‘‘පොත් පත් ජීවිතයේ මට අයත් තැන, මට හිමි විය යුතු තැන පෙන්වා දුන්නේ ය. අඥානකමින් හා අවිනීතකමින් මා යටපත් කරගැනීමට ඉඩ තිබුණු පිළිකුල් සහගත ගොහොරුවෙන් නිදහස් වීමට අවශ්‍ය ශක්තිය ම සිත් පුබුදු කළ පොත් පත් මට ලබා දුන්නේ ය.’’

- පොතක මහිම: මැක්සිම් ගෝර්කි: පරිවර්තනය - සිරිල් සී පෙරේරා: පිටුව 44: ප්‍රකාශනය - ගොඩගේ: 1995

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ නිර්භීතභාවය



තවත් එක් සාහිත්‍ය මාසයක් ගෙවී ගොස් කියැවීමේ මාසයක් එළඹිනි. 2020 වසරේ සාහිත්‍ය මාසය යනු මීට පෙර පැවති සාහිත්‍ය මාසවලට වඩා තරමක් වෙනස් සාහිත්‍ය මාසයකි. ඒ, එක් කරුණක් මත පමණක් නොව කරුණු කිහිපයක් හේතුවෙනි.

2019 වසර අග සමස්ත ලෝකය ම වෙළාගත් කොවිඩ් අර්බුදය සමග සමස්ත ලෝකයේ ම සියලු සිදුවීම් බරපතළ ව්‍යාකුලත්වයකට පත්විය. බොහෝ රටවල මෙම ව්‍යාකූලත්වය ඉතා කඩිනමින් සමනය කරගත්ත ද අදූරදර්ශී, අමනෝඥ, අවස්ථාවාදී දේශපාළුවන්ගෙන් බහුල ලංකාවට එබඳු සමනය කරගැනීමක් ආරම්භ කළ හැකි වූයේ බොහෝ කල් ඉකුත්වීමෙන් ඉක්බිතිව ය. එවන් තත්ත්වයක් තුළ ලංකාවේ ජනතාව ඒකරාශී වීමේ අවස්ථා ද අවම විය. එය, ලක්වාසි සියලු ජනයාගේ විනෝදය, අධයාපනය, සාමුහිකත්වය යනාදිය යම් පමණකට දුරස්ත කළේ ය.

book fair

එසේ තිබිය දී පවා 2020 වසරේ දී සාහිත්‍ය මාසය ප්‍රමුඛ කරගනිමින් පැවැත්වෙන, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන විශාලතම ජන එකමුතුව වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්විණ; එය සාර්ථක විණ; ‘‘බ්‍රැන්ඩික්ස් රැල්ල’’ මෙන් පොත් ප්‍රදර්ශන රැල්ලක් පැන නොනැගිණ. එය ඉතා යහපත් විය. එහි ගෞරවය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට හිමි විය යුතු ය.

2020 වසර එසේ යහපත් තත්ත්වයක් පැවතිය ද 2021 තත්ත්වය ඊට සපුරා ම වෙනස් විය. එම වසරේ දී එතෙක් විසි දෙවසරක් පුරා අඛණ්ඩව පවත්වාගෙන ආ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා විය. එහි ආර්ථිකමය සහ අධ්‍යාත්මික පාඩුව ඉවසා දරාගන්නට ප්‍රකාශක, ලේඛක සහ පාඨක ප්‍රජාවට සිදුවිය. 2021 වසරේ අවසාන කාර්තුවෙන් පසු ඇතිවූ ආර්ථික අවපාතයත් සමග රටේ පවතින සියලු භාණ්ඩවල මිල ඉහළ යාමට සාපේක්ෂව කඩදාසි මිල මතු නොව මුද්‍රණ කර්මාන්තයට අදාළ සියලු අමුද්‍රව්‍ය මිල ඉහළ ගියේ ය. එබඳු වාතාවරණයක් තුළ 2022 වසරේ ද පොත් ප්‍රදර්ශනය පැවැත්විය හැකි තත්ත්වයක් නොපැවතිණ. නමුදු ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ගත් අභීත තිරණය හේතුවෙන් 2022 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්විය හැකි විය.

306627813 5702268919825298 3914390278627920856 n

විශාල පිරිසක් ප්‍රදර්ශනයට සහභාගි වූහ

 

එසේ වුව ද ඇතැම් ප්‍රකාශන සමාගම් හෝ පුද්ගලික ප්‍රකාශක ප්‍රකාශිකාවන් පෙර වසරවල මෙන් ප්‍රදර්ශනයට ඉදිරිපත්වීමට උනන්දු නොවිණ. එය ඉතා මැනවින් පැහැදිලි වන්නේ 2020 වසරේ 510ක්ව පැවති ප්‍රදර්ශන කුටි ප්‍රමාණය මෙවර 400ක් දක්වා පහත බැසීමෙනි. එනම් මෙවර ප්‍රකාශන ආයතන 110ක් පොත් ප්‍රදර්ශන කුටි මිලදී ගැනීමට බිය වී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව රට තුළ පවතින සමස්ත ආර්ථික අර්බුදය හේතුවෙන් සහ කඩදාසි සහ මුද්‍රණ කර්මාන්තයට අදාළ සියලු භාණ්ඩවල මිල ඉහළ යාමට සාපේක්ෂව පොත් මිල ඉහළ යාම නිසා පාඨක ප්‍රජාවගේ සහභාගිත්වය අඩු වේ යැයි සැක කළ බැවිනි. නමුත් ප්‍රදර්ශනය පැවති පළමු දිනයේ ම ඒ මතය නිෂේධනය කරමින් විශාල පිරිසක් ප්‍රදර්ශනයට සහභාගි වූහ; පොත් ද මිලදී ගත්හ. දින කිහිපයක් ගතවන විට ප්‍රදර්ශන කුටියක් මිලදි ගැනීම ප්‍රතික්ෂේප කළ ඇතැම් ප්‍රකාශන ආයතන හිමිකරුවෝ පශ්චාත්තාප වූහ.



ප්‍රදර්ශනය ආරම්භයේ සිට අවසානය දක්වා පැමිණි පිරිස අතුරින් බහුතරයක් මෙම වසරේ ප්‍රකාශයට පත් පොත් මිලදි නොගනිතැයි සිතුව ද එම සිතුවිල්ල ද නිවැරැදි නොවන බව පසක් කරමින් මෙම වසරේ මුද්‍රිත, ඉතා මිල අධික කෘති ද සීඝ්‍රයෙන් අලෙවි විය. ඒ ඇතැම් පොත් අලෙවි වූයේ රැල්ලට වුව ද බහුතර පොත් ප්‍රමාණයක් එම රැල්ලෙන් වියුක්තව අලෙවි විය. සමස්ත රට ම ආර්ථික අර්බුදයකට ලක්ව තිබිය දී, පොත් මිල පෙර වසරවලට වඩා තෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබිය දී වුව ද පොත් ප්‍රදර්ශනය පැවැත්විය යුතු යයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තිරණය කළ මොහොතේ ඊට එකඟවූ සහ ඒ සදහා සහයෝගය දැක්වූ පොත් ප්‍රකාශන ආයතනවලට එහි ගෞරවය හිමි විය යුතු ය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය එවන් දැඩි තීරණයක් නොගන්නට පාඨක ප්‍රජාවගේ අවශ්‍යතාව මෙන් ම පොත් ප්‍රකාශකයන්ගේ අවශ්‍යතාව ද ඉටු නොවන්නේ ය. ඒ පිළිබඳ නැවතත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වෙත ස්තුතිය පුද කළ යුතු ය.

ticket

අනිසි මිල ඉහළ නැංවීම



ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය එලෙස නිර්භීත තීරණයක් ගෙන පැවැත්වූ පොත් ප්‍රදර්ශනයෙන් අයුතු වාසි ලබාගැනීමට ඇතැම් ප්‍රකාශන ආයතන කටයුතු කර තිබීම ඉතා කනගාටුදායක ය. මන්ද ඇතැම් ප්‍රකාශන ආයතන විසින් 2021 වසරේ මුද්‍රණය කළ පොත්වල සඳහන් මිල වැසෙන සේ නව ලේබල් අලවා තිබුණේ වැඩි මිලක් සඳහන් කරමිනි. මේ වෙනුවෙන් මුහුණු පොතේ සඳහන් වූ කරුණක් සඳහා පිළිතුරු සැපයූ එක් ප්‍රකාශන ආයතනයක් පවසා තිබුණේ ඔවුන් එකවර කවර 5000ක් පමණ මුද්‍රණය කරන බැවින් ඒවායේ මිල වසා ඊට උඩින් ඉහළ ගිය මිල සඳහන් ලේබලයක් ඇලවීමට සිදුව ඇති බවයි. මෙය පිළිගත නොහැකි කරුණකි. අනෙක් පසින් එය නීත්‍යනුකුල නොවන ක්‍රියාවකි.

 

ඇතැම් ප්‍රකාශන ආයතන කිසිදු හිරිකිතයකින් තොරව 2020 වසරේ මුද්‍රිත පොත්වල ද පෙර සඳහන් මිල වසා වැඩි මිල ලේබල් අලවා තිබිණ. මේ බොහෝ ආයතනවලින් ප්‍රකාශිත පොත්වල දත්ත පිටුවේ නම් මුද්‍රණ වාරය හෝ මුද්‍රිත වර්ෂය වෙනස් කර නොතිබිණ. එහි දී අදාළ කෘතියේ කතුවරයා හෝ කතුවරිය ද යම් අසාධාරණයකට නතු කර ඇත. එනම් එම කෘතිවල දෙවන හෝ තෙවන මුද්‍රණය ලෙස සඳහන් නොකර ඇයට හෝ ඔහුට හිමි කර්තෘ භාගය වංචා කිරීම ය.


ඒ අතර ඇතැම් ප්‍රකාශන ආයතන පාඨක ප්‍රජාව වෙත ලබා දෙන වට්ටම් අඩු කර තිබිණ. ඔවුන්ගේ තර්කය වුයේ කඩදාසි මිල ඉහළ ගොස් ඇති බැවින් පොත්වල මිල අවමකර ඇති බවත්, වට්ටම් ලබා දුන්හොත් ඔවුන්ට පාඩු බවත් ය. මෙය ද අමූලික බොරුවකි. ලංකාවේ පොත් කර්මාන්තය තුළ  පොතක මිල නියම කිරීමේ ක්‍රමවේදයක් පවතී. ඒ අනුව අදාළ පොත් සඳහා කෙතරම් වියදමක් වැය වෙන්නට ඇති ද යන්න පොත් කර්මාන්තයේ නියැළෙන කෙනෙකුට වටහාගත හැකි ය. සැබැවින් ම මෙහි දී එම ප්‍රකාශන සමාගම් කර ඇත්තේ බොර දියේ මාළු බෑම ය. මෙවන් අසාධාරණ කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ද මැදිහත් විය යුතුය යන්න මගේ අදහස ය. එය මේ වසරේ කළ නොහැකි වූයේ නම් ඉදිරි කාලයේ දී හෝ ඒ සඳහා නිසි පියවරක් ගැනීම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ වගකීමකි. එසේ නොවන්නේ නම් පොත් ප්‍රකාශකයෝ ද කළුකඩකාරයන්ගේ ගණයට ඇදවැටීම නොවැළැක්විය හැකි ය.


රජත පුස්තකය සැහැල්ලුවට ලක් කළා ද...?

kjshty

ලාංකිය නවකතා කලාව නව මානයකට ඔසවා තැබීමේ නව්‍ය පියවරක් ලෙස ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 2008 වසරේ සිට ඇරඹි ස්වර්ණ පුස්තක සම්මාන උළෙල එතෙක් ලංකාවේ පැවැත්වූ සාහිත්‍ය සම්මාණ උළෙල සියල්ලට වඩා ආකර්ෂණීය මෙන් ම අභිමානවත් විය. ඒ, ආරම්භයේ දී ම වසරේ ප්‍රශස්ත ම නවකතාව සඳහා රුපියල් ලක්ෂ පහක් පිරිනැමීම හේතුවෙනි. මගේ මතකය නිවැරැදි නම් 2017 වසරේ හෝ 2018 වසරේ සිට එම මුදල රුපියල් හත්ලක්ෂ පනස් දහස දක්වා ඉහළ නැංවිණි. එමෙන් ම 2017 වසරේ සිට කවිය සහ කෙටිකතාව සඳහා ද රජත පුස්තක නමින් සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු කළේ ය. මගේ යළි මතකය නිවැරදි නම් 2018 වසරේ සිට එම සම්මානය සඳහා යොවුන් සාහිත්‍ය කෘති ද එක් කළේ ය.

රජත පුස්තක ආරම්භයේ සිට ම කෙටිකතාව සහ කවිය වෙනුවෙන් ‘‘රජත‘‘ යන නම යෙදීම සම්බන්ධයෙන් විවිධාකාරයේ අහස් පළ විය. ඒ, සාහිත්‍ය විෂයේ දී නවකතාව, කෙටිකතාව හෝ කවිය යනු උස් පහත් භේදයකින් තොරව සැලකිය යුතු මාධ්‍ය තුනක් යන මතයේ සිට ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තම තීරණය වෙනස් නොකළ අතර කෙටිකතාව, කවිය සහ යොවුන් සාහිත්‍ය වෙනුවෙන් රජත පුස්තක සම්මානය ද නවකතාව වෙනුවෙන් ස්වර්ණ පුස්තක සම්මානය ද පිරිනැමී ය. කොවිඩ් ව්‍යසනය පැමිණෙන තෙක් මෙම සම්මාන උළෙල ද්වය වෙන වෙනම අභිමානවත් ලෙස පවත්වන්නට ද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු කළේ ය. නමුදු මෙවර එය වෙනස් කර තිබිණ. මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙල පෙර සේම අභිමානවත් ලෙස පැවැත්වුව ද රජත පුස්තක උළෙල පැවැත්වූයේ ගරු ගාම්භීරත්වයකින් තෙරව ය.

 

මීට පෙර වසරවලදි අදාළ සම්මාන උළෙල ද්වය ම පැවැත් වූයේ පොත් ප්‍රදර්ශනයට පෙර ය. එවිට සම්මානනීය කෘතිය කුමක් ද යන්න පාඨක ප්‍රජාව දැනුවත් විය; ඔවුන් ප්‍රදර්ශනයට පැමිණියේ අදාළ කෘතිය මිලදී ගැනීමේ බලාපොරොත්තුවෙනි. නමුදු මෙවර ස්වර්ණ පුස්තක උළෙල පළමුව පැවැත්වුව ද රජත පුස්තක උළෙල පැවැත්වූයේ ප්‍රදර්ශනයේ තෙවන දිනයේ දි ය. එය සම්මාන ලාභි කෘතියට කළ අසාධාරණයක් යන්න මගේ පුද්ගලික හැඟීම ය. මන්ද ප්‍රදර්ශනය ආරම්භ වී දෙදිනක් ඉක්ම යන තෙක් ම සම්මාන ලාභී: කාව්‍ය සංග්‍රහය, කෙටිකතා සංග්‍රහය සහ යොවුන් සාහිතය කෘතිය කුමක් ද යන්න පාඨක ප්‍රජාව දැනුවත් නොවිණ.

 

ඇතැම් විට දුරබැහැර සිට එක්වරක් පමණක් ප්‍රදර්ශනයට පැමිණෙන පාඨක ප්‍රජාවට සම්මාන ලාභී: කාව්‍ය සංග්‍රහය, කෙටිකතා සංග්‍රහය සහ යොවුන් සාහිතය කෘතිය මිලදි ගැනීම මගහැරිණ. එය ඔවුන්ට ද කළ අසාධාරණයකි. මෙම සිද්ධි සිදු වූයේ අසවල් හේතුව නිසා යැයි කිසිවකුට තර්ක කළ හැකි ය. නමුදු මෙමගින්: කවිය, කෙටිකතාව සහ යොවුන් සාහිත්‍ය මාධ්‍ය අවතක්සේරුවකට ලක්වූයේ ය යන්න මගේ පුද්ගලික අදහස ය.


කැටපත් පවුර බිඳ දැමීම

 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භක අවධියේ දී කවිය හෝ කාව්‍ය කෘති පිළිබඳව එතරම් අවධානයක් නොතිබිණ. බොහෝ ප්‍රකාශන ආයතන කවි පොත් විකිණීම සඳහා බාරගැනීම ද ප්‍රතික්ෂේප කළේ ය. නමුත් කවිය මරාදැමිය නොහැකිය යන මතයේ සිටි චූලානන්ද සමරනායක ඇතුළු කවියට ආදරය දක්වන පිරිසක් මේ සම්බන්ධයෙන් කළ මැදිහත්වීම හේතුවෙන් 2009 වසරේ දී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් කවි වෙනුවෙන් කුටියක් ලබා දුන්නේ කිසිදු මුදලක් අය නොකරමිනි. ප්‍රකාශන ආයතන පාර්ශ්වයෙන් මේ සඳහා ඉතා විශාල මැදිහත්වීමක් කළේ විදර්ශන ප්‍රකාශනාධිපති ජනක ඉනිමංකඩ බව ද සිහිපත් කළ යුතු ය.

 

masමහින්ද ප්‍රසාද් මස්ඉඹු2009 වසරේ පොත් ප්‍රදර්ශන කුටි අතර ම ඇරඹි කවිපොත් සල්පිල 2010 වසරේ ප්‍රදර්ශන කුටිවලින් බැහැරව පවත්වන්නට කටයුතු කළේ ය. ඒ සඳහා මහින්ද ප්‍රසාද් මස්ඉඹල, ප්‍රියංකාරගේ බන්දුල ජයවීර, සඳුන් ප්‍රියංකර විතානගේ ප්‍රමුඛ පිරිසක් කටයුතු කළහ. මේ ආකාරයට 2013 වසර දක්වා පවත්වාගෙන පැමිණි කවි පොත් සල්පිලට නව මුහුණුවරක් එක්වන්නේ 2013 වසරේ දී ය. ඒ මෙතෙක් පුද්ගල වගකීමකින් තොරව පැවති කවි සල්පිලෙහි බර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියා බාරගැනීමෙන් අනතුරුව ය. එදා මෙදා තුර එය වඩාත් දියුණු ආකාරයෙන් පැවැතිවිණි.

 

කවිපොත් අලෙවිය පිළිබඳ ගැටලුව පවතිද්දි පවා පොත් ප්‍රදර්ශනයට පැමිණෙන පාඨක ප්‍රජාවගේ කවි සිතුවිලි මුදාහරිනු වස් 2008 වසරේ දී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නව්‍ය කටයුත්තක් ඇරඹී ය. ඒ පොත් ප්‍රදර්ශන භුමියේ ඉදි කළ කැටපත් පවුර ය. ප්‍රදර්ශන භූමියට පැමිණ දස දහස් ගණනක් වූ පාඨක ප්‍රජාව අතුරින් බොහෝ පිරිසක් කැටපත්පවුරේ තමන්ගේ කවි සිතුවිල්ල සටහන් කළහ. එය පුරා වසර දහතුනක් අඛණ්ඩව පවත්වාගෙන යන්නට ද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු කළේ ය. ඒ සමග ම 2009 වසරේ සිට කැටපත් පවුරෙහි සටහන් කවි අතුරෙන් ප්‍රශස්ත කවි සියයකට අධික ප්‍රමාණයක් තෝරා ‘‘කැටපත් පවුර’’ යන මැයෙන් වු කාව්‍ය සංග්‍රහයක් එළිදැක්වීමට ද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු කළේ ය. එය කවිය වෙනුවෙන් කළ සුවිසල් මෙහෙවරකි; ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට සහ සම්පත් බැංකුවට බෙහෙවින් ම ස්තුති කළ යුතු ය. නමුදු මෙම වසරේ කැටපත්පවුරට සිදු වූයේ කුමක් ද?

Fd0b FvUYAAPuXjමෙවර කැටපත් පවුර නොතිබිණ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කර තිබුණේ කඩදාසි හිඟය හෝ කඩදාසි මිල ඉහළ යාම ඊට හේතු වි ඇති බවයි. එහි අසත්‍යතාවක් නැත. මේ වන විට 2021 වසරට සාපේක්ෂව ගත් විට කඩදාසි මිල සිවු ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. ප්‍රදර්ශනයට පැමිණෙන පිරිස අතුරෙන් විශාල පිරිසක් තම තමන්ගේ කවි සිතුවිලි කැටපත් පවුරේ සටහන් කරන බැවින් විශාල කඩදාසි තොගයක් ඊට අවශ්‍ය බව ද සැබෑ ය. එහෙත් එය කැටපත්පවුර වසා දැමීමට නිමිත්තක් කර නොගත යුතුය යන්න මගේ පුද්ගලික හැඟීම ය. මේ සඳහා විකල්ප දෙකක් පැවතිණ. එකක් නම් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සිටින මුද්‍රණාල හිමිකරුවන් එකතුව එයට පිළියමක් යෙදීම ය. අවම වශයෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන මුද්‍රණාල හිමිකරුවන් සමග සාකච්ඡා කර, මුද්‍රණාලවල ඉවතලන කඩදාසි (Waste paper) මේ සඳහා යෙදාගන්නට තිබිණ. එසේත් නැතිනම් තමන්ගේ කවි සිතුවිල්ල කැටපත් පවුරේ සටහන් කිරීමට කැමති පුද්ගලයන්ට කඩදාසියක් රැගෙන එන්නැයි පෙර දැනුවත් කිරීමක් කරන්නට තිබිණ. එසේ කළේ නම් තමන්ගේ කවි සිතුවිල්ල කැටපත් පවුරේ සටහන් කිරීමට කැමති ඕනැම පුද්ගලයෙක් කඩදාසියක් රැගෙන එන බව සක් සුදක් සේ පැහැදිලි ය. මේ හැර තවත් විකල්පයක් තිබිණ. එනම් ඩිජිටල් කැටපත් පවුරක් පිහිටුවීමය. එවිට පරිගණක යතුරුලියනය කිරීමට හැකි පුද්ගලයෙකුට නම් තමන්ට ම සිය අදහස යතුරු ලියනය කළ හැකිය. එසේ නොහැකි පුද්ගලයන්ගේ සිතුවිලි යතුරු ලියනය කිරීම සඳහා කිසිවකු යොදවන්නට තිබිණ. නමුත් මේ කිසිදු විකල්පයකට නොගොස් කැටපත් පවුර අහෝසි කර දැමීම කවිය කම්බස් කිරීමට මග පැදීමක් යැයි හැඟේ.  

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පාර්ශ්වයෙන් මේ සඳහා විකල්පයක් ලෙස තම තමන්ගේ කවි සිතුවිලි WhatsApp කරන්නැයි යෝජනා කර තිබිණ. එය එතරම් සාර්ථක යැයි සිතිය නොහැකි ය. මන්ද කවියක් යනු සිතා මතා ලිවිය හැකි දෙයක් නොව නිසගයෙන් ම සිතට නැගෙන සිතුවිල්ලක් ලිවීමකි. කැටපත් පවුරෙහි සටහන් කෙරුණේ ඒ මොහොතේ ඔවුන්ගේ සිතට නැගෙන සිතුවිලි ය. ඇතැම් විට මෙහි දි කිසිවෙක් කිසියම් අදහසක් සිතෙහි සටහන් කරගෙන පැමිණිය ද ප්‍රදර්ශන භූමියේ දී ලද අත් දැකීමක් හේතුවෙන් තමා සැලසුම් කරගෙන පැමිණි අදහස වෙනස් වී වෙනස් ම සිතුවිල්ලක් කවියට නැගිය හැකි ය. එය WhatsApp මගින් සිදුකළ හැකි යැයි විශ්වාස කතළ නොහැකි ය.

එළඹෙන වසරේ ද සුපුරුදු කැටපත් පවුර නොමැති නම් යට සදහන් කුමන හෝ විකල්පයකට යැන්නැයි කවියට ආදරය කරන සියලු දෙනා වෙනුවෙන් මම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් ඉල්ලා සිටිමි.


කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/10/02 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්