දේශපාළුවන්ගේ අතකොළු බවට පත්වන පාතාල කෙරුමන්ගේ ඛේදවාචකය
‘‘රූපවාහිනිය අපේ ප්‍රඥාව පිළිබඳව නව, අසීරුතම උරගා බැලීමක් වනවා. අප මේ නව මාධ්‍යයේ අගතැන් වීමේදී සාර්ථක වුවහොත් එය අපව වඩාත් පෝෂණය කරාවි. Rudol
 
නමුත් එයට අපේ මනස නිදිපත් කරන්නටද හැකියි. 
 
අතිතයේදී අප්‍රමාදී අත්දැකීම් පරිවහනය කිරීමට මෙන්ම අනෙකුන්ට ගෙන යාමට නොහැකි වීම භාෂාව භාවිතා කිරීම අත්‍යවශ්‍ය කළ බවත්, ඉන් මිනිස් මනස සංකල්ප ගොඩනැගීම කරා යොමු කළ වගත් අප අමතක නොකළ යුතුයි. 
 
දේවල් විස්තර කිරීම උදෙසා ඔබ සුවිශේෂයෙන් සාමාන්‍ය වෙන් කර ගත යුතුයි. සන්නිවේදනය ඇඟිල්ල දිගු කිරීමෙන් සපුරාගත හැකිවූ විට මුව නිහඬ වනවා. ලියන අත් නවතිනවා. මනස් හැකිලී යනවා.’’ 
 
(Rudolf Arnheim : පරිවර්තනය: කේ. කේ. සමන්කුමාර: සිනෙ සමාධි: පිටු 61, 62 )
 
 
 
රැඩොල්ෆ් අන්හයිම් ‘රූපවාහිනිය’ පිළිබඳ කළ ප්‍රකාශ අතුරෙන් ඉහත කොටස උපුටා දක්වන්නේ එහි බැරෑරුම් තත්ත්වය සලකමිනි. 
 
එම කොටසෙන් ද ‘‘සන්නිවේදනය ඇඟිල්ල දිගු කිරීමෙන් සපුරාගත හැකිවූ විට මුව නිහඬ වනවා. ලියන අත් නවතිනවා. මනස් හැකිලී යනවා.’’ යන්න වෙසෙස් ප්‍රබලත්වයක් මතුකරයි. 
 
එසේ වුව ද රූපවාහිනිය මිනිස් මනස යම් චංචලභාවයකට ලක්කිරීමට, නැවුම් අදහස් සමාජ ගතකිරීමට මෙන් ම මිනිසාට යම් දුරාවබෝධයක් ලබා දීමට ද උපස්තම්භක වේ. 
 
නමුදු අවාසනාවන්ත තත්ත්වය නම් එබඳු නිර්මාණ කෙරෙහි ප්‍රේක්ෂක අවධානය අවම වීම ය.
 
ශ්‍රී ලාංකීය රුපවාහිනී නාට්‍ය කලාව ආරම්භක සමයේ විකාශනය වූ ‘‘පළිඟු මැණිකේ’’ ටෙලිනාට්‍ය තුළින් විද්යමාන කළ විවෘත ආර්ථික සමාජ ව්‍යසනය එකල තරුණ පිරිස් වෙත දැඩිව අවධාරණය නොවූණි.
 
 නමුදු ‘‘යශෝරාවය’’ ටෙලිනාට්‍යයෙන් ඇරඹී ‘‘දූ දරුවෝ’’ දක්වා වූ එක් යුගයක් ප්‍රේක්ෂක ප්‍රජාව තදින් වැලඳගත් අතර පසු කලක දී විකාශනය වූ ‘‘කඩුල්ල’’ ටෙලිනාට්‍ය විසින් ප්‍රේක්ෂක ප්‍රජාව ආලින්දයෙන් ඔබ්බට රැගෙන යන්නට සමත් විය. 
 kadula
 ‘කඩුල්ල’’ ටෙලිනාට්‍ය විසින් ප්‍රේක්ෂක ප්‍රජාව ආලින්දයෙන් ඔබ්බට රැගෙන යන්නට සමත් විය. 
 
 
ඒ ආකාරයට ප්‍රේක්ෂක ප්‍රජාවට යමක් සිතන්නට අවකාශ සැලසූ ටෙලිනාට්‍ය කලාව යළි අගාධය කරා රැගෙන යන්නේ ‘‘මෙගා’’ වසංගතය යි. 
 
ඊට මාර්ගය විවර වන්නේ ඉන්දියාව ප්‍රමුඛ තවත් රටවල් කිහිපයකින් ආනයනය කළ අවර ගනයේ ටෙලිනාට්‍ය  රැල්ලයි. 
 
එම රැල්ල නවතාලන්නට දරන වෑයමක් ලෙස හුවා දක්වමින් රාජ්‍ය රූපවාහිනි නාලිකාව විසින් කොරියානු රැල්ලක් බිහි කළේ ය. 
 
එක් ව්‍යසනයකින් අත්මිදෙනු වෙනුවට තව තවත් ව්‍යසනයක් කරා ප්‍රේක්ෂක ප්‍රජාව තල්ලු කරන්නට තරම් කොරියානු රැල්ල ද බලවත් විය. 
 
 
''එක් ව්‍යසනයකින් අත්මිදෙනු වෙනුවට තව තවත් ව්‍යසනයක් කරා ප්‍රේක්ෂක ප්‍රජාව තල්ලු කරන්නට තරම් කොරියානු රැල්ල ද බලවත් විය. ''
 
 
මෙකී ව්‍යසනය හේතුවෙන් දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තය අවපාතය කරා ගමන් කළ බව නොරහසකි. 
 
අවසන ‘‘ටෙලිනිස’’ සංවිධානය මගින් දේශපාලකයන් සහ බලධාරින් දැනුවත් කළ අතර යම් පමණකට හෝ ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කර්මාන්තය යහමගට හරවා ගැනීමට එකී වැඩපිළිවෙළ සමත් විය. 
 
එහෙත් ආනයනික ටෙලිනාට්‍ය රැල්ල ආපසු හරවන්නට නොහැකි විය. 
 
එය ආපසු හරවනවා වෙනුවට මෙරට දේශපාලකයෝ සහ බලධාරින් කළේ ආනයනික ටෙලිනාට්‍ය සඳහා අය කරන බදු මුදල ඉහළ දැමීම ය. 
 
එහෙත් එයින් සිදුවූයේ පෙර පරිදි ම අවර ගනයේ ටෙලිනාට්‍ය මෙරටට පැමිණිම ය. 
 
බදු මුදල් ඉහළ දැමූ පමණින් මෙරට පුද්ගලික නාලිකා කිසිවක් ටෙලිනාට්‍ය ආනයනය නතර නොකළේ ය. ඊට අමතරව යමක් සිදුවුයේ නම් ඒ රාජ්‍ය භාණ්ඩාගාරය වෙත විශාල මුදලක් ගලා ඒම පමණි.
 
 මන්ද දේශපාලකයන්ට සහ අදාළ බලධාරින්ට වඩාත් වැදගත් වූයේ ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය රැකගැනීම නොව එය දඩමීමා කරගනිමින් මුදල් ගරා ගැනීම ය. 
 
 
 
''දේශපාලකයන්ට සහ අදාළ බලධාරින්ට වඩාත් වැදගත් වූයේ ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය රැකගැනීම නොව එය දඩමීමා කරගනිමින් මුදල් ගරා ගැනීම ය. ''
 
ශ්‍රී  ලාංකීය ටෙලිනාට්‍ය කර්මාන්තය මේ ආකාරයට අගාධය කරා තල්ලුවෙමින් පවතින අවධියක එකී ව්‍යාධිය අවම කිරීම වෙනුවෙන් ඇතැම් රූපවාහිනි නාලිකා ටෙලි නාට්‍ය කර්මාන්තය කෙරෙහි යොමු විය. 
 
ඒ අතර ද අවර ගනයේ ටෙලිනාට්‍ය නොතිබුණා නොවේ. 
 
එහෙත් වෙනස් මගක් ගත්, ප්‍රේක්ෂකයා ආලින්දයෙන් ඔබ්බට රැගෙන යා හැකි ටෙලිනාට්‍ය රැසක් ම මේ වන විට මෙරට රාජ්‍ය රූපවාහිනී ආයතන මෙන් ම පුද්ගලික ආයතන විසින් ද නිපදවනු ලැබී ය. 
 
ඒ අතුරෙන් පළමුවෙන් ම අවධානය යොමු කිරීමට අදහස් කළේ ‘‘ගිනිඅවි සහ ගිනිකෙළි’’ රූපවාහිනී නාට්‍ය කෙරෙහි ය. 
 
 

Capture ed

අනුර හොරේෂස් විසින් රචිත ‘‘ගිනි අවි සහ ගිනිකෙළි’’ කෘති මාලාව ඇසුරෙන් නිපදවූ මෙම ටෙලිනාට්‍යයය තිර රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ සාරංග මෙන්ඩිස් විසිනි. නිෂ්පාදනය - ඒ. ආර්. පණ්ඩිතරත්න සහ චාමිකා මෙන්ඩිස් වෙතිනි.  
 
 
ඇතැම් විචාරකයන් මෙම ටෙලිනාට්‍ය හුදු පාතාල කතන්දරයක් පමණක් යැයි අදහස් කළ ද මගේ අදහස නම් ‘‘ගිනිඅවි සහ ගිනිකෙළි’’ යනු මෙරට දේශපාලන වංශ කතාවේ එක් පරිච්ඡේදයක් ය යන්න ය; 
 
දේශපාලන ඉතිහාසය ලියැවෙන කෘතිවල අන්තර්ගත නොවන පරිච්ඡේදයක් යන්න ය; 
 
මෙරට දේශපාලකයෝ නොව දේශපාළුවෝ බලය ලබාගැනීමට සහ ලබාගත් බලය රැකගැනීම උදෙසා ඕනෑම අමානුෂික ක්‍රියාදාමයක නිරත වීමට පසුබට නොවන බව පසක් කරන නිර්මාණයක් යන්නය; 
 
එකී දේශපාළුවන්ගේ අතකොළු ලෙස භාවිතා කරන පාතාල කෙරුමන් වුව ද තමන්ට අනවශ්‍ය යැයි සිතෙන පළමු මොහොතේ ම විනාශ කරන බව පසක් කරන නිර්මාණයක් යන්න ය.
 
 
මෙම ටෙලි නිර්මාණයට පාදක වූ දේශපාළුවෝ මෙන්ම පාතාල කෙරුම්කාරයෝ බහුතරයක් මේ වන විට ජීවතුන් අතර නොමැත.
 
 ඇතැම් විට ඇතැම් පාතාල කෙරම්කාරයෙක් දෙදෙනක් ජිවතුන් අතර සිටිය හැකි ය. 
 
ඇතැම් විට අනුර හොරේෂස් මාධ්‍යවේදියාට නම් මේ ඇතැම් පාතාල කෙරුම්කාරයෙක් දෙදෙනක් හෝ කිහිප දෙනෙක් හමුවී තිබෙන්නට හැකි ය. 
 
නමුදු ටෙලි නිර්මාණයේ දී සම්මුඛ වන ඔවුන් ප්‍රේක්ෂක ප්‍රජාවට සැබැවින් මුණ ගැසී ඇත්නම් එය ඉතා දුර්ලබ අවස්ථාවක් විය හැකි ය. 
 
පාතාල කෙරුම්කාරයෝ සම්මුඛ නොවුණ ද මෙහි එන දේශපාළුවෝ නම් එකල අදාළ දේශපාළුවන් සමග කටයුතු කළ අයට පමණක් නොව සාමන්‍යය පුද්ගලයන්ට පවා සම්මුඛ වී තිබිය හැකි ය. 
 
නමුදු මෙම ටෙලිනාට්‍ය නිෂ්පාදනයේ දී පාතාල කෙරුම්කාරයන්ගේ සැබෑ නම මෙන්ම අන්වර්ථ නාමය භාවිත කර තිබුණ ද කිසිදු දේශපාළුවකුගේ සැබෑ නම භාවිත නොකිරීමට අනුර හොරේෂස් පමණක් නොව අධ්‍යක්ෂවරයා ද වගබලාගෙන ඇත. 
 

Saranga mendis

''මෙම ටෙලිනාට්‍ය නිෂ්පාදනයේ දී පාතාල කෙරුම්කාරයන්ගේ සැබෑ නම මෙන්ම අන්වර්ථ නාමය භාවිත කර තිබුණ ද කිසිදු දේශපාළුවකුගේ සැබෑ නම භාවිත නොකිරීමට අනුර හොරේෂස් පමණක් නොව අධ්‍යක්ෂවරයා ද වගබලාගෙන ඇත. ''
 
එසේ වුව ද අසවල් අසවල් චරිතය අසවල් අසවල් දේශපාළුවා ය යන්න සක් සුදක් සේ පැහැදිලිව දන්නා ප්‍රේක්ෂක ප්‍රජාවක් ද මෙරට සිටින බව නොරහසකි.
 
 එය වඩාත් තහවුරු වූයේ මෙම ටෙලි නිර්මාණය විකාශනය වන සමයේ ‘‘ගිනි අවි සහ ගිනිකෙළි’’ යන නමින් පැවති Facebook පිටුව තුළිනි. 
 
‘‘ගිනිඅවි සහ ගිනිකෙළි’’ ටෙලි නිර්මාණයට පාදක කරගන්නා දේශපාළුවෝ කෙසේ වුව ද පාතාල කෙරුම්කාරයෝ කවුද යන්න නම් බහුතර ජනයා හැඳින ගන්නේ අනුර හොරේෂස්ගේ ‘‘ගිනිඅවි සහ ගිනිකෙළි’’ කෘති පෙළ තුළිනි. 
 
අදාළ කෘති පෙළ පළවන්නට පෙර එහි අන්තර්ගත ලිපි බොහොමයක් මුද්‍රිත මාධ්‍යයේ ද පළ විය.
 
 පසුව කෘති පෙළක් ලෙස ද, සිනමා නිර්මාණයක් ලෙස ද අවසන ටෙලිනාට්‍යයක් ලෙස ද ජනතාව අතරට එන දේශපාලනයේ තිරයෙන් පිටුපස කතන්දරය සැබෑ ලොවේ දී සිදුවූවා ද යන්න පවා ඇදහිය නොහැකි ය. 
 
එය එපමණට ම බිහිසුණු ය; කෘරයය; ම්ලේච්ඡ ය; ත්‍රාස ජනක ය. 
 
නමුදු අප මෙතුළින් උකහා ගත යුත්තේ මේ කිසිවක් නොව 1987 (හෝ ඊටත් ටික කලකට පෙර) සිට 1994 දක්වා මෙරට පැවති දේශපාලන සංස්කෘතියේ (වර්තමානයට ද අනාගතයට ද එය එලෙස ම අදාළ ය) යටිපෙළ යි.thunmulle padme
 
 
 
 
උපාලි රංජිත් අමරසිංහ හෙවත් තුන් මුල්ලේ පද්මෙ නමැති චරිතයේ සිට අවසන ඝාතනයට ලක් කළා යැයි සැක කෙරෙන හැරල්ඩ් දක්වා වූ පාතාල කෙරුම්කාරයෝ විසි අටක් අතුරෙන් විසි පස්දෙනෙකු ම ඝාතනය කරනු ලබන්නේ පාතාල කෙරුමන් විසින් ම ය. 
 
RDF සංවිධානය විසින් ඝාතන දෙකක් ද එවකට සිටි ම්ලේච්ඡ උසස් පොලිස් නිලධාරියකු විසින් ඝාතන දෙකක් ද සිදු කරන අතර බරපතළ ම ඛේදවාචකය වන්නේ පාතලය අතුගා දැමීමට ප්‍රමුඛත්වය ගන්නා අවංක පොලිස් නිලධාරියකු (වැලිකඩ පොලිස් ස්ථානාධිපති කුමාර සිල්වා) ද RDF සංවිධානය විසින් ම ඝාතනය කරනු ලැබීම ය. 
 
 
 
''RDF සංවිධානය විසින් ඝාතන දෙකක් ද එවකට සිටි ම්ලේච්ඡ උසස් පොලිස් නිලධාරියකු විසින් ඝාතන දෙකක් ද සිදු කරන අතර බරපතළ ම ඛේදවාචකය වන්නේ පාතලය අතුගා දැමීමට ප්‍රමුඛත්වය ගන්නා අවංක පොලිස් නිලධාරියකු (වැලිකඩ පොලිස් ස්ථානාධිපති කුමාර සිල්වා) ද RDF සංවිධානය විසින් ම ඝාතනය කරනු ලැබීම ය. ''
 
ඔහු ඝාතනය කෙරෙන්නේ ද එකල ප්‍රබල දේශපාළුවෙකු වූ (ටෙලිනිර්මාණයේ නාමය සැම්සන්)  ගේ නියමයට අනුව ය. 
 
ඒ අන් කිසිදු හේතුවක් නිසා නොව ඔහු සමග උඩින් මිතුරු යටින් හතුරු ප්‍රබල දේශපාළුවකු වූ  (ටෙලිනිර්මාණයේ නාමය සොයිසා)ගේ අණ කිරීමකට අනුව ය. 
 
ඔහු එසේ අණ කරන්නේ ද සොයිසා නමැති දේශපාලකයාගේ ප්‍රධාන පාතාල කෙරුමා වන නාරාහේන්පිට පීටර් රජයේ සාක්ෂිකරුවකු ලෙස නම් කරන්නට සැරසෙන බව සැලවූ බැවිනි. 
 
නාරාහේන්පිට පිටර් හට සොයිසා මරණ වරෙන්තුව ලියා තිබිය දී සැම්සන් ඔහු බේරා ගන්නේ පිටර්ට ඇති ආදරය නිසා නොව අනාගතයේ දී පිටර් ඔහුට වැදගත් වන බැවිනි. 
 
ටෙලි නිර්මාණය අවසානය දක්වා ජීවතුන් අතර සිටින පාතාල ප්‍රධානියා වන්නේ ද නාරාහේන්පිට පීටර් ය.
 
 
 
කසිප්පු වෙළඳාමේ ආධිපත්‍යය තමන් සතු කරගැනීමට...
 
වත්මනේ දී පාතාල කෙරුම්කාරයෝ එකිනෙකා ඝාතනයට ලක් කරන්නේ මත්කුඩු ඇතුළු ප්‍රබල මත්ද්‍රව්‍ය වෙළඳ අධිකාරිය තමන් සතු කරගැනීම උදෙසා ය. 
 
මෙම ටෙලි නිර්මාණයට පාදක වන කාලසීමාවේ දී එකී ගැටුමට ප්‍රධාන හේතුව ලෙස බලපාන්නේ කසිප්පු වෙළෙඳාම ය. 
 
එය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ප්‍රබල දේශපාළුවකුගේ සහය අනිවාර්යයෙන් ම වුවමනා ය. 
 
අදාළ දේශපාළුවාට වඩාත් සමීප වීමට නම් ඔහු ආසන්නයේ ම සිටින පාතාල ප්‍රධානියා ඉවත් කළ යුතු ය. 
 
තුන් මුල්ලේ පද්මෙ ආරම්භයේ සිට ම තලංගම විලී සහ නාරාහේන්පිට පීටර් ඝාතනය කරන්නට යත්න දරන්නේ ද, නාරාහේන්පිට පිටර් සහ තලංගම විලී තුන් මුල්ලේ පද්මෙ ඝාතනය කිරීමට යත්න දරන්නේ ද එකම අරමුණක් උදෙසා ය. 
 
එනම් යට කී කසිප්පු වෙළඳාමේ ආධිපත්‍යය තමන් සතු කරගැනීම ය. 
 
දේශපාළුවා මේ සියලු පාතාල කෙරුම්කාරයෝ තමන්ගේ අල්ලේ නටවන්නේ යට කී බල අරගලය දඩමීමා කරගනිමිනි. 
 
එකල මෙන් ම වර්තමානයේ ද පාතාල කෙරුම්කාරයෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමේ මෙන් ම ගිනි අවි වෙළඳාමේ ද නිරත වෙති. 
 
දේශපාළුවෝ ද පාතාල කෙරුම්කාරයන්ගේ පිහිටෙන් සිය බලය පවත්වාගෙන යති. 
 
එහෙත් අවසන සිදුවන්නේ කුමක් ද...? දේශපාළුවා සියලු වැරදිවලින් නිදොස් වී පාතාල කෙරුම්කාරයෝ මරු තුරුලට යාම (යාම නොව යැවීම) ය. 
 
එකල එසේ කළේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තිරයට මුවා වෙමිනි. 
 
වර්තමානයේ බොහෝ විට සිදුවන්නේ (සිදු කරන්නේ) ආයුධ පෙන්වීමේ තිරයට මුවා වෙමිනි.
 
 මෙය නොනවතින රැල්ලකි. 
 
 
''එකල එසේ කළේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තිරයට මුවා වෙමිනි. වර්තමානයේ බොහෝ විට සිදුවන්නේ (සිදු කරන්නේ) ආයුධ පෙන්වීමේ තිරයට මුවා වෙමිනි. මෙය නොනවතින රැල්ලකි.''
අද එක් පාතාල කෙරුමෙකු අවසන් ගමන් යනවිට හෙට එම ස්ථානය අත්පත් කරගන්නට තවත් බොහෝ පාතාල කෙරුම්කාරයෝ පෙර මග බලමින් සිටිති. 
 
එහෙත් ඔවුන්ට ද පෙර පාතාල කෙරුමන්ට අත්වූ ඉරණම ම අත්වේ යැයි ඔවුහු මොහොතකට හෝ නොසිතති.
 
‘‘ගිනි අවි සහ ගිනිකෙළි’’ ටෙලි නිර්මාණය තුළින් ප්‍රකට කෙරෙන්නේ මෙකී සමාජ දේශපාලන ව්‍යසනය යි. 
 
දේශපාළුවන් කෙසේ වෙතත් මෙරට වෙසෙන සාමන්‍යය ජනතාවට සහ පාතාල කෙරුම්කාරයන්ට මෙම ටෙලිනාට්‍ය තුළින් උකහා ගතහැකි දෑ බොහෝ ය. 
 
එය ඉතා සරලව පවසන්නේ නම් සුදෝ සුදු ඇඳුමෙන් සැරසී සිටින දේශපාළුවා යනු ම්ලේච්ඡ මිනිමරුවකු යැයි ජනතාව අවබෝධ කරගත යුතු ය. 
 
පාතාල කෙරුම්කාරයෝ යනු එකී දේශපාළුවන්ගේ අතකොළු බව ඔවුන් වටහා ගත යුතු ය.
 
 ඒ යථාර්ථය අවබෝධ කර නොගන්නා තෙක් පාතාලය අහෝසි කිරීම ද ම්ලේච්ඡ, දූෂිත දේශපාළුවෝ දේශපාලන භූමියෙන් අතුගා දැමීම ද සිදු කළ නොහැකි ය.
 
 
ගිනිඅවි සහ ගිනිකෙළි ටෙලි නිර්මාණයේ අන්තර්ගත සියලු ම ප්‍රධාන ඝාතන
 
1.  නාරාහෙන්පිට සුන්දරේ (සුන්දරසිරි පෙරේරා) - Episode 08   ඝාතක - මහවත්තෙ ලෝකයා
2.  රන්වත්තේ නිලන්ත (රදාලගේ නිලන්ත) - Episode 12   ඝාතක - මහවත්තෙ රම්බො 
3.  මහවත්තෙ ලෝකයා (ඉන්දරේ ද සිල්වා) - Episode 24   ඝාතක - මහවත්තෙ රම්බො
4.  නිශාන් පානකුඹුර (වැලිකඩ පොලිස් ස්ථානාධිපති) - Episode 24   ඝාතක - තුම්මුල්ලෙ පද්මෙ
5.  මහවත්තෙ සමරෙ (ධනන්ජය සමරවීර) - Episode 26   ඝාතක - මහවත්තෙ රම්බො   
6.  මහවත්තෙ රම්බො - Episode 62   ඝාතක - තලංගම විලී
7.  තුන් මුල්ලෙ පද්මෙ (උපාලි රන්ජිත් අමරසිංහ) - Episode 98   ඝාතක - ගයි
8.  ඩෙමා - Episode 101   ඝාතක - කොටියාගොඩ නිහාල්
9.  මාළු කඩේ මුරුගාවිලී - Episode 105   ඝාතක - කොටියාගොඩ නිහාල්
10.  කැලණියෙ රොබට් - Episode 109   ඝාතක - බින්දු
11.  බින්දු - Episode 114   ඝාතක - ගෝතමීපුරේ ඩාලින් රොස්පි
12.  වික්රම සෙනවිරත්න (මේජර්) - Episode 19   ඝාතක - රාජගිරියෙ පැටී
13.  ඉබ්බගෙවත්තෙ සෝමෙ - Episode 161   ඝාතක - ගයි
14.  තලංගම විලී (විලී අබේසේකර) - Episode 196   ඝාතක - කොටියාගොඩ නිහාල්   
15.  තලංගම සැමී - Episode 206   ඝාතනය - Rapid Deployment Force (RDF)
16.  කුමාර සිල්වා (වැලිකඩ පොලිස් ස්ථානාධිපති) - Episode 206   ඝාතනය - Rapid Deployment Force (RDF)
17.  රාජගිරියෙ පැටී (නොයෙල් අමරසිංහ) - Episode 215   ඝාතක - කොටියාගොඩ නිහාල්   
18.  ගෝතමීපුරේ ඩාලින් රොස්පි - Episode 219   ඝාතක - මාළු නිහාල්
19.  කොටියාගොඩ නිහාල් (ඩුබායි සෝමෙ හෙවත් නිහාල් අමරසිංහ) - Episode 229   ඝාතනය - Rapid Deployment Force (RDF)  
20.  Rapid Deployment Force (RDF) - Episode 230   ඝාතක - කොටියාගොඩ සුනිල්
21.  කොටියාගොඩ සුනිල් (සුනිල් අමරසිංහ) - Episode 231   ඝාතක - කුලසිරි උඩුගම්පොල (ඩී.අයි.ජී)
22.  ඇල්බට් පෙරේරා - Episode 234    ඝාතක - නාරාහේන්පිට පීටර්
23.  ඉඟුරුකඩේ හන්දියෙ ගුණේ - Episode 234   ඝාතක - නාරාහේන්පිට පීටර්
24.  සෝමදාස (චින්තක අමරසිංගගේ පියා) - Episode 236  ඝාතක - ගාමිණී
25.  ගෝතමීපුරේ ශාන්ති - Episode 239   ඝාතක - චින්තක අමරසිංහ
26.  කුලේ - Episode 244   ඝාතක - චින්තක අමරසිංහ
27.  ගාමිණී - Episode 256   ඝාතක - චින්තක අමරසිංහ
28.  රාජගිරියෙ චීනා - Episode 259   ඝාතක - චින්තක අමරසිංහ
29.  මාළු නිහාල් (නිහාල් පෙරේරා)  - Episode 268   ඝාතක - චින්තක අමරසිංහ
30.  කඩුවෙල උපාලි - Episode 281   ඝාතක - කුලසිරි උඩුගම්පොල (ඩී.අයි.ජී)
31.  කඩුවෙල හැරල්ඩ්  - Episode 281 ඝාතක - ටිරෝන් (නාරාහේන්පිට පීටර්ගේ සගයෙකි)
(උපුටා ගැනීම: Diluk Tharuka Sanchèz  ගේ Facebook පිටුවෙන්) 
     
      
 
jayasiri 12(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්