1200 x 80 DMirror

 
 

කවියෙකු හෝ කිවිඳියක විසින් පබැඳ, සංගෘහිත කර එළිදක්වනු ලබන කාව්‍ය සංග‍්‍රහයක විවිධාකාර අනුභූති පදනම් කරගත් කවි තිබිය හැකි ය. එම


කවි අතර: ගණිකාවෝ, සල්ලාලයෝ, දේශපාළුවෝ, පේ‍්‍රමයෙන් පරාජිත පෙම්වතියෝ, පේ‍්‍රමවන්තයෝ, දරිද්‍රතාවෙන් පෙළන පීඩිත පංතියේ ජනතාවෝ,
මධ්‍යම පංතියේ ජනතාවෝ, ධනපති පංතියේ ජනතාවෝ මතු නොව සත්ව චරිත පවා හමුවිය හැකි ය. මේ ඇතැම් චරිත සමස්ත සමාජය දකින්නේ එකිනෙකට වෙනස් ලෙසිනි.

 

ඒ, එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ගෝචර නොවන චරිතයක් තවත් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට සුධීමතෙකු විය හැකි බැවිනි. අප එහි ධනාත්මකභාවය හෝ ඍණාත්මකභාවය මැනිය යුත්තේ අදාළ චරිතය සමස්ත සමාජය වෙත කරන බලපෑම අනුව ය. එකී බලපෑම කිසියම් සමබරතාවකින් යුතුව ඉදිරිපත් කළ හැක්කේ ස්වාධීන කවියෙකුට හෝ කිවිඳියකට පමණි. ඔහු හෝ ඇය සුදු-කළු චරිත වෙන් වෙන් වශයෙන් හඳුන්වා නොදෙන අතර එම චරිතයේ සුදු-කළු බව නිර්ණය කිරීමේ වගකීම පාඨක ප‍්‍රජාව වෙත පවරයි.

 

නමුදු ඔහු හෝ ඇය තමා සතුව පවත්නා කවි බස සහ කාව්‍යෝක්ති උපස්තම්භක කරගනිමින් අදාළ චරිතයේ කළු-සුදුභාවය උද්දිපනය කරයි. මෙය එක් පසෙකින් ගත් විට ප‍්‍රහේලිකාවක් බඳු ය. එසේ නම් කාව්‍ය පාඨක ප‍්‍රජාව කවි කියවිය යුත්තේ ප‍්‍රහේලිකා විසඳීම සඳහා දැයි කිසිවකු විමසන්නට පිළිවන. ඒ සඳහා ද නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි ය. මන් ද කවියක් මතු නොව ඕනෑම සාහිත්‍ය කලා නිර්මාණයක් නිර්මාණය කරන්නා හෝ කරන්නිය තමා ඇසු දුටු අනුභූතිය ඍජුව ම ඉදිරිපත් නොකරයි. ඔහු හෝ ඇය එකී අනුභූතිය ඉදිරිපත් කරන්නේ තමා සතුව පවත්නා දක්ෂතා උපස්තම්භක කරගනිමිනි. එසේ නම් එවන් සාහිත්‍ය කලා නිර්මාණයක ගැඹුරට කිඳා බැස එහි යටි පෙළ කියවාගත හැක්කේ හැක්කේ අදාළ ක්ෂේත‍්‍රය කෙරෙහි ඒ ඒ පාඨකයා හෝ පාඨකාව සතු දැනුමේ සහ විඳීමේ වපසරිය අනුව ය.


එවිට, සාමාන්‍ය ජනතාවගේ රසවින්දනය උදෙසා කිසිවක් ම නොකළ යුතු දැයි යමෙකු විමසිය හැකි ය. ඒ සඳහා දිය හැකි සරල ම සහ එක ම පිළිතුරක් නැත. පිළිතුරු දෙකක් පවතී. ඒ ‘‘ඔවු’’ සහ ‘‘නැහැ’’ යනුවෙනි.

 

එය වඩාත් පැහැදිලි කරන්නේ නම් සාහිත්‍ය කලා නිර්මාණකරුවකුගේ හෝ නිර්මාණකාරියකගේ සැබෑ වගකීම වන්නේ සාමාන්‍ය: රසික, පේ‍්‍රක්ෂක හෝ පාඨක ප‍්‍රජාව පය ගසා සිටින ස්ථානයෙන් මඳක් හෝ ඉහළට ඔසවා තැබීම ය. තවත් සරලව පවසන්නේ නම් ඉල්ලූමට සරිලන ආකාරයට සැපයීම නොව පවත්නා සමාජ, ආර්ථික, දේශපාලනික සහ ආගමික මඩ ගොහොරුවෙන් සාමාන්‍ය ජනයා ගොඩ ගැනීම ය.

 

එය සරල නොවිය හැකි ය; ජනප‍්‍රිය නොවිය හැකි ය; ආර්ථිකමය වශයෙන් ද අවාසිසහගත විය හැකි ය. නමුදු නිර්මාණකරණයේ නියැළෙන සැම පුද්ගලයකු ම තම නිර්මාණ භූමිකාවෙන් වැඩි ප‍්‍රමාණයක් වැය කළ යුත්තේ යට කී සද්කාර්ය සඳහා ය. එවිට ඔහු හෝ ඇය ජීවමානව නොසිටින යුගවල දී පවා ඔහුගේ හෝ ඇගේ නිර්මාණ ඇසුරු කරන පුද්ගලයෝ මඳින් මඳ හෝ තම ජීවන ගමන් මග සාර්ථකත්වය කරා රැගෙන යන්නට වෙර දරන බව සක් සුදක් සේ පැහැදිලි ය.


යට කී කාර්ය වඩාත් ප‍්‍රශස්ත මට්ටමෙන් සමාජ ගත කළ හැක්කේ කවි කිවිඳියන්ට බව මගේ පුද්ගලික හැඟීම ය. කවිය ඇසුරු කරන පිරිස අවම විය
හැකි ය. නමුදු එම පිරිස හෝ හැකි පමණින් කවිය තුළ රඳවාගනිමින්, ඔවුන්ට කවිය සමීප කරවමින්, කවියේ ගැඹුර අවබෝධ කරවිය හැකි නම් එය කවි ලියන පුද්ගලයන්ගේ මතු නොව කවි කියවා විඳින්නන්ගේ ද, ඔවුන්ගේ සමීපතමයන්ගේ ද යහපත පිණිස ම හේතු වන බව ඒකාන්ත ය.


277005398 10225548402353542 6850528744744501193 nදයා සුදසිංහ විසින් රචිත ‘‘දඬුකඳේ ගැසීමට නියමිතය’’ කාව්‍ය සංග‍්‍රය: කියවා, විඳ, එහි ගැඹුරට ගමන් කළ හැකි කිසිවෙක් වෙත් නම් ඔහු හෝ ඇය තමා මෙතෙක් සිටි ස්ථානයෙන් මඳක් හෝ ඉහළට එසවෙන බව ඉතා පැහැදිලි ය. මන් ද ඔහු සිය නිර්මාණ සඳහා පාදක කරගන්නා අනුභූති ද, එකී අනුභූති ‘‘කවි‘‘ බවට කැටි කිරීමේ දී උපස්තම්භක කරගන්නා කාව්‍යෝක්ති ද ඉතා සුක්ෂ්ම ය; මනහර ය; රසවත් ය.


කවියට ම වෙන් වූ බසක් නොපැවතිය ද, කවියාගේ හෝ කිවිඳිය සතුව පවත්නා වාග්කෝෂයෙන් අදාළ කවියට සුදුසු වාග් මාලා තෝරා බේරා ගැනීම කවි කිවිඳියන්ගේ වගකීමකි. එකී භාෂාව: විදග්ධ විය යුතු ද නැද්ද යන්න මෙන් ම සරල හෝ සුගම විය යුතු යන්න තීරණය කළ යුත්තේ කවියා අදාළ නිර්මාණයට පාදක කරගන්නා අනුභූතිය අනුව ය. මෙම කෘතියේ අන්තර්ගත බොහෝ කාව්‍ය නිර්මාණ ඊට නිදසුන් සපයයි.


මතු දැක්වෙන්ටෙන් ඊට කදිම උදාහරණ ද්විත්ව යුගලකි. මෙම නිර්මාණ කිසිවක් විසංයෝජනය නොකරන අතර මෙය ඉදිරපත් කරන්නේ කවියා සිය වාග්කෝෂය තුළ පවත්නා වාග්මාලා සුදුසු ලෙස සුදුසු ස්ථානයේ දී විදාරණය කරන ආකාරය පැහැදිලි කිරීම සඳහා ම ය.

 

 

ගජමන් නෝනා

 

පියකර තෙපුල මුවරද අමරස පවර
පැහැපත දෙපෙති රත ලවනත රඹ වටොර
ළැමපත පියයුරන් ගත් නෙත් සිත් පැහැර
ගජමන් එළඳ පොබ කළ හෙළ කවි පවුර

සන්තොස වඩන දුටු දන මන දෙබැම යුග

දුල් රන් පතින් සරසාගෙන සවන් අග
මල් මාවතක ඇවිදින් පිය හිමි සමග
කල්වාරියක දුක් වින්දා අතරමග

හිරු සඳු ලෙසට දුරු කළ ගනඳුරු ගගනා
නෙක මුනි වේරගම් ගොඩ හිමිවරු සොබනා
දැක අනුමෝදන්ව තුටු පහටුව සොඳිනා
ළඳ නුඹ වැලපුණේ කිම්දෝ තනි යහනා

පඬුරක් එළනු මිස දෙවිඳුන් ළඟ නාත
පිහිටට කෙනෙක් නැති විය නුඹ ළඟ පාත
සිටියත් රන් රුවට දිලිසෙන දුර ඈත
පින් මඳ වුණිද දැකගන්නට ඇලපාත

 

මෙම නිර්මාණය පුරාණ ගද්‍ය සාහිත්‍යයට නෑකම් කියන භාෂා විලාසයක් අපස්තම්භක කරගනිමින් රචනා කරන කවියා වර්තමාන යුගයේ අනුභූතියක්
කවියට නැගිම සඳහා උපස්තම්භක කරගන්නේ වෙනත් ම භාෂා ශෛලියකි.

 

හයි හීලස් ගලවන්න

 

කිඹුල්වත රජ බොජුන් හැරපියා
සංසාර ලෝදියේ මුවවිටට
ගිනි බින්ද කුමරාන
රත් පුළිඟු මරු සිටින දිසාවේ
මනු සතුන් තුන් බියෙන් මුදා ගත් මුනිඳාන
තුඟු සිරුර පරඬලා පතක් සේ කෘෂව

පුතිමුත්ත භේසජ්ජ ඉවසූ සමිඳාන

ජිවිතේ අපිස් බව දැකගන්න
පෝය දා හෙට උදේ ළබැඳිනිය
ආරාම පෙත් මගට පිවිසෙන්න
ගෙලේ ඇති මකර පච්චය වැසෙන
විස්කෝස් උරමාව සීරුවට පොරවන්න
බුදු මැදුරෙ වම් පැත්තෙ පඩිය උඩ
කල් ඇතුව ඉඳ ගන්න
චිකන් සැන්විච් තිබේ දවාලට වළදන්න
උණුවතුර බෝතලේ නෙස්කැෆේ පුරවන්න
රිලෝඩ් දා ගන්න දවසට ම ඇතිවෙන්න

මල් පියලි අතට ගෙන හෙට උදේ
දුක හිතෙන මෘදු හාදු අලවන්න
බෝ සමිඳූ ඇහැ අරියි
හයි හීල්ස් ගලවන්න

 

මතු දැක්වෙන්නේ ද තවත් එබඳු එකිනෙකට පරස්පරතා දැක්වෙන පද්‍ය යුගලයකි.

 

ප්‍රමිලා

 

තුන් කලේ මිහිරි වන මල් පැණි ද උරලා
තුන් රැලේ ගජන් කොපුලටත් වහ වැටිලා
කන් තලෙන් පහර කා වාසලෙන් පැනලා
කට නිසා දස්කොනුත් දඟ ගෙදර ප්‍රමිලා

නැබ යටින් මකර රුව ටැටුවකින් විදලා
රියැලිටි ප්‍රසංගෙක අපිත් ඇත දැකලා
මහ රජුගෙ මාළිගේ ගිනි සළඹෙ නැගිලා
නුඹ හොයන දස්කොන්ව හමුවුණි ද ප්‍රමිලා

හිත පිරෙන හීනයක් තරු අතර දැකලා
හිස රිදෙන විට රෑට සඳමඬලෙ ලැගලා
දියවන්න දිය මතට පිරිත් පැන් ඉසලා
මගහැරුණු කවි පදය හොයනව ද ප්‍රමිලා

 

අතීත සිද්ධි වාචකයක් වර්තමානය සමග ගළපන කවියා එදා මෙදා සිද්ධි වෙන් වෙන් වශයෙන් ගෙන ඊට සුදුසු බස සුදුසු ස්ථානයේ තබා ඇත. කවියට ම
වෙන් වූ බසක් නොමැති වුව ද අදාල කවියට සුදුසු බස සුදුසු තැන පෙළගැස්වීම කවියාගේ වගකීමක් බව මෙම නිර්මාණය තුළින් ගම්‍යමාන කෙරේ.
කවියට පඅදක කරගන්නා අනුභූතිය සමග සමපාත වන බස් වහරක් යොදාගැනිම ද කාව්‍ය රචක රචකාවන්ගේ දක්ෂතාවකි. මතු දැක්වෙන්නේ ඊට
කදිම නිදසුනකි.

 

යුනිෆෝම් ෆැක්ටරිය

 

ටාගට් නැති ජීවිතේ
තැවුල් ගිනි පුලිඟු මත
සුදු පොප්ලින් දිගාරින
කඳුළු වාටිය දිගේ
ඕවලොක් තද කරන

හිතේ දුක තවරලා
රෙදි පීස් එකින් එක
ගවුම් කරපටි කැපෙන
පඩි දාට විතරක් ම
සිනා සිග්සැග් මැවෙන

මල්ලිටත් එක්ක හෙට
අලුත් වාරෙට අඳින
යුනිෆෝම් අරගන්න


නුඹ තියා මුර පොළේ
රෑ මුරේ නිදි වරන
නිමා වෙන වැඩ මුරේ
සයිරමට පෙම් බැන්ඳ
සෙකියුරිටි ලොකු ඇන්ටි
රෙදි කෑලි හොය හොයා
දෙපරන්ද අතගාන

දැක දැකත් කහ ගැහුණු
දුවේ නුඹෙ සුදු ගවුම
තව තවත් ඔජවඩන
හිත ගලක් වගේ මැයි
යුනිෆෝම් ෆැක්ටරිය

 

ලංකාවේ දැනට ලියැවී ඇති හොඳම ආඛ්‍යාන කාව්‍ය ‘‘ගුත්තිල කාව්‍ය’’ බව මගේ පුද්ගලික අදහස ය. එහි 91 වන කවියේ සිට 101වන කවිය දක්වා වෙන්
වන්නේ බරණැස් පුර වරුණ ගෙනහැර පෑම සඳහා ය. කිසියම් කවියකුට හෝ කිවිඳියකට සිය නිර්මාණයක් සඳහා කිසියම් පුර වරුණක යෙදිය යුතු අවස්ථාවක දී ඔහු හෝ ඇය භාවිත කළ යුත්තේ අදාළ නිර්මාණයට පාදක වන කාලවකවානුවේ අදාළ නගරයේ පිහිටීම ය. එදා සංදේශ කාව්‍ය තුළින් ලංකාවේ විවිධ ප‍්‍රදේශ වර්ණනා කළ ආකාරයෙන් අද වර්ණනා කළ නොහැකි ය. එය කාලයට සාපේක්ෂව වෙනස් විය යුතු ම ය. දඹදෙණි සාහිත්‍යයේ ඇතුගල්පුර වර්ණනා කළ ආකාරයට අද වර්ණනා කළ නොහැකි ය. මෑතක මා කියවූ ප‍්‍රබන්ධ කෘති අතර එය ඉතා මැනවින් උද්දීපනය කරන්නට සමත් වි ඇති කෘතියක් ලෙස උපුල් ශාන්ත සන්නස්ගල විසින් රචිත ‘‘පිරිමි ගොඩයි මං විතරයි’’ කෘතිය හැඳින්විය හැකි ය. දයා සුදසිංහ කවියා ද ඊට නොදෙවෙනි ලෙස සිය කවිතාව උපස්තම්භක කරගනිමින් වර්තමානයේ පවත්නා කිරිබත්ගොඩ නගරය පිළිබඳ අපූරු ‘‘පුර වරුණක්’’ කවියට නගා ඇත. එය නම් කර ඇත්තේ ‘‘ ආදරණීය කිරිබත්ගොඩ’’ යන මැයෙනි. එම නිර්මාණයේ දී ද අදාළ නිර්මාණයට සාපේක්ෂ වදන් මාලාවකින් එය හැඩ ගැන්වීමට ඔහු දක්වා ඇති සමත්කම අගනේ ය.

 

ආදරණීය කිරිබත්ගොඩ

 

වැටෙන උදයේ ධවල තුහිනය
කියන්නෙ ම වැසි රැයක නුගුණය
කැලණි වෙහෙරට යොමා ඇසිපිය
ලියමි කිරිබත්ගොඩක රෙසිපිය

රැවුම් අපමණ ඉරේ මැදියම
තාර තීරුව රැයෙත් ගිනියම
ටවුම හිස මත සිඹින ඇහි බැම
ටියාරාවකි ට්රැෆික් පෝලිම

මෝටර් රිය පෙරහරක් අතරින
ස්ට්‍රේට් කොණ්ඩා ළඳුන් බැස එන
අයිස් චුම්බන ඩිස්කවුන්ට් දෙන
තාවතිංසය තිලකවර්ධන

රතු අකුරු කටු සැමිටි යුග කෙල
උදුල සේසත් දසත දුන් ලෙල
එගිනි පහසට සෙනෙහෙ පුද කළ
කැළණි කැම්පස් සිනිඳු කම්මුල

නියොන් අඩ අඳුරකට හුරුවුණ
නොනිදනා නගරයකි දිලිසෙණ
කදෝකිමියන් මතට බර වුණ
අලුත් පාරක දැවෙයි ගිනි ගෙන

ට්රැෆික් මංසන්දියේ පිරිපත
එදා සිග්නල් ඇසක ගිනි රත
නිවාලූ ඇගෙ කැලුම් බර නෙත
අගින් දුටුවෙමි කැරට් හදවත

 

මිනිසාට මෙන් කතා කිරීමේ හැකියාවක් තිරිසනකු සතුව නොපැවතිය ද සිතීමේ හැකියාවක් පවතින බව විශ්වාස කළ හැකි ය. විශේෂයෙන් ම සුනඛයන්
මෙම හැකියාව ප‍්‍රදර්ශනය කරයි. එවන් තිරිසනකුගේ සිතවිලි කැටි කර එය කවියට නැගීමට සමත්වන අය සිටින්නේ නම් ඒ ඉතා අල්ප පිරිසකි. ඒ අල්ප
පිරිස අතරට දයා සුදසිංහ කවියා ද ඇතුළත් කළ හැකි නිර්මාණ ද්විත්වයක් ඔහු මෙම නිර්මාණයේ අන්තර්ගත කර ඇත. ඒ, ‘‘මැතිනිය සහ මෙනෙවිය’’ සහ
‘‘සුනඛ පෙම්වතෙකු නිරෝධායනයේ’’ යන නිර්මාණ ද්වය යි. මේ නිර්මාණ ද්වය අතුරෙන් ‘‘මැතිනිය සහ මෙනෙවිය’’ නමැති නිර්මාණය වඩාත් සංවේදි
නිර්මාණයක් ලෙස මට හැගිණ. තවකෙකුට අනෙක් නිර්මාණය වඩා සංවේදි විය හැකි ය.

 

මැතිනිය සහ මෙනෙවිය

 

ඇස්වාට්ටුව හංදියේ

ඇම්බර් පාට සිග්නල් ඇස
වෙනදාට වඩා බොරපාටට
ගැස්සී ගැස්සී දැල්වෙන

අද දවල් නෑවේ
දවටගහ පල්ලිය ගාව
කඳුළු කරාමෙන්
හරිම මෝඩයි මං
බයේ හැංගුණ එක
ඔටාරා මැතිනිය එන විට

මේ ජිවිතේ මොකටද
බුරන්නවත් හැටියක් නැති කොට
පිටස්තර එකියක් දැක්කම

මැතිනිය ආයෙමත් එන දාට
එක්කං එනවා නේද
බූල් වැක්කෙරෙන
ඔඩොක්කුවේ සල්සා නටන
දම්පාට බෝල මෙනෙවිය

 

තිරිසනකුගේ සිත කියවීම යනු ම නිර්මාණකරණයේ යෙදෙන ඕනෑම පුද්ගලයකුගේ විශේෂි දක්ෂතාවකි. එකී දක්ෂතාව කවියට නැගීම යනු සුවිශේෂි
දක්ෂතාවකි. දයා සුදසිංහ කවියා ඒ ‘‘සුවිශේෂී දක්ෂතාව’’ ඔහුගේ බොහෝ නිර්මාණ තුළ විදහා දක්වා ඇත.

 

පේ‍්‍රමය හෝ ආදරය යනු ශෘංගාරයේ අත්තිවාරම යි. පේ‍්‍රමය, ආදරය සහ ශෘංගාරය ඉදිරියේ එය සම්මත ද, අසම්මත ද යන්න වලංගු නොවේ. වලංගු වන්නේ ඔවුන් එකිනෙකා කෙරෙහි බැඳි ආකර්ෂණය යි. එවන් ආකර්ෂණීය අසම්මත පෙමක් පිළිබඳ පබැඳි ඉතා අගනා කවක් ලෙස ‘‘අවාරේ පේ‍්‍රමය’’ නමැති නිර්මාණය හැඳින්විය හැකි ය.

 

අවාරේ ප්‍රේමය

 

සුවිසල් දිය දහරේ
පැහසර සඳ මඬලේ
සමනල ගිර මුඳුන එතෙන
වලා වියන් සෙවණේ
අපි වහන්වෙමු ප්‍රියේ
කෝඩුකාර පෙම් අරණැල්ලේ

නිලාමිණි වන් නෙත් කොනේ
ලසිත ලලිත විදුලිය එළි දේ
විසිත නාද පෙරදිග අහසේ
සඳ කැන් මිණි බඳ සිතුවම් දිලේ
තඹර උවන මදහස දෙන ළඳේ
මේ ප්‍රේමය හරි රහයි අවාරේ...

දිය දල්ලෙන් සීතල ගඟුලේ
සුපෙම් සරැළි මෝදු වෙන උදේ
සකුණ ගීත හිඟයි මේ පැයේ
පිරිවර නැත සමනල් පෙරහැරේ
ගෙනා පඬුරු තියනු අපි කොහේ
මේ ප්‍රේමය නම් රහයි අවාරේ

 

මෙම නිර්මාණය සඳහා ද කවියා: පේ‍්‍රමණීය, අනුරාගී වාග් මාලාවක් මෙන් ම ඊට ම සරිලන රූපක සහ සංකේත පෙළක් භාවිත කර ඇත. එය ද යට කිහිප
පළක ම සඳහන් කළ පරිදි කවියා තමා සතු වාග් කෝෂයේ වදන් නිසි තැනට නිසි අයුරින් තැන්පත් කිරීමකි.


‘‘කවිය’’ නමැති නිර්මාණය ‘‘කවියක්’’ ලෙස කියවිය හැකිවන පරිදි පබැඳීම සරල නැත. එකී සංකිර්ණභාවය අතැඹුලක් සේ ගෙන පාඨක ප‍්‍රජාව වෙත රස පූර්ණ නිර්මාණ කිහිපයක් ම සමීප කරවිය හැක්කේ කවියට වෙසෙස් සමත්කම් දක්වන්නෙකුට ම පමණි. දයා සුදසිංහ කවියා එකී සමත්කම මැනවින් පිළිබිඹු කර ඇත. එය කවියට ආදරය කරන සියලූ දෙනාගේ යහපත පිණිස ම උපකාරි විය යුතු ය; පාඨක ප‍්‍රජාව ද එය හැකිතාක් අවබෝධ කරගත යුතු ය. මන් ද කවියා ඔහුගේ වගකීම ඉටු කර හමාර ය. එහි පල නෙළා රසවිඳීම පාඨක ප‍්‍රජාවගේ වගකීම ය.

ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්තජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58