සමන්ත විද්යානන්දගේ නායකත්වයෙන් සංවිධානය කෙරෙන බදුල්ලේ සිට පිටවෙන වාහනේ ගියා නම් ලේසි ය. පක්ෂයේ සහෝදරියන් පාන්දර ම නැගිට
හදන හැලපයක්වත් කමින් කතා බහේ ද නිරත ව ගමන යන්න තිබිණ. එහෙත් තමන් කොමිනිස් පක්ෂෙ දේශපාලනය කරන කාලේ විද්යානන්දලා ඉපදිලාවත් තිබුණා ද කියා සුසිල් සාන්තට සිතිණ. එවන් කණිෂ්ඨයෙකු වෑන් එකේ ඩැයිවර්ගේ එහා පැත්තේ හිඳ, දොර කිහිල්ලේ ගසා ගෙන, උජාරුවෙන් යන විට තමාට පැණවෙන්නේ පසු පෙළ අසුනක් නිසා, පාරේ බස් එක හොඳා කියා සාන්ත සිතුවේ ය.
එහෙත් දෙගිඩියාවකට තිබුණේ පාරේ බස් එක මෙන් නොව, විද්‍යානන්ද සමග ආවා නම් වාසිය, හදිසි අවශ්‍යතාවයකට එළවන සහෝදරයාට කියා වාහනය අයිනකට කර නවත්වා ගත හැකි වීමයි. සීනි ප්රශ්නය නිසා නිතර නිතර මුත්‍රා කිරීම කළ යුතු අතර, ඉවසා සිටීමේ හැකියාව දැන් දරුණු ලෙස හීන වී ඇත. ඉස්සර නම් පස්සර ඉඳන් කොළඹ දක්වා ම ඒ ඉවසීම කළ හැක. ඒ කාලේ ලක්සිරි රෑ බස් එක කොළඹට කිට්ටුවන්නේ පහ පහ මාර වෙද්දී ය.තිඹිරිගස්යාය හන්දියෙන් හනිකට බැසගෙන ගොඩවන්නේ ජයරත්න පාරේ පිහිටි කොන්ෆොර්ම් ඇන්ජීයෝ කන්තෝරුවට ය. ඒ හිතේ හැටියට සිකරට් එකකකුත් පත්තු කරගෙන වැසිකිලියට ගොස් ඇඟපත සෝදා ගෙන, ගෙදරින් ම ගෙන ආ සිහින් සාළුවෙන් තෙත මාත්තු කරගෙන, පොඩි දුව මැද දුන් අත් කොට සුදු කුර්තාව ඇඳ ගැනීමට ය. ඉන් පසු පත්තර කෑල්ලක ඔතාගෙන ආ පවුඩර් ටික ද මූනේ උලාගෙන, සාක්කුවෙන් ඇදගත් පනාවෙන් කොන්ඩේ පීරා ගන්නේ වතුර ටිකක් ගා ගනී. අනතුරු ව, තමන්ට ද කොළඹ ඇන්ජීයෝ ලොක්කෙකුගේ ප්‍රභාව ඇති බව තිබේ දැයි කොන්ෆොර්මයේ සිකුරිටි අංකල්ගේ කැඩිච්ච කණ්නාඩි කෑල්ලෙන් බලන්නේ වට පිට බලමින් ය. ඒ තමන් සමග බදුල්ලේ සිට කෑලි තුනේ සීට් එකේ එකට සිර වී ආ නෙලුම් රත්නායක හා එමිල් නාගොඩ දකී ය යන ලැජ්ජාවට ය.
ජවිපෙ හැත්තෑ එකේ බලපෑම නිසා දෝ නෙලුමාට හවස ඇඳි වතෙන් ම උදේටත් සිටිය හැක. එමිලා හැත්තෑ එකට සම්බන්දයක් නැතත් නෑමට හොර ය. රුසියාවේ ඔරිජිනල් කොමිනිස්කාරයෝ එක්ක හිටියත් තමන් ට ඇඟ පත හොඳහැටි හෝදාගෙන නාගෙන පිරිසිඳු වීම ආගමක් සේ වැදගත් බව නිරාගමික සුසිල් සාන්ත හොඳාකාර ව දනියි.
නෑම කෙසේ වෙතත්, මහ අධ්‍යාපනික පසුබිමක් නැති එහෙත් දක්ෂ සමාජ ව්‍යවසායයෙකු වූ නෙලුම් රත්නායක මහියංගනේ සිට පස්සරට පැමිණ තමන් සමග ඌවෝන්නතිය ඇන්ජීයෝව තනා, ටික කලකින් එය බදුල්ලටත් ගෙන ගිය බව සාන්ත ස්මරණය කරනට අකමැති දෙයකි. ඔහු පස්සරට ම හිර වුණු අතර නෙලුම් රත්නායක නැවතුනේ ඌව පළාත් සභාවට තෙවරක් ම තේරී පත් වීමෙනි. එමිලා ද ගොඩ ගියේ ඒ පස්සේ යාමෙනි. ඌවොන්නතියෙන් ඈත් වී පරණ ජවිපෙ සනත් අය්යාගේ කොන්ලාර් ඇන්ජීයෝවට සාන්ත සම්බන්ධ වුණේ මේ පසුබිමේ ය.

සුසිල් සාන්ත සමග එකට සෝවියට් දේසෙට ගිය සුසිල්ලා තුන් දෙනෙකු, තමන් ද ඇතුළු ව, පසු කලෙක ඇන්ජීයෝ ලෝකේ (ලාංකීය ශාඛාවේ) වැඩකරුවන් ලෙස ඉස්මතු වූ බව මතක් විය. සුසිල් බස්තියම් ඉන් එකෙකි. රුසියාවේ උගෙන ගත්තේ පාෂාණ ගැන වුණත් ලංකාවට පැමිණ කෙටි කලකින් ඔහු දක්ෂ සමාජ විද්‍යාඥයෙක් විය. පාදර් බාලවීරියගේ සෙන්ටර් එකෙන් පර්යේෂණ වැඩ පටන් ගත් බස්තියම් ඉන් පසු සීලම් තිරුචන්ද්රම්ගේ ජාත්‍යන්තර ඇන්ජීයෝවේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු ලෙස වැඩ කර ජාත්‍යන්තර අවධානය ද දිනා ගති. පසු කලෙක ඔහු ඇන්ජීයෝ වැඩකට ම පැමිණි සුද්දියක හා විවාහ වී, මේ වන විට එංගලන්තයේ පදිංචි වී ඇති බව තමන්ට හිතවතෙකු කී බව සාන්තට මතක ය. අනෙක් සුසිල් රුසියාවේ උගත්තේ ශාක ගැන ය. ඔහු ද ලංකාවට විත් වැඩි කලක් යන්නට මත්තෙන් කලා හා සාහිත්‍ය ක්ෂේත්රයේ කාගේත් අවධානය දිනාගත් දැන උගත්තෙකු විය. ඇන්ජීයෝ ලෝකයේ එකල වීර වරියක ලෙස ගැනුණු අනිලා ඔබේසේකර සමග ලිවින්-ටු-ගෙදර් කළ සුසිල් අබේසිරිවර්ධන ඉන් තවත් චිර ප්‍රසිද්ධ විය. දේශපාලනය ප්රගතිශීලී වුව ද සුසිල් සාන්ත තීරණය කළේ රටේ පවතින නීතියට අනුකූල ව තමන් කසාද බැඳ ගත යුතු බව ය. ඇරත්, තමන් රුසියාවේ උගත්තේ අන්තර් ජාතික නීතිය ය. ඒ බව සුසිල් සාන්ත නිතර ම හමුවෙන අයට මතක් කර දුන්නේ ය. ඒ තමන් ලංකාවේ නීතියට කිසි ම අයුරකින් හෝ සම්බන්ධ රැකියාවක නොකළ නිසා ය.
බස් එක ඇල්ල වැල්ලවාය පැත්තෙන් යන බවක් සාන්ත දැන සිටියේ නැත. ඒ කන්දක් නායයාම නිසා සුපුරුදු පාර ඇහිරී තිබු නිසා බව සීට් එකේ එහා පැත්තේ සිටි තරුණයා කී පසු ය. ඇල්ල වැල්ලවාය හරහා යන ඕනෑම ගමනක දී සාන්තගේ සිත සලිත වේ. ඒ 1988 තම මිතුරු කන්දේ සහෝදරයාගේ ගේ ගෙල සිඳ මරා දමා, අනතුරුව වැටේ තිබූ ගිලිසීරිය රිටක ප්‍රාණය නිරුද්ධ හිස කොමඩු ගෙඩියක සේ ගසා තිබු ආකාරය මතක් වන විට ය. කන්දේ සහෝදරයා 1971 ජවිපෙ පරපුරට අයත් වීම එහි අනුප්‍රාප්තික පරපුරට අනුකූල නොවූ බව ය මරණයට හේතුව.
එකල පැවැති භීෂණය නිසා කන්දේගේ දේහය ගෙන ඒමටත් බොහෝ දෙනා මැලි වෙද්දී ඊට නිර්භව ය ඉදිරිපත් වී වැල්ලවායට ගිය ආසු (දේව), කිචා (වෛද්‍ය කිචර්ඩ්) හා දසන්ත විසානායක අතර තමන් ද සිටි බව සාන්තට සිහිවන විට ඇති වන්නේ දුකක් නොව, ඔහු ව මරා ගත් සන්නද්ධ දේශපාලන ව්‍යාපාරය සමග කෝපයක් ය.
කොමිනිස්කාරයෙකු ලෙස තමා ඒ ජාතිවාදයට නැඹුරු දේශපාලන බලවේගය සමග කවදත් සිටියේ විරසක ව ය; එදිරිවාදීව ය. එහෙත් අද බස් එක වැල්ලවායෙන් ඇදී යද්දී සාන්ත සීට් එකේ හෙමිහිට පහලට රූටා, කොන්දේ යට කොටසෙන් වාගේ වාඩි වී සිටියේ භාගෙට නින්දක ද ගිළෙමිනි.
වරින් වර අවදි වුව ද මහරගම හන්දියෙන් බැස වීලයකට ගොඩ වෙන තුරු ම සාන්ත සිටියේ ඒ භාග නින්දේ ය.
වීල් එකේ මල්ලී අදිරද-නිරිඳු උත්සව ශාලාවට හරවන්නට හදන විට එතන ලොකු කලබලයක් හා තදබදයක් තිබුණ බව පෙනිණ. සාන්ත සිතුවේ වෙනදා වගේ බස් කීපයක් පමණක් ගාල් කර ඇති බවයි. එහෙත් සිකුරිටි මල්ලිලා කීවේ කාර් පාර්ක් එක දැනටමත් කාර්වලින් පිරී ඇති බවයි. ඔවුන් කළේ අලුතෙන් එන කාර් එක ගේට්ටුවකින් අතුලු කරගෙන අනෙක් ගේට්ටුවෙන් හැකි පමණ ඉක්මනින් පිට කිරීමයි. ඒ එන අලුත් පන්නයේ කාර් අතර වීල් මල්ලීට සිදු වුනේ එහෙට මෙහෙට කප කපා ඉන්නයි. මේ කාර් අස්සේ තරමක් මලකඩ කෑ වීලයකින් තමා මතු වීම නුසුදුසු බව තේරුම් ගත් සාන්ත, වීල් මල්ලිගේ ගාස්තුව පාරේ මැද්දේ ම පියවා, උත්සව ශාලාවට දුර සිට ම ඇවිද ගියේ ය.
සාන්තගේ නම ගම පිරික්සා තරුණ සංවිධායකවරයෙක් තමා ශාලාවේ අසුන් ගත යුතු කලාපය හා අංකය පැවසීය. මොවුන් කෙදිනක හෝ ආණ්ඩුවක් පිහිටෙව්වොත් මේ සා පිළිවෙලට වැඩ කරා වී වැනි අනුප්රාණම ය හැඟීමක් තම හිස් බඩ තුල ඇවිළෙනු සාන්තට දැනිණ. අදිරද-නිරිඳු සම්මන්ත්රණ ශාලාවට ඇතුල් වූ විට සාන්තට හැඟුණේ තමා මීට කලින් ගිය ඇන්ජීයෝ රැස්වීම් පැවැත්වුණු රේණුකා, ජානකී වැනි හෝටල ගුබ්බෑයම් බව ය. සීලිම පුරා විසිරුණු බලුප් වියනක් මහ දවල් වුණත් ඇවිළෙමින් තිබුණේ ශාලාවට සවාභාවික එලිය හෝ වාතය නොඑන නිසා බව සාන්ත තේරුම් ගති. මේ සාධනීය හැඟුම් තරමක් බොඳ වුණේ තමාගේ කලාපය හා අංකය ශාලාවේ පසු පස අහු මුල්ලක ස්ථාන ගත වී තිබුණ නිසාවෙනි.

යහපාලනාණ්ඩුව වෙනුවෙන් කඩයට වැඩම කරමින් අමිල සේවයක කළ පුෂ්ටිමත් හිමිනමක මේ අතරේ සංවිධායකින් මහත් ජ්වලිත බවකින් ශාලවේ ඉදිරි පෙලට කැඳවාගෙන අයුරු සාන්ත නොදැක්කා සේ සිටියේ ය. ඒ එක්ක ම තමන් සමග කරට කර ඇන්ජීයෝ කර්මාන්ත කටයුතුවල නිරත ව සිටි ඇස්ගී මහත්තයා ද තම සුදෝ සුදු ජාතික ඇඳුමෙන් ඉදිරි පෙළක වාඩි වී එදින නිකුත් කළ 'අර්බුදේට උත්තරේ' ප්රකාශනයෙන් තමන්ට ම පවන් සලමින් සිටිනු දැක ගත හැකි විය. එක වර ම මහ තනිකමක් වගේ දෙයක් දැනුණ නිසා සාන්ත තමාගේ ගෝත්‍රයේ සෙසු අය කොහේ සිටී ද කියා වට පිට බැලී ය. සමසමාජේ කෝටාවෙන් පත් වූ යූඇම්පී මන්ත්‍රීවරයෙකුගේ සම්බන්ධීකරණ රැකියාවක යහපාලන යුගයේ කළ ඇහින්ද රත්නායක සොයුරා ද, මීගමුවේ ඇන්ජීයෝවක ඊයේ පෙරේදා නායකත්වයට පත් වූ හීරළු-පාදිලි සහෝදරයා ද, තමා සමග කොමිනිස් පක්ෂේ කාලයක් තිස්සේ වැඩ කළ වැටකේ සහෝදරයාගේ තරුණ කඩවසම් පුත්‍රයා ද වාඩි වී සිටින්නේ තමන්ට වඩා පේලී බොහොමයක් ඉදිරියෙන් බව සාන්තට වැටහිණි.
මුළු රැයම බස් එකේ කුකුල් නින්දක පමණක ලද සාන්තට නොදැනීම ගැඹුරු නින්දකට වැටුණේ අදිරද-නිරිඳු සාලාවේ සැන්ට්රල් ඒසීයේ කුල්මත් සීතලත් සමග ය. සාන්ත අවදි වන විට සමුළුවේ කටයුතු අවසන් වී තිබිණ.
තමන්ට ඉදිරි පෙලින් අසුන් ගෙන සිටි තම ගෝත්‍රයේ සොයුරන් තිදෙනා එදින පත් කර ගත්, නොබෝ දිනකින් ආණ්ඩු බලය ලබාගන්නට නියමිත පක්ෂයේ, දායක සබාවේ සාමාජිකයින් ලෙස මාහාචාර්ය, ආචාර්ය ආදීන්ගේ නම්වලට යටින් තිබුණ බව සාන්තට දැක ගන්නට ලැබුණේ එසැනින් ම පොටෝ කොපි කොට බෙදා හැරුණු නිවේදන පත්‍රිකාවෙනි.
(මෙහි ඇති චරිත, ආයතන හා සිද්ධීන් හුදෙක් පරිකල්පනීය වන අතර ඒවා යතාර්ථයට කිසිසේත් සම්භන්ද නැත)

අනිද්දා පුවත්පතේ පළවූවකි.
ස'ගේ රාජාසන කතාව පැරදවීමේ සූදානමක්! | Gossip
පෝට්සිටිය අපිට අයිති නෑලූ ! | මොණරවිලගේ ලියමන
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.
ඩොලර් රහස | Mr. Opposite
அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය