සෑම් Twitchහි දී first person shooter පන්නයේ වීඩියෝ ගේම් ක්‍රීඩා කරන අතර, ස්ට්‍රීමර්ලාගේ මානසික සෞඛ්‍යයට සහායවීම සඳහා වෙබ් අඩවිය වඩාත් ක්‍රියාකාරීවීමට අවශ්‍ය බව සිතයි. (ඡායා-BBC NEWS)


ජීවත්වීම සඳහා වීඩියෝ ක්‍රීඩා කිරීම මිලියන ගණනකගේ සිහින රැකියාවකි.

බොහෝ දෙනෙකු Twitch වැනි වෙබ් අඩවිවල ස්ට්‍රීම් කිරීම හරහා ඒ සිහිනය සැබෑ කරගෙන තිබේ. Twitch හරහා තමා ක්‍රීඩා කරන ආකාරය ලොව පුරා සිටින රසිකයින් සමග සජීවීව බෙදාගත හැකි අතර, එයට කමෙන්ට් සහ මූල්‍යමය 'ප්‍රීති ඝෝෂාවන්' ලැබේ.

කෙසේ වෙතත්, සෑම් වැනි සමහර ස්ට්‍රීම් කරන්නන් පවසන්නේ Twitch හරහා තම ජීවිකාව කරගෙන යාමේ දී දැඩි පීඩනයන්ට මුහුණ දීමට සිදුවන බව යි. "මම දැන් මගේ දොර අරින්නවත් කැමති නැහැ, මම එළියට යන්නේ නැහැ, මම කාත් එක්කවත් කතා කරන්නේ නැහැ," ඇය පවසයි.

"මං කැමති නෑ මිනිස්සු එක්ක මූණට මූණ බලලා කතා කරන්න, මම අන්තිමට එහෙම කරන්න ඇත්තේ ගොඩාක් ක‍ාලෙකට කලින්."

අන්තර්ජාලය තුළ 'සූෂි' යන නමින් පෙනී සිටින සෑම්, වසර දෙකකට පෙර කාර්යාල කළමනාකාරිණියක ලෙස රැකියාවෙන් ඉවත් වී, නව නිවසකට පිවිස, සිය පූර්ණකාලීන වෘත්තීය ලෙස Twitchහි ස්ට්‍රීම් කිරීමට පටන්ගත්තා ය. ඇය ත්‍රාසජනක ක්‍රීඩා සඳහා ඇල්මක් දක්වන අතර දහස් ගණනක ෆලෝවර්ස්ලා සංඛ්‍යාවක් ද ගොඩනගාගෙන සිටියි.

Twitch හරහා සජීවී විකාශය සිදුකිරීමට ගත් තීරණය සාර්ථක කර ගැනීම සඳහා දවසේ වැඩි කාලයක් ගතකිරීමට ඇයට සිදුවිය: "මහන්සි දැනුනොත් ඉරිදට විතරක් නිවාඩුවක් අරගෙන මම දවසකට පැය 10ක් [ස්ට්‍රීම්] කරන්න ඕන කියලා තීරණය කළා."

"දවසකට පැය දහයක් කියන්නේ ලොකු කාලයක්. අපිට හිතෙන්නේ ඉතුරු පැය ටික කම්පියුටරෙන් ඈත්වෙලා ඵලදායී හා ජවසම්පන්න විදියට ගෙවන්න පුළුවන් නේද කියලා. ඒත් ඒක එහෙම නැහැ. එතනින් පස්සේ මේ රැකියාවේ කොටසක් විදියට අනිත් සෝෂල් මීඩියාවල කාලය ගතකරන්න වෙනවා."

සෑම් පවසන්නේ සතියකට පැය 60කට වැඩි කාලයක් අඛණ්ඩව ස්ට්‍රීම් කිරීම කාංසාව, ආත්ම විශ්වාසය නැතිවීම, සහ අංගන භීතිකාව යන රෝග ලක්ෂණවලට හේතු වූ බව යි.

"පූර්ණකාලීන රැකියාව විදියට කරන්න ගත් මුල්කාලේ ඒක මට බලපාන බව මට තේරුණා," ඇය පවසයි. "මම ඇත්තටම එළිපහළියට ගියේ නැහැ, මම හිතන්නේ නැහැ මම ඒ පළවෙනි අවුරුද්දෙ දි එක සැරයක්වත් එළියට ගියා කියලා. අහම්බෙන් කඩේට වගේ යන්න ඇති."

 123003524 gettyimages 1232608765.jpgප්‍රකාශයක් නිකුත් කරමින් Twitch පැවසුවේ ස්ට්‍රීමර්ලාගේ ආරක්ෂාව ඔවුන්ගේ "ප්‍රමුඛතාව" බව යි. (ඡායා-GETTY IMAGES)
 


සෑම් වැනි ස්ට්‍රීමර්ස්ලාට අහිතකර සෞඛ්‍යමය ගැටලු ඇතිවිය හැකි තරම් කාලයක් වෙබ් අඩවි‍යේ ගත කිරීමට දිරිමත් කිරීමත්, ඔවුන්ට ප්‍රමාණවත් සහායක් ලබා නොදීමත් සම්බන්ධයෙන් Twitch සේවාව දැන් විවේචනයට ලක් වේ.

වීඩියෝ ක්‍රීඩා සහ ඊ-ක්‍රීඩා පිළිබඳ වෙස්ට්මිනිස්ටර්හි සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති වන කම්කරු මන්ත්‍රී ඇලෙක්ස් සොබෙල් විසින් අදාල වෙනස්කම් සිදුකරන ලෙස වෙබ් අඩවියෙන් ඉල්ලා තිබේ. "වෙබ් අඩවිය සැබවින්ම එහි ක්‍රියාකාරීත්වය ගැන හිතන්න ඕන, ස්ට්‍රීමර්ස්ලාගේ සෞඛ්‍යය ආරක්ෂා කරන්න එහි මූල්‍ය ආකෘතිය වෙනස් කරන්න ඕන," ඔහු අප සමග පැවසීය.

"ඒක හදලා තියෙන්නේ, නරඹන්නන් දිගටම රඳවා තබාගන්න නම් ක්‍රීඩකයා හැකිතාක් වේලා එහි රැඳී සිටිය යුතු ආකාරයෙන්. හැබැයි ඒ ක්‍රමය වෙනස් කළොත්, තමන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න ස්ට්‍රීම් කරන අය‍ පෙළඹේවි."

"මේක අලුත් ගැටලුවක් නොවෙයි. ඔවුන්ට [Twitch ආයතනය] මේ ගැන හිතන්න ඕනෑ තරම් කල් තිබුණා. දැන් යම් ක්‍රියාමාර්ගයක් ගතයුතු කාලය යි. ඔවුන්ට එහෙම කරන්න යුතුකමක් තියෙනවා."

ප්‍රකාශයක් නිකුත් කරමින් Twitch ආයතනය පවසා සිටියේ, ඔවුන් තම වෙබ් අඩවිය හරහා මානසික සෞඛ්‍ය පිළිබඳ සම්පත් වෙත සබැඳි සපයා ඇති බව යි. එමෙන්ම, "මානසික පීඩනය, තමාට සීමාවන් පනවාගැනීම, සහ වීඩියෝ නිර්මාණය කිරීමේ වෘත්තිය හා බැඳි වෙනත් පීඩන වැනි අභියෝගවලට මුහුණ දීමට Twitch ස්ට්‍රීමර්ස්ලාට සහායවීම සඳහා ඉලක්කගත වැඩසටහන් සංවර්ධනය කරමින් සිටින බව" Twitch ප්‍රකාශ කළේ ය.



 123003483 photo 2022 01 24 17 08 27.jpgඅන්තර්ජාලයේ දී SVB යන නම භාවිතා කරන සිඩ්, YouTube වීඩියෝ නිර්මාණයට අමතරව Overwatch පරිගණක ක්‍රීඩාව විකාශය කරයි. (ඡායා- BBC NEWS)



එක්සත් රාජධානියේ, ලීඩ්ස් නෝර්ත් වෙස්ට් නම් මැතිවරණ කොට්ඨාශයේ මේ මන්ත්‍රීවරයාට Twitch වෙතින් ප්‍රතිපත්තිමය වෙනසක් දැකීමට අවශ්‍යව ඇති අතර, එමඟින් ස්ට්‍රීමර්ස්ලාට සජීවීව සිටිය හැකි උපරිම පැය ගණන අඩු කරනු ඇත.

දැනට ස්ට්‍රීමර් කෙනෙකුට එකදිගට පැය පැය 48ක් Twitchහි රැඳී සිටිය හැකි අතර, ඇලෙක්ස් සෝපල් සිතන්නේ වෙබ් අඩවිය "ඒ ගැන සිතා බැලිය යුතු යි" කියා ය.

ඔහු පවසන්නේ Twitch වෙබ් ප්ලැට්ෆෝමයේ මූල්‍ය දිරිගැන්වීම් ක්‍රියා කරන ආකාරය ගැන නැවත සිතා බැලිය යුතු බව යි. වත්මන් ආකෘතිය දිගු සජීවී සැසි පැවැත්වීමට දිරිමත් කරන නමුත්, එය "ස්ට්‍රීමර්ස්ලාගේ සෞඛ්‍යය වඩා හොඳින් ආරක්ෂා කිරීමට" උචිත ලෙස වෙනස් විය යුතු ය.


Twitch යනු පරිගණක ක්‍රීඩකයින් සඳහා වූ ලොව ප්‍රමුඛතම 'ලයිව් ස්ට්‍රීමිං' වේදිකාව යි. එය ඇමසන් සමාගම සතු අතර, එම සමාගම විසින් 2014 දී ඩොලර් බිලියන 1කට ආසන්න මුදලක් Twitch වෙත යොදවා තිබේ. තම ප්‍රියතම තරගකරුවන්ගේ වීඩියෝ නැරඹීමට දිනකට මිලියන 30ක ජනතාවක් වෙබ් අඩවිය වෙත පැමිණෙන බවට ගණන් බලා ඇත.



Overwatch පරිගණක ක්‍රීඩාව විකාශය කරන සිඩ් පවසන්නේ, වෙබ් අඩවියේ වත්මන් සැලසුම සෞඛ්‍යයට අහිතකර කාලයක් වෙබ් අඩවියේ විකාශය කිරීමට වෘත්තීය ස්ට්‍රීමර්ස්ලාට මඟපාදන බව යි.

ඔහු අපට මෙසේ පැවසිය: "පුළුවන් තරම් කාලයක් ඔන්ලයින් ඉන්න වෙනවා. එතකොට තමයි වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඇදගන්න පුළුවන් වෙන්නේ."
"ඔන්ලයින් ඉන්න තරමට ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ යනවා. ඒ ක්‍රමය නිසා වැඩි කාලයක් ඒකත් එක්ක ගත කරන්න පෙළඹෙනවා, මොකද වෙබ් සයිට් එක හදල තියෙන්නේ ඒ විදියට."

 

 123003519 alexsobel.pngකම්කරු පාක්ෂික මන්ත්‍රී ඇලෙක්ස් සොබෙල්, වීඩියෝ ක්‍රීඩා සහ ඊ-ක්‍රීඩා පිළිබඳ වෙස්ට්මිනිස්ටර්හි සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති වෙයි. (ඡායා- BBC NEWS)



දින ගණන් - සති ගණන්



ස්ට්‍රීමර්ලාට සිය නාලිකා ප්‍රවර්ධනයකර ගැනීමට මෙවලමක් ලෙස, මෑතක දී දින කිහිපයක් හෝ සති ගණනක් තිස්සේ ඔවුන් සජීවීව සිටින මැරතන් ස්ට්‍රීමිං සැසි වැඩි වැඩියෙන් ජනප්‍රිය විය.

වෙබ් අඩවියේ පැය 48ක සීමාව බිඳීම සඳහා, වරින් වර විකාශය ක්‍රියාවිරහිත කර නැවත අරඹන්නට ස්ට්‍රීමර්ස්ලා පෙළඹී තිබේ. 2021 ඔක්තෝම්බර් මාසයේ දී GhostInTheMachine නමැත්තා එලෙස දින 76ක් අඛණ්ඩව සජීවීව සිටියේ ය.

වීඩියෝ නිර්මාණකරුවකු වන සිඩ් තම රැකියාවට ඇලුම් කරන අතර, ස්ට්‍රීම් කිරීමට ප්‍රිය කරයි. "හරියට වැඩේ වෙද්දි පුදුම සතුටු යි. වෙන කිසිම දෙයක් ඕන නැහැ. ඒත් සෞඛ්‍යය පැත්තෙන් සැලකිල්ලකුත් තියෙන්න ඕන," ඔහු පවසයි.

තම නාලිකාවේ වර්ධනයට බාධාවක් වුවත්, තමා කොපමණ කාලයක් ඔන්ලයින් සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් ඔහු තමාටම දැඩි සීමාවන් පනවාගෙන තිබේ.
සිඩ් පවසන්නේ, සෞඛ්‍යසම්පන්නව ස්ට්‍රීම් කිරීම ගැන ස්ට්‍රීමර්ස්ලා විසින්ම වැඩි වැඩියෙන් සංවාද පැවැත්විය යුතු බව යි: "තමන්ගේ සාර්ථකත්වය යි, ලැබෙන මුදල් ප්‍රමාණය යි නිසා ගොඩක් දෙනෙක් සබතන්ස් විවේචනය කරන්නත් බය යි."

"කාටවත් ඕනේ නෑ, 'ඒයි යාලුවනේ අපි මේවා නවත්තලා දාන්න ඕනෙද?' කියලා මුලින්ම අහන කෙනා වෙන්න. මොකද, සබතන්ස් ලාභදායී බව අපි දන්නවා. ඒත් යටිහිතින් හිතන්නේ මේවා කරන්න නොලැබුණා නම් හොඳයි කියලා."

සෑම් සහ සිඩ් සිතන්නේ Twitch වෙතින් ස්ට්‍රීමර්ලාට වැඩි සහයෝගයක් ලැබිය යුතු බව යි.

සෑම් මෙසේ පවසයි: "එයාලා ස්ට්‍රීමර්ස්ලා එක්ක සම්බන්ධ වෙලා එයාල ගැන හොයලා බලන්න ඕන. ගොඩක් තරුණ තරුණියන් පූර්ණකාලීනව ස්ට්‍රීමර් කෙනෙක් වෙන්න හීන මවනවා. ඒ අය ලේසියෙන්ම පෙළඹෙන ජාතියේ. එයාලා දිගටම [ස්ට්‍රීම්] කළොත් හානිදායක වෙන්න පුළුවන්."

"සතියකට පැය 60ක් ස්ට්‍රීම් කරද්දි ඒක නවත්වන්න අනතුරු ඇඟවීම් හෝ ක්‍රියා පටිපාටි තියෙන්න ඕන. [මොකද,] ඒක ඕනෑවට වඩා වැඩියි."

සිඩ් කිසිවිටෙකත් තමා "ස්ට්‍රීම් කරන හැම වෙලාවෙම අතින් අල්ලගෙන ඉන්න සේවකයකු" බවට Twitch පත්විය යුතුයැ යි අපේක්ෂා නොකරයි. නමුත් සෞඛ්‍යසම්පන්න භාවිතයන් අනුගමනය කරන ස්ට්‍රීමර්ස්ලාට ප්‍රතිලාභ ලබාදීමට මූල්‍ය ආකෘතිය වෙනස් කිරීම පිළිබඳ කතිකාවතක් බිහිවීම එහි මුල් අදියර වනු ඇත.

අන්තර්ජාලය තුළ ගතකරන පැය ගණන හේතුවෙන් ස්ට්‍රීමර්ස්ලා කීදෙනෙකුට මානසික සෞඛ්‍ය ගැටලු තිබේ ද යන්න නිශ්චිතව ගණනය කිරීම අපහසු ය.

Twitch යනු ලොව පුරා මිනිසුන්ට එකිනෙකා හමුවීමට ඉඩ සලසන, ජීවනෝපාය සලසන උද්‍යෝගිමත් සේවාවක්යැ යි බොහෝ දෙනෙකු සලකයි.

බොහෝදෙනෙකු එය හරහා ඔවුන්ගේ මානසික සෞඛ්‍ය දුෂ්කරතා පිළිබඳ අත්දැකීම් බෙදාගෙන, තම ෆලොවර්ස්ලා තුළින් සැනසීමක් ලබාගෙන ඇත.
2021 වසරේ සෑම මසකම වෙබ් අඩවියේ වීඩියෝ නිර්මාණකරුවන් මිලියන 7ක් ක්‍රියාකාරීව සිටි බවට වාර්තා වේ.

තිරසාර ලෙස විකාශන කටයුතු සිදුකිරීම පිළිබඳව වීඩියෝ ක්‍රීඩාවන්හි යෙදෙන්නන් අතරින් කෙතරම් පිරිසක් කතිකා කරයි ද යත්, එය සෞඛ්‍ය සම්පන්න ස්ට්‍රීමිං මාර්ගෝපදේශ සකසා ඇති මානසික සෞඛ්‍ය පුණ්‍යායතනයක් වන Mindහි ද අවධානයට ලක් විය.

 123003485 samsooshi2.jpgසෑම් පවසන්නේ, ජීවත්වීම සඳහා වීඩියෝ ක්‍රීඩා කිරීම "මරු වැඩක්" බව යි. (ඡායා-BBC NEWS)



Mindහි තොරතුරු ප්‍රධානී ස්ටීවන් බක්ලි අපට පැවසුවේ, "තමන්ම ස්වයං ආරක්ෂණ ක්‍රම හදාගන්න එක ගැන සලකා බැලීම ඇත්තෙන්ම වැදගත්," යනුවෙනි.

"තමන්ටම සීමාවක් පනවාගන්න. නිසි ආහාර වේලක් ගන්න විවේකයක් තියාගන්න ඕනේ වගේම, ස්ට්‍රීම් එක නවත්වන්න හිතාගත්තු වෙලාවටම අවසන් කරන්න.
නිදාගන්න පැයකට හෝ ඊට වැඩි කාලයකට කලින් ස්ට්‍රීම් එක අවසන් කරලා, යම් ව්‍යායාමයක් සඳහා පිටතට යාමට උත්සාහ කරන්න."

Twitch සමග වැඩ කිරීමට Mind ද කැමැත්ත පළකරයි. ඒ සම්බන්ධයෙන් ස්ටීවන් අපට පැවසුවේ: "වැඩිදුර මඟපෙන්වීමක් ලබාදීමේ අරමුණින් අපි ස්ට්‍රීමිං වේදිකා එක්ක වැඩ කරන්න බොහොම කැමතියි. මේක සාපේක්ෂව අලුත් ක්ෂේත්‍රයක් නිසා, තවමත් සියල්ලටම පිළිතුරු අපි ළඟ නැහැ."

ඊට ප්‍රතිචාර වශයෙන් Twitchහි ප්‍රකාශකයෙකු මෙසේ පැවසීය: "Twitchහි හරය වන්නේ අපගේ නිර්මාණකරුවන්. ඔවුන්ගේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාව යි."

"ස්ට්‍රීමර් කෙනෙක් වෙන්න හොඳම තැන බවට Twitch පත් කරන්න අපි අඛණ්ඩව වෙහෙස මහන්සි වී වැඩ කරනවා. එකිනෙකාට සහයෝගය දක්වන, සාමූහික ප්‍රජාවක් ගොඩනගන්න මානසික සෞඛ්‍ය [අංශය අතින්] සහාය ඉතා වැදගත් වෙනවා."

"අපගේ Twitch Cares පිටුව ප්‍රජාවේ ඕනෑම සාමාජිකයෙකු සඳහා මානසික සෞඛ්‍ය සම්පත් සපයා තිබෙනවා. මානසික පීඩනය, තමාට සීමාවන් පනවාගැනීම, සහ වීඩියෝ නිර්මාණය කිරීමේ වෘත්තිය හා බැඳි වෙනත් පීඩන යනාදී අභියෝගවලට මුහුණදීමට Twitch ස්ට්‍රීමර්ස්ලාට සහාය වීම සඳහා අපි ඉලක්කගත වැඩසටහන් සංවර්ධනය කරමින් සිටිනවා."


 123003521 gettyimages 1158938895.jpg

'නින්ජා', Twitch හරහා වැඩිම මුදලක් උපයන ස්ට්‍රීමර්ලා අතර ඉදිරියෙන් සිටියි. (ඡායා- GETTY IMAGES)



ස්ට්‍රීම් කිරීම දැන් වීඩියෝ ක්‍රීඩා කර්මාන්තය තුළ සාර්ථකත්වයේ සහ ජනප්‍රියත්වයේ මූලිකාංගයක් බවට පත්ව තිබේ. එය නව ක්‍රීඩා පිළිබඳව රසිකයින් උද්යෝගීමත් කිරීමට මෙන්ම, පැරණි ක්‍රීඩාවන් තුළින් රසිකයින්ට යම් අතීතකාමයක් විඳීමට ද අවස්ථාව ලබා දෙයි.

එක්සත් රාජධානියේ ක්‍රීඩා සමාගම් නියෝජනය කරන UKIE වෙළඳ ආයතනය සෞඛ්‍ය සම්පන්න සහ ආරක්ෂිත ස්ට්‍රීමිං භාවිතයන් සඳහා ද පෙනී සිටියි.

එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වන ආචාර්ය ජෝ ට්විස්ට් OBE පවසන්නේ, "ස්ට්‍රීමර්ස්ලා ක්‍රීඩා කර්මාන්තයේ වටිනා කොටසක්" බවත්, ඔවුන් ගැන සැලකිලිමත් විය යුතු බවත් ය.

ඇය අපට මෙසේ ද පැවසුවා ය: "ඔවුන් සිත් ඇදගන්නා වීඩියෝ නිර්මාණය කිරීමෙන්, ප්‍රේක්ෂකයන් අතර සහයෝගය වර්ධනය කරමින්, මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කරමින් හෝ පුණ්‍යායතන සඳහා අරමුදල් රැස්කර දීම වැනි සමාජයට යහපත් දේ කිරීමෙන් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගන්නවා."

"ඒ ප්‍රතිලාභ දිගටම පවතින්න නම්, තිරසාර ලෙස ස්ට්‍රීම් කරන්න ඕනෑ."


(BBC සිංහල සේවය)


 Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්