# පාස්කු ප්‍රහාරය ගැන ලංකාව ඇතුලේ යුක්තිය ඉටුවේවි කියල විශ්වාසයක් නෑ

 

# අපිට විකල්පයක් නෑ; අපි අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරයට යනවා

 

# දේශපාලකයින් බලය දිනාගන්න කරන පාදඩ වැඩ හඳුනාගැනීම අත්‍යවශ්‍යයි




පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොලිස් පරීක්ෂණවලින් යුක්තිය ඉටුවනු ඇති විශ්වාසයක් නොමැති බැවින් යුක්තිය පතා අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව හමුවට යන බව ශ්‍රී ලංකා කතෝලික සභාව අවධාරණය කරයි.

"අපිට විකල්පයක් නෑ; අපි අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරයට යනවා," යනුවෙන් කතෝලික සභාවේ ප්‍රකාශක, සිරිල් ගාමිණී පියතුමා කියා සිටියේ "Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.  

විශේෂයෙන්ම හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පවසන පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස 'මහා කුමන්ත්‍රණයක්' දියත් වූයේ නම්, ශ්‍රී ලංකාවාසීන්ගේ අනාගත සුරක්ෂිතතාව උදෙසා "දේශපාලකයින් බලය දිනාගන්න කරන පාදඩ වැඩ හඳුනාගැනීම අත්‍යවශ්‍ය," බව ද එහිමියෝ අවධාරණය කළහ.



සිරිල් ගාමිණී පියතුමන් පවසන්නේ, කොළඹ කතෝලික දේවස්ථානයක ජීව බෝම්බයක් හමුවීම ද පාස්කු ප්‍රහාරයෙන් දින 1000 ක් පිරීම සැමරීම වැළැක්වීමේ උත්සහයක් දැයි පොලිසියේ, ආරක්ෂක ලේකම්වරයාගේ සහ මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයාගේ ප්‍රකාශ හේතුවෙන් තමන්ට සාධාරණ සැකයක් මතුවන බවය.



එහිදී සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසිය කළ ප්‍රකාශ මගින් "පොලිසිය නැවත වතාවක් ජාතිවාදී කලබලයක් ඇතිකරන්න හැදුවද කියල සැකයක් මතුවෙනවා," යනුවෙන් ද කතෝලික සභාවේ ප්‍රකාශක හිමිනම මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග කළ දීර්ඝ සාකච්ඡාවේ දී සඳහන් කළේය.  

"දේශපාලන බලවේග" පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ බෝම්බ තැබීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීමට පොලිසියට බාධා කරන බව පවසන සිරිල් ගාමිණී පියතුමා, විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිටුපස තිබෙන 'කුමන්ත්‍රණය' ගැන හිටපු නීතිපති දප්පුල ද ලිවේරා කැඳවා ප්‍රශ්න කළ යුතු බව අවධාරණය කරයි.  



මෛත්‍රීපාල සිරිසේන

"නීතිපති දැන් කරන්නේ නඩු පවරනවට වඩා නඩු ඉල්ලා අස්කර ගන්න එකනේ," යනුවෙන් සඳහන් කළ එහිමියෝ, "ජනාධිපති කොමිසමක නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඇයි නීතිපති අදිමදි කරන්නේ?," යනුවෙන් ප්‍රශ්න කරමින් යළි යළිත් අවධාරණය කළේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා කොමිසමේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කළ යුතු බවය.  

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිලන්ත ජයවර්ධන, දේශබන්දු තෙන්නකෝන් වැනි පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කොමිසම නිර්දේශ ඉදිරිපත් කොට තිබෙන බව පෙන්වා දුන් එහිමියෝ, ඒ සියල්ල ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන්හ.

එහෙත් පසුගියදා "Sandeshasya by Saroj" නාලිකාව ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වර්තමානයේ තමන් ජනපති පදවිය දැරුවේ නම් කොමිසම තමන්ට එරෙහිව එවැනි නිර්දේශයක් ඉදිරිපත් කරනු ඇති දැයි පෙරලා ප්‍රශ්න කළේය.

 




එහි අදහස කොමිසමට දේශපාලන බලපෑමක් එල්ල වූ බව දැයි කළ විමසීමට හිටපු ජනපතිවරයා නිසි පිළිතුරක් දුන්නේ නැත.

"සරෝජ් සමග සංදේශය" නාලිකාව සමග වැඩිදුරටත් කරුණු දැක්වූ සිරිල් ගාමිණී පියතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල බොහෝ සැකකටයුතු අවස්ථා පෙන්වා දෙමින් කියා සිටියේ, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීම පිණිස දුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් බවය.

කෙසේ වුවත් බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා ශානි අබේසේකර ඇතුළු පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙකුට ස්ථාන මාරු ලබා දුන් අවස්ථාවේ කතෝලික සභාව මුනිවත රැකි බව ද එහිමියන් පිළිගත්තේය.

 

Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්