වදනකුදු මුදා නොහළ හෙතෙම යළි වීදුරුව ඉහළට යවා කාරය පණගන්වාගෙන මන්දගාමී ලෙස ඉදිරියට ඇදී ගියේ අප වෙතින් සමුගෙන යා නොහැකි බව

ද, අප සමග රැඳි සිටීමට නොහැකි බව ද සංකේතවත් කරමිනි.


කාරය ඉදිරියට ඇදී යන අතරතුර රන්මලී අප අසලින් ඉවත්ව ගිය ද මටත් අමෝද්‍යටත් එසේ නිවස තුළට යාමට තරම් ධෛර්යයක් නොතිබිණ. අප දෙදෙනා ම මොහොතක් දෙදෙනාගේ දෙනෙත් සමග අනිමිසලෝචනයක යෙදුණහ. ඉක්බිති අමෝද්‍ය මගේ හිස ඔහුගේ උර තලය මත සතපවාගත්තේ මගේ බඳ වටා ඔහුගේ දකුණත ද පටලවාගන්නා අතර ය.


වංගු සහිත මාර්ගයේ කාරය කෙමෙන් කෙමෙන් පහළට ඇදී ගියේ එහි ප්‍රමාණය කුඩා කරමින් පමණක් නොව වර්ණය ද යම් වෙනසකට ලක් කරමිනි. ඒ වෙනස මගේ සිතේ සිතුවම් වූ වෙනසක් වුව ද එය සැබෑවක් ලෙස දකින්නට මා රුචිකත්වයක් දැක්වී ය. ඊට හේතුව කුමක් ද යන්නට නිශ්චිත පිළිතුරක් මා සතුව නොපැවතිණ.

 

s846867339460624280 p1673 i6 w1500


‘‘අපි යං... දිවසත් ගිහිං කෝල් එකක් දෙයි නෙ...’’


මා පියවි සිහියට එළඹියේ අමෝද්‍ය මගේ බඳවටා දවටාගෙන සිටි ඔහුගේ දකුණතින් මගේ හිස අතගාමින් මා අමතන විට ය.


‘‘පවු අමෝද්‍ය දිවසත් අයිය... දැන් එයා අපේ අම්මටයි තාත්තටයි ෆේස් කරන්නෙ කොහොමද කියල හිතද්දිත් මට හරි බයයි අමෝද්‍ය.’’


මා එසේ පැවසුවේ මගේ සිත තුළ සැබැවින් ම බියක් පැවති බැවිනි. ඒ, මා ගැන නොව දිවසත් අයියා පිළිබඳව ය. මේ සිදුවී ඇති සියල්ලට ඔහු සම්බන්ධ බව කිසියම් ආකාරයකින් මගේ මවත් පියාත් දැනගතහොත් අනාගතයේ දී අපේ පවුල් දෙක අතර පවත්නා ඥාති සබඳතාව පවා අහෝසි වන්නට ඉඩ-කඩ පවතී. මගේ මව කිසිසේත් ම දිවසත් අයියාට සමාවක් නොදෙනු ඇත. එහෙත් දැන් එය සිදු වී හමාරය; කළ යුත්තේ ඉදිරියට සිදුවන දෑ පිළිබඳ අවධානය යොමු කිරීම ය.


අප දෙදෙනා ම නිවස තුළට පැමිණියේ අසිහියෙන් මෙනි. ආලින්දයට පැමිණි පසු අමෝද්‍ය ඔහුගේ මුවගුළු විවර කළේ ය.


‘‘අහිංසනා... ඔයා දැන් තව ටිකක් නිදාගන්න. මම මේ වැඩ ටික කරන අතර නිදිමතක් ආවොත් එන්නං. එහෙම නැති උනොත් මේ වැඩේ ඉවර කරන්නං. මොකද මං දැන් දවස් දෙකක් ම මෙහේ ක්ලාස් කරේ නෑ. එක දවසක් කුරුණෑගල ගියෙත් නෑ. අපේ ප්‍රශ්න විසඳගන්නව වගේ ම මේ දරුවන්ගෙ ප්‍රශ්නත් විසඳන්න එපාය. අනික ඒ දරුවො මට සල්ලි ගෙවනව නෙ...’’


අමෝද්‍ය එසේ පවසන අතර ම මගේ ලලාටය මත ඔහුගේ නැහැ තුඩ තබා එතුළින් ගලා එන උණුසුම් සුසුම් පොදක් මුදා හළේ ය. ඒ උණුසුම් සුසුම මගේ ලලාට තලයෙන් සිරුරට ඇතුළු වී සමස්ත සිරුර පුරාම ප්‍රසාරණය වූයේ සිහින් කේශ නාලිකා පවා මඳ පමණකට හිරිවට්ටවමිනි. 

 

මා බලාපොරොත්තු වූයේ එවන් සුළු පහසක් නොවේ. මගේ බලාපොරොත්තුව වූයේ අමෝද්‍යට තුරුලු වී ඔහුගේ උණුසුමෙන් ද පහසෙන් ද මගේ සිරුර සතපවාගන්නා අතර ඔහු වෙනුවෙන් මගේ සතුට කැප කිරීම ය. එහෙත් අමෝද්‍ය හැසිරෙන්නේ ඒ කිසිදු බලාපොරොත්තුවක් ඉටු කරගත හැකි ඉමක් නොපෙනෙන තරම් දූරස්ථව ය.

 

‘‘මොකද්ද අමෝද්‍ය... ඔය වැඩ ටික පස්සෙ කරන්න බැරි ද... යමුකො අපි ටිකක් නිදාගමුකො.’’


මා එසේ ආයාචනා කළේ ඔහුගේ සිත වෙනස් වෙතැයි බලාපොරොත්තුවෙනි. එහෙත් එය එසේ නොවිණ. ඔහුගේ මුවෙන් මුදා හළේ ඊට සපුරා ම වෙනස් වදන් ගොන්නකි.


‘‘මේ අහන්නකො පැටියො... මම දැන් වගකීම් වැඩි මිනිහෙක්. ඒ කියන්නෙ මගෙන් ඉගෙනගන්න දරුවන්ට වගේ ම ඔයා ගැනත් වගකීමක් තියෙනව. ඔයා ගැන තියෙන වගකීම් හරියට ඉස්ට කරන්න නං අර දරුවන්ගෙ වගකීම ඉස්ට කරල ඉන්න වෙනව. ඒ නිසා හොඳ පැටිය වගේ මට මේ වැඩේ ඉවර කරගන්න ටයිම් එකක් දෙන්න. අපි හවසට ටිකක් එළියට යමු. ඩිනර් එකත් එළියෙන් ගමු. දැං හොඳ පැටිය වගේ යන්නකො... ගිහින් ටිකක් නිදාගන්න. එතකොට ඔය මහන්සි ගතියත් හොඳට ම මගඇරේවි’’


71fYckWb9SL. AC SY550 අමෝද්‍ය තවමත් මීට වසර දෙකහමාරකට තුනකට පමණ පෙර හමු වූ අමෝද්‍ය ම ය. එකල ද ඔහු පළමු කාරිය රාජකාරිය කරගත් අන්දම මට අද මෙන් සිහියට නැගිණ. ‘ඔවු... අමෝද්‍ය කියන්නෙ ඇත්ත. අපි දෙන්න ම ජීවත් වෙන්න ඕන එයා ටියුෂන් කරල හම්බ කරන සල්ලිවලින්. ඒ සල්ලි හම්බ කරන්න නං ඒ වැඩේ හරියට කරන්න ඕන. ඇත්ත වෙන්නැති... පහුගිය දවස්වල මං වෙනුවෙන් හුඟක් කාලය මිඩංගු කරන්නත් ඇති.’


‘‘හම්ම්ම්... හරි හරි... එහෙනං මං ටිකක් නිදාගන්නං... ඔයාට එන්න පුළුවං උනොත් එන්න. මට හොඳට ම නින්ද ගියොත් අවදි කරන්න හොඳේ’’ යැයි පැවසු මා ද පෙරළා අමෝද්‍ය ගේ නලල් තලය මත හාදුවක් තවරා එතැනින් නික්ම ගියේ සැහැල්ලු සිතිනි.

*          *          *          *          *          *          *          *

‘‘අහිංසනා... අහිසනා... නැගිටින්න...’’


සිහිනයෙන් මෙන් අමෝද්‍ය ගේ කටහඬ මගේ සවන් තුළට ඇතුළුවන විට මා පසුවූයේ තදබල නින්දේ බව හැඟුණේ මිනිත්තුවකටත් වැඩි කාලයක් මගේ උවන දෙස නෙත් අයා සිටි අමෝද්‍ය මා අසලින් වාඩි වූ පසුව ය.


‘‘ම්ම්ම්හ්... මං හුඟක් වෙලා නිදාගත්ත ද අමෝද්‍ය... දැං වෙලාව කීය ද...?’’


ඒ වදන් කිහිපය වුව ද මගේ මුවෙන් නිකුත් වූයේ ස්වයංක්‍රීයව ම මිස මා දැනුවත්ව නොවන බව මට හැඟිණ.


‘‘ම්ම්ම්... වෙලාව ද... දැන්නං... හයත් පහු වෙලා...’’


‘‘හයත් පහු වෙලා...!’’


එතෙක් නිදිමත ඉරියව්වෙන් ම පසු වු මා නැගී සිටියේ ඉද්ද ගැසුවාක් මෙනි. වහා නැගිට ඇඳේ වාඩි වූයේ සිහිනයෙන් බිය වූ පුද්ගලයෙකු ලෙසිනි.


‘‘මොකද මේ බය වෙලා වගේ...? එහෙම තමයි... මොකද වෙලාව අපි පහු කරල දුවන එක නවත්තන්න අපිට පුළුවන් ද... බැහැ නෙ... එහෙම නේද...?’’


ඒ වදන් පවසා අවසන් වන්නටත් පෙර ම අමෝද්‍ය වහා මා අසලින් නැගී සිට ‘‘මං නං වොෂ් දාල ඉන්නෙ. ඔයත් වොෂ් එකක් දාගන්න. ඊට පස්සෙ අපි තේ බොමු. මං වතුරත් උණු කරල තියෙන්නෙ.’’ යැයි පවසනා අතර ම කාමරයෙන් ඉවත්ව ගියේ ය.

 

ඔහුගෙන් අසන්නට ප්‍රශ්න කිහිපයක් ම තිබුණ ද ඔහු ඉවත්ව ගියේ මා ඔහුගෙන් ඒ ප්‍රශ්න අසාවි යැයි කලින් ම දැන සිටියා සේ ය. අද ඔහුගේ හැසිරීමේ කිසියම් ගුප්ත භාවයක් ගැබ්වී ඇතැයි මට හැඟිණ. එහෙත් ඒ කුමක්දැයි ඔහුගෙන් විමසන්නට තරම් සිත ඉක්මන් නොවිණ. ඇතැම් විට ඔහු තවමත් පසුවන්නේ මේ වන විට අම්මාත් තාත්තාත් කෙබඳු තත්ත්වයකට පත්ව ඇති ද යන සැකයෙන් විය හැකි ය. මා මෙතෙක් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු නොකළ ද මේ වන විටත් මා ඕස්ට්‍රේලියාවට නොගොස් ඇති බව අම්මාටත් තාත්තාටත් දැනගන්නට ලැබී තිබෙන්නට පිළිවන.

 

‘දෙයියනේ... අම්මයි තාත්තයි දැන් මොනව කරනව ඇද්ද...? ඇයි මට ඒ ගැන හිතුණෙ නැත්තෙ...? කෝ අමෝද්‍ය...?’


එක පෙළට මනසට ඇතුළු වූ සිතුවිලි එහි සක්මන් කරන්නට වූයේ හිත් පිත් නොමැති කෘමි සතෙකු මස්තිෂ්කය පුරා ඇවිදින තරම් වේදනාවක් අත්පත් කර දෙමිනි. කඩිනමින් ඇඳෙන් බැසගත් මා අමෝද්‍ය සොයා ගියේ මා මනසේ පැවති වේදනාව ඔහුට පවසා කිසියම් සහනයක් ලබාගැනීමේ අරමුණෙනි.


‘‘අමෝද්‍ය... අමෝද්‍ය...’’


මා එසේ විමසමින් සාලයට පැමිණිය ද ඔහු සාලයේ නොසිටි බැවින් මගේ දෙපා ස්වයංක්‍රියව ම මුළුතැන් ගෙය කරා මා රැගෙන ගියේ පැණි රස කෑමක් තිබෙන ස්ථානයක් වෙත කුහුඹුවකු ගමන් කරන සේ ය. මා මුළුතැන් ගෙට යන විටත් අමෝද්‍ය මා සහ ඔහු වෙනුවෙන් තේ පිළියෙල කරමින් සිටි බැවින් මට මා පිළිබඳව ම කෝපයක් සහ ලජ්ජාවක් ජනිත විය.


‘‘අමෝද්‍ය... ඇයි මේ...? මට කිව්ව නං මං තේ හදනව නෙ...’’


8d83ca7e147449366f7d6571981ee1cfඑසේ පැවසු මා මෙතෙක් මනසේ රැඳී තිබූ බර පසෙකලා අමෝද්‍යෙග් පිටුපසින් ගොස් ඔහුගේ සිරුරේ වෙළිණ. එහෙත් අමෝද්‍ය ඒ සඳහා ප්‍රතිචාර දැක්වූයේ ඇල්මැරුණු ස්වභාවයකිනි. මා බලාපොරොත්තු වූයේ ඔහු ආපසු හැරී මා ඔහුගේ සිරුරට තෙරපාගෙන ඒ සිරුරේඋණුසුම මගේ සිරුර පුරා විහිදුවාලතැයි කියා ය. එහෙත් ඔහු කිසිදු හැඟීමකින් තොරව ම සිය කටයුත්තේ නියැළෙන අතර ම ‘‘නෑ කමක් නෑ පැටියො... ඔයා ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නකො. අපි තේ බීල ටිකක් එළියට ගිහින් එමු.’’ යැයි පවසන අතර ම ඔහුගේ සිරුර වටා එතී තිබූ මගේ දෑත් ලිහිල් කළේ මා ඔහු වෙතින් ඈත් කිරීමේ බලාපොරොත්තුවෙනි.


‘‘ඇයි අමෝද්‍ය... රන්මලී නැද්ද...?’’ යැයි මා විමසුවේ ඔහු වෙතින් දුරස් වීමට ඇති නොකැමැත්ත ද ප්‍රදර්ශනය කරමිනි.


‘‘නෑ අහිංසනා... අපි අද රෑ කැමට එළියට යනව කියපු නිසා එයා ගෙදර ගියා. ආයෙ හෙට උදේ ඒවි.’’


අමෝද්‍ය එසේ පවසන අතර ම පැන්ට්‍රි කබඩයේ පහළ කොටක් විවර කර එතුළ තිබූ මග් දෙකක් ගෙන එතුළට තේ වත් කළේ ය.


‘‘දැන් තේ හදලත් ඉවරයිනෙ... එහෙනං තේ බීලම වොෂ් එකක් දාගන්න. ආ... ඔයා ආසයිනෙ ඥානකතා කන්න. මං ඥානකතත් ගෙනල්ල ඇති. ඉන්න... මං ඒ දෙකක් ගන්නං’’ යැයි පැවසු අමෝද්‍ය තේ කෝප්ප දෙක මේසය මත තබා නැවත පැමිණ පැන්ට්‍රි කබඩයේ ඉහළ කොටසේ තිබූ බෝතලයක් ඉන් පිටතට ගෙන, එය රැගෙන යළි මේසය වෙත ගියේ ඉතා සැහැල්ලුවෙනි.


‘ඇත්තට ම අමෝද්‍ය ඇයි මේ විදියට හැසිරෙන්නෙ... එයාට මං ඉන්න සිටුවේෂන් එක ගැන අවබෝධයක් නැද්ද... එහෙම නැතිනං ඒක මගහරවන්න ම මේ විදියට හැසිරෙනව ද...?’


‘‘මොකද අනේ කල්පනා කරන්නෙ...? එන්න..’’


යැයි පවසන අතර ම මා අසලට පැමිණි අමෝද්‍ය මගේ බඳවටා ඔහුගේ දකුණත යවා, මා ඔහු වෙතට ළං කරගෙන ම ගොස් මෙසය වටා පනවා තිබූ එකිනෙකට ආසන්න අසුන් දෙකක අසුන් ගත්තේ මෙතෙක් පැවති ඇල්මැරුණ ස්වභාවය යම් පමණකට දිය කර හරිමිනි.


‘‘අහිංසනා... මං දන්නව ඔයා කල්පනා කරන්නෙ මොනවද කියල. ඒ එක්ක ම මං ඒ ගැන මොනවත්ම අහන්නෙ නැත්තෙ ඇයි කියල ඔයා හිතන බවත් මං දන්නව. මට ඒ සිටුවේෂන් එක නොතේරෙනව නෙවෙයි. ඒක මට හොඳට ම තේරෙනව. ඒ උනාට පැටියො දැන් ඒ ගැන හිතල වැඩක් නෑ. අපිට මොනව හරි තොරතුරක් දැනගන්න වෙන්නෙ හෙට උදේ. දිවසත් අපිට වෙන නම්බර් එකක් දීල ගියත් මං කියන්නෙ අපි එයාට කතා නොකර ඉමු. එයා ම අපිට කතා කරනකං අපි ටිකක් ඉවසමු. මොකද මේ වෙලාවෙ මමයි ඔයයි වගේ ම එයත් ඉන්නෙ අවුලක. ඒ අවුලෙ ඇත්ත මතත්ත්වෙ මොකක් ද කියල දැනගන්න වෙන්නෙ ඔයාගෙ අම්මයි තාත්තයි එයත් එක්ක කතා කරාට පස්සෙ. ඉතිං ඒ ගැන එයා අපිට කියාවි. ඇත්තට ම අහිංසනා මටත් දිවසත් අපිට කතා කරනකං ඉවසීමක් නෑ. නමුත් අපි ඇත්තට මූණ දෙමු. පුළුවන් තරං එයාව රිලැක්ස් එකේ තියමු.’’

 

ඔහු වදන් මුදාහැර අවසන් වන තෙක් ම කිසිදු වදනක් නොපැවසු මා එක එල්ලේ ම ඔහුගේ මුව වෙත අවධානය යොමු කර සිටියේ ඔහු මෙතෙක් සිතේ දරාගෙන සිටි විසල් බරක් සැහැල්ලු කරනවා නොවේ ද යන සිතුවිල්ලෙනි. මා යෞවනයේ උතුරා යන ආශා ගොන්නකින් පරිපූර්ණ වී සිටින අතර සිහින් හෝ වේදනාවකින් ද පෙළෙන බව නොරහසකි. අමෝද්‍ය ද එසේ නොවන්නට නොහැකි ය. නමුදු ඔහු පවසන ලෙස ම අපි දෙදෙනා ම මේ මොහොතේ හැකි තරම් ඉවසීමෙන් කටයුතු කළ යුතු ය. ඒ සඳහා අමෝද්‍ය වෙත මගේ සහයෝගය ද උපරිමයෙන් ලබා දිය යුතු ය. මන්ද අපි එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් වෙළී සිටින්නට තරම් යහපත් මානසික මට්ටමක් අප දෙදෙනා තුළ ම නොපවතින බව මා අවබෝධ කරගත යුතු ය.

 

‘‘අපි ඩිනර් ගන්න කැන්ඩි යමු ද... එහෙම නැතිනං අධිකාරිගමට විතරක් යමු ද...?’’


මා වෙළී සිටි කල්පනා දැහැනින් නිදහස් වූයේ අමෝද්‍ය ගේ වදන් සවන් තුළින් ඇතුළු වූ පසුව ය. නුවර යන්නට ආසාවක් පැවතිය ද ඒ සඳහා අමෝද්‍ය කුමනාකාරයේ ප්‍රතිචාරයක් දක්වාවි ද යන්න දැනගැනීමට මට අවැසි විය.


‘‘ම්ම්ම්... මෙහේ ඉඳල කැන්ඩිවලට කොච්චර දුර ද...?’’


මා එසේ විමසුවේ දුර ප්‍රමාණය අනුව නුවර යනවාද නැද්ද යන්න තීරණය කිරීමේ අටියෙනි.


‘‘මෙහේ ඉඳල ම නං කිලෝ මීර් තිස් අටක් හතළිහක් විතර ඇති. ඇයි...?’’


‘අම්මෝ... කිලෝ මීටර් හතළිහක්... එතකොට එන්නයි යන්නයි කිලෝ මීටර් අසූවක්...’


‘‘ඇයි ක්ලපනා කරේ... අපි එච්චර දුරක් ඇවිත් ද කියල හිතුණ ද...?’’


අමෝද්‍ය එසේ විමසුවේ මීට වසර දෙක තුනකට ඉහත මා දෙස හෙළූ ආදරණීය බැල්ම යළි උවනතේ සිතුවම් කරගනිමිනි.


‘‘ම්ම්ම්... එහෙමත් හිතුණෙ නැත්තේ නෑ... අධිකාරිගමට කොච්චර දුර ද...?’’


අමෝද්‍ය ඊළඟට විමසන්නේ මොනවා ද යන්න අනුමාන කළ මා ඊට සපුරා වෙනස් පැනයක් නැගී ය.


‘‘ආ... අධිකාරිගම ටවුමට නං කිලෝමීටර් හයක් හටක් විතර ඇති. ඇයි මේ මෙච්චරට ම මෙතන ඉඳල කැන්ඩිවලටයි, අධිකාරි ගමටයි තියෙන දුර අහන්නෙ... ආයි ගෙදර යන්නවත් හිතුණ ද...?’’


dd13.001 800x800අමෝද්‍ය එසේ විමසුවේ උවනතේ ස්මිතයක් සිතුවම් කරගෙන වුව ද ඔහුගේ හදවතේ ඒ ස්මිතය සිතුවම් නොවී ඇතැයි මට හැඟිණ. වහා අසුනෙන් නැගී සිටි මා අමෝද්‍ය ආසන්නයට ගොස් ඔහුගේ හිස පිටුපසින් අල්ලා එය මගේ යටි නැබ වෙත තුරුලු කරගත්තේ කුඩා දරුවකු තුරුලු කරගන්නා ලෙස ය. මන්ද අමෝද්‍ය කුමන අරමුණකින් එසේ විමසුව ද මා යළි දෙමාපියන් සොයා යාවිදෝ යන සැකය ඔහුගේ මනසට ඇතුළු වී ඇති බව මට පසක් විය.


‘‘අනේ නෑ අමෝද්‍ය... මං ඔයා දාල කොහේවත් යන්නෙ නෑ... ඔයා මං වෙනුවෙන් කරල තියෙන කැපවීම මං කවදාවත් සැහැල්ලුවෙට ගන්නෙ නෑ.’’


මා එසේ පවසන අතර අමෝද්‍ය ඔහුගේ දෑත් මගේ බඳ වටා යවමින්  හිස තව තවත් මගේ යටි නැබ වෙත තෙරපන අතර අසුනෙන් නැගී සිටියේ ඒ තෙරපුම කෙමෙන් කෙමෙන් ඉහළට පතුරවමිනි. මා එතෙක් බලාපොරොත්තුවෙන් සිටි මොහාත උදාවනු ඇතැයි මගේ සිත ප්‍රීතියෙන් පීනනය විය; සමස්ත සිරුර පුරා ම සිහින් විදුලි රේඛාවක් ගමන් කරනවා සේ හැඟිණ. ඒ සමග ම  අදෝද්‍ය ඔහුගේ හිස මගේ පයෝධර යුවල දක්වා තෙරපාගෙන ම නැගී සිට ගෙල අසලින් නවතාලී ය. කිහිප විටක් ම ඔහුගේ දෙතොල් ද නැහැ තුඩ ද ගෙල පුරා සැරිසැරවා එතෙක් බඳ වටා එති තිබූ දැත් ද කෙමෙන් කෙමෙන් මගේ උරිස් පිටුපසට ගෙනවිත් නතර කළේ ය. එසැණින් ම ඒ දෙඅත් මගේ ගෙල පිටුපස දක්වා ගමන් කරවූයේ සමස්ත සිරුර ම නහුරු නුපුරුදු ආශ්වාදයකින් පුරවාලමිනි. එහෙත් එතැනින් ඔබ්බට ඒ ආශ්වාදය විඳින්නට තරම් මා වාසනාවන්ත නොවිණ. ඒ, අමෝද්‍ය මගේ දොකොපුල් මත දෙවතාවක් ඔහුගේ දෙලවන් තබා මඳක් තෙරපා එක වතාවක් පමණක් ලලාටය මත ද උණුසුම් වායු දහරක් අතුරා යළි මගේ දෙනෙත් දෙස ඔහුගේ දෙනෙත් එකිනෙකට සම්මුඛ කර සිටින අතර ම ‘‘හම්ම්ම්... යන්න පැටියො... ගිහින් වොෂ් එකක් දාල ලේස්ති වෙන්න. ඔයා කැමති දිහාකට යමු.’’ යැයි පවසා මගෙන් මිදී හිස් කෝප්ප දෙක ද රැගෙන එතැනින් ඉවත් වූ බැවිනි.


ඉවර නෑ...



jayasiri 04 e1619629387941.jpg(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/11/25  

 
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්