට හේතු ගණනාවක් තියෙනවා. ප්‍රධාන හේතුව නායකත්ව අර්බුදය. දැන් ශක්තිමත්, සැබෑ වෘත්තීය සමිති නායකයෝ බිහිවෙන්නේ ඉතාමත්ම අල්ප වශයෙන්. තිබෙන වෘත්තීය සමිති නායකත්වයත් දියාරුවෙමින් යන්නේ. සංවිධාන ශක්තියට වඩා මාධ්‍ය මත යැපෙන තැනට සීමාවීමක් පෙන්නුම් කරන්නේ. එහෙත් ඇතැම් අවස්ථාවන්හිදී වෘත්තීය සමිති කිහිපයක් හෝ ඇතැම් දේශපාලන කාරණා ගැන, විශේෂයෙන් 20 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කටයුතු කිරීම යම් සාධනීය තත්ත්වයක්. එය වර්ධනය කිරීම වැදගත්. 
 
අනෙක් කාරණය තමයි දැනුවත් වැඩ කරන පංතියක් ගොඩනගන්න ඕනේ. ශ්‍රම බලකායට අලුතෙන් එක්වන තරුණ පිරිසට වෘත්තීය සමිති, කම්කරු අයිතිවාසිකම් ගැන දැනුමක් හා අවබෝධයක් නැහැ. ඒ නිසාම අවශ්‍යතාවකුත් නැහැ. මේ අළුත් තරුණ කම්කරු පිරිස් අතර දැනුම අල්පවීමෙන් ඔවුන් තුළ කොහොමත්ම උසස් රසවින්දනයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒවා අල්පයි. ඔවුන් කරුණු දන්නවා - දැනුම නැහැ; පොදු අරමුණු නැහැ; සාමුහික නැහැ. ඒ වගේම තව කෙනෙකු ගැන සංවේදී නැහැ. මේ නිසාම ඔවුන් වෘත්තීය සමිතිවලට බැඳෙන්නේ නැහැ. දැනට සිටින සාමාජිකත්වයත් ඉතාමත් නිද්‍රාශීලීයි. ඉතින් කොහොමද වෘත්තීය සමිති පවත්වාගෙන යන්නේ?
 
අනෙක් සෑම ක්‍ෂේත්‍රයකම වගේ වෘත්තීය සමිතිවලත් වැඩ කරන කාන්තා නියෝජනය අල්පයි. ඉන්න අයටත් ඉදිරියට එන්න අවස්ථාවක් නැහැ. ඇත්තටම මේකට තවත් පැත්තකින් පවතින ආර්ථික ක්‍රමයත් බලපානවා. වාමාංශික ව්‍යාපාරය අඩපණ වෙලා. වෘත්තීය සමිති ව්‍යාපාරය දේශපාලනීකරණය වීමෙන් අබල දුබල වෙලා. ධනපති ආණ්ඩු හා විපක්ෂ දේශපාලන පක්ෂවලින් පෝෂණය වෙන, යැපෙන, ඔවුන්ට කත් අදින වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසාම පොදුවේ ගත් විට අද දවසේ ඔය සෑම කම්කරුවෙක්ම පරාජිතයි.
 
 
 
 
ඉෂංඛා :
පසුගිය දශක තුන තුළ ජාතීන්ගේ ප්‍රශ්නය සිවිල් යුද්ධයක් දක්වා ඇවිළ ගිය කේන්ද්‍රීය දේශපාලන ගැටළුවක් විදියට වර්ධනය වුණා. මුල්කාලීනව ඒ සම්බන්ධයෙන්, ජාතිවාදයට විරුද්ධ මූලධාර්මික දේශපාලන ස්ථාවරයක් දැරීමේ වැදගත්කම වෙනුවෙන් වෘත්තීය සමිති ඇතුළත අරගලයක් තිබුණා. සීඑම්යූ හා ලංකා ගුරු සංගමය වැනි බලවත් සමිති ඒ පිළිබඳ නොවෙනස්ව දරපු ස්ථාවරයන් ඊට උදාහරණ. නමුත් පසුකාලීනව, දෙමළ හා මුස්ලිම් ජනයා මුහුණ දුන් ප්‍රචණ්ඩ වර්ගවාදී ප්‍රහාරවලට විරුද්ධව වෘත්තීය සමිති ව්‍යාපාරයේ තීරණාත්මක මැදිහත්වීමක් දකින්නට ලැබුණේ නැහැ. ඒ වෙනුවට සෑහෙන දුරට අන්ත වර්ගවාදී දේශපාලන ප්‍රවණතා වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුළේ ශක්තිමක් වූ බව අපි දැක්කා. මේ පිරිහීමට හේතු විදියට ඔබ දකින්නේ මොනවද?
 
පීටර්: 
වෘත්තීය සමිතියක් විදිහට සැමවිටම CMU ජාතිවාදය, යුදවාදය ප්‍රතික්ෂේප කළා; හෙළා දැක්කා. තම්පෝ සහෝදරයා කිව්වේ පළමුව ඔබ සැම මනුෂ්‍ය වර්ගයට අයත්, දෙවනුව තමයි කම්කරුවෙක්, තුන්වෙනුව තමයි CMU සාමාජිකයෙක් වෙන්නේ කියලා. මුල සිටම අපි ලෙනින්වාදී ප්‍රතිපත්තියක් ලෙස දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගෙන ඒ සඳහා සටන්කර තිබෙනවා. අපිට උතුරේ දකුණේ කියලා ප්‍රශ්නයක් තිබුනේ නැහැ. ලංකාව පුරාම කම්කරුවෝ හිටියා. දෙමළ මුස්ලිම් වෘත්තීය සමිති නායකයෝ CMU එකට හිටියා. ඒත් තම්පෝ සහෝදරයාගේ උත්පත්තිය හා නම දෙමළ වුණාට එයාට දෙමළ කියලා අනන්‍යතාවයක් තිබුණේ නැහැ. දෙමළ කථා කරන්නවත් බැහැ. යාපනේ ගිහින් කථා කරන්නේත් ඉංග්‍රීසියෙන්.
 
 check legacy of black july taints sri lankan politics 5f1e7b7677b57 600
 
'83 ජූලි කෝලාහල දවස්වල තම්පෝ සහෝදරයා කළුතර කර්මාන්ත ශාලාවක කම්කරුවන්ගේ ප්‍රශ්නයකට ගිහින් නැවත කොළඹ එමින් සිටියදී ජාතිවාදී මැර පිරිසක් තම්පෝ සහෝදරයාගේ කාර් එක නවත්වලා දෙමළු ඉන්නවාද කියලා අහල තියෙනවා. ඒ එක්කම එතැනට පොලීසිය ඇවිත්. ඉන් පසු කලෙක මේ කතාව මතක් කරමින් තම්පෝ සහෝදරයා කියනවා එදා තමයි එයාගේ ජිවිතේ තීරණාත්මක දවස වෙන්න තිබුණේ කියලා. 
 
'83 ට සම්බන්ධ තවත් අත්දැකීමක් තමයි රත්මලාන කර්මාන්ත ශාලාවක වෘත්තීය සමිති විරෝධී දෙමළ ජාතික වැඩ පරීක්ෂකවරයෙක්ට ජාතිවාදී මැරයන් පහරදෙන්න යනකොට ඔහුගේ ජිවිතේ බේරා ගන්න කටයුතු කළේ එහි සිටි අපේ CMU සාමාජිකයෝ. අපේ සාමාජිකත්වය තුළ ජාතිවාදය තිබුණේ නැහැ. පසු කාලයේදී තමා සමස්ත කම්කරු ව්‍යාපාරයටම ජාතිවාදී විෂබීජ කාන්දු වෙලා තියෙන්නේ.
 
මාස දහයකට ආසන්න කාලයක් ඇදුන පරන්තන් කෙමිකල් කම්කරු සටන CMU වෘත්තීය සමිති ඉතිහාසයේ තීරණාත්මක සටනක්. වැටුප් වැඩි කරන්න, උසස් වීම් ලබාදෙන්න කියලා ඉල්ලා ඇරඹි සටනට කර්මාන්ත ශාලාවේ 400ක පමණ කම්කරුවන් එක් වුණා. වර්ජනය කඩා කප්පල් කරන්න කර්මාන්ත ඇමති සිරිල් මැතිව් නොසෑහෙන වෑයමක් ගත්තා. එයා එතකොට එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේත් සභාපති. CMU එක පැත්තේ සටනට උර දුන්නේ ජෙගනාදන් සහෝදරයා. ඒ වෙනකොට ඔහුගේ බිරිඳට පිළිකාවක් වැළඳිලා බෙහෙත් කරමින් හිටියේ. එහෙත් ජෙගනාදන් සහෝදරයා වැඩි කාලයක් යෙදෙව්වේ පරන්තන් කෙමිකල් කම්කරුවන්ගේ සටන වෙනුවෙන්. කොළඹින් ඇවිත් වර්ජන දියත් කරනවාට උතුරේ සටන්කාමි සංවිධානත් එතරම් කැමැත්තක් පළකළේ නැහැ. ජාත්‍යන්තර කෙමිකල් කම්කරු වෘත්තීය සමිති හරහා වර්ජනය ජාත්‍යන්තර අවධානයටත් ගියා. කොහොම නමුත් අවසානයේදී සටන දිනුවා.
 
'80 දශකයේදී එදා පැවති ආණ්ඩුව විසින් උතුරු නැගෙනහිර හා වතුකරයේ ඇතුළු දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය මර්දනකාරිත්වයට එරෙහිව CMU තවත් වෘත්තීය සමිති විසි ගණනක් එක්ක ආණ්ඩුවට බලපෑම් කළා. උතුරු නැගෙනහිර යුද මෙහෙයුම් හෙළා දකිමින් කම්කරුවන් වශයෙන් ජාතික ආරක්ෂක අරමුදලට දායකවීම ප්‍රතික්ෂේප කළා. හැම ආණ්ඩුවක්ම කළේ වර්ගවාදය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රචාරක මෙහෙයුම් හරහා දේශපාලන හා ආර්ථික ප්‍රශ්න මඟහැරීමයි. එදා වෘත්තීය සමිතිවල ස්ථාවරය වුණේ යුදමය ක්‍රියාවලියකින් ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකියි, යුදමය ක්‍රියාවලියකින් මිනිස් ජිවිත විශාල ලෙස අහිමි වෙනවා, ඒ හින්දා යුද මෙහෙයුම් නවතා ප්‍රජාතාන්ත්‍රික දේශපාලනික විසදුමක් ලබා දියයුතු බවයි.
 
පසුව මෙම තත්ත්වය වෙනස්වීමට හේතුවන්නේ දේශපාලන පක්ෂවලින් යැපෙන ස්වාධීන නොවූ වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිත්වයයි. වාමාංශික හා මාක්ස්වාදී නමින් හැඳින්වුණත් ඒ වෘත්තීය සමිති කටයුතු කරනු ලැබුවේ තමන්ගේ පක්ෂවල තීන්දු තීරණවල බලපෑම මතයි. ඒ පක්ෂ බොහොමයක්ම පාලනය හෙබවූ ආණ්ඩුවල කොටස් කරුවන්, නැත්නම් ආණ්ඩු විසින් ගෙනගිය මර්දනකාරී යුද පිළිවෙත් අනුමත කළවුන්. ඒ අනුව තමයි අද තිබෙන ජාතිවාදී පසුබිමට සමස්ත කම්කරු ව්‍යාපාරයම ඇද වැටෙන්නේ. අනෙක් අතට රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නවලින් වෘත්තීය සමිති කර අරින්න වීම නිසාම ඒවා රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති බවට පත්වීම වලක්වන්න බැරිවුණා. මෙවැනි ආකාරයට වෘත්තීය සමිති ව්‍යාපාරය දියාරු වීමට ප්‍රධානම හේතුව වෘත්තීය සමිති නායකත්වයයි; ඔවුන්ගේ දුර්වල නායකත්වයයි. බොහෝ තැන්වල නිසි නායකත්වයකට බැටන් එක මාරු නොවීම නිසා තමයි මේ තත්ත්වයට ඇද වැටිලා තියෙන්නේ.
 
 
 
ඉෂංඛා :
නිෂ්පාදන ක්‍රියාවලිය තනි කර්මාන්ත ශාලාවක, තනි රටක සංවිධානය වූ වකවානුව අවසන්වෙලා දැන් ඒ කාර්යය සංවිධානය වෙන්නේ මුළුමහත් ලෝක ගෝලයම පුරායි. පළමු ලෝකයේ රටවල රොබෝ තාක්ෂණය හා යාන්ත්‍රීකරණය විසින් කම්කරු රැකියා සෑහෙන දුරට අහෝසි වෙන අතරවාරයේම චීනය, වියට්නාමය, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව වගේ රටවල ලාභ ශ්‍රමය සොයාගෙන ප්‍රාග්ධනය ගලායාම ආරම්භ වී දැන් දශක කිහිපයක්. අපේ වගේ රටවල රජයේ කාර්යභාරය වෙලා තියෙන්නේ ඒ ප්‍රාග්ධනයට අවශ්‍ය පහසුකම් සැලසීමයි. තාක්ෂණයට සම්බන්ධ ව්‍යවසායකයෙක් ලෙසත් කටයුතු කරන ඔබ මේ වර්ධනයන් සාම්ප්‍රදායික වෘත්තීය සමිතිවල කේවල්කිරීමේ බලයට බලපෑම් එල්ල කරනවාද?
පීටර්: 
කෙතරම් තාක්ෂණික දියුණුවක් සහිත නිෂ්පාදනයන් කෙරුණත් මිනිස් ශ්‍රමය යොදාගෙන කෙරෙන 'මැනුවල්' දේ වෙනුවෙන් ලෝකය පුරාම ඉල්ලුමක් පවතිනවා. ඒ ඉල්ලුම ඉහළ යමින් තියෙනවා. ඒ වගේම සෑම දියුණු තාක්ෂණයක් පිටුපසම මිනිස් ශ්‍රමය තියෙනවා. යුරෝපයේ තාක්ෂණ දියුණුවක් තිබුණාට වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් හා දියුණු තත්ත්වයක තියෙනවා. ඉතිහාසය පුරාම ලෝකය හැම තැනම ප්‍රාග්ධනය ගමන් කරන්නේ ලාභ ශ්‍රමය සොයා ගෙන. අපේ වගේ පරිධියේ රටවල ආණ්ඩු ප්‍රාග්ධනයට අවශ්‍ය පහසුකම් සලසන්න කටයුතු කරන්නේ ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති නිසායි. ඒත් මේ ගලා එන ප්‍රාග්ධනය හරහා පැමිණෙන ලාභ ශ්‍රම කොල්ලයට, සූරා කෑමට එරෙහිව කම්කරු අයිතීන් ශක්තිමත් කරන්න, ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් වගේම ශක්තිමත්, බුද්ධිමත් වෘත්තීය සමිති නායකත්වයක් අවශ්‍ය වෙනවා. පවතින හා වෙනස්වන තත්ත්වයන් විශ්ලේෂණය කරමින් විග්‍රහ කරගනිමින් නවතම සටන් ක්‍රියා මාර්ග තෝරන වෘත්තීය සමිති නායකත්වයක අවශ්‍යතාවය දැඩිව මතු වෙනවා. තමන්ගේ ගැටළු කියන්න කම්කරුවෝ වෘත්තීය සමිති හොයාගෙන එන්න කලින් එවැනි ප්‍රශ්න තියෙන තැන්වලට වෘත්තීය සමිති නායකයෝ මැදිහත් වෙන්න ඕනි. ඒ තැන්වලට යන්න ඕනේ දැනුවත් බවක් ඇතිව වැඩ පිළිවෙලක් එක්ක.
 
මම කලින් සඳහන් කළා වගේ අද වෘත්තීය සමිති ව්‍යාපාරය මෙන්ම නායකත්වය තිබෙන්නේත් ඉතාමත් පසු බෑමක. රාජ්‍ය සහ හාම්පුතුන් ඉදිරියේ දණ නවන, ඔවුන්ව වන්දනාමාන කරන තත්ත්වයක් දැන් තිබෙන්නේ. කොටින්ම කිව්වොත් ප්‍රාග්ධනය ඉදිරියේ මේ වෘත්තීය සමිති නායකත්වය සෑහෙන දුරට දණ නමලා. ඒක මනාව පෙන්නුම් කළේ කොවිඩ් වසංගතය සමඟ පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ රැකියා හා වැටුප් කප්පාදුව සඳහා වෘත්තීය සමිති නායකයෝ හාම්පුතුන්ගේ හා රජයේ ඉල්ලීමට පළමු වටයේදීම එකඟවීම. ඒ අනුව මට නම් හිතෙන්නේ වෘත්තීය සමිති සතු සාමූහික කේවල් කිරීමේ බලයට බලපෑම් එල්ල වෙන්නේ වෘත්තීය සමිති තුළින්මයි. නමුත් ඉතිහාසය පුරාම කම්කරුවෝ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගත්තේ සටන් කරලා මිසක් අතරමග සම්මුතිවලට ගිහින් නොවෙයි කියන එක තමයි, අමතක නොකළ යුතු ඓතිහාසික ඇත්ත.☐
 
(උපුටා ගැනීම - © JDS -jdslanka.org)

 

 

 

 


 

 

The Leader TV

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව

 

මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර

 

 

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්