1200 x 80 DMirror

 
 

මිනිසා විසින් නිර්මාණය කරන ලද ‘‘ආගම’’ නමැති සංකල්පය කිසිදු ශාස්තෘවරයෙකුගේ නිර්මාණයක් නොවන බව මිනිසා අවබෝධ කරගත යුතු ම ය.

 

එසේ අවබෝධ කරගන්නා තුරු ‘‘ආගම’’ නමැති දරුණු අවිය භාවිතයෙන් අතීතයේ දී සිදු කළ ආකාරයෙන් සහ වර්තමානයේ සිදුකරන ආකාරයෙන් අනාගතයේ ද මිනිස් ජීවිත වෙත කෙරෙන බලපෑම නොකරතැයි විශ්වාස කළ නොහැකි ය.



එක් එක් ආගම් සංකල්පවලට අනුව මිනිස් ජීවිත වෙත කෙතරම් දරුණු ‍ඛේදවාචක අත්පත් කර දෙනවා ද යන්න මේ වන විට ලොව පුරා සිදුවන ‘‘ආගමික ගැටුම්’’ ලොවට ම ආදර්ශ සපයයි.

නමුදු ආගම නමැති සංකල්පයට වහල්භාවයක් දක්වන පිරිස් අනෙකා ද තමාගේ සංකල්පවල වහලෙක් බවට පත් කරගන්නට දරන උත්සාහය විශ්වය පවතින තුරා ම තව තවත් වර්ධනය වනවා මිස හානභාගී වන තත්ත්වයක් දක්නට නොලැබේ.

මෙකී ආගම් වල්භාවය හේතුවෙන් ම මිනිස් ජීවියකුට උරුම විය යුතු මානව හිමිකම් වඩ වඩාත් උල්ලංඝනයට පත් කරන ආගමක් ලෙස ඉස්ලාම් ආගම හැඳින්විය හැකි ය. එහි දී ද එකී ආගම් සංකල්ප විසින් වඩාත් පීඩනයට පත් කරනු ලබන්නේ කාන්තා පාර්ශ්වය යි. හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි හෝ කතෝලික යනාදි කිසිදු ආගම් සංකල්පයක් තුළ නොපවතින, ඉතා ම්ලේච්ඡ ලෙස කාන්තාව පීඩනයට පත් කරන ආගමික සංකල්ප ඉස්ලාම් ආගම තුළ පවතින බව නොරහසකි.

ඒ සම්බන්ධයෙන් මිනිස් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ලොව පුරා විවිධ සංවිධාන බිහිව ඇති අතර එකී සංකල්ප විවේචනයට බඳුන් කරන සාහිත්‍ය කලා නිර්මාණ ද ලොව පුරා නිර්මාණය කර ඇත; දැනුදු නිර්මාණය කෙරෙමින් පවතී; අනාගතයේ ද නිර්මාණය කෙරෙන බව විශ්වාස ය.

නමුදු ඉස්ලාම් ආගම නමැති සංකල්පය ඇතුළු කිසිදු ආගම් සංකල්පයක් මුලිනුපුටා දමන්නට විශ්වය පවතින තුරුම කිසිවකු සමත් නොවන බව සක් සුදක් සේ පැහැදිලි ය.

paramaanandaya

 

යට සඳහන් පුර්විකාව ලියන්නට සිත් වූයේ යම් ලියවිල්ලක් සඳහා මහාචාර්ය සරත් විජේසූරිය විසින් රචිත කෙටිකතා සංග්‍රහයක් සොයමින් සිටින මොහොතක මා අත පත් ඔහුගේ ම ප්‍රබන්ධයක් වූ ‘‘පරමානන්දය’’ කෘතිය යළි කියවීමෙන් ඉක්බිති ලද කම්පනය යි; අදාළ කෘතිය තුළ ද යට කී ආගමික සංකල්ප හේතුවෙන් පීඩනයට පත්වන කාන්තා චරිතද්වය විඳින දුක් ගැහැට කෙරම් තිරශ්චින ද යන්න පිළිබඳ පහළ වූ ආත්මානුකම්පාව යි.

 

කතුවරයා මෙම කෘතිය ප්‍රබන්ධ කිරීමේ දී ආඛ්‍යාන ත්‍රිත්වයක් භාවිත කර ඇත. අනෙක් පසින් මෙහි විශේෂත්වය වන්නේ එකී ආඛ්‍යාන ත්‍රිත්වය එකිනෙකට සම්බන්ධ කර එක් ආඛ්‍යානයක් ලෙස වුව ද කියවීමට හැකිවන සේ ප්‍රබන්ධ කිරීමට කතුවරයා දක්වා ඇති සමත්කමයි.

 එහි දි කතුවරයා පාඨක ප්‍රජාවට කිසිදු අපහසුතාවකින් තොරව ප්‍රබන්ධය රස විඳීමට සලසා ඇති අතර පාඨකයාගේ හෝ පාඨකාවගේ බින්න රුචිකත්වය අනුව අඛ්‍යාන වෙන් වෙන් වශයෙන් හෝ එක් ආඛ්‍යානයක් ලෙස ගෙන රසවිඳිය හැකි ය.

ඉස්ලාම් ආගමික අන්තගාමිත්වය තුළ කාන්තා පාර්ශ්වය මතු නොව ඇතැම් අවස්ථාවල දී පුරුෂ පාර්ශ්වය ද අන්ත අසරණභාවයට පත්වන ආකාරය එක් ආඛ්‍යානයක් තුළින් පිළිබිඹු වන අතර තවත් ආඛ්‍යානයක් තුළින් පිළිබිඹු කෙරෙන්නේ පුරුෂ මූලික සමාජය තුළ කාන්තා පාර්ශ්වයට මුහුණ පෑමට සිදුවන අගති සහ ලිංගික සුරාකැම් හේතුවෙන් එකී පාර්ශ්වය අන්ත අසරණභාවයට පත්වීම පිළිබද කතන්දරය යි. අනෙක් ආඛ්‍යානය තුළින් පිළිබිඹු කෙරෙන්නේ: මාතෘ, පීතෘ, දාරක සහ දුහිතෘ ප්‍රේමයේ ගැඹුර සහ ශෝකාලාපය යි.

මොවුන් එකිනෙකා වෙත අහිමි වූ: ආදරය, ප්‍රේමය, දයාව සහ කරුණාව එකිනෙකා තුළින් ම ලබාගන්නා ආකාරයත්, ඇතැම් අවස්ථාවල දී දාරක ස්නේහය හේතුවෙන් ඔවුන් එකිනෙකා තුළ සැඟව තිබූ ඊර්ෂ්‍යා සහගතභාවය මතුවන අවස්ථා ද පෙන්නුම් කෙරේ.

නමුදු එවන් අවස්ථාවල දී බොහෝ විට පාඨක ප්‍රජාවට අදාළ චරිතය කෙරෙහි ද්වේශයක් ඇති නොවන බව ද පැහැදිලි ය. එයට හේතු වන්නේ අදාළ චරිත තුළින් පිළිබිඹු වන්නේ අහිංසක ඊර්ෂ්‍යාවක් වන බැවිනි. කෘතියේ අන්තර්ගත ඇතැම් චරිත යට කී ආඛ්‍යාන ත්‍රිත්වය ම නියෝජනය කරන අතර තවත් චරිතයක්, දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන්නේ වෙනත් ආඛයානයකි.

download

 

ප්‍රධාන කාන්තා චරිතය වන සාගරිකා හෙවත් දෙව්මිණි සහ ඇගේ මව (ඇගේ නම ද සාගරිකා ය): ආගමික අන්තගාමිත්වය, පුර්ෂාධිපත්‍ය, ලිංගික සූරාකැම සහ මහා සමාජය තුළින් වියුක්ත වීම යන ආඛ්‍යාන ත්‍රිත්වය ම නියෝජනය කරන අතර දේවිකා සහ සෙල්වි අයත් වන්නේ ලිංගික සුරා කෑමට ලක් වූ කාන්තාවන් නියෝජනය කෙරෙන ආඛ්‍යානයට පමණි.

 

මේ සියල්ල හැරුණ විට සාගරිකා හෙවත් දෙව්මිණි, ඇගේ මව, සෙල්වි, දේවිකා සහ දොස්කතර පීරිස් යන සියලු චරිත නියෝජනය කරන්නේ ඔවුන් එකිනෙකාට අහිමි වූ දාරක ප්‍රේමය පිටස්තරයකුගේ දරුවකුගෙන් හෝ ලබාගැනීම වෙනුවෙන් ඉමහත් කැපවීමක් කරන, මානුෂික ගුණාංගවලින් පිරිපුන් චරිත පිළිබඳ ආඛ්‍යානය යි.

කෘතියේ තවත් සුවිශේෂී පුද්ගලයෙකු වන අරවින්ද යනු යට කී සියලු ආඛ්‍යාන අභිභවන ආඛ්‍යානයක ස්ථාපනය වූ චරිතයකි. ඔහු කුඩා කල සිට: තම මවගේ ද, මිත්තණියගේ ද, දේවිකාගේ ද, දොස්තර පීරිස්ගේ සහ සෙල්වි නමැති කාන්තාවගේ ද: ආදරය, කරුණාව, දයාව සහ සත්කාරය නොඅඩුව ලබමින් තම දිවි පෙවෙත යහපත් මාර්ගයක් වෙත යොමු කරන්ගනට සමත් වන්නෙකි.

ආගමික අන්තගාමිත්වය හැරුණ විට ඇතැම් පුද්ගලයන් මුදල් බලයෙන් තම විරුද්ධවාදින් පීඩනයට ලක් කරන්නට පෙලඹෙන බවට වූ අත්දැකීම් අපි අනන්තවත්: අසා, දැක, කියවා හෝ තමන්ගේ ම අත්දැකීමක් ලෙස අත්විඳ ඇත්තෙමු. මෙම ප්‍රබන්ධයේ ඇතැම් චරිත තුළින් එවන් පුද්ගලයන් ද පිළිබිඹු කෙරේ.

දෙව්මිණිගේ පියා, ඇගේ සැමියා සහ දේවිකාගේ පෙර විවාහයේ සැමියා වන රන්ජන් ද තම නොපනත්කම් සියල්ල ආවරණය කරගන්නේ ඔවුනොවුන් සතු මුදල් සහ සමාජ බලය උපයෝගී කරගනිමිනි. මොවුන් තිදෙනා තුළින් ම සංකේවත් කෙරෙන්නේ කාන්තාවන් ලිංගික සූරාකැමට ලක් කරන්නන් සහ එක් මොහොතක තමන් ආදරය කළ කාන්තාව තවත් මොහොතක අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවතලන පුරුෂ සමාජ බලය යි.

ඇතැම් අවස්ථාවල දී කාන්තා පාර්ශ්වයේ දුර්වලතා මත ඇය: සිය පියා, සොයුරා හෝ සැමියාගේ දඬුවමට ලක් වෙන ඇවස්ථා නැතුවා නොවේ. එහෙත්: සාගරිකා, දෙව්මිණි, දේවිකා සහ සෙල්විට දුක් සාගරයක ගිලෙමින් ජීවත්වන්නට සිදුවන්නේ තම සිත් ගත් විරුද්ධ ලිංගිකයාට ආදරය කළ බැවින් ම මිස වෙනත් කිසිදු හේතුවක් මත නොවේ. ඔවුන් පසුපස හඹා එන්නේ මර්දනය යි.

පුරුෂ බලපරාක්‍රමයේ අවාසනාවන්ත ගොදුරක් බවට පත්වන ඔවුන් ඒ සියලු දුක් ගැහැට විඳ දරාගන්නේ ද ඒ සියල්ල ඔවුනොවුන්ගේ කරුමය යන මිථ්‍යාවට යටපත් කරමිනි. දෙව්මිණි ‘සියලු දුක් පැණි රසය’ යැයි උපකල්පනය කරමින් ඒ සියල්ල දරාගන්නේ තම කුසෙන් මෙලොවට බිහි කළ දරුවාගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙනි.

දෙව්මිණිගේ මව වන සාගරිකා ද මරණය අතහැර ජීවිතය තුරුලු කරගැනීම වෙනුවෙන් අනේකවිධ දුක්ඛ දේමනස්සවලට මුහුණ පාන්නී ය.සෙල්වි සහ දේවිකාගේ ජීවිතය ද මීට වෙනස් නොවන අතර මෙසේ විවිධ දුක් ගැහැටවලට ලක් වන කාන්තා චරිත සියල්ල ම බෞද්ධ ආගමානුකුලව ජීවත් වන්නට වෙර දරන කුල කාන්තාවෝ වෙති.

මෙය ඇයට පමණක් උරුම වී ඇති තත්ත්වයක් නොවන අතර පුරුෂ මූලික සමාජයේ කාන්තා පාර්ශ්වයට මුහුණ පෑමට සිදුවන අතිශය දුෂ්කරතාවලින් අංශු මාත්‍රයක් පමණි. ඒ දුෂ්කරතා ජයගන්නට නම් කළ යුතු වන්නේ තම පැවැත්ම ‘ඉරණමට’ බාර දී නිහඩව සිටීම නොව එබඳු සමාජ තත්ත්ව ඇතිවීම වැළැක්වීම සහ පවතින විෂමාචාර රටාවලින් සමාජය වෙනස් කිරීම සඳහා පෙළ ගැසීම ය. මෙකී යථාර්ථය පිළිබඳව සමාජ අවධානය යොමු කළ යුතු බව කතුවරයා ව්‍යංගයෙන් පවසයි.

Religion Is Confusion
 
ආගම් කර්තෘවරුන් ද තම දර්ශනය දේශනා කර ඇත්තේ කාන්තාවන් සහ පුරුෂයින් යන දෙකොටසට එකිනෙකාට වෙනස් ආකාරයෙන් සලකන ලෙස ආදර්ශයක් සපයන ආකාරයෙන් ද යන සැකය බෞද්ධාගමේ මෙන් ම ඉස්ලාම් ආගම තුළ අන්තර්ගතව ඇති ඇතැම් කරුණුවලින් පිළිබිඹු කෙරේ. ‘‘පරමානන්දය’’ කෘතියේ එන ප්‍රධාන චරිතද්වය හිංසාවට සහ පීඩාවට පත්වන්නේ ඉස්ලාම් ආගමික න්‍යාය ධර්මවල ආනුභාවය හේතුවෙනි. මෙහි ප්‍රධාන කාන්තා චරිත වන මව සහ දියණියගේ නව යොවුන් විය අතිශය දුක්ඛිතභාවයකට ඇද දමා ඇත්තේ ඉස්ලාම් ආගමානුකුලභාවයට අභියෝග කරමින්, එය නොතකා හැරිය ඉස්ලාම් තරුණයාට ලබා දෙන දඬුවම් හේතුවෙනි.

සාගරිකාගේ සහ දෙව්මිණිගේ යොවුන් ජීවිත තුළට බලහත්කාරයෙන් ඇතුළු වන මෙම ඉස්ලාම් ආගමික තරුණ චරිතද්වය ම අවසන තම ආදරවන්තියන් පලවා හරින්නේ ආගමානුකූලභාවය තුළ තමන්ට කළ හැකි අන් කිසිවක් නොමැති ය යන දුර්මතය සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කරමිනි.

ආගමේ නාමයෙන් තම ආදරවන්තයා තමාට කුමනාකාරයේ දුක්ගැහැට අත් කර දුන්න ද ඒ සියල්ල ඉවසා සිටීමට සහ එය තමන්ගේ ඉරණම ලෙස සලකා එදෙස උපේක්ෂාවෙන් බලන ලෙස කාන්තාවන් පොලඹවන්නට තරම් එම ආගම අන්තගාමිත්වයට පත්ව තිබේ.

ඉස්ලාම් ආගම තුළ පවතින එබඳු දැඩි නීති-රීතිවලට යටත් නොවන පුරුෂයන් කෙතරම් ස්වාධීනව කටයුතු කරන පුද්ගලයන් වුව ද එම සංස්කෘතික රාමුව තුළ ඔවුන් ලිලිපුට්ටන් බවට පත්වන ආකාරය කතුවරයා ඉතා සියුම් ලෙස විග්‍රහ කර ඇත.

‘‘මේ හැම දෙයක්ම අල්ලා දෙවියන්ගෙ අණ මත සිද්ධ වෙන බවයි මෙතන ඉන්න යාළුවො කියන්නෙ. එයාල කියන්නෙ හැම ව්‍යාපාරයක්ම ඉහළට ඔසවා තියන්නෙ අල්ලා දෙවියන්ලු. ඒ නිසා හැම මුස්ලිම්වරයෙක්ම අල්ලා දෙවියන්ගෙ නියමයන්ට අවනතලු.’’

පිටුව 138


ඉහත සදහන් ආකාරයට දෙවියන් වැඩවසන්නේ මිනිසාගේ යහපතට ද අයහපතට ද යන්න නිර්ණය කළ නොහැකි සංකීර්ණ ගැටලුවකි. මිනිස්සු වශයෙන් උප්පත්තිය ලැබූ අපි පළමුවෙන් ම විශ්වාසය තැබිය යුතු වන්නේ තමන් පිළිබඳ මිස නොපෙනෙන අන්ධ විශ්වාස කෙරෙහි නොවේ. ආගමට වහල් වූවෝ කිසිදු දිනක මේ යථාර්ථය පැහැදිලි කර නොදෙති.
 
 
විරාගයේ අරවින්ද තරමට ම දුර්වල නොවන පරමානන්දයේ අරවින්දගේ චරිතය තුළින් මතුකර ඇත්තේ ආත්ම විශ්වාසය පමණක් තමන්ගේ ගැලවුම්කරුවා ලෙස පිළිගන්නා මිනිසාගේ ජීවන ගමන් මග අවහිර කිරීමට නොපෙනෙන බලවේග අසමත් වන ආකාරය යි.
 
එබැවින්: ආගමේ, ලිංගිකත්වයේ, සහ පුරුෂාධිපත්‍ය යේ ඛේදවාචකය මෙන් ම ආදරයේ, කරුණාවේ, දයාවේ සහ අනුකම්පාවේ ආනුභාවය ද පිළිබිඹු කෙරන ‘‘පරමානන්දය’’ පරම ආනන්දයක් ම යැයි හැඳින්වීම අතිශෝක්තියක් නොවේ.
 
 
jayasiri 04 e1619629387941ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 
 

 
 

Leader Whats app

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58