ප්‍රවේශය



මා පළමුවෙන් ම සෝවියට් සාහිත්‍ය කෘතියක් රස වින්දේ 1979 වසරේ පළමු කාර්තුවේ දී ය. ඒ චිංගිස් අයිත්මාතොව්ගේ පළමු ගුරුවරයා නම් වූ ඉතා කුඩා නවකතාව ය. 1983 වසරේ අග බාගයේ දී පමණ මා මෙම කෘතිය මිලදී ගැනීමට වෙහෙසුණ ද ය සොයාගැනීමට අපහසු විය. නමුදු එකල මා සමග හිතවත් වූ තවත් සෝවියට් සාහිත්‍ය ලෝලියකුගේ මගපෙන්වීම මත කොම්පඤ්ඤවිදියේ පිහිටි Peoples Publishing House Limited (මහජන ප්‍රකාශකයෝ) පොත් සාප්පුවට ගොඩවැදුණේ පළමු ගුරුවරයා සහ වෙනත් සාහිත්‍ය කෘති කිහිපයක් මිලදී ගැනීමේ අටියෙනි. නමුත් මගේ සිහිනය බොඳ විය. ඒ, අදාළ කෘතිය නැතැයි එහි සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකු පැවසූ බැවිනි. අතැති මුදලට සරිලන පරිදි (එකල මෙම පොත් ඉතා අඩු මුදලකට මිලදී ගතහැකිව පැවතිණ.) පොත් දහකටත් වැඩි ප්‍රමාණයක් මිලදි ගත් මා මුදල් ගෙවන මොහොතේ එහි සිටි පුද්ගලයාගෙන් මේ පිළිබඳව යළි විමසී ය. එවිට ඔහු පැවසු දෙයින් මා විස්මයටත් ප්‍රහර්ෂයටත් පත්විය. ඔහු එදා පැවසු වදන් මට අද මෙන් සිහියට නැගේ.

‘‘දැන් ‘පළමු ගුරුවරයා’ පොත නැහැ නෙ... හැබැයි ඒ පොත ම ‘‘ගුරු ගීතය’ කියල පස්සෙ ආව. ඒත් දැන් ඒ පොතත් ඉවරයි නෙ..’’

Exif_JPEG_420

Exif_JPEG_420අදාළ කෘතිය ඒ මොහොතේ එහි නොතිබුණ ද ඉදිරි දිනක දී එහි පිටපතක් සොයා දෙන බවට ඔහු මට පොරොන්දු විය. ඒ පොරොන්දුව විශ්වාස කළ මා එතැන් සිට මාස කිහිපයක් (1984 වසර තෙක්) ම එම අයතනයට ගොස් පොත් මිලදී ගන්නා සෑම මොහොතක ම ඒ පිළිබඳ විමසී ය. ඒ සැම අවස්ථාවක ම ඔහු කියා සිටියේ කෙසේ හෝ එහි පිටපතක් මා වෙත සොයා දෙන බව ය. ඔහු මා රවටනවා ද යන සැකය හේතුවෙන් පසු කලෙක දී එම කෘතිය පිළිබඳ විමසීම අත්හැර දැමී ය; නමුදු පොත් මිලදී ගැනීම සඳහා නිරන්තරයෙන් එම සාප්පුවට ගොඩවැදිණ. එවන් එක් දිනක ඔහු මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කළේ මා කිසිදු ආකාරයකින් බලාපොරොත්තු නොවූ මොහොතක ය. ඒ, ‘‘ගුරු ගීතය’’ කෘතියක් මා වෙත ලබා දීමෙනි. එකල ඔහු එම කෘතිය සඳහා මගෙන් අය කළේ රුපියල් අටක් බව තවමත් මතක ය. එහි තවත් සුවිශේෂිත්වයක් තිබිණ. එනම්, ‘‘පළමු ගුරුවරයා’’ යනු රුසියන් බසින් සිංහල බසට අනුවර්තනය කළ පළමු කෘතිය (නිල නොවන ආරංචිවලට අනුව)   බවයි.


වළ දැමූ සෝවියට් සාහිත්‍ය



කාලයාගේ ඇවෑමෙන් පැමිණි භීෂණ සමයත් සමග සෝවියට් සාහිත්‍ය කෘතියක් මතු නොව ‘‘ගම්පෙරළිය’’ කෘතිය පවා නිවසක තබාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවූයෙන් ස්ථිර රැකියාවක් නොමැති, ස්ථිර නවාතැනක් නොමැති එහෙත් යටිබිම්ගත දේශපාලනයේ නියැළුණු මට ද සිදූයේ මා සතු වටිනාම වස්තුව වූ සෝවියට් සාහිත්‍ය කෘති සියල්ල වළ දැමීමට ය.



භීෂණ සමය නිමා වී, ප්‍රේමදාස ඝාතනය ද සිදුවී, ජනතා විමුක්ති පෙරමුණ ද යළි විවෘත දේශපාලන භූමිය මත පා තබන සමය වන විට බහුතරයක් සෝවියට් ලෝලි පාඨක පිරිස් සතුව පැවති කෘති සියල්ල ම පාහේ කුමන හෝ ක්‍රමයකින් විනාශයට පත්ව තිබිණ. ඉතිරිව තිබුණේ නම් ඒ: සම සමාජ, කොමියුනිස්ට් සහ ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ නිවෙස් තුළ පමණි. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ නිවෙස් තුළ සෝවියට් සාහිත්‍ය කෘති තිබුණා ද යන්න මෙය කියවන ඔබට සිතෙන්නට පිළිවන. නමුදු එය අරුමයක් නොවේ. එබඳු එක්සත් ජාතික පාක්ෂිකයෝ බොහෝ පිරිසක් මා දැන සිටියේ ය. නමුදු එකල මා ඇතුළු බොහෝ පිරිසක් ඔවුන්ගෙන් දුරස්ව කල් ගෙවූ බැවින් යළි ඔවුන්ගෙන් මේ පිළිබඳව විමසන්නට සිත් නොදුණි. එහෙත් සෝවියට් සාහිත පිපාසය නම් නොසන්සිඳිණ; එබැවින් යළි කොම්පඤ්ඤවිදියේ සැසරිසරන්නට විය; එහෙත් ඒ වන විට එහි තිබූ බොහෝ පොත්පත් අවසන්ව තිබිණ. එබැවින්: ‘‘ගුරුගීතය’’, ‘‘අම්මා’’, ‘‘සැබෑ මිනිසෙකුගේ කතාවක්’’, ‘‘වානේ පන්නරය ලැබූ හැටි’’, ‘‘පෙරළූ නැවුම් පස’’ යනාදි කෘති ඇතුළු බොහෝ සෝවියට් සාහිත්‍ය කෘති මිලදී ගැනීමට නොතිබිණ.

ගුරු ගීතය පළමු ලාංකීය ප්‍රකාශනය

1997 වසරේ එක් දිනයක එවකට බොරැල්ල සුපිරි වෙළෙඳ සංකිර්ණයේ පිහිටි කුඩා පොත් සාප්පුවකට ගොඩවැදුණු මට ප්‍රීති දායක ආරංචියක් ලැබිණ. ඒ, ‘‘ගුරු ගීතය’’ කෘතිය ලංකාවේ මුද්‍රණය කර ඇති බවයි. එය මුද්‍රණය කර තිබුණේ එවකට කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල පුද්ගලයෙකි. ඔහු ඒ වන විට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ උසස් නිලයක් හෙබවී ය. ඒ, එවකට පැවති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රමුඛ ආණ්ඩුව පත්කිරීම සඳහා කොමියුනිස්ට් පක්ෂය ලබා දුන් සහයට ලද වරදානයක් ලෙසිනි. මෙම පුද්ගලයා කෙතරම් ආණ්ඩුවට හිතෙතෂිවන්ත වුව ද ගුරු ගීතය කෘතිය මුද්‍රණය කර තිබුණේ ප්‍රසිද්ධියේ නොවේ. අලෙවි කළේ ද ප්‍රසිද්ධියේ නොවේ. කොම්පඤ්ඤවිදියේ පිහිටි Peoples Publishing House Limited (මහජන ප්‍රකාශකයෝ) පොත් සාප්පුවෙහි ද මෙම කෘතිය මිලදී ගැනීමට නොතිබිණ. ඒ ඔවුන් ද එම කෘතිය මිලදී ගැනීම සහ අලෙවි කිරීම ප්‍රතික්ෂේප කර තිබූ බැවිනි. මන් ද ඔවුන් එය සැලකුවේ නීති විරෝධි හෝ සදාචාරාත්මක නොවන ක්‍රියාවක් ලෙස ය. මෙහි වඩාත් උත්ප්‍රාසය වන්නේ (නිල වශයෙන් තහවුරු නොවුව ද) සිංහල භාෂාවට අනුවර්තනය කළ පළමු සාහිත්‍ය කෘතිය මෙන් ම අප්‍රසිද්ධියේ (මෙය ‘හොරට මුද්‍රණය කළා’ යැයි මම නොකියමි.) ශ්‍රී ලංකාවේ මුද්‍රණය කළ පළමු කෘතිය ද ‘‘ගුරු ගීතය’’ වීම ය.  

සෝවියට් සාහිත්‍යයේ උරුමක්කාරයෝ


සෝවියට් සාහිත්‍ය කෘති මෙරටට ගෙන්වීමේ (සැබැවින් ම නම් ගෙන්වූවා නොව එරටින් මෙරටට පරිත්‍යාග කළා ය) උරුමය පැවතියේ කොමියුනිස්ට් පක්ෂය සතුව ය. 1991 වසරේ දී සෝවියට් රාජ්‍ය බිඳ වැටී කැබලි වීමත් සමග ම එරට පිහිටි: ප්‍රගති, රාදුගා, දේදුන්න යනාදි ප්‍රකාශන ආයතන ද වැසී ගියේ ය. එහෙයින් සෝවියට් දේශයෙන් අප රටට ත්‍යාග වශයෙන් ලැබුණු සිංහල මෙන් ම ඉංග්‍රීසි කෘති කිසිවක් ද නොලැබිණ. නමුදු ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ සෝවියට් සාහිත පිපාසය නොසන්සිඳෙන තත්ත්වයක පැවතිණ. යට කී පුද්ගලයා අප්‍රසිද්ධියේ ම ගුරු ගීතය කෘතිය මුද්‍රණය කර, අප්‍රසිද්ධියේ ම අලෙවි කිරීම ඇරඹියේ මේ අවධියේ ය. නමුදු මේ වන තුරු කිසිවකු අදාළ කෘති කිසිවක් ප්‍රසිද්ධියේ මුද්‍රණය කිරීම, ප්‍රකාශ කිරීම හෝ අලෙවි කිරීම නොකළහ.

 

සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳුණ ද සෝවියට් දේශයට ගොස් ප්‍රතිකාර ගන්නා තත්ත්වයේ පසුවූ පිරිසක් ද මෙරට විසුහ. එබඳු පිරිසකගේ ප්‍රධානත්වයෙන් ම ‘‘ජනතා ලේඛක පෙරමුණ’’ මැයෙන් වු සංවිධානයක් ද පිහිටුවාගෙන තිබිණ. මෙහි ප්‍රධාන නිලයක් ඉසිලු පුද්ගලයෙකු ද මේ වන විට පොත් ප්‍රකාශන ආයතනයක් ආරම්භ කර තිබිණ. ඔහු මෑතක් වනතුරු ම විවිධ ආණ්ඩු යටතේ (එක්සත් ජාතික පක්ෂය හැර) පොත් සම්බන්ධ ආයතන කිහිපයක ම සභාපති ධරය ද ඉසිලී ය. මෙම පුද්ගලයා ද සෝවියට් සාහිත්‍ය කෘති මුද්‍රණය සහ ප්‍රකාශනයට අත පෙවී ය. නමුදු ඒ හොර රහසේ නොව ප්‍රසිද්ධියේ ම ය. එසේ වුව ද වෙනත් කිසිවෙකුට සෝවියට් කෘති ලංකාවේ මුද්‍රණය කිරීම නොනිල වශයෙන් තහනම් කිරීමට තරම් මෙම පුද්ගලයා බලවත් විය. ඔහු පවසා සිටියේ එම කෘතිවල නිල අයිතිය පවතින්නේ කොමියුනිස්ට් පක්ෂයට බැවින් අදාළ පක්ෂය එකි බලය තමන්ට පවරා ඇති බවයි. ඔහු කෙතරම් දරුණු අන්දමට එකි උරුමය පසුපස හඹා ගියේ ද යත් එක් පුද්ගලයෙක් ගුරු ගීතය කෘතිය මුද්‍රණය කරන බව සැලවීමෙන් අනතුරුව අදාළ මුද්‍රණාලයට ගොස් තර්ජනය කර කෘතිය මුද්‍රණය කිරීම නවතාලි ය. පසු කලෙක දි ඔහු ළඟ සේවය කළ තරුණයක් ද සෝවියට් සාහිත්‍ය කෘති ප්‍රකාශනයට සුදානම්වන මොහොතේ මොහු ඊට විරුධත්වය පැය. ඔහු එකල සිතා සිටියේ සෝවියට් සාහිත්‍ය කෘතිවල ලාංකිය නිල උරුමකරු ඔහු බවයි. ඔහු ඒ සඳහා අපූරු උපායක් භාවිත කළේ ය. එනම්, ඔහු පවසා සිටියේ දැදිගම වි. රුද්‍රිගු නමින් පදනමක් පතින බවත්, අදාළ කෘතිවල කර්තා භාගය එම පදනමට බර කරන බවයි. නමුත් සෝවියට් සාහිත්‍ය කෘති මතු නොව දේශපාලන කෘති හෝ ළමා කෘතිවල පවා කර්තා භාගය අනුවාදකට හිමි නොවන බව මොහු කිසිදු මොහොතක නොපැවසී ය. ඒ ඇතැම් විට නොදැන විය හැකි ය. එසේත් නැතිනම් දැන දැන ම විය හැකි ය. මන්ද එම කෘති සියල්ලෙහි පරිවර්තන අයිතිය පැවතියේ ඒ ඒ ප්‍රකාශන ආයතන සතුව ය. බොහෝ විට මගේ විශ්වාසය වන්නේ මෙම පුද්ගලයා එය දැන දැන ම එසේ කළ බවයි.

උරුමකරුවන්ට එල්ල වූ පළමු අභියෝගය

 

sudu andthuwa

මොහු මෙලෙස සෝවියට් සාහිත්‍ය කෘතිවල උරුමකරු බවට ඔහුම පවසමින් සෝවියට් කෘති ප්‍රකාශයට පත්කරමින් සිටිය දී ම 2000 වසරේ දී කුඩා ප්‍රකාශන සමාගමක් ප්යෝදර් දොස්තොවුස්කිගේ කෙටි නවකතාවක් වන ‘‘සුදු අන්තුවා’’ (මෙම කාව අඩංගු වන්නේ ‘‘දිවා රැය’’ නමින් ප්‍රකාශයට පත් කාතියෙහි ය) තනි කෘතියක් ලෙස මුද්‍රණය කර ප්‍රකාශයට පත්කළේ ය. ඒ, හුදු ප්‍රකාශන ආයතනයක් වශයෙන් මතු නොව යට කී උරුමකරුවාට අභියෝගයක් ද කරමිනි. 

 

soviyat 05

ඔහුගේ අභියෝගය වුයේ දැදිගම වී. රුද්‍රිගු නමින් කුමන හෝ පදනමක් පවතින්නේ නම් කෘතියට අදාළ කර්තෘ භාගය එම පදනමට ගෙවීමට අදාළ ප්‍රකාශන ආයතනය ඉදිරිපත්වන බව ද පවසමිනි. අදාළ ආයතනය ‘‘සුදු අන්තුවා’’ කෘතියේ කවරයේ පසුපස ඒ බව සඳහන් කර තිබිණ.

 

නමුදු අද වන තුරුම එම ප්‍රකාශන ආයතනයේ අභියෝගය බාරගැනීමට මෙම පුද්ගලයා අපොහොසත් විය. එහි ප්‍රතිඵලය වූයේ එතෙක් සෝවියට් කෘති මුද්‍රණය කිරීමට සහ ප්‍රකාශයට පත්කිරීමට බියක් දැක්වූ බොහෝ දෙනෙකු කිසිදු බියකින් හෝ සැකයකින් තොරව එම කෘති ප්‍රකාශයට පත්කිරීම ය. එතැන් සිට අද දක්වා ප්‍රකාශන ක්ෂේත්‍රෙය් ගලිවර්ලාගේ සිට ලිලිපුට්ටන් දක්වා සෝවියට් සාහිත්‍ය, දේශපාලන සහ ළමා කෘති ප්‍රකාශයට පත් කරති. ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැත. මන්ද සෝවියට් සාහිත පිපාසාවෙන් පෙළෙන පාඨක ප්‍රජාවට එය මහත් අස්වැසිල්ලක් වන බැවිනි.

සෝවියට් කෘති යළි මුද්‍රණයට

ලිපියේ මුඛ්‍ය අරමුණට ප්‍රවේශවන්නේ මෙතැන් සිට ය. එය ද ආරම්භ කළ යුත්තේ තරමක් අතීතයට යමිනි.

2000 වසර පමණ වන විට මැක්සිම් ගෝර්කි විසින් රචිත ‘‘අම්මා’’ කෘතියේ පිටපතක් සොයාගැනීම ඉතා දුර්ලබ තත්ත්වයක පැවතිණ. එම අඩුව සපුරාලමින් කොම්පඤ්ඤවීදියේ පිහිටි Peoples Publishing House Limited ආයතනය විසින් ඉන්දියාවේ දී මුද්‍රණය කරන ලද පිටපත් තොගයක් ලංකාවට ගෙනවිත් බෙදා හැරියේ ය. ඒ වන විට ද සෝවියට් සාහිත්‍ය කෘති පිළිබඳ නිල නොවන උරුමක්කරු ලෙස පෙනී සිටි පුද්ගලයා ද කෘති කිහිපයක් ම ප්‍රකාශයට පත් කර තිබිණ. මගේ මතකයට අනුව ඔහු ඒ වන විට ද කොමියුනිස්ට් පක්ෂයෙන් ද ඉවත්ව තිබිණ. එබැවින් ම දෝ Peoples Publishing House Limited ආයතනයට ගිය සැම විටක ම පාහේ එහි කළමනාකාරිත්වය දැරූ පුද්ගලයාගේ සිට සෑම කෙනෙකු ම මෙම පුද්ගලයාට දොස් පැවරී ය; නමුදු ඔහුට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමට උත්සාහ නොකළේ ය. මා ඒ සම්බන්ධයෙන් එහි කළමනාකාරවරයාගෙන් විමසා සිටි මොහොතේ ඔහු පැවසුවේ ‘‘අනේ... අපි මොකට ද උඩ බලාගෙන කෙළ ගහන්නෙ...?’’ යනුවෙනි. එය මගේ පැනයට අදාළ පිළිතුර නොවන බව මා මෙන් ම ඔහු ද දැන සිටියේ ය. මන්ද ඔවුන්ට ද අදාළ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගැනීමේ බලයක් හෝ නිතිමය වටපිටාවක් නොතිබිණ. ඔවුනොවුන් අතර පැවතියේ සීතල යුද්ධයක් පමණි.


දැදිගම වී. රුද්රිගු.jpgsසෝවියට් සාහිත්‍ය යේ උරුමකරුවා තමා යැයි කියාගන්නා පුද්ගලයා මේ වන විට ප්‍රකාශයට පත් කර තිබුණේ දැදිගම වි. රුද්‍රිගු විසින් අනුවර්තනය කරන ලද කෘති පමණි. ඒ හැර: පියසේන මානිල්ගම, රූපසිරි පෙරේරා, නාරාවිල පැට්‍රික්, පද්මහර්ෂ කුරණගේ සහ සිරිල් සී. පෙරේරා ඇතුළු තවත් කිහිපදෙනෙකු විසින් අනුවර්තනය කරන ලද කිසිදු කෘතියක් ප්‍රකාශයට පත් කර නොතිබිණ. ඒ, ඇතැම් විට එම පුද්ගලයන් ලංකාවේ ජීවමාව සිටි බැවින් විය හැකි ය.

 



පෙරළූ නැවුම් පස යළි පෙරළීම

 

image 786624738e

සිරිල් සී. පෙරේරා


තත්ත්වය මෙසේ පවතිද්දී බොරැල්ලේ පිහිටි එක්තරා ප්‍රකාශන ආයතනයක් සිරිල් සී. පෙරේරා විසින් අනුවර්තනය කරන ලද, ප්‍රගති ප්‍රකාශන මන්දිරය විසින් ප්‍රකාශයට පත් කරන ලද මිහායිල් ෂෝලහොව්ගේ ‘‘පෙරළූ නැවුම් පස’’ (එකල මෙම කෘතිය කොටස් දෙකකින් සමන්විත ය) කෘතිය ප්‍රකාශයට පත්කළේ ය. එම ප්‍රකාශකයා නිර්භයව ම මෙම කෘති ද්විත්වය ප්‍රකාශයට පත් කළේ එහි කර්තෘ අයිතිය සිරිල් සී. පෙරේරාට හිමි නොමැති බව දන්නා බැවින් බව පැහැදිලි ය. නමුදු සිරිල් සී. පෙරේරා මේ සම්බන්ධයෙන් යම් නීතිමය පියවරකට එළඹිය ද එය අසාර්ථක විය. එවිට ඔහු පවසා සිටියේ එම කෘති ද්විත්වයේ යම් යම් අඩුපාඩු පවතින බවයි. එසේ පැවසූ සිරිල් සී. පෙරේරා අදාළ කෘති ද්විත්වය ‘‘නව සංස්කරණයක්’’ ලෙස හුවා දක්වමින් ලංකාවේ ප්‍රසිද්ධ ම ප්‍රකාශන ආයතනයක් ලවා ප්‍රකාශයට පත් කළේ ය. ඊට එරෙහිව කිසිදු පියවරක් ගන්නට කිසිදු ප්‍රකාශකයෙක් ඉදිරිපත් නොවිණ. අවම වශයෙන් පෙර කී උරුමකරුවා හෝ Peoples Publishing House Limited ආයතනය ද ඉදිරිපත් නොවිණ. අනතුරුව වෙළෙදපොළේ පැවතියේ පෙර කී ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශිත ‘‘පෙරළූ නැවුම් පස’’ කෘතිය යි. මෙම ලිපිය ලියන්නට පාදක වන සිදුවීම ඇරඹෙන්නේ ඉක්බිතිව ය.

soviyat 01



සෝවියට් සාහිත්‍ය මංකොල්ලකරුවෝ

දැනට මාස කිහිපයකට පෙර ‘‘දැදිගම වි. රුද්‍රිගු විසින් පරිවර්තනය කරන ලද පෙරළූ නැවුම් පස’’ කෘතිය පිළිබද වු පෝස්ටුවක් මුහුණු පොතේ පළවි තිබිණ. මෙය ප්‍රකාශයට පත් කර තිබුණේ මිරිගම ප්‍රදේශයේ ප්‍රකාශන ආයතනයකිනි. අදාළ කෘතිය දැදිගම වි. රුද්‍රිගු විසින් පරිවර්තනය කරන ලදැයි යන්න පිළිගත නොහැකි වූ මා ඒ සම්බන්ධයෙන් යම් ප්‍රතිචාරයක් දැක්වී ය. එනම්, මෙම කෘතියේ අනුවාදකයා දැදිගම වි. රුද්‍රිගු නොව සිරිල් සී. පෙර්රා ය යන්න ය. මන් ද මා කියවූ සහ මාසතුව පවත්නා (එහි දෙවන වෙළුම රැගෙන ගිය පුද්ගලයා එය තවමත් මා වෙත ලබා දී නැත) කෘතිය අනුවාදය කර තිබුණේ සිරිල් සී. පෙරේරා වන බැවිනි. එමෙන් ම කිසිදු දිනක දැදිගම වි. රුද්‍රිගු විසින් අනුවර්තනය කරන ලද ‘‘පෙරළූ නැවුම්පස’’ කෘතියක් මා දැක නොතිබු බැවිනි. ඒ සම්බන්ධයෙන් විවිධ මත පළ වන විට මා අදාළ ප්‍රකාශන ආයතනයෙන් ඉල්ලා සිටියේ දැදිගම වි. රුද්‍රිගු පරිවර්තනය කළ කෘතිය තිබේ නම් එහි ඡායා රූපයක් පළ කරන ලෙස ය. නමුදු මේ වන තෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නට අදාළ ප්‍රකාශන ආයතනය අසමත් වී ඇත. වඩාත් ඛේද ජනක සිදුවීම සිදුවන්නේ ඉනික්බිතිව ය.

හොරුන්ගෙත් හොරු

පසුගිය විසිපස්වන දින මුහුණු පොතේ සූම් සංවාදයක් පිළිබඳව පෝස්ටුවක් පළ කර තිබිණ. එහි සඳහන්ව තිබුණේ ‘‘පෙරළූ නැවුම් පස පිළිබද කථා කරමු’’ යනුවෙනි.

soviyat 02

එදින ද, එම කෘතියේ ‘‘පරිවර්තකයා’’ ලෙස සටහන් කර තිබුණේ ද දැදිගම වි. රුද්‍රිගු ය.

 

අදාළ කෘතිය දැදිගම වි. රුද්‍රිගු විසින් අනුවර්නය කර හෝ පරිවර්තනය කර නොමැති බවත්, එබඳු කෘතියක් තිබේ නම් එහි ඡායාරුපයක් පළ කරන ලෙසත් මා අදාළ ප්‍රකාශන ආයතනයෙන් ඉල්ලා සිටියේ ය. ඊට අමතරව ලලිත් බෝපිටිය සහෘදයා ද, චතුරංග අමරසිංහ සොයුරා ද මගේ ඉල්ලලීම ම ඉදිරිපත් කර තිබිණ. ඒ වෙනුවට ලැබුණේ ඉතාමත් ජුගුප්සාජනක (ඍජුව ම මා වෙත යොමු නොකළ ද) පිළිතුරකි. එහි සඳහන්ව තිබුණේ ‘‘පෙරළූ නැවුම් පස’’ කෘතිය සිරිල් සී. පෙරේරා විසින් පරිවර්තනය කරනු ලැබීමෙන් අනතුරුව රුසියාවට යවා ඇති බවත්, එහි යම් යම් දෝස තිබු බැවින් දැදිගම වි. රුද්‍රිගු විසින් එය සංස්කරණය කරනු ලදුව ඔහුගේ නමින් පළ කර ඇති බවයි. මෙය ඉතා නින්දිත ප්‍රකාශයකි. එ’තුළින් සිරිල් සී. පෙරේරා මතු නොව සිංහල පාඨක ප්‍රජාව වෙනුවෙන් බොහෝ සෝවියට් සාහිත්‍ය අනුවර්තනය කළ දැදිගම වි. රුද්‍රිගු නාමයට ද කළ අපහාසයක් සිදුවේ. අනෙක් කරුණ වන්නේ මෙවර එම පෝස්ටුවට අදාළ කෘතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ බොරැල්ල කොටාපාරේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පිහිටි ප්‍රගති ප්‍රකාශන ආයතනය වීම ය. එහෙත් ඔවුන් ද මා කී පරිදි අදාළ කෘතියේ පළමු පිටපතේ ඡායාරුපයක් පළ කිරීම මගහැර තිබිණ.

soviyat 04soviyat 03

මෙම සිදුවීම සිතෙහි දරාගෙන සිටිය දී පසුගිය දිනෙක චුලානන්ද සමරනායක විසින් පරවර්තිත කෘතියක් ජනගත කිරීමේ අවස්ථාවකට සහභාගි විය. එහි දි තවත් සෝවියට් සාහිත්‍යයට ලැදි මෙන් ම සෝවියට් සාහිත්‍ය කෘති ගණනාවක් ම පරිවර්තනය කර ඇති සොයුරකුගෙන් මේ පිළිබදව විමසුවේ මට කොතැනක හෝ වැරැදි ඇතිදැයි යන සැකයෙනි. නමුත් ඔහු පැවසු දේ අනුව මා තව තවත් වික්ෂිප්ත විය. එනම් සෝවියට් සාහිත්‍ය පරිවර්තනය කළ තරුණ සොහොයුරකු ද මෙම පැනයට මුහුණ පා ඇත. එය නිවැරැදි කරගැනීමේ අටියෙන් ඔහු කර ඇත්තේ සිරිල් සී. පෙරේරාගේ පරිවර්තනය සහ දැදිගම වි. රුද්‍රිගුගේ පරිවර්තනය යැයි හඳුන්වා දෙන කෘති ද්විත්වය ම එක ළග තබාගෙන එහි වදනෙන් වදන කියවීම ය. අවසන ඔහු පවසා ඇත්තේ එම කෘති දෙකෙහිම වදන්, වාක්‍ය, ඡේද, පරිච්ඡේද යනාදි සියල්ල සමපාත බව යි.  මෙහි දී පැන නැගෙන ප්‍රධාන ගැටලුව වන්නේ මෙම කෘතිය දෙනෙකු විසින් පරිවර්තනය හෝ අනුවර්තනය කරන ලද්දේ නම් අදාළ කෘති ද්විත්වය ම සියයට සියක් සමපාත විය හැකි ද යන්න ය. අනෙක් පසින් අදාළ ආයතන දෙක ම නියම අනුවාදකයාගේ නම අතහැර දැදිගම වි. රුද්‍රිගුගේ නම භාවිත කළේ ඇයි ද යන්න ය. මෙහි දී තවත් විශේෂ දෙයක් සිහිපත් කළ යුතු ය. මා දන්නා තරමින් සෝවියට් ප්‍රකාශන ආයතන විසින් එකම කෘතියක් දෙදෙනකු ලවා අනුවර්තනය කරනු ලැබ නැත. එසේ තිබේ නම් ඒ පිළිබඳ සමාව අයැදිට වුව ද මම පසුබට නොවෙමි.

මුදලාලිකරණය ද සදාචාරාත්මකභාවය ද...?

සෝවියට් සාහිත්‍ය කෘතිවල සිංහල අනුවර්තන හෝ (සෝවියට් දේශයෙන් මෙරටට එවා ඇති, මා සතුව පවතින කිසිදු සෝවියට් සාහිත්‍ය, දේශපාලන හෝ ළමා කෘතියක ‘‘පරිවර්තනය’’යැයි සඳහන් කර නැත. ඒ සැම කෘතියකම සදහන් කර ඇත්තේ ‘‘අනුවාදය’’ හෝ ‘‘අනුවර්තනය’’ යනුවෙනි.) පරිවර්තනවල කර්තෘත්වයට හිමිකාරිත්වය කියන්නට කිසිවකු නොමැති බැවින් ප්‍රකාශන ක්ෂේත්‍රයේ ගලිවර්ලාගේ සිට ලිලිපුට්ටන් දක්වා ඕනෑම ආයතනයක් එම කෘති ප්‍රකාශ කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැත. නමුදු මේ ආකාරයෙන් අමු අමුවේ ම එම කෘති මංකොල්ල කන විට ඒ පිළිබඳව සියුම් වේදනාවක් දැනේ. ඒ අන් කිසිවක් නිසා නොව මෙබඳු පහත් ක්‍රියා හේතුවෙන් අදාළ පරිවර්තකවරු දෙදෙනා ම අපහාසයට ලක්වෙන බැවිනි. එබැවින් අවසාන වශයෙන් ද මෙම ආයතන දෙකෙන් ම ඉල්ලා සිටින්නේ කරුණාකර ඔබලා පවසන පරිදි දැදිගම රුද්‍රිගු විසින් පරිවර්තනය හෝ අනුවර්තනය කරන ලද මුල් කෘතියක් පවති නම් එහි සත්‍ය අසත්‍යතාව තහවුරු වන පරිදි ඒවායේ ඡායාරුපයක් ප්‍රසිද්ධ කරන ලෙස ය. ඒ හැර වෙනත් කිසිදු දෙයක් බලාපොරොත්තු නොවන බව ද යළිත් සිහිපත් කරමි.



jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2022/01/29




ජයසිරි අලවත්තගේ සාහිත්‍ය විචාර  :


සාහිත්‍ය විචාර : 'පිට කසා ගැනීම' හොඳ ද නරක ද? -ජයසිරි අලවත්ත

ලේඛක, ප්‍රකාශක: වගකීම් සහ යුතුකම් - ජයසිරි අලවත්ත

පොත්: කියවීම, ප්‍රදර්ශනය කිරීම, කියවූ පොත් විකිණීම සහ කළුකඩකාරයෝ - (ජයසිරි අලවත්ත)

රස විඳීම සහ විචාරය හෙවත් විමංසනය - ජයසිරි අලවත්ත

අකුරු හැඩය සහ භාෂා අර්බුදය - ජයසිරි අලවත්ත

‘‘කඩඉම් පොත්’’ යනු මොනවා ද?

ප්‍රබන්ධය යනු කුමක් ද?

 

Leader Whats app





බබියත් සුං බබියගේ අම්මත් සුං ! | අද ගොසිප් එක
 


තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන



வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්