1200 x 80 DMirror

 
 

මොහාන් රාජ් මඩවල විසින් රචිත ‘‘නිල් කට්රොල්’’ ප්‍රබන්ධ කෘතිය කියවා අටමසක් පමණ ඉක්ම ගොස් තිබේ. ඉකුත් අට මස පුරා ම මා සම්මුඛ වන

බොහෝ පාඨක ප්‍රජාවෝ ද, මා සමග දුරකතනයෙන් සාහිත්‍ය පිළිබඳ විමසන බොහෝ පාඨක ප්‍රජාවෝ ද ‘‘මොහාන්ගෙ අලුත් පොත කියෙව්වද...?’’ යැයි විමසති. මා ‘‘ඔවු... කියෙව්ව.’’ යැයි පිළිවදන් දුන් විට ‘‘මොකද්ද ඒ ගැන අදහස...?’’ යැයි විමසති. ඒ මොහොතේ මගේ සරල සහ ඍජු පිළිතුර වූයේ ‘‘වැඩේ හොඳයි...’’ යන්න ය. එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවණ ඔවුන් ඒ අවස්ථාවේ ම හෝ වෙනත් අවස්ථාවක දී හෝ ‘‘නිල් කට්රොල් ගැන තවම ලිව්වෙ නෑ නේද...?’’ යැයි විමසති. ඒ හැම අවස්ථාවක දී ම මගේ පිළිතුර වූයේ ‘‘නිදහසේ ලියන්න ඕන...’’ යන්න ය. නමුදු පසුගිය වකවානුවේ රටේ පැවති විවිධ අර්බුද සහ ගැටුම් මධ්‍යයේ නිල්කට්රොල් නැවත කියවන්නට තරම් මානසික ඒකාග්‍රතාවක් නොතිබිණ. දැනුදු එවන් වටපිටාවක් පවතිනවා ය යන්න මෙයින් ගම්‍ය නොකෙරන බව ද අවධාරණය කළ යුතු ය. කෙසේ වුව ද පසුගිය සතිය අවසන් වන විට මම, ‘‘නිල් කට්රොල්’’ තවත් වතාවක් කියවා අවසන් කළෙමි. ඉදින් දැන් මම ඒ මගේ නුතන ම කියැවීම ලියමි.

නූතන කියැවිමත් සමග ප්‍රධාන වශයෙන් මෙම කෘතියේ මාන හතරක් ස්පර්ශ කිරීමට මට හැකිවිය. මෙම මාන තවත් පාඨකයෙකුට හෝ පාඨකාවකට අඩු වැඩි විය හැකි ය. මා ඉදිරිපත් කරන්නේ මා කේන්ද්‍ර කරගත් කියැවීමේ පරිධිය යි.

 

කාලය පිළිබද සංකල්පය

  මොහාන් රාජ් මඩවලගේ 'නිල් කට්රොල්' දොරට වඩියි

මොහාන් රාජ් මඩවල විසින් රචිත ‘‘නිල් කට්රොල්’’


පළමුවෙන් මගේ විමංසනයට නතුවන්නේ කතුවරයා ඉදිරිපත් කරන ‘‘කාලය පිළිබඳ සංකල්පය’’ යි. ප්‍රබන්ධකරුවකු තම ප්‍රබන්ධයේ ආඛ්‍යානය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු ය. එය පාඨක ප්‍රජාව කෘතිය තුළ රඳවාගැනීමට ඉමහත් පිටිවහලක් සපයයි. ඒ නයින් බලන විට මොහාන් රාජ් එම කාර්ය වෙත ඉතා සූක්ෂම ලෙස ප්‍රවේශ වී ඇත. ඒ, යට සඳහන් කළ‘‘කාලය පිළිබඳ සංකල්පය’’ තුළිනි. කෘතිය ආරම්භයේ දී ඉදිරිපත් කරන මෙම සංකල්පයට නතුවන පාඨක ප්‍රජාව නැවත එළියට යා නොහැකි ලෙස කෘතිය තුළ ස්වයං සිරකරුවෝ බවට පත්වෙති.

 

සැබැවින් ම මෙය දඩයක්කරුවකු කිසියම් දඩයමක් සාර්ථක කරගැනීම සඳහා භාවිත කරණ නව්‍ය උපක්‍රමයක් බඳු ය. කතුවරයා ‘‘කාලය පිළිබඳ සංකල්පය’’ ඉදිරියට ගෙන එතුළින් පාඨක ප්‍රජාව අතීතයට රැගෙන යයි. මා විශ්වාස කරන පරිදි පාඨක ප්‍රජාව යළි කෘතියෙන් එළියට පැමිණෙන්නේ දේවමිත්ත අත්අඩංගුවට පත්වන මොහොතේ විය හැකි ය. මෙය ද එක් එක් පාඨකයාට අනුව වෙනස් විය හැකි ය. නමුදු සමස්තයක් ලෙස ගතහොත් සිදුවන්නේ එසේ ය යන්න මගේ හැඟීම ය.

කතුවරයා මේ අවස්ථාවේ දී කාලය පිළිබඳ ඔහු දරන මතය ද ඉතා සියුම් ආකාරයෙන් පාඨක ප්‍රජාවගේ මනසට එන්නත් කරන්නට සමත්වී ඇත. එය ද එක්තරා අන්දමක සාහිත ප්‍රයෝගයකි; එය එසේ විය යුතු ය. මන්ද ඔහු එමගින් අසුබවාදි කිසිවක් නොකරන බැවිනි. කාලය පිළිබද කතුවරයා සිය අදහස තම කෘතිය තුළ බහාලුවා සේ ම ඒ සම්බන්ධයෙන් මගේ කියැවීම ද මෙම ලියැවිල්ල තුළට බහාලන්නට අවසර.

මේ මොහොතේ ජීවත්ව සිටින මම අතීතය යැයි හඳුන්වන කාලය නතර වන කාල සීමාවේ දී මිය යාමට ආසන්නව සිටි පුද්ගලයාට එය කුමක් ද...? ඔහුට හෝ ඇයට එය අනාගතය යි. අනාගතයේ ඉපදෙන්නට සිටින මිනිස් ජීවියකුට මේ වර්තමානය යනු කුමක් ද...? ඔහුට හෝ ඇයට එය අතීතය යි. ඒ අනුව එක් තලයක රඳා පවතින්නේ වර්මානය පමණක් නොවේ ද...? එය එදා, මෙදා සහ හෙට ජීවත්වන සැම පුද්ගලයෙකුට ම වර්තමානය ම නොවන්නේ ද...? එසේ නම් අනාගතය සහ අතීතය යනු ඒ ඒ යුගවල ජීවත්වුවන්ට සාපේක්ෂව සමාන්තර තලයක් නොවන්නේ ද...? එසේ නම් අතීතය සහ අනාගතය යනු වර්තමානය පවත්වාගන්නට එසේත් නොවේ නම් රඳවා තබාගන්නට භාවිත කරන ආරක්ෂක පවුරක් නොවන්නේ ද...?  දේශපාළුවන්ගේ සිට ආගම්වාදීන් දක්වා වූ සියලු සටකපටයෝ අතීත ශ්‍රී විභූතිය නම් ෆැන්ටසි ලෝකයත්, අනාගත සෞභාග්‍ය නම් සිහින ලෝකයත් යන මෙවලම් ද්විත්වය භාවිත කරමින් සිදුකරන්නේ ඔවුන්ගේ වර්තමාන පැවැත් ම නොවේ ද...? එසේ නම් කාලය යනු ම මිනිසාගේ යහ පැවැත්මට නොව අයහපත් විනාශයට ම මග පාදන ප්‍රපංචයක් නොවන්නේ ද...?

මෙය සංවාදයට බඳුන් විය හැකි ය. එසේ වන්නේ නම් එය වඩාත් සුබවාදී මානයකට රැගෙන යන්නට හැකි වේ යැයි මගේ පුද්ගලික විශ්වාසය යි.

පීතෘ ඝාතක සංකල්පය
 

දෙවනුව මගේ විමංසනයට හසුවන්නේ ‘‘පීතෘ ඝාතක සංකල්පය’’ යි. මෙකී සංකල්පය, සංකල්පයක් පමණක් ම නොවන්නට ඉඩ හැර එය ප්‍රා යෝගික තලයේ ම සිදු කළ මෙන් ම අනාගතයේ ද සිදු කළ හැකි ලොව එකම ජාතිය සිංහල ජාතිය බව අපේ ඉතිහාසය ආරම්භයේ දී ම ඉතා මැනවින් ගම්‍යමාන කර ඇත. එමතු නොව බෞද්ධ සාහිත්‍යයේ ද එය සඳහන් කර ඇත. ඒ පිළිබඳ උදාහරණ සැපයිය යුතු නොවේ ය යන්න මගේ හැඟීම ය. මන්ද අපේ ඉතිහාසයේ ආරම්භය පිළිබඳ කෙරෙන ඕනෑම සාකච්ඡාවක දී මෙන්ම බෞද්ධ සාහිත්‍ය කියැවීමේ දී මෙම සිද්ධි දාමය ඉතා මැනවින් අප ඉදිරියේ දිගහැරෙන බැවිනි.

sigiri

ඒ අනුව බලන විට කාශ්‍යප ද අයත්වන්නේ පීතෘ ඝාතක ගණයට ය. කාෂ්‍යප සියතින් ම පියා ඝාතනය නොකළ බව සැබෑවකි. නමුදු ඔහු සිය පියාගේ ඝාතනය දැක දැක ම, දැන දැන ම නිහඬව සිටියේ ය. මගේ කියවීමට අනුව නම් එය ප්‍රතික්‍රියාවකි. එනම් කාෂ්‍යප අසාධාරණයට ලක්වනු දැන දැන ම, දැක දැක ම ධාතුසේන එය නොදුටුවා සේ සිටීම නම් ක්‍රියාවේ ප්‍රතික්‍රියාව ය; තවත් ආකාරයකින් පවසන්නේ නම් ප්‍රතිවිපකය යි.

 

ධාතුසේනට එසේ සිටීමට සිදුවන්නේ ‘‘රට, ජාතිය (මෙහි ආගම සඳහන් නොවුව ද) ආගම’’ නමැති තෘෂ්ණා කලාප ආරක්ෂා කිරීම සඳහා පිටස්තර බලවේග විසින් ඔහු මෙහෙයවනු ලැබීම ය; එක් සඝ පාර්ශ්වයකගේ දොළදුක සංසිඳවීම සඳහා තවත් සඝ පාර්ශ්වයකගේ සතුරකු බවට පත්වීම ය.  අවාසනාව නම් ඔහු එබදු තත්ත්වයකට පොලඹවාලනු ලබන්නේ ‘‘අල්ලා ගැනීම දුක ය. එබැවින් අල්ලා නොගන්න. හැකිනම් අල්ලාගෙන සිටින සියලු දැ අත්හරින්න’’ යැයි පැවසූ බුදුන් වහන්සේගේ අනුගාමිකයකු වන මහානාම හිමි විසින් වීම ය. අවසන මහානාම සිලු පවු ධාතුසේනගේ ගිණුමට බැර කර නිහඬ ව්‍රතයක ගිලී අපවත්වන සේක. මෙය වර්තමානයට ද ඒ ආකාරයෙන් ම බලපෑම කෙතරම් ඛේද ජනක ද? පාලකයා නොමග යන්නේ නම් ඔහුගේ බෙල්ලෙන් අල්ලා සුමගට ගන්නවා යැයි කටමැත වදාළ භික්ෂූහු වර්තමානයේ කුමන ඉසව්වක දිවි ගෙවන්නේ ද යන්න පවා සොයාගත නොහැකි ය.

ඉතිහාස කතිකාවේ ශුද්ධ අශුද්ධ චරිත

තෙවනුව මගේ විමංසනයට හසුවන්නේ සත්‍යය ද නොවන ප්‍රබන්ධයක් ද නොවන ඉතිහාස කතිකාවේ අශුද්ධ යැයි සම්මත චරිත කෙරෙහි මෙන්ම ශුද්ධ යැයි සම්මත චරිත කෙරෙහි කතුවරයා මෙතෙක් දක්වා ඇති සාධනීයතාව යි.

 

wi

ඔහුගේ පළමු ප්‍රබන්ධය වූ ‘‘මාගම්සෝලිය’’ තනි පුද්ගල චරිතයක් කේන්ද්‍ර කර නොගත්ත ද එහි ගැබ්ව පැවතියේ 1818 කැරැල්ල සහ ඉන් ඔබ්බට සිදු වු දේශපාලන, ආර්ථික සහ සමාජීය සිද්ධි මාලාවේ යටි පෙළ ය.

දෙවන ප්‍රබන්ධය වූ ‘‘ලොවීනා’’ කෘතියට පාදක වන්නේ මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ කාමභෝගි ජීවිතයේ සැඟවුණු සිද්ධි දාමය යි.

තෙවන ප්‍රබන්ධය වන ‘‘ආදරණීය වික්ටෝරියා’’ කෘතිය පෙර කෘති ද්විත්වය තරම් ඈත ඉතිහාසයකට පාඨක ප්‍රජාව රැගෙන නොගිය ද ඊනියා නිදහසෙන් පසු බිහිවූ කළුසුද්දන්ගේ නිරුවත ඉතා මැනවින් හෙළිදරව් කරන්නට හෙතෙම සමත් වන්නේ ය.

සිවුවන ප්‍රබන්ධයේ දී කතුවරයා යළි පාඨක ප්‍රජාව ඇත අතීතයට රැගෙන යන්නේ ය. එම අවස්ථාවේ ද කතුවරයාගේ අවධානය යොමු වන්නේ ඉතිහාසය විසින් අපහාසයට, උපහාසයට මෙන්ම අවමානයට ලක් කරණ ලද මෙරට පළමු රැජින වූ අනුලා බිසව වෙත ය. එතෙක් අවමානයට, අපහාසයට, උපහාසයට සහ ඇතැම් අයගේ පිළිකුලට භාජනය වි සිටි අනුලා කෙරෙහි කිසියම් සාධනීය බැල්මක් හෙළන්නට ලක් වැසි දනන් පෙලඹුණේ නම් එහි පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ මොහාන් රාජ් මඩවල නම් ප්‍රබන්ධකරුවාට ය.



පස්වනුව ඔහු ලාංකිය පාඨක ප්‍රජාව රැගෙන යන්නේ වර්තමානයේ ‘‘කොළඹ’’ යනුවෙන් හඳුන්වන භූමියේ අතීත තතු වෙත ය. එය පෙර කෘති සියල්ලට ම වඩා වෙනස් මානයකින් පාඨක ප්‍රජාව වෙත සමිප කරවන්නට සමත්වන කතුවරයා උත්කර්ෂයට නංවන්නේ ‘‘කොළඹ’’ නම් නගරය නොව ‘‘කොළොම්තොට’’ නම් වූ ඉපැරණි ගම්මානය යි.

හයවෙනුව ‘‘ID’’ ප්‍රබන්ධය තුළින් ඔහු මෑත අතීතයේ (හැත්තැව දශකයේ) සිට වර්තමානය දක්වා වූ සමාජ පරිවර්තනය ඉතා රසවත් ලෙස රචනා කරන්නට සමත් විය.



මේ සියලු ප්‍රබන්ධ වෙතින් ඔහු මෙරටේ සියලු නිර්මාණකරුවන්ට සහ නිර්මාණකාරියන්ට අපූරු පණිවිඩයක් නිකුත් කළේ ය. එනම් ‘ඉතිහාසය යනු සත්‍යය ම නොවන්නා සේ ම අසත්‍යය ම නොවන්නේ ය. එහෙයින් ඉතිහාසය වන්දනාමාන කිරීමට ප්‍රථම එය නිවැරැදිව හදාරන්න.’ යන්න ය. එමෙන් ම පසුගිය කාලයේ විවිධ කලාකරුවෝ රාජපාක්ෂිකයන්ට ආවඩමින් කළ ඉතිහාස වන්දනාව යනු හුදු බඩගෝසතරවාදයේ එක් අංගයක් පමණකිය යන්න පසක් කර දුන්නේ ය.



එක ම බැඳි හුයකින් බැඳි  අතීතය සහ වර්තමානය

සිවුවනුව මගේ විමංසනයට හසුවන්නේ කාලයාගේ ඇවෑමෙන් තම තමන්ගේ මානව අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳ අරගල කරන පරපුරක් පිළිබඳ ලියැවෙන යටි පෙළ ය. මෙහි ආරම්භක චරිතයක් වන උපුලීගේ පියා (හේතුහාමි) නියෝජනය කරන්නේ: කිසිදු ආත්ම ශක්තියක් නොමැති බහු ජන ප්‍රජාව එක් පුද්ගලයෙකුගේ යටත්වැසියන් ලෙස ජීවත් වූ යුගය සහ ඊට ම අනුගත වූ පරම්පරාව ය; තමන්ගේ අයිතිවාසිකම් ලබාගැනීම සඳහා සටන් කරනවා වෙනුවට පීඩකයාට රිසි පරිදි පීඩිතයා පාලනය කිරීමට අවකාශ සලසා දෙන පරපුර ය. නමුදු උපුලී නියෝජනය කරන්නේ ඇගේ පියාට වඩා තරමක් හෝ දියුණු යුගය යි. ඇය තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන්වදින්නී ය; ඒ සටන වෙනුවෙන් ඇයට ඇගේ සතුරාගේ තරාතිරම අදාළ නොවන්නේ ම ය. ඇගේ අරමුණ සතුරා පරාජය කිරීම ය. සතුරා පරාජය කිරීම යනු සතුරාට එරෙහිව සටන් වදින්නා ම ජයග්‍රහණය කිරීම නොවේ. ඇතැම් විට ඒ ජයග්‍රහණය භුක්ති විඳිය හැකිවන්නේ තවත් පරම්පරා කිහිපයකට පසුව උපදින දරුවන්ට විය හැකි ය. ඔවුන්ට ඒ ජයග්‍රහණය අත්පත් කර දීමේ මාවත විවර කළ යුත්තේ වර්තමාන පරපුර ය. උපුලී සිය ජිවිත කාලය තුළ දී ඇගේ දරුවාගේ ජයග්‍රහණය වෙනුවෙන් සටන්වදින්නී ය. එය ඇගේ හෝ ඇගේ දරුවාගේ ජයග්‍රහණය පමණක් ම නොව අනාගත පරපුරේ ම ජයග්‍රහණය යි.



මෙම සටහන ලියන දිනය වන විට දින 58ක් පුරා ඒකාත්මික අරගලයක නිරතවන්නෝ ද අයත් වන්නේ උපුලීගේ පරපුරට ය. එම පරපුරට ඔවුන්ගේ සතුරාගේ තරාතිරම කිසිසේත් ම අදාළ නොවේ. ඔවුන්ට අවැසි වන්නේ පීඩක පාලක පෙළැන්තිය මේ දේශපාලන භුමියෙන් අතුගා දැමීම ය. එහි දී අද සටනේ නියැළි සිටින බොහෝ දෙනෙකුට එහි පුර්ණ ජයග්‍රහණය භුක්ති විඳිය නොහැකි වන්නට පිළිවන. නමුදු අනාගත පරපුර ඒ ජයග්‍රහණය භුක්ති විඳිනු ඒකාන්ත ය.



මෙහාන් රාජ් මඩවල ‘‘නිල් කට්රොල්’’ ප්‍රබන්ධ කරන සමයේ එය වර්තමානය සමග සසැඳිය හැකි යැයි කිසි සේත් ම බලාපොරොත්තු නොවන්නට ඇත. මා ද පළමුවෙන් කෘතිය කියවන වකවානුවේ එබඳු තත්ත්වයක් බලාපොරොත්තු නොවුණෙමි. නමුදු මේ වන විට උපුලීගේ චරිතය තුළින් අපට පසක් කර දී ඇත්තේ යට සඳහන් යථාර්ථය යි.


ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/06/05



 

Leader Whats app

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58