මන්නාරමේ අධි සංවේදී පරිසර කලාපය තුල සංචාරක කුරුල්ලන් නිරීක්ෂණය සදහා කොළඹ සිට එන වරප්‍රසාද ලත් සුළු පිරිසක් ඩ්‍රෝන කැමරා යොදා ගැනීම නිසා එම  සුන්දර පක්ෂි විශේෂයන් යළි මෙරටට නොපැමිණිමේ

අවදානම සම්බන්ධයෙන් පරිසර සංවිධානයක් අනතුරු අගවා තිබේ.

අගනුවර සිට පැමිණෙන පක්ෂි නිරීක්ෂකයන් යැයි කියාගන්නා පිරිස්, මන්නාරමට ඩ්‍රෝන කැමරාද රැගෙන පැමිණෙන බව දැනගන්නට ලැබීමත් සමඟම තමන් මහත් කලබලයට පත් වූ බව ප්‍රකාශ කරන වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS)පෙන්වා දෙන්නේ, එමඟින් මෙම සුවිශේෂී, දුර්ලභ හා සුන්දර පක්ෂි විශේෂයන් මෙම සුවිශේෂී ස්ථානයෙහි අඛණ්ඩව රැඳී සිටීම සහ ඔවුන්ගේ අනාගත පැමිණීම නතර වීමේ අනතුරක් ඇති කරවන බවයි.

මෙම කුරුල්ලන් අතරින් බොහෝමයක් සංක්‍රමණික පක්ෂීන් වේ.

ඇතැමුන් සැතපුම් දහස් ගණනක සිට පියාසර කරමින් ආහාර සහ ප්‍රජනනය කිරීම සඳහා, මේ දක්වා මන්නාරම ක්ෂේම භූමියට පියාසර කරන අතර  මොවුන් අතරින් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් වඩාත් කැපී පෙනේ.

මෙහි ඇති ලවණ ජලයේ වැඩෙන මුහුදු ජීවීන් මත යැපෙන සංචාරක පක්ෂින් මෙහි පැමිණෙන බවයි වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය තව දුරටත් පෙන්වා දෙන්නේ.

තවත් බොහෝ පක්ෂීන් මෙම ප්‍රදේශයට පැමිණෙන අතර, සෑම වසරකම පාහේ, නව විශේෂ වාර්තා වීම සිදු වේ.

දේශීය පක්ෂි විද්‍යාඥයන්ට පමණක් නොව, විදේශයන්හි සිට මෙරටට අත්‍යවශ්‍යව ඇති විදේශ විනිමය ද රැගෙන පැමිණෙන විදේශීය පක්ෂි විද්‍යාඥයන්ටත්  මෙය ආශ්චර්යමත් ස්ථානයකි.

එම ප්‍රදේශය  අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස සැලකෙන නමුත් මෙම ඩ්‍රෝන යානා රේඩාර් වලට හසුවීම වැළැක්වීම සඳහා පහතින් පියාසර කරවන බවට විශ්වාසදායක ලෙස තමන්ට දැනගන්නට ලැබී ඇති බව වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

ආහාර ගන්නා කුරුල්ලන්ට ඩ්‍රෝන කැමරා වඩාත් බාධා ඇති කරන බව අවධාරණය කරන WNPS තව දුරටත් පෙන්වා දෙන්නේ, ඩ්‍රෝන මඟින් නිකුත් වන ඝෝෂාකාරී ශබ්දය සහ විලෝපික පක්ෂීන්ට සමාන ඒවායේ හැඩය හේතුවෙන්, පක්ෂි විශේෂයන්ට මහත් හිරිහැරයක් ව ඇති බැව් මේ වන විටත් ඔප්පු වී හමාර බවයි.



මෙම තත්වය හේතුවෙන්, පක්ෂී විශේෂ මෙරටින් පිටව ගියහොත්, ඔවුන් නැවත කිසි දිනෙක නොඑනු ඇති බවට අනතුරු අඟවන වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය අවධාරණය කරන්නේ, ඒ අනුව කොළඹ සිටින වරප්‍රසාද ලත් කිහිප දෙනෙකුගේ ආශාවන්ට ඉඩ දීමට යාමෙන් සමස්ත රටටම වන්දි ගෙවීමට සිදුවීමට ඉඩ ඇති බව යි.



"අපි අදාල බලධාරීන්ගෙන් සහ යහපත් හෘද සාක්ෂියක් ඇති ඩ්‍රෝන යාත්‍රා ක්‍රියාකරුවන් සිටීනම් ඉල්ලා සිටින්නේ මෙම විනාශකාරී ක්‍රියාවලිය වහා නවත්වන ලෙසයි."

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සංචාරක පක්ෂින් තමන්ට හුරු පුරුදු භුමියකින් මීට ඉහතදී ඉවත්ව ගිය ආකාරයත් වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය සිහිපත් කරයි.

"අපි අමතක නොකළ යුතුයි බූන්දල ජාතික වනෝද්‍යානයට ලුණුගම්වෙහෙරෙන් වතුර හැරවීමත් සමඟ වතුරේ පැවති ආම්ලිකතාවය අඩු වීම හෙවත් තනුක වීම හේතුවෙන් එම වනෝද්‍යානයේ ඉතාමත් සුප්‍රසිද්ධ වූ කුරුළු රංචු උතුරු ප්‍රදේශය බලා සංක්‍රමණය වූ බව. ඔවුන්ට අපි තව දුරටත් හිරිහැර කරදර සිදු කරන්නේනම් වෙනත් සංක්‍රමණික පක්ෂීන් ද මේ ආකාරයෙන්ම තවදුරටත් උතුරට ගමන් කරනු ඇති අතර ඉන් පසුව දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇත," යි වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය තව දුරටත් අනතුරු අඟවා  සිටි.

 

 
 

Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්