විදේශීය සමාගම් හවුල් කරගෙන සංවර්ධනය මුවාවෙන් කෙරෙන පරිසර හානිය හේතුවෙන් මන්නාරම දුපත මුහුදු බත් කිරීමේ වැයමට එරෙහිව විරෝධය

එල්ල වී තිබේ.

 දශක ගණනාවක් පැවති යුද්ධයෙන් පිඩාවට පත් ජනතාවක් වෙසෙන මන්නාරමේ සිදු කෙරෙන ඛනිජ වැලි හැරීම, දුපතට මුහුණලා බෙංගාල බොක්ක ආශ්‍රිත ඉදි කර ඇති සුළං උත්පාදන යන්ත්‍ර සවි කිරීම, අවිධිමත් මාර්ග සංවර්ධන කටයුතු හා මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වීම ඇතුළු ජන ජිවිතයට බාධා පමුණුවන ගැටළු මුල් කරගෙන විරෝධතාවක් මන්නාරම් නගරයේදී ඊයේ [31] පැවැත්විණි.

 මන්නාරම් පුරවැසි කමිටුව කැඳවා තිබු මෙම විරෝධතා උද්ඝෝෂණය දිවංගත මන්නාරමේ රදගුරු රායප්පු ජෝශප් ස්මාරකය අසලින් ආරම්භ කර කච්චේරිය දක්වා ගමන් කළ බව එහි ගිය මාධ්‍යකරුවෝ පවසති.

 

තමිල් ඊළම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ඇතුළු දෙමළ- මුස්ලිම් පළාත් පාලන නියෝජිතයන්, කිතුනු, හින්දු හා ඉස්ලාම් ආගමික නායකයන් සහ සමාජ ක්‍රියාධරයන් රැසක් මෙම උද්ඝෝෂණයට  එක්වුහ.

 

''මන්නාරම වෙරළබඩ ප්‍රදේශවල ඛනිජ වැලි කැණීම් ගැටළු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සමාගමක් පසුගිය අවුරුදු දෙකක සිට ප්‍රචාරය කර කර සිටියා. ඒත් අපේ විරෝධය නිසා 2020 දී ඔවුන්ගේ ව්‍යාපෘතිය අත්හැරියා. නමුත් මේ වන විට ඔවුන් ලංකාවේ ලියාපදිංචි සමාගම් හරහා පර්යේෂණ සිදුකරමින් රාත්‍රී කාලයේදී  මන්නාරමේ වෙරළබඩ ප්‍රදේශවල  වැලි පරීක්ෂා කරනවා. වැලි ගෙනියන්නෙත් රාත්‍රී කාලයේදී මයි. මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා කළාම මට ප්‍රතිචාර දැක්වූ එවකට හිටපු ඇමැතිවරයා කිව්වා ජනතාව අකමැති නම් අපි මේක කරන්නේ නැහැ කියලා. ඇත්තටම මේ වැලි ගොඩදැමීම මන්නාරම් දුපතේ ජීවත්වීම දුෂ්කර වෙමින් තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් මේ සැලැස්ම අත්හරින්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා,'' යි උද්ඝෝෂකයන් ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් පැවසීය.

 නිර්මලනාදන් මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ මන්නාරම දූපතේ නඩුකුඩාවේ සිට තෙන්නම්පිල්ලෙයි දක්වා ඉදිකර ඇති සුළං බල  උත්පාදක යන්ත්‍ර 36 හරහා සන්තපුරම් සිට සුළං බලශක්ති නිපද වීමට ආයතන පහක් ආණ්ඩුව සමග ගිවිස ගෙන ඇති බවයි.

''රටේ දිගින් දිගටම පරිසර හානි, ඉඩම් කොල්ල කෑම් සිදුවෙනවා. අපේ මන්නාරම් දුපත රැක ගන්න සියළුම දුපත්වාසීන් එක්ව විසදුමක් ලැබෙන තෙක් දිගටම අරගල කිරීම වැදගත්,'' යැයි උද්ඝෝෂකයන් ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී අඩෙයික්කලනාදන් පැවසීය.

 මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා දිවෙන මාර්ගයේ අවිධිමත් සංවර්ධන කටයුතු හේතුවෙන් වසර ගණනාවක සිට ජනතාව පිඩාවට පත්වෙන බව පවසන මන්නාරම් පුරවැසි කමිටුව පෙන්වා දෙන්නේ, ඛනිජ වැලි හෑරීම නිසා දුපතේ පරිසරයට බලවත් හානියක් සිදුවන බවයි.

බෙංගාල බොක්ක ආශ්‍රිතව සවි කර ඇති සුළං උත්පාදක යන්ත්‍ර 36 හේතුවෙන් ධීවර ප්‍රජාව ඇතුළු දුපත්වාසීන්ට ඇතිවන අහිතකර බලපෑම් සමනය කරමින් පරිසර හිතකාමී දුපතක් බවට මන්නාරම පත්කරන ලෙස ඉල්ලා සන්දේශයක් දිස්ත්‍රික් ලේකම්වරිය වන ස්ටැන්ලි ද මැල් වෙත පුරවැසි කමිටුවේ සභාපති ඒ.ඥානප්‍රකාශම් පියතුමා විසින් බාර දෙනු ලැබිණි.

mannar 


 Leader Whats app
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්