තෙළිඟු බසින් තිරගතවූ ජනප්‍රිය චිත්‍රපටයක් වන RRRහි 'නාටු නාටු' ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම මුල් ගීතය (Best Original Song) සඳහා වූ නිර්දේශිත නාම අතරට එකතු වී තිබේ.

 

රිස් අහමඩ් සහ ඇලිසන් විලියම්ස් විසින් අඟහරුවාදා (ජන. 24) නාමයෝජනා ඉදිරිපත් කිරීමේ දී මෙම පුවත නිවේදනය කළෝ ය.

මාර්තු 12 වනදා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිත මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ මෙහෙයවීමේ (ඉදිරිපත් කිරීම/නිවේදනය කිරීමේ කාර්යය) කටයුතු ජිමී කිමෙල් විසින් සිදු කිරීමට නියමිතය.

මේ ගීතය සම්මාන උළෙලවල ප්‍රියතම ගීයක් බවට පත්ව ඇති අතර, මේ වන විටත් ගෝල්ඩන් ග්ලෝබ් සහ ක්‍රිටික්ස් චොයිස් සම්මානයන් දිනා තිබේ.

 

 

එයට, එම කාණ්ඩයේ සම්මානය සඳහා ගීත යෝජනාවී ඇති ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන ලේඩි ගාගා හා රිහානා සමග තරග කිරීමට සිදුවනු ඇත.

චිත්‍රපට ගීයක් සඳහා ඉන්දියාව අවසන් වරට ඔස්කාර් සමානයක් ලැබුවේ 2009 දී ය. ඒ, ස්ලම්ඩෝග් මිලියනෙයර් චිත්‍රපටයේ 'ජය හෝ' ගීතය සඳහා හොඳම මුල් ගීතය සහ හොඳම මුල් සංගීත නිර්මාණයට හිමි සම්මානයන් ඒ. ආර්. රහමන්ට හිමිවූ අවස්ථාව යි.

 

 

නාටු නාටු ගීයේ තාලයට දහස්ගණනක් දෙනා දැඩි සේ ප්‍රියකළ අතර, එය දෙසැම්බර් මාසයේ ඔස්කාර් සම්මාන උළෙලේ කෙටි ලැයිස්තුවට ඇතුළත්වූ දා පටන් ගීයේ රසිකයෝ එහි ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටිති.

නාම යෝජනා නිවේදනය කිරීමට පැය කීපයකට පෙර #NTRforOscars යන හෑෂ්ටැගය ට්විටර්හි ට්‍රෙන්ඩ් වූ අතර, රසිකයෝ එම චිත්‍රපටය සඳහා ඔස්කාර් නාමයෝජනාවක් හා ජයග්‍රහණයක් ලැබෙනවාට ඇති කැමැත්ත ප්‍රකාශ කළහ.

ඔස්කාර් සම්මාන පිළිබඳ අනාවැකි ලැයිස්තු පළකළ වෙළඳ සඟරා කිහිපයක් විසින්, මෙම වසරේ ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් ඇති ගීයක් ලෙස නාටු නාටු තෝරාගෙන ඇතිබැවින්, රසික අපේක්ෂා ඉහළ මට්ටමක පවතියි.

මිනිත්තු හතරහමාරක් දිග ගීය පටිගත කෙරුණේ, 2021 වසරේ දී, යුක්රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ නිල නිවෙස ඉදිරිපිට දී ය.

 

 

චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් වන රාම් චරන් සහ එන්ටීආර් ජූනියර් විසින් ඉදිරිපත් කෙරුණු ජවසම්පන්න නර්තනය, ඉන්දියාව තුළ හා ගෝලීයවත් සමාජ මාධ්‍යයන්හි වෛරල් ට්‍රෙන්ඩ් ඇතිකර තිබේ.

ඔස්කාර් සම්මාන උළෙල වෙත ඉන්දියාවේ නිල ඉදිරිපත්කිරීම වූ 'චේලෝ ෂෝ' නම් ගුජරාති-භාෂා චිත්‍රපටයට පරාජය වූ පසු, ගිය වසරේ දී දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කළ RRR අධ්‍යක්ෂ එස්එස් රාජමූලි, හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හා හොඳම තිර රචනය ආදී කාණ්ඩ 14ක් සඳහා තරග වැදීමට සිය චිත්‍රපටය ඉදිරිපත් කළේ ය.

යටත්විජිත බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සටන් වැදි සැබෑ ඉන්දියානු විප්ලවවාදීන් දෙදෙනෙකු වටා ගෙතුණු ප්‍රබන්ධ කතාවක් ඉදිරිපත් කරන මේ ඓතිහාසික ෆැන්ටසි චිත්‍රපටය, ඉන්දියාවේ වඩාත්ම මිල අධික චිත්‍රපටවලින් එකකි.

 

විශ්මයජනක ක්‍රියාදාම අංගයන්, උද්යෝගීමත් නර්තන අංගයන් කිහිපයක් හා දේශප්‍රේමී තේමා එයට ඇතුළත් ය.

මෙම චිත්‍රපටය ඉන්දියාව තුළත්, විදේශයන්හි දීත් දැවැන්ත සාර්ථකත්වයක් ලබා ඇත. එය එක්සත් ජනපදයේ දී තිරගතවූ අවස්ථාවන්හි වීඩියෝ සමාජ මාධ්‍යයන්ට නිකුත්ව තිබූ අතර, චිත්‍රපටය නරඹන්නන් ඔල්වරසන් දෙනු ඒවායේ දක්නට ලැබේ.

මෙම චිත්‍රපටයට විචාරකයින්ගෙන් ද ප්‍රශංසනීය ප්‍රතිචාර ලැබී ඇති අතර, එඩ්ගා රයිට් සහ ජේම්ස් ගන් වැනි ප්‍රමුඛ පෙළේ හොලිවුඩ් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රශංසාවන්ට ද භාජනයවී තිබේ.

ක්‍රිටික්ස් චොයිස් අවෝඩ්ස් සම්මාන උළෙලේ දී එය හොඳම විදේශ භාෂා චිත්‍රපටයට සම්මානයත්, නාටු නාටු හොඳම ගීතයට සම්මානයත් දිනූ පසු, ගීතයේ නිර්මාපක එම්එම් කීරවානි සම්මාන උළෙලේ දී ජේම්ස් කැමරන් සමග ගත් ඡායාරූප ෂෙයා කළ අතර, ඒ ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂකවරයා එම චිත්‍රපටය දෙවරක් නරඹා ඇති බවත්, තම සංගීත රචනයට ප්‍රශංසා කළ බවත් පැවසීය.

(BBC සිංහල)

 

සබැඳි පුවත් :

ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක සිනමා සංගීතය උඩු යටිකුරු කරයි


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්