1200 x 80 DMirror
 
 

මින් ඉදිරියට තමන්ට රජුන් තනන්න කිසිඳු උවමනාවක් නොමැති බව, පසුගිය දසක තුනකට ආසන්න කාලය සිට  මෙරට රජුන් තනන්නකු ලෙස ශ්‍රී ලාංකීය දේශපාලනයේ ප්‍රචලිත හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.  
 
 
ඔහු එබව පවසන්නේ දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් අතර අතිශයින් ම ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලයක් වන SLVOG  සමග පැවති සාකච්ජාවකදීය. එහිදී නිදහස් මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මංගල මෙසේ පවසයි.
 
''මින් ඉදිරියට මම රජුන් තනන්න යන්නැත්තේ ඇත්තවශයෙන්ම එයාල කියපු දේවල් ඒ අයට කරන්නට බැරිවුණා. එහෙම නැත්නම් කළේ නැහැ. ඒනිසා ඇත්ත වශයෙන්ම ඉදිරියෙදි නම් මට තව රජෙක් තනන්න කිසිම වුවමනාවක් නැහැ. විශේෂයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයක දී මගේ එකම කොන්දේසිය කරගන්නේ ජනාධිපතික්‍රමය. තමන් දිනා ගන්නා ධුරය දිනාගෙන, පාර්ලිමේන්තුවේ පළවෙනි පණත හැටියටම ඉදිරිපත් කරනවැයි කියලා පොරොන්දු වෙන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ විශ්වාසය ඇතුව මට කටයුතු කරන්න පුළුවන්. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා. නමුත් එවැනි විශ්වාසයක් අවුරුදු 30ස් ගාණක් දේශපාලනය කරලා දැනට මට තියෙන්නේ මම ගැන  විතරයි.''
 
SLVOG  සමග පැවති සම්මුඛ සාකච්ජාව පහත පළවේ.
 
 Mangala 1
''දේශපාලන සත්වයෙකුට දේශපාලනයෙන් ඉවත් වෙන්න අමාරුයි.'' - මංගල 
 
 
ප්‍රශ්නය :
''එස්එල් බ්ලොග් අපි විශ්වාස කරන්නේ නැහැ මංගල සමරවීර දේශපාලනයෙන් සමුගත්තා කියන කතාව. ඔබ ඉතා දීර්ඝ කාලයක් ලාංකීය දේශපාලනයේ සක්‍රීයව ඉන්නවා අදටත් මේ මොහොතෙත්. අපි අත්දැකීමෙන් අවබෝධ කරගෙන තියෙනවා සාමාන්‍යයෙන් දේශපාලනයට එන අපේක්ෂකයෝ මුල් අවස්ථාවේදී ඇතුල්වෙනකොටම යම්කිසි අවංකභාවයක් ඔවුන්ගේ තියෙනවා නැත්තේ නැහැ. වැඩක් කරන්න අවශ්‍යතාවයක් ඔවුන්ට තිබෙනවා. එක්කෝ සෞඛ්‍ය හදන්න, පොදු ප්‍රවාහනය නගා සිටුවන්න විවිධ ආකරයෙන් අවංක අපේක්ෂා ඔවුන්ට තිබෙනව. නමුත් ඔවුන් මහජන නියෝජිතයෙක් බවට පත් වුණාට පස්සේ ඔවුන්ට ඉතා සීමිත ව්‍යාපාරික කල්ලියකට වග වෙන්න අතකොලුවක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. 
අපි දන්නවා මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අසරණ භාවයට පත්ව තිබෙනවා. ඉතා සීමිත කල්ලියකගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නට සිද්ධ වෙලා තිබෙනවා පොදු මහා ගුණාකාරය අමතක කරලා. 
මංගල, ඔබ ඉතා දීර්ඝකාලයක් දේශපාලනයේ හිටියා අදටත් ඉන්නවා. පාර්ලිමේන්තුවේ කාලයක් හිටියා. නමුත් ඔබ අසමත් වුණා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. ඒ අර්ථයෙන්ම අපිට හිතෙනවා මංගල තවමත් අවංක නැහැ කියලා. අපිට පිළිතුරක් අවශ්‍යයි.?
 
 
 
මංගල :
දර්ශන ඉතාමත්ම බැරෑරුම් වැදගත් සංකීර්ණ ප්‍රශ්නයක් ගැන ඔබතුමා කතා කරන්නේ. නමුත් ඒකට පිළිතුරු දීමට ප්‍රථම මම පැහැදිළිවම පසුගිය අවුරුද්දේ මහමැතිවරණයේදී කියා සිටියා. මම පාර්ලිමේන්තු දේශපාලනයේ විශ්‍රාම යනවා කියලා .
 
කිසිම විටෙක මම දේශපාලනයේ විශ්‍රාම යනවා කියලා කිව්වේ නැත්තේ, මම අවුරුදු 31 ක් විතර පාර්ලිමේන්තුවෙත් ඉඳලා, ඊට පස්සේ පොඩි කාලේ මගේ පියාගේ දේශපාලනය දිහා බලාගෙන හිටපු කෙනෙක් හැටියට කවදාවත් දේශපාලන සත්වයෙකුට දේශපාලනයෙන් ඉවත් වෙන්න අමාරු නිසා. එත් අයෙත් පාර්ලිමේන්තු මැතිවරණ දේශපාලනයට නම් එන්නේ නැහැ.  
 
 
අද මම පාර්ලිමේන්තුවේ වෙන දේවල් බලන්නෙත් නැහැ. නමුත් මම අද සතුටු වෙනවා මේ වර්තමාන පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන. 
  
ඔබතුමා ඉතාමත් වැදගත් තැනකට ආවේ මැතිවරණ ක්‍රියාවලිය වෙනස් නොකිරීම ගැන. විශේෂයෙන්ම මම පාර්ලිමේන්තුවට ආවේ අලුත් මැතිවරණ ක්‍රියාවලිය තුල 1989 තමයි ප්‍රථම වතාවට මේ රටේ මනාප දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක වුණේ. 
 
මේ අලුත් මැතිවරණ ක්‍රමය තුලින් ඇති කරපු විශාලම විනාශය තමයි, සාමාන්‍ය මුදලක් තියෙන තමන්ගේ කොට්ඨාශයේ එහෙම නැත්නම් ආසනයේ ජනප්‍රියතාවයක් තියෙන දේශපාලඥයෙකුට පාර්ලිමේන්තුවට ඒමට තිබුණ ඉඩ කඩ සීමා කිරීම.
 
උදාහරණයක් හැටියට ගත්තොත් 1989 වෙනකම්ම, මම මගේ දිස්ත්‍රික්කය ගැන කතා කරන්නේ. මාතර දිස්ත්‍රික්කය ගත්තොත් ආසන 7 ක් තියෙන දිස්ත්‍රික්කයක්. මාතර මම නියෝජනය කරපු මාතර ආසනය ඡන්ද අසූ එක්දාහක් විතර තියෙන ආසනයක් 89 හරියෙදි. ඊට පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. 89 ඉස්සෙල්ලා ඒ කාලේ ආපු මන්ත්‍රීවරුන්ට තිබුණේ ඒ ආසනය දිනාගන්න.
 
මට මතකයි මගේ පියාගේ කාලේ, බී.වයි. තුඩාවේ මැතිතුමන්ලගේ කාලේ, එස්.කේ. පියදාස මැතිතුමන්ලගේ කාලේ ඇත්තටම අපේක්ෂකයා පවා ගෙයින් ගෙට ගියා. ඒවගේම තමන්ගෙ පක්ෂය ඇතුලේ තරඟයක් තිබුණේ නැහැ. ඇත්තවශයෙන්ම පෝස්ටර් කීපයක් ගහගත්තහම ඇති, අංක ප්‍රසිද්ධ කරන්න අවශ්‍ය වුණේ නැහැ. 
 
ඒක නිසා ජනප්‍රියතාවය තුලම මිනිස්සු එක්කලා සිටීම තුලින්ම දිනන්න පුළුවන් කමක් ලැබුණා. ඒක නිසා තමයි ඩබ්ලිව් දහනායකලා, තෙන්නකෝන්ල වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට ආවේ, මහ ලොකු සල්ලිකාරයෝ නෙවෙයි. 
 
නමුත් එකපාරටම ආසනය දිස්ත්‍රික්කය බවට පත් වුණා. දිස්ත්‍රික්ක බවට පත්වෙලා එක ආසනයකින් ඡන්ද ගන්න ඕන එක්කෙනාට ආසන හතකින් ඡන්ද ගන්න පොරකන්න සිද්ධ වුණා. ඒ ඡන්දවලට පොරකන ගමන්ම මනාපෙටත් ෆයිට් කරන් සිද්ධ වුණා. මම හිතන්නේ මාතර ගත්තොත් ඡන්දදායකයෝ හාරලක්ෂයක් විතර ඉන්නවා. හාරලක්ෂයම හම්බුවෙන්න යන්න කොහොමවත් බැහැ.
 
ඊට පස්සේ මොකද කරන්නේ විවිධ සංස්කෘතික පදනම් අල්ලගන්නවා. ඇත්ත වශයෙන්ම මැරීගෙන යන නැතිවීගෙන යන කුලවාදය මේ රටේ ආයිමත් ඔලුව ඉස්සුවේ මේ මනාප ක්‍රමය තුළ. මොකද තමන්ගේ විවිධ සම්බන්ධකම් කුලයේ සම්බන්ධකම් වෙන්න පුළුවන්, මිත්‍රත්වය වෙන්න පුළුවන්, පාසැල් සබඳතා වෙන්න පුළුවන්, අන්න ඒ තැන් හොයාගෙන අපේ ඉන්න ඔක්කොම අපේක්ෂකයෝ දුවන්න පටන් ගත්තා. 
  
ඉස්සර එක ආසනයකට එක වාහනයක් දාලා මැතිවරණය කරන්න පුළුවන් නම්, අද අඩුම ගානේ වාහන හත අට නවය ඕන වුනා. මට ආරංචියි මේ මැතිවරණයේදී වාහන දෙසිය ගාණක් පාවිච්චි කරපු අපේක්ෂකයෝ හිටියා මාතර වගේ පොඩි ආසනවල. 
 
ඊට පස්සේ දිස්ත්‍රික්කය පුරාම පෝස්ටර් තරඟයක් තියෙනවා මනාපවලට. තරඟෙ තියෙන්නේ විශේෂයෙන්ම වැඩියෙන්ම තමන්ගේ පක්ෂයේ අයගේ තුළයි. ඉතින් මේ වගේ විශාල ධනස්කන්ධයක් අවශ්‍ය වෙනවා.
 
 
 
ප්‍රශ්නය :
සාමාන්‍යයෙන්ම කොපමණ මුදලක් වැය වෙනවාද?
 
මංගල :
ඒක තීරණය වෙන්නේ තමන් මේකට බහින ආකාරය අනුව. මම දන්නවා මිලියන දෙසිය තුන්සිය වියදම් කරපු මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෝ ඉන්නවා. ඒ වගේම මිලියනයකට අඩුවෙන් වියදම් කරපු අයත් ඉන්නවා. එතකොට ඒ අයට මේ තරඟෙදි ඉස්සරහට එන්න අමාරුයි. මොකද මේක සල්ලි පිළිබඳ තරඟයක්.
 
 
 
 
ප්‍රශ්නය :
මේ ප්‍රශ්නයටත් පිළිතුරු දීගෙනම යමු. ඇත්තටම අපේක්ෂකයෙක් වියදම් කරන මුදල අති විශාලයි. අති විශාල ධනස්කන්ධයක් ඔවුන් වියදම් කරනවා පාර්ලිමේන්තු මැතිවරණයකදි. හැබැයි රටේ ඡන්දදායකයා රටේ පුරවැසියෝ දන්නේ නැහැ කොපමණ මුදලක් එකතු වුණාද ඒ මුදල් කොහෙන්ද ආවේ, ඒ මුදල් දුන්නේ කවුද? මොන මොන පාර්ශවද දුන්නේ. මොන මොන ව්‍යාපාර කරන අයද මේ මුදල් ආයෝජනය කරලා තියෙන්නේ. එතකො ජනතාවට අයිතියක් නැද්ද මේ අපේක්ෂකයා කොපමණ මුදලක් එකතු කරාද කොපමණ මුදලක් වියදම් කරාද කියලා දැනගන්න?
 
 
මංගල :
අනිවාර්යයෙන්ම ඒ අයිතිය තියෙනවා. ඒක දැනගත යුතුයි . බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඒක මැතිවරණ නීතිරීති වලටම ඇතුළත් කරලා තියෙනවා.
 
ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල කවුරුහරි තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් එකක් දුන්නත් එහේ මැතිවරණ කොසමට ඒක වාර්තා වෙන්න ඕන. ඇමෙරිකාව විතරක් නෙවෙයි ඉන්දියාවෙත් මැතිවරණය සඳහා නීතිරීති විශේෂයෙන්ම මුදල් ලබා ගැනීමේ සහ එකතු කර ගැනීමේ නීති රීති ගොඩක් තියෙනවා.
 
ලංකාවේ විතරයි මේ මැතිවරණවලට එකම එක නීතියක් වත් හඳුන්වා දෙන්නට එදා කවුරුවත් උත්සාහ කළේ නැහැ. 
 
 Mangala Sripathi
නමුත් මම එදා 2007 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ආවට පස්සේ 'මහජන පාර්ශවය'  හදලා, ඒක පක්ෂයක් හැටියට නෙවෙයි කණ්ඩායමක් හැටියට මම මගේ මතවාදය 'සිහිනයේ අභියෝගය' කියලා ප්‍රතිපත්ති පොත් පිංචක් නිකුත් කරා. එකේ ප්‍රධාන මාතෘතාකවක් වුණේ ඔය කැම්පේන් ෆයිනෑන්සිංවලට නීතිරීති ගේන එක.  
 
 
 
ප්‍රශ්නය "
ඔබතුමාට ඒ ක්‍රමය වෙනස් කරනන් බැරි වුණා නේද?
 
මංගල:
මට ආණ්ඩුවක් තිබිලා නැහැ. මම මේ එතනටයි එන්නේ. ඒක වෙනස් කරන්න මුළු ආණ්ඩුවේම සහයෝගය ඕන. 
 
 RW
රනිල් වික්‍රමසිංහ 
 
මම දන්නවා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා 2015 ආණ්ඩුවේදී, ඇත්ත වශයෙන්ම ඔහු ඒ ගැන දීර්ඝ වශයෙන්ම අපිත් එක්ක කතා කළා. එතුමාටත් ඉතාමත්ම උවමනාවක් තිබුණා මේ කැම්පේන් ෆයිනෑන්සිංවලට නීතිරීති ගේන්න. එතුමාගේ යෝජනාවක් තිබුණා.
 
සමහර රටවල මැතිවරණයකදී කාටවත් සල්ලි එකතු කරන්න බැහැ. ආණ්ඩුවෙන් ලියාපදිංචි පක්ෂවලට ඒ මැතිවරණය සඳහා මුදල් එකතු කරනවා. ලියාපදිංචි ඒ වගේම එක්තරා X සාමාජික සංඛ්‍යාවක් ඉන්න පක්ෂවලට මේක වෙන් කිරීම ගැන කතා කරා. 
 
ඔබ කියන කතාව ඇත්ත. අන්තිමේදි අද වෙනකනුත් මේක කරලා නැහැ. නමුත් මේක කරනකන් පාර්ලිමේන්තුවට යන අය විවිධ ජාවාරම්කාරයන්ගේ අතකොලු බවට පත්වීම වලක්වන්න බැහැ. මම මේ කතාකරන්නේ එක පැත්තක් ගැන නෙවෙයි හැම පැත්තක් ගැනම පොදුවේ. 
 
 
 
ප්‍රශ්නය :
මංගල, මේ දවස්වල බොහොම නිදහස්ව නිදහස් චින්තකයෙන් විදිහට කතා කරන බව අපට පේන්න තියෙනවා. ඔබ ශීලාචාර දේශපාලනය ගැන කතා කරනවා. ශිෂ්ට සම්පන්න දේශපාලනයක් ගැන කතා කරනවා. ගෝත්‍රික පසුගාමී වටපිටාවෙන් මිදුණු අලුත් ලෝකයක් සම්බන්ධයෙන් ඔබ කතා කරනවා, අදහස් දක්වනවා. දැන් ශිෂ්ටද අශිෂ්ටද කියන එක පුද්ගලානුබද්ධයි. ඒක පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස්. මංගලට අනුව මංගලගේ දේශපාලනය ශිෂ්ට සම්පන්නද? 
 
 
මංගල:
සීයට සීයක් නොවුණත් ඔව්. මොකද ශිෂ්ටසම්පන්න දේශපාලනයක් බලාපොරොත්තුවෙන් මම 1989 කාලේ පාර්ලිමේන්තුවට ආවේ. වරින් වර මම දුක්වෙන ඉතාමත් සුළු සිද්ධීන් කීපයක් තියෙනවා.
 
ප්‍රශ්නය :
එක සිද්ධියක් මතක් කරමු? මිස්ටර් බීන් කියලා රනිල් වික්‍රමසිංහට රට පුරාම කැම්පේන් කළේ ඔබ. ඒක ශීලාචාරද ශිෂ්ටසම්පන්නද? 
 
මංගල:
රනිල් වික්‍රමසිංහ කියන්නේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙක් කියලා අද එතුමා එක්ක කවුරුත් නැති මේ මොහොතේදීත් මම දැඩිව පිළිගන්නවා. එතුමාගේ වයස නෙවෙයි, එතුමාගේ තියෙන අත්දැකීම් දැනුම් සම්භාරයන් මේ රටට අවශ්‍යයි කියලා මම පිළිගන්නවා. 
 
නමුත් අනික් පැත්තෙන් ඒ දේශපාලනය මම නම් කියන්නේ අශිෂ්ටම නෙවෙයි. ඇත්තනේම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ අපි පොඩි පොඩි විහිළු කරනවා. අපිට හිටපු ප්‍රභලම ප්‍රතිවාදියා හැටියට, ඒක ඇත්ත වශයෙන්ම විහිළුවක්. මම දැකලා තියෙනවා ඊට වඩා ඉතාමත් බරපතල විහිළු ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය වගේ රටවල්වලත් වෙනවා. 
 
ඒක නෙවෙයි මම නම් කියන්නේ කුහකකම අශිෂ්ටභාවය කියලා. 
 
තමන් දේශපාලනයට ඇවිල්ලා තමන්ගේ බලය තව කෙනෙක් පාගා දමන්නට තව කෙනෙක් වෙනුවෙන් අයථා ලෙස යොදවා ගැනීම මම දකින්නේ අශිෂ්ට ලෙස පාවිච්චි කිරීම කියලා. 
 
එක අවස්ථාවකදී මම සෘජුව සම්බන්ධ නොවුනත් මමත් ඒකට දායක වුණා. මොකද ඇත්තටම මට හිතෙනවා 2001 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඡන්දයකින් දිනලා අගමැතිවෙලා ආණ්ඩුවක් පිහිටපු වෙලාවේ, අපි එතුමාගේ අමාත්‍යංශ හතරක් පවරගෙන යලි වතාවක් ඡන්දයට යෑම පාර කැපීම වරදක්. ඒගැන එක්තරා අන්දමකින් මගේ හෘද සාක්ෂියේ තියෙනවා පොඩි කැලලක්. ඒකෙන් තමයි මේ රටේ ඉතිහාසයත් යන මාර්ගයත් වෙනස් වුණේ. 
  
අනික් පැත්තෙන් මම කියන්න කැමතියි. අවුරුදු 31 න් අවුරුදු 15 විතර මම ඇමති කෙනෙක් වශයෙන් හිටියා. මම කවදාවත් ඇමති කෙනෙක් හැටියට අයුතු ලෙස බලය පාවිච්චි කරලා  මගේ යටතේ හිටපු රජයේ සේවකයන්ගෙන් ඒ අය පාගලා ඒ අයගෙන් පලි අරගෙන නැහැ. 
 
ආණ්ඩු බලය වෙනස් වුනයි කියලා මම පලි අරගෙන නැහැ. ආණ්ඩුබලය වෙනස් වුණාම මම එස්එස්පීගෙ පුටුවේ වාඩිවෙලා ඒ අයට අණ දීල මගේ ප්‍රතිවාදීන් අත්අඩංගුවට ගන්න කියලා නැහැ. විශේෂයෙන් මමත් එක්ක වැඩකරපු පොලිසියේ නිලධාරීන්, රජයේ නිලධාරීන්, රජයේ සේවකයන් සියල්ල අදත් ඒක අගය කරනවා. නමුත් පොඩි පොඩි කුහකකම් වෙන්න ඇති. 
 
 
 
වඩාත් පක්ෂ චීනයටද ඇමෙරිකාවටද?
 
 
ප්‍රශ්නය :
හොඳයි මංගල වඩාත් පක්ෂ චීනයටද ඇමෙරිකාවටද? සහ යම්කිසි හෙයකින් චීනය සහ ඇමෙරිකාව අතර පවතින වෙළඳ, වාණිජ කාරණා සියලු එකට ගත්තොත් එහෙම චීනය විසින් ඇමෙරිකාව යටපත් කරමින් ඇමෙරිකාව පරයා චීනය නැගී සිටියහොත් ලිබරල් ප්‍රතිපත්තිවල තියෙන ලිබරල් වටිනාකම් පද්ධතියට මොනවා වෙයිද? ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?
 
මංගල :
මම පක්ෂ චීනයටද ඇමෙරිකාවටද කියලා ඔබතුමා ඇහුවා. ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම පක්ෂ අපේ රටේ දියුණුවට අත හිත දෙන්න පුළුවන්, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කරන්න පුළුවන්, අපේ එක්පෝටර්ස්ලගේ අත මිට සරු කරන්න පුළුවන්, අපි එක්ක ගණුදෙනු කරන රටවල් සියල්ලටම මම පක්ෂයි.
 
එතනදී මම අනිවාර්යෙන්ම ඇමෙරිකාවටත් පක්ෂයි මොකද? වැඩියෙන්ම අපේ අපනයනය යන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට, අපේ ආර්ථිකය ඇමෙරිකා එක්සත් ජනපදය එක්ක බැඳී සිටිනවා. නමුත් ඒ වගේමයි චීනය කියන්නෙත් අපේ මිත්‍රයෙක්. ඒ වගේම අපි ඒ අයත් එක්ක එකතුවෙලා සියලු රටවල් එකතු කරගන්න ඕන. 
  
ඒකයි මම කියන්නේ, මම අදත් සතුටු වෙන්නේ මේ ලඟදි පුවත්පත් සාකච්ඡාවෙදිත් කිව්වේ 2015 -2020 කාලෙදි තමයි අපිට පුළුවන් වුණේ මුළු ලෝකයම ලංකාව වටා රොක් වෙන විදිහටම සෑම බලමුළුවක්ම අපි ලංකාව වෙනුවෙන් හිටගන්න ගෙන්න. 
 
 අමෙරිකාව වගේ රටක එක කෙලවරක ජෝන් කෙරී වගේ රාජ්‍ය ලේකම්වරයෙක් ලංකාවට අවුරුදු හතලිස් ගාණකට පස්සේ ආවා. 
 
ඊගාවට අපි චීනයේ අගමැතිතුමා, ජනාධිපතිතුමා අපේ රටේ මිත්‍රයෝ. චීන විදේශ ඇමතිතුමාඅදත් මගේ පෞද්ගලික මිත්‍රයෙක්.  
 
 රුසියාවේ පූටින් ජනාධිපතිතුමා අවුරුදු ගාණකට පස්සේ අපේ ජනාධිපතිතුමාටයි මටයි ක්‍රෙම්ලින් නුවරට එන්න කියලා ආරාධනා කරා. 
 
යුරෝපිය සංගමය අපිට බොහොම සහයෝගයකින් වැඩ කරා. මහා බ්‍රිතාන්‍ය සහ විශේෂයෙන්ම ඉන්දියාව. ඉන්දියාව කියන්නේ අපේ මිත්‍රයෙක් නෙවෙයි අපේ ප්‍රධානතම ඥාතියෙක්.    
 
එතකොට ජපානය. තාමත් ජේ.ආර්. ජනාධිපතිතුමා සැන් ෆැන්සිස්කෝ නුවර කරපු කතාව ගැන කතා කරනවා. 
 
අන්න ඒ විදිහට අපි ලෝකයම එකතු කරගත්තා ලංකාව වෙනුවෙන්. ඒක කළ යුතුයි කවුරු රට පාලනය කරත්. මම කියන්නේ රටක් හැටියට අපි මේ හැම කෙනාම එකතු කරගන්න ඕන. 
 
John Kery Mangala නමුත් දේශපාලනික වශයෙන් ප්‍රශ්නයක් ඇහුවොත්, ඇමෙරිකාවද චීනයද කියලා මම කියනවා ඇමෙරිකාව කියලා. 
 
 
ඇමෙරිකාවෙත් ගොඩාක් අඩුපාඩුත් තියෙනවා ප්‍රශ්න තියෙනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත්. ඒ නිසා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි ජනාධිපතිවරයෙක් පවා පත්වෙලා ඒ ආයතන දුර්වල කරන්න උත්සාහ කරද්දිත් ඒ ආයතන ජයගත්තා. 
 
චීනය ගැන මට දේශපාලන වශයෙන් එකඟ වෙන්න බැහැ. කොමියුනිස්ට් පක්ෂයට, කොමියුනිස්ට්වාදයට මම විරුද්ධයි. නමුත්  ඒක ඒගොල්ලන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඒගොල්ලන්ගේ දේශපාලන මතය ගැන මට විවේචනය කරන්න ඕන නැහැ.
 
 මගෙන් ඇහුවොත් ඔව් මම ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මානව අයිතීන් අගයන නීතිය ආදිපත්‍යය රජයන දේශපාලන ක්‍රමවලට තමයි මගේ සහයෝගය සහ කැමැත්ත හැමදාම තිබුණෙ තියෙන්නෙත්.
 
 
ප්‍රශ්නය :
ඔබට දිගුකාලයක් තිස්සේ නැගෙන චෝදනාවක් තියෙනවා. මේ මෑතකාලය වෙද්දී ඉතාමත්ම තදින්ම ඇහෙන්න පටන් ගත්තා. 2015 පස්සේ ඔබ ඇතැම් එකඟතා පලකොට තිබෙනවා ජීනීවා වලට කැබිනට් එකට නොකියා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා පවා චෝදනා කළා කැබ්නට් එකට නොකියා කැබිනට් එක දැනුවත් නොකර ඔබ අත්තනෝමතික ලෙස ජිනීවා සමඟ එකඟතා පලකරා කියලා. ජිනීවාවලදී ශ්‍රී ලංකාව පාවා දුන්නේ මංගල සමරවීරයි කියන එක සම්බන්ධයෙනුත් චෝදනා තියෙනවා. දයාන් ජයතිලකත් කියනවා 30/1 වගන්තිය යටතේ ඔබට චෝදනා කරනවා.
 
 
මංගල:
දයාන් මහත්මයා කියන්නෙ දේශපාලන සෙල්ලක්කාරයෙක්. ඔහු කියන ඒවට මම මෙතනදි උත්තර දෙන්න ඕනෙත් නැහැ, උත්තර දෙන්න යන්නෙත් නැහැ. මොකද ඔහුගේ ඉතිහාසය දන්නෝ දනිති.
 
නමුත් පැහැදිළිවම මෙතනදී කියන්න ඕන මේ ජිනීවා කතාව අර MCC කතාව වගේම පසුගිය මහමැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා වර්තමාන පාලක පක්ෂය බොරු කන්දකින් වැහුව දෙයක්.
 
 ඇත්තවශයෙන්ම ඔය කියපු හැම දෙයකටම වඩා වෙනස් දෙයක් වුනේ. මොකද 30/1 කියන යෝජනාවෙන් තමයි අපි ලංකාව ජාත්‍යන්තර පරීක්ෂණයකින් බේරගත්තේ. 
 
 MR and Banki 2009
 2009 යුද්ධය අවසන්ව දින තුනකට පසුව (මැයි 23) ශ්‍රී ලංකාව පැමිණි එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග...
 
 
2009  මැයි මාසේ යුද්ධය ඉවරවෙලා දවස් කීපයකට පස්සේ,  ලංකාවට විරුද්ධව යම් යම් මානව අයිතීන් උල්ලංගනය වුණා කියන චෝදනා තියන නිසාම බැංකිමූන් එවකට හිටපු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලංකාවට ආවා. 
 
ලංකාවට ඇවිල්ලා යනකොට බැංකිමූන් මහත්තයා සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කලා.  මේ ඒකාබද්ධ නිවේදනයක් කියන්නේ සාමාන්‍ය ප්‍රෙස් රිලීස් එකක් නෙවෙයි. රාජ්‍ය නායකයන් දෙපලක් ඒකාබද්ධ නිවේදනයකින් මේ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ලංකාව තුළ පවත්වලා ඒවාට අනුකූලව කටයුතු කරන බවට අපි දුන්න ප්‍රතිඥාවක්.
 
ඒ මැයි 23 වෙනිදා ඇවිල්ලා මේ තත්වය කොයිතරම් බරපතලද කිව්වොත් දවස් තුනක් ඇතුළත ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාව මාතෘකාව කරගත් විශේෂ සැසිවාරයක් 2009 මැයි මාසේ 26 හෝ 27 ජිනීවා වල තිබුණා. මේ ගැන සාකච්ඡා කරා.
 
ඇත්තවශයෙන්ම මම විදේශ ඇමතිවරයා විදිහට හිටිය නම් මම කියනවා කරුණා කරලා මේ වෙලාවේ මේ යුද්ධය ඉවරවෙලා සතියයි, මේවා තියන්න එපා පොඩ්ඩක් ඉන්න. අපි කල්පනා කරලා වැඩපිළිවෙලක් හදනකන් ඉන්න කියලා මේක නවත්තගන්න තිබුණා. නමුත් එවකට ජිනීවාවල හිටපු තානාපතිවරයාට එවැනි ශක්තියක් තිබුණේ නැහැ 
 
 
''13 වැනි සංශෝධනය ජාත්‍යන්තරගත කරා.''
 
ඊට පස්සේ ලංකාව යෝජනාවක් ඉදිරිපත් කළා. 13 වැනි සංශෝධනය පවා ජාත්‍යන්තරගත කරා.  මෙතෙක් කල් කවදාවත් අපි  13 වැනි සංශෝධනය ජාත්‍යන්තරයට ගෙන ගියේ නැහැ.
 
13 වැනි සංශෝධනය අපි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඒකේ පැහැදිළිවම කියනවා අපි බැංකිමූන් මහතා සමග කරගත් ඒකාබද්ධ ප්‍රකාශ අපි අනුමත කරනවා කියලා. 
 
ලංකාව තුළ මේ කියන චෝදනාව සම්බන්ධයෙන් සොයා බැලීමේ යාන්ත්‍රණයක් ඇති කිරීම සම්බන්ධයෙන් තමයි මේ එකඟතාවය. එතකොට ඒ යෝජනාවට රටවල් 29 ක් ඔව් කිව්වා. එතකොට රටවල් 12 ක් ඒ යෝජනාවට විරුද්ධ වුණා ඊට පස්සේ  ඡන්දය පාවිච්චි කරේ නැහැ 6 ක්. 
 
නමුත් 2009 මේ යෝජනාව දීල මේ යෝජනාවේ තියන ඒවා කරනවා වෙනුවට 2009 -2014 අතර ලංකාවේ තිබුණ තත්වය තව තවත් පල්ලෙහාට ගියා. 
 
අපේ අධිකරණයේ හිටපු අගවිනිසුරුවරිය ශිරානි බණ්ඩාරනායක එලවලා දැම්මා. අධිකරණයට එන්න එන්නම බලපෑම් වැඩිවුනා. අපේ ජනමාධ්‍යවේදීන්ට තියෙන හිරිහැර එන්න එන්නම වැඩි වුණා. දේශපාලන ඝාතන අතුරුදහන්වීම් පවා දිගින් දිගටම සිදුවුණා. 
 
ඉතින් මේකත් එක්ක 2012 වෙනකොට මොකද වුණේ. 2009 දි අපි වෙනුවෙන් රටවල් 29 ක් ඡන්දය පාවිච්චි කරත් 2012 සැසිවාරයේදී අපේ මේ යෝජනාව ආවම එදා දුන්නු 29 න් 15 යි අපිට සහයෝගය දුන්නේ. 2009 දි 12 දෙනයි අපිට විරුද්ධ වුණේ හැබැයි 2012 දී 23 දෙනෙක් අපිට විරුද්ධව නැගී සිටියා.
 
 අන්තිමට 2014 වෙනකොට ලංකාව වෙනුවෙන් පෙනී හිටින්න ඉතුරු වුණේ 12 දෙනයි , ඇබ්සන්ට්12 යි. 
 
මෙන්න මේකයි ලොකුම රහස කවුරුවත් කතා නොකරන්නේ. මංගල 30/1 න් ගිහිල්ලා රට පාවා දුන්නා කියන එක්කෙනෙක්වත් කතා කරන්නේ නැහැ 2014 දි තමයි ලංකාවට විරුද්ධව භයානකම යෝජනාව ඉදිරිපත් වුනේ. ඒගොල්ලන් කිව්වා ලංකාව මේ කරනවා කියපු එකක්වත් කරලා නැහැ. ලංකාව තුළ සිදුවුණයි කියන මේ මානව අයිතීන් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක්, ලංකාව ඒකට කැමති වුණත් අකමැති වුණත් ජාත්‍යන්තර පරීක්ෂණයක් පටන් ගත්තා. ඒකට රිසොලුෂන්  25/1 මාර්තු 14. පටන් ගත්ත විතරක් නෙවෙයි ඒකට උදව් කරන්න එක්ස්පර්ට්ස්ලා විශේෂඥයෝ තුන්දෙනෙක් පත් කළා. 
 
නොබෙල් සාම ත්‍යාගලාභී සහ පින්ලන්තයේ හිටපු ජනාධිපති මාර්ටි අතිසාරී, නවසීලන්තයේ හිටපු මහාධිකරණ විනිසුරු සිල්වියා කාට්රයිට්, පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමයේ හිටපු සභාපති සහ එරට හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අස්මා ජහන්ගීර් යන අය අදාළ කමිටුවේ විශේෂඥයන් වශයෙන් පත්කළා. 
 
ඒ අය පත්කරා විතරක් නෙවෙයි ඒකේ බොහොම භයානක දෙයක් තිබුණා.
 
ඒ අය අන්තිමට කියනවා එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ආටිකල් හතර යටතේ ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ නීතිය යටතේ ඒ අයට පරීක්ෂණ කරන්න ලංකාව ඉඩ දෙන්න බැඳී ඉන්නවා කියන එකත් මේකෙ පැහැදිළිවම කියනවා. 
 
ඔන්න ඔහොම ඉතාම භයානක මොහොතක ලංකාව පත්වෙලා තියෙනකොට තමයි මේ රටේ වාසනාවකට 2015 ජනවාරි 08 වෙනිදා ආණ්ඩුව වෙනස් වුණේ. 
 
 
Susma Mangi මේක ගැන හිතල තමයි මම ඉස්සෙල්ලාම ගියේ ඉන්දියාවට සුෂ්මා ස්වරාජ් මහත්මිය එතකොට හිටපු විදේශ ඇමතිවරිය, මගේ සහෝදරියක් වගේ ඒ තරමට අපි පෞද්ගලිකව කතා කරනවා. මම දිවුරුම් දීල එනකොට ඉස්සෙල්ලම කෝල් එක ආවෙත් සුෂ්මා ජී ගෙන්. කතා කරලා කිව්වා මංගලජී ඔයා හෙටම ඉන්දියට එන්න කියලා. ඒ ගිහිල්ලා මෝදි අගමැතිතුමත් හම්බවෙලා දවසින් ආවා. 
 
ඊට පස්සේ දෙවෙනි ට්‍රිප් එක ගියේ ජිනීවා. එතකොට ජිනීවා හිටපු මහකොමසාරිස් තමයි ජෝර්දානයේ සෙයිද් අල් හුසේන් කුමාරයා. සෙයිද් අල් හුසේන් කුමාරයා එක්ක අපි දීර්ඝ වශයෙන් කතා කරා.  
 
මොකද මේ වාර්තාව මාර්තු 15 පළවෙනි අන්තර් වාර්තාව සභාගත කරන්නයි තිබුනේ.  අපි කිව්වා කරුණා කරලා අපි කියන දේ අහන්න, දැන් අලුත් ආණ්ඩුවක් තියෙන්නේ. අලුත් ආණ්ඩුව අපි ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක ඉඳගෙනයි කටයුතු කරන්නේ, ඒක නිසා ඊළඟ සැප්තැම්බර් මාසේ, මම මේක කතා කරන්නේ ජනවාරි මාසේ. සැප්තැම්බර් මාසේ  ඊලඟ සැසිවාරය වෙනකම් කල් දෙන්න අපි සංහිඳියාව වෙනුවෙන් අපේ වැඩපිළිවෙල මෙතනට ගේන්නම් කියලා. 
 
අන්න ඒ වැඩපිළිවෙළ තමයි අපි 30/1 කියලා යෝජනාව අපි ඉදිරිපත් කළේ. ඒක අපි හදපු වැඩපිළිවෙල.  
 
රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කොළඹ ඉඳගෙන අපි ඒකේ තව ශක්තිය ගන්න ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයත්, එක්සත් රාජධානියේ තානාපතිවරයත් මේකට අපි එකතුකරගෙන අපි කිව්වා මේක ඔයාල පෝස්පෝන් කරන්න කියලා. ඒගොල්ලො බොහොම කැමැත්තෙන් ඒ වෙලාවේ ඒකට එකඟ වුණා. 
 
 මම ඔබතුමා කරපු චෝදනාට දැන් එන්නම්. මම ඒ වෙලාවේ හිටියේ නිව්යෝක් නගරේ සිරිසේන ජනාධිපතිතුමාත් එක්ක මොකද සිරිසේන ජනාධිපතිතුමා තමන් ජනාධිපතිවුණයින් පස්සේ එක්සත් ජාතීන්ගේ සැසිවාරයට පළමුවරට සහභාගි වෙමින් හිටියේ. 
 
එදා මේ වාර්තාව හදනකොට, මේ රෙසලූෂන් එක හදනකොට අගමැතිතුමා මට විනාඩි දහයෙන් දහයට කෝල් කර කර යම් යම් සංශෝධන වෙනස් වෙන හැටි මට කිවුවා. එතැනදී මට ලංකාවේ හිටියට වඩා ගොඩක් ලේසි වුණා මොකද එහා කාමරේ හිටියේ සිරිසේන ජනාධිපතිතුමා.
 
 
මමත් එක්ක හිටියා එවකට හිටපු එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා. ජනාධිපතිතුමා එක්ක හිටියා. ජනාධිපතිතුමා එක්ක හිටියා එතුමාගේ ලේකම්වරයා ඔස්ටින් ප්‍රනාන්දු. ඒ ඔක්කොම අන්තිමේදි හැම වචනයක්ම සිරිසේන ජනාධිපතිතුමා අනුමත කරා.
  
අනුමත කරා විතරක් නෙවෙයි. මෙතුමා පැහැදිළිවම ඒක හැංගුවේ නැහැ. මෙතුමා ප්‍රසිද්ධියේ 2016 පෙබරවාරි 04 වෙනිදා තිබුණ අපේ නිදහස් දින උත්සවයේදීත් මෙතුමා මේ යෝජනාව සම්බන්ධයෙන් පැහැදිළිවම ප්‍රකාශයක් කරා. එක අගය කරලා.
 
එතුමා පස්සේ පස්සේ තමයි 2019 ආයිමත් ජනාධිපති වෙන්න රහ වැටුනයින් පස්සේ තමයි මේවා නැහැ කියන්න පටන් ගත්තේ.
 
එතුමා මහින්ද රාජපක්ෂලත් එක්ක ඩීල් දාන්න පටන් ගත්තයින් පස්සේ තමයි මේවා නැහැයි කියන්න පටන් ගත්තේ. 
 
එතකන් එතුමා කරපු කතා හැම තැනම තියෙනවා. මුළු ලෝකයම අපි වටා රොක් වෙන්න පටන් ගත්තේ ඒකෙන් පස්සේ. එතුමා දන්නවා කොහොමද එතුමාට ලෝක නායකයෝ මුල් කාලයේ සැලකුවේ කියලා. 
 
මම මේක නිතර නිතර කියන්නේ අපි ආඩම්බර වෙන්න ඕන දෙයක් නිසා. 
 
  89816929 obama

 89817341 angela 89817339 ග7ජනාධිපති මෛත්‍රී G 7 නායකයන් සමඟ ( BBC )

 
 ලෝකයේ දියුණු කාර්මික රටවල් හතේ (G 7) රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ජපානයේ ඉසෙ-ශිමා නගරයේ තිබුන විශේෂ රාජ්‍ය නායක හමුවට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටත් එන්න කියලා ආරාධනා කලේ ඒ අවුරුද්දේ, 2016 මැයි මාසයේ. 
 
ජනාධිපති සිරිසේන මැතිතුමායි මමයි තමයි එදා ජපානෙට ගියේ.  G  7 රාජ්‍ය නායකයින්ගේ ප්‍රධාන රැස්වීමෙන් පස්සේ 3ට අපිත් එක්ක සාකච්ඡාව දාලා තිබුණා. අපිට 2.45 වෙනකොට එතැන වාඩිවෙන්නැයි කිවුවා අපි දෙන්නට අනෙක් නායකයෝ ඇවිල්ලා වාඩි වෙනකන්.  අපි දෙන්නා සිරිසේන ජනාධිපතිතුමා ප්‍රධාන මේසේ වාඩි වුණා. ඊට පස්සේ මම වාඩිවෙලා, හරියටම 3ට දොර ඇරුණා. 
 
ලෝකේ හිටපු ප්‍රධානම නායකයෝ පේලියට එන්න පටන් ගත්තා. ජපන් අගමැති අබේ, ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, ප්‍රංශ ජනාධිපති ෆ්රාන්ෂුවා ඔලොන්ඩ් , කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ට්රුඩෝ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්  මේ වගේ ඔක්කෝම ඇතුළට ආවා. එනකොටම සිරිසේන ජනාධිපතිතුමා දැක්ක ගමන් ඔබාමා මොකද කළේ අනෙක්  මේසේ කෙළවර දක්වා ඇවිද ගෙන ඇවිල්ලා ඔබාමා සිරිසේන ජනාධිපතිතුමාට අතට අත  දීලා ශුභ පතල තමයි තමන්ගේ ආසනේට ගියේ. ඔක්කොම නායකයෝ එහෙම කළා .
 
ඒ තරම් ආදරයක් ඒ තරම් ගෞරවයක් අපේ රටේ ඒ කාලේ තුළ දී ඇති කරගෙන තිබුණා.
 
 Mangala Samaraweera, Minister of Foreign Affairs of Sri Lanka ( Concerned Country ) during of the 32nd session of the Human Right Council. 29 June 2016. UN Photo / Jean-Marc Ferré
ඉතින් මෙන්න මේ තත්වය උඩ අදත් මම නැවතත් කියනවා 30/1 තමයි ලංකාවේ ඉතිහාසයේ, මම නිසා නෙවෙයි. ඒක අපේ ටීම් එකක්. ඒක අපේ අගමැතිතුමාට ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕන. ඒ වෙලාවේ අපේ ජනාධිපතිතුමාට වුණත් ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕන. ඒ වෙනුවෙන් මම බොහෝම මහන්සි උන එක ඇත්ත. නමුත් ඒක තමයි ඇත්ත වශයෙන්ම ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය මොහොත හැටියට මම දකින්නේ. 
 
 
හැබැයි මොකක්ද වෙලා තියෙන්නේ අන්තිමට MCC එක ගැන කිව්වා වගේ මහා බොරු කන්දකින් මේකේ යථාර්තය වැහුවා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ දැන් අපිට සහයෝගය දෙන රටවල් 11ක් දක්වා අඩු වෙලා. 
 
 
ප්‍රශ්නය :
තව අපිට අහන්න වැදගත් ප්‍රශ්නයක් තියෙනවා ඔබෙන්. ඔය අසුනේ ඔය විඳිහටම ඉඳගෙන සුමන්තිරම් හරි අපූරු කතාවක් කිවුවා. මොකද ඔහු කියනවා ''අපි වඩා සමීප, අපි වඩා ලැදි'' මේ අපි අපේ වචන වලින් ඔහුගේ අදහස කියන්නේ අපි හිටගන්නේ මංගලගේ කඳවුරේ කියලා. එතකොට මේ මංගලගේ කඳවුර යනු කුමක්ද?
 
 
 
''මම ඉන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි කඳවුරේ''
 
මංගල :
මට නම්  කඳවුරක්  නැහැ. නමුත් මම ඉන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි කඳවුරේ. එතකොට ඇත්ත වශයෙන්ම එතැන සුමන්තිරම් මංත්‍රීතුමා වේවා එතැන හිට ගන්න ඕන කෙනෙක් එක්ක මම හිටගන්න ලෑස්තියි. ඒ විතරක් නෙවෙයි ඇත්ත වශයෙන්ම දැන්වත් රටක් හැටියට අපි තේරුම් ගන්න ඕන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්මයන් ඒක අපිට අවශ්‍ය විදියට සකස් කර ගන්නවා වෙනුවට විකල්පයක් නැහැ. 
 
ඇත්ත වශයෙන්ම මම පැහැදිලිව ආයෙමත් කියනවා කවුරු මොනවා කිව්වත් කවුරු මොනව කියලා බැන්නත් 2015දි අපි ආපු ගමන සිරිසේන ජනාධිපතිතුමා අර විදියට අවුරුද්දක්  දෙකක් ගිහිල්ලා හිරිහැර නොකර  බාදා පමුණුවන්නේ නැතිව අපිට ඉදිරියට යන්න වුණා නම් 2019 දි අපි යලි වතාවක් ආණ්ඩුවක් මේ ප්‍රතිපත්ති උඩ පිහිටෙව්වා නම්, මම කියන එකේ හේතුවක් තියෙනවා. මොකදඒ වෙලාවේ අපේ පැත්තත් කොයි දර්ශණනයකින් ගියාද කියන එකත් මට මගදි ප්‍රශ්ණයක් ඇති වුණා. එහෙම ගියා නම් අද ඇත්ත වශයෙන් අපි පොඩ්ඩ පොඩ්ඩ ඔලුව උස්සලා ඉවරයි. 
 
මොකද  මම හැමදාම කියන කතාවක් තමයි 2015 දි අපි භාර  ගන්න කොට අපි භාර ගත්තේ ICU එකේ හුස්ම අදින අවසාන හුස්ම අදින්න යන ලෙඩෙක්. නමුත් අන්තිමට පොඩ්ඩ පොඩ්ඩ හොඳ තත්වයක් හොඳ වෙන්න පටන් ගත්ත. පළවෙනි අවුරුද්ද අපි මතක් කරන්න ඕන. කවුරු මොනවා කිව්වත් රවි කරුණානායක මුදල් ඇමතිතුමා ඒ ඔක්කොම ප්‍රශ්න තියාගෙන පළවෙනි දින 100 දි  ජනතාවට ඒ කියපු  පොරොන්දු පවා ඉටුකරකළා. 
  
අන්තිමට 2017න් පස්සේ මම ඒ මූල්‍ය විනය සහ ඒ තියෙන පරිවර්තන තුල රට ඒ ICU එකේ හිටපු ලෙඩාව පොඩ්ඩ පොඩ්ඩ ගෙනල්ලා අපි සාමාන්‍ය වාට්ටුවටකට දැම්මා. හොඳ වුනැයි කියන්නේ නැහැ. මමත් කියන්නේ නැහැ හොඳ වුනැයි කියලා, හැබැයි ඒ වාට්ටුවේ හිටපු ලෙඩාව අපි ආයෙමත් එක්කන් එන්න තිබුණා අපි පොඩ්ඩක් එකකකන්  එන්න තිබුණා පොඩ්ඩක් ඇවිදලා, පිසියෝතෙරපි දීලා.
 
 මම නම් කියන්නේ මේ අවුරුද්දේ 2021, 2022 වෙනකොට අපිට හොඳ තැනක ඉන්න තිබුණා. මේ කොවිඩ් වෛයිරසය තිබියදි වුණත්. 
 
 
 
''ජවිපෙ අය ‌බොහොම අවංක පුද්ගලයෝ''
 
ඇත්ත වශයෙන්ම මම මගේ ජනතා විමුක්ති පෙරමුණේ මිත්‍රයන්ට පවා කියන්නේ, අපි ජනතා විමුක්ති පෙරමුණ අගය කරන්නේ ,ඒ අයගේ ප්‍රතිපත්ති නිසා නෙවෙයි .හාත්පසින්ම ගොඩාක් දේවල් වෙනස් වුණත් ඒ අය ‌බොහොම අවංක පුද්ගලයෝ. 
 
සුනිල් හඳුන්නෙත්ති වගේ අය ගත්තොත් කෝප් ආයතනය කොච්චර ලස්සනට කළාද? නමුත් ඒ අයගේ ආණ්ඩුවක් යම්කිසි දවසක මේ රටේ ඇති වුණත් මේ අපි යන්න හදපු පාර ඇරෙන්න එයාලට යන්න වෙන විකල්පයක් නැහැ. 
 
නමුත් එතැන්දි විශේෂයෙන් අද තියෙන තත්වයන් එක්ක අර සෝෂල් සේෆ්ටි ඉවෙන්ට් එක, ඒ මොකද සමාජයේ එක්තරා කණ්ඩායමක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේකත් එක්ක තවත් අමාරු වෙයි. අන්න ඒ සහනාධාර වැඩි කළත් අපි මේ වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ ඉදිරියට යෑම ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉදිරියට යාම.
 
 මේ  ඒකාධිපතිවරුන් හමුදාපතිවරුන් දාගෙන රටවල් කරන්න බැහැ. එහෙම කරන්න ගිය හැම රටක්ම අද කුණු කූඩේ තියෙන්නේ. අන්න ඒක දැන්වත් අපි තේරුම් ගන්න ඕන. 
 
 
ප්‍රශ්නය :
හොඳයි දැන්වත් අපි තේරුම් ගන්න ඕන කියලා ඔබ කියනවා නේ. නමුත් මේ වර්තමාන ආණ්ඩුවට බැන බැන ඉන්න එකනේ අපිට බොහෝ විට දකින්නට ලැබෙන්නේ. වර්තමාන ආණ්ඩුවට විකල්පය කොහේද තියෙන්නේ? මොකක්ද විකල්පය? ඒ විකල්පය නිර්මාණය කරගන්නේ කොහොමද?  
 
 
මංගල:
 
වර්තමාන ආණ්ඩුවට බනින්න ඕන මේ කරන සමහර මොඩකම් වලට. ඇත්ත වශයෙන්ම අද ලංකාව ජාත්‍යන්තර ඉදිරියේ කෙසේවෙතත් ලාංකිකයන් ඉදිරියේ විහිළුවක් බවට පත් වෙලා. හැමදාම මොනවා හරි විහිළුවක් වෙනවා. 
 
එක දවසකට රූප රැජිනක් ගිහිල්ලා තවත් රූප රැජිනකගෙන් ඔටුන්න උදුර ගන්නවා. තවත් දවසක පරිසර අධිකාරියේ සභාපති කියනවා මේ ගස් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා. මම කියන්නේ එහෙම කතාවක්  ස.තො.ස  සභාපති කිව්වනම් කමක් නැහැ. ඕවාට ජාත්‍යන්තරයේ විශාල ප්‍රසිද්ධියක්  ලැබෙනවා. 
 
ඊට පස්සේ අපේ විදේශ ලේකම්වරයා ෆොරින් මිඩියා වලට ඉන්ටර්විව් දීලා  ඉතාමත්ම අසරණ තත්වයකට පත් වෙනවා. ඊට පස්සේ අපේ ජිනීවා ඉන්න තානාපතිවරයා එහේ ඉඳගෙන එරිත්‍රියාව ගැන හොඳ කියනවා. 
 
Gotabaya
අන්න ඒ වගේ දැන් මෙරටේ පාලනය මහා විකාරයක් විහිළුවක් වෙලා. අත්දැකීම් නැති දේශපාලන සෙල්ලක්කාරයෝ කිහිප දෙනෙක් තමයි අද රට පාලනය කරන්නෙ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කොයි තරම් වුවමනාවක් තිබුණත් එතුමාට ඇත්ත කියලා දෙන්න කවුරුත් නැහැයි කියන එකයි මට නම් දැන් පේන්නේ... 
 
 
වෙනස් කරන්න තියෙන වුවමනාවට වෙනසක් කළොත්.. ???
 
අපේ රටේ මොහොතේ තියෙන අවාසනාව තමයි මේ මොහොතේ අපිට විකල්පයක් පේන්නේ නැහැ. ඇත්තමයි. නමුත් අනිත් පැත්තෙන් අපිට විකල්පයක් පෙනුනා 2015 දිත්. ඔය වගේ කතා කිය කිය නේද අපි හිටියෙ. 
 
නමුත් මේ වෙලාවෙදි නිකම්ම වෙනසක් වෙනුවෙන් වෙනසක් කෙරුවොත් නම් අපි මීටත් වඩා අමාරුවක වැටෙනවා. වෙනස් කරන්න තියෙන වුවමනාවට වෙනසක් කළොත් ඒක මේ රටේ අවසාන විලාපය වෙන්න පුළුවන්. 
 

Mangala Next

 
 
 දැන් ඇත්තටම ඉස්සරට ඕන වෙන්නේ ඇත්ත තත්වය මේ තනි පුද්ගලයෙකුගේ බලයක් තියෙන රජයක් නෙමෙයි. මම නම්  දකින්නේ අත්දැකීම් තියෙන පළපුරුද්ද තියෙන වැඩිහිටියන්ගේ කවුන්සිලයක් වගේ. අවුරුද්දක් දෙකක් මේ රට පාලනය කරලා හරි අත්තිවාරමක් දැමිය  යුතුයි.
 
 කවදාවත් ගෙයක් හදන්න බෑනේ හොඳ ෆවුන්ඩේෂන් එකක් නැත්නම්. මේ අවුරුදු 73 ම අපි හරි ෆවුන්ඩේෂන් එකක් දැම්මෙ නැහැ. ඒ ෆවුන්ඩේෂන් එකක් දාලා ඊට පස්සේ මම නම් දකින්නේ යලි වතාවක් තරුණ නායකත්වයක් තුලින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් දෙකම. මම නම් කියන්නේ ඔය දෙක තමයි අවසානේදි මතු වෙන්නේ.
 
 නමුත් එතෙන්ට යවන්නෙ පලපුරුද්ද අත්දැකීම් තියෙන පිරිසක් පක්ෂ භේදයෙන් තොරව මේ මතවාදය ගරුකරන අය එකතු වෙලා ප්‍රධානතම දේ තමයි මම යොජනා කරන්නේ. 
 
ඊළඟ සැරේ නම් කොමිෂන් දාන්න එපා. පාර්ලිමේන්තු කමිටු දාන්න එපා.
 
ජනාධිපතිවරණයකින් නම් මේ රටේ පාලනය බලය වෙනෙස් කරන්නේ 2024 එතැන්දි ඉදිරිපත් කරන මනුස්සයා දිනන මනුස්සයා සූදානම් වෙන්න ඕන තමන්ගේ පළවෙනි පණත හැටියටම තමන් දිනපු ජනාධිපතිධූරය අහෝසි කරන්න. අපි තව කල් දාන්න ඕනේ නැහැ. 
  
තමන් ආපු දවසෙ ඉඳන් මේක අහොසි කරන්න කතා කළාට කවුරුත් ආවේ නැහැ.  එක එක්කෙනා මොනවා හරි හේතුවක් කියලා කල් දානවා. නමුත් මම නම්  දකින්නේ  තව ගොඩාක් තියෙනවා මේක  දීර්ඝ වශයෙන් කියන්න. නමුත්  අද මේ රටේ සියලුම ප්‍රශ්නවල මූලාශ්‍රය කියන මේ නරක වල මූලාශ්‍රය වෙලා තියෙන්නේ විධායක ජනාධිපතික්‍රමය. 
 
 
 
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් අවශ්‍යයි !
 
ඒක නිසා අපි විධායක ජනාධිපති ක්‍රමය අහොසි කරලා හොඳ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදි අත්තිවාරමක් දාලා ඊට පස්සේ ඉක්මනට විප්ලවයක් වෙනසක් කරන්න ඕන අපේ අධ්‍යාපනය. ඒක තමයි මහ බරපතල ප්‍රශ්නය.
 
 අද අධ්‍යාපනය ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාස වෙලා. අද ගෝත්‍රික තරුණ පරපුරක් තමයි මේ අධ්‍යාපනය ක්‍රමය තුලින් අද මැෂින් වලින් එළියට දානවා වගේ දාන්නේ. හිතන්න බැරි  කතා කරන්න බැරි සමාජයක්. 
 
මට මතකයි පැණි සීන් එක ආවම. මොනාද? අර ධම්මික පැණිය ඒකට සමහර මිනිස්සු හිනා වුණා. මමත් හිනාවුනා. හැබැයි එහෙම හිනා වෙද්දි මම ෆේස් බුක් බැලුවම, එතන  ගිහිල්ලා, බ්ලොක් වෙලා පෝලිමේ තෙරපි තෙරපි  රුපියල් 6000, 7000 දීලලු සමහරු කිවුවා ගත්තේ. එතන හිටිය මේ අන්ත නූගත් පිටිසර ජනතාවක් නොවෙයි. මේ රටේ උගත් මධ්‍යම පාන්තික  මිනිස්සු වාහනවලින්, මෝටර් සයිකල් වලින් යන එන යමක් කමක් තියන වැදගත් මිනිස්සු. 
 
ඒ අයගේ වැරැද්ද නෙමෙයි මේ සම්පූර්ණ  විද්‍යාව වෙනුවට මිත්‍යාව රජ කරන රටක් අද ‌මේ අපේ ලංකාවේ බිහිවෙනවා. නමුත් මම දන්නවා. මේ ර‌ටින් මිදුන ගමන් අපේ මිනිස්සු කොච්චර දක්ෂද ? දර්ශන, ඔයා ඉතාලියේ හිටපු නිසා දන්නවා. 
 
සමහර අවස්ථාවල මම පුදුමත් වුණා. උදාහරණයක් හැටියට කියන්නම්, මගේ ජීවිතයේ ලස්සනම කාලයක් හිටියේ මාරවිල මේ ළඟ. ඒ කියන්නේ 1980 ගණන් වල. එතකොට මට මතකයි පොඩි මැෂින් එකක් ඉස්සරහා තියාගෙන තමන්ගේ තාත්තාගේ කඩේ ඉස්සරහ ෂර්ට් මහපු ඒ තරුණයා.  මම විදේශ ඇමති වශයෙන් මම හිතන්නේ 2006, 2007 ප්‍රංශයට ගියාම මාව හම්බ වෙන්න ඕන කියලා හෝටලයට ආවා. ඇවිල්ලා මට කතා කරලා කිව්වා මගේ ඔෆීස්  එකට යන් කිවුවා. එනවද කියලා  ඇහුවා. මම කිවුවා ඊළඟ දවසේ ඔක්කොම මගේ රාජකාරි ඉවර වුණාම පස්සේ මම හවස එන්නම් කියලා. බලන් යන කොට ප්‍රංශයේ  නිළ යුනිෆෝම් මහන ප්‍රධාන එක්කෙනා හැටියට ඒ වෙනකොට  එයා එහේ දියුණු වෙලා තියෙනවා.  තට්ටු 4 ප්‍රංශයේ පැරිස්වල එහා පැත්තේ බිල්ඩිමක අයිති කාරයෙක්. 
 
 
මම මේ නාසා ආයතනය ගැන විතරක් නෙවෙයි කතා කරන්නේ. නිව්යෝර්ක්වල මම ගියා එක සැරයක් හොඳම ජපන් රෙස්ටුරන්ට් එකට. එතැන ප්‍රධාන චේප් ලංකාවේ කොල්ලෙක්.  ජපානයේ මැති ඇමතිවරු ආවම යන තැනක් ඒ රෙස්ටෝරන්ට එක. 
 
 
එහෙම ගත්තොත් අපේ මිනිස්සුන්ට දක්ෂතාවය තීයෙනවා. නමුත් මේ රට තුළ තියෙන මේ ගෝත්‍රිකත්වය කුහකත්වය සහ මේ වාමාංශික කියන මානසිකත්වය අපි හැමදාම ආපස්සට ඇදලා ඇදලා ඇත්ත වශයෙන්ම කියනවා නම් අද ජපානෙට දෙවැනි තැන හිටපු අපේ රට අන්තිමට බංගලාදේශයට ගිහිල්ලා ණය ඉල්ලන්න සිදු වෙනවා කියන එක කණගාටුදායකයි. 
 
  
මම ඒකෙන් බංගලාදේශයට නින්දා කරනවා නෙවෙයි. මොකද බංගලාදේශය ඇත්ත වශයෙන්ම නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති තුළ ඒ රට ගොඩ නඟපු නිසා තමයි අපට අද සිද්ධ වෙලා තියෙන්නේ ඒ අයට ගිහිල්ලා කියන්න වෙලා තියෙන්නේ අනේ අගමැතිතුමිය අපිට පොඩි අතමාරුවක්  දෙන්න කියලා. 
 
 
 
මංගල - බැසිල් සුසංයෝගයක් !
 
ප්‍රශ්නය :
ඔබ සඳහන් කළා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයක් සම්බන්ධයෙන්. අපිට අනාගතයේ යම්කිසි දවසක දකින්න පුළුවන් වෙයිද මංගල බැසිල් සුසංයෝගයක්. 
 
 
මංගල:
 
බැසිල් රාජපක්ෂ මැතිතුමා මගේ හොඳ යාලුවෙක්. මම මහින්ද රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම් කරු වශයෙන් ඉන්නකොට අපි බොහාම කිට්ටුවෙන් 2005 දි වැඩ කරා. මෑතකදිත් මම කොළඹ හෝටලයකදි දොරකඩදි හම්බ වෙලා කොහොමද බැසිල් කියලා, හලෝ මංගල කියාගෙන ගියා. 
 
නමුත් ඇත්ත වශයෙන්ම මම අර මුලින් කිවුව වගේ ඊට වඩා ගමනක් යන්න බැරි බැසිල් රාජපක්ෂ මැතිතුමාත් ඉන්නේ මේ අපි දරන මතයේ නෙවෙයි නේ. මේ තනි ජාතික වාදි මානසිකත්වය තුළින් රටක් පාලනය කරන්න පුළුවන් කියල නෙමෙයි නේ...
 
නමුත් අනෙක් පැත්තෙන් බැසිල් නෙවෙයි නාමල් නෙවෙයි කවුරු වුණත්, හෙට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, අධ්‍යාපන විප්ලවයක් ඇති කරන්න ඉදිරිපත් වෙනවානම් ඒ අයත් එක්ක මම ඉන්නවා.''
 
 
 ප්‍රශ්නය :
හොඳයි මංගල ලංකාවේ ඉන්න මිනිස්සු ගැන ඔබ හිතන්නේ කොහොමද? ලංකාවේ මිනිස්සු සම්බන්ධයෙන් ඔබගේ කියවීම කෙසේද? 
 
 
මංගල :
 
අහිංසකයි. මම නම් හිතන්නේ ඇත්තටමඒ කුහකත්වයත් ඇති වෙන්නේ අහිංසකකම නිසා. ඔය ගෝත්‍රිකත්වය ඇති වෙන්නේ ඔය අහිංසක කම නිසා. උගත් කියන  ශ්‍රී ලාංකිකයන් තමයි වැඩි වැඩියෙන් ගෝත්‍රිකත්වයට සහ කුහකත්වය වපුරන්නේ. ඔය ඉන්න විපත් මගද? වියත් මගද?
 
 
ප්‍රශ්නය :
අපි මෙහෙම ඇහුවොත් අපේ රටේ මිනිස්සු මොන වගේද? 
 
 
මංගල :
 
මම කිවුවේ වගේ අපේ රටේ මිනිස්සු ගොඩක් දක්ෂයි. නමුත් ඒ දක්ෂකම මතු වෙන්න අවශ්‍ය පරිසරය අපි සකස් කරලා දීලා නැහැ. ඇත්තටම අපේ මිනිස්සු අහිංසකයි, දක්ෂයි. ඒ මම දකින අහිංසකකම නම් මම මුලින් කිවුව වගේ අපේ පසුබෑමට හේතුව. මොකද අපි ඕන ගොනෙකුට රැවටෙනවා. 
 
 
ප්‍රශ්නය :
හොඳයි මම ඔබෙන් අහන අවසාන ප්‍රශ්නය. මංගල, ලංකාව සම්බන්ධයෙන් ඔබ දකින හීනය මොකක්ද?
 
 
මංගල:
 

Mangala Youthඉතිරි අවුරුදු 5-6 තරුණ තරුණියන් වෙනුවෙන්....

 
මීට අවුරුදු 30කට ඉස්සේල්ලා දැක්කානම් නම් මම මීට වඩා දීර්ඝ වශයෙන් සිහිනය කියන්නම්. නමුත් දැන් මට මේ අප්‍රේල්  මාසයේ තව සතියකින්  අවුරුදු 65යි. නමුත් ඒ මම කිවුව වගේම තව අවුරුදු 5ක් 6ක් ක්‍රියාකාරි දේශපාලනය කරනවා. නමුත් ඒ කරන්නේ ඇත්ත වශයෙන්ම ලංකාවේ ඉන්න තරුණ තරුණියන්ට තමන්ගේ හැකියාව දක්ෂතාවයන් අනුව ජීවත් වෙන්නට පුළුවන් සුන්දර සමාජයක් ඇති කරන්න ඕන නිසා.
 
 
 
රජකම ඔබට අහිමිද?
 
 
ප්‍රශ්නය :
අවසාන ප්‍රශ්නය වුණාට කතාව දිග්ගැස්සෙන කොට තව තවත් ප්‍රශ්න මතු වෙනවා.  සාමාන්‍යයෙන් මංගල සමරවීර කිවුවම අදහසක් තියෙනවා ඔබ තමයි රජුන් තනන්නා කියලා. 1993,1994 කාලයේ තුළ ඔබ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණිය ගේන්න විශාල කාර්යභාරයක් කරා. 2005  මහින්ද රාජපක්ෂගේ පළමු ජයග්‍රහණයට ජනාධිපතිධූරයට විශාල කාර්යභාරයක් කළා ඔබ ඇතුළු ශ්‍රීපති සූරියආරච්චි වගේ අය කතා ගොඩාක් ති‌යෙනවා ඒ  පිටුපස. ප්‍රධාන වශයෙන් ඔබ ඔබ‌ගේ භූමිකාව කළා. 2015 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළා. මංගල අනාගතයේදි නැවතත් ජනාධිපතිවරයෙක් තනන්න රජෙක් තනන්න  ඔබ යම්කිසි සුවිශාල කාර්යභාරයක් කරන්න බලාපොරොත්තුවෙන් පසු වෙනවද  ඒක 01 ? දෙක  රජුන් තනන්නාගේ භූමිකාව පමණද ඔබට හිමි, රජකම ඔබට අහිමිද? 
 
 
මංගල:
 
රජකම නම් මට එපා. නමුත් මම කිවුව වගේ ඇත්ත වශයෙන්ම දේශපාලනයට එන ඕනෑම කෙනෙකුට ඉහලම තනතුරුට යෑමේ බලාපොරොත්තුවක් තියෙනවා. 
 
කොහොමවුනත් මින් ඉදිරියට මම රජුන් තනන්න යන්නැත්තේ ඇත්ත වශයෙන්ම එයාල කියපු දේවල් ඒ අයට කරන්නට බැරිවුණා. එහෙම නැත්නම් කළේ නැහැ. ඒනිසා ඇත්ත වශයෙන්ම ඉදිරියෙදි නම් මට තව රජෙක් තනන්න කිසිම වුවමනාවක් නැහැ. 
 
විශේෂයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයක දී මගේ එකම කොන්දේසිය කරගන්නේ ජනාධිපතික්‍රමය. තමන් දිනා ගන්නා ධුරය දිනාගෙන, පාර්ලිමේන්තුවේ පළවෙනි පණත හැටියටම ඉදිරිපත් කරනවැයි කියලා පොරොන්දු වෙන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ විශ්වාසය ඇතුව මට කටයුතු කරන්න පුළුවන්. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා. 
 
නමුත් එවැනි විශ්වාසයක් අවුරුදු 30ස් ගාණක් දේශපාලනය කරලා දැනට මට තියෙන්නේ මම ගැන  විතරයි.''
 

 
සබැඳි පුවත් :
 
 
 
 
 
 

 


 

THE LEADER TV
 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58