ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අර්බුදයකට මුහුණදී සිටින එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීම සඳහා මේවනවිට බලවත් උත්සාහයක යෙදී සිටියි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමක් කර තිබු අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ සංශෝධනයක් අවශ්‍ය නම් ආණ්ඩුව පාර්ශවයෙන් ගෙනෙන ලෙසත් ඊට සිය පක්ෂයේ සහය ලබා දිය හැකි බවත්ය.
රනිල් වික්‍රමසිංහ ජවිපෙට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අගෝස්තු 26 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සහය ඉල්ලා සිටීමෙන් පසුවය. එම හමුවට අගමැතිවරයා සමග අමාත්‍ය රවී කරුණානායකද සහභාගි වී තිබිණ.
ආශු හරහා දැමු යෝජනාව !
අගමැතිගේ මාධ්‍ය ඒකකය විසින් ඊයේ සංවිධානය කර තිබු මාධ්‍ය හමුවක දී රනිල් වික්‍රමසිංහගේ අනුගාමිකයකු වන ආචාර්ය ආශු මාරසිංහ පැවසුයේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉදිරි සති කිහිපය වුවද ප්‍රමාණවත් බවයි.
එහිදී ඔහු මෙසේ පැවසිය.
''පසුගිය දිනෙක රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගත්තා. මේ රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීම අපි දැඩි සේ හෙලා දකිනවා. ඒ හරහාත් අපි කල්පනා කරන්නේ මේ විධායක ජනාධිපති ක්රමයේ තියෙන අනිසි බලතල ගැන.
ඒක තමයි මේ රටට තියෙන එක ප්‍රශ්නයක්. ඔබ දන්නවා විධායක ජනාධිපතිවරයා හැටියට ගත්ත යම් යම් තීරණ නිසා මේ රටේ විවිධ ප්‍රශ්න පැන නැඟුනා. ඔක්තෝම්බර් 26 ඒ සිද්ධ වෙච්ච ප්රජාතන්ත්රවිරෝධී ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය හරහා මුළු රටම දැනගත්තා මේ විධායක ජනාධිපති ක්රමයේ තියෙන අනිසි ප්‍රතිවිපාක.
ඒ නිසා තමයි අපි 2015 ජනාධිපතිවරණ අවස්ථාවේදී ප්‍රකාශ කරේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙලා රටේ ඇත්තටම ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් බිහිවෙයි කියන කාරණය.
අවසන් බලාපොරොත්තුව :
මේ මොහොත වන විටත් අපිට ඒකට ඉඩක් තියෙනවා. මේ පාර්ලිමේන්තුව තුළිනුත් අපිට ඒක කරගන්න පුළුවන්. ඒකට හොඳම අවස්ථාවක් ලැබිලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණෙත් ඉල්ලීමක් කරලා තියෙනවා විසිවෙනි සංශෝධනය ගේන්න. එතුමාල ඉල්ලලා තියෙනවා විසි වෙනි සංශෝධනය.
මේ මොහොතෙත් කැබිනට් මණ්ඩලයත් ඒ තීරණයට එනවා නම් කැබිනට් මණ්ඩලය හරහා මුලින්ම ඒ තීරණය කැබිනට් පත්‍රිකාවක් හරහා විධායක ජනාධිපති ක්රමයේ බලතල අයින් කරන්න එකඟ වෙනවා නම් මා විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම අවංක දේශපාලඥයෝ ටික එකතුවෙනවා නම් තුනෙන් දෙකක් හදාගන්න එක ඒ තරම් අපහසු කාර්යයක් නෙවෙයි.''
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට තමා සහයෝගය ලබා දුන්න ද අගමැතිවරයාගේ පාර්ශවයෙන් ඒ පිළිබඳව උනන්දුවක් නොතිබුන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළේය.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට තමා සහයෝගය ලබා දුන්නා යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළද ව්‍යාවස්ථා සංශෝධනය සම්බන්ධ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අනුව ශ්රීලනිපය ඒ සඳහා විරෝධය දක්වා ඇති බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම වත්මන් තත්වය අනුව ප්රඥාගෝචර නොවන බවත්, යම් බලතල ඇතිව, සෘජුව ජනතා ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිවරයෙක් සිටිය යුතු බවත් ශ්‍රීලනිපයේ මතය බව එම වාර්තාවේ සඳහන් වන්නේ යැයි ඔහු පැවසීය.
ජනාධිපතිවරයාගේ බලතල කෙතරම් අඩු වුවත් ඔහු 'සෘජුව' පත්වේ නම් රාජ්‍ය අර්බුදයක ඇති අවස්ථාවකදී මුළු රටේම ජනතාවගේ ඡන්දයෙන් පත්වූ නිසා ඔබට වඩා බලයක් මට ඇතැයි ජනාධිපතිවරයා හට අගමැතිවරයාට අභියෝග කළ හැකි බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
19 වන සංශෝධනයේ ගැටලු පවතින බව තමා පිළිගන්නා බවත් එහි මුල් කෙටුම්පත සම්මත වූයේ නම් එසේ නොවන බවත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න තවදුරටත් කියා සිටියේය.
රනිල්ගේ යෝජනාවට අනුර බෑ කියයි!