සචේති, ප්‍රවිෂ්ඨට නොපැවසුව ද ඇය කිසියම් චිත්ත පීඩාවකින් පෙළෙන බව මේ වන විට ඔහු අවබෝධ කරගෙන තිබිණ. නමුදු ඒ කිසිවක් ම විමසන්නට

මෙය අවස්ථාවක් නොවන බව ද ඔහු දැන සිටියේ ය. ඔහුගේ යටි සිත බිඳක් හෝ මතුපිටට රැගෙන එන්නට හෙතෙම උත්සාහ නොකළේ ය. මේ අවස්ථාවේ කළ යුත්තේ හැකි තාක් ඉවසීමෙන් කටයුතු කිරීම බව ද ඔහු පසක් කරගෙන සිටියේ ය. ඉදිරියේ දී ද ඒ අනුව ම කටයුතු කරන්නට ඔහු තීරණය කළේ ය.

*          *          *          *          *          *          *          *          *

සචේතනි වෙතින් සමුගෙන නිවසට පැමිණි ප්‍රවිෂ්ඨ සුපුරුදු පරිදි කාලය ගෙවමින් පසුවූයේ නින්දට යාමට පෙර ඇගෙන් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ලැබේ ය යන බලාපොරොත්තුවෙනි. වේලාව රාත්‍රී දහයට ද ආසන්න ය. රාත්‍රි දහය පසූ වූ සැණින් කිසියම් වැඩක නියැළී සිටිය ද ප්‍රතිෂ්ඨ පුරුද්දක් ලෙස සිය ජංගම දුරකතනය අක්‍රීය කරයි. එහෙත් අද දින එසේ අක්‍රීය කරන්නට ඔහුට සිත් නොදේ.


‘හම්ම්ම්... කොහොමටත් තව පැය බාගයක් විතර ඉන්නව නෙ... එතකං ඕෆ් නොකර තියමු. ඒත්... එයාගෙ හස්බ්න්ඩ්ගෙ තීරණය මොකක් උණත් මං එයත් එක්ක යනව කියල පොරොන්දු උණා නෙ... එහෙමනං ඉතිං මං මොකට ද ආයෙ ඒ වෙනුවෙන් කාලෙ නාස්ති කරන්නෙ. කොහොමටත් ‘ප්‍රතිෂ්ඨ... අපි හෙට උදේ යමු ද...?’ කියල අහනන එකක් නැහැ නෙ... සචේති මට නොකිව්වට හස්බන්ඩ් එක්ක මොකක් හරි අවුලක් තියෙනව. මං එහෙම හිතුවට... එයා හිතුවක්කාර ද දන්නෙත් නැහැ නෙ... පේන්නැද්ද... සමහර වෙලාවට මාත් එක්ක හැසිරෙනෙත් හරියට මේ... අනේ මංද... ඒ එයාගෙ හැටි ද මංද...’


Sergio Cerchi paintings 16සිතුවිලි අවකාශයේ සැරිසරමින් සිටි ප්‍රතිෂ්ඨ යළි පියවි ලොවට පැමිණියේ අක්‍රීය කරන්නට සිතා සිටි දුරකතනයේ ආලෝකය සහ දෙදරුම දැකීමෙන් සහ දැනීමෙනි. ඔහු වහා දුරකතනය අතට ගත්තේ මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි පණිවිඩය දැනගැනීමේ අටියෙනි. ඔහු නිවැරැදි ය; කෙටි පණිවිඩය සචේතනීගෙනි.

//Prathishta. All right.

Hudband's permission was received.

Called the Hamuduruwo.

He told me to come and meet next Saturday between nine and ten.

I will meet you tomorrow at three o'clock.

Budusaranai.//


‘හම්ම්ම්... ෂුවර් එකට ම මේ එස් එම් එස් එක නං ටයිප් කරන්න ඇත්තෙ හස්බන්ඩ් ඉස්සරහ ම තමයි. එයාගෙ එහෙම ගතියක් තියෙනව’ යැයි සිතූ ප්‍රතිෂ්ඨ ද පෙරළා ඉංග්‍රීසි භාෂාවෙන් ම කෙටි පණිවිඩයක් යැවී ය.


//O K Sacheti...

Then we will meet tomorrow.

Budusaranai…!//

*          *          *          *          *          *          *          *          *

Italian artist Sergio Cerchi was born in 1957 in Florence 36උදා වූයේ බ්‍රහස්පතින්දා දවසකි. සචේතනී ප්‍රතිෂ්ඨට දැන්වූ පරිදි පිටිගල ගමන යෙදී තිබෙන්නේ අනිද්දාට ය. උදැසන සිට පර්යේෂණ කටයුත්තේ නියැළුණ ද ප්‍රතිෂ්ඨගේ මනසේ දෝංකාර දෙන්නේ අනිද්දා දිනය පිළිබඳව ය.


‘නෑ... දැන් ඒක ගැන හිත හිත ඉන්න ඕන නෑ. එහෙම උණොත් මට හෙටත් වැඩක් කරගන්න වෙන්නෙ නෑ. මම මෙහෙම සිහින මැව්වට සචේති අදහස් කරන්නෙ කොහොම දෙයක් ද දන්නෙ නැහැ නෙ... කොහොම උනත් එයා හවස එනව නෙ... එතකොට බැරියැ මේ ගැන තීරණයකට එන්න. මම ගඟ හත්ගව්වක් දුර තියාගෙන අමුඩ ගැහුවට වැඩක් නෑ නෙ... හරියට අත්පුඩි ගහන්න නම් අත් දෙකම තියෙන්න ඕන නෙ.’


සිත දැඩි කරගත් ප්‍රතිෂ්ඨ සවස තුන වන තෙක් සිය පර්යේෂණ කටයුත්තේ නියැළෙන්නට අදිටන් කරගත්තේ ය.

*          *          *          *          *          *          *          *          *

වේලාව හරියට ම 02. 55 වූවා පමණි. Silent ආරට හරවා තිබූ  ප්‍රතිෂ්ටගේ ජංගම දුරකතනයෙන් ආලෝකයක් විහිදිණ. ක්ෂණිකව ම ඔහුගේ දෙනෙතට හසුවූයේ අත බැඳි ඔරලෝසුවයි.


‘හම්ම්ම්... අනිවාර්යයෙන් සචේති,’ යැයි සිතූ හෙතෙම දුරකතනය අතට ගෙන එයට පැමිණි කෙටි පණිවිඩය විවෘත කළේ ය.


//ප්‍රතිෂ්ඨ මම ලොබි එකේ.//


‘ම්ම්ම්... කොහොම උනත් වෙලාවට වැඩ කරන ගෑනියෙක්.’ යැයි සිතූ ප්‍රතිෂ්ඨ සැණින් පෙරළා පිළිතුරු යැවී ය.

 

//ඉන්න. මං පහළට එන්නං.//

 

0 9fd4a 90b2e47a XXL

 

සුපුරුදු පරිදි පර්යේෂණ කටයුතු සඳහා ලබාගත් පුස්කොළ පොත ආපසු බාර දුන් ප්‍රතිෂ්ඨ සිය අත් බෑගය ද රැගෙන පහළට පැමිණ ආලින්දය වෙත ගමන් කළේ පෙර දිනවල මෙන් හිස බිමට නැඹුරු කරගෙන, යටැසින් ඈත බලමින් නොව සචේතනී සිටින්නේ කොතැනදැයි ඈත තියා ම විමසිලිමත් වෙමිනි. ඇය ද ප්‍රතිෂ්ඨ එන පෙර මග වෙත දෙනෙත් යොමු කර සිටි බැවින් දෙදෙනාගේ දෙනෙත්වලට දෙදෙනාගේ රූපකා ග්‍රහණය විය; දෙදෙනා ම ඈත තියා ම දෙදෙනාගේ මන්දස්මිත හුවමාරු කරගත්හ; පිටතට ප්‍රදර්ශනය නොවුණ ද එකිනෙකාගේ ප්‍රහර්ෂය එකිනෙකා තනි තනිව විඳගත්හ. එකිනෙකා ආසන්න වන නිමේෂයේ ප්‍රතිෂ්ඨගේ උවනෙහි ඇඳී තිබු සිත්තම මෙන් ම සචේතනීගේ උවනෙහි ඇඳී තිබූ සිත්තම නිවැරැදිව කියවාගත හැකි පුද්ගලයෙක් වේ නම් ඔහු හෝ ඇය කිසිදු සැකයකින් තොරව මේ දෙදෙනා පෙම්වත් යුවළක් යැයි සිනවා නොඅනුමාන ය. දෙදෙනා අතර හුවමාරුවන පූර්ණ ස්මිතය ඊට සාක්ෂි සැපයී ය.


ප්‍රතිෂ්ඨ, සචේතනී ඉඳ සිටි අසුනට ඉදිරිපස තිබූ අසුනේ අසුන්ගන්නා අතර ම ‘‘ඉතිං... කොහොම ද... මොකද හාමුදුරුවෙ කියන්නෙ...?’’යැයි විමසුවේ කතාවට ආරම්භයක් ගනු පිණිස මිස හාමුදුරුවෝ කුමක් පවසා තිබුණ ද ඔහුට ඉන් ඵලක් නොවන බව දැන දැනම ය.

 

විකසිත අරවින්දයක් බඳු උවන පුරා ස්මිතයක් සිතුවම් කරගත් සචේතනී ළා රෝස පැහැති දෙලවන් විවර කළේ ඉනොබ්බෙහි පිහිටි කොඳ කැකුළු වන් දසන් දක්වමිනි. වෙනදාට ඉදී රත් පැහැයට හැරුණු වෙරළු පතක් බඳු ඒ දෙලවන් අද රෝස පැහැයක් ගත්තේ කෙසේදැයි ප්‍රතිෂ්ඨට සිතිණ.

 

‘ම්ම්ම්... මේක ද ලිප්ස්ටික් කලර් එක... එහෙම නැත්නම් අර රතුපාට ද...’


ප්‍රතිෂ්ඨ එසේ සිතන විට ඔහු මීට මොහොතකට පෙර විමසූ පැනයට පිළිතුරු දෙනවා වෙනුවට සචේතනී කළේ ඔහුගෙන් පැනයක් විමසීම ය.


‘‘මොකද අනේ මේ මගේ මූණ දිහා බලාගෙන ඉන්නෙ... ඇයි... මූණෙ මොකක් හරි වෙනසක් පේනව ද...?’’


තරමක් ලජ්ජාවට පත් ප්‍රතිෂ්ඨ ඇගේ උවනතෙහි ඇලී තිබූ ඔහුගේ දෙනෙත් එකවර ම එතැනින් ඉවත් කර ටීපෝව මත අලවන අතර ම බැගය ද ටීපෝව මත තබා යළි හිස ඔසවා සිය දෙනෙත් ඇගේ උවන මත තබා එහි සටහන්ව ඇති අදහස සචේතනි කියවාගනිදෝ යන බලාපොරොත්තුවෙන් පසුවුවා ය.


‘‘ඔය ඉතිං... ආයෙ...’’


ඇය එසේ පවසත් ම ‘‘හරි හරි... මං කෙළිංම කියන්නංකො... ඔයා... මේ... ඔයා ලිප්ස්ටික් කලර් කීයක් යූස් කරනව ද...?’’

 

Sergio Cerchi paintings 11ප්‍රතිෂ්ඨ එසේ විමසූ සැණින් දක්නට ලැබුණේ සෙල් රුවක් සේ නොසෙල් වී ඔහුගේ උවන වෙත දෙනෙත් එල්ල කරගෙන සිටින සචේතනී ය. ඇගේ දෙනෙත් ද බිඳක් හෝ නොසෙල්විණ. තත්පර කිහිපයකින් ඇගේ දෙලවන් මඳක් විවර විය... ඒ සමගම ඇගේ දෙනෙතින් විහිදි අලෝක කදම්භය ප්‍රතිෂ්ඨගේ උවන පුරා පැතිරිණ.

 

‘‘මෙන්න වැඩක්... ඇයි ඔයා මේ කවදාවත් නැතුව එහෙම දෙයක් ඇහුවෙ...?’’


‘ෂිහ්... අපරාදෙ... මං කට වරද්දගත්ත ද මන්ද...’


ප්‍රතිෂ්ඨ කුමක් හෝ ව්‍යාකූල සිතුවිල්ලක පැටලි සිටින බව වටහාගත් සචේතනී ‘‘නැ නෑ... එහෙම ඇහුවට අවුලක් නෑ... ඔයා එහෙම අහන්න ඇත්තෙ මොකක් හරි හේතුවක් නිසා නෙ... හරි... මං කියන්නංකො... ඇත්තට ම... අද... මං... ලිප්ස්ටික්... ගෑවෙ... නෑ...’’


ඇය: ඉතා සන්සුන්ව, වචනයෙන් වචනය වෙන් කර, වචනයක් වචනයක් පාසා හිස් අවකාශයක් තබමින් දුන්  පිළිතුරෙන් ප්‍රතිෂ්ඨ තව තවත් විස්මයට පත් විය.


artist Sergio Cerchi 4‘මොකක්... ඒ කියන්නෙ මෙයාගෙ තොල් ඇත්තට ම මේ පාට ද... එහෙනං අර වෙරළු කොළේ වගේ තිබුණෙ ලිප්ස්ටික් ගාපු තොල් ද... යකෝ පැරණි සාහිත්‍ය පොත්වල ගෑනුන්ගෙ තොල් නා දලු පාටයි කිව්වෙ එහෙනං නිකමට නෙවෙයි... එහෙම පාටක් තියෙද්දි ඇයි ගෑනු මේ වෙන වෙන පාටත් තොල්වල උලාගන්නෙ...’


‘‘ඔය ඉතිං... ආයෙත් මගේ මූණ දිහා බලාගෙන... භාවනා කරනවද මන්ද...?’’


සචේතනි විමසුවේ ළයාන්විත හඬිනි; කෙතරම් ළයාන්විත වුව ද ඒ වදන් තුළ සෝපාහාසයක් ද ගැබ්ව තිබිණ.


එසැණින් පූර්ණ ස්මිතයක් උවනේ සිතුවම් කරගත් ප්‍රතිෂ්ඨ ‘‘ඔය මූණ දිහා බලාගෙන භාවනා කරොත් නම් වෙන්නෙ තව තවත් ඇලෙන එක මිසක් ගැලවෙන එක නං නෙවෙයි... හරි... මං ඇත්ත ම කියන්නංකො...’’ යැයි පවසා මඳක් ඉදිරියට නැමිණ.


‘‘හම්ම්ම්... කියන්නකො බලන්න...’’ යැයි පැවසූ සචේතනි ද ප්‍රතිෂ්ඨ අනුගමනය කරමින් මඳක් ඉදිරියට නැමුණා ය. දැන් දෙදෙනාගේ උවනත් එකිනෙකට ආසන්න ය.


තත්ත්පර දෙක තුනක් ඉක්ම යන්නට මත්තෙන් උවන ආලෝකවත් කරගත් ප්‍රතිෂ්ඨ ‘‘මං ආස ඔය නැචුරල් කලර් එකට’’ යැයි පවසා සචේතනිනේ උවනට සමිපව තිබූ ඔහුගේ උවන ක්ෂණයකින් පිටුපසට ඇද ගත්තේ ඇය ඔහුට කෙසේ ප්‍රතිචාර දක්වා ද යන සැකය ද සහිතව ය.


ඇය ද, ඇගේ උවන පූර්ණ ස්මිතයකින් සරසාගෙන ම  ‘‘හරි... මං එහෙනං මීට පස්සෙ ඔයා හම්බ වෙන්න එදද්දි ලිප්ස්ටික් නොගා එන්නංකො,’’ යැයි පැවසුවේ ප්‍රතිෂ්ට විස්මයෙන් විස්මයට පත් කරමිනි.

 

ඇගේ මුවෙන් නිකුත් වූ ඒ වදන් කිහිපය ප්‍රතිෂ්ඨගේ දෙසවන් තුළින් සිරුරට රිංගා පළමුව මස්තිෂ්කය ද, දෙවනුව හදවත ද සිහින් කම්පනයකට ලක් කර ඒ කම්පනයෙන් කොටසක් ඒ ඒ ස්ථානවල රඳවමින් ම ඉතිරි කොටස් සමස්ත සිරුර පුරාම විහිදුවා ලී ය. ඒ නිමේෂයේ ඔහුගේ සියොලඟම සිහින් විදුලි දහරාවකට නතු වුවා සේ ඔහුට හැඟිණ.

 

‘‘න්... නෑ නෑ... එ... එ... එහෙම කරන්න ඕනෙ නෑ. මං... මං... මේ නිකමට කිව්වෙ...’’


ප්‍රතිෂ්ඨ, ඔහු පත්වූ අපහසුතාව සඟවාලන්නට යත්න දරමින් පැවසී ය.


Appuntamentoසචේතනී, ප්‍රතිෂ්ඨගේ මානසික මෙන් ම කායික වෙනස ද ඉතා මැනවින් වටහාගත්තා ය. එහෙත් එය අංශු මාත්‍රයක් හෝ මායිම් නොකළ ඇය ‘‘හරි හරි... දැන් අපි ඒ කතාව නවත්තමුකො... ඔයා කිව්වෙ ඔයාගෙ අවංක අදහස නෙ... මං කිව්වෙත් මගේ අවංක අදහස. මොකද මං වෙනුවෙන් මෙච්චර දෙයක් කරන ඔයා වෙනුවෙන් මට ඔය ලිප්ස්ටික් ටිකක් නොගා ඉන්න එක මහ ලොකු දෙයක් නෙවෙයිනෙ ප්‍රතිෂ්ඨ. ඇත්තට ම ඒක මට ඉතිරියක් මිසක් ආයෙ අතිං ගාණක් වියදං වෙනව ය. අපි කැන්ටිමට යමු ද... ඔයාම කියපු විදියට ඒක තව ටික වෙලාවකිං වහනවනෙ නේද...’’ යැයි පවසා අවසන් වනවාත් සමග ම ඉඳ සිටි අසුනෙන් නැගී සිටියේ ‘අපි ඉක්මනට යමු නේද...?’ යන සංඥාව නිකුත් කරමිනි.


තව දුරටත් අසුන්ගෙන සිටීමෙන් ඵලක් නොවන බව වටහා ගත් ප්‍රතිෂ්ඨ ද අසුනෙන් නැගී සිටියේ සිය කැමැත්තෙන් නොව ස්වංක්‍රියව මෙනි. හෙතෙම දුර දිග නොබලා විමසූ වදන් කිහිපයක් හේතුවෙන් මේ මොහොතේ පශ්චාත්තාප වන්නේ එය පාදක කරගනිමින් සචේතනී කුමන මානසික තත්ත්වයකට පත්වූවා ද යන සැකයෙනි. ඔහුට ප්‍රදර්ශනය නොකළ ද ඇය යම් අපහසුතාවකට පත්වුවා ද, ඇය ඔහු කෙරෙහි වැරැදි වැටහිමක් ඇති කර ගත්තා ද, එසේ වී ඇත්නම් එය ඔහුගේ අනාගත බලාපොරොත්තු කෙරෙහි කුමනාකාරයෙන් බලපා ද, ඇත්තට ම සචේතනී ‘හරි... මං එහෙනං මීට පස්සෙ ඔයා හම්බ වෙන්න එදද්දි ලිප්ස්ටික් නොගා එන්නංකො,’ යැයි පැවසුවේ අවංකව ම ද, එසේත් නොමැති නම් අවඥාවෙන් ද, උපහාසයෙන් ද, යන ප්‍රශ්ණ රාශියක් ඔහුගේ මස්තිෂ්කය තුළ ඔබ මොබ සක්මන් කරයි. එය නිවැරැදිව විග්‍රහ කරන්නේ නම් ඔහුට හැඟුණේ මස්තිෂ්කය තුළ කුරුමිණියෙකු දඟලනවා සේ ය. එය ඔහුට දැඩි ලෙස පිඩා අත් කර දෙමින් පැවතිණ. මේ මොහොතේ ඔහු පසුවන්නේ ඒ සියලු ප්‍රශ්න මගහරවාගත හැකි ක්ෂණික ක්‍රියාමාර්ගයක් පිළිබද සිතුවිල්ලෙනි.

 

cerchi sergio Q06


ආපණ ශාලාව වෙත යාම සඳහා වෙනදාට පෙරමග ගන්නේ ප්‍රතිෂ්ඨ වුව ද අද පෙරමග ගෙන සිටින්නී සචේතනී ය. ප්‍රතිෂ්ඨ අද ඇය අනුගමනය කරමින්, ඇය පිටුපස ගමන් කරන්නේ වරදකාරී හැඟීමකිනි. ඔහු, ඔහු ද නොදැනුවත්ව ම සචේතනී පිටපසින් ආපණ ශාලාවේ පළමු පඩිය ආසන්නයට ම පැමිණ සිටියේ ය.


‘‘ම්ම්ම්... මෙහ්... මං තේ දෙකක් අරගෙන එන්නං. ඔයා ගිහින් ඉඳගන්න. මං අද ඔයාට පොඩි බඩුවක් ගෙනාව. ඒව කාල තේ බොමු’’ යැයි සචේතනී පැවසුවේ අමනාපයෙන් පසු වන කුඩා දරුවකුට පවසන ලීලාවෙනි. ප්‍රතිෂ්ඨ ද ඒ ලීලාවෙන් ම හිස දෙපසට වනා කැමැත්ත පළ කළේ කළ හැකි අන් කිසිවක් සිතාගත නොහැකි බැවිනි.


‘මෙයාට ඒක ගානක්කත් නෑනෙ... මොනවද දන්නෑ අර ‘පොඩි බඩුවක්’ ගෙනාවෙ කිව්වෙ...? එක අතකට ඉතිං මෙයාට අවුලක් නැතිනං මං අවුල් ගන්නෙ මොන මගුලකට ද... හරි... බලමුකො...’


සිතුවිලි අතරින් ම මඳ දුරක් ඉදිරියට ගිය ප්‍රතිෂ්ඨ ආපණ ශාලාව තුළ පිහිටි, ඔවුන් නිරන්තරයෙන් අසුන්ගන්නා මේසය වෙත ගමන් කළේ ය. අසුනේ අසුන්ගන්නට සැරසුණු ප්‍රතිෂ්ඨ, ඔහු කෙතරම් මන්දගාමීව ගමන් කර ඇතිදැයි අවබෝධ කරගත්තේ තේ කෝප්ප දෙකක් ද බන්දේසියක තබාගෙන ඔහු පසු පසින් ම පැමිණි සචේතනී තේ බන්දේසිය මේසය මත තබනු දුටු සැණිනි.


‘‘ආ... ඔයා ඔය ඉක්මනට තේත් අරගෙන ආවද...?’’ යැයි විමසු ප්‍රතිෂ්ඨ අසුන පසුපසට ඇද එහි අසුන්ගත්තේ ය.


‘‘පිස්සුද අනේ... මං ඉක්මනට ආවෙ නෑ... ඔයා තමයි ගාට ගාට මෙතනට ඇවිත් තියෙන්නෙ...’’ යැයි පැවසූ සචේතනී මන්දස්මිතයකින් මුව සරසාගන්නා අතර ම අසුන් ගෙන සිය උකුළ මත තබාගත් අත් බෑගයෙන් කුඩා පාර්සලයක් පිටතට ගෙන එය මේසය මත තැබුවා ය.


ඉවර නෑ...

jayasiri 04 e1619629387941.jpg(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2021/11/04

Paintings : Sergio Cerchi

 
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්