කිසියම් කලා නිර්මාණයක් අති සාර්ථක නිර්මාණයක් වන්නට නම් අදාළ කලා නිර්මාණය රස විඳි: පාඨකයා, රසිකයා හෝ ප්‍රේක්ෂකයා එම නිර්මාණය රස

විඳීමෙන් ඉක්බිති ඔහු හෝ ඇය එතෙක් සිටි ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ස්වයංක්‍රීයව ම පොළා පැනිය යුතු ය. එය: සන්තාපය, ප්‍රහර්ෂය, භීතිය, කම්පනය හෝ පිළිකුල යනාදී කුමන ස්ථානයකට හෝ විය හැකි ය. එය නීර්ණය කෙරෙන්නේ අදාළ සාහිත්‍ය කලා නිර්මාණයෙන් පිළිබිඹු කෙරෙන කතා තේමාව අනුව ය. එම නිර්මාණය සිනමා නිර්මාණයක් නම් එම සිනමා නිර්මාණයේ කතා තේමාව මතු නොව: එහි රඟන නළු නිළියන්ගේ රංගන දායකත්වය, දෙබස්, පසුබිම් දර්ශන, සංගීතය, ශබ්ද සංකලනය, කැමරාකරණය, සංස්කරණය යනාදි සියල්ල ප්‍රේක්ෂකයාගේ හදවත සහ මනස සසල කළ යුතු ය. මේ සියලු අංග ඇතුළත් සිනමා නිර්මාණයක් නරඹන්නට ලැබීම භාග්‍යයකි. ඒ භාග්‍ය පසුගිය දිනෙක මට ද උදා විය. ඒ, වසර දොළහකට අධික කාලයක් තහනමට ලක්ව තිබූ, සංජිව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘ඉගිල්ලෙන මාළුවෝ’’ සිනමා නිර්මාණය යි. අද සිනමා විවරණය වෙනේ කෙරෙන්නේ අදාළ සිනමා නිර්මාණය පිළිබඳව ය.

ඉගිල්ලෙන මාළුවෝ'' සහ කලා ශාස්ත‍්‍ර අඩස්සිගත කිරීම – Vikalpa

මෙම සිනමා නිර්මාණයට රාජ්‍ය පාලකයන් සහ අදාළ බලධාරින් විසින් අතීතයේ දී අත් කර දෙන ලද ඉරණම පිළිබඳව හෝ එහි ගුණාගුණ පිළිබඳ විමසන්නට හෝ පවසන්නට යළි යළිත් කාලය සහ වදන් වැය කළ යුතු නොවේ. මන් ද දැන් ශ්‍රී ලාංකික සිනමා රසික ප්‍රජාවට එම නිර්මාණය රසවිඳීමේ අවස්ථාව උදා වී තිබේ. එබැවින් ඍජුව ම අදාළ නිර්මාණය පිළිබඳ කියැවීමට ප්‍රවේශ වෙමු.

 

සමස්ත නිර්මාණය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී එහි අන්තර්ගත මාන කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළ හැකි ය. එහි පළමු වැන්න සහ මුඛ්‍ය මානය වන්නේ එදා මෙදාතුර මේ රට පාලනය කළ සියලු පාලකයන්ගේ අදූර දර්ශී ක්‍රියා පිළිවෙත් හේතුවෙන් මෙරට පැන නැගි වාර්ගික ගැටලුව යි. දෙවනුව එම වාර්ගික ගැටලුව හේතුවෙන් පැන නැගි සමාජ ව්‍යසන කෙතරම් බියකරු ද යන්න ය. ඉක්බිති යට කී පළමු සහ දෙවන මාන ඔස්සේ ම පැන නගින අතුරු කරුණු සම්බන්ධව ය.

 

එම අතුරු කරුණු ලෙස: ‘‘රණ විරුවන්’’ යැයි විරුදාවලි ලත් ප්‍රජාවගේ නොපනත්කම්, සිය ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් අවි අතට ගත් මිනිස් ප්‍රජාවගේ නොපනත්කම්, යුද්ධය හේතුවෙන් ම සැමියා අහිමි වූ කාන්තාවන්ගේ ඉරණම, එවන් කාන්තාවන් තම දරුවන් හදාවඩාගන්නට දරන උත්සාහය, එම උත්සාහය සාම්ප්‍රදායික නොවන හෝ අසම්මත යැයි සම්මත වී ඇති ක්‍රියාපටිපාටියක් නම් සමාජය ඊට එරෙහිව දක්වන කුහක විරෝධය, එම කුහක විරෝධය දරාගත නොහැකි වූ දරුවෝ ඉතා ම්ලේච්ඡ ලෙස සිය ආවේගය මුදාහරින ආකාරය මෙන් ම කාන්තාව යනු පුරුෂයන්ගේ (වෙසෙසින් ම ‘‘රණ විරුවන්’’) ලිංගික සන්තර්පණය සඳහා ම පමණක් යැයි සිතා කටයුතු කරන රණ විරුවන් මතු නොව සියලු පිරිමි පාර්ශ්ව කෙදිනක හෝ මුහුණ පාන ඛේද ජනක ඉරණම ද මෙම නිර්මාණය තුළින් විදාරණය කෙරේ.

ඉගිල්ලෙන මාළුවන්ට ගෝඨාභය වෙඩි තියයි | JANARALA

රණ විරුවන් ලෙස විරුදාවලි ලද ප්‍රජාව අන් ජන වර්ගවල කාන්තාවන් මතු නොව තමන්ගේ ම යැයි පවසන ජනවර්ගයේ ද කාන්තාවෝ ලිංගික ගොදුරු ලෙස භාවිත කළේ වාර්ගික යුද සමයේ පමණක් නොවේ. 1971 වසරේ පැන නැගි තරුණ අරගලයේ දී මෙන් ම 87 – 89 භීෂණ යුගයේ ද ශ්‍රී ලාකීය සිංහල රණ විරුවෝ ම සිංහල කාන්තාවෝ දූෂණයට ලක් කර අතුරුදන් කර හෝ මරා දමා ඇති බව සමස්ත ලෝකය ම දන්නා කරුණකි. එවන් වාතාවරණයක් තුළ වාර්ගික යුද සමයේ අනෙක් ජනවර්ගයේ කාන්තාවෝ ද ගිණිය නොහැකි ප්‍රමාණයක් රණ විරුවන්ගේ ගොදුරු බවට පත්වූ බව ද ලොව ම දන්නා කරුණකි.

 

මේ සියලු වාතාවරණ මධ්‍යයේ සිංහල රණ විරුවකු වන පරාක්‍රමගේ (සම්පත් ජයවීර)  ලිංගික ගොදුරු බවට පත්වන දියණියක වන වාසනා (ගයේෂා පෙරේරා) සහ එම දියණියගේ ම මව (වසන්ති රංවල) මෙම සිනමා නිර්මාණයේ ප්‍රබලත්වය පිළිබිඹු කරයි. එහි දී සිය දියණිය සහ බිරිඳ එක ම රණවිරුවකුගේ ගොදුරු බවට පත්වන ආකාරය බලා සිටින පියා වන මුතු බණඩා (රත්නායක මාරසිංහ) අවසන සිය දිවි නසාගන්නේ: ආයුද සන්නද්ධ, සිංහල ජනයාගේ සතුරන් යැයි සැලකෙන සංවිධානයෙන් ගැලවීම සඳහා පාලක පාර්ශ්වයෙන් ලද ගිනි අවියෙන් ම ය. රණ විරුවා සිය බිරිඳ සහ දියණිය ලිංගික ගොදුරු බවට පත්කරගන්නා අන්දම දෑසින් දුටුව ද, එම රණ විරුවන් ම ඉතා කුඩා වරදක් හේතුවෙන් ඔහු දඬුවමට යටත් කළ ද හෙතෙම තමා පීඩනයට පත් කළ පාර්ශ්වය වෙත තම ගිනි අවිය එල්ල නොකර සිය දිවි නසාගන්නේ ඇයි...? ඒ අන් කිසිදු හේතුවක් නිසා නොව ඔහුගේ මතු නොව එවන් පුද්ගලයන්ගේ අසරණභාවය හේතුවෙනි. මීට පෙර අප නරඹා ඇති සිනමාපටවල, කියවා ඇති සාහිත්‍ය කෘතිවල මෙබඳු පුද්ගලයන්ගේ ගිනි අවිය එල්ලවූයේ තමාගේම: දියණියට, බිරිඳට හෝ ඔවුන් ගොදුරු කරගන්නා පාර්ශ්වය වෙත ය. නමුදු මුදු බණ්ඩා යනු එතරම් දැඩි පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු නොවන බැවින් ම ඔහු දරා සිටින සියලු පීඩා මුදා හරින්නේ තමන්ගේ ම ආරක්ෂාව සඳහා ලබා දී තිබූ ගිනි අවියෙන් හිසට වෙඩි තබාගැනීමෙනි.

Igillena Maluwo (2011) - IMDb

 

‘‘සිංහල ජාතිය වඳ වන්නේ ය, අපි හැකි තරම් ජාතිය බෝ කර යුතු ය.’’ යනුවෙන් පාරම්බාන චිවරධාරියෝ මතු නොව අන්තවාදී ගිහියෝ ද සිටින රටක දරුවන් අට දෙනෙකු සමග සමාජයේ තනිවන කාන්තාව (කෞෂල්‍යා ප්‍රනාන්දු) නියෝජනය කරන්නේ ද සමස්ත සමාජයේ ම වෙසෙන එබඳු කාන්තාවෝ ය. එම මවගේ සැමියාගේ අවමංගල්‍ය අවස්ථාවේ දී බුද්ධ පුත්‍රයා පවසන්නේ ‘‘දැං මේ ඇත්ති දරුවො ටිකත් හදාගෙන, රටටත්, ජාතියටත්, ආගමටත්, අනිත් අයටත් ආදර්ශයක් වෙන විදියට ජීවත් වෙන්න ඕන’’ යනුවෙනි. නමුත් ඒ මව දරුවන් අටදෙනෙකු රක්ෂා කරන්නේ කෙසේ ද යන්න පිළිබදව ඒ බුද්ධ පුත්‍රයා විමසන්නේ නැත; සොයා බලන්නේ ද නැත. මෙම බුද්ධ පුත්‍රයාට නිසි පිළිතුරක් සපයන්නේ වාසනා ය. ඒ, පරාක්‍රම නමැති ණ විරුවා ඇගේ කුසට දරුවෙකු දී වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරු ලැබ යාමෙන් අනතුරුව වාසනා සහ බුද්ධ පුත්‍රයා සම්මුඛ වු මොහොතේ ය.

 

බුද්ධ පුත්‍රයා:- වාසනා... මොකද ඔය මූණ තඩිස්සි වෙලා...?

වාසනා:- අඬපු හින්ද හාමුදුරුවනේ...

බුද්ධ පුත්‍රයා:- ඇයි... පරාක්‍රමල ගමෙන් ට්‍රාන්සර් වෙලා ගිය හින්ද ද...?

වාසනා:- ඒකා ගියේ මගේ බඩට දරුවෙකුත් දීල.

බුද්ධ පුත්‍රයා:- වාසනා... සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවි දාල ගියහම යසෝදරා දේවි ඇඬුව ද... වෛර කළා ද... නෑ නෙ... රාහුල කුමාරයා ඉපදුණා විතරයි නෙ... ඒ උනාට යසේදරා දේවි රාහුල කුමාරය උස්-මහත් කරල ආයෙ සාසනේට ම පූජ කරා නේද...?

 

මෙරට වෙසෙන බොහෝ පැවිදි පිරිස් මිනිස් ජීවිතයේ සියලු ප්‍රශ්න ආගමානුකුලව විසඳිය හැකි යැයි ද, ආගමානු කුලව එයට මුහුණ දිය යුතු යැයි ද විශ්වාස කරති. නමුත් යථාර්ථය ඊට වඩා කටුක ය. ඒ කටුකත්වය කෙසේද යන්න අවම වදන් කිහිපයකින් වාසනා බුද්ධ පුත්‍රයාට මෙසේ පැහැදිලි කර දෙන්නී ය.

වාසනා:- යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ...

ඉන් ඔබ්බට යමක් විමසන්නට හෝ බණ දෙසන්නට බුද්ධ පුත්‍රයාට අවකාශයක් නොලැබෙන්නේ ය. ඒ, යථාර්ථයට පිළිතුරු සපයන්නට ආගම අපොහොසත් වන බැවිනි.  

දැවෙන විහඟුන්' ඇසුරින් දෘෂ්ටිවාදය, දේශපාලනය සහ සෞන්දර්ය න්‍යාය ගැන.., |  Lanka Views | Views of the truth

මෙම අධ්‍යක්ෂවරයාගේ ම නිර්මාණයක් වූ ‘‘දැවෙන විහඟුන්’’ සිනමාපටයේ ද මෙවන් කාන්තා චරිතයක් හමු විය. නමුදු ‘‘ඉගිල්ලෙන මාළුවෝ’’ සිනමා නිර්මාණයේ එන කාන්තාව මුහුණ දෙන්නේ ‘‘දැවෙන විහඟුන්’’ නිර්මාණයේ කාන්තාව මුහුණ දෙන ඉරණමට වඩා බෙහෙවින් ම දරුණු ඉරණමකට ය.

 

ටිම්රාන් කිර්ති කවියා සිය කවියෙන් පිළිබිඹු කළේ සිය දරුවන් පෝෂණය කිරීම උදෙසා ගණිකා වෘත්තියේ නියැළි මවට වැඳීම ප්‍රතික්ෂේප කරන දියණියක පිළිබඳව ය. සංජීව අපට සම්මුඛ කරන්නේ දරුවන් අටදෙනෙකු රක්ෂා කිරීම සදහා එක් මිනිසෙකු සමග යහන්ගත වූ වරදට සිය මව ඝාතනයට ලක් කරන පුතෙකු පිළිබඳ පුවත ය.

මෙහි දී අපගේ අවධානය යොමු විය යුත්තේ එම මව පිරිමියෙකු සමග ලිංගික සම්භෝගයේ යෙදීම වරදක් ය යන්න පිළිබද හෝ ඇය ඝාතනය කළ පුතා පංචානන්තර්ය පාපකර්මයට හසුවු පුද්ගලයෙකු ද යන්න නොවේ. ඔවුන් දෙදෙනා ම එබදු ඛේදවාචකයකට මුහුණ පැමට බලපැ සාධක පිළිබඳව ය. නමුදු සමාජ අවධානය යොමු නොවන්නේ ම ඒ පිළිබදව ය. එසේ වනවා නම් ඒ තරුණ සිසුවාට පාසලේ දී ඔහු සමග ඉගෙනගන්නා මිතුරන්ගෙන් අපහාස විදින්නට සිදු නොවන්නේ ය; විදුහල්පතිවරයා අශික්ෂිත ආකාරයෙන් ඒ දරුවාට බැණ වැදී, අමානුෂික ලෙස පහර දී පාසලෙන් නෙරපා හරින්නේ ද නැත. ඔහු මව කෙරෙහි වෛර බැදගන්නේ ද, අවසන මව ඝාතනය කිරීමට තරම් දරුණු වන්නේ ද පාසල් අධ්‍යාපනයේ වරදක් හේතුවෙන් යැයි කීව ද නිවැරැදි ය. මන්ද පාසලෙන් ලැබිය යුත්තේ පොතපතේ දැනුම පමණක් නොවේ. සමාජය ශික්ෂණය කිරීම ද පාසල් අධ්‍යාපනයේ වගකීමකි. විදුහල්පතිවරයා තම ශිෂ්‍යයාගේ මවට වේසාවියක ලෙස දොස්පවරන විට එහි අනිටු ඵල විපාකය ගැන අවධානය යොමු කළ යුතු ය. නමුදු අපේ රටේ සිදුවන්නේ ම එහි අනෙක් පාර්ශ්වය යි. එබදු තත්ත්ව තුළ සිදුවන්නේ යහපත් සමාජයක් බිහිවීම වෙනුවට අයහපත් සමාජයක් බිහිවීම ය. හතර පෝයට සිල් ගැනීමෙන්, ඉරිදා දහම් පාසල් යාමෙන්, ඉරිදාට පල්ලි යාමෙන්, ඉඩ ලද හැම විටෙක ම කෝවිලට යාමෙන් හෝ සිකුරාදාට පල්ලි යාමෙන් පමණක් යහපත් සමාජයක් ගොඩනැගිය නොහැකි ය. කිසියම් කලා නිර්මාණයක් විඳීමෙන් ඉක්බිති අපි ඉතිරි කරගත යුත්තේ එහි යටිපෙළෙහි අන්තර්ගත මෙවන් කරුණු ය; පිළියම් යෙදිය යුත්තේ ඒ යටි පෙළෙන් මතුවෙන ගැටලු සඳහා ය.

ඉගිල්ලෙන මාළුවෝ' චිත‍්‍රපටය සහ ආණ්ඩුවේ නිරුවත – Vikalpa

 

LTTE සංවිධානය වසර තිහක් තිස්සේ යුද වැදුණේ තම වාර්ගික ගැටලුවට විසදුම් සොයනු වස් ය. නමුදු එම අරගලය තුළ දී වුව ද එම සංවිධානය විසින් දෙමළ ජනයා අනේක විධ පිඩාවලට ලක් කරන ලදී. ඒ පීඩාවල අංශු මාත්‍රයක් හෝ පිළිබිඹු කරන්නට ද අධ්‍යක්ෂකවරයා සමත් වී ඇත. ඒ, LTTE සංවිධානයට කප්පම් ගෙවීම අතපසු කළ වරදට මරණ දඬුවමට ලක්වන, රාජ්‍ය සේවකයෙකු යැයි හැඟෙන පුද්ගලයා ගේ (සංජීව දිසානායක) ඝාතනය යි. එම සිදුවීමේ දී LTTE ප්‍රාදේශීය නායකයා විසින් මරණයට පත්කරන ලද පුද්ගලයා මරා දැමීමට ඔවුන්ට වුවමනාවක් තිබුණේ ද යන්න ද සැක සහිත ය. මන්ද පළමුව ඔහු වෙඩි තබන්නේ බල්ලාට ය. එය ඇතැම් විට ඉඟියක් විය හැකිය. එයින් කලබලයට පත්වන එම පුද්ගලයාගේ බිරිඳ ද කලබලයට පත්වන්නී ය. සැබැවින් ම ඒ මොහොතේ ඝාතනයට ලක් වූ පුද්ගලයා දිව යන්නේ බිරිඳට කුමක් වූවා ද යන්න පිළිබඳ සොයා බැලීමට විය හැකි ය. නමුදු LTTE ප්‍රාදේශීය නායකයා ප්‍රමුඛ පිරිස සිතන්නේ නිවෙස් හිමියා තමන්ට ප්‍රහාරයක් එල්ල කරන්නට සුදානම් වනු ඇති බවයි. එහි දී LTTE ප්‍රාදේශීය නායකයා ප්‍රමුඛ පිරිස ක්ෂණිකව ක්‍රියාත්මක වූහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ එම නිවෙස් හිමියා සහ බිරිඳ මිය ගොස් අසනිප තත්ත්වයේ පසුවන දියණිය අවතැන් වීම ය.

igillena 03

‘‘ඉගිල්ලලෙන මාළුවෝ’’ සිනමා නිර්මාණයේ වඩාත් ප්‍රබල කම්පනයක් අත් කර දෙන්නේ වාසනා විසින් පරාක්‍රම නමැති රණ විරුවාගේ ලිංගය කපා දමන අවස්ථාවේ දී ය. එය මෙතෙක් සිංහල සිනමාවේ අත් නොදුටු දර්ශනයකි; අත් දැකිය හැකි යැයි විශ්වාස කළ නොහැකි දර්ශනයකි. පුතකු (නිලංක දහනායක) විසින් සිය මව ඝාතනය කරන ලද දර්ශනය ප්‍රෙක්ෂක ප්‍රජාව කෙතරම් කම්පනයට පත් කළ ද එකී සිදුවීම අභිභවන තරමේ කම්පනයක් රණ විරුවාගේ ලිංගිය කපා දමන මොහොතේ ඇතිවීම පුදුමය දනවන්නක් නොවන බව මගේ පුද්ගලික විශ්වාසය යි. මන් ද එය සමාජයේ සැබැවින් ම සිදුවී තිබුණ ද, අපිට නුහුරු මෙන් ම දරාගැනීමට අසීරු බැවිනි. නමුදු එහි දී වාසනාගේ ආවේගය අසාධාරණ යැයි කිසිවෙකුට තර්ක කළ නොහැකි ය. මන් ද වාසනා මුහුණ පෑ ආකාරයේ අත්දැකීම්වලට මුහුණ දෙන කාන්තාවන් කෙරෙහි ධනාත්මක ලෙස සිතන්නට, කටයුතු කරන්නට තරම් අපගේ සමාජය දියුණු තත්ත්වයක නොපවතී. පවතින්නේ ම එබඳු චරිත තව දුරටත් තළා, පෙළා, සූරා කෑමට ලක් කෙරෙන සමාජයකි. එසේ නම් එම සිදුවීම ද ලාංකීය සමාජයට කදිම පාඩමක් උගන්වනවාට කිසිදු සැකයක් නොමැත.

 

සිනමාපටය අවසානයේ අධ්‍යක්ෂකවරයා අපුරු සංකේතීය රුපක පෙළක් ප්‍රේක්ෂක ප්‍රජාව හමුවේ තබයි. ඒ, සමාජ සම්මතයට අනුව වරදකාරයෙක්, වරදකාරියක් සහ අවතැන් වූ දැරියක් රියදුරෙක් නොමැති බස් රථයක ගමන් කිරීමට සැලැස්වීමෙනි. මෙහි දී රියදුරු රහිත බස් රථය යනු ම සම්මතයට අනුව වරදකරුවන් යැයි සලකන පිරිස් යහමගට යොමු කරනවා වෙනුවට ඔවුන් තව තවත් අයාලේ යන්නට ඉඩ හරින මේ සමාජ ක්‍රමය ම ය; ඔවුන් නිසි මගට යොමු කරන්නට, ඔවුන්ට නිසි මග කියා දෙන්නට කිසිවෙකු ඉදිරිපත් නොවන්නාක් බඳු සමාජ ක්‍රමය ම ය. අපි කළ යුත්තේ රියදුරෙක් රහිතව අයාලේ යන බස් රථයට රියදුරෙකු යෙදවිය යුතු සේ ම අයාලේ යන සමාජ ක්‍රමය නිසි මගට ගත හැකි පාලක පිරිසක් වෙත සමාජය බාර කිරීම ය. නමුදු එය ලාංකිය භූමියේ කවදා කෙසේ සිදුවේදැයි අවිනිශ්චිත ය.

 






jayasiri 04 e1619629387941ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/02/19 



ලේඛකයාගේ සිනමා විචාර කිහිපයක් :


ආදරය සහ ලිංගිකත්වය අතර මංමුළා වුණ 'එක දවසක අපි'

සිනමා : ගාමිණී ෆොන්සේකා, 71 කැරැල්ල සහ 'පවන රළු විය' -ජයසිරි අලවත්ත

සිනමා : 'වෙසක් පහන' කියා දෙන ජීවන යථාර්ථය - ජයසිරි අලවත්ත

පුරෂාත්මයේ බල බිඳලූ 'සත්‍යා දේවී' - ජයසිරි අලවත්ත

පොදු සතුරා හඳුනාගන්නැයි ඉඟි කරන 'පුර සක්මන'

ජීවිතය නමැති නදිය 'තරණය'' කළ යුත්තේ ඉවසීමෙනි.

‘‘වැලි පවුරු’’ යනු දෙමාපියන් උගත යුතු පාඩමකි.

යුද්ධයේ කටුකත්වය වටහාගත්තා නම්... 'ස්තුතියි නැවත එන්න'

නිශ්චිත මොහොතක පුපුරා යන ස්ත්‍රීයගේ පීඩනය 'සඳ යහනට'

සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’ - අනුෂ්කා කහඳගමගේ

‘The Dictator’’ චිත්‍රපටය තුළ සාකච්ඡා කරන්නෙ ඒකාධිපතියන් ගැන - චන්දන සිරිමල්වත්ත

 


Leader Whats app

 

 

 



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්