තමා සජිත්වාදියකු නොවන බව පවසන මුදල් අමාත්‍ය මංගල සමරවීර, එහෙත් මේ මොහොතේ පාක්ෂිකයින්ගේ ජයග්‍රාහී හඬ බවට පත්ව ඇත්තේ සජිත් ප්‍රේමදාස බව කියා සිටියි.


'අපි තවත් මැතිවරණයකට දැන් සූදානම් වෙමින් ඉන්නේ. ඉතාමත් තීරණාත්මකම මැතිවරණයක්. 2015දී එදා ඒකාධිපති වියරුවෙන් තිබූ රාජපක්ෂ පවුල් පාලනය පරාජය කිරීමට මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා කළා. නමුත් 2020 මැතිවරණයේදී ඇත්තටම අපට තිබෙන අභියෝගය තමයි රටට ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව හා සංවර්ධනය ඒ ආකාරයට රැකගනිමින් යළිත් ෆැසිස්ට්වාදී අන්ධකාරයකට මේ රට යන්න නොදී ඉදිරියට ගෙන යෑම. දෙවැනි අභියෝගය ප්‍රබලයි. අවුරුදු 25කට අපිට අපේ ජනාධිපතිවරයෙක් හිටියේ නෑ කියලා එජාපය කියනවා. ඒ නිසයි සජිත් ප්‍රේමදාස මහතා ඊළඟ ජනපති අපේක්ෂකයා කියන අදහසේ මා ඉන්නේ.'' යයි ඔහු සඳහන් කර ඇත්තේ 'ඉරිදා මව්බිම' පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ජාවකදීය.



 මව්බිම ලේඛිකා අනුරාධා හේරත් සමග කළ  සම්පුර්ණ සංවාදය පහත පළවේ. 


# ඔබේ 30 වසරක දේශපාලන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

ඇත්ත වශයෙන්ම වසර 30ක් තිස්සේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කරන්න ලැබීම ගැන සතුටුයි. අපි හිතපු තරම් රටේ වෙනස්කම් කරන්න බැරි වුණත් සංවර්ධන කටයුතුවලදී යම් වෙනසක් කරන්න දායක වීම ගැන මං සතුටු වෙනවා.

# නමුත් 1994 සිට වසර 25ක් ගොඩනඟපු සෑම ආණ්ඩුවකම ප්‍රබල ඇමැතිවරයෙක් ඔබ. මේ වන තෙක් රටේ ඇතිවූ ශෝචනීය තත්ත්වයට ඔබත් වගකිව යුතුයි නේද?

ඇත්ත වශයෙන්ම ඔව්. මම පමණක් නොවෙයි රටේ ඇතිව තිබෙන ශෝචනීය තත්ත්වයට 1948 නිදහස ලබාගත් දවසේ සිට රට පාලනය කරපු, නොකරපු සියලු දේශපාලනඥයන් වගකිව යුතුයි වගේම මේ රටේ පූජ්‍ය පක්ෂයත් මේ ශෝචනීය තත්ත්වයට වගකිව යුතුයි. මොකද රටේ නායකයන් පවා නිවැරැදි දේ කරන්න උත්සාහ කරන විට හැම අවස්ථාවේදීම ඉතාම ගෝත්‍රික අදහස් අනුව රට ආපස්සට ඇද්දේ දේශපාලනඥයන් විතරක් නොවේ, ආගමික නායකයන්, චීවරධාරීන් පවා වගකිව යුතුයි.

# ඔබ ස්වාමීන්වහන්සේලාට මේ ආකාරයට චීවරධාරීන් ලෙස ඇමැතීම හරිද? සාධාරණද?

හරි, මොකද බෞද්ධයෝ හැටියට අපි භික්ෂුන් වහන්සේ යැයි පාවිච්චි කළ හැක්කේ බෞද්ධ දර්ශනය ඒ ආකාරයට පිළිපදින කෙනකුට. සිවුර ආභරණයක් කර ගත්ත කෙනෙක් සිවුරෙන් ඇඟ වහගත්ත පළියට ඔහු ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. මේක බුදුන් වහන්සේ පවා කියලා තියෙනවා. සැබෑ ලෙසම ධර්මය රකින උතුම් වූ ස්වාමීන් වහන්සේලාත් විවිධ දේශපාලන හෝ වෙනත් කටයුතු සඳහා සිවුරු දාගත් අයගේත් වෙනස වචනයෙන් හෝ පෙන්වීම අපේ යුතුකමක්.

# සමාජයේ ඇතිව තිබෙන මාතෘකාව තමයි මංගල සමරවීරට මොකද මේ තරම් හාමුදුරුවරුන් පෙන්නන්න බැරි කියන කාරණය. මොකක්ද උන්වහන්සේලා සමඟ තිබෙන ප්‍රශ්නය?

නෑ. බුද්ධාගම කියන්නේ මම ඉතාමත්ම ගැඹුරින් අදහන ආගමක්. බෞද්ධ දර්ශනය ගැන ඉතාම කැක්කුමක් මට තියෙනවා. නමුත් බෞද්ධ දර්ශනයේ නාමයෙන් ඒ දර්ශනය කෙලෙසන සිවුරු දාගත් රස්තියාදුකාරයන් පිරිසක් ඒ ආකාරයට කටයුතු කරනකොට මට වේදනායි. ගැඹුරු බෞද්ධ දර්ශනය ඉදිරියට යා යුතුයි කියා බටහිර පවා පිළිගන්නකොට අපේ මේ ඉතා ප්‍රතිගාමී සුළු පිරිසක් අර ළිං මැඩි මානසිකත්වයෙන් කටයුතු කරනවා. 

උදාහරණයක් විදිහට 1957 බණ්ඩාරනායක මැතිතුමා බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමෙන් දෙමළ ජනතාවටත් භාෂාවේ අයිතිය ලබාදීමට අස්සන් කරද්දී එතුමාගේ නිවෙස ඉදිරිපිට අද වගේ විවිධ විරෝධතා දැක්වූ පිරිසක් සිටියා. ඒ වෙලාවේ එතුමා කිව්වේ මං ඔබවහන්සේලාගේ කීමට අද මේ කොළේ ඉරලා දැම්මත් තව අවුරුදු 30කින් මෙහි ප්‍රතිවිපාක දකින්න ලැබෙයි කියලා. භාෂා ප්‍රශ්නය අද බෙදුම්වාදී ප්‍රශ්නයක් වෙලා.

# නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකත් පසුගියදා බහුතර භික්ෂුන් වහන්සේට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළා. ඔබ මෙය අනුමත කරනවාද?

Mawubima text1

මම කියන්නේ නෑ බහුතරයක් කියලා. නමුත් එතුමා කියපු දේවල්, ඒ විග්‍රහ ඇත්තටම සමහර පන්සල් භාර චීවරධාරීන් තුළ සිදුවෙනවා. ඇතැම් චීවරධාරීන් හැසිරෙන ආකාරය අපි දැක්කා. ඉතාම කුඩා කාලයේ කේන්දරයේ කොටුවක් හිස් කියලා ආගමක් ගැනවත් විශේෂ ළැදියාවක් නැතිකමට දුප්පත්කමට විතරක් මහණ වෙනවා නම් ඒ අය වැඩිහිටියන් බවට පත්වෙද්දී ඒ අයට ආගම ගැන විශාල ළැදියාවක් ඇති වෙන්නේ නෑ.

# ඔබ පසුගියදා ‘මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ’ය කියා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් බොහෝ චෝදනාවට ලක්වුණා. අදත් ඔබ ඒ ස්ථාවරයේද සිටින්නේ?

ඔව්. අදටත් මං ඒ ස්ථාවරයේ සිටිනවා. මොකද මේ රට සිංහල බෞද්ධ රටක් නෙවේ. මේක ශ්‍රී ලාංකිකයන්ගේ රටක්.


# නමුත් මේ ප්‍රකාශයෙන් බෞද්ධ ජනයා අපහාසයට පත් කළ බවට විරුද්ධව ඔබට සංඝ ආඥා පනත් පවා නිකුත් කළා.?

සංඝ ආඥා නිකුත් කළේ කවුද? එංගලන්තයේ අවුරුදු නවයක දැරියක් බුදුරජාණන් වහන්සේගේ රූපෙ යට දූෂණය කරලා අවුරුදු හතක් ඒ රටේ හිරබත් කාපු කෙනෙක් අද යළිත් ලංකාවට ඇවිත් මේ වගේ සංඝ ආඥා දෙනවා. මේ වගේ ප්‍රතිගාමී ගෝත්‍රික බලවේග නිසා තමයි අපේ රට හැමදාම ආපස්සට ගියේ. මේක ශ්‍රීලාංකිකයන්ගේ රටක්. ඒ තුළ සිංහල බෞද්ධයන් බහුතරයක් ජීවත් වෙනවා. ඒ තුළ අපේ රටට ඉතා ඉහළ සංස්කෘතියක් ලැබිලා තියෙනවා. රටට ඉතා ඉහළ සාහිත්‍යයක්, ඉහළ සංස්කෘතියක් ලැබිලා තියෙනවා. එහෙම සිංහල බෞද්ධ සංස්කෘතියක් පෝෂණය වුණේ තනිව නොවේ. හින්දු, ඉස්ලාම් වගේම බටහිර ආක්‍රමණිකයන් හරහා ඒ සංස්කෘතිය බටහිර රටවල පවා පෝෂණය වීම නිසා.

# නමුත් ඔබේ මේ ප්‍රකාශයෙන් ආගම් ආගම් අතර ගැටුම් තවත් උග්‍ර වන බව ඔබ පිළිගන්නේ නැද්ද?

mavubima text2නෑ. මගේ ප්‍රකාශවලින් තමයි ගැටුම් අඩු වෙන්නේ. ගැටුම් ඇති කරන්නේ මේ සිංහල බෞද්ධයන්ගේ රටක් කිය කියා යන අයයි. මේක සිංහල බෞද්ධයන්ගේ රටක් නම් එතකොට සිංහල, කතෝලික අයගේ, එහෙම නැත්නම් හින්දු, ඉස්ලාම් අයගේ රටක් නෙවේද?

# තිනියාවල  පාලිත හිමියන් ඔබට ප්‍රබල චෝදනා කිහිපයක් එල්ල කළා වංචා දූෂණ ගැන. ඔබට එංගලන්තයේ නිවාස හයක් තිබෙන බවත් උන්වහන්සේ මතු කළා. හදිසියේ මෙවැනි චෝදනා පෙළක් එල්ලවන්නේ කෙසේද?

අවුරුදු 30ක් තිස්සේ මං දේශපාලනය කරලත් වරින් වර විශාල චෝදනාවලට ලක්වුණා. 2007දී මං මහින්ද රාජපක්ෂ රජයෙන් වෙන්වුණාට පසු ඒ අය පොලිසියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  වෙනම ඒකකයක් පිහිටෙව්වා මට විරුද්ධව. මොනවා හරි දූෂණ වංචාවක් සොයා දෙන්න කියලා මා සමඟ තරහට .එදා රාජපක්ෂලාටත් බැරි වූ දේ අද මේ තිනියාවල පාලිත කියන චීවරධාරියා (මං කියන්නේ චීවරධාරියා කියලා) මට එල්ල කරනවා. එතුමා නොවේ මේ කතා කරන්නේ.

# තිනියාවල පාලිත හිමි කියන්නේ ඔබේ පක්ෂයට ප්‍රබල දායකත්වයක් සපයන හිමිනමක්. එතකොට උන්වහන්සේ මේ සිදුකරන්නේ තව කෙනකුගේ කොන්ත්‍රාත්තුවක් කියලද ඔබ කියන්න සූදානම් වන්නේ.

mawubima text3
කොන්ත්‍රාත්තුවක් නොවේ එතුමා අතකොළුවක් සහ එතුමා අපේ පක්ෂයේම කෙනෙක්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් ලෙස කටයුතු කරන්නේ. මොකද එතුමාට ඒ කාරණා හොයන්න තරම් බුද්ධියක් නෑ. මං පොදු රාජ්‍ය මණ්ඩලයේ වාහන වික්කලු. මමත් හොයලා බැලුවා කාටද වික්කෙ කියලා. ඉඒට්ඊ එකේ වරායේ පෞද්ගලීකරණය කරද්දී විශාල දූෂණයක් වුණාලු. එතුමා දන්නෙ නැති දෙයක් තමයි 1994 ඒක වුණේ. එතකොට ඇමැති අෂ්රොෆ්.

# සෘජුවම කියන්න කවුද මේ පිටුපස සිටින මහ මොළකරු?

එතැන මොළයක් නම් මට පේන්නෙ නෑ. මොළකාරයෙක් නම් ඔය වගේ අතේ පත්තු වෙන චෝදනා කරන්නේ නෑ. මේක ඇත්තටම අර 'සික්සර් එකක් ගහන්න පුල්ටෝස් එකක් 'දුන්නා වගේ වැඩක්. මේ හැමදෙයක්ම බොරු කියලා මං ඔප්පු කරනවා.

# ඔබ නීතිමය ක්‍රියාමාර්ගවලට ලෑස්තිද?

අනිවාර්යයෙන්ම මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මම විදේශගතව හිටියේ. මගේ නීතිඥවරයන්ට ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් දීලා තිබෙනවා. මං සතුටු වෙනවා එංගලන්තයෙන් මට නිවෙසක් ගන්න සල්ලි ටිකක් ලැබෙන්නත් බැරි නෑ මේ හරහා. මම ස්වාමීන් වහන්සේගෙන් නොවේ ඒ මුදල් ඉල්ලන්නේ. උන්වහන්සේගෙන් ටිකක් ඉල්ලනවා. මොකද උන්වහන්සේත් කෝටිපති ව්‍යාපාරිකයෙක්. 

නමුත් මං මෙහි වැඩිපුරම වැරැදිකාරයා හැටියට දකින්නේ හිරු සහ දෙරණ කියන මාධ්‍ය දෙක. වගකිවයුතු මාධ්‍ය හැටියට මේ කාරණා හරි හැටි නොසොයා පළ කිරීම ලොකුම වරද ඒ නාළිකා දෙකට විශේෂයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මොකද ඔය තිනියාවල පාලිත මහත්මයා කියන දේවල් කවුරුත් ගණන් ගන්නෙ නැහැ.

# ඔබ තිනියාවල මහත්මයා ලෙස ආමන්ත්‍රණය කරනවා. කුමක් වුවත් උන්වහන්සේ සිවුරු දරා සිටින හිමිනමක්. ඔබ එසේ ඇමැතීම සුදුසුද?

සිවුරක් දාපු පළියට එවැනි අයට ගරු කරන්නෙ නෑ. ගරු කළ යුතු ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මං ආශ්‍රය කරනවා. ‘සාධු ‘කියමු එහෙම නැත්නම් මහත්තයා නොකියා සාධු කියලා මැද තැනකට ඇවිත් කියමු. අඩුම ගාණේ මටත් බිලියනපතියෙක් වීමේ අවස්ථාවක් එතුමා ලබාදී තිබෙනවා.

# ඔබ ප්‍රකාශ කලා 2025දී විශ්‍රාම යන බව. මංගල සමරවීර දේශපාලනය ගැන කලකිරිලාද?

කලකිරීමක් පොඩ්ඩක්වත් නෑ. ඇත්තටම කලකිරීමක් තියෙන්නේ ගිය වසර 30ට විශාල ගමනක් අපිට මේ රටේ යන්න තිබුණා. පවතින ප්‍රතිගාමී බලවේග රට තුළ පරාජය කිරීමට අපිට හැකියාවක් තිබුණා. කලකිරීමට වඩා වයස. මං හැමදාමත් විශ්වාස කරන දෙයක් තමයි අපි දේශපාලනයට එන්නෙ හැරමිටියෙන් යනතුරු දේශපාලනය කරන්න නෙවේ. දැනට මට අවුරුදු 63යි. තව අවුරුදු 5ක් කළාම හොඳටම ඇති. මොකද අවසාන කාලේ මං මේ ලෝකෙ නොදැකපු රටවල් කිහිපයක් තියෙනවා. මගේ පුස්තකාලයේ කියවන්න විශාල පොත් ප්‍රමාණයක් තිබෙනවා. තව විමසා බලන්න ලෝකයක් තිබෙනවා.

# ඔබ දැන් සජිත්වාදියෙක්ද?

mawubima tex4

නෑ. මං මානවවාදියෙක්. හැමදාම මගේ දේශපාලන වටිනාකම් රැඳී තිබෙන්නේ මානවවාදී දේශපාලනඥයෙක් හැටියට. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය කියන තේමා තුන තමයි මගේ මුළු දේශපාලන ජීවිතය තුළ අනුගමනය කරන්නේ. මම සජිත්වාදියෙක් නොවේ. ඔබ එය අහපු එක හොඳයි.

# නමුත් ඔබ සජිත් ප්‍රේමදාස නම ඉදිරියට ගෙනයමින් සිටින පෙර ගමන්කරුවෙක්?

අපි තවත් මැතිවරණයකට දැන් සූදානම් වෙමින් ඉන්නේ. ඉතාමත් තීරණාත්මකම මැතිවරණයක්. 2015දී එදා ඒකාධිපති වියරුවෙන් තිබූ රාජපක්ෂ පවුල් පාලනය පරාජය කිරීමට මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා කළා. නමුත් 2020 මැතිවරණයේදී ඇත්තටම අපට තිබෙන අභියෝගය තමයි රටට ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව හා සංවර්ධනය ඒ ආකාරයට රැකගනිමින් යළිත් ෆැසිස්ට්වාදී අන්ධකාරයකට මේ රට යන්න නොදී ඉදිරියට ගෙන යෑම. දෙවැනි අභියෝගය ප්‍රබලයි. අවුරුදු 25කට අපිට අපේ ජනාධිපතිවරයෙක් හිටියේ නෑ කියලා එජාපය කියනවා. ඒ නිසයි සජිත් ප්‍රේමදාස මහතා ඊළඟ ජනපති අපේක්ෂකයා කියන අදහසේ මා ඉන්නේ.

# මේ මොහොතේ ඔබේ ප්‍රතිපත්තිද වෙනස් වුණේ? එහෙම නැතිනම් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්තිද වෙනස් වුණේ?

ඇත්ත වශයෙන්ම මගේ ප්‍රතිපත්ති වෙනස් වෙලත් නෑ. මම විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්ති වෙනස් වෙලත් නෑ කියලා. මොකද සජිත් ප්‍රේමදාස එක්ක මගේ ප්‍රශ්න ගොඩක් තිබුණා. නමුත් රජය පිහිටුවායින් පසුව එතුමා ඇත්තෙන්ම පුදුම වැඩකාරයෙක් බව මා දැක්කා. නිහඬව, ලොකු බයිලා කතා නොකර, ලොකුවට බෙර නොගහා නිහඬ වැඩකොටසක් කරගෙන යනවා. 

විශේෂයෙන්ම ඒ වැඩ කොටසේ තරම මට තේරුණේ මුදල් ඇමැති ලෙස මා වැඩ කරනකොට. අපි එතුමාට මුදල් අමාත්‍යාංශයෙන් ලබාදෙන හැම සතයක්ම මේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වියදම් කරනවා. එතුමාගේ  පවුලෙන් එන පන්නරයකුත් වෙන්න ඇති. 

සියල්ලට වඩා මේ මොහොතෙදී රටේ ජනතාව පමණක් නොවේ පක්ෂයේ බහුතරය ඊළඟ ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉල්ලන්නේ සජිත්. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ රනිල් වික්‍රමසිංහ මහතා එළවන්න කියා.


# මම ඔබෙන් ඒ ප්‍රශ්නය වෙනත් විධියකට අහනවා. ඔබ සෘජුවම උත්තරයක් දෙන්න. කොහොමද අගමැති රනිල් වික්‍රමසිංහ මේ මොහොතෙදි අපේක්ෂකකමට නුසුදුසු වන්නේ?

නුසුදුසු වීමක් නොවෙයි.

# එහෙනම් සජිත් ප්‍රේමදාස ඉදිරියට එන්න බැහැනේ ඇමැතිතුමා?

එහෙම නොවේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ මම ඉතාමත්ම ගරු කරන ආදරය කරන දේශපාලන චරිතයක්. මම එජාපයට එන්න හේතු වුණේ රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ දර්ශනය. එතුමා ඉතාමත් අමාරු වෙලාවේ මේ පක්ෂය ආරක්ෂා කළා. එතුමා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වගේ දැවැන්ත දේශපාලන චරිතයක්. සිරිමාවෝ මැතිනියට දැන් වයසයි. ඔය ආච්චි ගෙදර යන්නේ නැද්ද කියද්දී එතුමිය නිවැරැදි මොහොතේ නිවැරැදි පුද්ගලයා මතුවන තුරු පක්ෂය නායකත්වය අත්හැරියේ නැත්තේ, දිගින් දිගටම පරාජය වෙද්දිත් එතුමිය එහෙම කළේ පක්ෂයට තිබූ ආදරය නිසා. අපිට ඒක කියලා තියෙනවා. 

mawubima text5
චන්ද්‍රිකා මැතිනියගේ ඉස්මතු වීමත් සමඟ එතුමිය ඒ පරිවර්තනය කළා. ඒ වගේ තමයි අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා. කවුරු මොනවා කිව්වත් මේ තරම් කාලයක් බැනුම් අහ අහා පක්ෂය ආරක්ෂා නොකළා නම් 2015දී රටේ පාලනයට එන්න එජාපයක් ඉතිරි වෙන්නෙ නෑ. අදටත් පක්ෂයේ අය එතුමාට ආදරෙයි. ජනතාව දැන් ඉල්ලන්නේ ඒ පරිවර්තනය. තමන්ගේ වුවමනාව වෙනුවෙන් එතුමා වටේ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. සජිත් භීතිකාවෙන් පෙළෙන දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා.

# එක්සත් ජාතික පක්ෂයෙද?

ඔව් පක්ෂයේම. ඒ වටේ ඉන්නේ එතුමාට තියෙන ආදරේට හෝ ගෞරවයකට නොවේ. තමන්ගේ  තියෙන ආත්මාර්ථකාමී පරමාර්ථය වෙනුවෙන් පක්ෂය පරාජය වුණත් කමක් නෑ සජිත් එන එක නවත්තන්න ඕනෑ කියන පිරිසකුත් ඉන්නවා. අන්න ඒ පිරිසෙන් තමයි අපි පක්ෂය බේරාගන්න ඕනෑ.

# සජිත් ප්‍රේමදාස ගම් මට්ටමින් යම් පදනමක් තහවුරු කරගෙන ඇති බව පෙනෙනවා. නමුත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුට නාගරික පැලැන්තියේ පදනමක් ගොඩනැඟී නැහැ නේද?

එහෙම නම් කවුරුවත් නොදන්න ඇමැතිවරයෙක් ලෙසවත් ඒ තරම් කැපී නොපෙනුණු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වගේ කෙනෙක් රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වුණා නම්, මම නම් හිතන්නේ ඔය මධ්‍යම පන්තිය නෑ, මේක නෑ කියලා නිතර කියන දේ තමයි මං කියපු ඔය පිරිස චෝදනා කරන්නේ. ආසනේ දිනන්නෙ නැතිව කොහොමද ජනාධිපතිවරණයක් දිනන්නෙ කියලා කියනවා.

# එතැන යම් තර්කයක් තිබෙනවා නේද ඇමැතිතුමා?

ඉන්න, මං කියන්නම්. ඒක තමයි සජිත්ගේ තියෙන සුවිශේෂී සුදුසුකම මං හිතන්නේ. මොකද සජිත් ප්‍රේමදාසටත් ඕනෑනම් තමන්ගේ පියා දශක ගණනාවක් හිටපු මැද කොළඹ අසුනේ වැජඹෙන්න තිබුණා. ඒක පියාගේ ආසනේ. තරුණ කාලේ ඒ ආසනේ භාරගන්න කියලා පක්ෂයෙනුත් කිව්වා. නමුත් ඒකත් එපා කියලා ලංකාවේ තියෙන දුෂ්කරම, දුප්පත්ම දිස්ත්‍රික්කය තෝරා ගත්තා.

 දෙවැනි කරුණ, ලංකාවේ දේශපාලනය කරන්න අමාරුම දිස්ත්‍රික්කය. රාජපක්ෂලා ඔය හම්බන්තොට දේශපාලනයට ආපු දවසේ ඉඳන් මැර බලයෙන් හා වෙනත් බලහත්කාරයෙන් දේශපාලනය කරපු දිස්ත්‍රික්කයක්. ඔක්කොම තියෙද්දී සජිත් හම්බන්තොට භාර ගත්තා. රාජපක්ෂ පවුලට කළ සේවයට වඩා සජිත් ඒ හම්බන්තොට දුප්පත් පවුල්වලට සේවය කළා.

 පැයකට වාහන හතරක් පහක්වත් යන්නෙ නැති ඇමෙරිකාවේවත් නැති තරම් අධිවේගී මාර්ග කිහිපයක් රාජපක්ෂලා හම්බන්තොට ඉදිකළා. සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණ ශාලා හැදුවා. ක්‍රිකට් ගහන්නෙ නැති ක්‍රීඩාංගණයක් හදලා. අපි එනතුරු නැව් එන්නෙ නැති වරායක් තිබුණා. ගුවන්යානා එන්නෙ නැති ගුවන්තොටුපොළක් තිබුණා. නමුත් සජිත්ට චෝදනා කරන අය මොකද කළේ. උදාහරණයක් විදියට කෝට්ටේ ආසන සංවිධායකවරයා වශයෙන් ඉඳලා දිගින් දිගටම පැරදිලා අන්තිමට පැනලා ගිහින් පොල්ලෙල්ලක් දැම්මත් එජාපය දිනන උතුරු කොළඹට යනවා.

# ඔබ ඔය කවුරු ගැනද කියන්නේ?

නම් ඕන නෑනේ.

# ඇයි නම නොකියන්නේ?

එයා මගේ හොඳම මිත්‍රයෙක්. කොච්චර මිත්‍රද කියනවා නම් ඔබතුමියලත් දැක්කා අපි අපේ අමාත්‍යාංශ මාරු කරගන්න වෙලාවේ එතුමා විදේශ ඇමැතිවරයා වෙද්දී මම එතුමාට ලොකු හාද්දකුත් දුන්නා.

# ඒ තරම් කිට්ටුවෙන් සිටි ඔබ දෙපළට මොකද වුණේ?

මට තියෙන කනගාටුව තමයි අපි අර ව්‍යායාම කරනකොට ඇඟෙන් දාඩිය පෙරෙනවා වගේම එතුමා කට ඇරියොත් මුළු ඇඟෙන්ම වෛරය, ක්‍රෝධය, ද්වේෂය ගලාගෙන එනවා. ඊට වඩා කියන්න දෙයක් නෑ.

# ඔබ වත්මන් මුදල් ඇමැති. නමුත් ඔබ සාමාන්‍ය පෙළ ගණන් විෂය අසමත් බවට ඔබ කියන පුද්ගලයා චෝදනාවක් කරනවා?

මං කවදාවත් මං ගැනවත් මගේ වරිගෙ ගැනවත් වර්ණනා කරගන්න වඳුරෙක් නෙමේ. නමුත් එතුමාට පුළුවන් රාජකීය විද්‍යාලයේ 1972 සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන ප්‍රතිඵල ගැන දැනගන්න. අද වුණත් ඇති මං හිතන්නේ. මගේ ප්‍රතිඵල එතුමාට බලාගන්න පුළුවන්.

# ඇමැති රවි කරුණානායක ඔහුගේ අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් මාධ්‍යයට විවර කරමින් අභියෝග කළා, අනෙක් මැති ඇමැතිවරුනුත් තමන්ගේ සුදුසුකම් හෙළිකරන ලෙස. එහි වරදක් නෑ නේද?

ඒකෙන්ම පේනවා ඔහුට ලොකු හීනමානයක් තියෙනවා කියලා. සජිත් ප්‍රේමදාස කියන්නේ මෙහෙ විතරක් නෙමේ එංගලන්තයේ ඉතා ඉහළම පෞද්ගලික පාසලකට ගිය කෙනෙක්. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ගිය කෙනෙක්. ඒකට ඊර්ෂා්‍යව ඒකයි. එතුමා හැම වෙලාවෙම මම, මම, මම කියලා කතා කරන කෙනෙක්. ඔය ආසියාවේ හොඳම මුදල් ඇමැති ලෙස පට්ටමක් දුන්නා කියන අය කවුද කියලාවත් අපි දන්නේ නෑ. නමුත් එතුමා කැමැති නම් එතුමාගේ කතාවටම මුවා වෙන්න ඒක එයාගේ වැඩක් මිස අපේ වැඩක් නොවේ.

# නමුත් පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කළොත් බහුතරයකගේ නිරුවත හෙළිවීම වළක්වන්න බැරි හින්දා ද මෙච්චර බය?


Mawubima tex6

කවුරුත් බය නෑ. මගේ අධ්‍යාපන සුදුසුකම් ඕනෑ කෙනකුට බලාගන්න පුළුවන්. කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඕ ලෙවල් ප්‍රතිපල  ගන්න පුළුවන්. එංගලන්තයේ සෙන්ට් මාටින්ස් විශ්වවිද්‍යාලයෙන් මගේ උපාධියේ විස්තර ගන්න පුළුවන්.

# සමාජයේ ප්‍රබල මාතෘකාවක් බවට පත්ව තිබෙනවා, ඊළඟ පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම උගත්, බුද්ධිමත් තරුණ කණ්ඩායමක් පත්කළ යුතු බව. එවැනි තත්ත්වයක තම තමන්ගේ සුදුසුකම් හෙළි කිරීම වඩාත් සුදුසුයි නේද?

ඒක හොඳයි. බුද්ධිමත් කියන්නේ විභාග පාස්වෙලා විතරක් නොවේ ඒකත් මතක තියාගන්න. ඔය කියන තර්කය උඩ කවදාවත් ඩී.එස්. සේනානායකලා, සිරිමාවෝ බණ්ඩාරනායක, මැතිනිලා, ඩබ්ලිව්. දහනායකලා පාර්ලිමේන්තුවට එන්නෙ නෑ. ඒ අය විභාග පාස් වුණත් නැතත් ජනතාවට දැවැන්ත සේවයක් කරපු අය. විභාග පාස් වෙන තරමට හොඳයි.

 නමුත් ඊට වඩා ඒ අයගෙ පසුබිම බලන්න ඕනෑ. මොකද අද වෙද්දී ක්‍රම ක්‍රමයෙන් පාතාලය විසින් ආක්‍රමණය කරමින් තියෙනවා. මට මතකයි 1989දී ප්‍රථම වතාවට මනාප ක්‍රමය ගෙනෙද්දී එජාපයේ තරුණ මන්ත්‍රිවරයෙක් කතා කරලා කිව්වා, මේ ක්‍රමය වැඩිදුරටත් ඉස්සරහට ගියොත් වැඩි කලක් නොගිහින් පාර්ලිමේන්තුව කුඩුකාරයන්, පාතාලකාරයන් විසින් ආක්‍රමණය කරන බව.

# දැන් සිදුවෙමින් තිබෙන්නෙ එය නේද?

ඇත්තෙන්ම ඔව්.  අද දේශපාලනය කරන්න හැම කෙනකුටම විශාල මුදලක් ඕනෑ. පිටරට මැතිවරණයකදී වියදම් කළ හැකි සීමා පනවලා තිබෙනවා. නීති රීති තියෙනවා. අපිට ඡන්ද කරද්දී විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලැබෙනවා. එයට විනිවිදභාවයක් අවශ්‍ය බව ලෝකයම පිළිගන්නවා. නමුත් ලංකාවේ එවැනි නීතියක් නෑ.

# මම මෙවැනි චෝදනාවක් කරනවා. එදා සිට අද දක්වා බලයට පත් මැති ඇමැතිවරු රටේ මුදල් කොල්ලකෑවේ නැත්නම් අද රටට මෙවැනි අහේනියක් සිදුවන්නේ නෑ නේද?

mawubimatext8
ඒ එකක්. ඒක වැදගත් අංගයක්. නමුත් ඒ නිසාම නොවේ. ඊට වඩා බැරෑරුම් සංකීර්ණ හේතු තියෙනවා. වංචාව, දූෂණය බරපතළ පිළිකාවක්. හැම ආණ්ඩුවක්ම රටේ බලයට පත්වන්නේ දූෂිතයන්ට විරුද්ධව දඬුවම් කරන්න.  1994 අපි කිව්වා දූෂිතයෝ ගෝල්ෆේස් පිටියට ගෙනත් දඬුවම් දෙන බව. හැබැයි බලයට ආවයින් පසු ඒවා කෙරෙන්නේ නෑ. දූෂණය ඒ ආකාරයටම ඉදිරියට යනවා. අතීතයේ දූෂිතයන්ට එරෙහිව කටයුතු කරන ගමන්ම ආණ්ඩුවක් හැටියට අපි අනාගතයේදී දූෂණ නොවෙන්න තද නීති රීති ගෙනෙන්න ඕනෑ. පරණ ආණ්ඩුවේම දූෂණ විතරක් කරලා වැඩක් නෑ.

# සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා ලෙස ප්‍රකාශ ඉදිරිපත් කිරීමට යෑමෙන් ඔබ විවිධ චෝදනාවන්ට ලක්වුණා. ඔබ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් ඔබ චෝදනාවට ලක්වෙද්දී ඔහු ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ නැද්ද?

සමහර වෙලාවට අපි ප්‍රසිද්ධියේ කරන දේවලුත් තියෙනවා. අප්‍රසිද්ධියේ කරන දේවලුත් තියෙනවා. මම දන්නවා සජිත් මම විශේෂයෙන්ම ඉතා අභියෝගාත්මක ප්‍රශ්නවලදී මං වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා.

# මං අහන්නෙ මේ මොහොතේදි?

මේ මොහොතෙදි ප්‍රසිද්ධියේ මං වෙනුවෙන් පෙනී සිටින්න දෙයක් නෑ. ඔය කියන චෝදනාවලට උත්තර තියෙන්නේ මට විතරයි.

# ඔබ රටේ ජනාධිපතිවරු බිහි කරන්න වගේම ජනාධිපතිවරු බලයෙන් පහ කරන්න බොහෝ මැදිහත්වීමක් කළ අයෙක්. ඔබට නැද්ද ජනාධිපති වීමේ සිහිනයක්?

මොකෝ නැත්තේ. හැම දේශපාලනඥයාටම ජනපති වීමේ සිහිනය තිබෙනවා. නමුත් ඒක ප්‍රායෝගික නැහැනේ. ලංකාවට අවශ්‍ය වන්නේ මම වැනි විශේෂයෙන් මානව හිතවාදී ලිබරල් නායකයෙක්. එවැනි කෙනෙක් ඉඳලා නෑ. නමුත් ඒක සිහිනයක් විතරයි.  ඒ සිහිනය යථාර්ථයක් කරන්නට හැමෝටම බෑ. ඒ සිහිනය කරා යම් කිසි දුරක් හෝ යන්නට පුළුවන් කෙනෙක්ට සහාය දෙන්න ඕනෑ.

# ඔබේ පක්ෂයේත් ජනාධිපති සිහින දකිමින් කිහිපදෙනෙක් ඉන්නවා නේද?

අපෝ ඉන්නවා.

# කරු ජයසූරිය, චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල වැනි අය නේද ඒ උත්සාහයේ නියැළෙන්නේ. මොකද ඒ අය ගැන හිතෙන්නේ?

mawubima text9
කරු ජයසූරිය කථානායකතුමා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. එතුමාගේ ශ්‍රේෂ්ඨත්වය තව තවත්  ඔප්පු කළා දින 52 කුමන්ත්‍රණ ආණ්ඩුව කාලේ. එතුමා මරණීය තර්ජන මැද ව්‍යවස්ථාවේ ගරුත්වය රැක අද මුළු ලෝකයේම ගෞරවයට පාත්‍ර වුණා. නමුත් අපි කැමැති වුණත් අවසානයේදී ඡන්දය දිනන්න ඕනෑ. ජනතා හඬට හිස නමන්න ඕනෑ. මේ මොහොතේ තිබෙන ජනතා හඬ තමයි සජිත්.

# මේ වනවිටත් එක වේලක් කන්න නැති ජනතාවක් ඉන්න රටක් ලංකාව කියන්නේ. එවැනි රටක අගමැති ගමේ අයට ජිම් කට්ටල ලබාදෙන්න යෝජනා කරනවා. ජනතාවගේ අත්‍යවශ්‍යම දේවත් නොහඳුනන කෙනෙක්ද මෙච්චර කල් අගමැති විධියට රට පාලනය කළේ?

ජිම් කට්ටල දෙන එකේ කිසිම වරදක් නෑ.

# මං ඇහුවේ ජන ජීවිතයේ ප්‍රායෝගික තත්ත්වය?

ඔය කියන විධියට ලංකාවේ නම්, මම එකක් කියන්නම් කවුරුත් බඩගින්නෙ මැරෙන්නෙ නෑ. එවැනි තත්ත්වයක් අද මේ රටේ නෑ.

# එතකොට මාස ගණනක දරුවෙක් පසුගියදා මන්දපෝෂණය වැලඳිලා හම්බන්තොට මියගියේ කොහොමද?

හරියට හරි. හම්බන්තොට කියන්නෙ එතකොට ඔය අවුරුදු 10ක් රජවරු හැටියට හිටපු දිස්ත්‍රික්කයේ මන්දපෝෂණය කියෙනවා නම් අපට ඒ අයගේ සංවර්ධනය ගැන හිතාගන්න පුළුවන්නේ. නමුත් ඒ මන්දපෝෂණයටත් අපි අද උත්තර දෙන ගමන් ඒකම කියලා අපිට එතැනම ඉන්න බෑ.

# රාජ්‍ය මුදල් විශාල වශයෙන් වැය කරමින් මේ දිනවල ඔබ සංවේදී අය-වැයක් බව කියා වෙළෙඳ දැන්වීමක් පළ කරනවා. ඇත්තටම ඔය කියන තරම් අය-වැය සංවේදී නම් ජනතාවට එය දැනෙන්න ඉඩදෙන්න එපැයි. මොකටද වෙළෙඳ දැන්වීම්?

ඔය කියන තරම් මහා මුදලක් වැය වෙන්නේ නෑ.

# ඊට වැය කරන්නේ රාජ්‍ය මුදල් නිසා අපට අහන්න අයිතියක් තිබෙනවා. ඇත්තටම ඒ වෙළෙඳ දැන්වීම්වලට යන වියදම කොපමණද?

ඇත්තටම දැන් මතක නෑ. ඔබට අහන්න අයිතියක් තිබෙනවා. නමුත් ලෝකෙ හැම රටකම රජයක් කරන සංවර්ධන කටයුතු ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම මුදලක් වියදම් කරනවා. ඒක ප්‍රතිශතයක් හැටියට ගත්තොත් ඉතාමත් සුළු මුදලක්. 

ඇත්තටම අපිට තියෙන චෝදනාව තමයි මේ තරම් වැඩ කරන ආණ්ඩුවක් ජනතාවට ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්නෙ නැහැයි කියන චෝදනාව. ඒ නිසා මේ දැනුවත් කිරීම්වලට මීට වඩා වැඩි මුදලක් වැය කළත් පාඩු නැහැ කියලා මං හිතන්නේ. මේ රටේ ඒ ක්ෂේත්‍ර තුළ වර්ධනය ගැන ජනතාව දන්නෙ නෑ.

# රටේ දැවැන්ත සංවර්ධනයක් ගැන ඔබ කතා කරනවා. නමුත් කුණු කන්ටේනර් පිටින් කොහොමද මේ රටට ගොඩබාන්න කටයුතු සැලසුණේ. මෙය ඔබේ අමාත්‍යාංශයට අයිති කරුණක්?

ඇත්තටම එය මටත් ප්‍රශ්නයක්. ඒක දැනගත්ත ගමන්ම මම පිටරට සිට රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමියගෙන් වාර්තාවක් ඉල්ලුවා. අපිට ආරංචි හැටියට මේ කුණු කන්ටේනර් ගෙන්නන්න යෝජනා කරලා තියෙන්නේ රාජපක්ෂ සමයේදී. නමුත් එය අද ලංකාවට ගෙන එන්න ඉඩදීම නිදහසට කරුණක් නොවේ. අපි දන්නවා පිටරටකට ගියොත් හරියට සීල් නොකරපු කෑම පාර්සලයක් තිබුණත් ඒකට දඩ ගහනවා. නැත්නම් ඒ අය ඒක භාර ගන්නවා. මේ වගේ කුණු කන්ටේනර් ලංකාවට ගෙන එන්න ඉඩදුන් පුද්ගලයෝ කවුද කියලා මම හොයා බලනවා. ඒ වගේම ඒ ගෙනාපු අය කවුරු වුණත් කමක් නෑ ඒ අයට නීතියෙන් දඬුවම් කරන්න ඕනෑ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්