ගීතයක් යනු ශ්‍රව්‍ය මාධ්‍යයකි. එම ශ්‍රව්‍ය මාධ්‍ය සමග දෘශ්‍ය මාධ්‍ය (Visual media) ද මුසු වූ පසු බොහෝ විට සිදුවූයේ ගීතයේ අරුත සැඟවී හෝ විනාශ වී

ගීතයට මුසු කළ රූප රචනය ඉස්මත්තට පැමිණීම ය.

මෙවන් බොහෝ අවස්ථාවල සිදුවූයේ ගීතය ශ්‍රවණය කිරීම හෝ ගීතය විඳීම නොව ගීතය සමග මුසු කළ රුප රාමු පෙළ නරඹා එය විඳීම ය. එහි දී බොහේ නිර්මාණකරුවෝ සහ නිර්මාණකාරියෝ ඔවුනොවුන්ගේ ගීත ජනප්‍රියත්වයට පත් කරගත්තේ අරුත්බර ගීතයකින් හෝ මනස සංතෘප්ත කරවන නොව හඬකින් නොව ඇස පිනවන රූප රාමු අන්තර්ගත සංගීත විඩියෝ (music video) පටයක් සමාජය වෙත මුදා හරිමිනි.

ඒ බොහෝ විඩියෝපට තුළින් අඩ නිරුවත් කාන්තාවකගේ හෝ කාන්තාවන් කිහිප දෙනෙකුගේ අඟ පසඟ ප්‍රදර්ශනය කළා හැර අර්ථවත් ගීතයක් හෝ සංගිත විඩියෝ පටයක් සමාජය වෙත දායාද කළේ නම් ඒ ඉතා කලාතුරකිනි.

මා, මෑතක එවන් සංගීත විඩියෝ පටයක් දෙකක් නැරඹුවේ නම් ඒ: අමල් පෙරේරා සහ අමරසිරි පීරිස් ගායනා කළ ‘විරාග රාගය’, තිසර වීරසිංහ ගායනා කළ ‘අන්සතු ඔබ’ රවි රොයිස්ටර් ගායනා කළ ‘හමාර බණවර’ යනාදි සංගීත විඩියෝ ය. ඒ හැර බොහෝ සංගීත විඩියෝ යට සඳහන් කළ පරිදි කිසිදු ප්‍රියතාවක් දැක්විය නොහැකි තත්ත්වයේ පැවතිණ.  


එබඳු වාතාවරණයක් තුළ වුව ද අරුත්බර පදරචනයක්, ශ්‍රව්‍ය ගෝචර හඬක් මෙන් ම අගනා රුප රචනයක් සහිත සංගීත විඩියෝවක් නැරඹිමට අවස්ථාව ලැබිණ. ඒ, දුමාල් වර්ණකුලසූරිය ගායනා කළ ‘සංවේගය සඟවා තබා යන්නෙමි’ ගීතය හා සබැඳි සංගීත විඩියෝ පටය යි.


මෙම ගීතය පමණක් රස විඳීමේ දී එය කියවාගත හැකි ආකාරය සහ ඊට අදාළ රූප රචනය සහිත සංගීත වීඩියෝව නැරඹීමේ දී එය කියවාගත හැකි ආකාරය එකිනෙකට වෙනස් ද්විමානයක පවතී. නමුදු ඒ මාන ද්වය ම අසන්නාගේ මෙන්ම සවන් දෙන්නාගේ: ඇස, කන සහ මනස යන ඉන්ද්‍රිය ත්‍රිත්වය ම ඉතා මැනවින් සංතර්පණය කිරීමට සමත් බව මෙහි පවතින විශේෂත්වයකි.

අපි පළමුවෙන් ම මේ පදරචනය කියවා බලමු.  



සංවේගය සඟවා තබා යන්නෙමි

දියණියේ මා ළයේ වෑහෙන ආදරේ

ඈත දුරු රට කාසි නගරෙට

නුඹ තබා මා පැලෙන් නික්මෙමි

 

සෙමෙන් පුබුදින නුඹේ මල් පෙති

බයයි බඹරුන් තළයි සියුමැලි

සෙමින් තෙපලූ වදන් මොළකැටි

මගේ සවනත පාරවයි නිති

 

හැඟුමන් ගැයුමට කවියකුත් නැති

මවගෙ සෙනෙහස අමාවක වුණි

නුඹේ දිවියට ඉර හිරු සඳු ම වෙමි

දියණියේ නුඹෙ පියා මම වෙමි

 

සංවේගය සඟවා තබා යන්නෙමි

දියණියේ මා ළයේ වෑහෙන ආදරේ

ඈත දුරු රට කාසි නගරෙට නුඹ තබා

මා පැලෙන් නික්මෙමි




මෙම ගීතයේ පළමු කොටස හෙවත් ස්ථායි කොටස කියවීමේ දී කථකයා පියෙකි ය යන්න ඉතා සරලව ම හඳුනාගත හැකි ය. එමෙන් ම එම පියා සිය දියණිය අමතන ආකාරයත්, ඒ කුමන මොහොතක, කුමක් සඳහා ද යන්න බවත් පැහැදිලි ය. ඒ, කථකයා සිය දියණියට ඇති ආදරය හේතුවෙන් ම, ඇගේ අනාගත අභිවෘද්ධිය උදෙසා මුදල් සරි කිරීම පිණිස විදෙස්ගතවන බවයි.

ගීතයේ දෙවන පද කොටසේ දී හෙවත් පළමු අන්තරා කොටසේ දී කථකයා පවසන්නේ යොවුන් වියට ආසන්නව සිටින සිය දියණිය කිසියම් පුරුෂ ග්‍රහණයකට නතුවේ ද යන සැකය ඔහු තුළ පවතින බවයි. එමෙන් ම ඇය ඒ සම්බන්ධයෙන් කුමක හෝ පවසා ඇති බට ද ඉඟි සපය යි.

තෙවනුව ගීතයේ ස්ථායි කොටසේ දී හෝ පළමු අන්තරා කොටසේ දි හෙළි නොකළ යම් සිද්ධියක් දෙවන අන්තරා කොටසේ දී හෙළි කරයි. ඒ, සිය දියණියගේ මව පිළිබඳ කිසියම් ඉඟියකි. එම ඉඟියෙන් ප්‍රකාශ මාන වන්නේ කුමක් ද යන්න අපැහැදිලි ය. නමුදු ‘අම්ම වගේ නෙවෙයි දුව... මං ඔයාගෙ තාත්තා... ඒ නිසා මං ඔයාගෙ අම්මයි තාත්යි දෙන්න ම වෙන්නම්’ යැයි පැවසෙන ව්‍යංගය දෙවන අන්තරා කොටසෙහි අන්තර්ගත ය.


මෙම පද රචනය ගීතයක් බවට පරිවර්තනය කිරීමේ දී සංගිතවේදියා සහ ගායන ශිල්පියා තම වගකීම් කොටස මැනවින් ඉටු කර ඇත. එය වඩාත් සාක්ෂාත් කරගැනීමට නම් පළමුව රූප රචනයෙන් තොරව ගීතයට පමණක් සවන් දිය යුතු ය. ගීතය උපරිම ලෙස විඳිය හැකිවන්නේ එවිටය යන්න ලියුම්කරුගේ අදහස ය. ඔබත් හැකිනම් පළමුව විඩියෝපටය නැරඹීමෙන් වැළකී ගීතයට පමණක් සවන් යොමු කරන්න.


දෙවනුව රූප රචනය සහිත සංගීත විඩියෝව වෙත අවධානය යොමු කරමු.

දර්ශන පෙළ ආරම්භ වන්නට පෙර කිසියම් ශබ්දයක් නැගෙන අතර ම කෙටි වදන් කිහිපයක් සංවාදයක ස්වරුපයෙන් දිස් වේ. එයින් ගම්‍ය කෙරෙන්නේ විත්ති කුඩුවට නැගි කාන්තාවකගෙන් විනිසුරුවරයෙකු කිසියම් පැනයක් විමසන ආකාරය යි. එහි දී ‘‘දැන් තමා විවාහක ද...?’’ යනුවෙන් විමසිමේ දී එය අයත්වන්නේ අතීතයට ද වර්තමානයට ද යන්න මඳක් අපැහැදිලි වුව ද ප්‍රේක්ෂකයාට ගම්‍ය කරගත හැකිවන්නේ සිද්ධියේ අවසානය බවයි.

අනතුරුව එළඹෙන්නේ කථකයා කථකයාගේ දුගී බව පිළිබිඹු කෙරෙන (පටිය කැඩුණ රබර් සෙරෙප්පුව යතුරු කටුවකින් සම්බන්ධ කිරීම) ආකාරය යි.

විනිසුරුවරයාගේ පැනය වන ‘‘තමාගේ ස්වාමි පුරුෂයගෙ රැකියාව මොකක්ද...?’’ යන්නෙන් ගම්‍ය කෙරෙන්නේ කථකයා රැකියා විරහිතයෙකු බවයි. අනතුරුව කිසියම් පුද්ගලයෙකු පැමිණ දොස් පවරන ආකාරයක් දැකිය හැකි ය. එසේ දොස් පවරන්නේ කවුද කුමක් සඳහාද යන්න අපැහැදිලි වුව ද ඒ, ඇතැම් විට නිවාස හිමිකරුවා විය හැකි ය. එසේත් නොමැති නම් ආහාර ද්‍රව්‍ය මිලදි ගන්නා කඩයේ මුදලාලි විය හැකි ය. ඒ මොහොතේ කථකයා සිය බිරිඳ දෙස බලන ආකාරය අනුව එසේ දොස් පවරන්නේ ඔහුගේ බිරිඳට යැයි ද උපකල්පනය කළ හැකි ය.

එසේත් නොවේ නම් ඔහු බිරිඳ අබියස ලජ්ජාවට පත්වු බව ගම්‍ය කලා විය හැකි ය. මේ සිද්ධි දෙක අතුරෙන් කුමක් වුව ද කථකයා වෙත සිය බිරිඳ විදෙස් ගමන් බලපත්‍රය දෙන අවස්ථාවේ සිට ඔහු දුම්රියට ගොඩවන අවස්ථාව දක්වා රූප පෙළෙන් ගම්‍ය කෙරෙන්නේ කථකයා රුකියාවක් සඳහා විදෙස්ගතවන බවයි.  

පද රචනයෙන් තීව්‍ර නොකෙරෙන, කථකයාගේ බිරිදගේ ක්‍රියාකලාපය දිගහැරෙන්නේ එතැන් සිට ය. එහෙත් පද රචනයේ යෙදෙන


‘‘සෙමෙන් පුබුදින නුඹේ මල් පෙති

බයයි බඹරුන් තළයි සියුමැලි’’



යන වදන් පෙළ කියවෙන මොහොතේ කථකයාගේ බිරිඳ ඇසුරු කරන වෙනත් පුරුෂයකු කථකයාගේ දියණියගේ අතක් තදින් අල්ලාගැනීම සහ ඒ සමගම එම පුද්ගලයාගේ පා පැදියේ පිටුපස නැග එන කථකයාගේ බිරිඳ එම පුද්ගලයාගේ ඉඟ පෙදෙසින් අල්ලා ගැනීම තුළින් එක පැහැර ගම්‍ය කෙරෙන්නේ බිරිදගේ පෙම්වතා දියණිය කෙරෙහි ආසක්ත වී ඇති බවක් වුව ද එය සාක්ෂාත් කරන්නට තරම් කිසිවක් රූප රචනය අවසාන වන තෙක් ම ගම්‍ය නොකෙරේ. පද රචනයේ ද එවැන්නක් පිළිබිඹු නොවේ.

මා කියවූ අන්දමට නම් එම පුද්ගලයා දියණියගේ උරිසට මඳක් පහතින් ඇල්ලීම තුළ ඔහු එම දැරිය කෙරෙහි ලිංගික ආසක්තභාවයකින් සිටින බවක් ගම්‍ය නොකෙරේ. එය බොහෝ විට දැරියකට වැඩිහිටියෙකු දක්වන ආදරය විය හැකි ය. නමුදු එම රුප පෙළ සහ යට සඳහන් වදන් පෙළ එකට මුසුවීමෙන් හැගෙන්නේ එම පුද්ගලයා ඒ කුඩා දැරිය කෙරෙහි ලිංගික ආසක්තභාවයක් දක්වන බවයි. එය කෙතරම් දුරට සාර්ථක ද යන්න යළිත් වරක් අවධානය යොමු කළ යුතු ය.

එතැන් සිට දිගහැරෙන්නේ කථකයාගේ බිරිඳ අදාළ පුද්ගලයා සමග පෙම් සබඳතාවක් පවත්වන බවට ඉඟි සැපයෙන රූප රාමු පෙළකි. එමෙන් ම ඇය ඇතැම් අවස්ථාවල දී සිය දියණියට දොස් පවරන ආකාරයත්, ඇය දියණිය නොසලකා හරිමින්, දියණිය නිවසේ සිටිය දි ම සිය පෙම්වතා සමග පෙම් සුව විඳින ආකාරයත් ගම්‍යමාන කෙරෙන රුපරාමු පෙළක් නරඹන්නා ඉදිරියේ දිගහැරේ. එමෙන් ම කථකයා දුරු රටක සේවයේ නිරත වන ආකාරය ද දිස්වේ.

සමස්ත රුප රචනය පුරාම දිස්වන්නේ විදෙස් ගතවු සැමියෙකු සිටින බිරිඳකගේ නොමනා හැසිරීමක ප්‍රතිඵලයක් ලෙස දියණියක් අත්විඳින කටුකත්වය සහ ඇය එය කෙතරම් ආයාසයකින් දරාගෙන සිටියා ද යන්න ය. එය වඩාත් තීව්‍ර කෙරෙන්නේ සිය පියා ඇය වඩාගත් සැණින් කනට කර රහසෙන් යමක් පවසන අවස්ථාවේ දී ය.


වීඩියෝව අවසානයේ සඳහන්වන්නේ (ඉංග්‍රිසි බසින්) දිනකට මෙරට දික්කසාද 400ක් පමණ සිදුවන බවයි. ගීතය පමණක් ශ්‍රවණය කිරීමේ දි විඳිය නොහැකි තරමේ අත්දැකීමක් රූප රචනය තුළින් ඉදිරිපත් කිරිමට සමත්වීම තුළ රචකයා පවසන්නට උත්සාහ කළ යමක් වඩාත් තහවුරු වී තිබේ.  එය බරපතළ සමාජ ප්‍රශ්නයකි.

කෙසේ වුව ද මෙවන් සිද්ධි කාන්තා සහ පුරුෂ යන දෙපාර්ශ්වයට ම සාපේක්ෂ ය. එබැවින් විදෙස්ගත කිසිදු සැමියෙකු සිය බිරිඳ ද මෙසේ යැයි උපකල්පනය නොකළ යුතු ය යන්න ලියුම්කරුගේ පුද්ගලික මතය යි. මන්ද මෙරට බරපතළ ලෙස සිදුවන්නේ මෙහි අනෙක් පාර්ශ්වීය ඛේදවාක යි. එහි දී මෙවන් දියණියෝ විනාශ කරනු ලබන්නෙ සිය පියා විසින් ම ය.

මව විදෙස් රැකියාව නිමවී නිවසට පැමිණෙන විට ඇගේ පුරුෂයාට දාව ඇගේම දියණිය දරුවකු බිහි කර සිටීම මෙරට සුලබ අත්දැකීමකි. එමෙන් ම සැමියා විදෙස්ගත වූ පසු අදාළ කාන්තාව වෙනත් පුරුෂයකුගේ ඇසුරට යොමු වී, එම පුරුෂයා විසින් අදාළ කාන්තාවගේ කුඩා දියණිය විනාශ කළ අවස්ථා ද දැකගත හැකිය. මෙම සිද්ධි දෙක ම සාපේක්ෂ ය. සමාජ ප්‍රශ්නයක් ලෙස මේ පිළිඳද අවධානය යොමු කිරීමේ දී එක් පාර්ශ්වයකට පමණක් දොස් පැවරීම අනර්ථකාරී මෙන් ම අසාධාරණය යන්න ලියුම්කරුගේ පුද්ගලික මතය යි.

නිර්මාණයක් ලෙස සැලකීමේ දී පද රචනය අභිභවා යන රූප රචනයක් බද්ධ කිරීම යනු එක් පසෙකින් දැඩි අභියෝගයකි. එහි විශේෂත්වය වන්නේ මෙම රූප රචනයේ රචකයා ද ගීත රචකයා ම වීම ය. එකී රචනය කදිමට අධ්‍යක්ෂණය කිරීමට ද අධ්‍යක්ෂකවරයා සමත්ව ඇති බව ද සඳහන් කළ යුතු ම ය.


එබැවින් මා යළි යළිත් ඉල්ලා සිටින්නේ පළමුව ගීතය පමණක් රස විඳ දෙවනුව සංගිත විඩියෝව නරඹන ලෙස ය. එවිට එක් පද රචනයක් තුළ අත්දැකීම් ද්විත්වයක් විඳිය හැකි ය. එය කලාතුරකින් ලැබෙන අත් දැකීමක් වනු නොඅනුමාන ය.


නමුත් මෙය ඉන්දියාවේ වෙසෙන අමිතාබ් බච්චන් නම් නරඹාවි යැයි සිතිය නොහැකි ය. එහෙත් ලාංකීය රසික සහ ප්‍රේක්ෂක ප්‍රජාව මෙය නරඹන්නැයි ආරාධනා කරන්නට ලියුම්කරු  කැමැති ය.



පද රචනය සහ තිර රචනය - මහේෂ් රත්නායක

සංගීතය - නයන කරුණානායක

ගායනය - දුමාල් වර්ණකුලසූරිය

නිෂ්පාදනය - සෙනරත් සෝමලාල්

අධ්‍යක්ෂණය- තිලක් අත්තනායක






සංක්ෂිප්ත ඉතිහාසයක සහෝදර උරුමය- ජයසිරි අලවත්ත - Trans+National New Left  Magazineජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/07/31


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්