ආශාවේ ගැලිලා - තණ්හාවේ බැඳිලා
සුන්දර සිරියෙන් – ගින්දර අවුලා
ජීවිතය ම දැවිලා යනවා
තන්හා . . . තන්හා . . . තන්හා
ලස්සන ඔපයට රැවටී රැවටී
ගැස්සෙන හදකින් දැවටී දැවටී
හැමදා සිටිය නොහේ
රැවටිලි රැහැන් ලිහේ
සැබෑ ලොවට පිටුපාලා යන්නෝ
අසාර මරු කතරක තනි වෙන්නෝ
දැහැමින් සිහිල ගෙනේ
ජීවන සහන දැනේ
තන්හා . . . තන්හා . . . තන්හා
මෙම ගීතය අන්තර්ගතවන්නේ ජෝ මයිකල් අධ්‍යක්ෂණය කළ ‘‘කරාටේ ජෝ’’ සිනමා නිර්මාණයේ ය. මෙය රචනා කරනු ලැබ ඇත්තේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ විසිනි. සංගීතය නිර්මාණය ලයනල් රංවල ගෙනි. ගායනය පණ්ඩිත් ඩබ්ලියු. ඩී. අමරදේව ය. ඔහු විසින් ම ගයන ලද ‘‘තන්හා ආශා ඔළගු කරේ ලා’’ යන ගීතය තුළින් ද ප්‍රකට කෙරෙන්නේ තන්හාව හේතුවෙන් මිනිසා වෙත ලැබෙන අනිටු විපාක පිළිබඳව ය.
අද ලිපියේ ආරම්භය සඳහා මෙම ගීතය ගෙනහැර දැක්වූයේ ‘‘තන්හා ආශා’’ ගීතය බොහෝ සෙයින් අසා ඇති බැවින් සහ මෙම ගීයෙහි අරුත ඊටත් වඩා ගැඹුරු යැයි හැඟෙන බැවිනි. නමුදු ලිපියේ මුඛ්‍ය පරමාර්ථය මෙම ගීත දෙක පිළිබඳ විවරණයක් සැපයීම නොවේ; ගීතයට ප්රස්තුත වන මාතෘකාව හා සබැඳි ටෙලි නිර්මාණයක් පිළිබඳ විවරණයක යෙදීමට ය.
මිනිස් ජීවියෙකු ලෙස උපත ලබන අපි උපදින විට කිසිවක් ම රැගෙන නාව ද, උප්පත්තියේ සිට කිසියම් කාලසීමාවක් දක්වා දෙමාපියන්ගෙන් යැපුණ ද එතැන් සිට තම පැවැත්ම උදෙසා අවශ්‍ය විවිධ දෑ සපයාගත යුතු ය; ඒ සියලු දෑ සපයාගැනීමට නම් මුදල් සරි කළ යුතු ය.
එසේ මුදල් සරි කරගැනීම උදෙසා විවිධ පුද්ගලයෝ විවිධ ක්‍රම භාවිතා කරති. ඒ අතර: රැකියාවක නිරත වීම, වෙළදාමේ යෙදීම හෝ වෙනත් ව්‍යාපාරයක (වැවිලි කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, පතල් කර්මාන්තය හෝ වෙනත් කර්මාන්ත) නියැළීම මෙන් ම ඇතැම් පුද්ගලයෝ වැඩි වැඩියෙන් ඉපයීම සඳහා නීති විරෝධී කටයුතුවල ද නියැළෙති. එකී නීති විරෝධී කටයුතුවල නියැළෙන්නෝ අවධානය යොමු කරන්නේ මුදල් පිළිබඳව පමණ ම ය; මුදල් සරි කිරීම වෙනුවෙන් ඔවුහු මිනිස් ජීවිත පවා බිලිගැනීමට පසුබට නොවෙති.
මේබඳ පුද්ගලයන් අතුරෙන් ඉතා ම සුළු ප්‍රමාණයක් නීතියේ රැහැනට කොටු වුව ද බොහෝ පිරිස් නිතියට වැලි ගසා, නීතියේ පවත්නා හිඩැස් තුළින් රිංගා ඔවුනොවුන්ගේ කූට ජාවාරම්වල යෙදෙති. වෙසෙසින් ම ලංකාව බඳු රටක නම් වඩ වඩාත් සුරැකෙන්නේ කූට ව්‍යාපාරවල නියැළෙන්නෝ ම ය. ඇතැම් විටෙක නීතියේ රැහැනට හසු වුව ද එසේ හසුවන්නේ එකී කූට ව්‍යාපාරයේ මහ මොළකරුවන් නොව කූණිස්සන් සහ හාල්මැස්සන් ය.
තවත් පසෙකින ගත් විට මුදල් පසුපස හඹා යන ඇතැම් පුද්ගලයෝ මිරිඟුවක් පසුපස හඹා ගිය මුවෙකුගේ තත්ත්වයට පත්වෙති. කෙතරම් කරුණු පැහැදිලි කළ ද ඔහු හෝ ඇය හඹා යන්නේ මිරිඟුවක් පසුපස යැයි පිළිගන්නට ඔවුන් සූදානම් නොමැත. එවන් පුද්ගලයන්ගේ ජීවිතය කෙළවර වන්නේ මරණය වැලඳගෙන හෝ නීතියේ රැහැනට හසුවෙමිනි.
ජාතක කතා සංග්‍රහයේ සිට මේ දක්වා නිර්මාණය වී ඇති සෑම සියලු කලාංගයක් තුළින් ම පාහේ මෙකී ඛේද ජනක තත්ත්වය කෙතරම් නම් පැහැදිලි කර දී ඇති ද? එබඳු ප්රස්තුත සහිත නිර්මාණ මේ වන විට ද කෙතරම් බිහි වී තිබේ ද? අනාගතයේ තව කෙතරම් බිහි වේ ද? ඒ කුමක් සිදු වුව ද විශ්වය පවතින තාක් එකි චක්‍රය නිරන්තරයෙන් ම භ්‍රමණය වන බව නම් සක් සුදක් සේ පැහැදිලි ය.
සුසිරන් ද සිල්වා ගේ තිර රචනයකට අනුව විජිත මංජුල සිංහපෘථිවි අධ්‍යක්ෂණය කළ ‘‘මිණි කිරණ’’ ටෙලි නිර්මාණය තුළ අන්තර්ගත වන්නේ ද යට කී ආකාරයේ ‘‘තන්හාව’’ පෙර දැරි කරගත් මිනිස් ජීවින් කිහිප දෙනෙකු මුහුණ දෙන ඛේද ජනක සිද්දි සමූහයකි. මෙම ටෙලි නිර්මාණයේ විශ්ෂත්වය වන්නේ එහි කතා සංකල්පය යි.
කතා සංකල්පය:
ටෙලි නිර්මාණයක් විකාශනය වීමට පෙර පවත්වන හඳුන්වා දීමේ වැඩසටහන්වල දී ‘‘මේක මම රඟපාපු නිර්මාණ අතරින් විශේෂ නිර්මාණයක්’’ යැයි බොහෝ නළු නිළියන් පැවසුව ද එය සියයට සියයක් ම සත්‍ය නොවන අවස්ථා අපට අනන්තවත් හමු වී තිබේ.
නමුදු ‘‘මිණි කිරණ’’ ටෙලි නිර්මාණයට දායක වූ නළු නිළියන් අතුරෙන් කිසිවකු එසේ පැවසුවේ නම් එය සත්‍යයක් යැයි විශ්වාස කළ හැකි ය. මන් ද මෙම නිර්මාණය නැරඹීමේ දී එළඹෙන රූප රාමුවක් රාමුවක් පාසා ප්‍රේක්ෂකයාගේ කුතුහලය වර්ධනය කරන බැවිනි.
ඒ කෙසේ ද යන්න විග්රහ කිරීම මේ මොහොතේ නොකළ යුතු යැයි මගේ හැඟීම ය. මන් ද එසේ කළ හොත් එය මෙතෙක් මෙම නිර්මාණය නරඹා නොමැති ප්‍රේක්ෂක ප්‍රජාවට කරන අසාධාරණයකි. මන් ද ඔවුන් එකී කුතුහලය අත්විඳිය යුතු ය. ඒ සඳහා ඔවුන් මෙම නිර්මාණය නැරඹිය යුතු ය; ඉක්බිති ඔවුන්ගේ අදහස් සමාජ ගත කළ යුතු ය. නිර්මාණයේ හරය වඩාත් කතාබහට ලක්වන්නේ ඉනික්බිති ය. එසේ නොමැතිව මෙම ලිපිය තුළින් කතා සාරාංශය ගෙන හැර දැක්වුවහොත් ප්‍රේක්ෂක වින්දනයට බාධා පැමිණෙන්නට පිළිවන.
නළු නිළියන්ගේ වගකීම:
බෙහෝ ටෙලි නිර්මාණ මෙන් ම මෙම නිර්මාණයේ ද අඩුලුහුඬුතා නැතුවා ද නොවේ. ඒ අතුරෙන් නළු නිළියන්ගේ රංගන පරාසය සුවශේෂ ය. නිර්මාණයට දායක කරගත් නළු නිළියන් අතුරෙන්: සරත් කොතලාවල, සම්පත් ජයවීර, සුරාජ් මාපා, උදය කුමාරි රණසිංහ, වසන්ත කුමාරසිරි සහ රිචඩ් අබේවර්ධන ඔවුනොවුන්ගේ වගකීම මැනවින් ඉටු කර ඇති අතර අනෙක් නළු නිළියන්ගේ රංගනය එතරම් උසස් මට්ටමක නොපවතී.
එමෙන් ම නිළියන් කිහිප දෙනෙකුගේ රඟපෑම හුදෙක් දෙබස් උච්චාරණයට පමණක් ම සීමා වී ඇත. ඒ, නිර්මාණයට දායක කරගත් නවක නිළියන් විය හැකි ය. එහෙත් අධ්‍යක්ෂකවරයා කිසියම් උත්සාහයක නියැළුණේ නම් එම නිළියන්ගේ දක්ෂතා උකහා ගත හැකිව තිබිණ. ඇතැම් විට අධ්යක්ෂවරයා එහි දී අසමත්වන්නට ඇත්තේ ඔහුගේ දුර්වලතාවකින් නොව අදාළ නිළියන්ගේ ම දුර්වලතාවකින් විය හැකි ය.
මන් ද මෙම ක්ෂේත්රයේ පවතින තත්ත්වය අනුව ඇතැම් විට නිෂ්පාදකවරයාගේ හෝ වෙනත් පුද්ගලයෙකුගේ මැදිහත්වීම මත තෝරාගන්නා නළු නිළියන් හැසිරවීම පවා අධ්‍යක්ෂකවරයාට නොහැකි වූ අවස්ථා අපි අනන්තවත් අත්විඳ ඇත්තෙමු. මෙම නිර්මාණයේ ද එබඳු තත්ත්වයක් පැවතියා ද යන්න සැක සහිත ය.
තිර රචනයේ දුර්වලතා:
අපි මෙතෙක් නරඹා ඇති බොහෝ නිර්මාණවල මෙන් ම මෙම නිර්මාණයේ ද තිර රචනයේ කුඩා දුර්වලතා දක්නට ඇත. එය අභව්‍ය අවස්ථා යැයි සඳහන් කළ නොහැකි වුව ද එහි පවත්නා දුර්වලතාව ඉතා මැනවින් දක්නට හැකි ය.
උදාහරණයක් දෙකක් දක්වන්නේ නම්: කෝටි පහක වටිනාකමකින් යුත් මැණික් ගලක් සය මසක් බඳු කෙටි කාලයක් තුළ දී පළුදු මැණිකක් විය හැකි ද යන්න ය.
දෙවැන්න නම් නිරන්තරයෙන් ම පින්සිරි පිළිබද සැක සිතන, ඔහුගේ ප්‍රකාශය පිළි නොගන්නා අසිත ඔහුගේ පියා වන මුදියන්සේ සහ පින්සිරි මැණික රැගෙන ගිය ස්ථානය පිළිබඳ නොවිමසීම ය. පින්සිරි පිළිබඳව සැකය තහවුරු කරගැනීමට හෝ දුරු කරගැනීමට කළ යුතුව තිබුණු පහසු ම සහ සරල ම ක්‍රමය විය යුතුව තිබුණේ ඔවුන් මැණික අලෙවි කිරීමට ගිය ස්ථානය සොයා ගොස් එහි සත්‍ය අසත්‍යතාව නිරවුල් කරගැනීම ය.
නමුදු තිර රචකයාට මෙකී අවස්ථාව මගහැරී ඇත. එසේත් නොමැති නම් ඔහු එය හිතාමතා ම මගහැර ඇත. ඒ ඇතැම් විට කතාව දිගහැර ගැනීමට ඇති පහසුව තකා ද විය හැකි ය. නමුත් නිර්මාණය නරඹන ප්‍රේක්ෂක ප්‍රජාවට එකී දුර්වලතාව ඉතා පැහැදිලිව දැකගත හැකි ය. එය කිසිවකු ප්‍රශ්න (අවම වශයෙන් නාට්‍ය තේරීම් කමිටුව හෝ) කළා ද නැද්ද යන්න පිළිබඳ ගැටලුවක් පවතී.
නිර්මාණකරුවාගේ අදහස ප්‍රශ්න කිරීමේ අයිතිය පිළිබඳව මෙහි දී තර්කයක් ගොඩනැගිය හැකි ය; එය සාධාරණ ය. නමුදු මෙවන් යථාර්ථවාදී රීතිය සහිත පිටපතක දී එවන් දුර්වලතා හැකි තාක් මගහැරිය යුතු ය. එසේ නොවන විට නිර්මාණයේ ඇතැම් සාධනීය පාර්ශ්ව වුව ද නිෂේධනීය තත්ත්වයට ඇද වැටිය හැකි ය. මෙම නිර්මාණය ද එවන් තත්ත්වයකට පත්ව ඇත.
සමස්ත තත්ත්වය
ලිපිය ආරම්භයේ දී පැවසු සේ ම හතු පිපෙන්නා සේ දිනපතා බිහිවන ටෙලි නිර්මාණ අතර ‘‘මිණි කිරණ’’ නව්‍ය සංකල්පයක් සහිත නිර්මාණයකි. එය නැරඹීමෙන් ඉක්බිති ප්‍රේක්ෂකයා එතෙක් සිටි ස්ථානයෙන් වෙනත් ස්ථානයක් කරා රැගෙන යන්නට ද සමත්ව ඇත. මන් ද කතාවේ අනුභූතිය නැවුම් වන බැවිනි. ප්‍රේක්ෂක ප්‍රජාව මෙම ටෙලි නිර්මාණය නැරඹිය යුත්තේ ද එබැවිනි.
එහෙත් තිර රචකයා මෙන් ම අධ්‍යක්ෂකවරයා ද ඔවුන්ගේ ඉදිරි (මේ වන විට වෙනත් නිර්මාණ කර ඇති ද නැති ද යන්න පිළිබද මා නොදනී) නිර්මාණ තුළ දී යට කී දුර්වලතා මගහරවා ගන්නේ නම් එය ප්‍රේක්ෂක ප්‍රජාව වෙනුවෙන් කරන ඉමහත් සේවයකි.
එමෙන් නවක නළු නිළියන්ගෙන් වුව ද හැකි උපරිමයෙන් ප්‍රයෝජන ගත යුතු ය. එසේ කළ නොහැකි නම් එබඳු නළු නිළියන් සිය නිර්මාණයට දායක කර නොගත යුතු ය. මන් ද එය අධ්‍යක්ෂකවරයාගේ ද යහපතට ම හේතු වන්නේ ය. මේ සියලු තත්ත්ව යටතේ වුව ද මෙම නිර්මාණය ඉවසීමෙන් නරඹා කියවාගත හැකි නම් එය ඉතා වටිනා බව ද කිව යුතු ම ය.

ආලින්දයෙන් ඔබ්බට - ජයසිරිගේ වෙනත් ලිපි :
ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත
ආලින්දයෙන් ඔබ්බට 09-' මහපොළොව' -ටෙලි නාට්‍ය නාමයෙන් සාහිත්‍ය කෘති සහ ඒවායේ චරිත ඝාතනය කිරීම
ආලින්දයෙන් ඔබ්බට 08 - මායාකරුවෝ රජයන ලොවක පිස්සකුගේ විනිශ්චය - 'දූවිලි අහස'
ආලින්දයෙන් ඔබ්බට 07 - 'හේලංකඩ'ට ගොඩවීමෙන් ඉක්බිති...- ජයසිරි අලවත්ත
ආලින්දයෙන් ඔබ්බට 06 -ආදරයට ආදරය කළ තරුණයකුගේ - ‘‘ඉලන්දාරි හැන්දෑව’’
ආලින්දයෙන් ඔබ්බට 05 : දැකිය යුතු ම 'දැකපු නැති හීන'- ජයසිරි අලවත්ත
ආලින්දයෙන් ඔබ්බට 04-‘‘තණමල්විල කොල්ලෙක්’’ අමුතු ජීවියෙක් ද...?
ආලින්දයෙන් ඔබ්බට 03- ‘‘ත්‍රෛලෝකා’’ තුළින් ජාතිවාදියෝ හඳුනාගනිමු
ආලින්දයෙන් ඔබ්බට 02- 'වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද?
ආලින්දයෙන් ඔබ්බට 01 : ගිනිඅවි සහ ගිනිකෙළි - ජයසිරි අලවත්ත
අයියෝ සීයාට ගොඩාක් අමාරුද? | මොණරවිලගේ ලියමන
අගමැති හදිසියේම තිරුපති ගියේ ඇයි ? | The Leader TV | Gossip