මහාඖෂධ කුමාරයා  හැර, මෙලොවට බිහිවන කිසිදු මනුෂ්‍ය ප්‍රාණියෙකු නිරුවත් සිරුර හැර අන් කිසිවක් රැගෙන ආ පුවතක් අප අසා හෝ කියවා නැත.

එහෙත් එසේ පැමිණෙන සියලු මිනිස් ප්‍රාණීහු රැගෙන එන එක් දෙයක් ඇත. එය කවදා, කිනම් මොහොතක, කෙසේ අත්පත් කරගනී දැයි කිසිවෙකු නොදනිති. ඒ, අන් කිසිවක් නොව ‘මරණය’ යි. එය පදික වේදිකාවේ රැය පහන් කරන දුගී, මගී යාචකයාගේ සිට ලොව බලවත් මිනිසා යැයි කිසිවකු හඳුන්වන පුද්ගලයෙකු සිටී නම් ඔහුට ද උරුම ය. එබැවින් කිසියම් පුද්ගලයෙකුගේ මරණය යනු අරුමයක් නොවේ. අරුමය වන්නේ ජීවිත කාලය පුරා ම අන්‍යයන්ගේ මානසික, භෞතික හෝ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ කිසිවකු නොසිතූ මොහොතක මිය යාම ය. මන් ද ඔවුන් චිරාත් කාලයක් මෙලොව විසිය යුතු පුද්ගලයන් වන බැවිනි.

ඊයේ (2021/06/21) ද එවන් මරණයක් පිළිබඳ පුවතක් අසන්නට සහ කියවන්නට ලැබිණ. ඒ, සිංහළ පාඨක ප්‍රජාව වෙත ඉමහත් සේවයක් කළ කෘතහස්ත පරිවර්තකාවක වන මාලනී ගෝවින්නගේ නමැති ලේඛිකාවගේ මරණය යි; සුහදිනියගේ මරණය යි.

 

malni gowinnage



{‘‘ ආණ්ඩුව හැම තිස්සෙම ඉන්නෙ දුප්පතුන්ට විරුද්ධව.’’පොටාපියාවල වීරයා පැහැදිලි කරල දෙන්න හැදුව. ‘‘ඒත් මේක විශේෂ ජාතියෙ ආණ්ඩුවක්. ඒක දුප්පතුන්ට විරුද්ධයි. ඒත් ඒ විශේෂ විදියකින්. දැන් තියෙන ආණ්ඩුවට ලේ හලපු අය අතර හුඟක් දුප්පත් මිනිස්සු හිටිය. අපි පෝසත් කියල කාටවත් කියන්න බැරිවුනත් මම අදහස් කරන්නෙ මමයි, මම වගේ මිනිස්සුයි නෙවෙයි. පළවෙනි ෆැසිස්ට්කාරයො අතර හිටිය ලියන්නොයි, ට්‍රෑම්ප් පාරෙ, දුම්රිය පාරෙ, වැඩකාරයොයි ගෙවල් බඳින්නොයි දැන් ෆැසිස්ට් යුද්ධ හමුදාවෙ ඉන්න අයයි, මම අදහස් කරන්නෙ. උන්ගෙන් හුඟ දෙනෙක් ලක්ෂපතියො නෙවෙයි, දුප්පත් ගොවියො. උන් නැතුව, දැන් තියෙන ආණ්ඩුවට වැඩිකල් බලයෙ ඉන්න බෑ. දැන් තියෙන ආණ්ඩුවට උන් ඕන. ටොලෝනියා කුමාරයාගෙයි. බැංකුවෙයි ආණ්ඩුවට උන් ඕන. ආණ්ඩුව ටොලෝනියා කුමාරයයි බැංකුවයි වෙනුවෙන්වැඩි වැඩියෙන් කරන තරමට, ආණ්ඩුවට දුප්පත් මිනිස්සු ඕන. ඒ වගේ ම ඒක ගොවින්ගෙයි කම්කරුවන්ගෙයි ආණ්ඩුව කියල වැඩි වැඩියෙන් විශ්වාස කරන්න ඕන’’}



ෆොන්ටමාරා: පරිවර්තනය - මාලනී ගෝවින්න: පිටුව 87: 1994: මාර්ග ප්‍රකාශන

ඇය පිළිබඳ මතකය අවදි වන්නේ සහ අමතක කළ නොහැක්කේ මන්දැයි කිසිවකු මගෙන් විමසුවහොත් මා ඊට පිළිතුරු සපයන්නේ ඇගේ පළමු පරිවර්තනය වන ඉහත කෘතිය සමග සසඳමිනි. මන්ද ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවම අවබෝධයක් ඇති මට විශ්ව සාහිත්‍ය කෘති කියවීමේ වරම හිමිකර දුන් ලේඛක ලේඛිකාවන් අතර ඇය ප්‍රමුඛස්ථානයක් උසුලන බැවිනි.

‘‘ඔක්තෝබර් 7

ගරිල්ලා ව්‍යාපාරය පටන් අරන් අදට මාස එකොළහක් සම්පූර්ණ වෙනවා. දවල් 12.30 වනතුරු දවස හොඳින් ගෙවිල ගියා. එළු පට්ටියක් දක්කාගෙන ආ මහලු ගැහැණියක් අපි ඉන්න පතහට ආවෙ එතකොටයි. අපිට සිද්ධවුණා ගැහැණියව රඳවාගන්ඩ. ඈ කිසිම විශ්වාසදායක තොරතුරක් හෙළි කළේ නෑ. සොල්දාදුවන් ගැන කිසිම දෙයක් නොදන්නා විත්තියත්, සොල්දාදුවන් ඉන්න ඉසව්වට ළඟදී ගියෙ නැති බවත් ඈ කියා සිටියා. ඈ අපට දුන්නු එකම තොරතුර පාරවල් පිළිබඳ විතරයි’’

බොලිවියානු දින පොත: පරිවර්තනය - මාලනී ගෝවින්නගේ: පිටුව 87: සුරවි ප්‍රකාශන: 2003

අර්නොස්ටෝ චේගුවේරා යනු මා ඉතාමත් ආදරය කරන දේශපාලන චරිතයකි. යට සටහන් කර ඇත්තේ ඔහු විසින් රචිත බොලිවියානු දිනපොතේ අවසන් සටහනේ ආරම්භක ඡේදය යි. එය (බොලිවියානු දිනපොත) සිංහලෙන් කියවීමේ පළමු අවස්ථාව උදා කර දුන්නේ ද ඇය යි.

14034759 1255832537783800 135815621560491350 n

"මේ තත්ත්වය යටතේ තව දුරටත් ඔහු සමඟ ජීවත්විය නොහැකි බව පැබ්ලෝ සිය රියෙන් බැහැරක ගිය දිනෙක, මම තීරණය කළෙමි. මා අත මුදල් නොවීය. දකුණට යොමුවුණු ප්‍රධාන පාර දිගේ මා ඇවිද ගියේ පාරේ යන වාහනයක ඉඩක් ඉල්ලාගෙන මාර්සෙල් දක්වා ම ගමන් කරන්නටය. උතුරු අප්‍රිකාව බලා යාමට අවැසි මග වියදම් ඉල්ලාගැනීමට මාසෙල් හී මට හිතවත්තු සිටියහ. එදා මහ මඟ වැඩි රථවාහන නොවීය. මට වැඩි දුරක් යන්නට නොලැබිණි. මාසෙල් හා පැබ්ලෝ මා අසල ය. කාරය මා අසල නැවතුණි. පැබ්ලෝ රියෙන් බැස්සේ ගිනි පිටකරමිනි. මා එහි කරමිනි සිටින්නේ කුමක්දැයි ඔහු මගෙන් විමසීය. මම පිළිතුරු දුනිමි.’’


මගේ පිකාසෝ: පරිවර්තනය - මාලනී ගෝවින්නගේ: පිටුව 193: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය: 2011

ලෝ ප්‍රකට සිතුවම්කරුවන් අතුරෙන් මා වඩාත් ප්‍රිය කරන සිතුවම්කරුවා පැබ්ලෝ පිකාසෝ ය. ඔහුගේ ජීවිත කතාව සිංහලෙන් කියවීමට අවස්ථාව උදා කර දුන්නේ ඇය යි.

මෙම කෘති ත්‍රිත්වය හැරුණු විට: ‘‘මා හද සඟවන්’’, ‘‘හඬනු පෙම්බර දේශය’’, ‘‘පා සටහන් නැති දෙවියෝ’’, ‘‘දූවිලි දේදුන්න’’, ‘‘සිංහ චාරිකා’’, ‘‘තැනිතලාවේ දේවතාවිය’’, ‘‘කඩදහි ගෙදර’’, ‘‘කිවිඳ හදට එබී බලන්’’, ‘‘දිවි අරුත’’, ‘‘එක්ව අපි ඇවිද යමු’’ සහ ‘‘රළ’’ යනාදි කෘති සියල්ල සිංහල බසින් කියවීමේ වරම ලබා දුන්නේ ඇය යි. ඉදින් එවන් සහෘදනියකගේ නික්ම යාම ‘‘සියල්ල අනිත්‍ය යි’’ යන්න සක් සුදක් සේ පැහැදිලිව ම දැන සිටිය ද පෘතග්ජනයෙකු වන මා හට වේදනා ගෙන දෙන්නකි.

 

books of malani
පළමු පියවර

ඇගේ ජීවන පවත ලිවීමේ අරුතක් නොමැති වුව ද ඇය පරිවර්තන කාර්යයට අත්පොත් තැබීම පිළිබඳ සිහිපත් කළ යුතු ම ය. ඇය ම පවසා ඇති පරිදි ඇගේ පරිවර්තන කාර්ය ආරම්භ කෙරෙන්නේ ඉග්නාටිසියෝ සිලෝනිගේ ''Fontamara'' කෘතිය එනමින් ම සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙනි. එම වරම ඇයට හිමිවිම ද අපූරු සිදුවීමකි.

ඇය ම පවසා ඇති පරිදි ඇය විශ්විද්‍යාල අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන අවධියේ ඇය සතුව පැවති ඉංග්‍රිසි භාෂා දැනුම අවම ය. නමුදු එම විශ්විද්‍යාලය මගින් ම මෙහෙයවන ලද ඉංග්‍රිසි පාඨමාලාවක් සඳහා ඇය සහභාගි වන්නී ය. එම පාඨමාලාව සඳහා හයසියයක පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සහභාගි වුව ද සමත්ව ඇත්තේ සයදෙනෙකු පමණි. ඒ සයදෙනා අතරට ‘මාලනී ගෝවින්නගේ’ ශිෂ්‍යාව ද ඇතුළත් වූවා ය.

 

fontamara

මෙරට  සිංහල සාහිතකාමින් වෙනුවෙන් විදෙස් පරිවර්තන සිංහල භාෂාවට නගා ප්‍රකාශයට පත්කිරීමේ මහඟු සේවාවක් ඉටු කළ ‘‘මාර්ග’’ ආයතනය ඒ වන විට ''Fontamara'' කෘතියේ ඉංග්‍රිසි පිටපත අපට සිටි තවත් විශිෂ්ට විචාරකයෙකු මෙන් ම පරිවර්තකයෙකු වන රෙජී සිරිවර්ධන අතට පත් කර තිබිණ. එම කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කළ හැකි පුද්ගලයෙකු සොයා දෙන ලෙස ඔහු සිය මිතුරකු වන රංජිත් ගුණවර්ධනට පවසා ඇත. එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පාඨමාලව ඉහළින් ම සමත්ව සිටි මාලනී ගෝවින්නගේ ශිෂ්‍යාව අතට ''Fontamara'' හි ඉංග්‍රීසි පිටපත ලබා දෙන්නේ රංජිත් ගුණවර්ධන ය. මාලනී ගොවින්නගේ එම කෘතිය දෙසතියක් තුළ දී පරිවර්තනය කරන්නී ය. එහි දී ඇය ඉතිහාසගතවන්නී ය. එම කෘතිය පිළිබඳ හැඳින්වීමක් ලියන රෙජී සිරිවර්ධනගේ සටහනෙන් උපුටා ගත් මෙම දෙකොටස ඊට සාක්ෂි දරයි.



‘‘වැදගත් සාහිත්‍ය පොත් පරිවර්තනය කර සිංහල පාඨකයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මාර්ග ආයතනය විසින් වැඩ පිළිවෙළක් පටන් ගෙන ඇත. එම වැඩපිළිවෙළ යටතේ නිකුත් කැරෙන ප්‍ර,ම නවකතාව ඉග්නාට්සියෝ සිලෝනේගේ ‘‘ෆොන්ටමාරා’නම් නවකතාවයි.’’

“විශ්ව විද්‍යාලයට පැමිණෙන තෙක් යුරෝපීය සාහිත්‍යය පිළිබඳව අවබෝධයක් නොතිබු ගැමි සිංහල පවුලකින් පැමිණෙන මාලනි ගෝවින්නගේ නම් තරුණ ශිෂ්‍යාවක විසින් මෙය පරිවර්තනය කර තිබීම විශේෂ වැදගත්කමකින් යුක්ත වෙයි.”

ෆොන්ටමාරා: පරිවර්තනය - මාලනී ගෝවින්න: පිටු IX සහ IXX: 1994: මාර්ග ප්‍රකාශන

කිසිවකු සතු දක්ෂතා හඳුනාගැනීමේ නිපුණයෙකු වූ රංජිත් ගුණවර්ධන, එදා මාලනී ගෝවින්නගේ නමැති ශිෂ්‍යාව අතට ''Fontamara'' හි ඉංග්‍රීසි පිටපත ලබා නොදෙන්නට ඇතැම් වට මේ වන විට මා යට සඳහන් කළ කෘති අතුරෙන් ''Fontamara'' හැර අනෙකුත් කෘති සිංහල භාෂාවට පරිවර්තනය නොවන්නට ඉඩ තිබිණ.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභිනිය

මේ වන විට අවම වශයෙන් කෘති පහළොවක් පමණ පරිවර්තනය කර ඇති මාලනී ගෝවින්නගේ 2015 වසරේ රජ්‍ය සාහිතය සම්මානයෙන් ද පිදුම් ලබන්නී ය. ඒ, 2004 වසරේ සිදුවූ සුනාමි ඛේදවාචකය මොහොතේ සිය පවුලේ සියලු දෙනා එයට බිලිවූ පසුබිමක, සිය ජීවිතය බේරාගත් මහාචාර්ය සොනාලි දැරණියගල විසින් රචිත WAVE කෘතියේ සිංහල පරිවර්තනය වන ‘‘රළ’’ කෘතිය වෙනුවෙනි.

Rala 955310214X

මාලනී ගොවින්නගේ දක්ෂතා දක්වා ඇත්තේ ගද්‍ය පරිවර්තනයට පමණක් නොවේ. ඇය පද්‍ය පරිවර්තනයට ද සමකත්කම් දක්වන්නී ය. එයට කදිම උදාහණයක් ලෙස විදෙස් කවි කිවිඳියන්ගේ කාව්‍ය නිර්මාණ කිහිපයක් එකම කෘතියකට සංගෘහිත කර ප්‍රකාශයට පත් කර ඇති ‘‘මතක පූජාව’’ නමැති පරිවර්තන කාව්‍ය සංග්‍රහය හැඳින්විය හැකි ය.

එම කෘතිය පිළිබඳ හැඳින්වීමක් ලියන මාලනී ගෝවින්නගේ එහි මෙලෙස සටහන් කරන්නී ය.



‘‘ඕනෑම කලා කෘතියක් මෙන් ම කවියට අරමුණක්, පරමාර්ථයක් තිබිය යුතු අතර ඒ සඳහා සේවය කළ යුතුය. මානව වර්ගයා අහිමි වූ නූතන යුගයේ පිරිමින්ට හා කාන්තාවන්ට මානව වර්ගයා ඇතුළු කිරීමට කවියෙකුට හැකි විය යුතුය. අවශ්‍ය වූ විට කවියක් ආයුධයක් විය යුතුය. කාව්‍යය සමාජ අසාධාරණය, දූෂණය හා සූරාකෑමට එරෙහි බලවේගයක් ලෙස මා දකින්නේ නැත.’’



මෙම කෘතියට: රුසියාව, චිලිය, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ ඇමරිකානු කවි කිවිඳියන්ගේ නිර්මාණ ඇතුළත් ය.

කීර්තිමත් විදෙස් ලේඛක ලේඛිකාවන්ගේ කිර්තිමත් කෘති සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් සිදුවන සාධනිය ක්‍රියා දෙකක් පිළිබද ඇය වරක් පුවත් පතකට අදහසක් ප්‍රකාශ කර තිබුණා ය. එනම් එබඳු කාති පරිවර්තනය කිරීමෙන් සිංහලෙන් කියවන පාඨක ප්‍රජාව දැනුවත් වනවා මෙන් ම එතුලින් සිංහල සාහිත්‍යය ද පෝෂණය වන බවයි.

වෙසෙස් ලක්ෂණ

ඇගේ පරිවර්තනවල කැපී පෙනෙන ලක්ෂණ ද්විත්වයක් දැකිය හැකි ය. එනම්: ඇය පළමු කාතියේ ආත්මය ඒ ආකාරයට ම ග්‍රහණය කරගැනිමට සමත්වීම සහ පළමු කාතිය තරමට ම තියුණු මෙන් ම තික්ෂණ බුද්ධියකින් යුතු පැහැදිලි වාග් විලාසයකින් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ය. එහි දී ඇය සිරිල් සී පෙරේරා, කේ. ජී. කරුණාතිලක, ගාමිණි වියන්ගොඩ සහ සිංහල පාඨක ප්‍රජාව තුළ පැවති සෝවියට් සාහිත්‍ය පිපාසය නිවලූ දැදිගම වී. රුද්‍රිගු යන ලේඛකයන්ට දෙවන නොවන්නී ය.



මාලනී ගෝවින්නගේ යනු පරිවර්තකාවක් පමණක් ම නොවේ. ඇය විටෙක මාධ්‍යෙව්දිනියකි, තවත් විටෙක සාහිත්‍ය විචාරකාවකි. ඇගේ ඇතැම් කෘති සාර්ථක වන්නට ඇගේ පරිනතභාවය මෙන් ම සිය ජීවන අත්දැකීම් ද පවා බලපෑ බව දිනෙක මා සමග පැවසුවා ය. ඊට හොඳම උදාහරණය ‘‘ෆොන්ටමාරා’’ කෘතිය බව ද ඇය පැවසුවා ය.



ඇගේ පරිවර්තන කෘති තුළ යට සඳහන් කළ ලක්ෂණ ද්වය අභිභවන තවත් සුවිසෙස් ලක්ෂණයක් ද පවතී. එනම් එම කෘති බහුතරයක් වාමවාදී දේශපාලන මත ප්‍රලිත කිරීම ය. බහුතරයක් වාමවාදී මත දරණ ලේඛක ලේඛිකාවන් අතර ඇය මට සුවිසෙස් වන්නේ ඇය තථ්‍ය ජිවිතයේ ද එකී ගුණාංගවලින් පිරිපුන් තැනැත්තියක වීම ය. ඇය සමාජවාදය යන වදනට වඩා ඇලුම් කළේ මානවවාදය යන වදනට ය. මතු දැක්වෙන්නේ ඊට කදිම නිදසුනකි.

ප්‍රායෝගික මානවවාදිනිය

මීට වසර දහතුනකට පමණ පෙර මා හට ඇය හඳුන්වා දුන්නේ මහින්ද කුමාර දළුපොත සහෘදයා ය. එදින ඇය මා ඇමතුවේ ‘මල්ලී’ යන සහෘද වදනෙනි. මා ද ‘අක්කා’ යන සහෘද වදනින් ඇය ඇමතුවේ ය. එදා සිට අවසන් වරට ප්‍රෙලේඛන සඟරාවේ සංස්කාරකවරිය ලෙස කටයුතු කරන සමයේ දී හමුවන තෙක් අප අතර පැවතියේ එදා ආරම්භ කළ සහෘද බැඳීම ම ය. ඇය මට කිසිදු අපහසුතාවකින් තොරව ‘‘ජයසිරි මල්ලි’’ යැයි ආමන්ත්‍රණය කළ අතර මා ද කිසිදු අපහසුතාවකින් තොරව ඇයට ‘‘මාලනී අක්කා’’ යැයි ඇමතුවේ ය. ඒ ඇය ප්‍රායෝගිකත්වයට නැංවූ මානවාදය යි.

 

malani

අරමුණක් සහිතව

අරුන්දතී රෝයි විසින් රචිත ''The God of Small Things'' ‘‘පා සටහන් නැති දෙවියෝ’’ යන මැයෙන් පරිවර්තනය කල මාලනී ඒ පිළිබද පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී අගනා ප්‍රකාශයක් කර තිබුණා ය. ඇය එහි දි පවසා තිබුණේ පරිවර්තනයක් මතු නොව ස්වතන්ත්‍ර නිර්මාණයක නියුළෙන ලේඛකයෙකුට හෝ ලේඛිකාවකට එසේ කිරිමට අරමුණක් තිබිය යුතු බවයි. එනම් ප්‍රකාශකයාගෙන් මුදල් ලබාගැනීම පමණක් නොව පාඨක ප්‍රජාවට යමක් උකහා ගත හැකි, පාඨක ප්‍රජාවගේ මනස පුළුල් කෙරෙන නිර්මාණයක් කළ යුතු බවයි. නූතනයේ කෙරෙන බොහෝ කෘති පරිවර්තනය කරන පරිවර්තකයන් සහ පරිවර්තකාවන් මෙය මැනවින් වටහාගත යුතු බව මගේ පුද්ගලික හැඟීම ය.

ඉදින් එබඳු සාහිත්‍යෙව්දිනියකගේ සමුගැන්ම සිංහලෙන් කියවන පාඨක ප්‍රජාවට කෙතරම් බලපෑමක් කරන්නේ ද යන්න වෙසෙසින් සදහන් කල යුතු නැති. මේ වන විට මුද්‍රණයෙන් නිකුත් නොවූ ඇගේ පරිවර්තන තිබිය හැකි ය. එම කෘති බාරගෙන සිටින කිසියම් ප්‍රකාශන ආයතනයක් වේ නම් අදාළ කෘති ඉක්මනින් ම ප්‍රකාශයට පත් කරන්නේ නම් එය මාලනී ගෝවින්නගේ සාහිත්‍යෙව්දිනියට කරන ඉමහත් ගෞරවයක් ලෙස සටහන් කරමින් මෙම අදහස් ගොන්න අවසන් කරමි.



Jayasiri Alawatta

ජයසිරි අලවත්ත

2021/06/22

 

 

 
##########
THE LEADER TV 
 
වසංගත රෝග හිටපු ප්‍රධානියා සමරවීර : අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ?
 
 
 
 
බැසිල් මේ සතියේ එයි : වාසු ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියා කපයි!
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image