Charitha Attalage ගේ ZD8 මේ වෙද්දි හැමෝම වගේ අහපු බලපු ගීතයක්....



මේක ඒ ගීතය ගැන සාහිත්‍යමය වශයෙන් කරන  විචාරකයක් නෙවෙයි..

ගීතය අහපු වෙලාවේ ඉඳන් හිතේ ඇතිවෙච්ච දරාගන්න බැරි වරදකාරී හැ‍ඟීම සමනය කරගන්න ලියන සටහනක්..

මේ ගීතයට පාදක වුණ සත්‍ය සිදුවීම පිළිබඳව චරිත අතලගේට දැනගන්න ලැබෙන්නේ හරිම අසාමාන්‍ය විදියකට,


පහළින් මම උපුටාගෙන තියන ඡායාරූප කීපය ඇතුළුව තවත් ඡායාරූපය 63 කුත් මේ ඛේදනීය සිදුවීම පිළිබඳව තොරතුරුත් ඔහුට ලැබෙන්නේ අනන්‍යතාවය හෙළිකල නොහැකි ඡායාරූප ශිල්පියෙක් එවපු ඊමේල් පණිවිඩයක් ඔස්සේ..

 

zd8 3

ඒ පණිවිඩයේ තිබුණ ඡායාරූප සහ තොරතුරු අනුව පණික්කියාගේ සිරිල් කියන්නේ අරලගංවිල ZD8 ප්‍රදේශයේ පදිංචි වෙලා හිටපු වයස අවුරුදු 74ක ගොවි මහත්තයෙක්..


ඒ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් වගේම ඔහුගේ බිරිඳ රංමැණිකා මියයන්නෙත් වකුගඩු රෝගයකින් (Chronic Kidney Disease )...ඔවුන්ගේ එකම දියණියත් පදිංචි වෙලා ඉන්නේ කොළඹ ප්‍රදේශයේ නිසා බිරිඳගේ අභාවයෙන් පස්සේ සිරිල් ජීවත් වෙන්නේ දරාගන්න බැරි වේදනාවකින්..

කොහොමත් බිරිඳගේ වියෝව පිළිඟන්න අකමැත්තෙන් හිටිය සිරිල්ට සැනසීමක් ලැබෙන්නේ ඔහු එක්ක කුළුපඟ වෙච්ච රංමැණිකා කියන ඇතින්නගේ ආගමනයත් එක්ක..

ඔහුගේ තනිය මකන්න ඔහුව සොයා ආපු මේ ඇතින්නව සිරිල් දකින්නේ ඔහුගේ මියගිය බිරිඳගේ නැවත පැමිණීමක් විදියට..
හැබැයි වැඩි කාලයක් නොගිහින් අනාරක්ෂිත අලි වැටක් නිසා රංමැනිකා ඇතින්නටත් අකාලයේ සිරිල්ව තනිකරලා යන්න සිද්ධ වෙනවා...

zd8 2

රංමැණිකාව පළමු වරට අහිමි කරපු  කා*ලකන්නින්ට සමාව දෙන්න සිරිල්ට හිත හදාගන්න පුළුවන් වුණත්,

රංමැණිකාව දෙවනි වරටත් අහිමි කරපු කා*කණ්නින්ට සමාව දෙන්න සිරිල්ට හිත හදාගන්න බැරුව යනවා..

 

zd 87

විදුලි වැටවල් ආරක්ශිත පරිදි නඩත්තු කිරීම සහ ප්‍රතිසංස්කරණය සඳහා වාර්ශිකව වෙන් කරන මිලියන විසි නවයක් වගේ වෙච්ච මුදල් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් විසින් ගසාකන නිසා රංමැණිකාට මේ ඉරණම අත්වුණ බව විශ්වාස කරන සිරිල් මුදල් ගසාකෑම පිටිපස්සේ හිටපු ප්‍රධානතම නිලධාරීයා බවට ඔහු විශ්වාස කරන නිලධාරීයෙක්ව ඝාතනය කළ වරදට, ජීවිතාන්තය දක්වා සිරගත වෙනවා..

කාලයක් සිරගත වෙලා හිටපු සිරිල් පසුකාලීනව තනිකමත් එක්කම මිය යනවා..

 

zd 8 1

මම පටන් ගනිද්දිම කිව්වා මම මේක ලියන්නේ ගීතය අහපු වෙලාවේ ඉඳන් හිතේ ඇතිවෙච්ච දරාගන්න බැරි වරදකාරී හැ‍ඟීම සමනය කරගන්න බව

කුඩු කාරයෝ, මිනීමරුවෝ, හොරු, සහ වෙනත් අපරාධකාරයෝ වෙලා දවසකට පොඩි පොඩි මිනිස්සු කී දෙනෙක් නම් විත්ති කූඩුවේ වැරදිකාරයෝ වෙනවද කියන එක වෘත්තිමය වශයෙන් අත්දැක්කත්...

 

ඒ අපරාධකාරයන්ගේ ශරීර ඇතුලේ දූශිත පාලන ත්‍රන්තය නිසා පීඩාවට පත්වුණ, සොබාදාහමෙන්වත්, නීතියෙන්වත් සාධාරණයක් ඉශ්ඨ නොවුණ වින්දිත ආත්ම කීයක් හිරවෙලා ඉන්නවද කියල මේ ගීතය අහනකම් මගේ ඔලුවට ඇවිත් නෑ..

 

ඔවුන්ව අපරාධකාරයන් බවට පත්කරපු මජර දේශපාලකයන්, නිලධාරීන් ඇතුළු පාලන ත්‍රන්තයට හුරේ දාන ගමන් අපි විත්තිකූඩුවේ ඉඳලා "වැරදිකරු ස්වාමීනී" කියන වින්දිත ආත්ම දිහා වපර ඇහෙන් බලනවා..

 

ඉතින් මේ ‍සටහන ලිව්වේ, සමාවක් දෙන්න බැරි ඒ වරදකාරී හැඟීම පොඩ්ඩක් හරි සමනය කරගන්න ගමන්, මේ විශිෂ්ඨ නිර්මාණය තුළින්, පණික්කියාගේ සිරිල් ඇතුළු නීතිය ඉදිරියේ අපරාධකරුවන් වෙච්ච අහිංසක මිනිස්සු ඇතුළේ ඉන්න වින්දිත ආත්ම නිදොස්කොට නිදහස් කිරීමත්, හරිහමන් අවසාන ගෞරවයක්වත් නැතුව අකාලයේ අවසන් ගමන් ගිය රංමැණිකාලාගේ ආත්ම වලට ගීතය අවසානයේ ගෞරවනීය සමුගැනීමක් ලබාදීමත්, මගින් ඔවුන්ට ඉශ්ඨ කළ සාධාරණය සම්බන්ධව නමක් ගමක් නොහඳුනන ඒ ඡායාරූප ශිල්පියාටත්, චරිත අතලගේ සහ කසුන් එදිරිසිංහ ප්‍රමුඛ කණ්ඩායමටත්
ගෞරවනීය ස්තුතිය පළ කරන්න...


-පමුදි අනුත්තරා වීරසූරිය-


ඡායාරූප වල අයිතිය එහි මුල් හිමිකරුවාට
තාමත් ගීතය අහපු නැති අයට ?

 

Song Title: ZD8
Song Performed by Charitha Attalage
Lyrics by Kasun Edirisinghe
Music Composed, Produced & Arranged by Charitha Attalage https://www.charitha-attalage.com
@ Hometown Studios
Electric Bass and Guitars by Dilru Amarasinghe
Flute by Wayanaka Perera
Low-Country Drum by Gimantha Welegedara
Song Recorded, Mixed and Mastered by Charitha Attalage @Hometown Studios

 

Lyrics:


කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා
උන් රෑ මගෙ තනිකම මකනවා
නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා

රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා
උඹ කකුලෙන් අදිනවා දැනෙනවා
මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා

ඒත් අසලින් ඇවිදින් ඉන්නවා
මට ඒ බව ඉඳහිට දැනෙනවා
නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා

රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
නුඹ කෙනිත්තුවා මට දැනුනා
රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා

සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා
සේපාලිකා මල් සංකාවෙන් තනියම පිපිලා
පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා
මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා

ගේ මැද පාළුයි මතකය පෑරෙයි
යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි
ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා
මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා

හතර පෝයට නුඹ සිල් ගන්නවා
උරබන්දිය විස්තර අහනවා
නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා

වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා
නුඹ මඟහැරලා උන් ඉන්නවා
මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා

හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා
මම දෑස් වසාගෙන අහනවා
නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා

වැරදිකාරයෝ මුනිවත රකිනවා
දඬුවම් නැති බව උන් දන්නවා
නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා

රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
නුඹ කෙනිත්තුවා මට දැනුනා
රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා

"ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මී..නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම...."
පාලි පාඨයෙහි සිංහල අර්ථය : මේ මතක වස්ත්‍රය සඟ සතු කොට පූජා කරනු ලැබේ.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්