‘‘ඇයි ප්‍රතිෂ්ඨ ඔයා කල්පනා කරන්නෙ... මෙහ්... මං යෝජනාවක් කරන්න ද...?’’



ඇගේ යෝජනාව කුමක් වුව ද පළමුවෙන් කළ යුත්තේ එය අසාගැනීම ය. ඊළඟ පියවර තැබිය යුත්තේ ඉන් පසුව නොවේ ද යන්න ප්‍රතිෂ්ඨ කල්පනා කළේ ය.

‘‘හරි... කියන්නකො බලන්න ඔයාගෙ යෝජනාව...’’

‘‘මේ... ඔයයි මායි ගියොත් කොහොම ද...?’’

 

සචේතනී එසේ විමසුවේ කිසිදු අපහසුතාවකින් තොරව ය; ප්‍රතිෂ්ඨ මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටියේ ද ඇගේ ඒ යෝජනාව ම ය. නමුදු ඔහු එවන් යෝජනාවක් කිසි සේත්ම බලාපොරොත්තු නොවූ බවක් හඟවන්නට තරම් හෙතෙම සුක්ෂ්ම විය. ඔහු, විසල් වූ  සිය දෙනෙතේ ග්‍රහණයට සචේතනීගේ උවන හසුකර ගත්තේ ය; තත්ත්පර කිහිපයක් නෙතුපිය නොසලා ම ඇගේ උවන දෙස බලාසිටියේ ය. ඇය වෙත සැපයිය යුතු පිළිතුර කුමක් ද යන්න පවා නිශ්චය කරගත නොහැකි සේ ඔහු තව දුරටත් ගොළුවත රැකී ය.

 

‘‘ඇයි අනේ ඔයා ඔය විදියට මගේ දිහා බලන්නෙ... මං ඇහුවෙ අපි දෙන්න ඇල්පිටි යං ද කියල...?’’

ප්‍රතිෂ්ඨ තව දුරටත් ඔහු විශ්මයට පත්ව ඇති බව ප්‍රදර්ශනය කරනු වස් ‘‘අපි දෙන්න ඇල්පිටි යන්න...!’’ යැයි සචේතනීගෙන් විමසී ය.

ඇය, ඇගේ සුපුරුදු කොමළස්මිතයෙන් උවන සිතුවම් කරගන්නා අතර ම ‘‘ඔවු... අපි දෙන්න... ඇයි ඔයාට අවුලක් ද...?’’ යැයි විමසුවේ ඇය පිරිමියා සේ ද ප්‍රතිෂ්ඨ ගැහැනිය සේ ද සංකල්ප ගත කරමිනි. සමාජයේ බොහෝ විට සිදුවන්නේ මෙහි අනෙක් පාර්ශ්වය යි. යහළුවකු සහ යෙහෙළියක ලෙස ඇසුරු කරන දෙදෙනෙකු අතුරින් කිසියම් ගමනක් යාමට පළමුව ආරාධනා කරන්නේ පිරිමි පාර්ශ්වය යි; ඒ හේතුවෙන් අපහසුතාවට ලක්වන්නේ කාන්තා පාර්ශ්වය යි. නමුත් මේ දැන් සිදුව ඇත්තේ ඊට සපුරාම වෙනස් සිදුවීමකි.

listen1

මෙතෙක් ව්‍යාකුල ස්වරුපයක් ආරූඪ කරගනිමින් සිටි ප්‍රතිෂ්ඨ, රත් වූ ගිනි අඟුරක් මතට දිය බිඳක් ඉසූ විට එය කෙමෙන් කෙමෙන් නිවි යන්නාසේ ඔහුගේ උවන පුරා ඇඳී තිබූ ස්වරූපය ද කෙමෙන් කෙමෙන් අතුරුදන් කරන අතර ම ‘‘ම්... මේ... මටනං කිසිම අවුලක් නෑ... ඒත් ඔයා...?’’ යැයි විමසුවේ දීර්ඝ පිළිතුරක් බලාපොරොත්තුවෙනි.

‘‘මට ප්‍රශ්නයක් නෑ... ඔයාට පුළුවන් නම් අපි දිනයක් දාගෙන හාමුදුරුවන්ටත් කෝල් එකක් දාල ගිහිල්ල බලමු. මොකද මේ වැඩේ ඉක්මනට ඉවරයක් කරගන්න ඕන.’’

සචේතනීගේ උවනේ සිතුවම් වී තිබුණේ අධිෂ්ඨානශීලි භාවයක් පිළිබිඹු කෙරෙන සිතුවමකි.

‘‘මට තේරෙනව සචේති... ඔයාගෙ යාළුව වෙනුවෙන් ඔයා මේ වැඩේ ඉක්මනට කරල දෙන්න ඕන කියල. ඒ හිංද...’’

ප්‍රතිෂ්ඨ තවත් යමක් පවසන්නට සූදානම් වුව ද ඊට බාධා කළ සචේතනී ‘‘ඒ යාළුව වෙනුවෙන් විතරක් නෙවෙයි ප්‍රතිෂ්ඨ... ඔයා වෙනුවෙනුත් මං මේක ඉක්මනට ඉවර කරන්න ඕන,’’ යැයි පැවසුවේ ප්‍රතිෂ්ඨගෙන් සමාව අයදින ස්වරයෙනි.

ප්‍රතිෂ්ඨගේ මනස ඔහු නොදැනුවත්ව ම වුව ද කිසියම් තිගැස්මකට ලක්විය.

‘හම්ම්ම්... ඒ කියන්නෙ එයාට ඕන වෙලා තියෙන්නෙ මේ වැඩේ ඉක්මනට කරල දීල මගෙනුත් ඈත් වෙන්න. ඒක තමයි මේ නොකිය කියන්නෙ...’

02c840243bdb9ee06b52e761d992fb52 hourglass tattoo hourglass artඑම වදන් මුවෙන් මුදා නොහළ ප්‍රතිෂ්ඨ ‘‘ඇයි මේ ‘ඔයා වෙනුවෙනුත් මං මේක ඉක්මනට ඉවර කරන්න ඕන’  කියන්නෙ... මට මොකද්ද තියෙන අවුල...?’’ යැයි විමසුවේ කෙටි කාලයක් තුළ සචේතනී ප්‍රතිෂ්ඨගේ ඇසුරෙන් මිදී ගිය හොත් ඔහුගේ ඉලක්කය සපුරාගත නොහැකිවේදෝ යන කාංසාව හේතුවෙනි.

‘‘නෑ ප්‍රතිෂ්ඨ... මං කියන්නෙ... මේ... ඔයා මේ වැඩේ වෙනුවෙන් ඔයාගෙ කාලෙ කොච්චර නාස්ති කරාද... ඒ වෙනවෙන් ඔයාගෙ වැඩ කොච්චර පාඩු උනාද...? අන්නේකයි මං කියන්නෙ ඔයා වෙනුවෙනුත් මට මේ වැඩේ ඉක්මනට ඉවර කරගන්න ඕන කියල.’’

සචේතනී එම වදන් කිහිපය ද මුදා හැරියේ ඔහුගෙන් සමාව අයැදින ස්වරයෙනි. එහෙත් ප්‍රතිෂ්ඨ අදහස් කළේ සචේතනීට අවැසිව ඇත්තේ හැකි ඉක්මනින් ම ඇගේ අවශ්‍යතාව සපුරාගෙන ඔහුගෙන් ඈත්වීමට ඇය උත්සාහ දරනවා ඇතිය යන්න ය.

‘‘හම්ම්ම්... ඒකත් හරි... එතකොට ඊට පස්සෙ ඔයාගෙ ජීවිතේට ප්‍රතිෂ්ඨ කියල කෙනෙකුත් උවමනා වෙන එකකුත් නැහැනෙ නේද...’’

සිත තුළ පමණක් තෙරපාගත යුතු යැයි අදහස් කළ වදන් ගොන්නක් පිටතට විසිවූයේ ප්‍රතිෂ්ඨ ද නොදැනුවත්ව ය. නමුදු දැන් කළ හැකි කිසිවක් ම ඉතිරිව නැත. ඔහුට කළ හැකිව තිබුණේ එම වදන් ගොන්න මුවෙන් නිකුත් වු සැණින් තම හිස පොළොව දෙසට නැඹුරු කරගෙන සිටීම පමණි; එය ද ඔහු නොදැනුවත්ව ම සිදුවෙමින් පැවතිණ.



‘‘ප්‍රතිෂ්ඨ...’’ යැයි විමසනා අතර ම සචේතනී ප්‍රතිෂ්ඨගේ සවිධගින් අල්ලා, ඔහු පොළොව දෙසට නැඹුරු කරගෙන සිටි හිස ඍජුව ම ඇගේ උවනට සම්මුඛ වන සේ එසවූවා ය. ඇගේ දෙනෙත් දෙස එකපැහැර අවධානය යොමු කිරීමට තරම් මානසික ශක්තියක් නොතිබූ ප්‍රතිෂ්ඨ ඔහුගේ දෙනෙත් ඇගේ උවනතෙන් මුදවාගෙන ඉමක් නොපෙනෙන ඉසව්වක රැඳවී ය. ඔවුන් අවට සිටින විවිධාකාරයේ පුද්ගලයන් අතුරෙන් කිහිප දෙනෙකු හෝ අනිවාර්යයෙන් ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරනු ඇතැයි අනුමාන කළ ප්‍රතිෂ්ඨ තවමත් ඔහුගේ සවිධග රැඳී තිබෙන ඇගේ අත අල්ලා එය ඇගේ ම උකුළ මත තබා දෙදෙනාම නොදැනුවත්ව සමීපව සිටි දුර ප්‍රමාණය තරමක් දුරස්වන ලෙස මඳක් ඈත් විය. ප්‍රතිෂ්ඨ එසේ කළේ වුවමනාවෙන් ම බව සචේතනීට හැඟිණ.

dissapint

‘‘ප්‍රතිෂ්ඨ... මං එහෙම දෙයක් කිව්වෙත් නෑ... එහෙම දෙයක් හිතුවෙත් නෑ... මේක මගේ ජීවිතේ දි ලබපු ලොකු ම උදවුවලින් දෙවෙනි උදවුව. ඉතිං මං කොහොමද ප්‍රතිෂ්ඨ එහෙම උදවුවක් කරපු කෙනෙක්, තව දුරටත් මට උදවු කරන්න සුදානං වෙලා ඉන්න කෙනෙක් අමතක කරන්නෙ...?’’

සචේතනී නොනවත්වාම මුදා හළ වදන් වැස්සෙන් ප්‍රතිෂ්ඨගේ සවන් තෙමුණේ ‘ඉතිං මං කොහොමද ප්‍රතිෂ්ඨ එහෙම උදවුවක් කරපු කෙනෙක්, තව දුරටත් මට උදවු කරන්න සුදානං වෙලා ඉන්න කෙනෙක් අමතක කරන්නෙ...?’ යන වදන් කිහිපයෙන් පමණි. ඒ වදන් ඔහුගේ බලාපොරොත්තු මල් ඵල ගන්වන්නට සමත් විය; ඔහුගේ උත්සාහය තව දුරටත් ක්‍රියාත්මක කළ යුතුය යන හැඟීම ඔහුට දැනිණ.

‘‘හරි... අපි ඒක අමතක කරමුකො... මං මේ ආයෙත් අහන්නෙ... ඔයා මං එක්ක එහෙම යනවට ඔයාගෙ හස්බන්ඩ් කැමති වෙයිද... ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද කියල. මොකද...’’

ප්‍රතිෂ්ඨට ඉනොබ්බට කිසිවක් ම පැවසීමට නොහැකි වූයේ ‘‘හා හා... දැන් ඔය ඇති,’’ යැයි පවසනාතර ම සචේතනී ඇගේ දකුණතේ දබරැගිල්ල ප්‍රතිෂ්ඨගේ දෙතොල් මත තබා තෙරපූ බැවිනි. එසැණින් ම ‘‘ඇයි... ඔයා බය ද මගේ හස්බන්ඩ් ඔයාට ගහයි කියල...?’’ යැයි විමසුවේ එබඳු අවස්ථාවක් එළඹේය යන්න පිළිබඳ කිසිදු තැකීමක් නොකරමිනි.

එතෙක් ප්‍රතිෂ්ඨගේ තොල් මත තිබූ සචේතනීගේ දබරැඟිල්ල ඉවත් කරනු වස් ඇගේ අත අල්ලා යළි ඇගේ ම උකුළ මත තැබූ හෙතෙම ‘‘ඔවු... ගහන්න විතරක් නෙවෙයි... ඊට එහා යමක් උනත් වෙන්න බැරි නෑ නෙ... අනිත් එක ඒක මට විතරක් බලපාන්නෙ නෑ නෙ... ඔයාටත් බලපානව නෙ... අනික... ඔයා ඔයාගෙ යාළුව වෙනුවෙන් මේ දේ කරනව කියල කිව්වට ඒක එහෙම ම යි කියල පිළිගන්න ඔයාගෙ හස්බන්ඩ් සූදානං ද කියල මං දන්නෑ නෙ...’’

සචේතනීගේ හෘද අභ්‍යන්තරය තව දුරටත් විවර කරගැනීමේ අටියෙන් ප්‍රතිෂ්ඨ විමසී ය.

surreal couple embrace oil painting illustrating scene two people embracing each other 34489753‘‘ඔයා කියන එක ඇත්ත. අපේ රටේ පිරිමින්ටයි ගැන්නුටයි දෙගොල්ලොට ම ඔය ප්‍රශ්නෙ බලපාන්නෙ ඔහොම තමයි. අපේ රටේ විතරක් නෙවෙයි... හුඟක් ආසියාතික රටවල එහෙමයි. මේ දෙපාර්ශ්වය ම තමන්ගෙ බිරිඳගෙ හරි සැමියගෙ හරි සමහර අත්‍යවශ්‍ය උවමනා තමන්ගෙ උවමනාවක් විදියට ගන්නෙ නෑ. ඒ උවමනාව ඉස්ට කරගන්න අනෙකට උදවු කරන්නෙත් නෑ. මොකක් හරි ක්‍රමේකිං ඒ අවශ්‍යතාව ඉස්ට කරගන්න හදද්දි හරි ඉස්ට කර කරගත්තට පස්සෙ හරි මිනී මරාගන්න තරමට වගේම දික්කසාද වෙන තරමට ම ඒකට විරුද්ධ වෙනව. හැබැයි සිද්ධ වෙන්න ඕන ඒක නෙවෙයි නෙ ප්‍රතිෂ්ඨ. සිද්ධ වෙන් ඕන දෙන්න ම දෙන්නගෙ උවමනා තේරුම් අරගෙන, තම තමන්ට පුළුවන් නම් ඒ උවමනාව ඉස්ට කරගන්න අනෙකට උදවු කරන එක නෙ... එහෙමත් නැත්නං ඒ ඒ කෙනා තම තමන්ට පුළුවන් විදියට ඒ අවශ්‍යතාව ඉස්ට කරගන්න උත්සාහ කරද්දි හරි ඉස්ට කරගත්තට පස්සෙ හරි තමන් නිහඬව ඉන්න එක නෙ... හරි... මං කියන්නෙ වෙන්න ඕන එහෙම නෙවෙයි ද...?’’

දීර්ඝ වදන් වැස්සකට පසු එම වදන් තුළින් හැඟවෙන දෑ නිවැරැදියි නේද යන්න පසක් කරගැනීමට ද ඇය වෙර දැරුවා ය.

‘මෙයා කියන දේවල් ඇත්ත තමයි. මගේ පුද්ගලික අදහසත් මේක ම තමයි. ඒත් ඉතිං මෙයා කියනකං මට ඒ ගැන විශ්වාසයක් තියන්න බැහැනෙ,’ යැයි තමාට ම පවසාගත් ප්‍රතිෂ්ඨ ‘‘ඇති ඇති... අපෝ ඇති... ඔයා හරියට මහජන උපදේශිකාවක් වගේ නෙ... හරි... ඔයාගෙ පැත්තෙං එහෙම අවුලක් වෙන්නැත්නං මට අවුලක් නෑ. මම ඉන්නෙත් ඔයාගෙ මතයෙම තමයි. ඇත්තට ම මමත් එහෙමයි. ඒත් මං ඔයාගෙ අදහස දන්නෑ නෙ... ඒකයි මං මේ ඇත්ත තත්තවෙ පැහැදිලි කරේ.’’

ඉක්බිතිව ප්‍රතිෂ්ඨ ද සිය අදහස නිදහසේ මුදා හැරියේ ය.

‘‘අන්න එහෙමනෙ ඉන්න ඕන... හරි... එහෙනං අපි දැංම හාමුදුරුවන්ට කොල් කරල දිනයකුයි වෙලාවකුයි දාගමු. කමක් නැ නෙ...’’

සචේතනී එසේ පැවසුවේ කලක සිට බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් උදා වූවා සේ ය. එහෙත් ප්‍රතිෂ්ඨ එකපැහැර එය අනුමත නොකළේ ය.

‘‘පිස්සු ද සචේති... එහෙම අහන්නෙපා. කෝකටත් ඔයා අද ගෙදර ගිහින් මේ ගැන හස්බන්ඩ් එක්ක කතා කරන්න. කතා කරල, ඇත්ත තත්තවෙ පැහැදිලි කරල දීල මට දන්නන්න. ඊට පස්සෙ හාමුදරුවන්ට කතා කරන්න. හස්බන්ඩ් ඉන්න වෙලාවක ම කතා කරනවනං වැඩිය හොඳයි... එහෙම නේද...?’’

‘හම්ම්ම්... ඇත්ත තත්ත්වෙ මෙයාට දැම්ම කියන්න ඕන නෑ.’’

එලෙස සිතු සචේතනී ‘‘අම්මෝ... තවම සැකයි නේ... හරි හරි... මං එහෙනං අද හස්බන්ඩ් එක්ක මේ ගැන කතා කරල ඔයාට කතාකරන්නකො...’’

මේ මොහොතේ හෙළි කළ නොහැකි කුමක්දෝ රහසක් තව දුරටත් රහසක් ලෙස ම පවතින්නට හරිමින් ඇය පැවසුවා ය. ඒ කිසිවක් නොදත් ප්‍රතිෂ්ඨ එක් පසෙකින් සන්තෘෂ්ටියට පත් වන අතර ම සචේතනීගේ සැමියා මේ ගමනට අවසර ලබා දේ ද නොදේ ද යන දෙගිඩියාවෙන් පසු විය. කෙසේ වෙතත් ඔහු ප්‍රාර්ථනා කළ දෑ වෙත කෙමෙන් කෙමෙන් ආසන්න වන බව ඔහුට හැඟිණ. සචේතනීගේ සැමියා කුමනාකාරයේ තීරණයකට එළමිය ද සචේතනී පන්සල් ගමන අත් නොහරිණ බව ඔහුට දැනී තිබිණ. එබැවින් ඔහු ධනාත්මක සිතුවිලි කෙරෙහි යොමු විය.


මේ මොහොතේ සචේතනීගේ සිතුවිලි ක්‍රියාත්මක වන්නේ කෙලෙසද යන්න වටහාගන්නට ප්‍රතිෂ්ඨ කෙතරම් උත්සාහ කළ ද ඊට සුදුසු ලක්ෂණ කිසිවක් ඇගේ උවනතේ දිස් නොවිණ. තව දුරටත් ඒ සම්බන්ධයෙන් විමසීමට තරම් චිත්ත ධෛර්යයක් ද ප්‍රතිෂ්ඨට නොතිබිණ. ඒ ඇතැම් විට සචේතනී ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය පලුදු වේය යන සාංකාව හේතුවෙන් විය හැකි ය. පිටිගල ගමනේ අවසන් තීරණය රැඳී පවතින්නේ සචේතනී සතුව ද එසේත් නොවේ නම් ඇගේ සැමියා සතුව ද යන්න පිළිබඳ පවා නිශ්චිත නිගමනයකට එළඹීමට ඔහු අසමත්ව පසුවන්නේ ය.

**********

පිටිගල ගමන පිළිබඳ නිශ්චිත නිගමනයකට නොඑළඹී දෙදෙනා වෙන්ව ගොස් දෙවන දිනය ද එළඹිණි. මේ වන තෙක් සචේතනීගෙන් ඇමතුමක් නොලද හෙයින් ප්‍රතිෂ්ඨගේ මනස තරමක් ව්‍යාකුලත්වයට පත්ව තිබිණ. සචේතනි වෙන්ව ගිය දිනට පසු දින ලේඛනාගාරයට පැමිණ කිසිදු මානසික අවහිරතාවකින් යුතුව ඔහුගේ පර්යේෂණ කටයුත්තේ නියැළුණ ද අද තත්ත්වය ඊට සපුරා ම වෙනස් මට්ටමක පවතී. ඔහු දැන් නොඉවසිල්ලෙන් පසුවන්නේ සචේතනීගෙන් ඇමතුමක් ලැබෙන තෙක් මිස සිය පර්යේෂණයේ කටයුතු අවසන් කරන්නේ කෙසේද යන බලාපොරොත්තුවෙන් නොවේ.

Silent ආරට යොමු කර තිබූ ප්‍රතිෂ්ඨගේ ජංගම දුරකතනයෙන් එක්වන ම ආලෝකයක් දැල්විණ. ඒ, ඇමතුමක් හේතුවෙන් නොව කෙටි පණිවිඩයක් හේතුවෙන් බව ක්ෂණිකව ම ඔහු හඳුනාගත්තේ ය. දුරකතනය දෙස අවධානය යොමු කළ සැණින් ම එය සචේතනීගෙන් බව අවබෝධ කරගන්නට හෙතෙම සමත් විය. වහා දුරකතනය අතට ගත් ඔහු කෙටි පණිවිඩය විවෘත කළේ ය.

ඉවර නෑ...


jayasiri 04 e1619629387941.jpg     

(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2022/09/22 
 
 
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා