උදෑසන 9.55ට පමණ, Silent ආරට යොමු කර තිබූ ප්‍රතිෂ්ඨගේ ජංගම දුරකතනයෙන් එක්වන ම ආලෝකයක් දැල්විණ. ඒ, ඇමතුමක් හේතුවෙන් නොව කෙටි පණිවිඩයක් හේතුවෙන් බව ඔහු ක්ෂණිකව ම හඳුනාගත්තේ ය.

දුරකතනය දෙස අවධානය යොමු කළ සැණින් ම එය සචේතනීගෙන් බව අවබෝධ කරගන්නට හෙතෙම සමත් විය. වහා දුරකතනය අතට ගත් ඔහු කෙටි පණිවිඩය විවෘත කළේ ය.Vector silhouette of a siting in a chair while using her smart phone.

‘‘prathishta apita ara gamana yanna puluwan visthara kata karaganna mama ada enanda enwanam kiyata vitara ennada oyata pahasu welawak liyanna budu saranai’’

එක වරක් කියෙව්ව ද එය අදහාගත නොහැකි වූ ප්‍රතිෂ්ඨ එම කෙටි පණිවිඩය යළිත් වරක් කියවූයේ ය. එවර ද කියවුණේ පෙර අදහස ම ය. තමා දකින්නේ සිහිනයක් නොව පියවි ලොවේ දී ම සිදුවන්නක් බව ඔහුට හැඟුණේ ඉනික්බිතිව ය.

‘ම්ම්ම්... මොකද කරන්නෙ...? අද එන්න කියනව ද... ටිකක් අගේ කරනව ද...? කමක් නෑ... තුනට විතර එන්න කියල මැසේජ් එකක් තියමු. එතකොට මට දවසත් කවර් කරගන්න පුළුවන් නෙ...’ යැයි සිතූ ප්‍රතිෂ්ඨ ‘‘O k sachethi. ehenam oyaa thunata vithara enna.’’  ලෙස දුරකතනයේ සටහන් කර සචේති වෙත යැවී ය; ඉක්බිති ඇය එයට දෙන පිළිතුරු කුමක්ද යන්න දැනගැනීම සඳහා මඳ වේලාවක් දුරකතනයේ දෑස් අලවාගෙන ම සිටියේ ය. තත්පර තිහක් ඉක්ම යන්නටත් පෙර ‘‘O k I'll be right there at three You come to the lobby and wait’’ යන කෙටි පණිවිඩය ප්‍රතිෂ්ඨගේ දුරකතනයේ දිස් විය. ප්‍රතිෂ්ඨ ද ක්ෂණිකව ම ඊට පිළිතුරු සැපයී ය. ‘‘O k... I'll come to the lobby. You come and give me a ring.’’

ඊට පිළිතුරු ලෙස සචේතනී ද ‘‘O k prathishta budu saranai’’ යනුවෙන් කෙටි පණිවිඩයක් එව්වා ය.

**********

ප්‍රතිෂ්ඨ දැන් කල් ගෙවන්නේ පර්යේෂණ කටයුතු පිළිබඳ අවධානයෙන් නොව සවස තුන වන්නේ කිනම් මොහොතේ ද යන සිතුවිල්ලෙනි. එය ඔහුට ම දැනිණ.

‘කොහොම වුනත් ඒකි හවස තුනට එනව නෙ. ඒ හිංද දැන් ඒක ගැන හිතන්නැතුව අඩුම ගානෙ පිටු දහයක් පහළොවක්කත් ලියාගන්න ඕන. එහෙම නොවුනොත් මේ දවස් ටිකේ ම වෙච්ච පාඩුව මගහරවගන්න අමාරු වෙනව.’ යැයි සිතූ ප්‍රතිෂ්ඨ යළි ඔහුගේ පර්යේෂණ කටයුත්ත කෙරෙහි අවධානය යොමු කළේ ය.

ඇතැම් දිනවල දිවා ආහාරය සඳහා පිටත්ව ගිය පසු ජාතික පුස්තකාලට ද ගොස් හිත මිතුරන් හමුවෙන ප්‍රතිෂ්ඨ අද ආහාරය ගත් සැණින් යළි පර්යේෂණ කාමරය වෙත සේන්දු වූයේ අඩු කාලසීමාවක් තුළ වැඩි වැඩ කොටසක් නිම කිරීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් සවස දෙකයි හතළිස්පහ පමණ වන විට යළි ප්‍රතිෂ්ඨගේ මනස ව්‍යාකුල තත්ත්වයට පත්වෙමින් පැවතිණ.

‘අදට ඔය මදෑ. ලොබියට ගිහිං හිටිය නං හරි.’ යැයි සිතූ ප්‍රතිෂ්ඨ තමා භාවිත කරමින් සිටි පුස්කොළ පොත ආපසු බාර දී එන අතර පෙර සිතුවිල්ල ආපසු හැරවී ය.

‘එක්කො ඕන්නෑ... එයා ඇවිත් රිං කරයි නෙ... මං වේලාසන ගිහින් හිටියොත් ඒක මට හරි නෑ.’ යැයි සිතූ ඔහු, එතෙක් පර්යේෂණයේ නියැළී සිටි ස්ථානයට ගොස් අසුන් ගෙන ඉක්බිතිව ඔරලෝසුව වෙත දෑස් යොමු කළේ ය. තවත් මිණිත්තු දහයක් ඔහු සහ අවට පරිසරය පසුකර ගොස් තිබිණ. ඔහුගේ බලාපොරොත්තු සපුරාගැනීමේ මාවතට පිවිසෙන්නට පැවතියේ තවත් මිනිත්තු පහක කාලයක් පමණි. ඒ කාලය ගෙවා දැමීම අද දවසේ අසීරුම කටයුත්ත ලෙස ඔහුට හැඟිණ. එසැණින් එම හැඟීම පහව ගියේ ඔහුගේ දුරකතනයේ Vibration ආර ක්‍රියාත්මක වූ බැවිනි. ඒ අන් කිසිවක් නිසා නොව සචේතනීගේ දුරකතනයෙන් පැමිණි ඇමතුම යි.

වහා දුරකතනය අතටගත් ප්‍රතිෂ්ඨ ඇමතුම මගහරවා ‘‘just wait. I will come soon’’ ලෙස සටහන් කර ඇය වෙත කෙටි පණිවිඩයක් යැවී ය. ඉක්බිති පාර්සල් කවුළුව වෙත ගොස් සිය අත්බෑගය ද රැගෙන පහත මාලයට බැස ආලින්දය දෙසට ගමන් කළේ ය.

images kisප්‍රතිෂ්ඨ එහි යන විට ද සචේතනී, ඔහු එන මග පෙනෙන ස්ථානයක තිබූ අසුනක අසුන්ගෙන දෑස් දල්වා බලා සිටින ආකාරය හෙතෙම දුටුවේ ය. ඔහු එය එතරම් මායිම් නොකරමින් ම ඉදිරියට ගමන් කළේ ය. ඇය සිටි ස්ථානයට මීටර් තුනක් පමණ තිබිය දී ඔහු ඇගේ ඉරියව් පරීක්ෂා කළේ ය.

දම් පැහැයට හුරු බ්ලවුසයත්, සිරුරට ම ඇලී තිබෙන ළා නිල් පැහැයෙන් යුත් ඩෙනිම් කලිසමත් ඇගේ සිරුරේ හැඩය වඩාත් ඔප්නැංවී ය. ප්‍රතිෂ්ඨ දුටු සැණින් ආලෝකවත් වූ ඇගේ උවනතින් විහිදෙන රශ්මි කදම්භය ඔහුගේ සිරුර විනිවිද ගොස් සමස්ත සිරුර පුරාම විදාරණය විය. ඇගේ උවනත වඩාත් ආලෝකමත් වූයේ ඉදී රත් පැහැ ගැන්වූ වෙරළු කොළයක් බඳු දෙලවන් විහිදු පසු දිස්වන ශ්වේත වර්ණ දසන් පෙළෙනි. ඒ මොහොත ප්‍රතිෂ්ඨගේ දෙනෙතෙහි ඇඳුණේ එකම විදුලි බුබුළුක් තුළින් එකම මොහොතක, තැඹිලි වරණයත්, එය මැදි වූ රක්ත වර්ණයත් එයටත් මැදි වූ ශ්වේත වර්ණයත් විහිදෙන්නාක් බඳු සිතුවමකි. ප්‍රතිෂ්ඨ ඇය දෙසට ආසන්න වූයේ ඒ සියලු වර්ණ කැටිවූ ඇගේ උවනතේ ආලෝකයට වශී වූවකු මෙනි.

ඇය ආසන්නයේ ම තිබූ අසුනේ අසුන් ගන්නා අතර ම කතාව ආරම්භ කළේ ප්‍රතිෂ්ඨ ය.

‘‘වෙලාවට ම ආව නේද...? ඒක හොඳයි. මමත් හරිම අකමැති දෙයක් තමයි කාලෙ නාස්ති කරන එක.’’

තම වම් පසින් අසුන් ගත් ප්‍රතිෂ්ඨ වෙත පෑ පූර්ණ ස්මිතය මඳකුදු වෙනස් නොකළ සචේතනී ‘‘මම නං වෙලාවට වැඩ කරනව ටිකක් හොරයි. හැබැයි මං දන්නවනෙ ඔයා වෙලාවට වැඩ කරනව කියල. එහෙම කෙනෙක්ගෙ කාලය නාස්තිකරවන එක අපරාදෙ නෙ... අන්න ඒ හිංද මමත් දැං ඔයත් එක්ක වැඩ කරද්දි වෙලාවට වැඩ කරනව,’’ යැයි පැවසුවා ය.

‘‘හම්ම්ම්... ඉතිං... එහෙනං හස්බන්ඩ් පර්මිෂන් දුන්න ඈ...! දැන් කවද්ද යන්න හිතාගෙන ඉන්නෙ... හාමුදුරුවන්ට කෝල් කරා ද... එයා මොකද කිව්වෙ...?’’

මෙතෙක් නොඉවසිල්ලෙන් සිටි ප්‍රතිෂ්ඨගේ මුවෙන් ප්‍රශ්න මාලාවක් පිටතට ගලා ආවේ ය.

‘‘හෝව් හෝව්... මොකද මේ...! හරියට වක්කඩ කැඩුව වගේ එක පාට්ටම  ප්‍රශ්න වැලක් ම ඇහුවම කොහොමද අනේ උත්තර දෙන්නෙ...?’’

සචේතනී විමසුවේ ඇගේ සුපුරුදු කොමළස්මිතිය ද මුසු කරමිනි.

‘‘ආ... සොරි සොරි... හරි... එහෙනං ඔයාම කියන්නකො,’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ එතෙක් අඩමානයට අසුන් ගෙන සිටි ඉරියව්ව මඳක් වෙනස් කර පිළිවෙළට, සුව පහසු ලෙස අසුන් ගත්තේ ය.

‘‘මෙහ්... අපි යමුද කැන්ටිමට... මොනව හරි බොන ගමං කතා කරමු.’’

යෝජනාව සචේතනීගෙනි.

‘‘ම්ම්ම්...’’ යැයි මුමුනන අතර ම V අකුරේ හැඩ මතුවන සේ අත මඳක් ඔසවා ඔරලෝසුවේ දෙනෙත් ඇලවූ ප්‍රතිෂ්ඨ ‘‘දැම්ම බෑ... තවම තුනයි කාලයි. දැං කැන්ටිමේ සෙනඟ. තව විනාඩි පහළොවකිං ගියානං කවුරුවත් නෑ,’’ යැයි පැවසුවේ ඔහුට සචේතනී සමග නිදහසේ කතා කළ යුතු බවට ඉඟියක් සපයමිනි.

‘‘ඒ කියන්නෙ ඔයා ආයි රිසර්ච් රූම් යන්නැද්ද...?’’

සචේතනී විමසුවේ ප්‍රතිෂ්ඨ යළි පර්යේෂණ කාමරය වෙත යාමට බලාපොරොත්තුවෙන් ඇතැයි සිතමිනි.

‘‘නෑ සචේති... ඒකෙ අවුලක් නෑ. අද වැඩ කොටස කවර් කරා. ඉතිං... කියන්නකො... මොකද්ද ඔයාගෙ ප්ලැන්නෙක...?’’

ප්‍රතිෂ්ඨට අවශ්‍යව තිබුණේ සචේතනීගේ අදහස නිවැරැදිව හඳුනාගැනීම ය. ඔහුගේ සැලසුම ක්‍රියාත්ත්මක කළ යුත්තේ ඒ අනුව බව ඔහු කල් තියාම සැලසුම් කර තිබිණ.

‘‘ප්ලෑන් එක... මොන ප්ලැන් එක ද...?’’

ඇය විමසුවේ ප්‍රශ්නාර්ථ ලකුණු මෙන් ම විශ්මයාර්ත ලකුණු කිහිපයක් ම උවනතේ සිතුවම් කරගනිමිනි. එය ප්‍රතිෂ්ඨ කිසි සේත් ම බලාපොරොත්තු නොවූ තත්ත්වයකි. ඔහු මඳක් ව්‍යාකුලත්වයට පත්විය.

‘‘මේ... මේ... මං ඇහුවෙ පිටිගල ගමන ගැන...’’

ප්‍රතිෂ්ඨගේ ව්‍යාකුලත්වය දැන හෝ නොදැන වුව ද එය කිසිදු අයුරකින් නොතැකූ සචේතනී ‘‘ආ... ඒක ද...? ඒකට මොන ප්ලැන් අනේ... අපි පුළුවන් තරං උදෙං ම මෙහෙන් පිටත් උණා, පන්සලට ගියා, හාමුදුරුවො හම්බ උණා, අපට ඕන වැඩේ කරගත්ත, අපහු ආව. එච්චර නෙ...’’

‘හම්ම්ම් ඔය පනින්නෙ බළල මල්ලෙං එළියට... මේකිට ඕනෙ ඉක්මනින් ම ඒකිගෙ වැඩේ කරගෙන ෂේප් වෙන්න. හම්ම්ම්... බලමු බලමු...’

ප්‍රතිෂ්ඨ සිටි තැනින් වෙනත් ස්ථානයකට ගොස් ඇති බව වටහාගත් සචේතනී ඔහුගේ අතට මඳක් තට්ටු කරන අතර ම ‘‘ප්‍රතිෂ්ඨ... මොකද මේ...!’’ යැයි විමසුවේ ඔහුගේ සිතේ තෙරපෙන සිතුවිලි කිසිවක් පිළිබඳ අනවබෝධයෙනි.

‘‘ආ... නෑ නෑ... මේ... මං කල්පනා කරේ...’’

එම වදන් පෙළ එතැනින් නතර කළ ප්‍රතිෂ්ඨ යමක් පවසන්නට ගොස් එය ආපසු හරවාගත්තේ ය. එය නම් සචේතනීට මැනවින් අවබෝධ විය.Peinture sans cadre par num ros peinture par num ros pour la d coration int rieure 1

‘‘ඔවු... කියන්න... මොකද්ද ඔයා කල්පනා කරේ...? මගේ හස්බන්ඩ්ගෙන් ඔයාට ප්‍රශ්නයක් වෙයි කියල ද...? එහෙම මොනවත් වෙන්නෙ නෑ ප්‍රතිෂ්ඨ... එයා මගේ වැඩවලට ඇඟිලි ගහන්න එන්නෙ නෑ. දැං එයා මට පර්මිෂන් දීලනෙ තියෙන්නෙ. අපි හාමුදුරුවන්ට කතා කරල, දිනේකුයි වෙලාවකුයි වෙන් කරගෙන ගිහිං එමු.’’

ඇය පැවසුවේ ප්‍රතිෂ්ඨගේ සිත දවන ගැටලුවට හාත්පසින් ම වෙනස් අදහසක් සිත්හි දරාගෙන ය. පෙරළුණ පිට හොඳයි කියනවා සේ ප්‍රතිෂ්ඨ ද තම සිතේ තෙරපෙන ගැටලුව පසෙක තබා ඇගේ පිළිතුර ඔස්සේ ම හඹා යන්නට තීරණය කළේ ය.

‘‘හරි... අපි එහෙම කරමු... ඔන්න දැන්නං කැන්ටිමට යන්න වෙලාව හරි... හැබැයි ඒක හතර වෙද්දි වහනව. ඒ නිසා ඉක්මනට යමු ද...?’’

ප්‍රතිෂ්ඨ යෝජනා කළේ මෙතෙක් සිතේ පැවති ව්‍යාකුලත්වය පසෙකට විසි කර දමමිනි.

‘‘හරි... එහෙනං යං... හැබැයි මේ...’’

සචේතනීට පැවසිය හැකි වූයේ එපමණකි. අතර මැදට පැමිණියේ ප්‍රතිෂ්ඨ ය.

‘‘මොකද්ද මේ ‘හැබැයි මේ’ කියල නැවැත්තු...?’’ යැයි ප්‍රතිෂ්ඨ විමසා අවසන් වීමටත් පෙර ම  ‘‘මං කිව්වෙ... දැං කැන්ටිමට ගිහින් පංඩිතය වගේ... නෑ නෑ මේ පංඩිතය වගේ නෙවෙයි මහා ලොකු සල්ලිකාරය වගේ  සල්ලි ගෙවන්න යන්නෙපා හොඳද... මං සල්ලි ගෙවන්නං හරිද...’’ යැයි සචේතනි පැවසුවේ ප්‍රතිෂ්ඨ කෙරෙහි පැනනැගුණු අනුකම්පාවක් හේතුවෙන් ද, ආදරයක් හේතුවෙන් ද යන්න වටහා ගැනීම ඔහුට ද මඳක් අපහසු විය. කෙසේ වුව ද ඔහු ඒ පිළිබඳව යටි සිතෙන් තෘප්තිමත් විය.

‘ඔවු ඉතිං... ඔයා තමයි ගෙවන්න ඕන. මොකෝ මේක මගේ වැඩක් ය...’ යන වදන් පෙළ මුවෙන් පිට නොකළ ද එසේ සිතු ප්‍රතිෂ්ඨ ‘‘හරි හරි... ඒක ඔයාගෙ කැමැත්තක්. අපි යමුකො.

ආහාර පාන ලබාගන්නා කවුළුව අසලට ද යාමට ප්‍රතිෂ්ඨට ඉඩ නොසැලසූ සචේතනී ‘‘ඔයා ගිහින් වාඩිවෙලා ඉන්න. මං මොනව හරි අරගෙන එන්නං,’’ යැයි පවසන අතර ම ප්‍රතිෂ්ඨගේ පිටට අත තබා මඳක් ඉදිරියට තල්ලු කළා ය. ඒ තල්ලුව ඉතා සතුටෙන් බාරගත් ඔහු නිහඬව ම ගොස් කෙළවරේ තිබූ මේසයට අදාළ අසුන් හතරෙන් එකක අසුන් ගත්තේ ය.

‘ම්ම්ම්... දැං මොකද කරන්නෙ... මගේ යෝජනාව ඉස්සරහට දානව ද... එහෙම නැතිනං මෙයා ක්‍රමයක් යෝජනා කරනකං ඉන්නව ද... නෑ නෑ... කලබල වෙන්න ඕන නෑ... කොහොමටත් පළවෙනි පාර ගියාට ඔය වැඩේ කරගන්න වෙන්නෑ... ඒක මට ෂුවර්. එදා මෙයා කියපු විදියට හාමුදුරුවොත් ගල් ආඳෙක් වගේ. මිනිහත් ඕක එක පාරට ම කරල දෙන්නෙ නෑ. අනිවාර්යයෙන් අඩුම ගානෙ තුන්පාරක්කත් මිනිහ මෙයා උගේ ගාවට ගෙන්නගන්නව. ඒක ෂුවර්. මේ යන විදියට කොහොමටත් ඒ හැම වතාවක ම මෙයත් එක්ක යන්න වෙන්නෙ මට නෙ... ඒ හිංදා...’

‘‘හවස හදපු කෑම මොනවත් නෑ අනේ... ඒ හිංද මං ඔන්න කේක් කෑලි දෙකක් ගෙනාව. අර වැඩ කරන මල්ලි තේ දෙකක් අරගෙන එන්නං කිව්ව. තවම වතුර රත්වෙලා මදිලු.’’

ප්‍රතිෂ්ඨ පියවි සිහියට එළඹියේ සචේතනීගේ වදන් ඔහුගේ සවන් තුළින් ඇතුළු වී සිරුර පුරා විදාරණය වන විට ය. එතෙක් ඇය ඔහු ආසන්නයට පැමිණි බව ද ඔහුට නොහැඟුණි.

‘‘ආ... ඔවු ඔවු... මෙහේ ඉතිං සීමිත ප්‍රමාණයක්නෙ කෑම හදන්නෙ. අද දවසට ආයෙ වෙළඳාමක් නෑ නෙ...’’

ප්‍රතිෂ්ඨ, ක්ෂණිකව ම පිළිවදන් සැපවූයේ එම පිළිතුර කල් තියා සුදානම් කරගෙන සිටියා සේ ය.

ප්‍රතිෂ්ඨ මෙතෙක් කල්පනා ලොවක සිටි බවක් සචේතනීට හැඟී නොතිබිණ. ඇය කේක් කැබලි දෙක රැගෙන ආ බන්දේසිය මේසය මත තබා ප්‍රතිෂ්ඨ ඉදිරිපිට තිබූ අසුනේ අසුන් ගන්නා අතර ම ‘‘මෙහ්... අපි හාමුදුරුවන්ට කෝල් එකක් ගමු ද...?’’ යැයි විමසුවා ය.

‘‘ම්ම්ම්... මං නං හිතන්නෙ සචේති ඔයා, ඔයාගෙ හස්බන්ඩ් ඉස්සරහම කෝල් එකක් දාල දිනයක් වෙලාවක් වෙන් කරගත්ත නං හොඳයි. එහෙම නේද...? මං කලිනුත් කිව්වෙ ඒකයි. එතකොට වැඩේ නිරවුල් නෙ...’’

‘‘ආපෝ... ඔයා මහ බයගුල්ලෙක්නෙ අනේ...’’

සචේතනී පැවසුවේ උපහාසාත්මක ස්වරයෙනි. ඒ මොහොතේ ප්‍රතිෂ්ඨ මඳ වශයෙන් කෝපයට පත් වුව ද එය ඇයට නොහැඟෙන සේ පිළිවදන් සැපවූයේ ය.

‘‘මොකට ද ළමයො බය වෙන්නෙ...? කොහොමටත් ඔයා යන්නෙ හස්බන්ඩ් දැනුවත් කරල නෙ... එහෙම නොවි ගිහින් අහු වුනොත් නං ඉතිං බයයි තමයි.’’

ඒ අතර ආපණ ශාලා සේවකයා පැමිණ කිරි තේ දෙකක් මේසය මත තබා පිටව ගියේ ය.

Screenshot 2022 10 08 at 12.12.49 PM‘‘මෙන්න වැඩක්... එහෙම අහු උනත් මොනවට බය වෙන්න ද... මොකද අපි වැරදි වැඩක් කරන්නෑ නෙ...’’

සචේතනී පැවසුවේ ඉතා සැහැල්ලුවෙනි.

‘හම්ම්ම්... ඒක ඇත්ත... ඔයාගෙ හිතේ වැරදි හැඟීමක් තිබුන්නැති උනාට...’

‘‘ඇයි කල්පනා කරේ... මං කිව්වෙ බොරු ද...?’’

එවර ද සචේතනි විමසුවේ සැහැල්ලු ස්වරූපයෙනි. එය ප්‍රතිෂ්ඨගේ මනසට යම් පීඩාවක් ගෙන දුන්නේ ය; එබැවින් ඔහු ඔහුගෙන් ම ප්‍රශ්න කළේ ය.

‘ඇත්තට ම මං සචේති ගැන මේ හිතන විදියට හිතන එක වැරදියි ද මංදා. මෙයා මේ තරං මට සමීප උණේ, හිතවත් උණේ මෙයාගෙ තියෙන විවෘතකම නිසා ද... එහෙම නැතිනං මේ වැඩේට සුදුසු ම කෙනා මං කියල එයාට දැනුණ නිසා ද... ඒ හැරෙන්න මෙයාගෙ හිතේ මං ගැන වෙන අදහසක් ඇත්තෙම නැද්ද...? අනික තනියම පිරිමියෙක් එක්ක මේ වගේ ගමනකත් එන්න නං ගෑනියෙකුට හේතු දෙකක් තියෙන්න ඕන. එකක් මෝඩකම. අනික මං ගැන තියෙන ලොකු විශ්වාසයක් නිසා. එහෙම නැතුව මං හිතන විදියට මං ගැන පුංචි හරි හැඟීමක් තියෙන්න විදියක් ඇත්තෙම නැද්ද...? එහෙම හැඟීමක් නැත්නං මං මේ විදියට හීන දකින එකේ තේරුමක් නැහැ නෙ... ඒකෙං වෙන්නෙ මං කවද හරි අමාරුවක වැටෙන එක... කෝකටත් කරන හැම දෙයක් ම ඉවසීමෙන් වගේ ම මෙයාට සැක නොහිතෙන විදියට කරන්න ඕන. මොකද මෙයා නොවටිනා චරිතයකුත් නෙවෙයි නෙ...’

‘‘ඔය ඉතිං... ආයෙ කල්පනා කරන්න ගත්ත. හරි... මං අද රෑට හස්බන්ඩ් ඉස්සරහ ම හාමුදුරුවන්ට කොල් එකක් දාල විස්තරේ කතා කරගන්නංකො... බය ගුල්ල...’’ යැයි ඇය පැවසුවේ ප්‍රතිෂ්ඨ දෙස යැටැසින් බලන අතර ය. ඒ බැල්ම මෙතෙක් ප්‍රතිෂ්ඨගේ සිතේ පැවති ව්‍යාකුලත්වය යම් පමණකට මගහරවාලන්නට සමත් විය.

ඉවර නෑ...

 

ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/10/07  

jayasiri 04 e1619629387941.jpg

 

 

 

 

 

වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
 
 
 
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්