1200 x 80 DMirror

 
 

 අප මුහුණ දී සිටින අර්බුදයේ ගැඹුර දිග පළල සහ ප්‍රතිවිපාක ගැන තවමත් මෙරට ජනතාව තුළ නිවැරදි තක්සේරුවක් හෝ අර්බුදයට තිරසාර විසඳුමක් සොයා ගැනීමේ අවශ්‍යතාවක් ඇති බවත් නොපෙනේ.

පවතින අධිපතිවාදී බල දේශපාලන ආර්ථිකය විසින් දායාද කර තිබෙන අතෘප්තිය, වේදනාව, පීඩනය සහ කර්කශ බවට වඩා එයින් තමන්ට ලැබෙනු ඇතැයි උපකල්පනය කරන පටු ප්‍රතිලාභ යහපත් බවට මෙරට බහුතර ජනයා කල්පනා කරන බවක් පෙනේ. එය සමාජ මාධ්‍ය පෝස්ටුවකින් කියන්නේ නම් මෙරට ජනයා පීඩනයට , අසහනයට අසාධාරණයට, දූෂණ සහ වංචාවට පුරුදු වී ඇත.

එය ඔවුන්ගේ ජීවිතයේ ම කොටසකි. එය ලබා උපන් හැටි ලෙස කල්පනා කරති. ගෝඨාgoගම අරගලයට දින 75 ක් පිරෙන මොහොතේ අරගලය නැවත නව ජවයකින් අවදි වන්නට වෙර දැරුවද ඔවුන්ගේ දාර්ශනික පදනම වන “ක්‍රමයේ වෙනසක්” යනු කුමක්ද එහි මුල් හා විකල්ප දේශපාලන ආර්ථිකය කුමක්ද යන්න පිළිබඳව ගැඹුරු විග්‍රහයක් හෝ කියවීම් අරගලකරුවන්ට ඇති බවක් නොපෙනේ.


අරගලකරුවන්ට ජවය, තොරතුරු තාක්ෂණික ශක්‍යතා, හැඟීම් සහ ආකර්ෂණීය සටන් පාඨ තිබුණද අර්බුදයට විසඳුම පිළිබඳ දැක්මක් හෝ මාර්ග සිතියමක් නොමැති වීම ඔවුන්ට අරගලය පොළොවේ පැල කිරීමට තිබෙන මූලික බාධාවක් බව පෙනේ. මෙය අරගලකරුවන් ගේ දැනුම සහ කියවීම පිළිබඳ ප්‍රශ්නයකි.

ඔවුන්ගේ එම ඌනතාවය කලාතුරකින් උදා වී ඇති මේ අසාමාන්‍ය මොහොත අහිමි අවස්ථාවක් බවට පත්වීමේ බරපතළ අවදානමක් තිබේ. විජයානන්ද ජයවීරයන්ගේ සංවිචාරණීය සමාජයක්(A Deliberative Society)sanvichara image කෘතිය අරගලකරුවන්ට මෙන්ම සමාජ, දේශපාලන, ආර්ථික හැරවුම් ලක්ෂයක් ගැන සොයමින් සිටින සියල්ලන්ටම අවශ්‍යම කියවීම්කි.


මෙම කෘතියේදී ජයවීරයන් විසින් ප්‍රථමයෙන් පවතින නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සහ බල දේශපාලන ආර්ථිකයේ අඳුරු ගැඹුරු තැන් සහ විකෘතීන් පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනයක යෙදී අර්බුදයේ මුල් පාදා අර්බුදයට දාර්ශනික පදනම්ක් දමමින් නව චින්තනයක හා මාර්ග සිතියමක අවශ්‍යතාව මතු කරයි. ඔහුගේ කේන්ද්‍රීය ‍ ප්‍රවේශය වන්නේ යුක්තිවේදී දේශපාලන-ආර්ථික සුසමාදර්ශයකි.
“සංවිචාරණීය සමාජයක්” යනු කුමක්ද? විජයානන්ද ජයවීර මෙසේ සටහන් කරයි:


‘සංවිචාරණය’ යන වචනය අප මේ කෘතිය පුරා යොදා ගන්නේ ‘හැම පැත්තක් ගැන ම කරුණු කාරණා ඉතා සැලකිල්ලෙන් හා ඉවසිල්ලෙන් සන්තුලනය කර බලන සාකච්ඡාවක්’ යන අදහස දෙන Deliberation යන ඉංග්‍රීසි පදයෙන් හැඟවෙන තේරුම සඳහායි. තවත් අන්දමකින් කිව හොත් සංවිචාරණීය සාකච්ඡාවක් යනු ඉදිරිපත් කරන කරුණු පිළිබඳ පොදු එකඟතාවක් සඳහා එකී කරුණු විවේක බුද්ධියෙන් (reason) හේතු යුක්ති සහිත ව සාකච්ඡා කිරීමයි”.


“පොදුවේ ගත් විට සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (deliberative democracy) යනු ගැටුම් නිරාකරණය කරගැනීම සහ දේශපාලන තීන්දු තීරණ ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාක්ෂාත් කරගැනීමට යොදා ගන්නා විචාරශිලී කාර්ය පටිපාටිමය එළඹුමක් ලෙස සැලකිය හැකිය. වඩාත් පහසුවෙන් තේරුම් ගැනීම පිණිස එය එහි විකල්පය වන මැතිවරණ තීන්දු තීරණ ගැනීමේ දී යෙදෙන සමුදායී ආකෘතිවලට (aggregative forms) වඩා වෙනස් වන්නේ කෙසේදැයි විමසා බැලිය හැකිය.

සමුදායී ආකෘතියේදී සහභාගිවන්නන්ට සිදුවන්නේ දැනටමත් නිගමනය කර ඇති ආස්ථාන (positions) අතරින් තමන්ට අඩු වැඩි වසයෙන් එකඟවිය හැකි ආස්ථානය තෝරා ගැනීමයි. එහිදී එකී ආස්ථාන වෙනස් කිරීමට, වැඩි දියුණු කිරීමට හෝ නව ආස්ථානයක් සාකච්ඡාවට ලක් කිරීමට සහභාගිවන්නන්ට අවස්ථාවක් නො ලැබේ.

උදාහරණයක් ලෙස සමුදායි ආකෘතියක් වන මැතිවරණ දේශපාලන ක්‍රියායනයකට (political process) සහභාගි වන ඡන්දදායකයින්ට තමන් අතර හෝ තමන් හා ඡන්දාපේක්ෂකයන් අතර ඇතිවන ගැඹුරු කතිකාවකින් මතුවන නව ආස්ථානයක් මනාප තේරීමක් ලෙස මැතිවරණ වේදිකාවට එකතු කිරීමට අවස්ථාවක් නො ලැබේ. මැතිවරණයකට තරඟ කරන පක්ෂ තමන්ගේ ම ප්‍රතිපත්ති සමුදායක් ඉදිරිපත් කරන අතර ඡන්දදායකයාගේ කාර්ය වන්නේ සිය මනාපයට ගැලෙපන ප්‍රතිපත්ති සහිත පක්ෂය හෝ අපේක්ෂකයා තෝරා ගැනීමයි. එකී ප්‍රතිපත්ති ඡන්දදායකයන්ගේ ක්‍රියාකාරි මැදිහත් වීමෙන් ගැඹුරු සංවිචාරණයට ලක් කොට වැඩි දියුණු කර ගැනීමේ අවකාශයක් සමුදායි ආකෘතිය තුළ සාමාන්‍යයෙන් නොපවතී.

ඒ නිසා සමුදායි ආකෘතියේදී ඡන්දදායකයා යනු අකර්මණ්‍ය පුද්ගලයෙකු මිස සක්‍රිය පුරවැසියෙකු නොවේ. සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය ඊට වෙනස් ව සහභාගිවන්නන් අතර කෙරෙන දැනුවත් සංවිචාරණයක ප්‍රතිපලයක් ලෙස අභිමත පරිදි වඩාත් ම සුදුසු ආස්ථානය මුලු මනින්ම අලුතින් ගොඩ නැගීමට, වැඩි දියුණු කිරීමට හෝ තෝරා ගැනීමට ඉඩ සලසයි” (සංවිචාරණීය සමාජයක්, විජයානන්ද ජයවීර) .


මෙම තර්කය ස්ථාපිත කිරීම සඳහා ලේඛකයා විසින් මහාචාර්ය ජේම්ස් ෆිෂ්කින් විසින් ඇමරිකාවේ කරන ලද අත්හදා බැලීම් සහ සහ පර්යේෂණ වල මෙන්ම ජර්මන් සමාජ විද්‍යාඥ හබමාස් ගේ ආලෝකය ලබා ගනී.
නිදහසින් පසු මෙරට අත්හදා බලනු ලැබූ සහ වර්තමාන අර්බුදයේ නිර්මාණකරු වන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් දේශපාලන ආර්ථිකය රාමුගත වීම කෙරෙහි බලපෑ ප්‍රධාන සාධක කිහිපයක් කෙරෙහි මෙම කෘතිය මගින් අපගේ අවධානය යොමු කරයි.

මෙරට දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා අරමුදල් සම්පාදනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයින් සහ ධනවතුන්ගේ සිරකරුවන් බවට මහජන නියෝජිතයින් පත්වීම එහි පළවෙනි සාධකයයි. මැතිවරණයක් අවසානයේ බලය ලබාගන්නා දේශපාලන පක්ෂය මහජනතාව හමුවේ තැබූ ‍ ප්‍රතිපත්ති වෙනුවට තම මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලිය සඳහා අරමුදල් සම්පාදනය කළ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ න්‍යායපත්‍රයට අනුව තීරණ ගැනීම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයේ එක් විකෘතියකි. ක්‍රමයේ වෙනසක් ගැන අවධානය යොමු කිරීමේදී මුල්ත තැනක් දිය යුතු එක් කාරණයක් වන්නේ මෙයයි.


දෙවැන්න මැතිවරණ සමයේ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා එක් දේශපාලන පක්ෂයක හෝ එක් මතවාදයක් වෙනුවෙන් පක්ෂපාතී වෙමින් එහි ප්‍රකාශකයා බවට පත්වීම නිසා ඡන්දදායකයා සියලු තොරතුරු, සහ මතවාද වලින් සන්නද්ධව ප්‍රතිපත්ති මත ඡන්ද පොළේදී තීරණ ගැනීම වැලැක්වීමයි. මහජනතාව සතු සීමිත පොදු දේපලක් වන විද්‍යුත් තරංග මාලා භාවිතා කරන ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා විසින් තම ප්‍රවෘත්ති අන්තර්ගතය තුළ මෙන්ම මතභේදාත්මක දේශපාලන-ආර්ථික කරුණු සම්බන්ධව ආවරණය කිරීමේ දී අපක්ෂපාතිත්වය පවත්වාගෙන යෑම මැතිවරණ සමයේ අත්‍යවශ්‍ය සාධකයක් බව විජයානන්ද ජයවීර මෙම කෘතිය තුළින් අවධාරණය කරයි.

රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා වල දුෂ් තොරතුරු වාර්තාකරණය, අතිශෝක්තිය, කරුණු මගහැරීම්, වාර්තා නොකර සිටීම, බහුවිධ අදහස් මත සහ තොරතුරු සඳහා අවස්ථාව ලබා නොදෙමින් මාධ්‍ය හිමිකරුවන් ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මහජන මතය හැඩගැස්වීම නිසා මැතිවරණයේදී ජනතාව මානව යහපතට හේතු නොවන අදූරදර්ශී තීරණ ගැනීම්ට පෙළඹෙන බව පසුගිය මැතිවරණවලදී පැහැදිලි විය. ඒ අනුව ප්‍රවෘත්ති මාධ්‍යන්හි අපක්ෂපාතීත්වය සඳහා වන රෙගුලාසි සම්පාදනය ක්‍රමයේ වෙනසක් සඳහා වන න්‍යාය පත්‍රයෙහි මුලටම පැමිණිය යුතු කාරණයකි.


sanvichara 2නියෝජන ‍ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම සාධකයක් වන බලය ‍ ප්‍රශ්න කරන මෙම කෘතිය මගින් බලය පත්කරකරගන්නා දේශපාලනයට අනුගත වීමෙන් දේශපාලන අතවැසියෙක් වීම හැර සෑම පුරවැසියකුටම අවශ්‍ය තුටුපහටු අභිමාන්වත් ජීවිතයක් ගත් කිරීමේ අභිලාෂය ඉටුකර ගත හැකි ජන සමාජයක් ගොඩනැගීම්ට අපි අපොහොසත් වී ඇති අන්දම මෙම කෘතිය තුළින් ගෙන්හැර දක්වයි. ප්‍රකට ‍ ප්‍රංශ බුද්ධිමතෙකු වන බදියු ගේ "In praise of politics” උපුටා දක්වන මෙම ලේඛකයා බලය ගැන කරදර වීමට වඩා මේ අවස්ථාවේදී වැදගත් වන්නේ කෙබඳු ජන සමාජය්ක් බිහි විය යුතුද යන්න පිළිබඳව උපාය මාර්ගික දැක්ම්ක් ඇති ජනතාවක් ඇති කර ගැනීම බව පවසයි. මේ ආකාරයට නව ලිබරල්වාදී ආර්ථිකය සහ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී එළඹුම් නිසා මානව සංහතියට සිදුවී සිදු වූ හානිය මෙම කෘති තුළ පරිච්ඡේද තුනක් පුරා විග්‍රහ වේ.


විජයානන්ද ජයවීරයන්ගේ සංවිචාරණීය සමාජයක් කෘතියේ විශේෂත්වය වන්නේ පවතින අර්බුදය ශාස්ත්‍රීය වශයෙන් විග්‍රහ කිරීමෙන් නොනැවතී ප්‍රායෝගික විසඳුමක් සඳහා දැක්මක් සහ මාර්ග සිතියමක් වෙනුවෙන් කතිකාවක් ගොඩනනැගීමයි. මේ සඳහා නියෝජනය වෙනුවට සංවිචාරණය තේමා කරගන්නා ලේඛකයා ඒ සඳහා අයිස්ලන්ත සහ මොන්ගෝලියානු අත්දැකීම් ගෙනහැර දක්වයි.


ධනවාදී නව ලිබරල් ආර්ථික මොඩලයේ ප්‍රගතිය පදනම් කරගත් සංවර්ධන ප්‍රවේශයෙහි අසාර්ථකත්වය පිළිබඳව සාක්ෂි ගෙන්හැර දක්වන ලේඛකයා විකල්ප සංවර්ධන ප්‍රවේශයක් සඳහා අපිට කවුළුවක් විවර කර දෙයි. පොදුවේ ගත්විට සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය, තිරසාර සංවර්ධනය සහ කතිකා ප්‍රජාතන්ත්‍රවාදය සංකල්පයන්හි විභවයන් දේශපාලන ආර්ථික සමානාත්මතාවය සහිත යුක්තිවේදී සමාජයකට ඉඩහසර විවර කරන අන්දම මෙම කෘතිය තුළින් සමස්තයක් වශයෙන් සාකච්ඡාවට භාජනය කර ඇත.


ලාංකීය සමාජය මෑත දශක හතක් වැයකර ඇත්තේ නියෝජන ‍ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආර්ථික පීඩකයන් විසින් විසින් කාලයෙන් කාලයට මාරුවෙන් මාරුවටට මහජනයා මත අතහරින අදූරදර්ශී තීරණ හා සමග පොර බදින්නට මිස ජීවිතය විදගැනීමට නොවේ. අපි එම පීඩාකාරී ජීවිතයේ ඇලීගැලී එයට පුරුදු වී සිටියෙමු.


එහෙත් ගෝඨාභය ව්‍යාපෘතිය විසින් සමස්ත සමාජය තුළම තිගැස්මක් ඇති කර අපි මහපොළොවෙන් උඩට විසි කර දමා ඇත. එහෙත් තවමත් අපි ඒ පුරුදු දේශපාලන ආර්ථිකයට දැනුවත්ව හෝ නොදැනුවත්ව කාන්දමක් ලෙස ඇදෙන්නට බලයි. විජයානන්ද ජයවීරයන්ගේ සංවිචාරණීය සමාජයක් කෘතිය අරගලකරුවන්ට , මානව සමාජයේ යහපත වෙනුවෙන් කැප වන දේශපාලන පක්ෂවලට, දේශපාලන කණ්ඩායම් වලට මෙන්ම සමස්ත පුරවැසියාට ද වෙනත් ආකාරයක ශ්‍රී ලාංකීය සමාජයක් ගොඩනගා ගැනීමට අනර්ඝ යතුරක් ලබා දී ඇත.

 

(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
කොළඹ විශ්වවිද්‍යාලය.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා