වියුක්ත කළ නොහැකි රමණය

 

 ස්ත්‍රියක සහ පුරුෂයකු අතර මෙන් ම පුරුෂයකු - පුරුෂයකු අතර සහ ස්ත්‍රියක - ස්ත්‍රියක අතර එකිනෙකා කෙරෙහි ජනිත වන ආකර්ෂණය ‘‘ආදරය’’ යැයි නාමකරණය කළ ද ඒ සියලු ආකර්ෂණ ලිංගිකත්වයේ පූර්වාරම්භය යි.

2b99fd0091cc9e1177bd1715f2079d31 700

බහුල වශයෙන් නොවුණ ද මෙම ආකර්ෂණයෙන් ඇරඹෙණ බැඳීම් අල්පයක් හෝ කිසිදු වර්ගීකරණයකට හෝ භේදයකට යටත් නොවන බව ද අප පිළිගත යුතු යථාර්ථයකි. එනම් ස්ත්‍රී - පුරුෂ, ස්ත්‍රී - ස්ත්‍රී සහ පුරුෂ - පුරුෂ බැඳීම් කෙරෙහි: වයස, ආගම, ජාතිය, කුලය මතු නොව ඥාතිත්වය පවා බල නොපාන අවස්ථා ද පවතී. ඒ ඕනෑම පුද්ගලයන් දෙදෙනෙකු අතර ආදරය මිශ්‍රිත ලිංගිකත්වය මෙන් ම ආදරයෙන් තොර හුදු ලිංගික සබඳතාවක් පමණක් වුව ද පැවතිය හැකි ය. කෙසේ විග්‍රහ කළ ද අවසන සිදුවන්නේ ඔවුනොවුන්ගේ හෝමෝන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස උත්තේජනය වන ශාරීරික අවශ්‍යතාවක් සපුරා ගැනීම ය; එම ශාරීරික අවශ්‍යතාව සපුරාගෙන ඔවුනොවුන් එකිනෙකා සන්තෘප්තියට පත්වීම ය. මිනිස් ජීවිතය පමණක් නොව ඕපපාතික නොවන සියලු සත්වයින්ගේ පැවැත්ම රැඳී පවතින්නේ ද මෙම ක්‍රියාවලිය මත ය. එබැවින්: කන, බොන, ගයන, වයන, රඟන යනාදී සියලු ක්‍රියා අතුරෙන් රමණය යන්න වියුක්ත කළ නොහැකි ක්‍රියාවකි.


අනෙකාගේ තෘප්තිය තමාට අහිමි වූ තැන...

ඇතැම් පුරුෂයෝ මෙන් ම කාන්තාවෝ ද මැදි විය ඉක්මවූ විගස ලිංගිකත්වය බැහැර කළ ද ඇතැම් අය එය තව තවත් තදින් අල්ලා ගන්නට වෙර දරති. මේ අතර පුරුෂයාට වඩා වයසින් බොහෝ අඩු ස්ත්‍රියක අතර පමණක් නොව ස්ත්‍රියට වඩා බොහෝ වයසින් අඩු පුරුෂයකු අතර ද ආදරය මුසු ලිංගික ඇසුරක් මෙන් ම ආදරය අමිශ්‍රිත ලිංගික ඇසුරක් වුව ද පැවතිය හැකි ය. එය වරදක් ලෙස සැලකීම හෝ එසේ නොවීම ද ඔවුනොවුන්ට සාපේක්ෂ ක්‍රියාවලියකි. මෙවන් බැඳීම් සහිත පුද්ගලයෝ ඔබටත් මටත් සැබැවින් ම හමු වී ඇති බව රහසක් නොවේ. නමුදු බොහෝ විට සමාජය මෙවන් පුද්ගලයෝ ප්‍රතික්ෂේප කරන්නට පෙලඹී සිටියි. ඒ, තමන් එවන් අවස්ථාවකට පත් වන තුරු පමණි; තමන්ට ද එවන් අවස්ථාවක් ලැබෙන තුරු පමණි. ඒ අන් කිසිවක් නිසා නොව ලිංගික කුහකත්වය යි; ඊර්ෂයාව යි; අනෙකා ලබන තෘප්තිය තමාට හිමි කරගැනීමට නොහැකි වීමේ ආතතිය යි. මේ ආතතිය ඇතැම් විට අවසන් වන්නේ එවන් බැඳිම් ඇති හෝ නැති පුද්ගලයන්ගේ ආසන්නතම ඥාතින් පවා ඝාතනය කිරීමෙනි; එසේත් නොමැති නම් ස්වයං ඝාතනයකිනි. නමුදු මිනිස් ජීවිතය යනු මේ සියල්ලේ සංකලනයකි ය යන්න අවබෝධ කරගත හැකි යමෙක් වේ නම් මේ ද්විපාර්ශ්විය තත්ත්ව තුළ ම ඉවසීමෙන් කටයුතු කර, යථාව අවබෝධ කරගෙන තම ජීවන ගමන් මග සාර්ථක කරගනු නොඅනුමාන ය. මේ සියල්ල ස්ත්‍රියට මෙන් ම පුරුෂයින්ට ද පොදු කරුණකි; එය එක් පාර්ශ්වයක් මත පමණක් බලපාන තත්ත්වයක් නොවන බව ද අපි අවබෝධ කරගත යුතු වන්නෙමු.
 

දරු සම්පත් සහ ලිංගික සබඳතා
 
istock 000025240445large wide 5a86b87d189298f88ca2d934001ab2d9dd6df403 s1100 c50

විවාහක යුවළක් හට දරු සම්පතක් නොමැති වීම බරපතළ තත්ත්වයක් ලෙස සැලකිය යුතු නොවූව ද වත්මන් සමාජය සලකන්නේ ම එය බරපතළ අඩුවක් ලෙස ය. අතීතයේ නම් මෙහි පූර්ණ වරදකාරිත්වය පැවරුණේ ස්ත්‍රිය වෙත ය. නමුදු තාක්ෂණය සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග එම වරද පුරුෂ පාර්ශ්ව මත ද පැවරිණ. මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ඊට මුහුණ පෑ විවිධ අය විවිධ ක්‍රම අනුමනය කළහ. ඒ බහුතරයක් ක්‍රියාමාර්ග සදාචාරයට පවා අභියෝග කරන තත්ත්වයක පැවතිණ. මේ සඳහා සොයාගත් සරල ම විසඳුම වූයේ අන් යුවළකගේ දරුවකු ගෙන ඇති දැඩි කිරීම ය. ඒ ඇතැම් අවස්ථාවල දී... එනම්, මතු දිනක දි කලක් දරුවන් අහිමිව සිටි යුවළට දාව දරුවකු බිහිවුවහොත් පෙර දරුකමට හදාගත් දරුවාගේ අනාගතය අවිනිශ්චිත වන්නට පිළිවන. එසේ නොවන අවස්ථා ද පවතී. අන්‍යෝන්‍ය අවබෝධයකින් හෙබි ඇතැම් බිරිඳක හෝ සැමියෙකු  බිරිඳ නිසරු නම් සැමියා ඍජුව ම දෙදෙනාගේ ම කැමැත්තෙන් වෙනත් කාන්තාවක සමග ලිංගිකව එකතු වී දරුවකු සපයා ගනී. එමෙන් ම ඇතැම් අවස්ථාවක දී විශ්වාසවන්ත පුද්ගලයෙකු බිරිඳ සමග ලිංගිකව එක් කර දරුවකු සපයා ගනී. මේ කර්තව්‍ය සිදුවිය යුත්තේ පූර්ණ විශ්වාසය ඇතිව මෙන් ම පුහු සදාචාරවාදය සපුරා ඉවත් කරමිනි. මෙම අත්දැකීම් පාදක කරගත් සාහිත්‍ය කලා නිර්මාණ ද පවතී. මෙම කරණු ද්විත්වයට ම අමතරව තවත් ක්‍රමයක් පවතී. එනම් ඇතැම් කාන්තාවක් නිසරු නොවූව ද ඇගේ කිසියම් ශාරීරික දුර්වලතාවක් හේතුවෙන් ඇයට දරුගැබක් දරාගැනීමේ නොහැකියාව පැවතිය හැකි ය. එවන් අවස්ථාවක දී එම යුවළගේ ශුක්‍රාණු සහ ඩිම්බ වෙනත් කාන්තාවකගේ දරු ගැබෙහි තැන්පත් කර ඔවුන්ට දරුවකු ලබාගත හැකි ය.

ඉහත කී ක්‍රම සියල්ල ම සිදු වෙන්නේ පෙර කී පරිදි විශ්වාසය මෙන් ම මූල්‍ය අවශ්‍යතා මත ය. එනම් දරුවකු ලබා දෙන පාර්ශ්වය වෙත දරුවා ලබාගන්නා පාර්ශ්වය විසින් ගෙවනු ලබන කිසියම් ගෙවීමක් සහිතව ය. එසේ නොවන අවස්ථා ද පැවතිය හැකි ය. නමුදු බහුතරයක් දෙනා අතර සිදුවන්නේ මූල්‍යමය ගනුදෙනුවකි.  මේ අතර ඇතැම් විට දරුවකු බලාපොරොත්තු වන පාර්ශවයේ කිසියම් පුද්ගලයෙකු අවස්ථාවාදිව ද කටයුතු කළ හැකි ය. එමෙන් ම එම අවස්ථාවාදය කුමන හො හේතුවකින් පරාජය වුව හොත් යළි පෙර තත්ත්වයට ම පත්විය හැකි ය.
 

ප්‍රබන්ධකරණයේ දක්ෂතාව
 
275968055 3079536405603550 189179677385621762 n
 
ඊ. එම්. ඩී. උපාලි
 
යට සඳහන් සියලු සිදුවීම් තථ්‍ය ලෝකයේ දී ‘සිදුවිය හැකි’ නොව ‘සැබැවින් ම සිදුවන’ හෝ ‘සිදුවී ඇති’ සිද්ධි ය. එවන් සිද්ධි දාමයක් ප්‍රබන්ධයකට ගොනු කිරීම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා උසස් පරිකල්පන ශක්තියක් මෙන් ම කතන්දර ගෙතීමේ නිපුණත්වයක් ද තිබිය යුතු ය. එවන් ලේඛක ලේඛිකාවෝ දුලබ වන අතර එම අභියෝගය ජයගන්නා ලේඛක ලේඛිකාවෝ ද වෙසෙති. ඊ. එම්. ඩී. උපාලි යනු ද මෙම අභියෝගය අතැඹුලක් සේ ජයගත් ලේඛකයෙකි. ඒ, ඔහුගේ දෙවන ප්‍රබන්ධය වන ‘‘මිණි බැඳි දොර’’ සාහිත්‍ය කෘතිය තුළිණි.

මීට බොහෝ කලකට පෙර අපි ඔහු හඳුණාගෙන සිටියේ නාට්‍යවේදියෙකු ලෙසිනි. පසු කලෙක කවියෙක් ලෙස ද, කෙටිකතාකරුවෙකු ලෙස ද අප අතරට පැමිණි ඔහු 2006 වසරේ දී සිය ප්‍රථම ප්‍රබන්ධ සංග්‍රහය වන ‘ළය විරේකය’ අප හමුවට රැගෙන ආවේ ය. එය කතුවරයාගේ පළමු ප්‍රබන්ධය වුව ද එය එසේ යැයි විශ්වාස කළ නොහැකි තත්ත්වයේ පැවති නිර්මාණයකි. ‘‘මිණි බැඳි දොර’’ සාහිත්‍ය නිර්මාණය ද ‘ළය විරේකය’ නිර්මාණය අභිභවන්නට සමත්වීම ඔහුගේ සාහිත ගමන් මගේ වර්ධනීය ලක්ෂණයකි.

276111531 10223144856784776 8226938101708626412 nමෙම ලියවිල්ල ආරම්භයේ සිට පිටුවකටත් වැඩි ප්‍රමාණයක් තුළ සඳහන් කළේ ‘‘මිණි බැඳි දොර’’ ප්‍රබන්ධය තුළින් පාඨක ප්‍රජාව හමුවට එන චරිත සියල්ල ම තථ්‍ය ලෝකයේ දී ද අපට හමු විය හැකි හෝ හමු වී ඇති බවයි. මෙම නිර්මාණය පුරා ම විදාරණය වන්නේ ද යට සඳහන් කළ චරිත ඉතා මැනවින් පාඨක ප්‍රජාව හමුවට කැඳවන ආකාරය යි.

සමස්ත කෘතියෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කෙරෙන්නේ ස්ත්‍රී පුරුෂ සබඳතාවල අවසන් ඵලය වන ලිංගිකත්වය යි; එහි අපූර්වත්වය යි. එය ගිහි පුද්ගලයන්ට මතු නොව පැවිදි පුද්ගලයන් කෙරෙහි ද බලපාන ආකාරය කතුවරයා ඉතා මනරම් ලෙස විදාරණය කරයි. එමෙන් ම කාන්තාවක ම තවත් කාන්තාවක අසරණත්වයට පත්කිරීම, එම කාන්තාවගේ ම දියණියක ඊට හාත් පසින් ම වෙනස් මතයක් දැරීම සහ සිය මතය ප්‍රායෝගිකත්වයට නැංවීම කෘතියේ කැපී පෙනෙන ලක්ෂණයකි.

කතුවරයා සිය නිර්මාණයට ප්‍රස්තුත කරගන්නා චරිත සියල්ල ම පාහේ ඔහුගේ වෘත්තිය ක්ෂේත්‍රයට ම අදාළ වීම ද සුවිශේෂී ය. ඇතැම් විට මෙවන් චරිත එකක් දෙකක් හෝ කිහිපයක් ඔහුට ඔහුගේ සැබෑ ජීවිතයේ දී හමු වී තිබිය හැකි ය. එම අනුභූති නිර්මාණයකට ගොනු කිරීමේ දී සිය පරිකල්පන ශක්තිය ද මැනවින් උපස්තම්භක කරගෙන ඇති බව පැහැදිලි ය. එමෙන් ම සමස්ත කෘතිය පුරා ම රඳවා පවත්වාගන්නා ආකෘතිමය හරඹය ද සුවිශේෂි ය.
 
මුල, මැද සහ අග පිළිවෙළින් නොගළපන කතුවරයා කෘතිය ආරම්භ කරන්නේ ආඛ්‍යානයේ මධ්‍යයෙනි. දාම් පුවරුවක හෝ චෙස් පුවරුවක ඉත්තන් එහා මෙහා තල්ලු කරන ආකාරයට සිද්ධි එහා මෙහා කරමින් සරල, නමුදු වෙහෙසකර ක්‍රිඩාවක යෙදෙන කතුවරයා අවසන පාඨක මනස සන්තෘප්තියට පත් කරන්නට සමත් වී ඇත.
 
එසේ වුව ද එහි යටි පෙළ කියවීමේ දී වඩාත් පැහැදිලි වන්නේ ආදරය, ලිංගිකත්වය, පංතිමය තත්ත්වය යනාදි සියල්ල තුළ කුමන හෝ ආකාරයෙන් කාන්තාව පීඩනයට ලක් වෙන ආකාරය යි; ආදරය මිශ්‍රිත ලිංගිකත්වය තුළ වුව ද කිසියම් ආකාරයකින් ආදරය කරන ස්ත්‍රිය වුව ද තමා ආදරය කරන්නාගේ ම පීඩනයට ලක්වන ආකාරය යි; ඒ පීඩන සියල්ල තමාට උරුම දෙයක් ලෙස එබඳු ස්ත්‍රීන් විශ්වාස කරන ආකාරය යි.

මෙම නිර්මාණයේ මුඛ්‍ය චරිතය වන සැම්සන් රාජකරුණාගේ සිට අවම කාලයක් පෙනී සිටිය ද සමස්ත නිර්මාණයේ ම හැරවුම් ලක්ෂ්‍යය වන තිස්ස දක්වා වූ සියලු දෙනාගේ ම ජීවිතයේ මුඛ්‍ය තේමාව සහ එම ජීවිත පවත් තුළ සැඟව පවත්නා ලිංගිකත්වය යනු එම චරිතවලට පමණක් සීමා වූවක් නොවේ. එය සමස්ත සමාජය ම නියෝජනය කරන්නකි.
 
 
මෙහි එක් පසෙකින් ලිංගිකත්වය පිළිබඳ අපූරු සංසිද්ධි ගණනාවක් විදාරණය වන අතර ම, පැරණි මෙන් ම නූතන වාමාංශික ව්‍යාපාරයේ නිරත මිනිස් ජීවින්ගේ ජීවිත පවත්හි අඳුරු පැතිකඩ ද ඉතා සියුම් ලෙස විග්‍රහ කර ඇත. එම විග්‍රහය අතට අසුවන මායිමේ නොපවතින්නක් වුව ද එය මතුපිටින් සෙමින් ගලා බසිනා දිය දහරක අභ්‍යන්තරයේ වේගයෙන් ගලා යන දිය වැලක් සේ ය. එය අල්ලා ගැනීම අපහසු මෙන් ම එයට නතු වුවහොත් ගැලවීම ද අපහසු ය. තවත් පැහැදිලිව ම පවසන්නේ නම් එකී යථාර්ථය පිළිගැනීමට පවා වාමාංශය අකමැති වන්නට පිළිවන. එමතු නොව භික්ෂු සමාජය වුව ද මෙහි යටිපෙළෙහි දක්නට ලැබෙන ඇතැම් ගූඪත්ව ප්‍රතික්ෂේප කළ හැකි ය. මන්ද ඒ සියලු දිය දහරා මතුපිටින් මන්දගාමි ලෙස ගලා ගිය ද එහි යටිපෙළ සමස්ත සමාජය ම ඉතා වේගයෙන් මහා සාගරය වෙත රැගෙන යන්නට තරම් සමත් දියවැල් වන බැවිනි.

 
අතපසුවීම් මධ්‍යයේ වුව ද පවතින රසය

 
ලිපිය මධ්‍යයේ සඳහන් කළ පරිදි කතුවරයාගේ සාහිත්‍ය ඇසුර ද මෙම නිර්මාණය ඔපවත් කිරීමට අවැසි ආභරණ ලෙස භාවිත කර ඇත. ඒ, ඇතැම් තැන්හි ඔහු ගෙනහැර දක්වන ව්‍යංගාර්ථ ය; වක්‍රෝක්ති ය; උපමා රූපක ය; උපහැරණ ය. ඒ සියල්ලෙහි ගැබ්ව පවතින්නේ හුදු ගද්‍ය ලක්ෂණ අභිභවා මතුවන පද්‍ය ලක්ෂණ ය. ඇතැම් දෙබස් ඛණ්ඩ පවා නාට්‍යානුරූපි බවක් දක්වන්නේ ද කතුවරයා තුළ සිටින නාට්‍යවේදියා මතුපිටට පැමිණ ඇති බවට සාක්ෂි දරමිනි.

පූර්ණ වශයෙන් කථන භාෂා රටාවෙන් ඉදිරිපත් කරන ආඛ්‍යානය ඇතැම් අවස්ථාවල දී කතුවරයා නොදැනුවත්ව ම ලිඛිත රටාවට ද පොළා පනිනු දැකිය හැකි ය. එනම් ඇතැම් වාක්‍ය කථන රටාවෙන් අරඹා ලිඛිත රටාවෙන් අවසන් කිරීම ය; ඇතැම් අවස්ථාවල දී වාක්‍ය මධ්‍යයේ ලිඛිත රටාවට පොළා පැන තිබීම ය.  එය කතුවරයා වුවමනාවෙන් කළ වෙනසක් නොවන බව පැහැදිලි ය; එනම් එය ඔහු වෙතින් සිදුවූ කිසියම් අතපසුවීමකි. එම අතපසුවීම මධ්‍යයේ වුව ද සාහිත්‍ය කෘතියක මතු පිට කියවා රසයක් විඳින පාඨක ප්‍රජාවගේ මතු නොව එහි යටිපෙළ කියවීමට සමත් පාඨක ප්‍රජාවට ද මෙම නිර්මාණය තුළින් සමාජයේ පවත්නා, නමුදු නොපවතිනවා යැයි: සිතන, කියන, දකින මිනිස් ජීවිත පවත්හි ඇලී ගැලි පවත්නා ගූඪත්ව මැනවින් විද්‍යමාන කරන්නට කතුවරයා සමත්ව ඇත. එය ඔහුගේ මෙන් ම පාඨක ප්‍රජාවගේ ද මනස සන්තෘප්ත කිරීමට සමත් වන බව සක් සුදක් සේ පැහැදිලි ය.



ආලින්දයෙන් ඔබ්බට 16 : 'Inter නැසනල් 02' - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/04/10

 
 

Leader Whats app

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්