1200 x 80 DMirror
 
 

විටින් විට නැරඹූ, නරඹා රසවිඳි ටෙලි නාට්‍ය පිළිබඳ ලියැවෙන ලිපි පෙළේ දෙවැන්න ලෙස මවිසින් තෝරාගන ලැබුවේ:
ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දගේ කතා සංකල්පයකට අනුව, නාමල් ජයසිංහ විසින් තිර පිටපත රචනය කරන ලද, ආනන්ද අබේනායක සහ ෆාහිම් මවුජූඩ් නිෂ්පාදනයෙක් දායක වූ, ද ආනන්ද අබේනායක විසින් ම අධ්‍යක්ෂණය කරන ලද ‘‘වීරයා ගෙදර’’ ඇවිත් නමැති ටෙලි නිර්මාණය යි.
 
අදාළ ලිපියට ප්‍රවේශ වීමට පෙර සිරිල් සී. පෙරේරා විසින් අනුවාදනය කරනු ලැබූ, රුසියානු මහා ලේඛක ලියෝටොල්ස්ටෝයිගේ යුද්ධය සහ සාමය කෘතියේ අන්තර්ගත මතු සඳහන් කොටස වෙත අවධානය යොමු කරමු.
 
Leo
රුසියානු මහා ලේඛක ලියෝටොල්ස්ටෝයි
 
‘‘ජාතින් ගේ ජීවිත පුද්ගලයන් ස්වල්ප දෙනෙකු ගේ ජීවිත තුළ තැන්පත් වී නැත. මන් ද? මේ පුද්ගලයන් හා ජාතින් අතර පවතින සම්බන්ධය සොයාගෙන නැති හෙයිනි. ඇතැම් ඓතිහාසික පුද්ගලයන් වෙත පවරන ලද ජනතාවගේ සාමුහික කැමැත්ත මත මේ සම්බන්ධය පදනම් වී ඇත ය යන සිද්ධාන්තය ඉතිහාසයේ අත්දැකීම්වලින් සනාත නො වූ තර්ක මාත්‍රයක් පමණි.’’
යුද්ධය හා සාමය: ලියෝ තොල්ස්තෝයි: අනුවාදය සිරිල් සී පෙරේරා: පිටුව 2482
 
 
 ‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා!! සුවපත් වෙත්වා!!!’ යැයි උදේ සවස ප්‍රාර්ථනා කරන්නැයි දෙසූ බුදුන්වහන්සේ අනුදක්නා සංඝ පරපුර ම ‘සතුරන් මරණ තරමට ම නිවනට ඇති මාර්ගය කෙටි වනවා ය’ යන අරුත් දෙන ගීත ලියූව ද, යුද්ධයට ආශිර්වාද කළ ද, යුද්ධය යනු ලොව කොතැනක හෝ සිදු නොවිය යුතු ක්‍රියාවක් බව මේ වන විට සමස්ත ලෝකයේ ම පාලකයෝ හැර බොහෝ සාමාන්‍ය ජනතව අවබෝධ කරගෙන හමාර ය; එහෙත් ජනතාවට කළ හැකි කිසිවක් ඉතිරිව නැත. එසේ සිදුවන්නේ ඇයි ද යන්න මතු දැක්වෙන සටහන කියවීමෙන් අවබෝධ කරගත හැකි ය.
 
‘‘එක් අතකින් බලන විට යුද්ධයක දී හෝ විප්ලවයක දී හෝ මිනිසකුගේ කැමැත්ත, එ නම් ඔහුගේ වචන බලපාන්නේ එම යුද්ධයට හෝ විප්ලවයට හෝ අයත් ක්‍රියාදාමයෙන් කොටසක් කෙරෙහි පමණි. ඒ හෙයින් අපට අවබෝධ කළ නොහැකි දේව බලයක් හෝ හාස්කමක් කෙරෙහි විශ්වාසය නොතබා, දස ලක්ෂ ගණනින් මිනිසුන් සහභාගි වන ඒ සිදුවීම එක පුද්ගලයකුගේ තනි කැමැත්තෙන් හෝ වචනයෙන් හෝ, සිදුවන්නේ යැයි විශ්වාස කිරීම අපහසු ය. 
 
අනෙක් අතින් කෙනෙකු ගේ වචන සිදුවීම්වලට ප්‍රධාන හේතුව ලෙස අප පිළිගත්තත්, ඓතිහාසික පුද්ගලයන්ගේ කැමැත්තෙන් බොහෝ විට ප්‍රතිඵල නොලැබෙන බවත්, ඔවුන්ගේ නියෝග ක්‍රියාත්මක නොවන බවත්, නැතිනම් එයට ප්‍රතිවිරුද්ධ දෙයක් ම සිදුවන බවත්, අපට ඉතිහාසය පෙන්වා දෙයි.’’
යුද්ධය හා සාමය: ලියෝ තොල්ස්තෝයි: අනුවාදය සිරිල් සී පෙරේරා: පිටුව 2485
 
  
veeraya gedara avith
‘‘වීරයා ගෙදර ඇවිත්’’
 
යුධ සාහිත්‍ය පිළිබඳ ලියැවී ඇති කෘති අතුරෙන්: යුද්ධයේ අනිටු විපාක සහ යුද්ධය අවසන් වීමෙන් ඉක්බිත් එහි සේවයේ නියුතුව සිටි සෙබළ සෙබළියන්ගේ ජීවිත ගෙවෙන ආකාරය පිළිබඳ ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කර ඇති කෘති අතර ජනක ඉනිමංකඩ විසින් පරිවර්තිත ‘‘කර්නල් සහ එරෙන්දිරා’’ (ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්) සහ සිරිල් සී. පෙර්රා විසින් පරිවර්තිත ‘‘ජීවිතයේ සරල කතාවක්’’ (නිකොලොයි එව්දොකිමෝව්) නමැති කෘති ද්වය සුවිශේෂී ය.
 
පළමුවන සහ දෙවන ලෝක යුද්ධය පසුබිම් කරගනිමින් සිනමා නිර්මාණ බිහිවි ඇතුවා සේ ම තිස් වසරක් පුරා මෙරට පැවති ‘සිවිල් යුද්ධය’ පිළිබඳව ද විවිධ මානවලින් සිනමා නිර්මාණ සමාජගත විය. 
 
නමුදු ඒ අතුරෙන් යුද්ධයේ යථා ස්වරුපය ඉදිරිපත් කෙරුණේ ඉතා සුළු නිර්මාණ කිහිපයක් තුළින් පමණි. බහුතරයක් වූ සිනමා නිර්මාණ තුළ දක්නට ලැබුණේ යුද උම්මාදය වපුරුවා පාලකයන්ගේ ආශිර්වාදය ලබාගැනීම සඳහා ම නිෂ්පාදනය කළ සිනමා නිර්මාණ ය.
 
මෙවන් වටපිටාවක් තුළ ලංකාවේ පැවති ‘‘සිවිල් යුද්ධය’’ පාදක කරගනිමින් නිර්මිත ටෙලි නිර්මාණ අතුරෙන් යුද්ධයේ යථා ස්වරූපය ඉතා මැනවින් ඉදිරිපත් කෙරෙන අගනා ටෙලි නිර්මාණයක් ලෙස ‘‘වීරයා ගෙදර ඇවිත්’’ ඉතිහාස ගතවිය යුතු ය. 
 
එහි, ඇඟ කිළිපොළා යන බිහිසුණු යුද දර්ශන නොමැති වුව යුද්ධය යනු  මිනිසා කෙතරම් ව්‍යසනකාරී අගාධයටකට ඇද දමන ක්‍රියාදාමයක් ද යන්න මැනවින් ඉදිරිපත් කර ඇත.
 
යුද්ධය පැවති සමයේ මිය ගිය බොහෝ සෙබළ සෙබළියන්ගේ මළ සිරුර ඇසින් දැකගන්නට පවා සිය දෙමාපිය, දූ-පුත් නෑසියන් වෙත ඉඩ කඩ විවර වූයේ නැත. ඒ බොහෝ සෙබළ සෙබළියන්ගේ මළ සිරුර නිවසට ලැබුණේ මුද්‍රා තැබු දෙණක බහාලීමෙන් අනතුරුව ය. 
 purahanda kaluwara
 ‘‘පුර හඳ කළුවර’’ සිනමා පටය
 
සරලව ම පවසන්නේ නම් මිනිසකුගේ මළ සිරුරට ඇති ගෞරවය පවා කෙලෙසමිනි. එහි ඛේද ජනක යථාර්ථය හෙළි කළ සිනමා නිර්මාණයක් වූ ‘‘පුර හඳ කළුවර’’ සිනමා පටය වෙත මෙරට පාලකයන්ගෙන් විවිධ විරෝධතා එල්ල වූයේ එම නිර්මාණය යුද සෙබළුන්ගේ මානසිකත්වය පහළ හෙළන බවට චෝදනා කරමිනි. 
 
නමුදු යථාර්ථය කුමක් ද? ඇතැම් දෙමාපිය, දූ-පුත්, නැසියන් වෙත ලැබෙන්නට ඇත්තේ, ඔවුන් අවසන් බුහුමන් දැක්වූයේ සිය: පුතුට, දුවට, බිරිඳට, සැමියාට, සහෝදරයාට, සහෝදරියට, ඥාතියාට, මිතුරාට හෝ මිතුරියට විය නොහැකි ය. 
 
ඇතැම් විට එසේ මිය ගියා යැයි පවසන සෙබළා හෝ සෙබළිය ජීවතුන් අතර සිටින්නට ද ඉඩකඩ පවතී. එසේත් නොමැති නම් අදාළ සෙබළා හෝ සෙබළිය යුධ භූමියේ දී මිය නොගොස් වෙනත් හේතුවක් මත මියැදෙන්නට පිළිවන. නමුත් ඒ සියලු මරණවල වගකීම පැවරෙන්නේ කුරිරු යුද්ධය මතට ය.
 
Inoka Sathyangani
‘‘වීරයා ගෙදර ඇවිත්’’ : ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දගේ කතා සංකල්පයක් 
 
‘‘වීරයා ගෙදර ඇවිත්’’ නමැති ටෙලි නිර්මාණයට පාදක වන්නේ ද යුද භූමියේ දී මිය ගිය බවට රජයේ ආරක්ෂක බලධාරින් තහවුරු කළ, මුද්‍රා තැබූ දෙණක බහාලූ සිරුරේ අවසන් කටයුතු ද සිදු කර තෙවසරක් ගෙවී ගිය පසු, පෙර මිය ගියා යැයි තහවුරු කළ සෙබළා යළි ජීවමානව එහෙත් දෙනෙත් අඳ පුද්ගලයෙකු ලෙස සිය නිවසට පැමිණීම සහ එතැනින් ඉක්බිති ඒ තරුණ සෙබළාගේ ජීවිතය මුහුණ දෙන ඛේදනීය තත්ත්වය යි.
 
යුද්ධය පැවති හෝ අදාළ සෙබළා යුද වදින සමයේ ඔහු වෙත සමාජයෙන් ලද ගරු සැලකිලි යුද්ධයෙන් අනතුරුව නොලැබෙද්දී, තමා අන්ධ පුද්ගලයකු ලෙස සමාජය සලකද්දී අදාළ සෙබළාගේ මානසික ව්‍යාකුලත්වය කෙබඳු ද යන්න ‘‘වීරයා ගෙදර ඇවිත්’’ ටෙලි නිර්මාණයේ මතුපිට දක්නට ලැබෙන චිත්‍රය යි. 
 
නමුදු අපි ඉතා අවධානයෙන් මෙම ටෙලි නිර්මාණය කියවා ගන්නට සමත් වන්නේ නම්: යුද්ධය, ජාතිවාදය, දේශ ප්‍රේමය සහ අවස්ථාවාදී අධම දේශපාලනය යන සියලු පුරුක් එකම දාමයක එකට ඇමිණි ඇති, වෙන් කළ නොහැකි පුරුක් ලෙස හඳුනාගත හැකි ය.
 
මෙහි වඩාත් බරපතළ තත්ත්වය වන්නේ සිවිල් යුද්ධයට මුවා වී, එහි නිරතව සිටින සෙබළ ප්‍රජාව ම භාවිත කරමින් රාජ්‍ය පාලකයන්ට එරෙහිව නැගී සිටින සිවිල් ප්‍රජාව මර්දනය කිරීම සඳහා නිල නොවන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ය; එකී මෙහෙයුම් සඳහා මියා ගියා යැයි තහවුරු වී ඇති එහෙත් මිය නොගිය, අතුරුදන් වී ඇතැයි අනුමාන කළ හැකි එහෙත් අතුරුදන් වී නොමැති සෙබළුන් භාවිත කිරීම ය. 
 
මෙකී බරපතළ යථාර්ථය ඍජුව ම නොපවසන තිර රචකයා ඒ පිළිබඳ යටිපෙළින් දර්ශනය කරන්නේ යුද වීරයා සිය නිවසට පැමිණීමෙන් ඉක්බිති ඔහු සොයා එන ‘ජයබාහු’ නම් හමුදා නිලධාරියා තුළිනි. එය ද ක්‍රියාවෙන් නොව ඉතා සරල දෙබස් ඛන්ඩ කිහිපයක් තුළිනි.
 Namal Jayasinghe
‘වීරයා ගෙදර ඇවිත්’’ : නාමල් ජයසිංහ ගේ  තිර පිටපතක්  
 
ජයබාහු නමැති හමුදා නිලධාරියා රාත්‍රි කාලයේ මේ යුද වීරයා සොයා පැමිණෙන්නේ, ඔහු නිවසට පැමිණ දින කිහිපයක් ගෙවී යාමට ද මත්තෙන් දහවල් කාලයේ ද ඔහුගේ නිවස අසලට පැමිණ සෝදිසි කිරීමෙන් අනතුරුව ය. ඔහු නිල වශයෙන් හමුදා නිලධාරියකු වන අතර ම නොනිල මර්දන කල්ලි හෝ ඝාතන කල්ලි මෙහෙය වන බව ඔහුගේ ම වදන්වලින් ගම්‍ය කෙරේ.
 
ජයබාහු, චාමර කුලතුංග හෙවත් CK නමැති, මිය ගියා යැයි සිතා අවසන් කටයුතු ද සිදු කළ දෙනෙත් අඳ සෙබළා සොයා පැමිණි පළමු අවස්ථාවේ දී ඔහු අඳ බව ජයබාහු නමැති හමුදා නිලධාරියා පිළිනොගන්නා විට චාමර පවසන්නේ ‘‘මට පේන්නෑ බං. මට දැං පාඩුවෙ ඉන්න ඕන’’ යනුවෙනි. එවිට ජයබාහු පවසන්නේ ‘‘අපිත් ආසයි බං. කෝ ඒත් චාන්ස් එකක් දෙන්නැහැනෙ’’ යනුවෙනි.
 
මෙය සාමාන්‍ය ප්‍රකාශයක් නොවේ. එහි යටි පෙළින් දිවෙන්නේ යුද්ධය අවසන් වුව ද ඔවුන් තවමත් යුද වදින බවයි. නමුත් එය එසේ නොව බව ජයබාහු චාමර වෙත පවසන දෑ තුළ අන්තර්ගත ය. ජයබාහු පවසන්නේ ‘‘දැන් උමේ වන්දි හදාගන්න හෙඩ් ඔෆිස් යන්න වෙනවනෙ. එතෙන්දි සමහර වෙච්ච දේවල් ගැන ප්‍රශ්න කරයි. ඒවට සම්බන්ධ වෙච් අය ගැනත් අහයි. උඹ පරිස්සමින් උත්තර දීපං.’’ යනුවෙනි.
 
මෙය ඇසු චාමර පවසන්නේ වෙච්ච දේවල් මොනවද සහ ඔහුට කිසිවක් අමතක බවයි. ජයබාහු චාමරගේ ප්‍රකාශය පිළි නොගන්නා අතර එදින ඒ මොහොතේ ආපසු හැරි යයි. නිල වශයෙන් සහභාගි වූ යුද්ධයේ දී සිදු වු දේවල් සහ ඊට සහභාගි වූ අය පිළිබඳ පවසන්නට කිසිසේත් ම පසුබට විය යුතු නැත. එසේ නම් ජයබාහු පවසන්නේ කුමක් ද...? ඔහු ඇතුළු තවත් බොහෝ හමුදා නිලධාරිහු සහ සෙබළු නිල නොවන මෙහෙයුම්වල යෙදී ඇති බව නොවේ ද...?
 
‘‘විරයා ගෙදර ඇවිත්’’ නිර්මාණය තුළ මෙලෙස දිගහැරෙන යුද හමුදාවේ අභ්‍යන්තර තත්ත්වය යුද්ධය සම්බන්ධයෙන් නිර්මාණය වූ ටෙලි නිර්මාණයක අන්තර්ගත නොවේ.  ‘‘විරයා ගෙදර ඇවිත්’’ නිර්මාණයේ සාර්ථකත්වය පවතින්නේ ද මේ යටිපෙළ දිගහැරීම හේතුවෙනි.
 
Ananda Abenayake
ආනන්ද අබේනායකගේ අධ්‍යක්ෂණයක්  
 
මුදල් අවශ්‍යතාව හෝ රාජ්‍ය පාලකයන්ගේ අවශ්‍යතාව හේතුවෙන් නොනිල මර්දනකාරි ක්‍රියා හෝ ඝාතන සිදු කළ ද ඇතැම් නිලධාරිහු රාජ්‍ය පාලකයන්ගේ යථා තත්වය මැනවින් අවබෝධ කරගෙන සිටින බව ජයබාහු, චාමර හමුවීමට පැමිණි දෙවන අවස්ථාවේ දී හෙළිදරව් කරයි.
 
‘‘බදාද ඉන්ක්වයර් එකේ දි මේ ටික හොදට මතක තියාගනිං. අපි මොකද කරේ, ඇයි කරේ කියල දැං එතන ඉන්න කොටවත් වැඩක් නෑ. ආණ්ඩු මාරුවෙනකොට අපිට ඕඩර්ස් දීපු එවුන් මාරු වෙලා ගිහින් ඉවරයි. ආයිත් ආණ්ඩු මාරුවෙනකොට ආයිත් ඉන්න එවුං මාරු වෙනව. හැබැයි කුලේ අන්තිමට ගුළිය කැරකෙන්නෙ අපිට.
 
අපි කරපිංච බං... උන්ගෙ හොද්දෙ තැම්බෙනකං හොඳයි. හොද්ද ඉදිල පිඟානට බෙදාගත්ත ගමන් ම ඉස්සෙල්ල ම කරන්නෙ සූප්පු කරල විසි කරන එක... අපි කරපිංච...
 
අපි බේරුණේ අහම්බෙන් වගේ. මොනව වුනත් අපේ ළඟ ඉන්න එකා අපි බේරගන්නව. ඒක අපේ ට්‍රේනිං එක.’’
 
මේ, යුද්ධයේ නොව යුද්ධය බඩගෝස්තරවාදය කරගත් රාජ්‍ය පාලකයන් සහ රාජ්‍ය මර්දන ඒකකවල යථා ස්වභාවය යි; දේශපාලනය නමැති මඩ ගොහොරුවේ කරවටක් එරී සිටින රාජ්‍ය ආරක්ෂක සේවාවල නියුක්තිකයන්ගේ ඇතුළාන්තය යි.
 
යුද පිටියේ දී සිය දහස් ගණන් මිනිස්සු මරා දමන දර්ශන බලා අත්පොළසන් දෙන, ඔල්වරසන් දෙන මුග්ධ ජනතාව නොදන්නා හෝ දැන දැන ම නොදන්නා සේ නිහඬව බලා සිටින, අසා සිටින යථාර්ථය යි. 
 
මෙහි ඉතා බියකරු ම යථාර්ථය හෙළිදරව් කරන්නේ ජයබාහු නමැති හමුදා නිලධාරියා තෙවන වතාවේ චාමර හෙවත් CK හමුවීමට පැමිණි අවස්ථාවේ දී ය. එහි දී චාමර පිළිබඳ පවතින සැකය දුරු කරගැනීම සඳහා ජයබාහු දියත් කරන මෙහෙයුම අවසානයේ ඔවුන්ගේ දෙසට ම එල්ලවීමෙන් පසු සිදුවන්නේ කුමක් ද...?
 
චාමර වෙත ගිනි අවියක් එල්ල කළ ද ඔහු සිය සටන් නිපුණත්වය ප්‍රදර්ශනය කළ මොහොතේ ඔහු වෙත ගිනි අවිය එල්ල කළේ ද ඔහු සමග නිල සහ නිල නොවන මෙහෙයුම්වල නිරත වූ උපුල් නමැති සෙබළා ය. ජයබාහු චාමරට යෝජනා කරන්නේ නැවතත් නිල නොවන මෙහෙයුම් සඳහා සහභාගි වන ලෙසයි. යට සඳහන් කළ පරිදි මෙම නිර්මාණ මගින් හෙළිදරව් කෙරෙන බියකරු ම යථාර්ථය එයයි.
 
චාමර අන්ධභාවය මේ වන විට ද ජයබාහුගේ සැකයට බඳුන් වෙමින් පවතී. ‘‘උඹට පොඩ්ඩක්කත් පේන් නැද්ද?’’ යැයි යළිත් විමසන්නේ එබැවිනි. චාමර එය නැවතත් අවධාරණය කළ පසු ජයබාහු ඊට පිළිතුරු සපයන්නේ මෙසේ ය.
 
‘‘පේන්නැති එක උඹට ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. කළුවර මොකද්ද අපිට? ම්ම්ම්... උඹට තාම අපිව ෂුවර් නැද්ද? 
 
එයට චාමරගේ පිලිතුර වන්නේ ‘‘උඹල ෂුවර්. මරන්න ඕන්නං මරනව කියලත් දන්නව.’’ එසේ පවසන ඔහු උපුල් වෙතින් අත් පත් කරගත් ගිනි අවිය ආපසු ජයබාහු වෙත බාර දෙයි. අනතුරුව ඔහු චාමර වෙත කිසියම් කොන්දේසියක් පනවයි.
 
‘‘දැනට අපේ නම් හරි කරපු මිෂන් හරි කියන්න වෙන්නෑ. දැනට...’’
 
තමාට කිසිවක් ම අමතක බවත්, ඒ සියල්ල වාර්තාවල සදහන්ව ඇති බවත් එහි දී චාමර පවසයි. ඔහුගේ සගයන් (උපුල් ඇතුළු) මේ වන විටත් නිල හෝ නිල නොවන මෙහෙයුම්වල නිරතවන බව උපුල් හෙළිදරව් කරයි. ඒ මෙහෙයුම් මොනවාදැයි චාමර විමසයි. ඊට පිළිතුරු සපයන්නේ ජයබාහු ය.
 
 ‘‘මිෂන්... මොනවද මිෂන්... අපි තවම වැඩ... කොයි ආණ්ඩුව ආවත් දේශ ප්‍රේමය කියල මිෂන් එකක් තියෙනව කුලේ. හැම ආණ්ඩුවට ම ඒ මිෂන් එක ඕන. යුද්දෙ තිබ්බත් නැතත් ආණ්ඩුවලට ඒ මිෂන් එක ඕනෙ. කුලේ... මොකද කියන්නෙ...? අපි ආපහු වැඩ කරමුද? උඹව දැං කවුරුත් සැක කරන්නෑ.’’
 

veeraya gedara avith1

 
මෙයින් හෙළිදරව් වන්නේ කුමක් ද? යුද වීරයෙකු ලෙස හැඳින්වෙන චාමර කුලතුංග හෙවත් CK ද නිල නොවන මෙහෙයුම්වලට සහභාගි වී ඇති බව නොවේ ද? ජයබාහු නමැති නිලධාරියාට අවශ්‍යව ඇත්තේ දෙනෙත් අඳ විශ්‍රාමික සෙබළා ද නිල නොවන මෙහෙයුම් සඳහා සහභාගි කරවාගැනීම නොවේ ද? එවන් තත්ත්වයක් ඉතා බියකරු නොවන්නේ ද?
 
සිංහල බෞද්ධ බහුතරයකට නිරන්තරයෙන් ම අනෙකෙකු සමග ගැටුමක් ඇති කරගැනීමට අවශ්‍යය බව ද එක් අවස්ථාවක දී චාමර තුළින් නිරූපණය කෙරේ. ඔහු සිය වැඩිමහල් සොයුරියගේ සිට ගමේ කිහිප දෙනෙක් සමග ගැටුම් ඇතිකර ගනී. මේ පිළිබඳ සොයුරියගේ කුඩා පුතු චාමරගෙන් විමසන මොහොතේ ඔහු මෙමෙසේ පිළිතුරු සපයයි.
 
‘‘එහෙම තමයි පුතේ... ඉඳල හිටල රංඩු වෙන්න ඕන. අනික පුතේ දැං අපිට රංඩු නොවී ඉන්න බැරි තරමට ම ඒකට හුරු වෙලා. අපිට කවුරුහරි එක්ක මොනවට හරි ම රංඩු වෙන්න ඕන...’’
 
දේශය පාලනය කරන දේශපාලකයන්ට නොව බලය රැකගැනීමට අවැසි, සොරකම් කිරීමට බලාපොරොත්තු වන දේශපාළුවන්ගේ සැබෑ අවශ්‍යතාව මෙය නොවන්නේ ද? අසූ තුනට පෙරත්, අසූ තුනෙන් පසුත් මේ දක්වා ම සිදු කර ඇත්තේ ‘‘කුමක් සඳහා හෝ රංඩු කිරීම’’ නොවේ ද? එබඳු රංඩු පවතින තාක් දේශපාළුවන් යෙහෙන් වැජඹෙන බව අවබෝධ කරගන්නට තරම්  රටේ ජනතාව අසමත් වීම, අඳබාල වීම කෙතරම් ඛේද ජනක ද?
 
මෙම සමාජ යථාර්ථයට අමතරව මිනිසුන්ගේ කටකතා හේතුවෙන් සිය සොයුරු සොයුරියන් පවා සැකයට බඳුන්වන ආකාරයත්, කිසිවකුට වරදක් නොකර සිටින මිනිසුන්ට පවා දුර්ජන මිනිසුන්ගෙන් විවිධ තාඩන පීඩන එල්ල වන බවත්, ඒ සියල්ල ඉවසා දරාගත නොහී ඇතැම් මිනිස්සු විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා වෙත යොමුවන බවත් මෙම නිර්මාණය තුළින් විශද කෙරේ. 
 
එහෙත් මෙම නිර්මාණය නරඹා අප වඩාත් අවබෝධ කරගත යුත්තේ කුමක් ද යන්න පිලිබඳ වැඩි බර තැබිය යුතු යැයි අදහස් කළ බැවින් මම පුද්ගලිකව දුටු මේ ඛේද ජනක, බියකරු යථාර්ථය වටහා නොගත් කිසිවකු වේ නම් යළි යළිත් ‘‘වීරයා ගෙදර ඇවිත්’’ නරඹන මෙන් ඉල්ලා සිටිමි.
 
 
‘‘වීරයා ගෙදර ඇවිත්’’ නිර්මාණයට දායක වූවෝ
 
සංගීතය:- ගයාන් ගණකධාර
කතා සංකල්පය:- ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද
රූපවාහිනී රචනය:- නාමල් ජයසිංහ
නිෂ්පාදනය:- ආනන්ද අබේනායක සහ ෆාහිම් මවුජූඩ්
අධ්‍යක්ෂණය:- ආනන්ද අබේනායක
රංගනයෙන්:- රොෂාන් රවින්ද්‍ර,  චාන්දනී සෙනවිරත්න, ජයනි සේනානායක, චන්ද්‍රා කළුආරච්චි, චින්තක කුලතුංග, ආනන්ද කුමාරඋන්නැහෙ, මයුර කාංචන, දිනූපා කෝදාගොඩ, සේවියර් කනිෂ්ක, අකිදු මේනුජ බණ්ඩාර, දයා තෙන්නකෝන්, මනෝරි විමලතුංග, චාමල් රණසිංහ, ප්‍රෞඩ බුවනෙක, අතුලසිරි ජයතිස්ස, නෙතලි නානායක්කාර, සුජාතා හලහකෝන්, ළහිරු චතුරංග, එච්. බී. ටී. සුනිල්
 
 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  
 
කියවන්න 
 
 
 
 
 
 

 


 

 
BOC අධ්‍යක්ෂවරු ගෙදර යැව්වේ සිගරට් ඩීල් එක නිසාද?
 
 
රටට හොරෙන් කොරෝනා එන්නත විදගත් රාජපක්ෂවරයා ?
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58