‘‘කාව්‍ය පෝෂණය වී ඇත්තේ ද ශබ්ද චිත්‍ර මගිනි. චිත්‍රය වනාහී රේඛා සංකේත කොට ගත් කලා මාධ්‍යයකි. සිත්තරා චිත්‍රය තුළ රේඛා මගින් ධ්වනිත කරවන

අර්ථ රටාව විධිමත් කළේ රේඛා වහල් කොට ගැනීමෙනි. සමබරතාව ව්‍යක්ත සංකල්ප ආදිය දක්ෂ චිත්‍රයක මූර්තිමත් වෙයි.

 

රේඛීය චිත්‍රයක් තුළ ගැඹුරු වින්දනයක් ගොඩනැගීමට චිත්‍රය ඉවහල් වූවා සේ එය දක්ෂ චිත්‍රකාරයාගේ ක්‍රියාවකැයි පවසන්නා මෙන් කවියකු හසුරුවන ශබ්ද මාලාවෙහි ක්‍රමවත් බව විශිෂ්ඨ කාව්‍යයකැයි කියනු ලැබේ.’’

 

- කාව්‍ය විචාර දර්ශන: බඹරැන්දේ මහානාම හිමි: 1981: ගොඩගේ ප්‍රකාශන: පිටුව 10

මහානාම හිමියන්ගේ ප්‍රකාශය මතු දැක්වෙන කාව්‍ය නිර්මාණය සමග කෙතරම් දුරට සමපාත වන්නේ දැයි පළමුවෙන් ම විමසා බලමු.


වන ගුල්ම කුල්මත් කෙරෙන හිමිදිරි යම
සඳ නින්ද බිඳ රස පින්න තවරයි තොල
පෙති මත වැතිර රොනු සොයන මගෙ බඹරිඳ
මණි පත්‍ර මැද මධු බින්දු ඇස නො ගැටුණ

දුල චන්ද්‍ර රේඛා කඳුළු බිඳුවක වැද
ඇසිපිය පිරෙයි ඉකි ගැසෙන තනියක තෙත
සුර ගඟ ඉහළ සරදම් විලස හිනැහෙන
තුඩ විත තබා යනු මැන ඉගිලෙන විට

දහසක් ස්වප්න සහසක් පැතුම් අරගෙන
රහසක් නග්න දෙසවන් පුරා පිරිමැද
දවසක් වඩිනු, පිය යුග තවා ආ සඳ
වරුවක් සිඹිමි රිදවූ පවට මුදු හද



hengum muyulasa cover newලක්මාලි හේවාවසම් විසින් රචිත ‘‘හැඟුම් මුහුළස ලිහුණි’’ කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත මෙම නිර්මාණය නම් කර ඇත්තේ ‘‘බඹරිඳ’’ යැන මැයෙනි. මහානාම හිමියන් පවසන ආකාරයට මෙම කාව්‍ය නිර්මාණය ද දක්ෂ චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍රයක් බඳු ය; සමස්ත නිර්මාණය ම වර්ණවත් වී ඇත්තේ ශබ්ද චිත්‍ර මගිනි. වෙසෙසින් ම මෙම නිර්මාණය සඳහා කිවිඳිය උපස්තම්භක කරගන්නී පුරාණ වදන් මාලා ය. එම වදන්වල අරුත නිවැරැදිව වටහා නොගන්නා හෝ එහි අරුත් නොදන්නා පාඨක ප්‍රජාව වෙත මෙම නිර්මාණය විඳීම තරමක් අපහසු විය හැකි ය. නමුදු පුහුණ කාව්‍ය පාඨක පාඨකාවන් එම අභියෝගය ඉතා පහසුවෙන් ජය ගනු ඇත. එවිට මහානාම හිමියන්ගේ ප්‍රකාශය සහ මෙම නිර්මාණයේ සමපාත බව වඩ වඩාත් පසක්වනු ඇතැයි යන්න මගේ විශ්වාසය යි.

යට කී පරිදි මෙම නිර්මාණයේ අන්තර්ගත: සංකේත, රූපක, ව්‍යංගාර්ථ, වක් බිණුම් මෙන් ම වක්‍රෝක්ති යනාදි සියල්ල වදන් නමැති පින්සල් පහරින් ඔප් නංවා ඇති ආකාරය සුවිශේෂී ය. ඒ සඳහා එක් උදාහරණයක් පමණක් ගෙහැර දක්වන්නට අවසර.

මෙහි පළමු පදයේ එන ‘‘වන ගුල්ම’’ යනු සම්භාව්‍ය හෙවත් විදග්ධ භාෂා නෛපුන්‍යයක් සහිත කවි කිවිඳයන් පමණක් භාවිත කළ/කරන දෙවදනකි. එමෙන් එය බොහෝ පුරාණ ගද්‍ය පද්‍ය සාහිත්‍යාංග තුළ අන්තර්ගත දෙවදනකි. සරල කාව්‍ය පබඳින්කු හෝ පබඳින්නියක බොහෝ විට මේ සඳහා ‘‘වන ලැහැබ’’, ‘‘වන වදුල’’, ‘‘වන ගොමුව’’ යනාදි ලෙස භාවිත කරන්නට ඉඩ තිබිණ. නමුදු කිවිඳිය ‘‘වන ගුල්ම’’ නමැති දෙවදන ඒ සඳහා උපස්තම්භක කරගන්නී සමස්ත නිර්මාණය ම එබඳු විදග්ධ වදන්වලින් නිර්මාණය කිරීමේ අදිටනෙන් බව පැහැදිලි ය.

 

‘‘ඇයි අනෙක් වදන් භාවිත කළේ නම් මෙය කවියක් වෙන්නෙ නැද්ද...?’’ යැයි දැන් කිසිවෙකුට සිතෙන්නට හැකි ය; කිසිවෙකු ප්‍රශ්න කරන්නට පිළිවන. එය වැරැදි යැයි මම නොපවසමි. මන්ද ඕනෑම කාව්‍ය නිර්මාණයක් සඳහා කවියා හෝ කිවිඳිය වදන් තෝරාගත යුත්තේ අදාළ අනුභූතිය ඉදිරිපත් කිරීමට වඩාත් යෝග්‍ය අන්දමිනි. එම වදන් සම්ස්ත පාඨක ප්‍රජාව ම වටහා නොගනී යැයි සිතා සිය නිර්මාණයේ බර සැහැල්ලු කරගැනීම කවියකුට හෝ කිවිඳියකට තරම් නොවේ. ලක්මාලි හේවාවසම් කිවිඳිය බාරගන්නා අභියෝගය එය යි; එය කාව්‍ය නිර්මාණ කරන පුද්ගලයන් සතු විය යුතු ඍජු ගුණාංගයක් යැයි මම විශ්වාස කරමි.

 

යට කී පරිදි අදාළ අනුභූතිය ඉදිරිපත් කිරීම සඳහා වඩාත් සුදුසු වදන් තේරීමේ නිසඟ හැකියාවක් කිවිඳිය සතුව පවතින බවට මතු දැක්වෙන නිර්මාණය තව දුරටත් සාක්ෂි දරයි. නිර්මාණය නම් කර තිබෙන්නේ ‘‘ආදර කහට’’ යන මැයෙනි.



ආලයක කහට
මකා ලිය හැකිද
සේදුවත් කොපමණ

එපා කියද්දී
කලවම් කළේ
පොරොන්දු සීනි හැඳි
තුන හතර

කෝප්පය අද තනිවම
අඩියේ කහට පැල්ලම

සීනි වැඩි වී ලේවල
පෙති ගිලිමි උදේ හවහට

ඇහෙන්නේ නැහැ ඔබට
කේතලයේ උණු වතුර
තවමත් ‘ගොජ ගොජ’ ගාන හඬ...!



මෙම නිර්මාණය සඳහා උපස්තම්භක කරගත් භාෂාව ‘‘බඹරිඳ’’ නමැති කාව්‍ය නිර්මාණය සඳහා උපස්තම්භක කරගත් භාෂාව සමග සසඳන විට අහසට පොළොව මෙනි. නමුදු මගේ කියවීමට අනුව නම් ‘‘බඹරිඳ’’ නිර්මාණය තුළින් කියැවෙන යටිපෙළ අභිභවන යටි පෙළක් මෙම නිර්මාණය තුළින් කියැවේ. නමුදු භාෂාව: සරල ය; සුගම ය. මෙය අන් කිසිවක් නොව කිවිඳිය සතු කවිතාව ය යන්න පැහැදිලි ය. එනම් අනුභූතියට අදාළ භාෂා රටාවක් තෝරාගැනීමේ ශක්‍යතාව කිවිඳිය සතුව පවතී. ‘‘හැඟුම් මුහුළස ලිහුණි’’ කාව්‍ය සංග්‍රහයේ බොහෝ නිර්මාණ තුළ මෙම ශක්‍යතාව ප්‍රදර්ශනය කෙරේ. එය කාව්‍ය රචනයේ නියැළෙන පුද්ගලයන් සතුව පැවතිය යුතු ම දක්ෂතාවකි.

මතු දැක්වෙන්නේ එබඳු ම තවත් නිර්මාණයකි. නිර්මාණය නම් කර ඇත්තේ ‘‘ඔබ මී විතකි මට’’ යන මැයෙනි.

හද පාරන්ට සඳ ගල සිට මලවි හැරී
විද හී සරය මට මුදවා ගන්නට බැරී
හිත වාවන්ට බැරි සීතල රැයකි සකී
ඔබ මී විතකි මට මත් වෙන තෙපුල ඇතී

සලා දුලා රතදර රොන් සිඹිනවද
දුලා නෙතුපුලා කඳුළින් තෙමෙනවද
තළා සිනිඳු පෙති යන්නට හිතනවද
බලා පළා ගොස් හැංගී ඉන්නවද

මලක් වුණත් හිත බැඳුණොත් බඹරෙකුට
දහක් රිදුම් දුන්නත් උහුලයි හිතට
ගහක් ගලක් වී පෙම සඟවා නොසිට
සඳක් වෙයන් සිහිලැල් හළනා මෙමට



සමුද්‍ර ඝෝෂ විරිතෙන් ලියා ඇති මෙම නිර්මාණය එක් විටෙක ‘‘සඳ කිඳුරුදාවත’’ ද තවත් විටෙක ‘‘යසෝදරාවත’’ ද සිහිපත් කෙරෙන්නේ නිරායාසයෙනි. එමෙන් ම මෙම නිර්මාණය සඳහා ද කිවිඳිය අනුභූතියට අදාළ භාෂා විලාසයක් උපස්තම්භක කරගන්නී සිය කවිත්වය මැනවින් ප්‍රකට කරමිනි. නූතන කාව්‍ය පරපුරට ද මෙය අගනා ආදර්ශයක් යැයි මට හැඟේ. වෙසෙසින් ම විවිධ අනුභූති පදනම් කරගනිමින් පබඳින පද වැල් සඳහා කෙබදු ආකාරයේ වාග් මාලාවක් උපස්තම්භක කර ගත යුතු යන්න මෙම නිර්මාණයේ අන්තර්ගත බොහෝ නිර්මාණ සාක්ෂි සපයයි. එමෙන් ම කිවිඳිය සතු වදන්කෝෂයේ දිගු, පුළුල සහ ගැඹුර කෙතරම් ද යන්න ද එම නිර්මාණ තුළින් ගම්‍යමාන කෙරේ.

යට විමංසනයට ලක් කළ නිර්මාණ ත්‍රිත්වය හැරුණු විට: ‘‘වන්නියේ මිතුරාණ’’, ‘‘චන්දකින්නරී’’, ‘‘වසංගත සංගායනා’’, ‘‘පීන සහ ක්ෂුද්‍ර’’, ‘‘නොකී කතා’’, ‘‘තේරවිල්ලක්’’, ‘‘ප්‍රේමයේ රස’’, ‘‘අයිතිකාරිය’’, ‘‘කොහොඹ ගහ යට’’, ‘‘දරු නොලදිමි’’, ‘‘සිහින’’ සහ ‘‘නින්ද නිදි නැත’’ යන නිර්මාණ ද  මා කියවා රස විඳි නිර්මාණ කිහිපයක් බව සඳහන් කළ යුතු ම ය.

අවසන් වශයෙන් කිවිඳියට යම් උපදේශයක් ද සැපයිය යුතු ය. එනම් ඉදිරි නිර්මාණයක දී අක්ෂර වින්‍යාස පිළිබඳ මීට වඩා උනන්දුවක් දක්වන ලෙසයි.

(උපුටාගත් සියලු කොටස්හි භාෂා භාවිතය ඒ ඒ ලේඛක ලේඛිකාවගේ අභිමතය පරිදි ය)


කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/09/11


කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්