ජාත්‍යන්තර වශයෙන් පවා ඇගයිමට ලක් වූ, ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ නිධානය කෙටිකතාව රචනා කකරන ලද්දේ මෙරට සිටි ප්රමුඛ පෙළේ
කෙටිකතා රචකයෙකු වූ ජී. බී. සේනානායක විසිනි.
ඔහු සිය නිර්මාණ දිවිය තුළ දී: දුප්පතුන් නැති ලෝකය, පළි ගැනීම, මිතුරිය, ඈත බැලුම, ගමන, නැටුම, රූපිකා, මංමුළාව, ලේඛකයා සහ කාන්ති යන කෙටිකතා සංග්‍රහ දහය ප්‍රකාශයට පත් කර ඇත.
ජී. බී. සේනානායක
මීට අමතරව හෙතෙම: වරදත්ත, මේධා, චාරුමුඛ, අවරගිර, රළ බිඳුම, මල පුඩුව, කැකෑරිල්ල, ජල ගැල්ම, බැඳුම, රුව, උරගල, මුදුපාණී, කෙලෙස් සයුර, එකට එක, මණිකේතු , රම්‍යා, දෙපොට, ලොකු කුමාරිහාමි යන නවකතා ඇතුළු තවත් විවිධ විෂයවලට අදාළ කෘති බොහෝ ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇත.
ඔහුගේ කෙටිකතා අතර එන ‘‘වෙසක් පහන’’ නමැති කෙටිකතාව මේ වන විට අපොස උසස් පෙළ විභාගය සඳහා නිර්දිෂ්ට කෙටිකතාවකි. අදාළ කෙටිකතාව අන්තර්ගත වන්නේ ‘‘දුප්පතුන් නැති ලෝකය’’ කෙටිකතා සංග්‍රහයේ වන අතර අද ලිපියට බඳුන් වන්නේ මෙම කෙටිකතාව ඇසුරෙන් ප්‍රති නිර්මාණය කළ ශ්‍රව්‍ය දෘශය නිර්මාණයක් පිළිබඳව ය.
ජනක මහබෙල්ලන
වෙසක් පහන කෙටිකතාව ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කළ ‘‘වෙසක් පහන’’ ශ්‍රව්‍ය දෘශය නිර්මාණය ප්‍රේක්ෂක ප්‍රජාව වෙත රැගෙන එන්නේ: කවියකු, වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු සහ සිංහල අක්ෂර රටාවේ නවීකරණය (සමරූපීකරණය) පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන ජනක මහබෙල්ලන ය.
වෙසක් පහන ඔහුගේ ප්‍රථම ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණය යි. එසේ වුව ද එය හුදෙක් ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණකරුවකුගේ ප්‍රථම නිර්මාණය යැයි ප්‍රේක්ෂකයාට කිසි සේත් ම නොදැනෙන්නේ ය. ඒ අන් කිසිවක් නොව කවියට මතු නොව ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ කෙරෙහි ද ජනක මහබෙල්ලන දක්වන සමත්කම ප්‍රකට කිරීම ය.
කතා සාරාංශය:
පළමුවෙන් මෙම නිර්මාණයේ වස්තු විෂය පිළිබඳ අවබෝධය යොමු කරමු. සැබැවින් ම ජී. බී. සේනානායකගේ බොහෝ කෙටිකතාවල මෙන් ම මෙම කෙටිකතාවේ ද වස්තු විෂය ඉතා සරල සුගම ආකාරයක් පෙන්නුම් කරයි.
කෙටිකතාකරුවා සිය නිර්මාණය සඳහා ප්රස්තුත කරගන්නේ මධ්‍යම පාන්තික ගැමි පවුලක වැඩිමහල් පිරිමි දරුවා වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් කූඩුවක් නිර්මාණය කිරීම, එය ආලෝකමත් කළ මොහොතේ ම දැවී යාම සහ එම ගින්න හේතුවෙන් එම පවුලේ වැඩිමල් දරුවා පිළිස්සී ම ය. නමුදු එයින් ඔබ්බට ගිය යම් සිද්ධි මාලාවක් මෙම නිර්මාණයේ අන්තර්ගතව පවතී. එය මෙසේ නම් කළ හැකි ය.
# ළමා ලෝකයේ හැලහැප්පිම්
# ඔවුන්ගේ ලෝකය පිරිසිදු යැයි හැඳින්වුව ද එය එසේ ම නොවන බව
# ඔවුනතින් අත්වැරැදීමක් වූ පසු ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය
# මෙලොව පවත්නා සියල්ලෙහි ඇති අනිත්‍යතාව
# ජීවිත ගමනේදී මුහුණ පාන්නට වන බාධක කිසිවකින් පසුබට නොවිය යුතු බව
ජී. බී. සේනානායක මෙම කෙටිකතාව රචනා කර ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙනි. ජනක සිය ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයේ දී ද කෙටිකතාව කියවෙන ආකාරයෙන් ම (පසුබිම් කථනය තුළින්) එය පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට සමත්ව ඇත.
පළමු රූපරාමුව ප්‍රේක්ෂකයාට සමීප වන්නට ප්‍රථම කතාවේ ආරම්භය පසුබිමෙන් (අඳුරු තිරයට ඔබ්බෙන්) කථනය වන අතර ඊට අදාළ ශබ්ද ද පසුබිමෙන් ඇසෙන්නට සලසා ඇත. එවිට කිසිදු රූප රාමුවක් නොතිබුණ ද ප්‍රේක්ෂක ප්‍රජාවගේ මනසේ අදාළ රූපරාමුව චිත්රණය වීම නිරායාසයෙන් ම සිදුවන්නේ ය.
‘‘අයියා උණ කැබැල්ලක් ගෙනවුත් පහනෙහි මැද කූඩුව සාදන්නට වූවා. ඔහු, ගෙයි කැම කන සාලයේ බිම කඩදාසියක් එළා හිඳගෙන උණ කැබැල්ල පළා සිහින් කැබලිවලට ඉරුවා.’’
යට සඳහන් දෙබස් ඛණ්ඩය පසුබිමෙන් ඇසෙන විට කිසිදු රූපරාමුවක් තිරයේ දිස් නොවේ. නමුදු ඒ හා සමගාමීව ම උණ පතුරු පළන හඬත්, කැබලිවලට ඉරණ හඬත් ප්‍රේක්ෂක ප්‍රජාවගේ සවනට ඇසේ. එවිට යට සදහන් කළ පරිදි අදාළ රූප මාලාව ප්‍රේක්ෂක මනසේ චිත්රණය වන්නේ ය. සමස්ත නිර්මාණය පුරා ම මෙබඳු අවස්ථා කිහිපයක් ම දක්නට ඇත.
ළමා අවධියේ ගති සිරිත්:
මා මෙන් ම ඔබටත් අපගේ කුඩා අවධිය මතකයේ පවතී නම් එකල කිසියම් පවුලක වැඩිමහල් දරුවා (විශේෂයෙන් ම පිරිමි දරුවා) මෙබඳු අවස්ථාවල ප්‍රධානත්වය අසුලන අතර ඔහුට බාල සොයුරෙක් හෝ සොයුරියක සිටීනම් ඔවුන් බොහෝ විට කරන්නේ වැඩිමහල් සොයුරා කූඩුව සාදන ආකාරය බලා සිටීම ය. ඒ අතරතුර ඔවුන් දෙදෙනා අතර විහිළුවට ම මෙන් ම සැබැවට ද යම් යම් ආකාරයේ ගැටුම් හටගනී.
පාඨක ප්‍රජාවගේ සිත් ඇදගන්නා ආකාරයට කෙටිකතාකරුවා පවසන, ඉදිරිපත් කරන එබඳු අවස්ථා ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණකරුවා ද ඉතා ළගන්නා ආකාරයෙන් ඉදිරිපත් කිරීමට සමත්ව ඇත. එහි දී මෙම ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයේ සංස්කරණය වඩාත් පිටුබලයක් සපයා ඇත.
එකල වෙසක් කූඩුවක් නිර්මාණය කරනවා යනු නිවසක සහෝදර සහෝදරයන් අතර පවත්නා එකමුතුභාවය ද පෙන්නුම් කරන්නකි. බොහෝ අවස්ථාවල දී කුඩා ම සොයුරු සොයුරියන් හැරුණු විට වැඩිමහල් දරුවාට ආසන්න වයසේ සිටින දරුවෝ ද අදාළ කාර්ය කෙරෙහි උනන්දුව දක්වති. කෙටිකතාකරුවා එකී තත්ත්වය වදන්වලින් පවසා ඇත. ඒ කූඩුව වටා බීක්කු අලවන ආකාරය පිළිබිඹු කරමිනි.
‘‘කූඩුවල කඩදාසි ඇලවීමෙන් පසු එහි බීක්කු ඇලවීම ආරම්භ කළා.’’
අනතුරුව කෙටිකතාකරුවා ‘‘බීක්කු’’ නිම කරගන්නා ආකාරය වදන්වලින් පාඨක මනසේ චිත්රණය කරයි. එකී සිද්ධි ඉතා මැනවින් ප්‍රේක්ෂක ප්‍රජාව වෙත සමීප කරවන්නට මහබෙල්ලන රූප රාමු මෙන් ම පසුබිම් කථනය ද උපස්තම්භක කරගෙන ඇත. විශේෂයෙන් ම ‘‘බීක්කු’’ කපාගන්නා ආකාරය කෙසේ ද යන්න පිළිබද අවබෝධයක් කුඩා දරුවන්ට ලබා දෙන්නට ඔහු සමත්ව ඇත.
‘‘බීක්කු හදන්නේ හතරැස් කොට කැපූ කුඩා කඩදාසිවල කොන් දෙකක් නවා එක්කළ තැන කුඩා සරුවපිත්තල කැබැල්ලක් ඇලවීමෙන්’’
අතිතයේ මෙන් නොව වර්තමානයේ නාගරිකව සහ නගරාසන්න බොහෝ පෙදෙස්වල වෙසක් මෙන් ම පොසොන් සමයේ දී අදාළ උත්සවය අලංකාර කරන වෙසක් කූඩු තම නිවසේ දී නිම කර නොගනී. ඒ වෙනුවට වර්තමානයේ බොහෝ විට සිදුවන්නේ බට පතුරු හෝ උණ පතුරුවලින් නිමවා ඇති වෙසක් පහන් කූඩුවල සැකිල්ල හෝ සියලු සැරසිලිවලින් සමන්විත වෙසක් පහන් කූඩු මුදලට ලබාගැනීම ය.
එබඳු සමාජයක වෙසෙන දරුවන් මෙවන් නිර්මාණයක් නරඹන්නේ නම් වෙසක් කූඩුවක් නිමවාගන්නේ කෙසේ ද යන්න සහ එය නිවසේ දී නිමවා ගන්නා විට කෙතරම් සුන්දර ද යන්න පවා අවබෝධ කරගනු නියත ය.
යට තැනෙක සදහන් කළ පරිදි කුඩා දරුවන්ගේ සිත් පිරිසිදු යැයි පැවසුව ද ඔවුන් තුළ ද ඇතැම් අවස්ථාවල ඊර්ෂ්‍යාව හටගන්නා බවත්, එකී ඊර්ෂ්‍යාව හේතුවෙන් බාල හෝ වැඩිමහල් සොයුරා හෝ සොයුරිය අපහසුතාවට පත් කරන අවස්ථා පවතී. ඔබ ද මම ද එවන් අවස්ථාවලට මුහුණ පා ඇතිවාට කිසිදු සැකයක් නොපවතී.
‘‘නංගී සන්ධ්‍යාවෙහි: මුහුණ සෝදා, එහි පියරු තවරාගෙන, වටේ රැලි ඇල්ලූ අලුත් ගවුමක් හැඳ, බීක්කු සෑදීමට මා අසලින් ඉඳගත්තා. ඇගේ අලුත් ගවුම දැක මා තුළ උපන් ඊර්ෂ්‍යාවක් නිසාදෝ ඇය කෝප කරවීමට මට හිතුණා.’’
ළමා ලෝකයේ වුව ද පවත්නා මෙවන් අවස්ථා මගහැර, එහි සුන්දරත්වය පමණක් ම නිර්මාණ තුළින් ඉදිරිපත් කිරීම හුදු මවාපෑමක් පමණි. ජී. බී. සේනානායක එය ඉතා මැනවින් අවබෝධ කරගෙන සිටින්නට ඇත. ඔහු සිය නිර්මාණයේ දී එවන් අවස්ථාවල පවත්නා යථා ස්වභාවය මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්නට ඇත්තේ එබැවින් විය හැකි ය. ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණකරුවා ද එය තමාගේ මාධ්‍ය තුළින් ඉතා සුන්දර ලෙස ප්‍රේක්ෂක ප්‍රජාව වෙත ඉදිරිපත් කර ඇත.
කුඩා දරුවන් තුළ මේ ආකාරයට හටගන්නා ගැටුම් සමනය කිරීම සඳහා දෙමාපියන් බොහෝ විට ක්‍රියාත්මක වන්නේ එක් පාර්ශවයකට දඬුවම් කිරීමෙනි. මගේ පුද්ගලික අදහස නම් එසේ නොකළ යුතු ය යනුන ය. මන් ද ඔවුන් තුළ එකී ගැටුමේ උණුසුම පවතින්නේ ඉතා මඳ කාලයකි. ඉක්බිති ඔවුහු යළි පෙර සේ ම සිය කටයුතුවල නියැළෙති.
දෙවන සොයුරා මවගේ දඬුවමකට ලක්ව හඬමින් සිටින මොහොතේ නැගණිය පැමිණ ඔහු අස්වසාලන ආකාරයත්, එම අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා ඉතා සතුටෙන් යළි අත්වැල් බැදගෙන, වැඩ නිම කරමින් පවතින වෙසක් පහන නැරඹීම සදහා පිටත්ව යන දර්ශනයත් එයට කදිම නිදසුනකි.
එහෙත් එකමුතුව විඳින්නට ආ එම සතුට ඒ කුඩා දරුවන්ට අහිමිවන්නේ ය. ඒ, වැඩිමහල් සොයුරාගේ ආධිපත්‍ය මුදා හැරීම හේතුවෙනි.
‘‘මඩුවෙහි ලන්තෑරුමක් එල්ලාගෙන දෙවන රාත්‍රියෙහි ද අයියා පහන සෑදූ නමුත් අපිට මඩුවට යාමට ඉඩ දුන්නේ නෑ. අපි නින්දට යන විටත් අයියා මඩුවෙහි පහන සෑදීමෙහි යෙදී සිටියා.’’
පවුලේ වැඩැමහල් සොයුරාගේ මෙකී ආධිපත්‍ය හේතුවෙන් බාල සොයුරා සහ සොයුරිය හට යළි කූඩුව නිමවනවා දැක බලා ගැනීමට අවසර නොලැබුණ ද, නිදිමත දැනෙන තෙක් ම කාමරය තුළ සිට අයියා කූඩුව නිම කරන ආකාරය බලා සිටි අන්දමත් අනතුරුව නින්දට යන අන්දමත් ප්‍රේක්ෂකයාගේ මනසට ගෙන එන්නේ ශෝකාකූල බවකි.
නිර්මාණ ද්වයේ ද්විමානත්වය:
කෙටිකතාකරුවාගේ සිය මනසේ චිත්රණය වන වෙසක් පහනේ අසිරිය ඔහු පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කරන්නේ තමා සතු වාග් කෝෂය උපස්තම්භක කරගනිමිනි.
‘‘දිලිහෙන සරුවපිත්තල කැබලිවලිනුත්, හුළං වැද සර සර යන හඬ නගමින්, ඔවුනොවුන් වැලඳගන්නා සුදු කඩදාසි පටිවලිනුත් යුතු විශාල පහන පැටවුන් විසින් වටකරන ලද විශාල සුදු පක්ෂි ධේනුවක් වැන්නයි මට සිතුණා.’’
මෙහි දී කෙටිකතාකරුවා යොදන ‘‘සුදු පක්ෂි ධේනුවක් වැනි’’ යන උපමාව සාක්ෂාත් කරන්නට ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණකරුවා අපමණ වෙහෙසක් දරා ඇත.
එම අවස්ථාව මා හට සිහිපත් කළේ: එක් සකුරා මල් පිපෙන සමයක රූගත කිරීම් කර අවසන් කළ නොහැකි වූ සිනමා නිර්මාණයක ඉතිරි අඩ නිම කිරීමට තවත් වසරක් ඉවසීමෙන් බලා සිටි අකිර කුරසාවා ය.
ජනක මහබෙල්ලන වසරක් බලා නොසිටිය ද මෙතරම් විශාල කූඩුවක් නිර්මාණය කිරීම අරඹා අවසන එය ගසක එල්ලන අවස්ථාව දක්වා ගතවන කාලය ද අවම දෙසතියක් පමණ වෙතැයි අනුමාන කළ හැකි ය.
එතෙක් වෙසක් කුඩුවේ වැඩ නිමකිරීම කිසිවකුට හෝ පවරන නිර්මාණකරුවා එම කාලය තුළ කෙතරම් ඉවසීමකින් සිටින්නට ඇති ද? ජී. බී. සේනානායකගේ වදන්වලින් මනසේ මවාගත් චිත්තරූප ඒ ආකාරයෙන් ම ප්‍රේක්ෂකයා ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට පිටුබලය සපයන්නේ ද එකී ඉවසීමේ ගුණාංගය ම නොවන්නේ ද?
ජීවිතයේ සියලු බලාපොරොත්තු එක් නිමේෂයකින් සුනු විසුනු වන්නේ අප කිසිවකු නොසිතන මොහොතක ය. වෙසක් පහන ගිනිගන්නේ මෙකී යථාරථය පසක් කරමින් නොවේ ද? එමෙන් ම මේ අවස්ථාවේ දී දෙමාපියන් ද ඉතා කල්පනාකාරිව කටයුතු කළ යුතු බව මතු දැක්වෙන දෙබස් කාණ්ඩය තුළින් පිළිබිඹු කෙරේ.
‘‘පහනට ගිනි ඇවිළුණේ මගේ අතින් බව අම්මා දත් නමුත් ඇය මට බැන්ණෙ නෑ. මට සිතෙන්නේ ඇය එසේ නොකළේ බියපත් වී සිටින මා තවත් බියගැන්වීම නුසුදුසු යැයි සිතූ හෙයින් විය යුතුයි.’’
ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණකරුවා යනු කිසියම් රූප රාමුවකින්, දෙබස් කණ්ඩයකින් මතු නොව අතිරේක හඬවලින් පවා ප්‍රේක්ෂක මනස එකවිට ම ඇද බැද තැබීමේ සමත්කම් දක්වන පුද්ගලයෙකු විය යුතු ය. මෙකී සමත්කම ඉතා මැනවින් දක්වන්නට ජනක මහබෙල්ලනට හැකි බව ස්ඵුට කෙරෙන අවස්ථාවක් ලෙස මෙම තත්පර කිහිපය හැඳින්විය හැකි ය.
අදාළ දෙබස් කණ්ඩය අවසන්වනවාත් සමග ම වෙසක් පහන නිවී යන ආකාරය තිරයේ දිස්වන අතර ම කරත්තයක් ගමන් කරන හඬ ද පසුබිමෙන් ඇසේ. එවිට වෙසක් පහනේ ගින්නෙන් පිළිස්සුණු අයියා රෝහලට රැගෙන යන බව ප්‍රේක්ෂක ප්‍රජාවගේ මනසේ චිත්රණය වන්නේ නිරායාසයෙනි.
ළමා මනසේ සිතුවිලි
මෙවන් මොහොතක ළමා මනස ඉතාමත් කලබලකාරි ය. ඔවුන්ගේ සිතුවිලි ධාරා ගමන් කරන්නේ ඉතා වේගයෙනි. එකී වේගය කෙතරම් ද යන්න කෙටිකතාකරුවා වාක්‍ය කිහිපයකින් ගම්‍ය කරයි.
‘‘දොස්තර ගෙදර යැයි ගම් වැසියන් කියන ඇපොතිකර ගෙදර පිහිටියේ අපේ ගෙදරින් හැතැක්ම දෙකකට පමණ ඈතිනි. එහි ගොස් ඒමට සාමාන්‍යෙයන් පැයකට වඩා නොයතත් පැය ගණනක් ගතවුවාක් මෙන් මට දැනෙනවා.’’
පසුබිමෙන් මෙම වාක්‍ය ඛන්ඩය කියවෙන අතර ම පන්සලේ හේවිසි නාදය ද, යළි කරත්තය පැමිණෙන හඬ ද දරුවාගේ මතු නොව ප්‍රේක්ෂක ප්‍රජාවගේ මනසේ ද ඇතිකරවන්නේ ව්‍යාකුලත්වයකි. එය වඩාත් තහවුරු කෙරෙන්නේ පසුබිමෙන් ඇසෙන මෙම දෙබස් කාණ්ඩය යි.
‘‘අයියා මිය යන්නට ඇතැයි යන බිය කරත්තය ළංවත් ම මගේ සිත තුළ දියුණු විය. එකත් එකට ම අයියගෙ මළකඳ තමයි කරත්තෙන් ඔය ගේනව ඇත්තෙ.’’
දරුවා එසේ සිතුව ද එබඳු සිද්ධියක් සැබැවින් ම සිදු නොවී ඇති බව ඉඟි කරන්නට නිර්මාණකරුවා ඉතා දක්ෂ ශිල්පිය ක්‍රමයක් උපස්තම්භක කරගෙන ඇත.
කිසියම් මරණයක් සංකේතවත් කිරීම සදහා මෙවන් අවස්ථාවක උපස්තම්භක කරගන්නේ මළ බෙර නාදය වුව ද මෙහි දී නිර්මාණකරුවා උපස්තම්භක කරගන්නේ පන්සලේ හේවිසි නාදය යි. එය ද පසුබිම් කථනය ආරම්භයේ මන්දගාමිව ද කරත්තය නිවසට ආසන්න වෙත් වෙත් ම එය වේගවත් වී අවසන් කිරීම එහි සංකේතාත්මකභාවය වඩාත් තීව්ර කර ඇත.
ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණය අවසානයේ ද කිසියම් ඉඟියක් සැපයේ. මතු දැක්වෙන්නේ එකි ඉඟිය සාක්ශාත් කෙරෙන දෙබස් කණ්ඩය යි.
‘‘මල්ලී... මල්ලි... කූඩුව පිළිස්සුණාට අඬන්න එපා. අපි එන අවුරුද්දෙ ඔයිටත් වඩා ලොකු කුඩුවක් හදමු.’’
ජීවිත ගමනේ දී හමුවන අනේක විධ බාධක කම්කටොලු සියල්ල අනාගතය ශක්තිමත් කරගැනීම සඳහා උත්තේජනයක් සපයන බව මෙම දෙබස්කණ්ඩය තුලින් ඉඟි කෙරේ.
යට සඳහන් කළ කරුණු සියල්ල ‘‘වෙසක් පහන’’ කෙටිකතාව සහ එය ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කළ ‘‘වෙසක් පහන’’ ඒකාංගික ටෙලි නිර්මාණය යන නිර්මාන ද්වය ම සමපාත ලෙස කළ විමසුමකි. මෙබඳු ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ අවැසිවන්නේ මන්ද යන්න පිළිබඳව දැන් මදක් විමසා බලමු.
මෙම කෙටිකතාව අපොස උසස් පෙළ සිංහල විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති බව ලිපිය ආරම්භයේ දී පැවසී ය. අදාළ සාහිත්‍ය නිර්මාණය තුළින් විශද කෙරෙන සෞන්දර්ය, වීරත්වය, කරුණාව, බිය මෙන් ම ශාන්තභාවය සිසුන්ගේ මනස තුළ වඩාත් ආකර්ෂණිය ආකාරයෙන් තැන්පත් කරවන්නට මෙවන් නිර්මාණ අවැසි ය.
එහි දී කතාවට සවන් දීමෙන් ලබන ආශ්වාදය සහ දැනුම අභිභවන ආශ්වාදයක් සහ දැනුමක් සිසු දරු දැරියන්ට ලැබෙන බව නිසැක ය. ඉදින් හුදෙක් කෙටිකතාව, කවිය හෝ නවකතාව කියවීමෙන් පමණක් සෑහීමකට පත්නොවී දරුවන් වෙත අදාළ නිර්මාණය වඩ වඩාත් සමීප කරවන්නට මෙවන් නිර්මාණ වඩ වඩාත් අවැසි බව අවධාරණය කළ යුතු ය.
ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
(2021/09/12)
ජයසිරිගේ සිනමා විචාර කිහිපයක් :
THE LEADER TV
අන්ඩර්වෙයා තහනම ද්‍රවශිලතාවය ද?
වැරදුණු වහසි ප්‍රලාපයේ වන්දිය කාටද?