1200 x 80 DMirror

 
 

රට මුහුණදී සිටින ඩොලර් සංචිත අර්බුදය සමතයකට පත්කර ගැනීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඒ සම්බන්දන් වූ විනිමය නීති රීති දැඩි කරමින් සිටියදී, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඒ කිසිවක්

මායිම් නොකරමින් පිටකොටුවෙන් (කළු කඩයෙන්) ඩොලර් හුවමාරු කර ගැනීමට දිරිදීම මගින් ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම එළිපිටට පැමිණ තිබේ.

මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා අතර කලක් තිස්සේ පවතින සිතල යුද්ධය මෙසේ කරලියට පැමිණ ඇත්තේ, රටේ විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා පසුගිය සති අන්තයේ ජාතික පුවත්පතකට සිදුකර ඇති ප්‍රකාශ තුලින් මහා බැංකුවේ මුල්‍ය රෙගුලාසි අවඥාවට ලක්කර කිරීම තුලයි.

''මේක සෙන්ට්‍රල් බෑන්ක් එක පැත්තෙනුයි ආණ්ඩුව පැත්තෙනුයි අවාසියි... හැබැයි රටක් හැටියට එහෙම බෑ... මම කියන්නේ මට ඕනේ වැඩියෙන්ම ඩොලර්. කොයි ක්‍රමයට හරි පිටරට ගිහින් උන්ඩියල් ක්‍රමයට හරි .. මගේ නම් අදහස කොහෙන් හරි රටට ඩොලර් එන්න ඕනේ'' යි මුදල් අමාත්‍යවරයා ජනවාරි 30  'ඉරිදා දිවයින' පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත  සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කර තිබේ.


'ඩොලර් රට යැවූ' දෙදෙනකු ගැන විමර්ශනක් !



මුදල් ඇමතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකල ද මහ බැංකුවේ  මග පෙන්වීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩොලර් විදේශයන්ට (ප්‍රේෂණය) යවන ජාවාරම්කරුවන් පසුපස මේවනවිටත් හඹා යමින් සිටිති.

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි 26 කට ආසන්න ඇමරිකානු ඩොලර් විදේශයන්ට (ප්‍රේෂණය ) යැවූ බව කියන ව්‍යාපාරිකයන් දෙදෙනකු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල ඉදිරියේ ඊයේ  (31) කරුණු වාර්තාකර ඇත.

'නූරා මල්ටි ට්‍රේඩර්ස්' ලෙසින් ලියා පදිංචි කර ඇති ආයතනයක් මගින් රට ඉඳි, රන්භාණ්ඩ ආදී භාණ්ඩ අපනයනය කරන බවට හඟවා මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා මෙරට තුළ පවතින ඇමරිකානු ඩොලර් විදේශයන් වෙත යවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව අධිකරණයට කරුණු වාර්තා කර තිබුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා බැරකම් විමර්ශන කොට්ඨාශයේ ඒකක 4 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේසිංහ විසිනි.



''යුද්ද කලේ Black Market එකේ සල්ලි වලින් '' - බැසිල්




මෙරට ජාතිකවාදී බලවේග දිනා ගැනීම සඳහා මෙම සම්මුඛ සාකච්ජාවේදී මුදල් අමාත්‍යවරයා සිදුකර ඇති ඇතැම් ප්‍රකාශ මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයට ලක්ව ඇත. උතුරේ යුද්දයට මුදල් සොයාගත් ආකාරය පිළිබඳව ඔහු කරන ප්‍රකාශය එවැන්නකි.

''යුද්දේ යන වෙලාවේ බුෂ් මාස්ටර් ගැන එකට අපි පතුරම් ගත්තේ කොහොමද  උතුරු කොරියාවෙන් ආයුධ ගත්තේ කොහොමද ? ඒ නිසා යුද්දෙට ගිය වෙලාවේ අපි සමහර ඒවා ගත්තේ ඔය Black Market එකේ සල්ලි වලින් ..'' යයි මුදල් අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය මේවනවිටත් ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක්ව ඇත.



බැසිල් බේරා ගැනීමට ජී.එල්. එයි !



ජීනිවා මානව හිමිකම් සමුළුව ආසන්නව තිබියදී, බ්ලැක් මාර්කට් ඩොලර් වලින් උතුරු කොරියාවෙන් අවි යුධ ලබාගත් බවට මුදල් අමාත්‍යවරයා කර ඇතැයි කියන ප්‍රකාශයක් ගැන මෙසේ ජාත්‍යන්තර වශයෙන් විවේචනයක් එල්ලවීම විදේශ අමාත්‍යංශයේ බලවත් කනස්සල්ලට හේතුවී ඇතැයි වාර්තවේ.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ලවන බරපතල විවේචනය හමුවේ, එම ප්‍රකාශය අසත්‍ය යයි කියන්නට විදේශ අමාත්‍යවරයාට ම සිදුව ඇත.

 විදේශ අමාත්‍යංශය ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ, විදේශ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සමග කතාකිරීමෙන් අනතුරුව මෙම පුවත් අසත්‍යබවට සහතික වූ බවයි.


Screenshot 2022 02 01 at 11.32.51 PM

බැසිල් 'ඉරිදා දිවයින සමග සිදුකළ සම්මුඛ සාකච්ජාව පහත පළවේ.


''ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…''- බැසිල්



රටේ විදේශ විනිමය අර්බුදය ආර්ථිකයේ අංශ රැසකට අහිතකර බලපෑම් එල්ල කර ඇත. අද සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන්නේ ද තම එදිනෙදා ජන ජීවිතයට පවා පෙර නොවූ විරූ ලෙස බලපෑම් එල්ල කරන්න මේ ඩොලර් ප්‍රශ්නය ගැනයි. මේ විනිමය අර්බුදයේ තවත් පැතිකඩ කිහිපයක් ගැන අපි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළෙමු. පහතින් සටහන් වන්නේ අප ඇසූ ප්‍රශ්නවලට මුදල් ඇමැතිවරයා ලබා දුන් පිළිතුරුයි.



ප්‍රශ්නය :
අද රටේ නොයෙකුත් ආර්ථික ප්‍ර ශ්නවලට හේතු වී ඇති ප්‍රධාන ප්‍රශ්නය ලෙස අපට පෙනෙන්නේ රට මුහුණ දී ඇති විදේශ විනිමය හිඟයයි. මේ නිසා ජනයාට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වෙලා. මේ අමාරු තත්ත්වය සමනය කරගන්න අපට කොපමණ කාලයක් යයි ද ?


බැසිල් :
අපේ රටේ ප්‍රශ්න අතර මුදල් ඇමැතිවරයා ලෙස මට තියෙන ප්‍රධානම  ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අපේ විදේශ මුදල් පිළිබඳ හිඟය. අනිත් පැත්තෙන් දේශීය මුදල් හිඟය.

මෙහිදී විදේශ මුදල් හිඟය ගැන කතා කළොත් ඒක අදියර තුනකින් තමයි මේ තැනට ආවේ. පළමු අදියර තමයි කාලයක් තිස්සෙම අපේ රටේ අවශ්‍ය වන විදේශ මුදල් ඉල්ලූමට සරිලන්න අපට විදේශ මුදල් ලැබුණේ නැහැ. ඒ කියන්නේ අපට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් අමුද්‍රව්‍ය තෙල් ආදිය ගෙන්වීම සඳහා අවශ්‍ය විදේශ මුදල් ප්‍රමාණය සහ රටේ සංවර්ධනයට අවශ්‍ය මුදල් ප්‍රමාණය අපි නිසියාකාරව හම්බ කළේ නැහැ. අපිට ඊට වඩා අඩු ප්‍රමාණයක් ආවේ.

මේක වර්ෂයක් දෙකක් නෙවෙයි කාලාන්තරයක් තිස්සේ පැවති එකක්. ඊට පස්සේ මේක පියව ගත්ත, මේක බැලන්ස් කරගත්ත ක්‍රම කිහිපයක් තිබුණ. එකක් තමයි විදේශ රැකියාවලට ගිය අය එවන විදේශ විනිමය ප්‍රේෂණ. අනිත් එක විදේශ ආයෝජන. ඔය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඒක කරේ.

ඊළඟට ප්‍රධාන එකක් තමයි සංචාරක ව්‍යාපාරය. මේවට ලොකු බලපෑමක් පාස්කු ප්‍රහාරයත් එක්ක ආවා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපේ රටේ ත්‍රස්තවාදය තියෙන කාලෙත් එවැනි අහිතකර තත්ත්වයන් සංචාරක ව්‍යාපාරයට එහෙම වරින් වර ඇති වුණා.

ඊළඟට තුන්වන කාරණය මේක ඉතාම උග්‍ර තත්ත්වෙට ආවේ මේ කොවිඞ් වසංගතයත් එක්ක. ඒක ශ්‍රී  ලංකාවට පමණක් නෙවෙයි සමස්ත ලෝකෙටම. එනම් මේක ලෝකෙටම බලපාපු ප්‍රශ්නයක්. කවුරු හරි කියන්න පුළුවන් නම් ලෝකේ කිසියම් රටකට මේකෙන් බලපෑමක් ඇති වුණේ නැහැ කියල එහෙම කියන්න රටක් නැහැ. හැම රටකටම මේ වසංගතය බලපෑවා.

තෙල්වලින් පොහොසත්, යුදමය වශයෙන් ශක්තිමත්, බලගතු ප්‍රමාණයෙන් ලොකු කුඩා හැම රටකටම මේ බලපෑම් සිද්ධ වෙලා තියෙනවා. අද මේ කොවිඞ් වසංගතයෙන් බේරිච්ච සහ ඒ නිසා ආර්ථික අමාරුකම්වලට මුහුණ පාන්න නොවුණු රටක් ලෝකේ නැහැ. මේ බලපෑම් තුනටම අහුවුණු රටක් තමයි ලංකාව.



මේ නිසා මේක විසඳන්නත් කාටවත් එකපාරටම විසඳුමක් හොයන්න පුළුවන් කියලත් මම හිතන්නේ නැහැ. ඒක ඔය සමාජ මාධ්‍යවල පමණක් ජීවත් වෙන ආර්ථික විශේෂඥයන්ට පුළුවන් වේවි. එහෙම නැතුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන කිසිම රටකට හෝ පුද්ගලයකුට හෝ ඔබ වැනි දැනුමක් තියෙන මාධ්‍යවේදියකුට හෝ ඒක කියන්න බැහැ.



ඒ කියන්නේ මේකත් ක්‍රමානුකූලව කරන්න ඕන. වසංගතයෙන් මුලින් ගොඩ එන්න ඕන. ඒ සඳහා තමයි අපේ ජනාධිපතිතුමා ඔය එන්නත්කරණය එහෙම වේගයෙන් කරලා තියෙන්නේ. වසංගතය නිසා නැවත වැටුණු සංචාරක ව්‍යාපාරය පණගන්වා ගැනීම, මෙරටට සංචාරකයන් නැවත ගෙන්වා ගැනීම, ඒ වගේම විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම, එසේම අපේ විදේශ රැකියා සඳහා යොමු කරන පිරිස් වැඩි කර ගැනීම සහ අපනයන වැඩි කර ගැනීම මෙන්ම ආනයන අඩු කර ගැනීම වැනි දේවල්වලින් අපි මේ සඳහා යම් ආකාරයකින් දැන් මුහුණ දීගෙන යනවා.

දෙවනුව නැවත ත්‍රස්තවාදය හෝ පාස්කු ප්‍රහාරය වැනි දේවල් ඇති නොවන පරිදි ලෝකයේ තියෙන ආරක්ෂිතම ස්ථානය බවට ශ්‍රී  ලංකාව පත් කර ගැනීම අපේ එක ඉලක්කයක්.

ඒක ජාතික ආරක්ෂාව තුළ ඊළඟට තුන්වැනි එක තමයි පොදුවේ කාලයක් තිස්සේ ආපු මේ විනිමය පරතරය අඩු කර ගැනීමට උත්සාහ කිරීම. මේක මට අවංකව කියන්න බැහැ අහවල් කාලයේ දී කෙරෙනවා කියල. නමුත් මේ අර්බුදය විසඳා ගැනීමේ හරි දිශානතියට, හරි පැත්තට ගමන් කරන බවක් පේනවා. අර කතාවක් තියෙනවා නේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියල. ඒ අනුව මේ විනිමය ප්‍රශ්නය විසඳුමක් කරා ළඟා වෙන බව මට විශ්වාසෙකින් කියන්න පුළුවන්.



ප්‍රශ්නය : ඇමැතිතුමනි, ඒ වගේම මහ බැංකුව පැත්තෙන් යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. මේ ඩොලර් ප්‍රශ්නය විසඳගන්න රජයේ පැත්තෙන් සහ මුදල් අමාත්‍යාංශය පැත්තෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවාද?

බැසිල් : ඔව් ඉතින් මේකෙ දී මෙහෙමයි. දැන් මහ බැංකුවට මුදල් නීති පනත අනුව ව්‍යවස්ථාපිත කාර්යයක් පැවරී තියෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශය හැටියටත් රජයක් හැටියටත් මට කටයුතු කරන්න වෙනවා. ඒ නිසා මෙහිදී විශේෂයෙන්ම එදිනෙදා කටයුතු වල දී වැඩියෙන් මැදිහත් වෙන්නේ මහ බැංකුව.

ප්‍රතිපත්තිමය වශයෙන් විශේෂයෙන් පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලය ගත යුතු ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේ දී අයවැය තුළින් වැනි එහිදී මුදල් අමාත්‍යාංශය කටයුතු කරනවා. හැබැයි මම කියන්න ඕන රජය සහ මහ බැංකුව යන දෙපාර්ශ්වයම අවබෝධයකින් අන්‍යෝන්‍ය වශයෙන් කටයුතු කරමින් සිටිනවා.



ප්‍රශ්නය :අපට අඩුපාඩුවක් ලෙස පෙනෙනවා දැනට නිල විනිමය අනුපාතය පවත්වාගෙන යනවා ඇමෙරිකානු ඩොලරයකට රු.203 විතර. මේ අද පවතින නිල විනිමය අනුපාතය සහ විදේශ විනිමය කළු කඩයේ ගෙවන රු. 240 ක් පමණ වන මිල අතර විශාල පරතරයක් තියෙනවා. මේ පරතරය ගොඩක් වැඩි නිසා මෙරටට විදේශ විනිමය ප්‍රේෂණ ලැබීම ගොඩක් අඩු වෙලා තියෙනවා. ?

බැසිල් :
දැන් මේක මෙහෙමයි. 2020 සහ 2021 යන වර්ෂ ගැන කතා කළොත් 2020 දී අපේ ප්‍රේෂණ එකපාරට ඉහළ යෑමක් සිද්ධ වුණා. මේක මම තක්සේරු කළේ හරියට නිවෙන්න යන පහනක් දැල්ල වැඩි වෙනවා වගේ. එතකොට ඒක එකපාරටම වැඩි වීමක් සිද්ධ වුණා. ඒ සඳහා කරුණු කිහිපයක් සිදු වුණා.

එනම් වෙනදා ඔවුන් ලංකාවට එනකොට අරන් එන සල්ලි බොහෝ නිල මාර්ගවලින් එව්වා. දෙවෙනි එක පාරක් ගෙවන ලැබීම් (one time payment) ඔවුන්ට ලැබුණ. ඒ කියන්නේ ඒ වෙලාවේ වසංගතයත් එක්ක අපේ හුඟක් පිරිස ඉන්න රටවල තෙල් මිල එහෙම වැටිලා රැකියාවල් එහෙම නැති වුණා. එතකොට ඔය පාරිතෝෂික ගෙවනවා වගේ one time payment ලැබුණ.



ප්‍රශ්නය – 2020 වසරේ දී එවැනි මුදල් ලැබුණා ?

බැසිල් :
ඔව්. එතකොට වසංගතය එක්ක මෙහෙ පවුල්වල අයට ඒ අයගේ ආරක්ෂාවට ඒ කට්ටිය වැඩිපුර මුදල් එව්වා. මේ නිසා 2020 ත් එක්ක 2021 හෝ වෙන වර්ෂයක් සංසදනය කිරීම සුදුසු නැහැ. ඊළඟට මේකත් එක්ක අපට අමතක වෙන එකක් තමයි අපේ සාමාන්‍ය වර්ෂයකට 230,000 ක් 250,000 ක් අතර රට රැකියාවලට යවපු එක එකපාරටම 2020 වසරේ දී ප්‍රේෂණ ලැබීම වැඩි වුණාට රට රැකියාවලට අපි යවන සංඛ්‍යාව 53,000 ක් දක්වා බැස්සා.

එතකොට රට රැකියාවලට යන එක වසංගතය සමග හතරෙන් එකක් අඩු වුණා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හතරක් යැව්වම එවන සල්ලි ප්‍රමාණය දැන් එක්කෙනෙක්ගෙන් එන්නේ. මේ නිසා අනිවාර්යෙන්ම 2021 වසරේ ප්‍රේෂණ ලැබීමේ යම් අඩුවක් සිද්ධ වෙනවා. ඒක තමයි තියෙන්නේ.

 ඒකට විසඳුම 2020 දි 53,000 ක් වූ රට රැකියාවලට යවපු ගණන අපි 2021 දී 120,000 දක්වා වැඩි කරගත්ත. දැන් 120,000 දැන් අපි මේ වසරේ (2022) දී අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂ 3 දක්වා වැඩි කරගන්න. එතකොට කෙටිකාලීන විසඳුමක් හැටියට යම් යම් පියවරවල් මහ බැංකුව ගත්තට මුදල් ඇමැතිවරයා සහ අපේ රජයක් හැටියට අපි අනිත් අමාත්‍යාංශත් සියල්ල එකතු වෙලා රට රැකියාවලට යවන ප්‍රමාණය වැඩි කරගන්න උත්සාහ ගන්නවා.

අපි දැන් අලූත් වෙළෙඳපොළවලට අපි යවනවා. අපි අලූත් වෙළෙඳපොළ හොයනවා. ඊළඟට අපි අලූත් ක්ෂේත‍්‍රවලට රැකියාවලට යවනවා. අපි දීර්ඝකාලීන ස්ථිරසාර විසඳුමක් හැටියට අප කරන්නේ විදේශ රැකියාවලට යවන සංඛ්‍යාව වැඩි කර ගැනීම. ඒ සඳහා තමයි අපි හුඟක්ම මහන්සි ගන්නේ.




ප්‍රශ්නය : ඔබ කිව්වා වගේ 2020 වර්ෂය තුළ විදේශ ප්‍රේෂණ විවිධ හේතු නිසා වැඩි වෙලා තියෙනවා. ඒත් 2019 වසර ගත්තත් ඩොලර් බිලියන හයකට වැඩි හතකට ආසන්න ගණනක් ලැබුණා. කොහොම නමුත් මහ බැංකුවත් පිළිගන්නවා හවාලා, උන්ඩියල් වගේ ක්‍රම වලින් විනිමය ප්‍රේෂණ ප්‍රමාණයත් මෙරටට එනවා කියල. මේ ප්‍රමාණය බිලියන 1.5 ක් විතර ලෙස සැලකුවොත් ඒක ලොකු මුදලක් ?

බැසිල් :


ඒ වුණාට මම නම් හිතන්නේ ඒක මහ බැංකුවට ප්‍රශ්නයක් වුණාට රටකට ප්‍රශ්නයක් නෙවෙයි කොහෙන් හරි ඩොලර් එනවා. මහ බැංකුවට ඒක ප්‍රශ්නයක් වෙන්න ඇති. මහ බැංකුව පැත්තෙන් ඔබ කියන කරුණ හරි.

දැන් ඔයා කියන්න දැන් සංචාරකයෙක් මෙහෙ ආවොත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ ඩොලර් ආදායමට පමණක් සංචාරක ව්‍යාපාරය කරනවා කියල. සංචාරක කර්මාන්තයෙන් රැකියා සපයනවා. හෝටල් කරනවා. වාහන දුවනවා. ඒක නිසා මේකේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා.

දැන් විදේශ රැකියාවක් සඳහා කෙනෙක් පිටරට ගියොත් එතකොට හිතන්න එපා ඒකෙන් විදේශ රැකියා නියෝජිතයන්ට සහ අපට ලැබෙන මුදල් ප්‍රමාණය ගැන පමණක්. ඒ රැකියාවෙන් එයා මුළු පවුලක් ජීවත් කරනවා කියන එක අමතක කරන්න එපා. එයාට ඒක වෙන ක්‍රමයකින් හම්බු වෙලා.


මගේ නම් පෞද්ගලික විශ්වාසය ඒ පුද්ගලයා හම්බ කරන ඩොලර් එකට බැංකුව හරහා රු. 200 ක් ගැනීමත් එහෙම නැත්නම් වෙන ක්‍රමයකට රු.240 ක් ගැනීමත් ඒක රටක පුරවැසියෙක් හැටියට අපි ඒක එතරම් මහා ලොකුවට සලකන්න සුදුසු නැහැ. එතකොට ඒ මනුස්සයාගේ පවුලට රු. 240 ක් හම්බු වෙනවා. ඉතිං ඕකට මොකක්ද ඔච්චර කෑ ගහන්නේ.?


ප්‍රශ්නය :ඇමැතිතුමනි ඒ මුදල් ටික එනම් රුපියල් වටිනාකම ලැබෙනවා ඒ පවුල්වලට

බැසිල් :
ඔව්. ඉතිං.



ප්‍රශ්නය : හැබැයි අර ඩොලර් ප්‍රමාණය යනවා අවිධිමත් ක්‍රමයට?

බැසිල් :

කොහොමද අවිධිමත් කියන්නේ? ඔයාට අවිධිමත්, සෙන්ට්‍රල් බෑන්ක් එකට අවිධිමත් මුදල් ඇමැතිවරයාට අවිධිමත්. නමුත් ඒ පුද්ගලයාට අවිධිමත් නෑ.

ප්‍රශ්නය :ඔව් එයාට නැහැ?

බැසිල් :
ඉතිං මොකක් ද ඒකෙ තියෙන වැරැද්ද?



ප්‍රශ්නය : එතකොට විදේශ විනිමය ?

බැසිල් :
නෑ. එහෙම එකක් නෑ. විදේශ විනිමය එනවනේ. නැත්නම් අපි ඒ ඩොලරය වෙන පැත්තකින් හොයන්න ඕනනේ. කවුද ඔය කියන්නේ එක පැත්තකින් විතරයි. ඕක හොඳයි මුදල් ඇමැතිතුමාට. නැත්නම් මහ බැංකු අධිපතිතුමාට. හැබැයි ඕක මම හිතන්නේ නෑ සාමාන්‍ය පුද්ගලයට කිසිම බලපෑමක් ඇති වෙනවා කියල.



ප්‍රශ්නය :ඇමැතිතුමා දැන් අපට තෙල් ගෙන්වා ගන්න?

බැසිල් :
නෑ. ඒක තෙල් ගෙන්වා ගන්න එක අපේ ප්‍රශ්නයක්නේ. ඒ පුද්ගලයාට ප්‍රශ්නයක් නෙවෙයිනේ.




ප්‍රශ්නය : ඒ පුද්ගලයාගේ පැත්තෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ?

බැසිල් :
ඉතිං ඒකනේ. ඒක ඇතිනේ අපට. ඒ ඇතිනේ. විදේශ රැකියාවලට මිනිහෙක් යන්නේ එයාගේ දරුවන්ට උගන්ව ගන්න. එයාට ගේ හදා ගන්න. එයාට ඒ සල්ලි ටික ලැබෙනවා නම් මොකක්ද ප්‍රශ්නේ ?



ප්‍රශ්නය :ඒ මහජනයාගේ පැත්තෙන් නෙවෙයි. දැන් විනිමය ප්‍රශ්නය නිසා තෙල් ගෙන්වා ගන්න බැරි වුණොත් විදුලිය නිෂ්පාදනය කර ගන්න බැරි වෙනවා.

බැසිල් :
නෑ ඒක ඉතිං රජය බලාගන්න ඕන. ඒක අර පුද්ගලයාගේ පිටඋඩ දාන්න හොඳ නෑනේ. එයා කොහොම හරි ගිහින් අඩු ගානේ ඒක රජයට ලොකු සම්පතක්නේ. එයා රට රැකියාවක් කරලා ජීවත් වෙන එක.



ප්‍රශ්නය : ඇත්තවශයෙන්ම ඇමැතිතුමනි අපිත් කියන්නේ ඒකයි. ඒක ඒ මනුස්සයාගේ වරදකුත් නෙවෙයි. දැන් සමහර සංචාරකයන් ඇවිල්ල හෝටල් හරහා බැංකුවලට යන්නේ නැතුව සල්ලි පිටින් මාරු කරගන්න බවට දැනගන්නට තිබෙනවා?

බැසිල් :
ඉතිං අපිත් කරනවනේ. ඔයා සිංගප්පූරු ගිහින් ඔයා මුදල් හෝටලෙන් මාරු කරන්නේ නෑනේ. ඔයාට මනී එක්ස්චේන්ජර් කෙනෙක් වැඩිපුර ගෙවනවනම් ඔයා එතනින් මාරු කර ගන්නවා.



ප්‍රශ්නය : ඔව්. එතකොට එහෙම මුදල් මාරු කරන එක ඒ අයගේ වරදකුත් නෙවෙයි. විදේශ සංචාරකයාගේ වරදකුත් නෙවෙයි.

බැසිල් : ඔව්.



ප්‍රශ්නය : හැබැයි දැන් මහ බැංකුව කියන දෙයින් අප දකිනවා මේ විදේශ ශ්‍රමිකයාට යම් බලපෑමක් කරනවා කියල අනිවාර්යෙන් බැංකු ක්‍රමය හරහා මුදල් එවන්න කියල ?

බැසිල් :


මහ බැංකුව පැත්තෙන් ඒක හරි. එයා බලන්න ඕන එයාට වැඩියෙන් ඩොලර් හොයා ගන්න. ඉතිං ඒක ඒ දෙගොල්ලගෙ දෙකක්. ඉතිං මුදල් ඇමැතිවරයා හැටියට මට.. දෙකම එකයි. මම අවංකව කියන්නේ. ඇත්ත මේක. මාධ්‍ය වුණත් දෙපැත්තම පෙන්වන්න ඕන. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ.



ප්‍රශ්නය : විදෙස්ගත ශ්‍රමිකයා සාමාන්‍යයෙන් පුරවැසියෙක් විදියට එයා වැඩියෙන් මුදල් ලැබෙන තැනට යොමු වෙනවා ?

බැසිල් :
නෑ. දැන් ඔයාට ඩොලර් එකක් තියෙනවා නම් මම කියනවා රු. 230 ක් දෙනවා කියල අරය කියනවා රු.200 ක් දෙන්නම් කියල.



ප්‍රශ්නය :මම අනිවාර්යෙන් යනවා වැඩිපුර දෙන තැනට.

බැසිල් :
 ඉතිං අපි ඒක නතර කරන්න ඕන ද ?



ප්‍රශ්නය : හැබැයි මහ බැංකුව ගිණුම් පරීක්ෂා කරනවා. එතකොට..

බැසිල් :
(සිනහසෙමින්) ඒක ඉතින් මහ බැංකුව පැත්තෙන් එයාට ඕන වැඩිපුර ඩොලර් ගෙන්වා ගන්න.




ප්‍රශ්නය : ඔබතුමා කියන දේ මම පිලිගන්නවා. ඒක ඇත්ත වශයෙන් විදේශ සංචාරකයාගේ ප්‍රශ්නයකුත් නෙවෙයි. විදෙස්ගත ශ්‍රමිකයාගේ ප්‍රශ්නයකුත් නෙවෙයි.?

බැසිල් :
දැන් මෙහෙමනේ… දැන් පාසල් පොත් පිට මුද්‍රණය කළොත් අපට රු.400 ට හම්බ වෙන පොත රජයේ මුද්‍රණාලයට දුන්නොත් ඒකට 400 වෙනුවට රු. 450 ක් ගෙවනවා. එතකොට ඒක රජයේ ආයතනයකට දෙනවා. එතකොට ඒ රජයේ ආයතනයට ලාභයි. හැබැයි ඒ වැඩිපුර ගෙවන රු. 50 ගෙවන්නෙත් භාණ්ඩාගාරයේ මහජනයාගේ බදු මුදලින්නේ. පුද්ගලික අයගෙන් පොත් ගත්තොත් රු. 400 යි ගෙවන්න ඕන භාණ්ඩාගාරයට. හැබැයි අපි රු.450 ක් ගෙවනවා ආණ්ඩුවේ ආයතනයට. ඕක තමයි ඔය දෙකේ වෙනස.



ප්‍රශ්නය : විදේශ මුදල් මාරු කිරීමෙන් මහජනයාට වැඩිපුර ගාණක් ලැබෙන එක කිසි ප්‍රශ්නයක් නැහැ. විදේශ සංචාරකයා පිටින් මාරු කරත් ඒ අය යොමු වෙනවා ඒ අයට වැඩි මුදලක් ලැබෙන තැනින් මුදල් මාරු කරන්න. හැබැයි විදේශ විනිමය නිල මාර්ගවලට ආවේ නැතොත් එහෙම?

බැසිල් :
ඒක නිල නොවන මාර්ගයක් කියල කොහොම ද කියන්නේ ?




ප්‍රශ්නය : මහ බැංකුව ප්‍රකාශ කරන්නේ බැංකු ක්‍රමය හරහා ආවේ නැතොත් ?

බැසිල් :
කවුද කියන්නේ එහෙම. ලෝකේ කොහෙද තියෙන්නේ? මනී එක්ස්චේන්ජර්ස්ල ලෝකේ රෙකග්නයිස් කරලා තියෙනවනේ නිල මාර්ගයක් හැටියට.



ප්‍රශ්නය : මම ඇහුවේ මුදල් එවන උන්ඩියල් සහ හවාලා ක්‍රම ගැන ?

බැසිල් :


 උන්ඩියල් හවාලාත් ලෝකේ රෙකග්නයිස් ක්‍රමයක්. දැන් හරියට ඔය තියෙනවනේ බිඞ් කොයින් වගේ. ඒකත් සමහර රටවල් කියනව නිල නොවන කියල. සමහර රටවල් පිළිඅරගෙන තියෙනවා. දැන් උන්ඩියල් ක්‍රමයෙන් මම පිටකොටුවෙන් ඩොලර් 100 ක් අරගෙන ගියොත් මට ඒක ලෝකේ ඕන තැනක මාරු කරන්න පුළුවන්. ඒ ඩොලරයත් එකයි. මම බැංකුවෙන් ගන්න ඩොලරයත් එකයි.



ප්‍රශ්නය : හැබැයි රටට විදේශ විනිමය නිල මාර්ග හරහා ලැබුණොත් විතරයි මහ බැංකුවට ඩොලර් ගන්න පුළුවන්. එනම් අපනයනවලින්, සංචාරක ව්‍යාපාරයෙන් සහ විදේශ විනිමය ප්‍රේෂණවලින් ලැබෙන ඩොලර්වලින් යම් ප්‍රමාණයක් මිලදී ගන්නවා මහ බැංකුව විසින් ?

බැසිල් :
ඒ මොනවට ද සංචිත කියල පෙන්වන්න.



ප්‍රශ්නය  :ඔව් සංචිත වැඩි කරගන්න ?

බැසිල් :



ඒකෙන් කාට ද ප්‍රයෝජන? රටට ප්‍රයෝජනයක් නැහැ. ඒක මේ රේටින් කම්පැණිවලට තියාගන්න මිසක් ඒ ඩොලර් සහ අනිත් ඩොලර් එකෙයි වෙනස මොකක්ද ? මගේ ළඟ තියෙන ඩොලර් එකෙයි සෙන්ට්‍රල්  බෑන්ක් එකේ තියෙන ඩොලර් එකෙයි වෙනස මොකක් ද ? දැන් පිටකොටුවේ ඉන්න මුදලාලි උන්ඩියල් කරන මිනිහ ළඟ තියෙන ඩොලර් ලක්ෂයයි සෙන්ට්‍රල් බෑන්ක් එකෙයි මහජන බැංකුවෙයි තියෙන ඩොලර් ලක්ෂයයි අතර තියෙන වෙනස් මොකක් ද? ඒකෙන් ගේන පරිප්පුවලයි මේකෙන් ගේන පරිප්පුවලයි වෙනසක් මොකක් ද තියෙන්නේ.



ප්‍රශ්නය : වෙනසක් නැහැ. එහෙත් අපි ගත්ත විදේශ ණය ගෙවා ගන්න ගියාම සංචිතයෙන් තමයි ණය ගෙවන්නේ ?

බැසිල් :
ඒක මුදල් ඇමැතිවරයාට ණය ගෙවන අයට අයිති එකක්. මට අරකෙනුත් අරගෙන දෙන්න පුළුවන්. කවුද කියන්නේ බෑ කියල.



මම යුද්දෙ යන කාලේ ඩොක්ටර් ජයසුන්දරවත් අයින් කරලා තිබිල තෙල් නැවට සල්ලි ගෙව්වේ මේ පිටකොටුවෙන් අරගෙන. හරියට සුමාන දෙකකට සැරයක් නැවක් එනකොට අපි ඩොලර් එකතු කරන්නේ සුමිත් අබේසිංහයි මායි ගිහිල්ල මේ පිටකොටුවේ ඉන්න මුදලාලිලාගෙන්. හැම මිනිහටම කෝල්ස් දීල අහනවා ඔයා ගාව ඩොලර් කීයක් තියෙනවා ද කියල අහල ගෙන්න ගන්නවා. එහෙම අරගෙන තමයි පෙට්‍රෝලියම් එකට දෙන්නේ.


ප්‍රශ්නය :එහෙම කරන්න පුළුවන් නම් හොඳයි ?

බැසිල් :
 ඇයි බැරි එහෙම කරන්න? ඒක තමයි මෙවැනි වෙලාවක එතකොට ඇන්. ඇම්. පෙරේරා කළෙත් ඒකමනේ. ඇන්. ඇම්. කළෙත් එයා මැණික් කාරයන්ට යැව්වම වෙනම දුන්න මොකක්ද ක්‍රමයක් සල්ලි වගයක්, ඩොලර් වගයක්.

ඕක මෙහෙමයි. මේක සෙන්ට්‍රල් බෑන්ක් එක පැත්තෙනුයි ආණ්ඩුව පැත්තෙනුයි අවාසියි. හැබැයි රටක් හැටියට එහෙම බැහැ. මම කියන්නේ මට ඕන වැඩියෙන්ම ඩොලර් කොයි ක්‍රමයට හරි පිටරට ගිහින් උන්ඩියල් ක්‍රමයට හරි….


ඔයා කියන්න යුද්දේ යන වෙලාවේ බුෂ් මාස්ටර් ගන් එකට අපි පතුරම් ගත්තේ කොහොම ද? උතුරු කොරියාවෙන් ආයුධ ගත්තේ කොහොම ද? ඒ නිසා යුද්දෙට ගිය වෙලාවේ අපි සමහර ඒවා ගත්තේ ඔය බ්ලැක් මාකට් එකේ සල්ලි වලින්…. මේකයි ශ්‍යාම් මේකේ… එක පැත්තකින් බැලූවොත් හරි. නමුත් මගේ නම් අදහස කොහෙන් හරි රටට ඩොලර් එන්න ඕන.

ප්‍රශ්නය : බඩු මිල බොහෝ වැඩි වෙලා මේ වෙලාව මහජනතාව ඉතාම අපහසුවෙන් ඉන්න වෙලාවක්. ඔබතුමා මේ අවස්ථාවේ මහජනතාවට දෙන පණිවිඩය කුමක් ද ?

බැසිල් :
මහජනතාවට දෙන මගේ පණිවිඩය ඇත්තටම මේ වගේ වෙලාවක ඉතාම ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව ඉන්න. මේ උසිගැන්වීම් සහ නොමඟ යැවීම් මධ්‍යයේ මෙහෙම සිටීම ගැන ජනතාවට මේ උසිගැන්වීම් සහ නොමඟ යැවීම්වල තත්ත්වය වෙන රටක වුණා නම් මෙහෙම නෙවෙයි රටේ ජනයා ප්‍රතිචාර දක්වන්නේ.

හැබැයි මේ රටේ ජනතාව හොඳ අවබෝධයකින්, හොඳ ඉවසීමකින් හොඳ කල්පනාවෙන් කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම මම ඉදිරියටත් ඉල්ලනවා අපේ රටේ වැඩි දෙනෙක් බෞදධයෝ. එසේම හැම ආගමකම කියන පරිදි ඉතාම හොඳට ආගමික ධර්මය පිළිපදින පිරිසක්. ඒ වගේම හොඳ හික්මීමක් දැනුමක් අවබෝධයක්, ඉවසීමක් තියෙන ජනතාවක්.

ඒ අනුව ඒ විදියට කටයුතු කිරීමට මග පෙන්වන සමහර ආගමික නායකයන්ට ගෞරවය පුද කරනවා. ඒ විදියට අපි කොහොමහරි මේක අපි ලොකු විශ්වාසයකින් මේ කටයුත්ත කරනවා. ඒ නිසා ජනතාව ඒ විදියට දිගටම කටයුතු කරයි කියල අපේක්ෂා කරනවා.

ඒ වගේම මේ අනිත් පිරිසටත් ජනයා උසිගැන්වීම් යනාදිය නොකර මේ වෙලාවේ ඒ යුතුකම රට වෙනුවෙන් ඉෂ්ට කරන්න කියලා ඉල්ලනවා.

( ඉරිදා දිවයින : සාකච්ඡා කළේ – ශ්‍යාම් නුවන් ගනේවත්ත)

සබැඳි පුවත් :

නීති විරෝධී මුදල් ගනුදෙනු දිරිමත් කරන ලෝකයේ එකම මුදල් ඇමැති !

සංචාරකයින් ගේන මුදල්වලටත් ආණ්ඩුවෙන් පොල්ලක් ! - Sandeshaya by Saroj

 

Leader Whats app

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58