අගමැති මහින්ද රාජපක්ෂ ට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් ලක්ෂ 49 ක මුදලක් අගමැතිවරයාගේ ළඟම සිටි නිලධාරියකු වසර හයක කාලයක සිට වරින් වර වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක්
අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තා වෙයි.
එම නිලධාරියා අගමැතිවරයාගේ ඒ.ටී.එම්. කාඩ් පත උපයෝගී කරගනිමින් වරින්වර මෙම මුදල ලබා ගෙන ඇති බවට එම තොරතුරු මගින් වාර්තා වේ.
අදාළ ගිණුමේ තිබූ මුදල් අගමැති මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවදියේදී වැටුප ලෙසින් ලද මුදල් බවත් එම ගිණුමේ මුදල් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් හේතුවෙන් අදාල බැංකුවෙන් එය පරීක්ෂා කර බැලීමේදී ගිණුමේ තිබී ඇත්තේ ලක්ෂ 8ක් පමණක් බවත් දැනගන්නට ලැබී ඇත. සිය බැංකු ගිණුම් පොතේ හැටියට ලක්ෂ 57ක මුදල එහි තිබිය යුතු බව අගමැතිවරයාගේ අදහස වී ඇති පැවසේ.
බැංකු ගිණුමෙන් මුදල් ලබාගෙන ඇති බව කියන අගමැතිවරයාගේ ළඟම සිටි නිලධාරියා, කලක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් කටයුතු කර ඇති අතර, අවස්ථා ගණනාවකදීම අගමැතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස ද සේවය කර ඇත.
පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූර කිහිපයක් මෙන්ම කතානායකවරයකු ලෙස කටයුතු කළ මේ වනවිට මියගොස් ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ පුත්‍රයකු වෙයි.
මෙම මූල්‍ය වංචාව හෙළි වීමෙන් පසු එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇති අතර, මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීම සදහා ඉදිරි පියවර ගනු ඇතැයි ද වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ මත පලවී ඇති අතර පහත දැක්වෙන්නේ 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ , ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති පොස්ටු කිහිපයකි.
'මෝඩ යකා' ගැන අගමැති කතා කරයි
මේ අතර අගමැතිවරයා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකුට පවසා ඇත්තේ, තම බැංකු ගිණුමේ තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදල් ප්‍රමාණයක් වංචා කළ තමාගේ පෞද්ගලික සහායකයා කර ඇත්තේ සමාව ලබාදිය නොහැකි බරපතළ වංචාවක් බවයි. එවැනි අය සමාජයටම පවා පිළිලයක් බවද අගමැතිවරයා
සඳහන් කර තිබේ.
තමාගේ බැංකු ගිණුමෙන් වංචනිකව මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නොවන බවත් මීට පෙර අවස්ථාවකදී තවත් පුද්ගලයකු මෙයාකාරයටම මුදල් වංචා කළ බවත් අගමැතිවරයා පවසා ඇත.
''මොහු මගේ විශ්වාසය දිනාගෙන හිටපු කෙනෙක්. සමීපව ඇසුරු කරමින් මගේ පෞද්ගලික සහායකයෙක් ලෙස කටයුතු කළා. මොහු මගේ ගිණුමේ තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචනිකව අරන්. එය සමාව ලබාදිය නොහැකි තරමේ බරපතළ වංචාවක්. මගේ ගිණුමෙන් මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නෙවෙයි. මීට පෙරත් වෙනත් අයකු ඔය වගේ වැඩක් කළා.
මේ වගේ අය විශ්වාසයට ගතයුතු නෑ. මේ වගේ අයට ඕනෑම පාවාදීමක් කළ හැකියි. ඕනෑම අපරාධයක් කළ හැකියි. මේ වගේ වංචා ¥ෂණ අක‍්‍රමිකතා සිදු කරන අයට සමාව දිය යුතු නෑ. මේ වංචාවට සම්බන්ධ පුද්ගලයා ඔහුගේ පියාගේ කීර්ති නාමයත් නැති කළා. මුදල්වලට ආත්මයම පාවා දෙන මේ වගේ පුද්ගලයන් මුළු සමාජයටම පිළිලයක්'' යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.