‘‘කලාව සුවදායක ආස්වාදයක් ගෙන දෙන බව සත්‍යයකි. කලා නිර්මාන යථාර්ථය අතික්‍රමනය කිරීමේ භාවිතයක් වන හෙයින් එහි ප්‍රතිඵලයක් ලෙස

කලාකරුවා යථාර්ථය සමග පෙර පැවැත්වූ සම්බන්ධයට වඩා තමන්ට වාසිදායක වූ ද, සහනදායක වූ ද නව සම්බන්ධයක් පිහිටුවාගන්නේ ය. කලා නිර්මානය කලාකරුවාට සුවදායක කටයුත්කත් වන්නේ එහෙයිනි.

කලා නිර්මානය ඇසුරු කරන සහෘදයා කලාකරුවාගේ යථාර්ථය අතික්‍රමනය කිරීමේ භාවිතය හා අනන්‍ය වෙයි .කලාකරුවා තම නිර්මාන කාර්යයේ දී තම සුවිශේෂ අත්දැකීම් හා සංවේදනාවන් ගවේෂනය කරමින් යථාර්ථය ජයගැනීමට දරන ප්‍රයත්නයේ දී මානව භාවිතයේ පොදු හරය නැත්නම් සාමාන්‍යය කරා කිමිදෙයි. සහෘදයාගේ සුවිශේෂ පුද්ගලික භාවිතයෙහි ද මේ පොදු හරය නැත්නම් සාමාන්‍යය අන්තර්ගතව පවතින නිසා සහෘදයාට කලා නිර්මානයෙන් ප්‍රකාශයට පත්වන කලාකරුවාගේ යථාර්ථය අතික්‍රමනය කිරීමේ භාවිතය හා අනන්‍ය වීමට ශක්තිය ලැබේ.

 

කලාකරුවාගේ යථාර්ථය අතික්‍රමනය කිරීමේ භාවිතය හා අනන්‍ය වන සහෘදයා මානසික සුවයක් ද, ප්‍රබෝධයක් ද ලබයි. කලාකරුවාගේ නිර්ව්‍යාජත්වයේ ද සූක්ෂ්මතාමතාවේ ද පරිමානයට අනුව යථාර්ථයේ ගැබ්ව පවතින අන්තර් සම්බන්ධතා සහ පරස්පර විරෝධයන් කලා නිර්මානයෙන් ප්‍රකාශයට පත්වන හෙයින් එසේ ප්‍රකාශයට පත් කෙරෙන ඥානය ද සහෘදයාගේ ප්‍රීතියට ඉවහල් වෙයි.’’

 

සාහිත්‍යය භෞතිකවාදී අධ්‍යයනයක්: පියසීලි විජේගුනසිංහ: පි.54: ද්විතීය මුද්‍රනය 2005

(උපුටාගත් කොටසේ අක්ෂර වින්‍යාසය කතුවරියගේ අභිමතය පරිදි ය)

මෙම කොටසේ පළමු ඡේදයේ එන ‘‘කලා නිර්මාන යථාර්ථය අතික්‍රමනය කිරීමේ භාවිතයක් වන හෙයින් එහි ප්‍රතිඵලයක් ලෙස කලාකරුවා යථාර්ථය සමග පෙර පැවැත්වූ සම්බන්ධයට වඩා තමන්ට වාසිදායක වූ ද සහනදායක වූ ද නව සම්බන්ධයක් පිහිටුවාගන්නේ ය.’’ යන්න පාඨක ප්‍රජාව කෙතෙක් දුරට අවබෝධ කරගන්නේ ද, එසේ අවබෝධ කරගන්නා පාඨකයා හෝ පාඨකාව අදාළ කෘතිය මැනවින් කියවා ගන්නා බව විශ්වාස ය. එසේ නොවන තාක් කල් ලියන පුද්ගලයා සහ පාඨක ප්‍රජාව අතර පවතින්නේ දුරස්තභාවකි.

එමෙන් ම මෙහි එන ‘‘කලාකරුවාගේ නිර්ව්‍යාජත්වයේ ද සූක්ෂ්මතාමතාවේ ද පරිමානයට අනුව යථාර්ථයේ ගැබ්ව පවතින අන්තර් සම්බන්ධතා සහ පරස්පර විරෝධයන් කලා නිර්මානයෙන් ප්‍රකාශයට පත්වන හෙයින් එසේ ප්‍රකාශයට පත් කෙරෙන ඥානය ද සහෘදයාගේ ප්‍රීතියට ඉවහල් වෙයි.’’  යන්න ද වලංගු වන්නේ (පාඨක ප්‍රජාවගේ ප්‍රීතියට ඉවහල් වන්නේ) ලියන පුද්ගලයාගේ අදහස නිවැරැදිව කියවාගත හැකි පාඨක ප්‍රජාවට පමණි. ලංකාවේ වෙසෙන සිංහලෙන් කියවන පාඨක ප්‍රජාව අතර මෙම සුවිශේෂතාව සහිත පාඨක පාඨකාවෝ අල්ප ය. ගැඹුරු අර්ථ සම්පන්න කෘතියක් පාඨක සමාජය තුළ ඉස්මතු නොවීමට මෙම නොහැකියාව ඉතා දරුණු අන්දමින් බලපාන්නේ ය.

 

මුල, මැද, අග පිළිවෙළින් ගැළපූ ආඛ්‍යානය සහිත කෘතියක් ඉතා පහසුවෙන් ග්‍රහණය කරගත හැකි වුව ද ඊට වෙනස් ආකාරයේ ආඛ්‍යානයක් සහිත කෘතියක් ග්‍රහණය කරගත හැකි පාඨක ප්‍රජාව ද සීමිත ය. එහෙත් එසේ වූ පමණින් ලියන පුද්ගලයාට තමාගේ ලිවීමේ රටාව වෙනස් කළ නොහැකි ය. එසේ වෙනස් නොකළ යුතුය යන්න ලියුම්කරුගේ ද පුද්ගලික මතය යි.

 

paaraaරෝහිණී ජයන්ති ලියනගේ විසින් රචිත ‘‘නිමුල්’’ ප්‍රබන්ධය ද නවමු ආඛ්‍යාන රටාකින් සමන්විත ප්‍රබන්ධ කෘතියකි. ලියුම්කරු 2012 වසරේ (ලියුම්කරුගේ පළමු ප්‍රබන්ධය) සඟරාවක් වෙනුවෙන් කොටස් හතරක් ලියූ පසු පස්වන කොටස පළ නොවු හෙයින් ලිවීම නතර කළ, මේ වන විට මෙම වෙබ් අඩවියේ කොටස් වශයෙන් පළ වන ‘‘වජ්ජා’වජ්ජ’’ ප්‍රබන්ධය සහ 2010 වසරේ භාතිය මදනායක විසින් රචිත ‘‘පාරා’’ ප්‍රබන්ධය ද ‘‘නිමුල්’’ කෘතියේ ආඛ්‍යාන රටාවට නෑකම් කියන වග දක්නට ලැබේ.

කතුවරිය, මෙම නිර්මාණයේ දී ප්‍රබන්ධයේ එන ප්‍රධාන කථකාව ලවා යම් සිද්ධියක් පාඨක ප්‍රජාව හමුවේ තබන්නී ය. ඒ සදහා කථකාව වැය කරන්නේ සූවිසි පැයකටත් අඩු කාලයකි. එම සිද්ධිය ද හරුකි මුරකාමි විසින් රචිත ''After dark'' (මෙම කෘතිය අශෝක නිශ්ශංක විසින් ‘‘නිරුවත් කළුවර’’ යන මැයෙන් පරිවර්තනය කරනු ලැබ ඇත) කෘතිය ද සිහිපත්කරවයි. එහි ද රැය පහන්වන්නට පෙර අතීත සිද්ධි දාමයක් පාඨක ප්‍රජාව වෙත අනාවරණය කෙරෙයි.

hy

කතුවරිය සිය ප්‍රබන්ධය රචනා කරන්නේ එක පෙළකට වුව ද එය ‘කියවාගත යුත්තේ’  කොටස් දෙකක් වශයෙනි. එනම් කථකාවගේ ඉදිරිපත් කිරීම සහ කථකයාගේ ඉදිරිපත් කිරීම වශයෙනි. අවසන මෙම වියමන් දෙක දෙපසකින් ඇද ගන්නා රැහැන් දෙපටක් එකට ගැට ගසන්නා සේ ගැටගැසිය යුතු ය.

ඇතැම් පාඨකයකුට හෝ පාඨකාවකට මෙම ‘‘කියවීම’’ තරමක් දුෂ්කර වන්නට පිළිවන. නමුදු: මුල, මැද සහ අග පිළිවෙළින් කියවීම අතික්‍රමණය කළ පාඨක ප්‍රජාවට කතුවරියගේ උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳීම එතරම් අපහසු නොවන බව ලියුම්කරුගේ අදහස යි. එසේ වුව ද යට සඳහන් කළ පරිදි සිංහල පාඨක ප්‍රජාව අතර එබඳු පාඨක පාඨකාවෝ අල්ප බැවින් මෙබඳු ප්‍රබන්ධ කෘති සමාජගතවීම තරමක් පසුබට වීම අනිවාර්ය කරුණකි.

කතුවරිය සිය ප්‍රබන්ධය තුළින් කතාවක් ඉදිරිපත් කරන අතර ම සමාජය පිළිබඳ ඇය දන්නා, ඇයට හැඟෙන, දැනෙන සමාජ විෂමතා ද හෙළි පෙහෙළි කරන්නට සමත් වන්නී ය. එබඳු අවස්ථා කතුවරිය ප්‍රබන්ධයට මැදිහත්වීමක් ලෙස ඇතැම් පාඨකයෙක් හෝ පාඨකාවක් අර්ථ ගැන්විය හැකි ය. එය වරදක් නොවේ. මන්ද බොහෝ විට ලේඛනයේ යෙදෙන පුද්ගලයා නිර්මාණයක් ලෙස සමාජගත කරන්නේ තමා පුද්ගලිකව හෝ සමාජයෙන් ලද අනුභූතියකි. එවන් අනුභූති ඉදිරිපත් කිරීමේ දී සමාජයේ පවතින ඇතැම් දුර්මත නිෂ්ක්‍රීය කිරීම හෝ විවේචනයට බඳුන් කිරීම සඳහා තම නිර්මාණයේ එන චරිතයක් භාවිත කිරීම වැළැක්විය නොහැකි ය. කතුවරිය ද තම නිර්මාණය තුළින් එවන් අවස්ථා උද්දීපනය කර ඇත. නමුදු එය කෘතියෙන් වියුක්ත නොවන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට තරම් කතුවරියගේ ප්‍රබන්ධ ශක්‍යතාව වර්ධනය වී තිබේ. වෙසෙසින් ම: අප දකින, අපට ඇසෙන සියල්ල සත්‍ය නොවේ ය යන්න පිළිබඳ අපගේ අවධානය යොමු විය යුතු බව ඇය පාඨක ප්‍රජාව වෙත අවධාරණය කරන්නී ය. එබඳු අවස්ථා වුව ද කෘතියෙන් පරිබාහිර සංසිද්ධි ලෙස කිසිවකු අර්ථ ගැන්විය හැකි ය. නමුදු පුහුණු පාඨක ප්‍රජාවට එබඳු අවස්ථාවලින් නිරූපණය කෙරෙන යථාව කුමක් ද යන්න අවබෝධ කරගැනීම එතරම් අපහසු නොවේ ය යන්න ලියුම්කරුගේ විශ්වාසය යි.

270118921 6719386838131279 532744966117486864 n

 

කතුවරිය ද ගැහැනියකි. එසේ වුව ද ගැහැනිය සම්බන්ධයෙන් ගැහැනිය දරන ඇතැම් මත වුව ද නිශේධනය කරන්නට කතුවරිය පසුබට නොවන්නී ය.

 

‘‘ගෑනියෙක් ඇඟේ හැපුන ම කෑ ගහන පිරිමි නොදැක්කට පිරිමියෙක් ළඟින් ගියත් රවල බලන ගෑනු ඉන්න ලංකාවෙ, ගැනියෙක්ගෙ ඇඟේ ගෑනියෙක් හැපුණත් බැණුම් අහන්න වෙන එක අමුතු දෙයක් නෙවෙයි.’’

පිටුව 16

බොහෝ විට මේ කතුවරිය සමාජය දකින දෘෂ්ටිය විය හැකි ය. නමුදු එය මායාවක් නොව යථාර්ථය යි. එසේ නම් ප්‍රබන්ධයක් තුළින් යථාර්ථය උද්දීපනය කිරීම නුසුදුසු යැයි කිසිවෙකුට පැවසිය හැකි ද...?

කාන්තාවන් පමණක් නොව පුරුෂයින් ද පුරුෂයන් පිළිබඳ තබා සිටින අධි මානසිකත්වය ඉතා නිර්දය ලෙස විවේචනයට බඳුන් කරන්න කතුවරිය පසුබට නොවන්නී ය.

‘‘පිරිමි කවදත් ඔහොම තමයි. සමහර දේවල් කරන්න පුළුවන් තමන්ට විතරයි, ඒව ගෑනු කරන්න ම ඕන නෑ කියල හිතන මානසික තත්ත්වයක ඉන්නෙ තමුන් පිරිමියෙක් කියන එක නළලෙ කොටාගෙන. ඒත් මම හිතන්නෙ ඒව පිරිමි තමන්ගෙ වාසියට අටෝගත්ත විකාර අදහස්.’’

පිටුව 19

කතුවරිය සිය ප්‍රබන්ධයේ චරිතයක් තුළින් මෙලෙස සමාජ ගත කරන්නී මනෝමය සංකල්පයක් නොවේ. එය මහ පොළොවේ යථාර්ථය යි. නමුදු එකී යථාර්ථය ඇය ඉදිරිපත් කරන්නී හුදු වාර්තාකරණයෙන් ඔබ්බට පියමං කරමිනි. සාහිත්‍ය යනු එය නොවේ ද...?

කිසියම් පුද්ගලයෙකු: ‘‘එයා මගේ, එයාල අපේ’’ යනාදි වශයෙන් පවතින සංකල්පය සහ ‘‘මගේ ම’’ හෝ ‘‘අපේ ම’’ වන්නට රුධිරමය සම්බන්ධයක් තිබිය යුතුම ද යන්න කතුවරිය මෙසේ විමසන්නීය; පවසන්නී ය.

‘‘මගෙ කියල කිව්වට ඒක ලේ සම්බන්ධයක් නෙවෙයි. සම්බන්ධකම්වලට ලේ ගෑවෙන්න ම ඕනෙ නෑ. ඒකට ඕන වෙන්නෙ ලේ පිපරුණ පපුවක්’’

පිටුව 80

සාමාන්‍ය ව්‍යවහාරයේ වෙසඟන යැයි හඳුන්වන: රෑ මනමාලිය, පුරඟන හෝ ගණිකාව ලෙස හඳුන්වන කාන්තාවන් යනු හුදෙක් ලිංගික සන්තර්පණය උදෙසා එකී වෘත්තියේ නියැළෙන්නියෝ නොවෙති. ඔවුන් බහුතරයක් එම වෘත්තියේ නියැළෙන්නේ ජීවත්වීම සඳහා ය. එහෙත් එවන් කාන්තාවකට වුව ද පුරුෂයකුගේ ආදරය, කරුණාව සහ රැකවරණය කෙතරම් දුරට අවශ්‍ය ද යන්න නොසිතන ප්‍රජාව වෙත ඒ පිළිබඳ යථාර්ථය ඉතා කෙටි වාක්‍යකින් පවසන්නට කතුවරිය සමත්වන්නී ය.

‘‘පිරිමි දාහක් එක්ක ලැග්ගත් ඕන ම ගෑනියෙක් කැමතියි එක පිරිමියෙකුගෙ උරිස්සට ඔළුව තියාගෙන ඉන්න. සමහර විට අර පිරිමි දාහකින් ලැබෙන්නෙ නැති දෙයක් එතැන තියෙනව වෙන්න පුළුවන්.’’

පිටුව 81

අඹු සැමියන් අතර විරසකය බත් හැළිය ඉදෙන තුරු ය යනුවෙන් කියමනක් පවතී. එය ම වෙනස් ආකාරයකින් පවසන්නේ නම් අඹු සැමියන් අතර විරසකය නිමාවන්නේ ලිංගික සම්භෝගයෙනි යනුවෙන් ද පැවසිය හැකි ය. කතුවරිය ‘‘නිමුල්’’ කෘතිය තුළ එය ඉතා මැනවින් සාක්ෂාත් කරන්නී ය.

‘‘මම දත්මිටි කාගෙන එවුන් දෙන්න ළඟට කිට්ටු වෙනවත් එක්ක ම ඒ ගෑනිගෙ කොණ්ඩෙන් ඇදගෙන ම මිනිහ කූඩාරම ඇතුළට රිංග ගත්ත. දැනුත් මට පේන්නෙ එවුන් දෙන්නගෙ පොරකාගැනිල්ල, බදාගැනිල්ල, වැලඳගැනිල්ල, මර ළතෝනියකට පස්සෙ හීන් කෙඳිරිල්ල; කූඩාරමේ දොර ළඟ මාව අතරමං කරල හුදකලා කරපු කෙඳිරිල්ල.’’

පිටුව 106

මෙම සංසිද්ධිය ම කතුවරිය තවත් තැනෙක මේ ආකාරයට සටහන් කරන්නී ය.

‘‘මම කිව්ව එයාට මේ හැම දේම දමල ගහල අපි කොහේ හරි ඈතකට ගිහින් ජීවත් වෙමු කියල.එයා ඒකට කැමති වුණේ නෑ. එයා එක්ක වැල්ලෙ ජීවත් වෙන්න හිත හදාගන්න කිව්ව. ඒ, එයාට වැල්ලෙ ම ඉන්න ඕන කියපු නිසා. එදා අපි ඒකට හොඳට ම රණ්ඩු වුණා. ඒ රණ්ඩුව අන්තිමට නතර වුණේ මම ගෑනියෙක් වෙලා.’’

පිටුව 142

‘සංස්කෘතිය’ යනු නිරන්තරයෙන් වෙනස් විය යුතු ප්‍රපංචයකි. එසේ නොවන විට හෝ නොකරන විට මිනිස් සමූහයා එක තැන පල් වෙන පුවක් ගෙඩියක් හෝ පොල් ලෙල්ලක් වීම වැළැක්විය නොහැකි ය. කතුවරිය මේ යථාර්ථය මෙසේ විදාරණය කරන්නී ය.

‘‘ඇත්තට ම සංස්කෘතිය කියන්නෙ මොකක් ද...? ඒක දවසින් දවස වෙනස් වෙනව, අලුත් වෙනව කියන එක නෙවෙයි ද ඇත්ත. ඇයි මිනිස්සු ඒක පිළිගන්න මෙච්චර අකමැති. හිතට හොරෙන් අපි හරි නූතන වෙන්න ට්‍රයි කරනව, රැඩිකල් වෙන්න ට්‍රයි කරනව. ඒත් ඇත්තට ම අපි හුඟක් සංස්කෘතික, ගතානුගතික මිනිස්සු. කවද හරි මේ හැම දේම අලුතින් පටන් ගන්න ඕනෙ. එතකන් අපිත් මේ මූද වගේ ඉස්සරහට එනව ආයෙමත් පස්සට යනව. හරියට බැලුවොත් හැමදා ම එක තැන.’’

පිටුව 37

සැබැවින් ම මෙම සිද්ධිය මේ ආකාරයට රැල්ල වෙරළට විත් ආපසු මුහුදට යන මොහොතක කතුවරියගේ සිතේ පහළ වූ අදහසක් විය හැකි ය. නමුදු එය හුදෙක් මනෝමය තත්ත්වක් නොව මහ පොළොවේ පවතින යථාර්ථයකි. එබඳු යථාර්ථ මේ ආකාරයෙන් සමාජ ගතකළ හැකිවන්නේ කලාකාර ප්‍රජාවට පමණි.

 

කතුවරිය ‘‘නිමුල්’’ ප්‍රබන්ධය තුළ සංවේදි කතාවක් දිගහරින අතර ම ලාංකීය දේශපාලනයේ නිරුවත් පැතිකඩ නිරාවරණය කිරීමට ද සමත්වන්නී ය. එබඳු තැන් ඉක්මනින් මෙන් ම පහසුවෙන් ස්පර්ශ කරගත හැකි වුව ද ඇගේ මුඛ්‍ය ලියවිල්ල ස්පර්ශ කිරීම තරමක් අපහසු කාර්යයකි. ඇය සිය වියමන තුළ මුල, මැද සහ අග මාරු කළ ද ඇතැම් අවස්ථාවල දී යම් යම් ඉඟි සපයන්නී ය. එක් වතාවක් කෘතිය කියවීමෙන් පමණක් එකී ඉඟි ග්‍රහණය කරගන්නට කිසියම් පාඨකයෙක් හෝ පාඨකාවක් අසමත් වුවා නම් ලියුම්කරු ආරාධනා කරන්නේ කෘතිය දෙවන වරට ද කියවන ලෙසයි. එවිට කතුවරිය නොලියා පවසන යථාව අවබෝධ කරගැනීමට පහසුවනු ඇත.

 

සම්මාන උළෙල සඳහා පොත් කියවන කිසිදු විනිශ්චකරුවෙකුට හෝ විනිශ්චකාරියකට එක් කෘතියක් දෙවතාවක් කියවීමට අවකාශ නොලැබෙන බැවින් ‘‘නිමුල්’’ බඳු කෘති ඇගයීමට ලක් නොවීම පුදුමයක් නොවන බව ද මෙහි දී සඳහන් කළ යුතු ම ය. 

 

ලියුම්කරුට අනුව නම් මෙම කෘතිය කිය විය යුත්තේ සංයමයෙන්, භාවනාවක් සදිසි ලිංගික සම්භෝගයේ යෙදෙනෙ ආකාරයෙනි. එවිට කෘතියේ රස තැන් පාදා රසවිඳිය හැකි අතර අවසන සුරතාන්තයට පත්විය හැකිය. එසේ නොකළ හොත් අතරමගදී ක්ෂණික මෝචනයට ලක්ව සම්භෝගය අතැර පලායාමට සිදු විය හැකි ය.



කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/09/04 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්