ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුව සිටින එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අද (14) රාත්‍රී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් හමුවීමට නියමිතය.
එම හමුව මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිල නිවසේ දී පැවැත්වෙන අතර එහිදී ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදීම සහ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.
ඉකුත් අඟහරුවාදා (10) අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර පැවැති සාකච්ඡාවලින් පසු මෙලෙස සුළු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට තීරණය කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ලබාදීමට නම් එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන සෙසු පක්ෂවල සහය ඔහුට හිමි විය යුතු බව මෙම සාකච්ඡාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇති බව 'බීබීසි සිංහල සේවය' වාර්තා කර තිබේ.
එම පක්ෂ සමග මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට දෙපිරිස අතර එහිදී එකඟතාවක් ඇතිවී තිබේ.
සාකච්ඡා අවසානයේ මාධ්‍යයට අදහස් දැක්වූ, ඊට එක්ව සිටි රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා "අපිට අදාළ අනිකුත් පක්ෂ සමගත් සාකච්ඡා කරලා අවසාන එකඟතාවකට එනවා. සාර්ථක සාකච්ඡා අද සිදුවුණේ" යනුවෙන් කියා සිටියේය.
තමන් ජනාධිපතිවරණයට තරග කරන බවට රනිල් වික්‍රමසිංහ නායකවරයා සාකච්ඡාවේදී කිසිවක් ප්‍රකාශ නොකළ බව ඊට සහභාගිවූ අමාත්‍යවරයෙකු කියා සිටියේය.
"ගැඹුරු රැවටීමක් නෙවෙයි නම් මම හිතන්නේ අගමැතිවරයා හිත හදා ගෙන ඉන්නේ සජිත්ට ජනාධිපති අපේක්ෂක කම ලබාදෙන්න, ඉරිදා වෙනකොට සියලු කටයුතු අවසන් කරන්න එකඟ වුනා. දැනට සජිත් ඉදිරියෙන්" බව නම සඳහන් කිරීමට අකමැතිවූ අදාළ අමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා විය යුතු බවට ඇතැමුන් යෝජනා කළ කතානායක කරු ජයසුරිය එම සාකච්ඡාවට එක් නොවීය.
(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)