කාව්‍ය නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක තම සිතේ කැකෑරෙන අදහසක් කවියකට නගන විට නිර්මාණයට පාදක වූ අනුභූතිය ඍජුව ම පවසන්නට

පෙර ඊට අදාළ වටපිටාව සකසා ගන්නා විධි ක්‍රම බහුල ය. කවියා හෝ කිවිඳය සමාජ ගතකරන්නට වෙහෙසී ඇත්තේ කුමක් ද යන්න නිවැරැදිව කියවාගන්නට නම් කවියා හෝ කිවිඳිය යට කී වටපිටාව සකසා ගත් ආකාරය ද කියවා ගැනීම ඉතා වැදගත් ය. එය නිවැරැදිව ම පවසන්නේ නම් කවියා හෝ කිවිඳිය සඟවා ඇති කිසියම් වටිනා වස්තුවක් එම වස්තුව වටා පවත්නා විවිධ ආරක්ෂක රැකවරණවලින් මිදී ගොස් නරඹනවා හෝ අත්පත් කරගන්නවා බඳු ය.


චලක ප් රමුදිත ලුණුවිලගේචලක ප්‍රමුදිත ලුණුවිලගේ කවියා විසින් රචිත ‘‘සමනල කවුළු තටු’’ කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත බොහෝ කාව්‍ය නිර්මාණ ද යට කී ගණයට අයත් නිර්මාණ ය. මතු දැක්වෙන්නේ ඊට කදිම උදාහරණයකි. මෙම නිර්මාණය නම් කර ඇත්තේ ‘‘බොසත් තුරු’’ යන මැයෙනි.



සිඟමනේ එන සුළං කෝඩෙට පළපුරුදු පත් දන් දෙමින්
පැහැරගත් මුත් පිපුණු මල් ටික කිසිවෙකුට ගතු නොකියමින්
සකල සත හට හුස්ම සුව දී නාම කුලගොත් නොඅසමින්
පාරමී පුරනවා නිරතුරු නිවන සැලසුම් නොකරමින්


මහා පව්කම් කෙරූ පසුවත් නිවන් ගොස් ඇති සමහරුන්
රහසිනුදු පවු නොකළ උන් හට නමක් පමණයි අරහතුන්
උන්ට පිට දී ලොව්තුරා විය විසි අටක් වූ බුදුවරුන්
අනුන් වෙනුවෙන් රැඳෙන තුරුමයි සදාකාලික බෝසතුන්


මෙම නිර්මාණය කියවු සැණින් ගම්‍ය වන්නේ විවිධ වෘක්ෂයෝ මානවයාට මතු නොව සියලු සත්වයන් වෙත ඉටු කරන මෙහෙවර ඇගයීමක් ලෙසිනි. එය එසේ ද කියවා ගැනීම හෝ විඳීම පිළිබඳව කිසිදු ගැටලුවක් ද නොමැත. නමුදු කවියා සිය නිර්මාණයේ අවසන් පදයෙන් ගම්‍ය කරන්නේ මතු පිටින් දක්නට ලැබන වචනාර්ථ අභිභවන ව්‍යංගාර්ථයකි.


නිර්මාණයේ අවසන් පදය නිවැරැදිව ම කියවා ගන්නා පාඨකයෙකු හෝ පාඨකාවක යළි නිර්මාණයේ ආරම්භයේ සිට අවසානය දක්වා කියවනු ඇතැයි යන්න මගේ පුද්ගලික විශවාසය යි. මන්ද අවසානය දක්වා කවියා පාඨක ප්‍රජාව රඳවාගන්නේ මතුපිට දක්නට ලැබෙන වාග් චිත්‍ර මාලාව සමග ය. නමුදු අවසන් පදය ඊට පෙර මවාගත් සියලු වාග් චිත්‍ර සැණෙකින් මකා දමා වෙනස් ම වු මනස් සිතුවමක් වෙත පාඨකයා හෝ පාඨකාව රැගෙන යන්නට සමත්කම් දක්වයි. කවියාගේ අවශ්‍යතාව ද අවසන් පදයෙන් ගම්‍ය කෙරෙන ව්‍යංගාර්ථය සමාජ ගතකිරීම ය යන්න මගේ හැඟීම ය. මෙය සරල හෝ සුගම කාර්යයක් නොවේ. ඒ සඳහා කවිය කෙසේ භාවිත කළ යුතු ද යන්න පිළිබඳව නිර්මාණකරුවා නිවැරැදිව දැන සිටිය යුතු ය. එසේ නොවන්නට මෙවන් අනුභූති සරල රචනාවක හෝ වාර්තාකරණයක හැඩයක් ගන්නා බව සක් සුදක් සේ පැහැදිලි ය.


තවකෙකුට මෙම නිර්මාණය බුද්ධාලම්භන ප්‍රීතිය ජනනය කෙරෙන නිර්මාණයක් ලෙස වුව ද විඳිය හැකි ය. පාඨකයෙකුට හෝ පාඨකාවකට එසේ කළ හැකි වන්නේ ද කවියා සිය කවිත්වය ඉතා සූක්ෂම ආකාරයට භාවිත කර ඇති බැවිනි.

 

මෙහි ඇතැම් පදයක් විසංයෝජනය කළ විට ඇඳෙන මනස් සිතුවමක් නම් පවතින මජර දේශපාලන මඩ ගොහොරුවේ ලැග සිටින, එහි සිට මහජන දේපළ කොල්ල කන, අවස්ථාවාදි දේශපාළුවන්නේ චර්යා රටා ය. අනෙක් පසින් ඒ සියල්ල විඳ දරාගෙන දේශපාළුවන්ගේ සැලසුම් සඳහා අනුගත වන ජන ප්‍රජාව ද මෙහි නියෝජනය කෙරේ. තවත් පසෙකින් ගත් විට කිසිවකු බෝධිසත්වයකු වන්නේ අනුන් වෙනුවෙන් රැඳෙන විට ය. එසේ නම් අපි සියල්ලෝ ම බෝධිසත්වයන් නොවන්නේ දැයි කිසිවකු ප්‍රශ්න කරයි නම් එහි කිසිදු වරදක් නොවන බව මෙම නිර්මාණය තව දුරටත් ප්‍රකට කරයි.

 

අපි බහුතරයක් දෙනා කියවා රස විඳ ඇති බොහෝ කාව්‍ය නිර්මාණ දෙස අවධානය යොමු කරන විට දක්නට ලැබෙන සුලබ ලක්ෂණයක් වන්නේ අදාළ නිර්මාණය තුළින් ගම්‍ය කෙරෙන්නේ එක් පාර්ශ්වයක් පිළිබඳ කෙරෙන විග්‍රහයක් බවයි. යට කී පරිදි ම චලකගේ ඇතැම් නිර්මාණ ද්විමාන ය; තවත් නිර්මාණයක් ත්‍රිමාන ය. මෙම නිර්මාණ සමුච්චයේ එන ‘‘පාර අයිනක හිටගෙන’’ යන මැයෙන් වන නිර්මාණය ද එබඳු අනුභූතියකට නෑකම් කියයි.


නිර්මාණය තරමක් දීර්ඝ වුව ද සමස්ත නිර්මාණය ම උපුටා නොදක්වන්නේ නම්  එහි අරුත වටහා ගැනීමට ද රසය විඳගැනීමට ද ඉඩ-කඩ විවර නොවන බැවින් සමස්ත නිර්මාණය ම උපුටා දැක්විය යුතු ය. එසේ නම් පළමුව නිර්මාණය වෙත අවධානය යොමු කරමු.


දෑත් තර කර බැඳගෙන
හිස බිමට බර කරගෙන
මුහුණෙ එළියක් පත්තු කෙරුවට
කොයි තරම් කළුවරද ඇතුළත

අඳුරු සීතල රැයවල
මොළය හිරිවට්ටවාගෙන
විදුලි සේනා යනකොට
බයක් දැනුණා මුල් ම දිනවල
දැන් හුරුයි ඒ වේදනාවට

කාෂ්ඨක අව් රැස් යට
චණ්ඩ මහ වරුසා මැද
කිවිසුමක්වත් නොගියට
ලෙඩක් තියෙනව ඇඟේ ඇතුළෙම
පරෙස්සම් නැති නිසා වැඩිවන

විභාග ෆේල් වෙනකොට
අපේ නම පට බැඳ බැඳ
පොඩි පොඩි කිණ්ඩි දැම්මට
අපි පාස් කරගත්ත ඉක්මන
දන්න උන් ඇත නොකිය උන්නට

සලෙලු දෑසක් සොය සොය
අපේ පාමුල ඉඳහිට
ගැහැනු උන්නා රැයවල
උනුත් දහවල ඇවිද යන හැටි
රැයෙහි රහසක් නොවූ ගාණට

‘ඉතින් කොහොමද හිතවත’
අහන්ට බැරි තරමට
අපේ උන් දුර උන්නම
මහා බරකින් පපුව පිරුණද
හිස් තැනක් ඇත සදා නොපිරෙන


මෙම කවි පංතිය කියවූ ඔබ යළි පළමු කවිය වෙත අවධානය යොමු කරන්න. එවිට එකපැහැර ම ඔබ මනසේ ඇඳෙන චිත්ත රූපාවලිය කුමක් ද...? කිසියම් පාඨකයකුගේ හෝ පාඨකාවකගේ මනසේ නිශ්චිත චිත්ත රූපයක් මතු නොවීමට ද පිළිවන. ඒ, සමස්ත කවිය ම නොකියවීම හෝ නොවිඳීම හේතුවෙනි. එසේ වුව ද පුහුණු පාඨකයෙකුට හෝ පාඨකාවකට මෙහි ව්‍යංගාර්ථය වටහාගැනීම එතරම් අසීරු නොවන බව මගේ විශ්වාසය යි. වෙසෙසින් ම මෙහි එන ‘‘කොයි තරම් කළුවරද ඇතුළත’’ නමැති පදය කියවා ගැනීම එතරම් අපහසු නොවනු ඇත.


දෙවන කවියේ ද පළමු කවියේ ලක්ෂණ ම ගැබ්ව තිබේ. එහි ද ව්‍යංගාර්ථය ඉතා ගැඹුරු කතාවක් ඉදිරිපත් කෙරේ. එහි එන ‘‘බයක් දැනුණා මුල්ම දිනවල - දැන් හුරුයි ඒ වේදනාවට’’ නමැති දෙපදය තුළ යට සඳහන් කළ ව්‍යංගය මැනවින් ප්‍රකට කෙරේ.


තෙවන කවියට එන විට යට කී ව්‍යංගාර්ථය තව දුරටත් තීව්‍ර කෙරෙන ආකාරයේ පද සංයෝජනයක් ඉදිරිපත් කරන්නට කවියා සමත්ව ඇත. එය වඩ වඩාත් ගම්‍ය කෙරෙන්නේ ‘‘ලෙඩක් තියෙනව ඇඟේ ඇතුළෙම - පරෙස්සම් නැති නිසා වැඩි වෙන’’ යන දෙපදයෙනි.


යට කී තෙපදයෙන් දැක්වෙන ව්‍යංගාර්ථ වෙනත් ම ඉසව්වකට කැඳවන්නට සිව්වන කවිය සමත්කම් දක්වයි. එහි බොහෝ විට ව්‍යංගාර්ථයක් නැති තරම් ය. එහෙත් මතු පිට දක්නට ලැබෙන වදනරුත් අභිභවන යටි පෙළක් එහි එන ‘‘විභාග ෆේල් වෙනකොට - අපේ නම් පට බැඳ බැඳ’’ යන දෙපදයෙන් ගම්‍ය කෙරේ. එමෙන් ම එම දෙපදයෙන් ඔබ මා ඇතුළු අපි බොහෝ දෙනෙකු මුහුණ පා ඇති අත්දැකීමක් පිළිබිඹු කෙරේ. එකී අත්දැකීම කුමක් ද යන්න මා වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.


පස්වන කවියට එළඹෙන විට කවියේ මතුපිටින් දක්වන වදනරුත තරමක් දුරට පැහැදිලි කරන්නට කවියා යත්න දරා ඇති බවක් හැඟේ. එනම් කවියට අදාළ කථකයා හෝ කථකාව කවුද යන්න යම් පමණකට හෙළිදරව් කර ඇත. එය කවියේ වක්‍රෝක්තිභාවය යළි සරලත්වයට නංවන්නට කවියා යත්න දරා ඇති බවක් හැඟේ.


සයවන කවියේ දී අපූරු චිත්ත රූපාවලියක් පාඨක මනසේ සිතුවම් කරන්නට කවියා සමත්ව ඇත. එය අජීවී වස්තු කිහිපයක් පාදක කරගෙන පබැඳුව ද ඒ අජීවි වස්තු ද ඇතැම් විට රුපක හෝ සංකේත පෙළක් ලෙස ද හැඳින්විය හැකි ය.

 

වඩාත් සරලව පවසන්නේ නම් මෙම නිර්මාණය, එය කියවන විඳින පාඨක ප්‍රජාවගේ නැණ පමණ අනුව කියවිය හැකි, විඳිය හැකි නිර්මාණයකි. වර්තමාන කාව්‍ය ක්ෂේත්‍රය තුළ මෙබඳු නිර්මාණ ඉතා දුලබ ය; අවම ය. එබඳු නිර්මාණකරණයක යෙදෙන්නට නම් වෙසෙස් කාව්‍ය ශක්තියක් අදාළ නිර්මාණකරුවා සතුව පැවතිය යුතු බවට විවාදයක් නොමැත.

 

සාහිත්‍යකරණයේ දී සජීවී වස්තු අජීවීකරණය කිරීම මෙන් ම අජීවී වස්තු සජීවීකරණය කිරීම සුලබ කාර්යයකි. නමුදු සජීවි කාන්තාවකගේ අඟපසඟ වර්ණනා කරන ආකාරයෙන් අජීවී වස්තුවක පවත්නා හැඩ තල වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කිරීම යනු තරමක අභියෝගයකි. එහෙත් එකී අභියෝගය ඉතා පහසුවෙන් ජයගන්නට චලක ප්‍රමුදිත කවියා සමත්ව ඇත. අදාළ නිර්මාණය නම් කර ඇත්තේ ‘‘චරිත තුනක්’’ යන මැයෙනි.


පෙම්වත් නළල් තල දොළහක
වේගවත් හාදු දොළහක්
මිනිත්තුවකදි තබමින්
‘‘කිස් එකක් නම් මොනවද?’’
උච්ච ස්වරයෙන් අසයි,
තත්ත්පර කටුව

කනට කර මුමුණමින් පෙම් බස්
යුවතියන් දොළහකට පැයකදි
තොල් සපා රිදවා සනසවා
උණුසුම් ම දිගු හාදු රඳවා
ආඩම්බරෙන් ඇවිදියි,
මිනිත්තු කටුව

සිපගැනුම් හිමිකම් නැති වග
කිසි දිනෙක කිසිවෙකුට නොකියා
මුහුණ බර කරගෙන පොළොවට
ඉබි ගමන් යයි නිහඬව,
පැය කටුව


ඉතා අගනා සංකේත, රුපක, ව්‍යංගාර්ථ යනාදියෙන් බහුල සමස්ත නිර්මාණය යම් අවප්‍රමාණයකට ලක්වි ඇතිදෝ යන සැකයක් ද මගේ පුද්ගලික විඳීමට හසු වුණි. එනම්, මෙහි එන ‘‘තත්පර කටුව’’, ‘‘මිනිත්තු කටුව’’ සහ ‘‘පැය කටුව’’ යන හැඟවුම්කාරක ත්‍රිත්වය කවියේ සැඟවුණ අරුත සොයා පාදාගන්නට තිබෙන ඉඩ-කඩ අවුරා ඇතැයි යන්න ය. එම වදන් ද සඟවා ඒ වෙනුවට කිසියම් සංකේතයක් හෝ රූපකයක් භාවිත කළේ නම් මෙම නිර්මාණය වඩා සාරවත් නිර්මාණයක් විය හැකිව තිබුණා ය යන්න මගේ පුද්ගලික හැඟීම ය.


‘‘සමනල කවුළු තටු’’ කාව්‍ය සංග්‍රහයේ එන ‘‘මැටි පහන් ඇකයක’’ නමැති නිර්මාණය රස විඳීමෙන් ඉක්බිති මට හැගුණේ එය සමාජයේ: පීඩාවට, අවමානයට, අපහාසයට මෙන් ම පිළිකුලට ද බඳුන් වී තිබෙන එහෙත් එක් පසෙකින් නැතුව ම බැරි ප්‍රජාවකගේ ජීවිතය විනිවිද දැකිය හැකි නිර්මාණයක් ලෙසිනි.


මෙම නිර්මාණයේ ද මතුපිට වදනරුත් සමග සැරි සරන විට එක පැහැර මනසේ ඇඳෙන රූපාවලිය එකකි; නමුදු එහි යටිපෙළින් ගම්‍ය කෙරෙන සමාජ ඛේදවාචකය තවකෙකි. මේ දෙපාර්ශ්වය  එක ලෙස ම විඳගැනීමට මෙන් ම එක් එක් රසය වෙනෙ වෙන ම විඳගැනීමේ හැකියාව පවතින්නේ ද අදාළ නිර්මාණය කියවා ගැනීමේ ශක්‍යතාව අනුව ය.


පහන් තිරයකි
හිතෛෂී තෛලයේ ගිලෙමින්
මැටි පහන් ඇකයක
නැළවෙමින් දැල්වෙන

නිවි ගිය පසු
උවැසි තැන’විත්
කරමුල තදින් අල්ලා
විසි කළ විට තනිව වැලපෙන

සිල්වත් සැඳැවක
ඉදල් පහරට ගොදුරුව
පින්බර කසල බඳුනක
නාදුනන උන් සමග සැතපෙන
*     *     *
මැටි පහන් ඇකයකි
අලුත් තිරයක් සමග
රාත්‍රිය අලුතෙන් අරඹන්නට
මග බලන


මෙහි එන ‘‘මැටිපහන’’ යනු ප්‍රබල සංකේතයකි; රූපකයකි. එකී සංකේතය හෝ රුපකය කුමක්දැයි නිවැරැදිව හඳුනාගන්නට කිසියම් පාඨකයෙකු හෝ පාඨකාවක සමත් වන්නේ ද ඔහු හෝ ඇය මෙම නිර්මාණය ගැඹුරින් විඳිය හැකි පුද්ගලයෙකු වන්නේ ය.

 

කවියා තම වගකීම ඉටු කර ඇත. ඔබ, මම මෙන් ම අපි සැවොම එහි ගැඹුරට කිමිද එය සොයා පාදා ගතයුතු ය. එවිට කවියා ද ජයග්‍රහණයට පත්වන්නේ ය. පාඨක ප්‍රජාවෝ ද ගැඹුරු වින්දනයකට ලක් වන්නාහ.

 

යට විමංසනයට ලක් කළ සිවු නිර්මාණ හැරුණ විට: ‘‘රතු සිනහ කැබලිති’’, ‘‘මරකත කඳුළක්’’, ‘‘යුගල හතරක්’’, ‘‘මල් කතාවක්’’, ‘‘මණ්ඩුක මළගමක සංවාද’’, ‘‘රිය සක තරගය’’, ‘‘පොහොර පැස’’, ‘‘අපේ ගැන කවි ලියන කවියන්ට’’, ‘‘සිකුරුගේ යටගියාව’’, ‘‘දඩයක්කාරයාට’’, ‘‘නුවරක හරි මැද’’, ‘‘පියාසර’’, ‘‘චෙස් ලෑල්ලක ජීවිත’’ සහ ‘‘සුදු රෙදි ඉරක මුනිවත’’ යන නිර්මාණ ද පැසසිය යුතු මට්ටමක පවතී.

(උපුටාගත් නිර්මාණවල පද බෙදීම් සහ අක්ෂර වින්‍යාසය කෘතියේ අන්තර්ගත පරිදි ය)


සුමිත් රත්නායකට විවෘත අභියෝග කිහිපයක් - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/11/27


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image