ප්‍රවීන සාහිත්‍යවේදී කිවිපති අජන්ත සෙනෙවිරත්නයන්ගේ ජාතික කලා මෙහෙවර ඇගයීමට ලක් කිරීම උදෙසා උපහාර උළෙලක් ඔහුගේ සහෘදයන් පිරිසක් විසින් සංවිධානය කර තිබේ.

"ආ මග දිගේ, අජන්ත සෙනෙවිරත්න ජාතික කලා මෙහෙවර මතකාවර්ජනය" ලෙස නම් කර ඇති මෙම උළෙල පැවැත්වෙන්නේ 21වෙනි සඳුදා සවස 4.30ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීයි.

මේ වනවිට ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ඔහු වෘත්තීමය වශයෙන් වරලත් ඉංජිනේරුවෙකි.

පුවත්පත් ලේඛනය ඔස්සේ සාහිත්‍යකරණයට පිවිසි අජන්ත සෙනෙවිරත්නයන් මේ වනවිට ග්‍රන්ථ 17ක් ජාතියට දායාද කොට තිබේ. ඒවා අතර නවකතා 9ක් තිබේ. මම අවංකයි, අපි අපිම, දැක නුදුටු පෙර නිමිති, අකාල ප්‍රේම, නොමියෙන පෙම්වතුන් වැනි නොයෙකුත් ප්‍රස්තූත ඔස්සේ ලියවුණු නවකතා ඊට ඇතුලත්ය.

ඔහු විසින් රචිත රාහුලයෙක් උපන්නා සහ පුත් පෙමෙන් නම් නව කතා දෙක, රාහුල මහා තෙරුන්ගේ චරිත කතාව සහ සුදොවුන් මහා රජුගේ ජීවිත කතාව අළලා ලියැවුණු බෞද්ධ සාහිත්‍යමය නවකතා වේ. එම චරිත දෙක ගැන ලියැවුණු ලොව පළමු පොත් හැටියට ඒවා හැඳින්විය හැක.

කෙටිකතා 3ක්ද, කාව්‍ය සංග්‍රහ 2ක්ද වේ.

 මීට අමතරව ඔහු විසින් සිංහලට පරිවර්තනය කරන ලද ව්හෝ මොවෙඩ් මය් චීස් ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය "දිවිමග දිනන මග" ග්‍රන්ථය වැඩි පිරිසකගේ අවධානයට යොමු වූයේ එය මීට පෙර භාෂා හතළිහකට පරිවර්තනය වී තිබුණු බැවිනි.

ඔහු විසින් සම්පාදිත "සිත මනස සහ නොමියෙන මග" බෞද්ධ විමර්ශන ග්‍රන්ථය සංසාර ගමනේදී කර්මයේ භාව සංක්‍රමණය ගැන අපූරු විවරණයක් සිදු කරයි.

මෑතකදී නිකුත් වූ "දෙමුහුන් පාරිභෝගිකයා" අලෙවිකරණ ග්‍රන්ථය කුඩා හා මධ්‍ය පරිමාණ  සිංහල ව්‍යාපාරිකයාට නූතන අලෙවිකරණය පිළිබඳව මනා අවබෝධයක් ලබා දේ.

වසර 30කට අධික ව්‍යාපාරික පරිපාලනය පිලිබඳ අත්දැකීම් වලින් යුත් අජන්ත සෙනෙවිරත්නයන්ගේ එම ග්‍රන්ථය සම්ප්‍රදායික වෙළඳ උපක්‍රම වෙනුවට ඩිජිටල් යුගයේ උපක්‍රම භාවිතයට කරන ආරාධනයක් වැනිය.

අජන්ත සෙනෙවිරත්නයන් කවියට උපන් සමතෙකි. විශේෂයෙන්ම සදැසට ඔහු බොහෝ ප්‍රිය කරයි. ඔහුගේ කවි මෙහෙවර අගය කිරීම වෙනුවෙන් අගනුවර කවි සමාජය විසින් ඔහුව කිවිපති සම්මාන බුහුමන් පුද කරනු ලැබුවේය.

සමාජ මාධ්‍ය තුළද ඔහුගේ කාව්‍ය නිර්මාණ ජනප්‍රියය. ගේය පද රචනයෙන්ද අජන්ත සෙනෙවිරත්නයන් සුභාවිත ගීතයට මනා සාධාරණයක් ඉටුකරමින් ගීත රැසක් දායාද කර තිබේ. ආදරයයි අම්මා, හාදුවක් දෙනවාද, වෙනස, රාහුල, මන්දාකිනියේ, සංසාර දුක නිවනා, ජේසුනි ඔබ ජීවමානයි වැනි ඔහුගේ ගීතයන් රසිකයන් ඉතා ආදරයෙන් වැළඳගෙන සිටී.



සාහිත්‍යවේදියෙක් ලෙස ස්වකීය අනන්‍යතාව මනාවට සනිටුහන් කළ අජන්ත සෙනෙවිරත්නයන් ඇසිදිසි මාධ්‍යද ජයග්‍රාහී ලෙස අතීක්‍රමණය කිරීමට සමත් වී තිබේ. චරණ ටී වී නාළිකාව ජාතියට දායාද කරමිනි ඒ.



සම්ප්‍රදායික ටෙලිවිෂන් නාළිකා අභියෝගයට ලක් කරමින් "නුවණැසින් සැරිසරන්න" තේමාව යටතේ ඔහු ප්‍රබුද්ධ වැඩසටහන් දියත් කරමින් ජාතියේ බුද්ධි උද්දීපනයකට මං පෙත් හෙළි කොට තිබේ.

ජාතික නාළිකාවන්ට ආදර්ශයක් සපයන චරණ ටී වී නාළිකාව සැමටම නැරඹිය හැකි නාළිකාවක් වූයේ නම් අප රටේ ටෙලිවිෂන් මග බොහෝ ලෙසින් වෙනස් වීමට ඉඩ තිබුණි.

තම සාහිත්‍යකරණ මෙහෙවර තුළ වත්මන් තාක්ෂණික යුගයේ සමාජ විපර්යාස එනයින්ම සමාජ ගත කරමින් තරුණ පරම්පරාව සාහිත්‍යට ලැදි පිරිසක් කිරීමට ඔහු ගන්නා උත්සාහයට කෘතවේදී වෙමින් අප ඇතැම්විට අජන්ත සෙනෙවිරත්නයන් හඳුන්වන්නේ "ඩිජිටල් යුගයේ සාහිත්‍යවේදියා" ලෙසිනි.
 
 drertr
 
The Leader TV අද වීඩියෝ
 
 
 
 
 
 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්