මට මාව නිදහස් කරගැනීම ලේසියෙන් කර ගත හැකි නොවේ. ඒ සඳහා අපිට වටාපිටාවක් ද නැත. පාපොච්චාරණය වැදගත් වන්නේ එවිටයි. තමන්ගේ
ආත්ම යහපත් කරගැනීම ද පව් සමාකරගැනීම ද ඔහුගේ ක්‍රියාවේ භෞතික හා සමාජීය ප්‍රතිවිපාක පිළිබඳ අනෙකාට සංජානනය කිරීමට ද මෙමඟින් ප්‍රබල හැකියාවක් ලැබේ. පාපොච්චාරණය මඟින් කෙනෙකුට උත්තේජකවීමත් සහ විරේචකවීමත් යන ගුණාංග දෙකම මනෝවිද්‍යාත්මකව මෙහි ඇතුළත් වේ.
අශෝක හඳගමගේ ඇල්බොරාදා සිනමා පටය මඟින් සිදුකරන්නේ මෙවැනිම ආකාරයේ පාපොච්චාරණයකි.


ඇල්බොරාදා චිත්‍රපටිය නරඹා සතියකටත් වඩා ඉක්ම ගිය ද චිත්‍රපටියෙන් මා තුළ ඇති කල කම්පනය තවමත් පහව ගොස් නැත. චිත්‍රපටියේ සිනමාරූපී බව, චරිත හැසිරවීම සහ චරිත මඟින් අප තුළ ඇති කළ දෝංකාරය ඒ තරම්ම ප්‍රබලයි.
කෙසේ වෙතත්, විත්‍රපටිය නැරඹීමට මා පිවිසෙන්නේම කවියාට සහ හඳගමට ඇති විවේචන ද හිතේ දරාගෙනයි. ඒ අතර සන්තියාගෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැබ්ලෝ නෙරුදාගේ නමින් නැවත නම් කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ ස්ත්‍රීවාදී කණ්ඩායමගේ ප්‍රතිවිරෝධතා පැමිණිම ගැන මා උනන්දු විය. ඔහුගේ දියණිය වන මල්වා මරීනා අතහැර දැමීම සහ 1929 දී නෙරූඩා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සේවය කරමින් සිටි ලංකාවේ සේවිකාවකගේ දූෂණය පිළිබඳ ස්ත්‍රීවාදී විවේචනය ද ඒ අතර විය. ඇත්තටම මා තුළ ඇති කළ තවදුරටත් කුතුහලය වූයේ, හඳගම වැන්නෙකු නෙරුදා වැනි සංකේත බලයක් ගොඩනඟා ගත්තෙකුගේ චරිත ඝාතනය සිදුකළේ ඇයි යන්නයි. නමුත් මේ පිළිබඳව, පුර්ව උපකල්පන දෝෂ හැකිතාක් මඟහරවා ගනිමින් නිර්මාණය රසවිඳීමට මා ද මගේ ස්ත්‍රීවාදී මිතුරියන් දෙදෙනා ද වගබලා ගත්තෙමු. චිත්‍රපටිය පිළිබඳව අප තුළ ඇති වූ කුතුහලය ද පූර්ව උපකල්පන පිළිබඳ ඌණ පූරණයන් ද නිවරදි ස්ථානයක තැබීමට හඳගමගේ මේ උත්සාහයෙන් සමත් වී ඇති බව චිත්‍රපටිය නැරඹීමෙන් අවසාන වශයෙන් තීරණය අපි තීරණය කළෙමු.
ඒ නිසා ඉහතින් සඳහන් කළ සන්තියාගේ ගුවන්තොටුපළ නම් කිරීමේ ගෞරවයට “වටින්නේ නැතිය යනුවෙන් තර්ක කළ ස්ත්‍රීවාදීන්ට හඳගමගේ මේ වෑයම තවදුරටත් අනුප්‍රාණයක් චිත්‍රපටිය මඟින් සපයා ඇත. ඒ අනුව, හඳගම මේ නිර්මාණයෙන්, මේ සියවසේ මහා කවියා පිළිබඳ ෆැන්ටසිය සුනු විසුනු කර දමන අයුරු චිත්‍රපටි ශාලාවේ සිට අප බලා සිටියෙමු. සිවිල් බලයක් ගොඩනඟා ගෙන ඇති නෙරුදා වැනි චරිත චේතනාන්විතව යොදා ගැනීම සම්බන්ධයෙන් හඳඟමට ගල් වරුසා වැටෙනවා ද අප බලා සිටින්නෙමු. නමුත් මේ විත්‍රපටිය ජාත්‍යන්තරයේ දිගහැරනෙ විට සන්තියාගෝ ගුවන්තොටුපළ නෙරුදාගේ නමින් නම් කිරීමට විරුද්ධ වූ ස්ත්‍රීවාදිණියෝ ද මම ද මා සමඟ මෙම චිත්‍රපටිය නැරඹීමට ගිය ස්ත්‍රීවාදී මිතුරියන් ද ඔබගේ වෑයම වෙනුවෙන්, ඔබට මල් එවමි. ඔබව නිවරදි ලෙස ස්ථානගත කරමි. නිර්මාණකරුවෙකු වශයෙන් හඳගමට, එසේ කිරීමට ඇති අයිතියට ද අපි ගරුකරමු. ඒ නිසාම ස්ත්‍රීවාදී ප්‍රවේශයකින් චිත්‍රපටිය කියවා ගැනීමම හඳගම සාධාරණීයකරණය කිරීමට තවදුරටත් පහසු වේ.

මගේ ආස්ථානය අනුව චිත්‍රපටියෙන් නිරූපණය කරන්නේ බොහෝ පිරිමින්ගේ සක්කිලිකමයි. වසල බවයි. පිරිමින්ගේ නොතිස් ආශාව ඉෂ්ඨ කර ගැනීමට ස්ත්‍රිය පාවිච්චි කිරීමයි. අතහැරීම සඳහා සිදුකරන කමකට නැති සාධාරකරණයයි. එවැනි චර්යාවන් නිසා පීඩාවට පත්වන සංකේත බලයක් ගොඩනඟා ගත් ස්ත්‍රීන්ගේ විලාපයයි. ශෝකාලාපයයි. අගතියට පත් ස්ත්‍රීන්ගේ පාපොච්චාරණයයි. ඒ ඒ චරිත අභ්‍යන්තරයේ හඳගම ද අනෝමා ද සැරිසරයි.
ඒ හා සමාන ස්ත්‍රීන් ද පුරුෂයින් සහ අප වැන්නන් ද සැරිසරයි.කෙනෙකු වසළයෙක් හෝ සත්පුරුෂයෙක් වන්නේ ඔහුගේ චරිත සමාජය තුළ හැසිරෙන ආකාරය බව බෞද්ධ අපිට නුපුරුදු යෙදුමක් නොවේ. නමුත් හඳගමගේ මේ වෑයම නෙරුදාව සත්පුරුෂයෙකු හෝ අසත්පුරුෂයෙකු කිරීම නොව මනුෂ්‍යෙයකු වශයෙන් චරිත අභ්‍යන්තරයේ අඳුරු පැතිකඩයන් ප්‍රේක්ෂකයා හමුවේ තැබීමයි. ඔහුගේ චරිත අභ්‍යන්තර ස්වභාවය නිසාම ඇයට සැබැවින්ම ප්‍රේම කරන ගැහැණිය වදයක් කරදරයක් සේ පෙනෙයි. ඔහුගේ ගේ අභ්‍යන්තරය තුළ හොල්මන් කරයි.
චිත්‍රපටියේ කේන්ද්‍රීය කතන්දරය යොමුවන්නේ, ජොසී බ්ලීස්ට හොර රහසේම ලංකාවට එන ඔහු වැල්ලවත්ත නිළ නිවසේ දී සිදුකරන්ට යෙදුණු ස්ත්‍රී ඇසුර මෙන්ම දුෂණය ද අපිට එකසේ හඳගමානු සිනමා භාෂාවෙන් නිරූපණය කරනු ලැබීමයි. පැට්සි නම් ඉංග්‍රිසි බස මෙන්ම විලාසිතා අනුගමනය කරන ස්ත්‍රීය, සේලරුවන්ගේ ආදරය පිළීබඳ අවබෝධයෙන්ම නෙරුදා සමඟ සම්බන්ධතාවයේ පැටලේ. එකට මධුපානයේ නිරත වේ. ඔහු පාර්වතීගේ රූපය දැක පාර්වතීට ආශක්ත වේ. පසුව වැසිකිලි පිරිසිදු කරන්නට එන “සක්කිලි කාන්තාව තුළින් ද නෙරුදා පාර්වතීව දකියි. ඔහුගේ චිත්ත අභ්‍යන්තරය ඉල්ලා සිටින නොසංසිඳෙන ලිංගික ආශාය ඉටුකර ගැනීම සඳහා සක්කිලි ස්ත්‍රිය දුෂණය කිරීමට පෙළඹේ .

නෙරුදාගේ බුරුම පැන්තරී නමින් පරිකල්පනය කරන ජොසී බ්ලීස්ව, ඇගේ ප්‍රේමය නිරූපණය කරන්නේම නෙරුදා නමින් දිවි වුණත් පූජා කරන්නට සුදානම් වූ ස්ත්‍රීයක් විලාසයෙනි. ඇය නෙරුදා සොයාගෙන ලංකාවට පැමිණ හඬා වැලපේ. පිටතින් සංවේ දී වුවත් ඇතුලතින් සංවේදී නොමැති, දැඩි හදවතක් ඇති නෙරුදා පාමුල වැද වැටෙයි.ඇගේ කදුළු ගංගා කිසිම භාව ප්‍රතිචාර නොදක්වමින් ඔහේ ගලා යයි. ගල් පිළිමයක් සේ සිටින නෙරුදාට නොඇසෙයි. නොසැලී සිටියි. චිත්‍රපටියේ මෙම සිද්ධිය නෙරුදාගේ අඳුරු සහ ඇතුළාන්තයටම යොමු වූ චෛතසිකයින් කදිමට නිරූපණය කරන ලද්දකි. ජොසී බ්ලීස් අප අතරේම සිටින ගැහැණිය නිසා ඇගේ වැළපිල්ලට මගේ හදවත තුළ විශාල ඉඩක් ස්වයංක්‍රියවම ගොඩනැඟිණි. ඇගේ ශෝකයට මා තුළ ඇති ඉඩකඩ වෙන් වෙන්නේම මෙවැනි සංකේත බලයක් හිමිකරගත් නෙරුදා වැනි පිරිමි ආත්ම ඕනෑ තරම් අපිට එදිනෙදා මුණ ගැසෙයි. මෙවැනි සංකේත සොයා රූපවාහිණී චැනල් ලඟ, දේශපාලඥයින්ගේ කාර්යාල ලඟ, විශ්වවිද්‍යාල වල ආචාර්යවරුන්ගේ කාමර ලඟ, සංගීත සන්දර්ශන පිට්ටනි ලඟ අපිට හමුවන ස්ත්‍රී චරිත වේ. ඒ නිසා හඳගම, මේ ගල්වරුසා එන බව කල් තියා දැන දැනම චිත්‍රපටිය තුළට ඒ සිද්ධි දාමය ඔහුගේ පරිකල්පනය හරහා අපිට දැනෙන්ට සලස්වයි. නෙරුදාගේ චරිතය මඟින් හඳගම ගොඩනඟන්නේම කොළඹ කේන්ද්‍රීය මැද පාංතික බුද්ධිමය කණ්ඩායම් ආශක්ත වී ඇති නෙරුදාගේ චරිතය පමණක් නොවේ.

නෙරුදාගේ ලංකාවාසයේ හුදකලා බවත් අභ්‍යන්තර සංකාවන් ද මුදා හැරීම සඳහා යොදා ගනු ලබන්නේ ඔහුව ආකර්ශණය කළ පාර්වතී හා සමාන සක්කිලි ස්ත්‍රීයයි. පාර්වතීගේ නියෝජනය තුළ හඳගම මතුකරන්නෙම ආගම කවදාද සක්කිලි ස්ත්‍රින් වැනි පහළ පංතියේ ජනතාව දෙස අනුකම්පාව දැක්වූයේ යන්නයි. ඒ නිසා මෙතන ස්ත්‍රි දේශපාලනය පිළිබද අදහස බලය පිළිබඳ සාධකය කදිමට නිරූපණය කර ඇත. නෙරුදාගේ ලිංගික ග්‍රහණයෙන් පසුව සක්කිලි කාන්තාව මහ මුහුදට පැන කිලි සෝදා ගන්නේ මුහුදු ජලය ස්නායෙනි. බොහෝ පිරිමින්ට අවශ්‍ය වන්නේ ස්ත්‍රී ශරීරයකි. තමන්ගේ හිතේ තිබෙන ස්ත්‍රී චරිතය. ඒ පිග්මේලියන් කම්පෙලෙක්ස් එකට ( The Pygmalion Complex ) සමාජ ස්ථාරයනයේ ස්ථානගත කරන, සක්කිලි කම අදාළ වන්නේ නැත. ඒ නිසා නෙරුදාගේ සැබෑ චරිත ස්වභාවය හඳගම ඉදිරිපත් කිරීම නෙරුදාට ඇලුම් කරන, උත්කර්ෂයට නංවන බොහෝ ප්‍රේක්ෂකයාට මෙය දිරවන්නේම නැත. නමුත් නෙරුදාගේ සංකීර්ණ විභවතා චිත්‍රපටිය තුළින් හඳගම මනාව නිරූපණය කර ඇත. යටත් විජීතවලින් නිදහස සහ යුක්තිය පැතූ නෙරුදා ස්ත්‍රීය පීඩනයට පත්කළේය. මේ බයිනරිය චිත්‍රපටිය තුළින් මැනවින් නිරූපණය කර ඇත. නෙරුදා සහ රත්නේ අයියා සමඟ ඇති වූ සංවාදයේ දී යටත්විජිතකරණය පිළිබඳ නෙරුදාගේ ස්ථාවරය කදිමට නිරූපණය කරනු ලබයි.

හඳගමගේ ඇල්බොරාදා ද සමන් වික්‍රමරාච්චිගේ “මට මතක මම ද” කියවද්දි මා තුළ ඇති වූයේ හඳගම නෙරුදාව ස්වයංචරිතාපදානයේ ඇති අයුරින්ම ඉතා සමීපව තබා ඇති බවයි. හඳගමගේ චිත්‍රපටිය සම්බන්ධයෙන් විවේචන එල්ල වුවත් හඳගම ඇල්බොරාදා තුළින් ද සිනමා කර්මාන්තය තුළ වැඩ්ඩෙක් බව තවදුරටත් පසක් කරනු ලැබේ.
හඳගමානු සිනමාව තුළ ප්‍රතිරූප බිඳ දැමීමට ඇති ශක්‍යතාවය ඔහුගේ බොහෝ නිර්මාණ තුළ අප දැක්කෙමු. සංකේත කුඩු පට්ටම් කිරීමට හඳගමට හැකියාව ඇත. ඒ අතර ලොවක් වශීකල නෙරුදා නෙරුදාව දැකීම, හඳගම හඳගම දැකීම සහ පිරිමි මෙන්ම සක්කිලි පිරිමියා ද අවදිවීම චිත්‍රපටිය තුළින් අපිට අතහරින ගල් බෝරයයි. බොහෝ පිරිමින්ට අනුන්ගේ ගැහැණුන් පිළිබඳව යුක්තිය මනාව ඉටු කිරීමට හැකියාව ඇත. නමුත් ගෙදර ගෑණී හෝ තමන් අතින් අනෙක් ගැහැණුන්ට සිදුවන අපකීර්තිය, පීඩනය මෙන්ම අයුක්තිය ද හිතාමතාම බැහැර කරනු ලබයි. කවියෙක් සිනමාකරුවෙක් හෝ සාහිත්‍යකරුවෙක් හෝ කලාකරුවන්, දේශපාඥයෙක් විශ්වවිද්‍යාල ඇදුරෙක් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් ද ගොඩනඟා ගෙන ඇති ප්‍රතිරූපය කඩාබිඳ දැමීමේ හඳගමගේ නිර්භීත සිනමා භාවිතය අගය කරමි. ලෝක පූජිත විප්ලවාදී කවියා පිළිබඳව මහා ආඛ්‍යාන කුඩා ආඛ්‍යාන බවට ලඝු කිරීමත් දේශපාලන භාවිතය පිළිබඳ ප්‍රශ්න කිරීම ඔහුගේ සිනමා භාවිතය තුළ සුවිශේෂි වේ.

එසේම හඳගමගේ සිනමා නිර්මාණයෙන් මතුකරන දේශපාලනය, නිදහස පිළිබඳ කතිකාවට මා බෙහෙවින් ආසක්ත වෙමි. ඔහුට තුන්කල් දක්නා නුවණක් ඇත. යටත්විජීත කරණයෙන් නිදහස ලබා ගැනීමේ දී ලාංකීය අනාගාරික ධර්මපාල පරපුර පාරම්බාන නිදහස පිළිබඳ ව්‍යාපරය ගැන නෙරුදාගේ කියවා ගැනීමම බාහිර පාර්ශවයක් ලෙස කෙතරම් අගනේ ද? අපි තවත් නිදහස් ජාතියක් ද? උදේ සිට සවස් වනතුරු මාධ්‍ය හරහා රටකරවන ඇත්තන් හා ඔවුන්ව රකින රත්න අයියා වැන්නන් ද මේ චිත්‍රපටියෙන් කදිමට නිරූපණය කර ඇත. රතන අයියාට මෙන්ම නිදහස පිළිබඳ පාරම්බාන බොහෝ මුර බල්ලන්ට ද කීමට ඇත්තේ නෙරුදා වැනි රාජ්‍යතාන්ත්‍රිකයන් කාමභෝගී ජීවිත ගතකරමින් අපිට කෝචොක් කරමින් සිටින බවයි. අපිට විරෝධතාවය පෙන්නුම් කළ හැක්කේ, කක්ක බෙට්ටක් දැමීම වැනි ග්‍රාම්‍ය විරෝධයකිනි.
ඇල්බොරාදාහි නෙරුදා වැසිකලි සේදීම ඉලපත අතට ගැනීම අසූචි බාල්දිය ගෙන මුහුද දෙසට යෑම තරම් සරල නැත. නෙරුදාට කැමති බොහෝ අයට මෙය ලඝු කිරීම දැක බලා ගැනීම අපහසු වුණත් නෙරුදාගේ ගැඹුරු චෛතසිකයින් මෙම අවසාන දර්ශනයෙන් නිරූපණය වේ.
නෙරුදාගේ බුරුම පෙම්වතීට ද සක්කිලි ස්ත්‍රියට ද රතන අයියාගේ රඟපෑම ද මගේ හද තුළ නිතර සැරිසරයි. මාව කම්පනයට පත් කරයි. ලයනල් වෙන්ඩ්ට් පිළිබඳ කියවීමේ උනන්දුව ඇති කරයි. රක්තවර්ණයෙන් පූර්ව අපර ගළපා ගොඩනැඟු චිත්‍රපටියේ සිනමාරෑපී බව, පසුතල නිර්මාණ, ජීවිත ගවේශණය, යටත්විජිත ඉතිහාසය, සක්කලි ජ්‍රජාව හැදෑරීම පිළිබඳ ඉඟි අධ්‍යයනය කරන්නන්ට චිත්‍රපටිය පුරාම ලබාදෙන උත්තේජනය වේ. සංකේත බහුල චිත්‍රපටියකි. ඇල්බොරාදා ගොඩනැඟීම වෙනුවෙන් හඳගම විසින් තැබූ බුද්ධිමය වෙහෙසට ගල් ගසා සිටි චිලි ස්ත්‍රීවාදින් මෙන්ම ලෝකවාසී ස්ත්‍රීවාදීන් මල් එවනවා නිසැකයි. කවදා හෝ දවසක හඳගම මැරුණත් ඔහුගේ මොළය සහ සිනමාභාවිතය පිළිබඳව ආම්පන්න සියවස් ගණනාවක් බලාගැනීමට කටුගෙයක තැන්පත් කළ යුතුයි.තවත් පරම්පරා ගණනාවක් ඔහුගේ සිනමාවෙන් පෝෂණය විය යුතුයි.

නෙරුදා නෙරුදාව දැකීම, හඳගම හඳගම දැකීම සහ තවත් සක්කිලි පිරිමින් අවදිකිරීමේ පාපොච්චාරණයට මේ අපගේ මල් කලඹයි. පාපෝච්චාරණයෙන් මට මාව නිදහස් කර ගැනීමට හැකිය.

Social Work Educator and Social Worker
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2022.02.28
ලේඛිකාවගේ වෙනත් ලිපි :
නිදහස් දා නිවහල් සිතුවිලි - (චන්දිමා ජයසේන)
සන්ධ්‍යා නම් සංස්කෘතික ගැහැණිය - චන්දිමා ජයසේන
ජංගි හොරා : සෝමේ මාමාගේ වැඩිවිය පැමිණිම - (චන්දිමා ජයසේන)
විකල්ප දේශපාලනයේ නව දිශානතින් -චන්දිමා ජයසේන
පෙම්වතුන් වසංගතයන්ට ගොදුරුවිය හැකියි- කොවිඩ් හනිමුන්