‘‘ජයසිරි අලවත්ත ‘මතඟනා’ කෘතිය ඇතුළෙ රැගෙන එන සාකච්ඡාව මගේ හිත ගත්ත ගැඹුරු අවස්ථාවක්. මං හිතන්නෙ ඒ කාරණය මේ පමණට

නිරාවරණය කරපු කෘතියක් සිංහල සාහිත්‍ය ඇතුළෙ අපිට ලේසියෙන් හමුවෙන්නෙ නෑ. ඒ නිර්භය භාවය පිළිබඳ ජයසිරිට අපි ගෞරව කළ යුතුයි.’’ යනුවෙන් සාහිත්‍යවේදී සුජිත් අක්කරවත්ත පවසයි.


ඔහු මේ බව සඳහන් කළේ පසුගිය 19වන දින මෙම කෘතියේ ප්‍රකාශන ආයතනය සිය සයවන වසර සැමරීම සහ එම ආයතනයේ වෙබ් අඩවිය වන kavivara.lk වෙබ් අඩවිය ජනගත කරන මොහොතේ දී පොත පිළිබඳව කළ දේශනයේ දී ය.
 

මතු දැක්වෙන්නේ එම දේශනයේ සංක්ෂිප්ත සටහනකි. සම්පුර්ණ දේශනය ශ්‍රවණය කිරීමට රිසි අය වෙනුවෙන් අදාළ විඩියෝව ද මෙහි ඇතුළත් කර ඇත.
 
.....................................
 

කවිය කම්බස් නොවේවා...! - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්තජයසිරි අලවත්තගේ ප්‍රබන්ධ සාහිත්‍ය ඉතා වැදගත්. මොකද ඔහු ‘අක් දහර’ සහ ‘තිත් මල්’ හරහා පැමිණි ගමන් මගේ තවත් වෙනස් ම තැනකට අපිව රැගෙන යන පොතක් විදියට මම මේ පොත වින්ද නිසා.
 

ජයසිරි අලවත්තගේ නිර්මාණ හදුනාගන්නා ආකාරය
 

බොහෝ අය ජයසිරි අලවත්තගෙ නිර්මාණ හඳුනාගන්නෙ ගූඪ ලිංගික ලෝකය ඇතුළෙ කොහොමද අපේ හිත හෝ අපේ ක්‍රියාකාරිත්වය අපිට දැනුවත්ව හෝ නොදැනුවත්ව ගමන් කරන්නෙ කියන කාරණය සාකච්ඡා කරන කෘති විදියට. මම මේ ගූඪ කියන වචනයට කැමති නෑ. මම විශ්වාස කරන්නෙ නෑ මිනිස්සුන්ට ගූඪ ලිංගික ආශා කියල දෙයක් තියෙනව කියල. මේ සියල්ල ස්වභාවිකයි. මෙන්න මේ ප්‍රපංචයේ අවුල ම තමයි ඔහු ‘මතඟනා’ කෘතියේ එන චරිත ඔස්සේ හප්පන්නෙ.
 

කතුවරයාගේ නිර්භීත භාවය
 
 
අපේ සමාජයේ තිබෙන සුලබ ප්‍රශ්නයක් තමයි තමන්ගෙ ලිංගික ප්‍රහර්ශයේ තිබෙන සැබෑ වුවමනාව සඟවා ගන්න දරන උත්සාහයේ දී පද්ධතියම අවුල් කරගන්න එක. මෙන්න මේ පද්ධතිය අවුල් කරගැනීමේ ඛේදනීය අවස්ථා එකින් එකට හප්පමින් මතඟනා කෘතිය ඇතුළෙ ඉදිරිපත් කරනවා. මෙතන වැදගත් ම දේ තමයි අපි අතර ඇති වන මේ විචල්‍යතා, අපේ ලිංගික ස්වාර අවශ්‍යතාව අපි තුළ විචල්‍යතාවක් ඇති වෙනවා නම් ඒ විචල්‍යතාවලට අපේ මවු පියන්ගෙන් එන ඝට්ටන බලපානවා. ඒ ගැන ජයසිරි අලවත්ත ‘මතඟනා’ කෘතිය ඇතුළෙ ගේන සාකච්ඡාව මගේ හිත ගත්ත ගැඹුරු අවස්ථාවක්.
 
 
මං හිතන්නෙ ඒ කාරණය මේ පමණට නිරාවරණය කරපු කෘතියක් සිංහල සාහිත්‍ය ඇතුළෙ අපිට ලේසියෙන් හමුවෙන්නෙ නෑ. ඒ නිර්භය භාවය පිළිබඳ ජයසිරිට අපි ගෞරව කළ යුතුයි. එමෙන් ම මේ කෘතියේ කිසිම තැනක කතුරයා චරිත සමග වාඩි නොවීම වගේ ම අදාළ චරිතවලින් සාහිත්‍යකරුවගෙ ආත්මය නිදහස් කරගැනීම‘ මතඟනා’ කෘතියෙ ඇතුළෙ හොඳින් ම කර තිබෙනවා.
 

රන්වන් නිල්වන් ගැටුම
 
 
e1acecc91830dcd14d1801cbc6f160a1

සමාජයේ පවතින විශේෂ ගැටුමක් කතුවරයා මේ කෘතිය ඇතුළෙ වෙන තැනකින් අල්ලනවා. අපි දන්නවා ලංකාවෙ ශිෂ්ටාචාර ගැටුමක් පවා පවතිනවා රන්වන් සහ නිල්වන් ගැටුම කියල. ඒ කියන්නෙ කළු ගැහැනුයි සුදු ගැහැනුයි අතර බල අරගලයක් මේ රටේ ඉතිහාසයේ ඉඳන් තියෙනවා. ලංකාවෙ දේශපාලන ඉතිහාසය ගත්තත් කළු අග බිසවුන්ට එරෙහිව සුදු අග බිසවු විසින් ලංකා රාජ්‍ය හිරකරපු තත්ත්වයක් තියෙනවා. මේක විජය කුවේණිය අතහැරල මධුරාපුරයෙන් බිසවක් කැන්දාගෙන එන තැන ඉඳල සීගිරි කාෂ්‍යපගේ නැගිටීම දක්වා ලංකා ඉතිහාසයේ එන සිද්ධියක්. දේශපාලන ඉතිහාසයේ විතරක් නෙවෙයි ශෘංගාර විද්‍යාත්මකවත්, සමාජ ඇගයුම් මට්ටමෙනුත් මේ කළු සුදු පිළිබඳ ප්‍රශ්නය ස්ත්‍රිය සමග දැවටිලා තියෙනවා. අපි දන්නවා ඛේමා උප්පලවන්නා ගැන වගේ ම සැරියුත් මුගලන් ගැන බුදු දහමෙ කතා කරන්නෙත් මේ පාර්ශ්වයේ කතාව.
 

ඒ වගේ ම අපි ආවරණය කරන්න හරි කැමතියි. අපි හැම දේම කතා කරන්නෙ ආවරණය කරල. ‘මතඟනා’ අපේ සිතුවිලි සහ අපේ විචාරක්ෂිය එතැනට කැඳවාගෙන යනවා.කිසිම පිරිමියෙක් කැමති නැහැ නෙ කට්ට කළු ගැහැනියෙක් කසාද බඳින්න. බැන්දත් හිත යටින් සුදු ගැහැනියෙක් ගැන හිතනවා. ඇයි හැම වෙලාවෙම පිරිමියා පොත්ත රතු ගැහැනියක් කසාද බඳින්න හිතන්නෙ...? ගෑනු තමන්ගෙ ස්වභාවික කළු වර්ණය ප්‍රතික්ෂේප කරල සුදු වෙන්න උත්සාහ කරන්නෙ ඇයි...? රූපලාවන්‍ය යේ නිතරම සුදු ගැන කතා කරන්නෙ ඇයි...?
 

‘මතඟනා’ කතුවරයාට පමණක් කළ හැකි දේ
 
 
ජයසිරි තමන්ගෙ කෘතිය ඇතුළෙ වර්ණ විභේදනයක් ගෙනල්ල මනෝ විද්‍යාත්මක චෛතිසික හැප්පීමක් ඇතුළෙ ලොකු කතාවක් කියනව. ඒක ලෝකෙ හරස්කඩක් මැදින් ඉරි ඇඳල ගත්තම තියෙන ඇත්ත කතාවක්. ඒක විශාල සමාජ පීඩනයකට නතු වෙච්ච, කුල අරගලයකට තුඩු දුන්නු, ජාතික අරගලවලට බලපාපු, චින්තන පදනම්වල, මතවාදවල, සාහිත්‍ය යේ, ශාසනයේ හැම තැන ම තියෙන දෙයක්.
 
 
පවුලේ අඩදබර මැද දිවි ගෙවූ පවුල්වලින් ආපු දරුවන්ගෙ ඛේදවාචකය අපි මතුපිටින් අහල තියෙනව. නමුත් ඒවා ලිංගික ගූඪ ස්ථාන වෙත කිඳා බැහැල ගමන් කරනව. අනික් පැත්තෙන් තමන්ගෙ ලිංගිකත්වය විචිත්‍රව විඳින්න බැරි වෙනව. තමන්ගෙ ලිංගික අනන්‍යතාව, ඒ රසය විචිත්‍රව විඳින්න බැරි වෙනව. ඒ වෙනුවෙන් තමන්ට පෙනි හිටින්න බැරි මිනිස්සු කොයි තරම් භයානක ගමන් කරනව ද කියන එක ජයසිරි අලවත්ත දිගට ම තමන්ගෙ පොත් ඔස්සෙ විවරණය කරගෙන එනව. ඒක ඔහුට විතරක් කරන්න පුළුවන් වුණ දෙයක්.
 

බොහෝ අය නිරාවරණය වෙන්න සහ නිරාවරණය කරන්න බයයි. ඒ නිසා මේ අවශ්‍යයම කතන්දරේ සාහිත්‍ය ඇතුළෙ ඉස්සරහට එන්නෙ නැහැ. ජයසිරි ඒක කරන කෙනෙක්. ඔහුගෙ අනෙක් කෘතිවලත් ඔහු මේ දේ කරල තිබුණා. ‘මතඟනා’ කෘතියෙදි අනෙක් කෘතිවලට වඩා සැලකිය යුතු මට්ටමකින් ඒක කරල තියෙනවා. ඒක ජයසිරිගෙ අනන්‍යතාවක්.

 
සැඟවුණ ලිංගිකත්වයේ බියකරු බව
 

දැන් ලංකාවෙ ජනප්‍රිය දෙයක් වෙලා තියෙනවා විකල්ප ලිංගිකත්ව එහෙමත් නැත්නම් සම ලිංගිකත්ව චරිත ගෙනල්ල සාහිත්‍ය නිර්මාණ කරන එක. ඒක පොඩි ෆැන්ටසි වැඩක් බවට පත්වෙලත් තියෙනවා. නමුත් ජයසිරි අලවත්තගෙ කෘතිවල කෙරෙන්නෙ ඒක ම නෙවෙයි. ජයසිරි කරන්නෙ සම ලිංගික වුනත්, බහු ලිංගික වුනත්, විෂම ලිංගික වුනත් මිනිස්සුන්ගෙ ලිංගිකත්වය තුළ තැන්පත් වෙලා තියෙන සැඟවුණු බව කොයි තරම් භයානක ද කියන එක අරගෙන විවරණය කරන එක. මේ භයානක කියන එකෙන් මම අදහස් කරන්නෙ නරක අර්ථයකින් නෙවෙයි. ඔවුන් පත්වෙන තත්ත්වය ගැන.
 
 
ස්ත්‍රී චින්තනයක් අපිට ස්ත්‍රී ඇහැකින් දකින්න බැහැ. මොකද අපි පුරුෂයො. අපිට ඒක දකින්න වෙන්නෙ පුරුෂ ඇහැකින්. නමුත් ජයසිරි අලවත්තට හැකියාවක් තියෙනව පුරුෂයෙක් ලෙස ස්ත්‍රියකගෙ චරිතයක් ලියද්දි ස්ත්‍රි ඇසකින් ලියන්න. ඒක ඔහුගේ භාෂා ඥානය සහ ඔහුගේ ආඛ්‍යාන රිතියේ සහ ෂානරයෙ තියෙන වටිනාම කොටසක්. ඇත්තට ම ඒක මට ස්පර්ශ කරන්න බැරි දෙයක්. ඒක මම දකින්නෙ ලංකාවෙ සාහිත්‍යධරයන්ගෙන් ජයසිරි අලවත්තට පමණක්  හැකි වුණ දෙයක් විදියට. එයාට පුළුවන් ස්ත්‍රී මාන චින්තනය ස්ත්‍රී මානයකින් ම ඉදිරිපත් කරන්න. ඒක පුරුෂයෙකුට කරන්න පුළුවන් වුණේ කොහොමද කියල මම දන්නෙ නෑ. මොකද ඒක හරි අමාරු වැඩක්; කොයි තරම් ආවේශය ආවත් කරන්න අමාරු වැඩක්.
 
 
ස්පර්ශ කළ යුතු ම ගැඹුරාර්ථය
 

ලිංගිකත්වය පාවිච්චි කරල ගේම් දෙනව කියල අපි අහල තියෙනව නෙ. ජයසිරි ‘මතඟනා’ ඇතුළෙ මේ කතාව ලස්සනට ඉදිරිපත් කරනව. ජයසිරි අලවත්තගෙ ප්‍රබන්ධවල තියෙන විශේෂත්වය තමයි ඒක කියවන්න රසයි. ඒවයෙ ගැඹුරු මනෝවිද්‍යාත්මක අභ්‍යන්තරයකට අපි කොතරම් කැඳවගෙන ගියත් කතා සාරය ඉතාම ළගන්නාසුලුයි. ඒ වගේ ම කතාව ඇතුළෙ තියෙන රහස්පරික්ෂක භාවය නිසත් පාඨකයා අල්ල ගන්න පුළුවන්. ඔහුගෙ කතාවල තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි පාඨකය රඳවගෙන යන්න පුළුවන් ගතියක් පැවතීම. හැබැයි ඒ රඳවාගැනීම තුළ ම ඔහු ඉතා ගැඹුරු අර්ථයක් අරගෙන එනවා. ඒ රැගෙන එන ගැඹුරාර්ථය අපි ස්පර්ශ කරන්න ඕන.
 

සමාජ සංසිද්ධි පිළිබඳ අවබෝධය
 
 
 
මේ කතාව ලංකාවෙ සාකච්ඡාවට ගන්න ඕන කතාවක්. අපි ජීවත් වෙන්නෙ විශාල ලිංගික පරපීඩනයකින් පවතින, ලිංගික අනන්‍යතාව එළියට දාගන්න බැරි සමාජයක. ඒක වසර සියගණනක් පුරා යටපත් වෙච්ච ප්‍රශ්නයක්. ඒ නිසා අපි හැම කෙනෙක් ඇතුළෙ ම ඉන්නෙ කියාගන්න බැරැ තරම් පීඩනයට පත් වෙච්ච කාමුකයෙක්. ඒ කාමුකත්වය අපේ සමාජයේ උතුරා යනවා. නමුත් ඒක පිළිගන්න කවුරුවත් කැමති නෑ. නිර්මාණකරුවොත් තමන්ගෙ නිර්මාණ ඇතුළෙ මේව කියන්න කැමති නෑ. ජයසිරි අලවත්ත කියන්නෙ ප්‍රමුඛව ම ඒක කියන කෙනෙක්; ලියන කෙනෙක්;
 
 
 
විශේෂයෙන් ම ඒක සටන් පාඨයක් බවට පත් නොකර ප්‍රබන්ධකරණයට ගෙනල්ල මිනිස් ජීවිත අවශ්‍යතාත් එක්ක අපි ඒ ප්‍රස්තුතයට කැඳවාගෙන යනව. ඔහු තමන්ගෙ ප්‍රබන්ධය ඇතුළෙ ලිංගික අසහනයෙන් ජීවත් වෙන මිනිස්සුන්ගෙ චෛතසිකයන් සම්පූර්ණයෙන් ම නිරුවත් කරනවා. ඒ නිසා මේ චරිතවලින් මතුවෙන සමාජ සංසිද්ධි අවබෝධ කරගන්න ඉතා පහසුවක් ඇති කරල තියෙනවා.
 

මානව ප්‍රේමය සහ මනුෂ්‍ය භාවය
 

මෙම කෘතියේ රජ්ජනා වගේ ම බාසරත් සම සරාගී චරිත. හැබැයි ඒ දෙන්න ම ලෝකෙට පේන්න පෙම්වතෙක් සහ පෙම්වතියක් සොයනව; ඇසුරු කරනව. ඇත්තට ම ඇයි එහෙම වෙන්නෙ...? එහෙම වෙන්නෙ මේ රටට සම සරාගී නිදහස නොදීපු නිසා ද...? එහෙමත් නැත්නම් ඒ මිනිස් සිතේ හැටි ද...? මේ රටේ එහෙම නිදහසක් නැති නිසා අපිට කියන්න පුළුවන් ඒ නිසයි එහෙම වෙන්නෙ කියල. සමහර විට එහෙම වෙන්න පුළුවන්. මොකද අපිට තේරුම් ගන්න බැහැ මිනිස් සිත හැසිරෙන විදිය.
 

මතඟනා කෘතියෙ චරිත දිහා අවධානය යොමු කරාම හොඳට ම පේනව මේ චරිත මවු පිය සෙනෙහස ලබපු නැති ළමයි. මෙවු පියන්ගේ ගැටීම්වලට මැදි වුණ සිතුම් පැතුම්වලින්, ආකල්පවලින් හැදුණු, ඒ අත් දැකීම්වලට මුහුණ දුන්නු, ඒ අනුවේදනීය අත්දැකීමෙන් ගැටිච්ච අයගෙ ජීවිත අපිට මේ කෘතියෙදි හමු වෙනව. නමුත් ජයසිරි අලවත්ත ඒව ගොඩක් දුරට විවරණය කරන්නෙ නැතුව ඒ පාත්‍ර වර්ගයා ආපු සමාජ මට්ටම් ටික අපිට කියල දෙනව. පෙර ළමා වියේ දරුවන්ගෙ හිතේ තැන්පත් වෙන දේවල් ඒ කාලෙදි ළමයින්ට කියන්න බැහැ නෙ... ඒ නිසා ඒ අදහස් එයාලගෙ චරියාවලට ඇතුළත් කරගන්නවා. එහෙමත් නැති නම් ඒව එයාලගෙ මනස් තලයේ තැන්පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට හිතන්න බැරි විදියට ඒ චරිත තමන්ගෙ කලාපෙ ඇතුළෙ ක්‍රියාත්මක වෙනව.
 

අපි දන්නව සමාජයේ අධිනිශ්චය වෙච්ච චරිතවල සළු ගලවන්න තමයි සමාජයේ බොහෝ අය මෙන් ම සාහිත්‍යධරයො පෙලඹෙන්නෙ. අපි ඒ වැඩේට හරි කැමතියි; අපිට වඩා උඩින් ඉන්න මිනිහෙකුට ගල් ගහන්න අපි කැමතියි. මේ කෘතියෙ යහත් අභිරත කියන මහාචාර්යවරයා මුහුණ දෙන ප්‍රශ්නය ඉතා සූක්ෂම විදියට ජයසිරි අලවත්ත ඉදිරිපත් කරනවා. ඒක සාමාන්‍ය සමාජය දකින ආකාරය අභිභවා ගිහින් මානව ප්‍රේමීය මනුෂ්‍ය භාවවල, සාධාරණීය මනුෂ්‍ය භාවවල ස්වභාව එක්ක කොහොමද ගමන් කරල තියෙන්නෙ කියල ඒ චරිතය හරහා අපේ හිත් ඇතුළට ගෙනවිති තිබෙනවා.

 
කතුවරයාගේ භෂා නෛපුන්‍යතාව
 

මම දැන් යන්න හදන්නෙ ජයසිරි අලවත්තගෙ භාෂාමය පැත්තට. මේ පොත ඔහුගේ භාෂාවේ වර්ධනය පෙන්නුම් කරන පොතක්. ඔහු මෙම කෘතියේ භාෂාව අමුතු ම තැනකට ගෙනත් තියෙනවා. ඒ ගැන මට හරි ම සතුටුයි. එක තැනක ඔහු, අපි සඳවන් මුහුණ කියල පාවිච්චි කරන උපමාව වෙනුවට අඩ සඳවන් ලලාටය කියල භාවිත කරනව. මෙතෙක් කල් කාන්තාවන්ගෙ තොල් වර්ණනා කරන සම්මතය තිබුණෙ නා දලු වගේ කියල. ජයසිරි අලවත්ත උපමාවක් ගේනව ඉදිච්ච වෙරළු කොළයක් වගේ කියල. ඒව අපිට හසු නොවෙච්ච දේවල්. පුරුෂ ලිංගය ගැන සඳහන් කරද්දි ඔහු පුරුෂාංකුශය කියල වචනයක් ගේනව. මට හිතෙන්නෙ ඔහු ලංකාවෙ චිරන්තන සාහිත්‍යත් සමග කරන ගනුදෙනුවත් එක්ක ම නුතන සාහිත්‍ය ප්‍රබන්ධකරණයට මේ විදියෙ භාෂා ආලයක් මුසු කිරීමේ කටයුත්තත් මේ පොත ඇතුළෙ කරල තියෙනව. විශේෂයෙන් ම ලිංගික මනෝරාමයේ ආලික, කාමුක සංසිද්ධි පැහැදිලි කරද්දි එහි තිබෙන රසය පාඨකය තුළට කාවද්දන්න ඔහු භාෂා ප්‍රයෝග ටිකක් ගේනව. ඒ ප්‍රයෝග අධ්‍යයනය කරන්න වටින දෙයක්. මං හිතන්නෙ පර්යේෂණ අත්හදා බැලීමක් විදියට භාෂාව මුසු කිරීමේ කටයුත්තක් මේ කෘතියෙ දකින්න තියෙනව.
 

පාදමේ ඇත්ත ම ඇත්ත කතාව
 

ඇත්තට ම මතඟනා ඇතුළෙ කතුවරය කියන්න උත්සාහ කරන්නෙ මොකක් ද...? මම ඉව කරන දේ ද එහෙම නැතිනම් වෙන දෙයක් ද...? එක පැත්තකින් මට පේනව මවු පිය ගැටුම් මැද්දෙ හැදෙන ළමයි පත්වෙන තත්ත්වය කියල අපි එළියෙ දකින දේට වෙනස් දෙයක් මේ කෘතියෙ කතා කරනව. මේ කෘතියෙ කියන්නෙ ඒ ඉරණමට මුහුණ දීපු අය කොහොමද ක්‍රියා කරන්නෙ කියන දේ සහ ඒ චරිත ජීවිතයේ හැලහැප්පීම් සමග කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නෙ... කොහොමද ඒ සිද්ධිවලට මුහුණ දෙන්නෙ කියන කාරණය. ඒව වැඩ කරන්නෙ අපි හිතන තැනින් නෙවෙයි. වෙන තැනකින්. ඒක ජයසිරි ඉතා සියුම් විදියට ඉදිරිපත් කරනව.  
 

තවත් පැත්තකින් ගත්තොත් අපි සාමාන්‍ය යෙන් ලිංගික කාරණය හුදු පුද්ගලික දෙයක්, එහෙමත් නැතිනම් පාප ක්‍රියාවලියක් විදියට සාකච්ඡාවට නොගෙන පැත්තකින් තියල, රහසේ ම විඳින එකක් බවට පත්කරගෙන තියෙනව. ජයසිරි මේ කෘතිය ඇතුළෙ ඒ වියවුල් සහගත තත්ත්වය විසින් මිනිස්සු ඝාතකයො බවට පත්වෙන ආකාරය ඉතා ලස්සනට පැහැදිලි කරල තියෙනව. ඇත්තට ම පාදමේ ඇත්ත කතාවත් එක් ම තමයි. ඒ කාරණා මනෝ විද්‍යාත්මක තලයේ තියල ඉහළින් ම කතා කරන්න පුළුවන් කෘතියක් විදියට මතඟනා කෘතිය හඳුන්වන්න පුළුවන්. මම නිර්මාණයක් එහෙම ලේබල් කරන්න කැමති නැහැ. මම ගෙනාවෙ එළියෙ තියෙන වචනයක්.
 

කෘතියේ ආකෘති හරඹය

 
තවත් පැත්තකින් ගත්තම කෘතියේ අන්තර්ගත රහස් පරික්ෂක භාවය. එතනදිත් රහස් පරික්ෂක කතා කියල හඳුන්වනවට මම පුද්ගලිකව කැමති නෑ. ඒකත් මම ගේන්නෙ එළියෙ තියෙන වචනයක් විදියට. තවත් පැත්තකින් ගත්තම මේ පොත ප්‍රබන්ධකරණයේ ශූර භාෂා සංකලනයක් සහිතයි. මම මෙතනදි කියන්න කැමතියි හදාරන්නෙකුට ඉතාම වැදගත් වෙන දෙයක් ගැන. මමත් මේක ඉගෙනගත්තෙ මේ කෘතියෙන්. ඒ කියන්නෙ: සිද්ධි හප්පල, කඩල, අනිත් පැත්ත ගහල, සුන්නද්දූලි කරල ආයෙ සිද්ධියට පාඨකය කැඳවගෙන එන එක. මේ පොත ආකෘති ගතකරල තියෙන්නෙ ඔළුවෙන් හිටවලත් කියවන්න පුළුවන් විදියට නෙ. මං මුලදි හිතුවෙ මේ ක්‍රමය අවුලක් වෙයි කියල. නෑ... ඇත්තට ම කතාව හරියට ම අපේ ඔළුව ඇතුළට බස්සගන්න පුළුවන් විදියට තමයි පොත ආකෘති ගතකරල තියෙන්නෙ. ඒක ඉතා ශූර වැඩක්. පොත හරියට ම ඔළුවට එන ක්‍රමය ඒක ම තමයි. කතා පද්ධතිය ගොඩනගල තියෙන්නෙ ම ඒ විදියට. ඔහු චරිත එහෙන්, මෙහෙන් ගෙනල්ල හප්පනව. චරිත ගෙනල්ල, ඒව සුන්නද්දූලි කරල ආයෙ කතාව ඇතුළට අපිව අරගෙන යනව.
 
 
 
අකුරෙන් දනවන හැඟවුම්කාරකය
 

තවත් විශේෂත්වයක් තමයි රජ්ජනාගෙ පත්‍රිකා ටික ඉදිරිපත් කරන ක්‍රමය. විශේෂයෙන් ම ඒ සඳහා භාවිත කරල තියෙන ෆොන්ට් එක. ඒක හැගුම්කාරකව දැනෙන්නෙ ඒ ෆොන්ට් එක නිසා. නිර්මාණයක් කියන්නෙ නිෂ්පාදනයක් නෙ; මුද්‍රණ යන්ත්‍රයකින් එළියට ගන්න නිෂ්පාදන භාණ්ඩයක් නෙ. ඒ භාණ්ඩයට පිට කවරය බලපානව වගේ ම භාවිත කරන අකුරෙ ෆොන්ට් එක තැනට සුදුසු විදියට භාවිත කරන එකත් ඒක හරිම ශූර අත්දැකීමක්.
 

අපි ඇතුළෙ ඉන්න අපි
 
 
 
ජයසිරි අලවත්ත මේ කතාව ඉවර කරන්නෙ තවත් කතා කිහිපයකට ම ඉඩ තියල. ඒ නිසා මං ඔබ වෙත ආරාධනා කරනව මේ පොත කියවන්න කියල. මේ පොත, තමන් ඇතුළෙ ම හිර කරගෙන ඉන්න තමන්ගෙම ව්‍යාජ කුහුල පුපුරවා හරින්න පුළුවන් පොතක්. අපි ඇතුළෙ ඉන්නව අපේ ආශාව එළියට දාල කතා කරන්න බැරි විකෘති පිස්සෙක්. ඒ පිස්ස අපි හැමෝම තුළ ඉන්නව. ඒක වැඩි වුනොත් විශාල ප්‍රශ්නයක්. මේක අපි පිළිගන්න අකමැති, අපි ඇතුළෙ ඉන්න අපි ගැන කතාවක්. මං හිතන්නෑ අපි කවුරුවත් පුද්ගලිකව මේකට පිළිගැනීමක් දේවි කියල. මොකද අපි ඒ තරමට ම කුහකයි. අපි කිව්වම මේ මමත් එතන ඉන්නව. මේ පොත පාඨකයො අතරෙ සැරිසරද්දි විශාල සිතුවිලි වෙනසකට බලපාවි.
 
 
මතඟනා ඇතුළෙ මට දැනෙන දේ තමයි ලෝකය අහිමි වුණ මිනිස්සු, තමන්ට හමුවුණ ජීව පද්ධතියෙන් ලැබුනු ලිංගික ලෝකය ප්‍රහර්ෂයට පත් කරන්න බැරි වුණා ම ඒක මිනීමරු ආවේගයක් දක්වා ගමන් කරල, පද්ධතිය අවුල් කරගන්න එක. මිනිස්සුන්ට තමන්ගෙ ස්වභාවික ලිංගික සෞන්දර්යයෙන් විකසිත වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනව. තමන් තමන්ගෙ ආශාව හඳුනාගත්තත් ඒ ආශාව ප්‍රජාව ඇතුළෙ විඳින්න බැරි වෙලා තියෙනව. ඒ විඳින්න බැරිවීම සමග එක්කහු වෙන අනිත් ප්‍රශ්න පුපුරන්නෙ කොහොමද කියල කතා කරල තියෙනව. මේව තනි හුදෙකලා සිද්ධි විදියට කතා කරන්නෙ නැතුව මේව සමාජ ප්‍රකම්පනයට කොහොමද අදාළ වෙන්නෙ...? මේ හුදෙකලාව කියන්නෙ අපි හැම තුළ ම තියෙන ප්‍රශ්නයක්. හැම මනුස්සයෙක් තුළ ම ප්‍රශ්නයක් තියෙනව. ලෝකෙ අලුත් තැනකට ගිහින් තියෙන්නෙ ඒකයි.
 

ලිංගිකත්වය සීමා සහිත විය යුතු ද...?
 

නිදහස් ලිංගික ලෝකයට නැවත යන්න ඕන කියල ලෝකෙ සාකච්ඡාවක් ඇති වෙමින් තියෙනව. ආසියාව ඇතුළෙ ඒ සාකච්ඡාව නැතිවුණාට ලෝකෙ දියුණු වළල්ලෙ සාකච්ඡාව ඇතුළෙ එතනට පියමං කරන්න වෙලා තියෙන්නෙ ඒකයි. ලිංගිකත්වය සීමා කරල, ඒකට නීති පනවපු සමාජය ම දැන් ලිංගිකත්වය වේගයෙන් ලිහා දමමින් ඉන්නෙ ඒකයි. ඒකට නීතියක් නෑ; සම්මතයක් නෑ. ඇත්තට ම ලිංගිකත්වයට නීතියක් තියන්නත් බෑ; සම්මතයක් තියන්නත් බෑ. ඇයි ඒ...? නෙක නෙක ආශාවලින් පිරිච්ච මිනිස්සු ඉන්නෙ. ඒ මිනිස්සු නෙකෙ නෙක ආශා නෙක නෙක විදියට විඳගන්නව. නමුත් අද සිද්ධ වෙලා තියෙන්නෙ ඒක පද්ධතිය විසින් නීතිගත කරාම, පද්ධතිය විසින් ආකෘතිගත කරාම, පද්ධතිය විසින් ඒකට අර්ථ චර්යා දුන්නට පස්සෙ මිනිස්සුන්ට ඒක විඳින්න බෑ. ‘මතඟනා’ ඇතුළෙ කතා කරන්නෙ මෙන්න මේ ගැටලුව.
 

මම, මා සමග ම යුද්ධයක...
 

මෙහි දැක්වෙන අලුත් ම දේ වෙන්නෙ වඩා නිදහස්, වඩා හොඳයි කියන සම සරාගී ස්ත්‍රින් දෙදෙනෙක්, සම සරාගි පුරුෂයෙක් පද්ධතිය අවුල් කරන්න දායක කරගන්න, ඔවුන්ගේ නිදහස විදින්න ගන්න උත්සාහය. හැම සම සරාගී ගැහැනියෙක් ම හිතනව මට ලෝකෙට පේන්න පිරිමියෙක්ක් ඕන කියල. හැම සම සරාගි පිරිමියෙක් ම හිතනව මට ගැහැනියෙක් ඕන ලෝකෙට පේන්න කියල. ඒ සියලු කාරණා මේ පොත ඇතුළෙ කතා කරනවා.
 
 
මේක අපේ මනස් අපිත් එක්ක ම ඝට්ටනයකට යවන පොතක්. මම මා එක්ක ම ගැටුමකට යවන පොතක්. මගේ පද්ධතිය, මගේ අදහස් උදහස් මං පිළිගත්ත හැම දෙයක් ම මාත් එක්ක ගැටුමකට යවන පුද්ගල බද්ධව අපේ මනස් තලයට දැඩි ම තාර්කික ප්‍රහාරයක් දෙන පොතක්. මේ පොත කියෙව්වට පස්සෙ මම මාත් එක්ක යුද්ධෙකට පටලනව. ඒ නිසා මම මෙතෙක් කල් අවුරුදු තිහක් හතළිහක් අරන් ආපු සමහර අදහස් එක්ක මට ම යුද්ධ කරගන්න ඕන පොතක්. ඒ නිසා මම හිතනව පාඨක මිනිස් සිත් පුංජය ඇතුළෙ විශාල අරගලයක් කරන්න පුළුවන් පොතක් තමයි ජයසිරි අපිට මෙදා දායාද කරල තියෙන්නෙ.
 
 
කතුවරයා අපිව රැගෙන යන ඥාන කලාපය
 
 
මේ කාරණය මීට වඩා හොඳට, මීට වඩා විවෘතව කතා කරපු එකම ශාස්තෘවරය තමයි බුදුරජාණන් වහන්සේ. මේ වගේ සුළු සිද්ධි ගණනාවක් නෙවෙයි. මීට වඩා බරපතළ සිද්ධි ගණනාවක් විනය පිටකයේ තියෙනවා. අවසානෙදි දෙවිදත්තරගෙ කතාවෙ එන්නෙත් මේ ප්‍රශ්නෙ. දෙවිදත්තරගෙ අම්මයි තාත්තයි අනන්තවත් රණ්ඩු වුණා. දෙවිදත්තරගෙ ලිංගික වුවමනාව දෙවිදත්තරට කවදාවත් කියාගන්න බැරි වුණා; කවදාවත් ඉෂ්ට කරගන්න බැරි වුණා. අවසානෙදි දෙවිදත්තර ගැටුමකට ගියේ බුදුරජාණන් වහන්සේ එක්ක. ඒක ත්‍රිපිටකයෙ ඇති තරමට කතා කරල තියෙද්දිත් අපි ඒක බෞද්ධ සාහිත්‍ය යෙන් එළියට අරගෙන නෑ. කතා කරන්නෙ දෙවිදත්තර බුදු රජාණන් වහන්සේට ගල් පෙරළපු එක විතරයි. ඇයි දෙවිදත්තර බුදුරජාණන් වහන්සේට ගල් පෙරළන්නෙ. ඒ වෙන මොනවත් නෙවෙයි... ලිංගික අනන්‍යතාවෙ ප්‍රශ්නෙ. සුප්‍රබුද්ධ එයාගෙ බිරිඳත් එක්ක තිබිච්ච ලිංගික පිඩිකත්වයෙ ප්‍රශ්නෙ තමයි දෙවිදත්තර කියන්නෙ. මේක බුදු හැමුදුරුවො ඉතා ගැඹුරින් කතා කරල තියෙනව. අපිට ඒක කතා කරන්න තැනක් නෑ. මොකද අද පන්සල බුදුහාමුදුරුවන්ගෙන් උදුරගෙන. බෞද්ධ කතිකාව බුදුහාමුදුරුවන්ගෙන් උදුරගෙන. බෞද්ධයො අන්ධ භක්තියට ගිහිල්ල.
 
 
බොද්ධයො බුදු දහම අත ඇරල වෙන ආගම්වලට ගිහිල්ල. මේක කතා කරන්න වඩා නිදහස් දහමක් තිබුණ රටක, නිදහස් දහමක් තිබුණ සමාජයක අපිට මේ මොනවත් කතා කරන්න බැරි තත්ත්වයට පත් වෙලා. ජයසිරි අලවත්ත විසින් ඒ ඥාන කලාපයට තමන්ගෙ ප්‍රබන්ධකරණය අරගෙන තියෙනව. ඒ ප්‍රබන්ධ කලාපය ඔහු‘ අක් දහර’ සහ ‘තිත් මල්’ හරහා අරගෙන ඇවිත් ‘මතඟනා’ හරහා තවත් විසල් පෙදෙසකට අපිව අරගෙන යනවා. ඒ නිසා මම යළිත් ආරාධනා කරනවා මේ පොත විදින්න කියල.   
 
              
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්