සිරගත සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට හෙට (පෙබරවාරි 04) එළැඹෙන නිදහස් දිනයෙදී ජනාධිපති සමාවක් ලබාදෙන ලෙස හිටපු

කතානායක කරු ජයසුරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

එසේ නොකර 'එක රටක් එක නීතියක්' ගැන කතා කිරීම ජනතාව මුලා කිරීමක් බවද ඔහු පවසයි.

ඔහු එබව කියා  සිටියේ 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' විසින් අද (03) දිනයේ කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවේ දීය.

හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාවක් ප්‍රදානය කරන ලෙස හිටපු කතානායකවරයා මිට පෙර අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබිණ.

මෙම මාධ්‍ය හමුවේදී හිටපු කතානායකවරයා තවදුරටත් මෙසේද පැවසිය.


''අපි නිදහසින් පසු ආපස්සට ගිය ජාතියක්''



''අද අපගේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන්නේ නිදහස් දිනට පෙර දින. එදා පළමුවැනි ජාතික නිදහස් දින කුඩා පාසල් සිසුවකු ලෙස ජාතික කොඩිය රැගෙන ගිය අයෙකු වශයෙන් අපගේ සිතට අද ඇතිවන්නේ එම දිනය පිළිබඳව සතුට වගේම වර්තමානය පිළිබඳව  බලවත් කණගාටුවක් හා දැඩි වේදනාවක්.

 

අපි නිදහසින් පසු ආපස්සට ගිය ජාතියක්. මීට හේතු වූ කරුණු, වගකිවයුතු පුද්ගලයින් ගැන අවුරුදු හැත්තෑ තුනකට පසු කතා කතා කිරීම ඵල රහිතයි. දැන් අනාගතය ගැන කතා කරමු.

 

අද අපි ඉතා අවාසනාවන්ත තත්ත්වයට පත්ව ඇති රටක්.  ශ්‍රී ලංකාව ලෝකයේ අසාර්ථක රටක් වශයෙන් හඳුන්වා පළවුණු විදේශීය වාර්තා කිහිපයක් අප දුටුවා. මේවා දකින විට අපට ඇතිවන්නේ ලැජ්ජාවක්.

අපට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත්-හේත්, අමුද්‍රව්‍ය  ගෙන්වීමට අවශ්‍ය විදේශීය මුදල් අප ළඟ නැහැ. අප අවට රටවලින් අතමාරුවට ගන්නා මුදල් වලින් එදිනෙදා අවශ්‍යතා අමාරුවෙන් සපයා ගන්නවා.

ජන ජීවිතයට අවශ්‍ය කිරිපිටි, සහල්, ගෑස්, භූමිතෙල් ආදිය ගැනීමට පෝලිම් ගැසිය යුතුව තිබෙනවා. රටේ විනය තදින් පිරිහී තිබෙනවා. මිනීමැරුම්, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය භාවිතය තදින් ව්‍යාප්ත වෙනවා. අල්ලස - දූෂණය මහ දවල් විවෘතව සිදුවනවා. ඉන්ධන හිඟයකට හා විදුලි කප්පාදුවකට මුහුණදෙන්න ඉදිරියේදී සිදු වේවි.

 

රටේ විනය රැකිය යුතු ශ්‍රී ලංකා පොලිසියේ දේශපාලනීකරණය වූ සමහර නිලධාරීන් නිසා පොලිසියට ඇති මහජන ගෞරවය හා විශ්වාසය පිරිහෙමින් පවතිනවා. එය ඉතා භයානක එමෙන්ම වහා නිවැරදි කළ යුතු ප්‍රවණතාවක්. අධිකරණයට බලපෑම් කිරීමේ උත්සාහයක් ද වාර්තා වී තිබෙනවා. එවන් රටක යුක්තිය සාධාරණය ඉටුවන්නේ නැහැ.

 

ප්‍රාදේශීය දේශපාලකයන් රාජ්‍යකරණයට බාධා කරනවා. බලපෑම් කරනවා. මේ හේතුවෙන් රජයේ සේවයේ විශාල බිඳවැටීමක් දැන් ඇතිවී තිබෙනවා. ඔවුන්ගේ ජනතා සේවයේදී මෙය කැපී පෙනෙනවා. රාජ්‍ය නිලධාරීන් බොහෝ අවස්ථාවල මේ අසාධාරණය ගැන අපට වාර්තා කර තිබෙනවා. රටේ අසාර්ථක භාවයට මෙයත් හේතුවක්.

අල්ලස් හා දූෂණ කොමිසමේ වර්තමාන ක්‍රියාකාරීත්වය ගැන මේ රට තුළ විශාල කලකිරීමක් ඇති වී තිබෙනවා. ඔවුන් පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම එළිපිටම සිදුවෙනවා. උත්තරීතර අධිකරණය පවා මේ ගැන කීප අවස්ථාවක සඳහන් කර තිබෙනවා. උසස් පදවි දැරූ අල්ලස් කොමිසමේ සාමාජික වරුන් සිය ආත්ම ගරුත්වය රැක ගැනීම ඉතා වැදගත්. අල්ලස් හා දූෂණ කොමිසමට විරුද්ධව විශාල ජනමතයක් ඇති වෙමින් පවතිනවා.

නිදහස් දින උදාවීමට පැය කිහිපයකට පෙර අප මෙම අදහස් ප්‍රකාශ කළේ ජනාධිපතිතුමා හෝ රජය අපහසුතාවයට පත් පත් කිරීමේ චේතනාවෙන් නොවේ.
මේ විනාශ වෙමින් තිබෙන රට ප්‍රකෘතිමත් කිරීමට නම් අවුරුදු හැත්තෑ තුනකට පසු දැන්වත් වැරදි නිවැරදි කර ගත යුතුයි. අපි සඳහන් කළේ වර්තමාන රටේ පවතින තිත්ත ඇත්ත තත්ත්වය යි.

අප පළ කරන අදහස් ගැන ජනාධිපතිතුමාට හා රජයට මධ්‍යස්ථ මතධාරීන්ගෙන් සත්‍ය තත්වය විමසන්න පුළුවන්. වර්තමාන අගාධයෙන් මිදීමට අපට අලුත් ගමන් මාර්ගයක යා යුතුයි. ජාතික ආගමික හා දේශපාලන සමගිය ඇති විය යුතුයි. අන්තර්ජාතික ගෞරවය උපයාගත යුතුයි. තවමත් එය සිදු වී නැහැ ඇත්තේ බලය රැක ගැනීමට හා බලය ලබාගැනීමට කෙරෙන පොරයක්.

 

ඉහත සඳහන් කරුණු වලට අමතරව ශ්‍රී ලංකාවට තවත් දැඩි අභියෝගයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මූලික මිනිස් අයිතිවාසිකම් අහෝසි කිරීම ගැන අන්තර්ජාතික ප්‍රජාව හමුවේ ලබන මාර්තු හා සැප්තැම්බර් මාස වල අපට චෝදනා ඇති වේවි. මේවාට සාර්ථකව මුහුණ නොදුනහොත්, භයානක ප්‍රතිඵල වලට අපගේ අහිංසක ජනතාවට මුහුණ මුහුණදෙන්න සිදුවෙනවා.

 

''අනුර සහභාගි වූ රැස්වීමකට පහර දීම ඉතා පහත් පෙළේ ක්‍රියාවක්''


ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගි වූ රැස්වීමකට පහර දීම ඉතා පහත් පෙළේ ක්‍රියාවක් ලෙස අප දකිනවා.

දැන්වත් ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති මත පදනම්වූ දේශපාලනයකට ප්‍රවිෂ්ට විය යුතුයි.

මේ සිද්ධියට ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයින්ගේ නම් ද සඳහන් වී තිබෙනවා. මෙයින් රටට ලැබී ඇත්තේ අශෝභන පණිවිඩයක්. මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වහා පියවර ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා .

 

අපි ත්‍රස්ථවාදයට විරුද්ධ වෙමු. ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ලෝක ප්‍රජාව ගේ ගෞරවය දිනා ගැනීම ඉතා වැදගත් PTA (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත) සංශෝධනය කිරීමට පියවර ගැනීම කාලෝචිත පියවරක් ලෙස අප දකිනවා. මේ පනතේ ඇතැම් බලතල වැරදි අන්දමින් හා දේශපාලන හේතු මත ගෙන ඒම නිසා රජයේ ගරුත්වයට විශාල හානියක් සිදු වුණා.

 

අවුරුදු හතළිහකට පසු සංශෝධනයක් ගෙන ඒම ගැන අප සතුටු වන අතර නව යෝජනා වලට වඩා මිනිස් අයිතිවාසිකම් තවදුරටත් සුරැකෙන ආවරණයක් අවශ්‍ය බව සමාජ මතයයි.

Defense Minister approves further detention of Hejaaz Hizbullah

නීතිඥ හිජාස් හිස්බුල්ලාට ද විශාල අසාධාරණයක් සිදුවී තිබෙනවා.

 

පසුගිය වකවානුවේදී සිදුවූයේ මෙම පනත දේශපාලන කටයුතු සඳහා තදින් අපයෝජනය කිරීමක්. මෙම හේතුව නිසා අන්තර්ජාතිකව අපේ රටටත් විශාල කැළලක් ඇති වුණා. "අහනම් තසීම්" වැනි අයට නොයෙකුත් වධහිංසා කළ ආකාරය කවුරුත් දන්නා කරුණක්. නීතිඥ "හිජාස් හිස්බුල්ලාට" ද විශාල අසාධාරණයක් සිදුවී ඇති බව අන්තර්ජාතිකව සඳහන් වී තිබෙනවා.


මගහැරුණ සංශෝධන:


බැලු බැල්මට මෙම සංශෝධන පවතින ප්‍රතිපාදන සමග සංසන්දනය කිරීමේදී ප්‍රගතිශිලි බව පිලිගත යුතුය. නමුත් මුල් පනත සම්මත කිරීමෙන් වසර 43කට පසුව සිදුකරනු ලබන සංශෝධනයක් මගින් මෙයට වඩා වෙනසක් සිදුකල යුතුව තිබිණි.

විශේෂයෙන්ම  සංශෝධන මගින් ගෙන ඒමට අපේක්‍ෂා කරන ඇතැම් සංශෝධනයන් මේ වන විටත් අප නීතියේ කොටසක් ව පවතී.

එසේම පනත සම්බන්ධයෙන් වූ ප්‍රධාන විවේචනයක් වූයේ පනතේ 2වන වගන්තිය යටතේ දක්වන වැරදි වඩා පුලුල් වීම නිසා කිසිදු ත්‍රස්ථක්‍රියාවකට සම්බන්ධ නොවන ක්‍රියාවක් සිදුකරනු ලබන පුද්ගලයකුට වුවද එම වගන්තිය යටතේ යම් වරදක් සම්බන්ධව චෝදනා නැගිය හැකි වීමයි. එම නිසා පනත යටතේ වැරදි වඩා නිශ්චිතව සහ ත්‍රස්ථවාදය හා සම්බන්ධ කාරණාවන්ට සීමා වන ලෙස සංශෝධනය විය යුතු වුවත් මෙම සංශෝධන පනත් කෙටුම්පත මගින් එවැනි සංශෝධනයක් යෝජනා කර නොමැත.

එබැවින් 1979 පනතට සංශෝධන එකතු කිරීමට වඩා එම පනත අහෝසි කර මානව හිමිකම් තත්වයන්ට ගැලපෙන සහ පවතින අනෙකුත් පනත් පිලිබදවද සැලකිල්ලට ගෙන නව පනතක් සම්මත කිරීම වඩා උචිතවේ.


''අධිකරණ ඇමතිගේ කතාව බරපතලයි'' 


එම කරුණු වලට අමතරව ලෝකය පිළිගත් වෘත්තිය සමිති අයිතිවාසිකම් නැති කිරීමට රජය අදහස් කරන බවට අධිකරණ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා.



 මෙවැනි තර්ජන ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුවිය යුතු නැහැ. මේ උත්සාහය නිසා මාර්තුවේ පැවැත්වෙන ජිනීවා සමුළුවේදී අපට විශාල හානි ඇති වෙන්න පුළුවන්.
ඉතාමත්ම නිහතමානීව රට කෙරෙහි ඇති ආදරය නිසා අප රජයට කියන්නේ ලෝක ප්‍රජාව ගේ ගෞරවය හා විශ්වාසය විනාශ කරගන්න එපා.

අද අප මුහුණ දී තිබෙන ව්‍යසනයෙන් ගොඩ ඒමට ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ අපට තනි වෙන්න බැහැ මෙම කරුණු රටේ අභිවෘද්ධිය වෙනුවෙන් බලධාරීන්ගේ අවධානයට යොමු වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.''

 
 

Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image