කතන්දර ලිවීමේ කලාව සහ කතන්දර කීමේ කලාව යනු කලා මාධ්‍ය දෙකකි.



එමෙන් ම කතන්දරයක් ලිවීම සහ වචනානුසාරයෙන් කතන්දරයක් ලිවීම යනු ද මාධ්‍ය දෙකකි.

අපි බොහෝ විට කියවා ඇත්තේ ලියන පුද්ගලයා ලියූ කතන්දර මිස කියූ කතන්දර නොවේ.

එහෙත් ලියන පුද්ගලයෙක් කියන කතන්දරයක් අකුරු මාධ්‍යයෙන් ඉදිරිපත් කර ඇත්නම් එවන් අවස්ථාවක පාඨක ප්‍රජාව සිදු කරන්නේ: අදාළ කතාව කියවනවා ද, ඒසේත් නොවේ නම් කිසිවකු විසින් ‘කියන’ ලෙස ලියන ලද කතාවක්  තමන් විසින් ම තමාට කියවාගන්නවා ද යන්න උභතෝකෝටිකයකි.

කතාවක් ලිවීමේ දී නිරන්තරයෙන් භාවිත කරන ක්‍රම ත්‍රිත්වයක් පවතී.

එය: උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ සහ ප්‍රථම පුරුෂ ලෙස හඳුන්වා ඇත.

උදාහරණයක් ලෙස ගතහොත් ‘‘මම’’ ලෙස හෝ ‘‘අපි’’ ලෙස ලියන්නේ නම් එය උත්තම පුරුෂ ගණය ලෙස ද,  ඔහු, ඔවුහු, හෙතෙම, හේ සහ හේතෙමේ ලෙස ලියන්නේ නම් එය මධ්‍යම පුරුෂ ගණය ලෙස ද, ඔබ, නුඹ, තෝ, යුෂ්මතා සහ යුෂ්මතී ලෙස ලියන්නේ නම් එය ප්‍රථම පුරුෂ ගණය ලෙස ද සැලකේ.

නමුදු මෙම සාම්ප්‍රදායික ක්‍රමය ඉක්මවා යම් ප්‍රබන්ධයක් රචනා කිරීමට කිසියම් කර්තෘවරයෙකුට හෝ කර්තෘවරියකට වුවමනා නම් එසේ ලිවිය හැකි ය. එම අයිතිය ප්‍රතික්ෂේප කිරීම පාඨක ප්‍රජාවට තරම් නොවේ. මන්ද පාඨක ප්‍රජාව ද නිරන්තරයෙන් කියවීමේ කලාව වෙනස් කළ යුතු බැවිනි; නැවුම් කරගත යුතු බැවිනි.

ඉහත සඳහන් කුමනාකාරයකට ලියුව ද ලියන පුද්ගලයා පාඨක ප්‍රජාව තම ලියවිල්ල කෙරෙහි ඇද බැඳ ගැනීමට සමත් විය යුතු ය. මන්ද පාඨකයාගේ කියවීම යනු ම ලියන පුද්ගලයාගේ ලිවිමේ වේගය අඩු වැඩි කරන, ඔහුගේ හෝ ඇගේ ලිවීමේ උත්තේජනය ඉහළ නංවන බලවේගය වන බැවිනි.

මිදෙල්ලවැටිය 01

කෝසල තිලකරත්නකෝසල තිලකරත්නකෝසල තිලකරත්න ලේඛකයා විසින් රචිත ‘‘මිදෙල්ලවැටිය’’ නමැති ප්‍රබන්ධය ද යට කී ආකාරයේ සාම්ප්‍රදායික ලියැවිලි ක්‍රමවේදවලට වඩා මඳක් වෙනස් ලියවිල්ලකි. විශේෂයෙන් ම ඔහු පාඨකයා ඉදිරියට ගෙන එන්නේ ඔහු විසින් ලියන ලද කතාවක් නොව ඔහු විසින් පාඨකයාට කියන කතන්දරයකි.

බොහෝ පාඨක පාඨකාවන්ට මෙම ක්‍රමය තරමක් නුපුරුදු විය හැකි ය. මෙම ලිපිය ලියන මට ද එය නුපුරුදු ය. එහෙත් මම ඔහු අප වෙත ලියා ඉදිරිපත්කළ කතාව නොව අප වෙත කියන කතන්දරය අසා සිටියෙමි.

ඔහු, කතන්දරය: අකුරු, වචන, වාක්‍ය, චේද සහ පරිච්චේද ලෙස ලියා තිබුණ ද සැබැවින් ම මෙය ඔහු විසින් කියන ලද කතන්දරයකි. පාඨක ප්‍රජාව කළ යුත්තේ තමන්ගේ මනසින් එය කියවීම වුව ද සැබැවින් ම සිදුවන්නේ ලේඛකයා කියු කතන්දරය තමන් විසන් ම තමාට ම පවසා ගැනීමය.

තවත් සරලව පවසන්නේ නම් මට හැඟුණේ ලේඛකයා මා පසෙකින් සිට කතන්දරය කියවනවා බඳු හැඟීමකි; මා එයට සවන් යොමනවා බඳු හැඟීමකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ මෙම කෘතියේ රචනා ශෛලිය: ලිඛිත, වාචික හෝ අජිත් තිලකසේන විසින් අනුදත් මැදි වහර යන තෙගණයට ම වඩා වෙනස් මානයකින් පැවතීම ය.

ඉදින් ලේඛකයෙක හෝ ලේඛිකාවක විසින් ලියන ලද කතන්දරයක් කියවන විට දී හැඟෙ දැනෙන දෑ අතර සහ ලේඛකයෙක් හෝ ලේඛිකාවක් විසින් කියවනු ලබන කතාන්දරයක් අකුරු නමැති සංකේත තුළින් කියවීමේ දී හැඟෙන දැනෙන දෑ අතර පවත්නේ වෙනස් ම අත්දැකීමකි.

මා මෙය ලේඛකයා විසින් කියන ලද කතන්දරයක් යැයි පවසන්නේ එය නිවැරැදිව ම ලීවා නම් අවම වශයෙන් පිටු 500 ඉක්මවන කතාවක් ලෙස ඉදිරිපත් කරන්නට තරම් වූ අනුභූති රාශියකින් සමත් බැවිනි. නමුදු කතුවරයා කතාව නොලියා කියවන බැවින් එය පිටු 126කට සීමා වී තිබේ.

 

එමෙන් ම මා මේ අදහස ඉදිරිපත් කරන්නේ විවේචනාත්මක ස්වරුපයකින් නොවන බවත්, මෙය කතන්දර ලිවීමේ කලාවෙන් වියුක්ත වූ එහෙත් කතන්දර කීමේ කලාවේ නව්‍ය මානයක් බවත් පාඨක ප්‍රජාවට පසක් කිරීමේ අරමුණෙන් බව කතුවරයා ද පාඨක ප්‍රජාව ද පසක් කරගත යුතු ය. මන්ද මට මෙය නවමු අත්දැකීමකි.

 

මීට පෙර මෙබඳු කියවීමකට ආසන්න කියවීමක් අන්තර්ගතව තිබූ කෘතියක් ද මේ මොහොතේ නිසගයෙන් ම සිහියට නැගේ. ඒ, මහානාම දුනුමාල විසින් රචිත ‘‘අයෝමය පියාපත්’’ නමැති ප්‍රබන්ධ කෘතිය (මෙම කෘතියේ ඡායාරුයක් අන්තර්ජාලයේ ද නොමැත) යි.

මහානාම දුනුමාල එම කෘතියට පාදක කරගන්නේ දහනව වන සියවසේ අවසන් දශකයේ සිට විසිවන සියවසේ මුල් භාගය යි. සුවිසල් කෘතියක් ලෙස ප්‍රබන්ධගත කරන්නට තිබුණ මෙම අනුභූති රැස කතුවරයා ඉතා සංක්ෂිප්තව ලියා අවසන් කරන්නට භාවිත කරන්නේ පිටු 134කි.  එම කෘතිය ද කතුවරයා ලියා ඇතැයි පවසනවාට වඩා සුදුසු වන්නේ කතුවරයා කතාව වේගයෙන් කියවාගෙන ගොස් ඇතැයි පැවසීම ය.

‘‘මිදෙල්ලවැටිය’’ කෘතිය ද ඒ සමග සමපාත වුව ද ආකෘතිමය පාර්ශ්වයෙන් සලකා බලන විට මහානාම දුනුමාල ගේ කතාන්දර කීමේ කලාව යම් පමණකට අතික්‍රමණය කිරීමට කතුවර කෝසල තිලකරත්න සමත්වී ඇත. එහෙත් සංක්ෂිප්ත භාවය පාර්ශවයෙන් ගතහොත් මහානාම දුනුමාල කතුවරයාටත් වඩා කතන්දරය සංක්ෂිප්ත කර ඇත.

අයෝමය පියාපත් 01

‘‘අයෝමය පියාපත්’’ කතාව තුළ දිගහැරෙන්නේ දහනව වන සියවසේ අවසන් දශකයේ සිට විසිවන දශකයේ මුල් භාගය යි. එහෙත් කෝසල තිලකරත්න විසින් රචිත ‘‘මිදෙල්ලවැටිය’’ කෘතියට පාදක කරගන්නේ 1850 වසරේ සිට 2000 වසර ද ඉක්මවා යන වසර 150කට අධික කාල පරිච්ඡේදයකි; පරම්පරා පහක් පුරා අත් දැකිය හැකි අනුභූති රාශියකි.

මගේ පුද්ගලික කියවීමට අනුව හැඟෙන්නේ කතුවරයා මෙම ප්‍රබන්ධය රචනා කළේ (ලිව්වෙ) නම් එය නදී වාසලමුදලිආරච්චි විසින් රචිත ‘‘වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්’’ (ඇගේ නවතම ප්‍රබන්ධය වන ‘‘ලෝටස් රිපබ්ලිකය’’ කෘතිය ද එවැන්නක් විය හැකි ය.) තරම් රසවත් මෙන්ම සුවිසල් කෘතියක් වනු ඇති බවයි.

Wolfendhal Street

එහෙත් කතුවරයාට අවශ්‍ය වී ඇත්තේ ප්‍රබන්ධයක් ලිවීම නොව කතාන්දරයක් පැවසීම ය. එබැවින් ඔහු පාඨක ප්‍රජාව වෙත කතාන්දරයක් පවසා ඇත; නමුත් ඔහු ප්‍රබන්ධයක් රචනා කර නැත. කතාන්දරයයක් පැවසීම සහ ප්‍රබන්ධයක් රචනා කිරීම යනු එකක් නොව කාර්ය දෙකක් බව ලිපිය ආරම්භයේ දීම සටහන් කළේ එබැවිනි.

‘‘මිදෙල්ලවැටිය’’ කෘතියේ කතුවරයා ප්‍රබන්ධයක් රචනා කිරීම මගහැර කතන්දරයක් පවසා තිබුණ ද පාඨක ප්‍රජාව අතර සිටින ලේඛක ප්‍රජාවට මෙම කෘතිය synopsiයක් (සාරාංශයක්) ලෙස භාවිත කර දැවැන්ත සාහිත්‍ය ප්‍රබන්ධයක් නිර්මාණය කළ හැකි ය යන්න මගේ විශ්වාසය යි. එසේ කළ හැකි නම් එය ලක් ඉතිහාසයේ ලේඛන කලාවේ ද හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.

එසේත් නොමැති තිර රචනයෙහි දක්ෂ පුද්ගලයෙකු අතින් ලියැවෙන සුවිසල් තිර රචනයක් මගින් දීර්ඝ ටෙලි නාට්‍යයක් (කඩුල්ල, බෝගල සවුන්දිරිස් හෝ මිණි ගං දෑල බඳු) නිපදවිය හැකි ය. මන්ද මෙම කෘතියට පාදක කරගෙන ඇති අනුභූති එතරම් රසවත් ය; මන බඳනාසුලු ය.


කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/09/24


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්