ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රීලනිපය තිරණාත්මක තීන්දුවක් ගැනීමට සූදානම් වෙන බව කියනවා. මේ වෙද්දී ශ්‍රීලනිපය තීන්දුවක් ගෙන අවසානද?

ජනාධිපතිවරණයටත් තව යම් කාලයක් ඉතිරිවෙලා තියෙනවානේ. සැප්තැම්බර් තුන්වෙනිදා සියලු දේවල් කියන්නම්. සැප්තැම්බර් තුන්වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සම්මේලනය තියෙනවා. එක් කාරණයක් පැහැදිළියි. මීළඟ ජනාධිපතිවරයා තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුයි.

ශ්‍රීලනිපය තවත් පක්ෂයක් සමග සන්ධානගතවීමේ ඉඩක් තියෙනවාද?

අපි යම් පක්ෂයක් එක්ක සන්ධානගත වෙනවාද නැද්ද කියන එක ගැන දැන්ම කියන්න බැහැ. ඒත් සන්ධානගත වීම ගැන අපි සලකා බලමින් ඉන්න බව කියන්න පුළුවන්. ජනාධිපතිවරණය වෙනුවෙන් පොදුජන පෙරමුණ සාමාජිකත්වය දරණ සන්ධානයේ පාර්ශවකරුවෙක් වෙන්න අපි කැමතියි. ඒත් ඒක නිසි ක්‍රමවේදයට වෙන්න ඕනෑ. අපිත් පක්ෂයක් විදිහට ඒ සන්ධානයේ පාර්ශවකරුවෙක් වෙන්න ඕනෑ. අනෙක් පක්ෂවලටත් ඒ සන්ධානයේ පාර්ශවකරුවෙක් විදිහට ඉන්න පුළුවන්.

ඒත් අපි ප්‍රශ්නය විදිහට පෙන්වූවේ ශ්‍රීලනිපයට තවත් පක්ෂයක කොටසක් වෙන්නට බැරි බවයි. එවැනි ක්‍රියාවලියක් තුළ ශ්‍රීලනිපය දිය කරන්න හෝ විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

ශ්‍රීලනිපය තීන්දුවක් ගනිද්දී වැඩිපුරම සලකා බලන කාරණය මොකක්ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කරන්න ඕනෑ. අපේ පක්ෂයේ මන්ත්‍රීතුමන්ලාගේ හා ආසන සංවිධායකවරුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරන්න ඕනෑ. ගෞරවය ආරක්ෂා කරන්න ඕනෑ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකරන්න හෝ විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් අපේ ඉන්න සංවිධායකයන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ තත්වය රැකගනිමින් තීන්දුවක් ගන්නට අපි සියලු දේ කරන්න ඕනෑ.

ශ්‍රීලනිපය ආවත් නොආවත් මේ වෙද්දී ශ්‍රීලනිපය ඉන්නේ තමන් ලඟ බව අතැම් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් කියා තියෙනවා. ඔවුන් කියන්නේ ඩාලි පාරේ කාර්යාලයත්, පක්ෂ සලකුණත් හැර සම්පූර්ණ ශ්‍රීලනිපයම දැන් ඉන්නේ පොහොට්ටුවේ බවයි.

අපි දේශපාලන අඳබාලයන් කියන දේවල්වලට උත්තර දෙන්න ඕනෑ නෑ. ඔය සංවාදය අපේ මට්ටමේ තියන එකක් නෙවෙයි. ඔය කතාව කීවේ හරියටම කවුද කියලා බලන්නකෝ, ඒවා සැලකිල්ලට ගන්නවාද කියා එතකොට වැටහේවි. වගකීමක් තියෙන අය ඔය කතා කියන්නේ නැහැ. ඒ පක්ෂයේ නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැදගත් කම දන්නවා. ඒ පක්ෂයෙන් නම් කරලා තියෙන ජනාධිපති අපේක්ෂකයාත් ඒක දන්නවා. ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම කණ්ඩායමට එකතුකර ගන්නයි. ඒත් මේ කිසිදෙයක් නොදන්න අය ඉන්නවා.

Duminda Disanayake talkඇත්තම කිවුවොත් අපේ කරුමෙට පාර්ලිමේන්තුවට තේරී පත්වූ කීපදෙනෙක් ඉන්නවානේ, එයාලා පාර්ලිමේන්තුවට වත් එන්නේ නැහැ. හදිසියේ ඕක මහින්ද රාජපක්ෂ මහත්තයා හෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කීවා නම් අපට පුළුවන් උත්තර දීම ගැන සලකා බලන්න. අඩුම තරමේ විපක්ෂයේ ප්‍රබලයෙක් කීවා නම් අපට ඕක බරපතළ ප්‍රකාශයක් විදිහට සලකන්න පුළුවන්.

ශ්‍රීලනිපයත් පොහොට්ටුවත් අතර සන්ධානයක් ඇතිකර ගැනීම පිළිබඳව දැන් තත්වය කුමක්ද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමායි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇමතිතුමයි. සාකච්ඡා කරන්න ඕනෑ. ඒ කටයුත්ත තමයි දැන් ඉතුරුවෙලා තියෙන්නේ. අපි බලාගෙන ඉන්නවා ඔවුන් සාකච්ඡා කරන තුරු ඔවුන්ට පුළුවන් වේවි එකඟතා සඳහා පදනමක් ඇති කර ගන්නට ඒ සාකච්ඡාවලින් පසුව අපි සලකා බලනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක අපිට සන්ධානගත වෙන්න පුළුවන්ද කියලා.

එතකොට පක්ෂ දෙකේ නියෝජිත කණ්ඩායම් අතර සාකච්ඡාවලට වෙන්නේ මොකක්ද?

ජනාධිපතිතුමා එතුමාගේ සාකච්ඡාවල ප්‍රතිඵල අපට කියාවි. අනෙක් පැත්තෙන් විපක්ෂ නාකයකතුමා ඒ පැත්තේ කණ්ඩායම සමඟ කියාවි. ඉන් පස්සේ තාක්ෂණික කාරණා ගැන අපේ කණ්ඩායම්වලට සාකච්ඡා කරන්න සිද්ධ වේවි.

පොදුජන පෙරමුණ බොහේ තීන්දු ගනිද්දී, මහින්ද රාජපක්ෂට තීන්දුව ගැනීම බාර දෙනවා. ශ්‍රීලනිපයත් කරන්න උත්සාහ කරන්‌නේ ඒ වගේ ජනාධිපතිවරයාට තීන්දු ගන්න දීලා බලාගෙන ඉඳීමද?

මෙතැන වෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. සාකච්ඡා සඳහා මධ්‍යම කාරක සභාවෙන් විධිමත් විදිහට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බලය දුන්නා. එහෙම කළේ සාකච්ඡා අවසානයක් දක්වා ගෙනයෑමට ඒක පහසුවක් වන හින්දා පමණයි. එහෙත් තීන්දුව ගැනීම සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙනුයි. අපේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා.

ඔය කියන විදිහට ජනාධිපතිවරයාගේ මතයට වෙනස් වූ තීන්දුවක් ගැනීමේ හැකියාවක් වුව මධ්‍යම කාරක සභාවේ තියෙනවා නේද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. අපි මධ්‍යම කාරක සභාව එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡාවෙන් පස්සේ තමයි තීන්දුව ගන්නේ. ජනාධිපතිතුමාගේ අදහස්වලට අපි වැදගත් තැනක් දෙනවා. ඒ වගේම එතුමා අපේ අදහස්වලටත් වැදගත් තැනක් දෙනවා.

මේ වෙද්දී පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් නම් කර තිබීම සාකච්ඡාවලට ප්‍රශ්නයක් වේවිද?

අපට ඒක ප්‍රශ්නයක් නැහැ. පොහොට්ටුවෙනුත් අපේක්ෂකයෙක්ව නම් කරලා තියෙනවානේ අපේ මධ්‍යම කාරක සභාව තීරණය කරලා තියෙනවා අපේ පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙන් ඉදිරිපත් කරන්න ඕනෑ කියලා. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙන්න ඕනෑ කියලත් අපි එකඟවෙලා තියෙනවා.

Duminda Disanayake talk 1ඉතින්, අපට පුළුවන් ඒ පැත්තේ අපේකෂකයා සහ අපේ පැත්තේ අපේක්ෂකයා ගැන සාකච්ඡා කරන්නට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂව නම් කළා. සමහර විට දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්ෂයෙන් අපේක්ෂකයෙක්ව නම් කරන්නත් ඉඩ තියෙනවා. විමල් වීරවංශලාගේ පක්ෂයෙන් තවත් අපේක්ෂකයෙක්ව නම් කරන්න ඉඩ තියෙනවා. එතකොට අපට පුළුවන් ඒ ඒ අපේක්ෂකයන් ගැන සාකච්ඡා කරන්න.

අන්තිමේදී තෝරාගන්නේ ශ්‍රීලනිපයේ අපේක්ෂකයා නොවෙනන්න පුළුවන්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ නොවන්නත් පුළුවන්. දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්ෂයේ අපේක්ෂකයාව තෝරාගන්නත් ඉඩ තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලේ සාකච්ඡා සිද්ධ වෙනවා නම්, වෙන්න ඕනෑ ඒකයි. අපි බලාපොරොත්තුවෙන්නේ ඒ විදිහට සාකච්ඡා කරන්නයි.

ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න ගැන සලකනවාද?

ඒ ගැන සලකන්න ඕනෑ අපි නෙවෙයිනේ. මේ රටේ ජනාධිපතිවරණයට ඉල්ලන්න අවශ්‍ය මූලික සුදුසුකම් ටික අපේ රටේ ව්‍යවස්ථාවේ තියෙනවානේ. යම්කිසි පුද්ගලයෙක් ඒ සුදුසුකම් නැතිව ජනාධිපතිවරණයට ඉල්ලීමට බලාපොරොත්තුවෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒත් එහෙම කෙනෙක් තමන්ගේ නුසුදුසුකම් ඉවත් කර ගන්න ඕනෑ. නුසුදුසුකම් ඉවත් කර ගැනීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

ඔහු මුළු ලංකාවේම ජනාධිපති වෙන්නයි යන්නේ, ඔහු එක් පක්ෂයක ජනාධිපති වෙන්න නෙවෙයිනේ උත්සාහ කරන්නේ. ඔහුට ඡන්දේ දෙන උදවිය ඔහු සුදුසු කෙනෙක් බව විශ්වාස කරන්න ඉඩ තියෙනවා. ඒත් ඒ බව විශ්වාස නොකරන පිරිසකුත් ඉන්නවානේ. තමන්ට ඡන්දය නොදෙන අයට පවා සෑහීමට පත්කිරීමේ වගකීමක් ඔහුට තියෙනවා. ලංකාවේ පුරවැසියන් ඉදිරියේ තමන් මූලික සුදුසුකම් සපුරා තියෙන අපේක්ෂකයෙක් බව ඔප්පු කරන එක ඕනෑම අපේක්ෂකයෙකුගේ වගකීමක්.

තමන් සුදුසු බව අවශ්‍ය වෙලාව මැතිවරණ කොමිෂන් සභාවට පෙන්වන බව ගෝඨාභය රාජපක්ෂලා කියනවා නේද?

යම්කිසි අපේක්ෂකයෙක් සුදුසු නැතැයි චෝදනා එල්ල වෙලා තියෙනවා නම් එහෙම කෙනෙකුට රටේ ජනතාවට තමන් සුදුසු කෙනෙක් බව ඔප්පුකරන්නට විශේෂම වගකීමක් තියෙනවා. ඒක මැතිවරණ කොමිසමට විතරක් පෙන්වන බව කියලා හරියන්නේ නැහැ. තමන්ගේ කණ්ඩායමට විතරක් හෝ කෑගහන අයට විතරක් පෙන්වන එක ප්‍රමාණවත් නැහැ. රටේ කෝටි ගණනක ජනතාවගේ නායකයා වෙන්න උත්සාහ කරනවා නම් ඒ සියලු දෙනාටම ඔබේ නායකයා වෙන්න මා සූදානම් බව පෙන්වන්න ඕනෑ. ඔහු තේරුම් ගන්න ඕනෑ තමන් රාජ්‍ය නායකයා වෙන්නට උත්සාහ කරන බව.

තවමත් එතුමා තමන්ගේ සියලු ලිපි ලේඛන ජනතාවට ඉදිරිපත් කරලා නැත්තේ ඇයිද කියන එක ප්‍රශ්නයක්. පුරවැසිභාවය ගැන මටත් සැකයි. තවම එතුමාට සියලු ලිපි ලේඛන ලැබිලා නැතිද, ඒවා ලැබෙන්නට නියමිත තත්වයේ තියෙනවාද වගේ ප්‍රශ්න මට විතරක් නෙවෙයි තියෙන්නේ. රටේ අති බහුතරයක් ඒ සැකයෙන් ඉන්නවා. ඒත් ඒක ගැන සත්‍ය ඔප්පු කිරීම අපේ වගකීමක් නොවෙයි. ඒක ඔහුගේම වගකීමක්.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පසුගිය සති‌යේ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට ආ බව ප්‍රවෘත්ති පල වුණා. ඇය ඉදිරි තීන්දුවලට සම්බන්ධ වේවිද?

එතුමියට ඩාලි පාරට ඕනෑම වෙලාවක එන්න පුළුවන්. ඒක විශේෂ සිද්ධියක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට එන්නට ඕනෑම නිදහස් පාක්ෂියෙකුටම අයිතිය තියෙනවා. හිටපු ජනාධිපතිතුමියක් හා හිටපු නායිකාවකට විතරක් නෙවෙයි, සාමාන්‍ය පාක්ෂිකයෙකුට පවා ඒ අයිතිය තියෙනවා. ඒක මහලොකු සිද්ධියක් විදිහට සැලකිය යුතු නැහැ. එතුමිය පක්ෂයේ තමන්ට හිමි බලය අනුව තීන්දු ගැනීමේ ක්‍රියාවට අඩුවැඩි වශයෙන් සම්බන්ධ වීමත් පුදුමයක් නොවෙයි.

එහෙත් ඇය අමනාප වී සිටි බව ප්‍රවෘත්ති පල වුණා නේද?

එතුමිය කුමන වෙලාවක වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අමනාප වෙලා හිටියේ නැහැ. එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග හැමදාම හිටියා. අදත් ඉන්නවා.

ඇගේ නම ශාන්ත බණ්ඩාරගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට යෝජනා කළ බවට ප්‍රවෘත්ති පල වෙනවා.

අපිත් එක්ක එහෙම දෙයක් ගැන කවුරුත් කතා කරලා නැහැ.

මේ වෙද්දී අපිට තොරතුරු ලැබෙන විදිහට ශ්‍රීලනිපය වෙනම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා සැලසුම් කසක්කරමිනුයි ඉන්නේ. ශ්‍රීනිපය කැරැල්ලක් ගැසීමේ සූදානමකින් ඉන්න බව ආරංචියි. එහෙම තත්වයක් තියෙනවාද?

ඔව්, ඒ ආරංචි හා තොරතුරු පරිස්සමෙන් තබාගන්න. සිද්ධවෙන්නේ මොකක්ද කියලා අපි ඔබතුමාලට තුන්වෙනිදාට කියන්නම්. එදාට ඔය සේරටම උත්තර ලැබෙනවා.

සමහරු කියන්නේ ශ්‍රීලනිපයට පොහොට්ටුව හා එක්වීම හැර වෙන කිසිම විකල්පයක් නැති බව නේද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමයි සියලුම තෝරාගැනීම් තියෙන්නේ. අපි නැතිව කාටවත් ඡන්දවලට එන්න බැහැ. අපට තියෙන ඡන්ද ප්‍රමාණය ගැන දැනටමත් දන්නවානේ. ඒ ඡන්ද ප්‍රමාණය නැතිව බැරි බවත් දන්නවානේ. ඒ නිසා අපේ තෝරා ගැනීම හරිම වැදගත්. හැමෝම බලාගෙන ඉන්නේ අපේ තෝරා ගැනීම දිහායි.

(අනිද්දා- තරිඳු උඩුවරගෙදර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්