1200 x 80 DMirror
 
 

මං ගොඩක් වෙලාවට නවකතා කියවන්නෙ ඒ නවකතා විසින් යම් ලිංගික සංස්කෘතික කලාපයක් එලිදරව් කරනවා නම් විතරයි.
ඒක මගේ පුද්ගලික පටු තෝරාගැනීමක්. ඒත් මට ඒකට හේතු තියෙනවා. පොඩි කාලෙ ඉඳන් මං කියවපු ප්‍රබන්ධ අතරින් මගේ ජීවිතය වෙනස් කළේ ලිංගික කලාපයන්ට අතපෙවූ ලේඛකයන් විතරයි. 
 
අනිත් අයගෙන් මං විඳලා තියෙන්නෙ හුදු සෞන්දර්ය රසයක්. අර මිනිස් අනුරාගී කලාපයන් අතරට ගිය ලේඛකයො මගේ ජීවිතේ ආපහු හරවන්න බැරි වෙනස්කම් ඇති කළා. බාහිර දේශපාලන සමාජ දාර්ශනික කතා අතර ඇඳ උඩදි මොකද වෙන්නෙ කියන එක මගඇරලා ගිය ලේඛකයො තමන් ගැන ගැඹුරු ඇත්තක් මගඅරිනවා කියල මට දැනුන. ඒක හරිම පාර්ශ්වීය හැඟීමක්.
 
මේ ටැබූ කලාපයන් අතර ලියන ලේඛකයන් එක විදිහක පරපුරක්. මං ඒ පරපුරේ කියවන්නෙක්. හෙන්රි මිලර්, බුකොව්ස්කි, ලෝරන්ස්, ෆිලිප් රොත් වගේ අය එලියෙනුත් සයිමන්, අජිත් තිලකසේන, කේකේ සහ මොහාන් රාජ් වගේ අය ඇතුලෙනුත් ඒ පරම්පරාවට එකතු වෙනවා.
 
නවකතාවක් කියවන එක මට හරියට කවුරු හරි නාඳුනන කෙනෙක් එක්ක දුර ගමනක් යනවා වගේ වැඩක්. එතනදි එයා රියදුරෙක් නම් වැඩ දාලා එලවන්න පුළුවන්. වේගය සහ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. ඒ ශිල්පීය පැත්තෙන් එයා මාර වෙන්න පුළුවන්. මං කියන්නෙ ඒවා තමයි කතාවක සාහිත්‍යාලංකාර කොටස.
 
ඊට වඩා මට වැදගත් වෙනවා මාත් එක්ක යන මේ මිනිහා කවුද කියන එක. එයා එක්ක කතා කරමින් යන දේවල්. අහමින් යන සිංදු. එයා ඒ පැය කීපය ඇතුළත මාත් එක්ක ෂෙයාර් කරන්නෙ මොනවද කියන එක. ඒක තමයි කතාකරුවාගේ ආත්මය. අන්න ඒ ආත්මය කොයිතරම් බියගුළුද, නිර්භීතද, සාම්ප්‍රදායිකද, පෙරලිකාරද කියන එක මට වැදගත්.
 
රටක දේශපාලන සමාජ වෙනස්කම් ඒ රටේ මිනිස්සුන්ගෙ ජීවිතේ නිරුවත් මොහොත ඇතුලෙදි නිරූපනය වෙන හැටි මට දකින්න ඕන වෙනවා. ඒ මිනිස්සු ගැහැණුන්ට සළකන හැටි, වෙනත් ලිංගිකයන් එක්ක ගනුදෙනු කරන හැටි, කවුරුවත්ම නැති වෙලාවක ඒ අය කරන දේවල්, ඒ අයගෙ ආශාව වැඩ කරන විදිහ, ආදරය, අනුරාගය, තහංචිය ගැන මට දැනගන්න ඕන. මං ලිංගික සංස්කෘතිය කියන්නෙ ඒකට.
 
sdfderඑතනදි මොහාන් රාජ් මඩවල ඒ පරපුරේ අපේ රටේ පුරුකක්. මං මොහාන්ව අඳුරගන්නෙ බෝදිලිමා පොතෙන්. ඒ පොතේ ඉඳන්ම මොහාන් පෙන්නුවා තමන් හොයාගෙන යන්නෙ මේ ආශා ස්කන්ධයේ ගැඹුර කියන එක.
 
 එයා ඊට පස්සෙ ඉතිහාස පොත් පෙළක් ලිව්වා. ඉතිහාස පොත් ලියන විදි දෙකක් තියෙනවා. එකක් තමයි ෆැක්ට්ස් මතු කරන්න ලියන එක. අනික ලයිෆ් මතු කරන්න ලියන එක. 
 
දෙවෙනි එකේදි කෙනෙක් අර ඓතිහාසික කාරණය මිනිස්සුන්ගෙ නිදි යහන දක්වා අරන් එන්න ඕන. පොදු ඉතිහාසයේ පුද්ගලික මොහොත හොයාගෙන යන්න ඕන. මොහාන් ඒ දෙවෙනි වර්ගයේ ලේඛකයෙක්. ඓතිහාසික කාරණා ගැන වගේ වගක් නැති වුනු පුංචි මිනිස්සුන්ගෙ සරම අස්සට ඒවායින් කරපු බලපෑම මොහාන් ලියනවා.
 
එයාගෙ අලුත්ම පොත තමයි අයිඩී. වෙන විදිහකට කිව්වොත් අනන්‍යතාවය. මේක මොහාන් ලියන්නෙ නූතන පරම්පරාව ගැන. හරියටම 77න් පස්සෙ උපන් අපි ගැන. 77 ඉඳන් 2021 වෙනකල් ලංකාවෙ ආදරයේ සහ ලිංගිකත්වයේ පරිණාමය අයිඩී ඇතුලෙ තියෙනවා කියලයි මං කියන්නෙ.
 
අයිඩී ඇතුලෙ කියන්නෙ කොළඹ කතාවක්. ඒක පටන් ගන්නෙ මිනිමැරුමකින්. ඉවර වෙන්නෙ සියදිවි නසාගැනීමකින්. කෙලවර වෙන්නෙ මැරුණු කෙනෙක් නැති තැනකින්. ඒක දිගහැරෙන්නෙ පරිච්ඡේද කීපයක් විදිහට.
 
කතාවෙ පටන් ගැන්ම චිත්‍රපටියක් වගේ. එහාට මෙහාට කැපෙන දර්ශන එක්ක හොලිවුඩ් ක්‍රමේට මුල් විනාඩි දහය ඇතුලෙ මොහාන් ඉන්සයිටින් ඉන්සිඩන්ට් එක ගේනවා. ඒක චරිත සහ පරිසරය එක්ක කරන විශිෂ්ට රූපමය ගොඩනැංවීමක්.
 
වර්තමාන කතාවෙන් පටන් අරන් අපි යනවා අතීත කතාවට. ඒ 77ට කලින් පරම්පරාව. කලුසුදු චිත්‍රපටවලින් ජීවිතය නිර්මාණය කරපු යුගය. මොහාන් ඒකට කියන්නෙ විජය මාලිනී යුගය කියල. ඒ කලුසුදු තිරය තමයි පරමාදර්ශය. පරමානන්දය. විජය මාලිනී ජනප්‍රිය ප්‍රේමය තමයි ප්ලෙතෝනික ප්‍රේමය.
 
118732314 10220186996243251 991317691407214870 n
 
මේ පරිච්ඡේදය එක විදිහකට විජය මාලිනී හොමේජ් එකක් නැත්තං ප්‍රණාමයක් කියලයි මට හිතෙන්නෙ. ඒ තිරයේ පෙම්වතුන් ඇත්ත පෙම්වතුන් බවට රූපාන්තරණය වෙනවා. ඒ අය තමන්ගෙ ඇත්ත නම් අත්ඇරලා තිරයේ නම්වලින් ජීවත් වෙන්න ගන්නවා. ඇත්ත ජීවිතේ තියෙන්නෙ මහ පොලොවෙ නෙමෙයි කලුසුදු තිරය උඩයි කියල විශ්වාස කරනවා. මේ ජනප්‍රිය තිරයේ වීරයන් විසින් ඇත්ත පොලොවේ වීරයන්ට වඩා මිනිස් සදාචාරයක් නිර්මාණය කරනවා. 
 
කලු ජූලියේ කඩ කඩන්න කතා කළාට අපේ කතාවෙ විජයට ආදරය කරන විජය ඒක ප්‍රතික්‍ෂේප කරනවා. එයා කල්පනා කරන්නෙ තිරයේ විජය කිසි දවසක එහෙම දෙයක් කරයිද කියල. සිංහලයේ ඓතිහාසික වීර උරුමයට වඩා ආදරෙන් අපේ කතාවෙ විජය ජනප්‍රිය තිරයේ ප්‍රබන්ධිත මනුස්ස උරුමය වීරත්වයකින් වැළඳගන්නවා.
  
 wijaya
 
ඇත්ත ජීවිතය විසින් මේ අපේ කතාවෙ විජය සහ මාලනීට තිරයේ දකින පරමාදර්ශී ජීවිතය බොහෝ දුරට අහිමි කරනවා. ඒ දෙන්නා පොලොවෙදි අනියම් පෙම්වතුන්. විජය බැඳපු තවත් පවුලක් මහනුවර ඉන්නවා. ඒත් මේ රාජගිරියේ ඔබේසේකර පුර ප්‍රේමයට කසාදය කියන්නෙ බාධාවක් නෙමෙයි. නීතිමය ප්‍රේමයට බැහැර විජයගේ රොමාන්තික ප්‍රේමය විසින් ඇත්තටම කසාද ප්‍රේමයටත් හුස්ම පිඹිනවා.
 
 කසාද ගෑනිගෙ ඇඳුම් විලාසිතා නිර්මාණය වෙන්නෙ අනියම් පෙම්වතිය අතින් ආදරෙන් සහ ගෞරවයෙන්. සම්මතය නොතකා ආදරය කරන පන්නරය තිරයේ පෙම්වතුන් විසින් උන්ට දීලා තියෙනවා.
 
ගොඩක් වෙලාවට අපි කතාවට කියන දෙයක් තමයි 88-89 කාලෙ කොල්ලො කෙල්ලො නන්දා මාලනී වෙනුවට මරියසෙල් ඇහුවා නම් ඔය විදිහට මැරුම් කන එකක් නෑ කියල. ඒක සරලමතික කතාවක් වුනත් ලොකු ඇත්තක්. ඒ ජනප්‍රිය ධාරාව විසින් ලංකාවේ සාම්ප්‍රදායික ග්‍රාමීය වටිනාකම් මත පදනම් වූ වාමාංශික දේශපාලනයට බැහැරින් නාගරික නිදහස් ජීවිතයක ලිබරල් වටිනාකම් පද්ධතියක් හුරුකරමින් තිබුන.
 
රාජගිරියෙ කඩයප්පං කඩේකදි අහම්බෙන් මුනගැහෙන පිරිමියෙක් එක්ක සෙක්ස් කරන ගෑනියෙකුගෙ බඩට දරුවෙක් ආවම අපිට සාහිත්‍ය විසින් නිර්මාණය කරලා දුන්න යතාර්ථයක් තියෙනවා. ඒ තමයි පිරිමියා අතුරුදන් වීම. 
 
ඒත් මොහාන් තමන්ගෙ කතාවෙදි ඒ ග්‍රාමීය චින්තාව වෙනස් කරනවා. අනියම් ප්‍රේමයේදි ලබන නිදහස ඇතුලෙ පිරිමියාට එකක් තෝරාගැනීමේ බලහත්කාරය නැති වෙනවා. ඒ කොළඹ පෙම්වතිය මාලිනී පිරිමියාගෙන් රැකෙන්න බලන් ඉන්න එකියක් නෙමෙයි.
 
මොහාන් පොඩි චරිත වුනත් මතක හිටින ලකුණු ඇතුව නිර්මාණය කරනවා. පොලිස් ස්ථානාධිපති කෙනෙක් ඉන්නවා කිසි තේරුමක් නැතුව වහුතු කියන වචනෙ විසිකරන. ඒක ඒ ස්ථානාධිපතිවරයාගෙ ජීවිතේ ඇතුලෙන් තමන්ටම කියවෙන වචනයක් වගේ එකක්. මේ චරිතෙ ගොඩනැංවීම මං හරි සියුම් වැඩක් විදිහට දකිනවා. 
 
නීතියේ මුහුණුවර විදිහට අරගෙන මොහාන්ට තිබුන ලේසියෙන්ම ඒ චරිතෙ කුණු ගොඩක් කරන්න. ඒත් මොහාන් ඒක කරලා තියෙන විදිහෙන් ඒ කුණු වුනු සිස්ටම් එකේ ගිලෙන නමුත් ඒ කුණු ගඳ දැනෙන එකෙකුගේ තත්වයක් මතුවෙනවා. ඒක ඒ පොලිස් ස්ථානාධිපති ආස්වාද කරන ජීවිතයක් නෙමෙයි. ඒක වහුතු ලෝකෙක වහුතු වැඩක් කරමින් ඉන්න තමන් ගැන ඇතිවෙන වහුතු හැඟීමක් වගේ එකක්.
 
ඒ වගේම කතාව පුරාම අරගෙන යන හාස්‍යමය ටෝන් එකක් තියෙනවා. ත්‍රිලර් ජොන්රා එකේ කතාවක් වුනත් ඒකෙ භයානක දේවල් කොමඩි විදිහට සිද්ද වෙනවා. හරිම සිත්ගන්නාසුලු විදිහට මතුවෙන මැජිකල් රියලිසම් ලකුණු මොහාන්ගෙ කතාවල කොහොමත් හුරුපුරුදුයි. ඒ වගේ අමතක නොවෙන තැන් කීපයක්ම අයිඩී ඇතුලෙ තියෙනවා.
 
අසූ ගනංවල රේඩියෝවෙ අසන්නන්ගේ ඉල්ලීම් යන කාලෙ. පෝස්ට් කාඩ් යවලා නම කියවනකල් රේඩියෝ ඉස්සරහ බලන් ඉන්න සුවහසක් රසික රසිකාවියො. අවුරුදු ගානක් පෝස්ට් කාඩ් යවලත් නම කියවුනේ නැති පද්මිනීගේ නම එක දවසක් රෑක ගුවන්තලයට මුදාහරිනවා. නම කියවෙද්දිම ලයිට් යනවා. ඒ නම කිව්වද නැද්ද කියලවත් නිශ්චිත නැති වෙනවා. ඒ ලයිට් යන ඇසිල්ලෙ පද්මිනීගෙ පීඩොෆයිල් ප්‍රේමයක් දැල්වෙනවා.
 
මොහාන් මේ පද්මිනී කියන අවුරුදු විසි තුනක විතර කෙල්ල එක්ක වෙනම කතන්දරයක් කියනවා. එයා ආදරේ කරන්නෙ ඒ වෙද්දි අවුරුදු දහයක අපේ කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන සම්පත්ට. ඒ ආදරේ තියෙන්නෙ ලයිට් ගියාම විතරයි. තමන්ගෙ නිරුවත් පියයුරුවලින් සම්පත්ව හුස්ම හිරවෙන තරමට තෙරපගෙන ඉන්න එකයි පද්මිනීගේ ආස්වාදය. ඒක පුංචි සම්පත්ගෙයි පද්මිනීගෙයි රහසක්.
 
wallpapers best romantic couple hd 
 
මේ පීඩොෆයිල් කතාවෙ වයස වැඩි චරිතය පිරිමියෙක් වුනා නම් මේක ලේසියෙන්ම බලහත්කාරයක් වෙන්න තිබුන. ඒත් කතාවෙ ස්ත්‍රී පුරුෂ පැත්ත මාරු වුනාම මේකෙ බලහත්කාරය දැනෙන්නෙ සම්පත්ගෙ අම්මා මාලිනීට විතරයි. කියවන අපිට ඒක හුරතල් ප්‍රේමයක් වෙනවා.
 
පද්මිනී වයසින් වැඩෙන ප්‍රේමයකට කැමති නෑ. එයා පූසෙක් හැදුවත් හදන්නෙ මාස තුනයි. ලොකු වුනාම ඌව අයින් කරනවා. ඒ පූස් පැටියෙක් තුරුල් කරගෙන ඉන්න විදිහටම තමයි පද්මිනීට පුංචි සම්පත්ව දැනෙන්නෙ. පීඩොෆීලියාවෙ බලහත්කාරය දූෂනය කියන අර්ථගැන්වීමට පිටින් පවතින ආදරයේ මොහොතක් මොහාන් සලකුණු කරනවා.
 
මාලිනී විශ්වාස කරන්නෙ ඇත්ත ආදරේ කලුසුදුයි කියල. කලර් ෆිල්ම්වල ඇත්ත ප්‍රේමය නෑ කියල. ඒක තමයි විවෘත ආර්තිකයෙ සංස්කෘතික කම්පනය. තමන් විශ්වාස කළ මොකක්දෝ ඇත්තක් එතනින් එහාට නැති වෙනවා. මොකක් හරි මිස් වුනා වගේ හැඟීමක් තියෙනවා. 
 
මාලනීගේ පෙම්වතා විජය ප්‍රේමදාසට වැඩ කරනවා. විජයගේ පරමාදර්ශය වුනු විජය කුමාරතුංග යූඇන්පියෙන් හිරේ දානවා. ප්‍රේමදාසගෙන් කොන්ත්‍රාත් වැඩ ගන්න අපේ රසික විජය, හිරේ ඉන්නෙ විජය වගේ රැවුල වවනවා. නැක්සලයිට් කට් එක.
 
සම්පත් තමයි අපේ පරම්පරාව. පද්මිනීලගෙ ළැමට හුස්ම හිරවුනු පරම්පරාව. අපි ඉස්කෝලෙ කාලෙ අපි නිල් පත්තර බලපු හැටි, මරදානෙ බ්ලූ ෆිල්ම් බලපු හැටි, බ්‍රිස්ටල් බීපු හැටි, හොරෙන් අරක්කු තොලගාපු හැටි අපේ අයිඩී එක විදිහට මොහාන් ලියනවා. ඒ අතරෙ කෙල්ලො දැක්කම කකුල් වෙවුලන ගතිය පවා තියෙනවා. ගැහැණුන්ට බය පිරිමි පරපුරක් 77න් පස්සෙ ආවා කියන එකත් ගැහැණු ලිංගිකව ශක්තිමත් වුනා කියන එකත් මේ පරම්පරාවෙ කතාව ඇතුලෙ සළකුණු වෙනවා.
  
සම්පත් එයාගෙ තැපැල් කන්තෝරුවෙ වැඩ කරන, නිදහස් ලිංගික ජීවිතයක් ගත කරන මංගලාව කසාද බඳිනවා. ඒත් මංගලා කියන්නෙ සම්පත්ගෙ යාලුවෙක් විතරයි. කසාදය කියන්නෙ එයාගෙ අම්මා මාලිනීව අස්වැසීමක් විතරයි. ඒත් මේ සම්පත් මංගලා ප්‍රේමය ඇතුලෙ අපිට ග්‍රීකයො කතා කරන ෆීලියා වර්ගයේ ආදරයක් මුනගැහෙනවා.
 
 අනුරාගයෙන් තොරව මිත්‍රත්වයෙන් ගැඹුරට ගිය නිදහස් ප්‍රේමයක ආකෘතියක් එතන තියෙනවා. කසාදය තවදුරටත් තමන්ගේ අවශ්‍යතාවයක් නොවුනු පරම්පරාවක උපතත් එතන තියෙනවා.
 
තැපැල් කන්තෝරුවෙදි අහම්බෙන් මුනගැහෙන, මහත්තයා රට ඉන්න දිලිනි එක්ක සම්පත්ගෙ ප්‍රේමය තනිකරම රාගී එකක්. නැවත හුස්ම හිරවෙන අන්ධකාරය ඇතුලට සමවදින ඊරොස් වර්ගයේ ප්‍රේමයක්. ඒ ප්‍රේමය එතනින් උමතු ප්‍රේමයක් නැත්තං මේනියා එකක් දක්වා දුරදිග යනවා. සම්පත්ට දිලිනිව අමතක කරන්න බැරි වෙනවා. ඒ ප්‍රේමයෙන් රෝගාතුර වෙනවා. කොටින්ම මේ අනුරාගී ප්‍රේමයේ බිඳවැටීමෙන් සම්පත් මිය යනවා.
 
කවීෂ ඉපදෙන්නෙ එතනින්. කවීෂ කියන්නෙ ඔන්ලයින් ලෝකය එක්ක ගනුදෙනු කරන වර්චුවල් යුගය. සම්පත්ලා ඔන්ලයින් එද්දි කවීෂලා වෙනවා. ෆේස්බුක් යුගයෙදි අනන්‍යතාවය අහෝසි වෙනවා. අපේ සැබෑ අනන්‍යතාවයට වඩා වර්චුවල් අනන්‍යතාවය සැබෑ වෙනවා. ඒ වගේම ඕනතරමක් අනන්‍යතාවයන් එක විට පැවතිය හැකි වෙනවා. ඔරිජිනල් කොපියක් කවුරුවත් හොයන්නෙ නැති යුගයක්.
 
ඉස්සර ලොකු තිරයෙ විජේගෙන් පොලොවෙ ඉන්න සිය දහසක් විජයලා රූපාන්තරණය වෙද්දි දැන් පොලොවෙ පුංචි ස්ක්‍රීන් ඉස්සරහ ඉන්න කවීෂලාගෙන් ඕන තරමක් එකිනෙකට වෙනස් වර්චුවල් ප්‍රතිරූප මැවෙනවා. පැවතීමට අවශ්‍ය එකම සාධකය වෙන්නෙ ෆේස්බුක් මිතුරන් ඉන්න එක විතරයි.
 
මිතුරන් පවතින නිසා මම පවතිමි කියන එකයි සකර්බර්ගියානු තියරිය.
 
කවීෂලාගෙ පරම්පරාවට එද්දි ශරීරය වෙනුවට ස්ක්‍රීන් එක මාරු වෙනවා. ස්පර්ශය තව දුරටත් හමෙන් දැනෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඇසීමෙන් සහ දැකීමෙන් ස්පර්ශය පරදන තරම් පහසක් ලබන්න පුළුවන් වෙනවා. වර්චුවල් අනුරාගය ඉස්සරහ සැබෑ ශරීර අනුරාගය පරදිනවා. මේ වර්චුවල් පරපුරේ අමුතු සුබපැතීමක් තියෙනවා.
ගුඩ් නයිට්. බුදු සරණයි.
 
 
මොහොතකට කලින් කැමරා කාච ඉදිරියේ නිරුවත්ව කළ දීර්ඝ රමණයකින් පස්සෙ ඒ ගොල්ලො එකිනෙකාට සුබපතන්නෙ එහෙමයි. මහින්ද යුගය වෙද්දි ආශාව පවා බෞද්ධ වෙනවා. කිසි ආධ්‍යාත්මික තේරුමකින් තොරව හිස් ආගමික හැඟීමක් මේ පරපුරේ ජීවිතයම ආක්‍රමණය කරනවා. මේ තමයි මහින්ද යුගය. නැවත බුදු දහම ලක්දිවට වැඩි සමය. 
 
මේ පරපුර අද දක්වා දිගුව ඇවිත් අවුරුදු පහලොවක දැරියක් අපයෝජනයෙන් පස්සෙත් ඒ ගොල්ලො බුදු සරණයි කියනවා. මේ වෙද්දි බුදු දහමේ පවා ඔරිජිනල් කොපිය අතුරුදන්. කාටවත් ඒක වැඩක් නෑ.
 
කවීෂ ප්‍රේමයෙන් වෙළෙන්නෙ දිලිනිගෙ දුවත් එක්ක. දිලිනි කියන්නෙ වර්චුවල් කවීෂගෙ ඕෆ්ලයින් පැවැත්ම වුනු සම්පත්ගේ උන්මත්තක ප්‍රේමය. මව සහ දුව කියන දෙන්නා එක්කම යහන්ගත වෙන පෙම්වතෙක් නිර්මාණය වෙනවා. මේක එක විදිහකට ඉන්සෙස්ට් ප්‍රේමයක්. 
 
ඒත් මොහාන් කතාවට එන්නෙ පෙම්වතාගෙ පැත්තෙන් මිස සදාචාරය පැත්තෙන් නෙමෙයි. අපි දකින්නෙ සම්පත්ගෙ හිතේ තියෙන සදා නොමැකෙන දිලිනි පිළිබඳ භක්තිවන්ත ප්‍රේමයමයි. එයාගෙ දුව වුනු නදී ආකර්ශා තුලිනුත් කවීෂ යළි ඉපදී ඇවිත් හොයන්නෙ දිලිනිමයි.
 
මේ කිසි සම්බන්ධයක් ඇතුලෙදි මොහාන් වරදකාරීත්වයක් අරගෙන එන්නෙ නෑ. මේ චරිත කොයිතරම් අසම්මත තහනම් ප්‍රේම කලාපයන් මතින් ගියත් ඒ අය කරන්නෙ වරදක් කියන සදාචාර හැඟීමෙන් පෙළෙන දුර්වලයින් අයිඩී පොතේ නෑ. ඒ වෙනුවට තමන් ආශා කරන දේ ඒ අය හඹාගෙන යනවා. අත්පත් කරගැනීම් සහ අහිමිවීම් අතර සැනහෙනවා. 
 
මේ විදිහෙ වරදකාරීත්වයක් මතුකරන එකම තැන වෙන්නෙ දිලිනිගේ මරණය විතරයි. නැවත සාම්ප්‍රදායික පවුල ඇතුලට ගිය දිලිනි ආපහු නදීගෙ ලෝකෙදි සම්පත්ට මුනගැහෙන්නෙ අම්මා කෙනෙක් විදිහට. ඉස්සර තමන්ව තාප්පෙට තද කරගන්න රාගයෙන් මුසපත් ගැහැණිය විදිහට නෙමෙයි. 
 
මාලිනීට පද්මිනීගේ ආදරය වෙනුවට අපචාරයක් පෙනුනා වගේම දිලිනිට කවීෂගෙ ආදරය වෙනුවට දරාගත නොහැකි අපචාරයක් පේන්න ගන්නවා. ඇය ඒ සදාචාරය වෙනුවෙන් දිවි නසාගන්නවා.
 
ඒත් මරණයට මොහොතකට පෙර ඇය නැවත සම්පත්ගේ ප්‍රේමය සිහිකැඳවනවා.
 
මේ පොත පුරාම ඉන්න ගැහැණු ශක්තිමත්. ඒ අය තමන් කැමති හැමදෙයක්ම කරනවා. පිරිමින්ව පොළඹවාගන්නවා. ඕන වෙලාවට අතෑරලා දානවා. ඇත්තටම පොතේ පිරිමි සෑහෙන දුර්වලයි. මොහාන් චරිත ගොඩනැංවීමේදී ස්ත්‍රීවාදී නැඹුරුවක් අරගෙන තියෙනවා. නිදහස හොයන, යටහත් නොවෙන, පිරිමි උස්සලා පොලොවෙ ගහන ගෑනු තමයි අයිඩී පොතේ ඉන්නෙ. පරණ ගැහැණියගේ අනන්‍යතාවය මාරු වෙලා තියෙනවා.
  
ඒ වගේම මොනොගමික පවුලට විරුද්ධවත් මොහාන්ගෙ චරිත සටන් කරනවා. පැවතිය හැකි විවිධාකාර සම්බන්ධතා රටාවන් මතු කරනවා. සාම්ප්‍රදායික පවුල හැමවිටම අසමත් තැනක් වෙනවා. ආශාව පවතින්නෙ ඊට පිටතින් . ඉතිහාසයක් පුරා දරාගත් පවුලේ බරෙන් මිනිස්සු නිදහස් වෙන කාලයක් විදිහට මොහාන් මේ පරිච්ඡේදය සළකුණු කරනවා.
 
සැබෑ පෙම්වතුන් වෙසෙන්නේ එක ඇඳක එක නිවසක නොවේ. ඔවුන් ඉන්නෙ සමහර විට ග්‍රහලෝක දෙකක කියල මොහාන් කියනවා.
 
AAAABXDHnSFXINxkGMUiQKhGoEgqbNosK12C4gzJ5F83Bho mY1tTmFwHbkIHlBa5jjOWBSUgXwuxQnVOhbG0h mf QjFjfG 
 
ව්‍යභිචාරී ප්‍රේමයේ ඛේදවාචකයෙන් කවීෂ කම්පනය වෙනවා. එයාව මරාගෙන අර බුදු සරණයි කොටන දහම් මතුවෙනවා. දහම් සදාචාරයේ සිංහල බෞද්ධකමේ නියෝජිතයෙක් වෙනවා. ප්‍රේමයෙන් පරාජිත වෙලා දහම හොයාගෙන යන අතීත මොඩලය මේ වෙද්දි පවතින්නෙ නෑ. 
 
දහම වෙනුවට ව්‍යාපාරික මහණුන් පිරිසක් තමයි ඉන්නෙ. ඒ අය වහුතු පොලිසිය එක්ක ළඟින් වහුතු සදාචාරය ආරක්ෂා කරන්න කැපවෙනවා. මේ පොලිසියේ සදාචාර ආතතිය එක තැනක ලස්සනට මතුවෙනවා.
 
ගෙදර පරීක්ෂා කරන්න එන පොලිස් නිලධාරිනියො නදීගේ බ්‍රා ඇද ඇද බලන අතර ඒවා ඉරනවා. පියයුරු වහන්න මේ තරම් සුකුරුත්තං මොකටද කියල ඉරිසියා කරනවා. ඒ ඉරිසියාව සදාචාර නීතියේ වේශයෙන් ඇවිත් මිනිස්සුන්ගෙ නිදහසට කෙලිනවා.
 
 monk2 
 
දහම හොයාගෙන යන දහම්ට වෙන්නෙත් දිවි නසාගන්න. දහම තරම් කෙළෙසුනු බිමක් තවත් නැති වෙනවා. ඒ තමයි 2021 ලංකාව. දහම් දිවිනසාගත්තට පස්සෙ කවීෂ ආපහු ඉපදෙනවා. ඒ කවීෂ පිටිපස්සෙ දහම් ඉන්නවද, සම්පත් ඉන්නවද, ඒ කවුරුවත්ම නැද්ද කියල අපි දන්නෙ නෑ. ඒත් නදී එක්ක තිබුනු ආදරය විතරක් තියෙනවා. අනන්‍යතාවය නැති වුනත් ආදරය තිබුනම මදිද?
 
පොතේ ආරම්භයේදී තියෙන කතාව විසිරුවා හකුළුවා ගන්න ප්‍රාතිහාර්යමය ගතිය මැද හරියෙදි තරමක් ගිලිහෙනවා කියල මට හිතුන. අන්තර්ජාල යුගයත් එක්ක අපි කතාව ඇතුලෙ දකින ලෝකය පටුවේගෙන යනවා. සම්බන්ධතා කීපයකට විතරක් සීමා වෙනවා. ඒ හින්දම විජය මාලිනී කතාව තරම් විසිරුනු පැතිරුනු සෞන්දර්යයක් අපිට අහිමි වෙනවා කියල මට දැනුන. එහෙම වෙද්දි ඒ චරිත වෙනුවට සිදුවීම් මූලික වෙන්න ගන්නවා. වාර්තාමය තැනකට එනවා.
 
අයිඩී කියන්නෙ තව පැත්තකින් මොහාන්ගෙ අයිඩී එක මාරුවෙන තැනකුත් වෙනවා. මෙච්චර කාලයක් අතීතයේ ඉතිහාසය ලියමින් හිටපු මොහාන් වර්තමානයේ ඉතිහාසය ලියන්න පටන්ගන්නවා. එයා ඒකට තෝර ගන්නෙ ස්ක්‍රීන් එකේ වෙනස් වීම. ලොකු තිරය උඩ ඉඳන් අපේ අත උඩ තිරය දක්වා ලංකාවේ ජීවිතය පැමිනීමේ කතාව අයිඩී කියල ලියනවා. 
 
අපි විසින් නරඹන ලොකු තිරය වෙනුවට එකවිට අපි සහ අපිව නරඹන තිරය දක්වා ගමෙනදි අපේ ආදරයේ සහ අපේ අනුරාගයේ අනන්‍යතාවය මාරු වීම ත්‍රිලර් එකක්ද නැත්තං ඇඬෙන කොමඩියක්ද කියල මොහාන් අහනවා.
 
 
Chintha 21(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
(facultyofsex.com)
 

 


THE LEADER TV 
 
 

ජනපති, මිනිපිරිය බලන්න ඇමරිකාවට! 

 

පියුමි නිසා සරත්ට වෙච්ච දෙයක් !

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58