කිසියම් සාහිත්‍ය කලා නිර්මාණයක්: කියවීමෙන්, සවන් දීමෙන් හෝ නැරඹීමෙන් ඉක්බිති එකී නිර්මාණය: කියවූ, සවන් දුන් හෝ නැරඹූ පුද්ගලයා අදාළ

නිර්මාණය: කියවීමට, සවන් දීමට හෝ නැරඹීමට පෙර සිටි පුද්ගලයා ම වන්නේ නම් ඔහු හෝ ඇය අදාළ සාහිත්‍ය නිර්මාණය ගැඹුරින් විඳි පුද්ගලයෙකු විය යුතු ය.

එසේත් නොමැති නම් අදාළ සාහිත්‍ය කලා නිර්මාණය කිසිදු ගැඹුරක් නොමැති හුදු මතුපිටින් අත ගෑ නිර්මාණයක් විය යුතු ය.

මන් ද කියවන්නා, සවන් දෙන්නා හෝ නරඹන්නා එතෙක් සිටි ස්ථානයෙන් මඳක් හෝ ඔසවා තැබීමට හෝ අදාළ නිර්මාණය පිළිබඳ වතාවක් දෙවතාවක් නොව කිහිප වතාවක් ම සිතන්නට නොපෙලඹෙන්නේ නම්; අවම වශයෙන් ‘‘මට නං ඔය කෙහෙල් මලේ මෙලෝ දානයක් තේරෙන්නෙ නෑ’’ යැයි පවසන්නට හෝ නොපෙලඹෙන්නේ නම් අදාළ නිර්මාණය සාර්ථක නිරමාණයක් විය නොහැකි ය.

තත්ත්තවය එසේ වුව ද සම්පූර්ණයෙන් ම සාර්ථක යැයි කිව නොහැකි, නමුදු කිසියම් පාර්ශ්වයක සාර්ථකත්වයක් අත්පත් කරගන්නා නිර්මාණ ද නැතුවා නොවේ. එකී සාර්ථක අසාර්ථක බව රඳා පවත්නේ ද අදාළ නිර්මාණය කියවන, අසන හෝ නරඹන පුද්ගලයාගේ නැණ පමණ අනුව ය.

මෙහි දී ‘‘නිර්මාණය කියවීම’’ යනු ද සුවිශේෂ ය. එනම් කිසියම් නිර්මාණයක් මතුපිටින් කියවීම, සවන් දීම හෝ නැරඹීම සහ ‘‘නිර්මාණය කියවීම’’ යනු එකම සංසිද්ධියක් නොවන බැවිනි.අද ලිපියෙන් ඉදිරිපත් කරන්නට යත්න දරන්නේ ද එබඳු නිර්මාණයක් පිළිබඳව ය. ඒ, විපුල සුමනසේකරගේ ‘‘සිටුකුලයේ ප්‍රේමයක්’’ කෙටිකතා සංග්‍රහයේ අන්තර්ගත ‘අපේ කාලයේ පෙම් පුවතක්’ කෙටිකතාව ඇසුරෙන් අනුරුද්ධ ජයසිංහ තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ‘‘එක දවසක අපි’’ සිනමා නිර්මාණය පිළිබඳව ය.



Eka Dawasaka Api | (එක දවසක අපි)

කෙටිකතාව කියවා නොමැති බැවින් සාහිත්‍ය නිර්මාණය සහ සිනමා නිර්මාණය පිළිබඳ සංසන්දනාත්මක විවරණයක් කළ නොහැකි වුව ද අනුමාන කළ හැකි යමක් පවතී. එනම් කෙටිකතාකරුවා සිය නිර්මාණය ඉදිරිපත් කර ඇත්තේ කිසිදු ගැඹුරු නිර්මාණාවේශයකින් නොවන බවයි.

සිනමාකරුවා ද කෙටිකතාකරුවාගේ ඉදිරිපත් කිරීම අභිභවන්නට අසමත්ව ඇත. ඔහු ද සිදු කර ඇත්තේ කෙටි කතාව සේ ම අදාළ ප්‍රස්තුථය පිළිබඳ මතුපිටින් අත-පත ගෑම පමණි.

අධ්‍යක්ෂවරයා අවම වශයෙන්: ජී. බී. සේනානායක විසින් රචිත ‘‘නිධානය’’ කෙටිකතාව ඇසුරින් ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කළ ‘‘නිධානය’’ සිනමා නිර්මාණය හෝ ඇරැව්වල නන්දිමිත්‍ර විසින් රචිත ‘‘ස්ත්‍රී’’ කෙටිකතාව ඇසුරෙන් මාලනී ෆොන්සේකා නිර්මාණය කළ ‘‘ස්ත්‍රී’’ සිනමා නිර්මාණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළේ නම් කෙටිකතාවට පාදක කරගත් අනුභූතිය වඩාත් ඔප්නංවන්නට හැකියාව පැවතිණ. නමුදු අධ්‍යක්ෂකවරයා එහි දී අසමත්ව ඇත.

කෙසේ නමුදු මෙම සිනමා නිර්මාණය තුළින් මෙරට මෙතෙක් නොවිසුඳුණ මෙන් ම අනාගතයේ දී විසඳෙතැයි විශ්වාස කළ නොහැකි සමාජ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව ම ඉඟි සැපයේ.


01.  ආදරය සහ ලිංගිකත්වය
02.  දුප්පත් පොහොසත් සහ කුල භේදය නමැති පංති පරතරය
03.  සාම්ප්‍රදායිකත්වය අභිභවන්නට අසමත් දෙමාපියන්
04.  තමන්ට අවැසි ලෝකය දරුවන් විසින් ගොඩනංවනු ඇතැයි විශ්වාස කරන දෙමාපියන්
05.  සිය දිවි නසාගන්නා හේතු
06.  දෙමාපියන් වෙනුවෙන් තම ආදරවන්තිය බිල්ලට දෙන පෙම්වතුන් (මෙබඳු පෙම්වතියෝ ද සිටිති)


(01) - ආදරය සහ ලිංගිකත්වය:

 

පුරුෂයෙකු කාන්තාවක කෙරෙහි හෝ කාන්තාවක පුරුෂයෙකු කෙරෙහි ආසක්ත වන්නේ ‘‘ආදරය’’ නමැති ප්‍රපංචය පෙරදැරි කරගෙන නොව ‘‘ආසාව’’ නමැති ප්‍රපංචය පෙරදැරිව බව මීට පෙර ද අනන්තවත් ලියා ඇත.

 

මෙම සිනමා නිර්මාණයේ ද විමුක්ති (පුබුදු චතුරංග) පාරමී (නයනතාරා වික්‍රමආරච්චි) කෙරෙහි ආසක්ත වන්නේ ද ඇය සතුව පවත්නා කිසියම් වටිනාකමක් පිළිබද ආසක්තභාවයෙනි. ඒ, ඇය සතුව පැවති ගායන හැකියාව ය.

විශ්වවිද්‍යාලයට පැමිණි පාරමී ඇතුළු නවක සිසු සිසුවියෝ නවක වදයට (මේ සඳහා සභ්‍ය වදනක් ලෙස ragg යන්න භාවිතා කෙරේ) පාත්‍ර වන සමයේ දී විමුක්ති විසින් කිසියම් පදරචනයක් (කවියක් යැයි හඳුන්වනු ලබන) පාරමී අතට පත් කර එය ගීතයක් ලෙස ගායනා කරන්නැයි ඇගෙන් ඉල්ලා සිටී. එහි දී විමුක්තිගේ අභිමානය බිඳ හෙළමින් පාරමී එකී පද රචනය ළයාන්විත ගායනයක් ලෙස ඉදිරිපත් කරන්නී ය. විමුක්ති පළමුවෙන් ම පාරමී කෙරෙහි ආසක්ත වන්නේ ඇය සතුව පැවති ගායන හැකියාවට ය. පසුව ආදරයක් බවට පත්වන්නේ එකී ආසක්තභාවය යි.

ආදරයේ අග්‍ර පලය ලිංගිකත්වය යන්න පිළිබඳව ද නොයෙක් අවස්ථාවල ලියා ඇත. එහෙත් තමන් ආදරය කළ තරුණිය සමග නීත්‍යනුකුලව විවාහ ගිවිස ගන්නට (නීත්‍යනුකුලව විවාහය යන්න වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි) පෙර ඇය ගැබිනියක් බවට පත්කරන්නට තරම් එම තරුණයා අදූරදර්ශී වන්නේ නම් ඔහු සැබැවින් ම ඇයට ආදරය කළා ද යන්න ගැටලුවකි.

විවාහයට පෙර ආදරයේ අග්‍ර පලය වන ලිංගික සම්භෝගය විඳීම පිළිබඳ විවේචනයක් ඉදිරිපත් කරන්නට තරම් මුග්ධ නොවිය යුතු අතර ම යට කී පරිදි පෙම්වතිය ගැබ් ගැනීම දක්වා එය වර්ධනය කිරීම සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කිරීමට කිසිසේත් ම මැළි නොවිය යුතු ය ඒ, ආදරය සහ ලිංගිකත්වය පිළිබඳ සාම්ප්‍රදායික මතය බැහැර කළ යුතු බැවිනි.

පාරමීගේ සමාජ තත්ත්වය සහ පංතිමය වටපිටාව පිළිබඳ ඉතා හොඳින් ම දන්නා විමුක්ති ඊටත් වඩා හොඳින් ඔහුගේ දෙමාපියන්ගේ සමාජ තත්ත්වය, පංතිමය තත්ත්වය සහ ඔවුන් ඉහළින් ම අගයනා කුල ගෞරවය පිළිබඳ දැනුවත් ය. එවන් වටපිටාවක් තුළ ඔහුට පාරමි සමග විවාහ විය හැකි ද නොහැකි ද යන්න පවා අවිනිශ්චිතය. ඒ සියල්ල පිළිබඳ අවබෝධයෙන් පසුවන ඔහු පාරමී කෙරෙහි සැබෑ ආදරයක් දැක්වූයේ නම්, ඇය ගැබිනියක කිරීම මතු නොව ගැහැනියක කිරීම පවා අයුක්තිසහගත ය; අසාධාරණ ය.

තනි අතින් අත්පුඩි ගැසිය නොහැකි යැයි මෙහිදී අනෙකා (සමාජය ද ඇතුළුව) ප්‍රශ්න කළ හැකි ය. එහෙත් කාන්තාවක් ආදරය වෙනුවෙන් කළ හැකි උපරිම පරිත්‍යාගය වන සිය ශරීරය පූජා කිරීම දුර්ලබ සිද්ධියක් නොවේ. මෙය බහුතරයක් කාන්තාවන් අත්විදින ඛේදවාචකයකි. මෙහි දී විරෝධය පළ කළ යුත්තේ විමුක්ති වෙත ය. ඒ: ඔහු ආදරය, ලිංගිකතත්වය සහ ඔහුගේ සහ අගේ සමාජ තත්ත්වය පිළිබඳ පවත්නා යථාව අවබෝධ කර නොගැනීම හේතුවෙනි.


(02) - දුප්පත් පොහොසත් සහ කුල භේදය නමැති පංති පරතරය:


මෙරට කුල ක්‍රමය පිළිබඳ විමසා බැලීමේ දී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ ඈත අතීතයේ (වැඩවසම් මෙන් ම රාජාණ්ඩු සමයේ) දී එක් එක් පුද්ගලයෝ නිරත වී සිටි රැකියාව අනුව ඔවුන් කුළ වශයෙන් බෙදා වෙන් කළ බවයි. එනම් එකල ගොවිතැන් කළ පිරිස ගොවිගම වශයෙන් ද මුහුදු රැකියාව කළ අය කරාව වශයෙන් ද, රා මැදි අය දුරාව වශයෙන් ද, බෙර වැයූ අය නැකති හෝ බෙරවා වශයෙන් ද, වෙනත් විවිධ රැකියාවල නියුතු පිරිස ඒ ඒ රැකියාවට අනුව නාමකරණයට ලක් කර ඇති බවයි.

මෙහි දී වඩාත් ම උත්ප්‍රාසය දනවන්නේ ‘‘මොකද්ද ඒ කෙල්ලගෙ තාත්තගෙ රස්සාව...?’’ යැයි  විමුක්තිගේ මව (විණා ජයකොඩි) විමසන මොහොතේ විමුක්ති ‘‘එයාගෙ තාත්ත වැඩ කරල තියෙන්නෙ දළදා මාලිගාවෙ’’ යැයි කියූ සැණින් ‘‘දළදා මාලිගාවෙ...! මොකද්ද...?’’ යැයි විමතියෙන් මෙන් විමසා. ‘‘බෙර ගහන එක’’ විමුක්ති පැවසූ සැණින් ම විමුකතිගේ මවට ‘‘ආහ්...’’ යැයි කියවීම ය.

මේ කුලමානයෙන් හිස උදුම්මාගත් බොහෝ අයට වරදින තැනකි. එනම් යම් විදියකින් පාරමීගේ පියා දළදා මාලිගාවේ ‘‘සළු වඩන නිලමේ’’ හෝ ‘‘දිය වඩන නිලමේ’’ තනතුරක් දැරුවේ නම් එය මහත් අභිමානයට කරුණක් ලෙස සලකන බැවිනි.


නමුදු මේ මාන්නක්කාර පිරිස නොදන්නා රහස නම් ‘‘සළු වඩන නිලමේ’’ රජුගේ ඇඳුම් පැලඳුම් සපයන්නා මෙන් ම රජුට ඇඳුම් අන්දන්නා බවත්, ‘‘දිය වඩන නිලමේ’’ යනු රජුගේ අවශ්‍යතාව සඳහා (වැසිකිළි කැසිකිළි යනාදියේ සිට ස්නානය දක්වා) වතුර සැපයූ සපයන්නා බවත් ය. ඒ අනුව ගත් විට මේ රැකියා දෙවර්ගයට ම වඩා මාලිගාවේ බෙර වයන්නාගේ රැකියාව නම්බුකාර ය; ගරු ගාම්භීර ය. මන්ද ඔහු රජුට පක්කිලි මෙහෙය සයන්නකු නොවේ. ඔහුගේ සේවාව සැපයෙන්නේ බුදුන් වෙනුවෙනි. නමුදු සමාජ සම්මතයට අනුව රජුට පක්කිලි සේවාව සැපයූ පිරිස උසස් ලෙසත්, බුදුන් වහනසේ වෙනුවෙන්: උන්වහන්සේගේ වත් පිළිවෙත් වෙනුවෙන් තේවාව සපයන පිරිස පහත් ලෙසත් සැලකේ. මෙය ඔවුනොවුන්ගේ වාසිය වෙනුවෙන් ම සකසා ගත් පිළිවෙතකි.


එකී පිළිවෙත අනුව නම් පාරමීගේ පියා පහත් යැයි සම්මත වී තිබේ. එහෙත් සැබැවින් ම නම් එසේ සම්මත විය යුත්තේ නිලමෙවරු මිස පෙරහැරේ රඟන්නා හෝ වයන්නා නොවේ.


(03) - සාම්ප්‍රදායිකත්වය අභිභවන්නට අසමත් දෙමාපියන්:


විමුක්තිගේ මව, වැඩිමහල් සොයුරිය මතු නොව මෙරට වෙසෙන (ඉන්දියාවේ ද මෙය දැඩි ලෙස ව්‍යාප්තව පවතී) බොහෝ මව්වරු, පියවරු, වැඩිමහල් හෝ බාල සොයුරු සොයුරියෝ දරන්නේ මෙබඳු ස්ථාවර ය. මෙවන් ආකල්ප තුළ මතුපිටින් දක්නට ලැබෙන්නේ තම දරුවාට යහපතක් කිරීම ය. නමුදු දරුවාගේ සියලු යහපත රඳාපවත්නේ මුදල් මත හෝ කුල අභිමානය මත පමණක් නොව අධ්‍යාත්මික සුවය මත බව මේ කිසිදු පාර්ශ්වයක් විසින් අවධානය යොමු නොකරනු ලබයි.

ඔවුන්ට අනුව වැඩවසම් සහ රාජාණ්ඩු සමයේ මෙන් ම හේන කුලය යැයි හඳුන්වන පරම්පරාවේ සියලු දෙනා ම විශ්වය පවතින තාක් එම රැකියාවේ ම නියුතු විය යුතු ය. අනෙක් රැකියාවල නියුතු පරම්පරාවල දරු දැරියන්ගේ තත්ත්වය ද එලෙස ම ය.

 

මේ වන විට කුල භේදය තුරන් වී ඇතැයි සැලකුව ද මංගල දැන්වීම් තීරයේ සිට ඡන්දය සඳහා නාම යෝජනා බාරදෙන අවස්ථාව දක්වා මේ වන විට ද කුල භේදය පවතී. රාජ්‍ය නායකයා තෝරා පත්කරගන්නා විට ද මෙය බලපවතින බව දැන් රහසක් නොවේ. මෙය සමානාත්මතා පදනම රැක ගත යුතු යැයි පාරම්බාන දේශපාලන පක්ෂ විසින් ද අනුගනය කිරීම කෙතරම් හාස්‍ය ජනක ද...?

 

එය තහවුරු කරගැනීමට නම් එදා මෙදා තුර ඒ ඒ පළාත්වල මහජන ඡන්දය සඳහා ඉදිරිපත් වී ඇති සහ ජයග්‍රහණය කර ඇති පුද්ගලයන්ගේ නාම ලේඛනය පිරික්සා කර බැලිය යුතු ය. උසස් යැයි සම්මත කුලවල පිරිස් මතු නොව පහත් යැයි සලකන කුලවල පිරිස් ද බලාපොරොත්තු වන්නේ තමන් පාලනය කළ යුත්තේ උසස් යැයි සම්මත කුලවල පිරිස් බව ය.


(04) - තමන්ට අවැසි ලෝකය දරුවන් විසින් ගොඩනංවනු ඇතැයි විශ්වාස කරන දෙමාපියන්:

 

දරුවන්ගේ යහපත වෙනුවෙන් දෙමාපියෝ වෙහෙසිය යුතු ය. එය ඔවුන්ගේ වගකීමකි. එහෙත් දෙමාපියන්ට සුපරාගත නොහැකි වූ ඉලක්ක කෙරෙහි දරුවන් යොමු කිරීම සාධාරණීකරණය කළ නොහැකි ය. එමෙන් ම තම තමන්ගේ වත්කම් ඉහළ නංවාගැනීම සඳහා උපකාරි වන ආකාරයේ විවාහයකට එළඹෙන්නැයි දරුවන්ට බලපැම් කිරීම ද අසාධාරණ ය.



විමුක්තිගේ මව සහ වැඩිමහල් සොයුරිය ද එවැන්නියෝ වෙති. පාරමී පිළිබඳ විමුක්තිගෙන් විස්තර විමසන අවස්ථාවේ ඔහුගේ වැඩිමහල් සොයුරිය (මේධා ජයරත්න) ‘‘ඔය කිව්වට පාරමීලගෙ අම්මලට හොඳ දේපළක් එහෙම ඇති නෙහ්’’ යැයි විමසන්නී එබැවිනි.

පාරමි පිළිබද සියලු තතු අවබෝධ කරගැනීමෙන් ඉක්බිති එතැනින් ඉවත්ව යන විමුක්තිගේ මව ඉනික්බිති පවසන දෑ සියල්ල තිරයේ පසුබිමින් ඇසෙන්නට සලස්වා ඇත.

එහි ගැබ්ව පවතින්නේ ද යට කී සිද්ධි තව දුරටත් තහවුරු කිරීම ය. එතුළ පවතින්නේ තර්ජනාත්මක බවකි; තවකෙකුට නිගා කිරීමකි. ඇයට අනුව පාරමී යනු ‘‘කොහෙවත් යන එකියකි’’ නමුදු ඔවුන් යෝජනා කර තිබෙන නිෂූ නම් තරුණිය (ඩිස්නි රාජපක්ෂ) ඔවුන්ට අනුව විමුක්තිට පෑහෙන්නියකි. ඒ අන් කිසිවක් නිසා නොව ඇය ඔවුන්ට ගැළපේ ය යන සමාජ තත්ත්ව සියල්ල සපුරා ඇති බැවිනි.


(05) - සිය දිවි නසාගන්නා හේතු

 

සිය දිවි නසාගැනීම (suicide) සිදුකරගන්නා අවස්ථා විවිධ ය. බොහෝ විට මෙය සිදුවන්නේ ආත්මාභිමානය උදෙසා ය. ගොවි ජනතාව වස බී සිය දිවි හානි කරගැනීම, ඇතැම් මවක් හෝ පියෙක් සිය දරුවන් රක්ෂා කිරීමට නොහැකිව දරුවන් ද ඝාතනය කර තමුන් ද දිවි හානි කර ගැනීම යනු බොහෝ විට ආත්මාභිමානය හේතුවෙන් කරගන්නා දිවි නසාගැනීමකි.


පෙම්වතා හෝ පෙම්වතිය හැර යාම හේතුවෙන් දිවි නසාගැනීම, ආදරවන්තයාට හෝ ආදරවන්තියට අනෙකාගේ දෙමාපියන් අකමැති වීම හේතුවෙන් දිවි නසාගැනීම යනාදිය හුදෙක් ආත්මාර්ථකාමි හෝ අනෙකාට (සමාජයට) මුහුණ දීමට ඇති නොහැකියාව සහ හිත් වේදනාව දරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් කරගන්නා දිවි නසාගැනීමකි.

මෙම ක්‍රමවේද ද්විත්වයට ම අමතරව හුදු පුද්ගලික අරමුණු අභිභවූ පොදු අරමුණු වෙනුවෙන් දිවි නසාගන්නා පිරිස් ද සිටිති. මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ බෝම්බකාරයන් ඊට කදිම නිදසුනකි.

එමෙන් ම තමන් විශ්වාස කරන දේශපාලන මතය වෙනුවෙන් තමන්ගේ දිවි පුද කළ පිරිස් ද සිටිති. විශේෂයෙන් ම ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ පිරිස් එවන් අය වෙති. ඔවුන් සියතින් දිවි තොර කර නොගත්ත ද ඔවුන්ගේ ජීවිතය පුදා ඇත්තේ තමන් විශ්වාස කරන දේශපාලන මතය වෙනුවෙනි.



‘‘එක දවසක අපි’’ සිනමා නිර්මාණයේ අවසන විමුක්ති සහ පාරමී ඔවුනොවුන්ගේ දිවි තොර කරගන්නට තීරණය කරන්නේ ඔවුන්ට විවාහ වන්නට හැකි වාතාවරණයක් නොපවතින බැවිනි. එනම් එය පුද්ගලික අරමුණකි; එසේ වුව ද එයට වග කිව යුත්තේ සමාජ සම්මතය නම් වූ මිථ්‍යාව ය.

 කෙසේ වෙතත් සිය දිවි නසාගැනීම යනු ඉතා බැරූම් කර්තවයකි; එය ක්ෂණික තීරණයකි. නමුදු දින, සති, මාස මතු නොව වසර ගණනක් සැලසුම් කර දිවි නසාගන්නෝ ද සිටිති. ක්ෂණිකව තීරණය කර දිවිනසාගන්නට පෙලඹෙන අය ඉතා සුළු මොහොතකින් ඇති වන වෙනසකින් ඔවුන්ගේ තීරණය වෙනස් කළ ද සැලසුම් කර දිවිනසාගන්නා අය එයින් වළකාලීම අසීරු ය.

විමුක්ති සහ පාරමී අයත්වන්නේ ඒ වර්ගයට ය. මන් ද ඔවුන් සිය දිවි නසාගන්නට යන අතර මග දී හමුවන පිරිස සමග ඉතා සුහදව කතා බස් කරන, ඔවුන් සමග විනෝද වන දෙපළ යළි තමන්ගේ තීරණය කරා එළඹෙති. මෙය ඉතා අසීරු අවස්ථාවකි. එහෙත් අවසන සිදුවන සිදුවීම ප්‍රේක්ෂක ප්‍රජාව වෙනස් ම මානයක් කරා රැගෙන යන්නට සමත් වන්නේ ය.


(06) - දෙමාපියන් වෙනුවෙන් තම ආදරවන්තිය බිල්ලට දෙන පෙම්වතුන්


පාරමී සහ විමුක්ති යන දෙදෙනා අතුරෙන් සිය දිවි නසාගැනීම සඳහා හදවතට එකගව සුදානම් වන්නේ පාරමී පමණි. එහි දී විමුක්ති යනු දරුණු පාවා දෙන්නෙක් බව පසක් කෙරේ. එනම් පළමුව තමන් සතු සියලු පැලඳුම් ගලවා පසෙක තබන්නී පාරමී ය. විමුක්ති එසේ සිදු කරන්නේ දෙවනුව ය.

එමෙන් ම දෙදෙනා අත්වැල් පටලාගෙන ලෝකාන්තයෙන් පහළට පනින්නට සැරසුණ ද විමුක්ති පාරමීගේ අත තදින් අල්ලා ගන්නවා වෙනුවට අත ලිහිල් කරයි. එවිට පළමුව හෙලට වැටෙන්නේ පාරමී ය. විමුක්තිගේ නිරුවත හෙළිවන්නේ එවිට ය. ඒ පාරමි හෙල වැටීමෙන් පසු ඔහු ‘‘අම්මේ... අම්මේ... අම්මෙ මං එනවා...’’ යැයි පැවසීමෙනි.

සැබැවින්ම සිය දිවි නසාගැනීමේ අදහසක් විමුක්ති තුළ නොතිබුණු බව මේ අවස්ථාවේ දකිත හැකි ය; ඔහුගේ බලාපොරොත්තුව නැවත මව සොයා ගොස් ඇගේ සිහිනය සැබෑ කරවීම ය. ඔහු ආපසු යාමට සුදානම් වන්නේ ද පාරමී සහ ඔහු ගලවා තැබූ සතු සියලු දෑ හෙල පහළට විසි කිරීමෙන් අනතුරුව ය.

නමුදු ඔහු නොසිතූ යමක් හේතුවෙන් ඔහුට එම තීරණය වෙනස් කිරීමට සිදුවන්නේ ය. ඒ, පාරමී සිය දිවි නසාගන්නා බවට සිය යෙහෙළියක වන දෙව්මි නමැත්තියට යවා ඇති කෙටි පණිවිඩය ඇගේ ජංගම දුරකතනයේ සටහන් වී තිබෙනු දැකීමෙනි. එම පණිවිඩය හොඳින් කියවු පසු විමුක්ති පවසන්නේ ‘‘අම්මෙ... මට ආයෙ එන්න වෙන්නෑ,’’ යනුවෙනි. මන්ද ඒ වන විට ඔවුන් දෙදෙනා ම සිය දිවි නසාගැනීමට ගිය බව රහසක් නොවන බැවිනි.


එම පණිවිඩය නොතිබෙන්නට කුමක් සිදුවේ ද...? එනම් විමුක්ති යනු සැබෑ ප්‍රේමවන්තයෙක් ද...? ආදරය හඳුනන්නෙක් ද...? ආදරය කළ හැකි පුද්ගලයෙක් ද...?



විමුක්ති පහළට පනින ආකාරය නොපෙන්වුව ද අධ්‍යක්ෂකවරයා එය සංකේතාත්මකව ඉදිරිපත් කර ඇත. නම් මළ බෙර වැයුමක් පසුබිමින් ඇසීමට සැලැස්වීමෙනි.

මෙම නිර්මාණය සඳහා තිර රචකයාගේ පරිකල්පනය ද මුසු කළේ නම් මෙය මීට වඩා සාර්ථක නිර්මාණයක් වන්නට ඉඩ තිබිණ. යට කී පරිදි ඔහු කෙටිකතාකරුවා අභිභවන්නට සමත් වී නැත.



jayasiri 04 e1619629387941
 
ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2021/12/11



ජයසිරිගේ සිනමා විචාර කිහිපයක් :


සිනමා : ගාමිණී ෆොන්සේකා, 71 කැරැල්ල සහ 'පවන රළු විය' -ජයසිරි අලවත්ත

 
 
 
 
 
 
 
 
 
 

THE  LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්න


THE  LEADER  TV
 
 
 

 පුපුරුවාගෙන ආ එවුන් පුපුරුවාගෙන වැනසෙයි ! | මොණරවිලගේ ලියමන

 

 

පවුලේ අවුලක්! | Gossip

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්